

මහාචාර්ය ආනන්ද ජයවික්‍රම
පසුගිය දිනක ජාතික පුවත්පතක වාර්තා කර තිබුණු ආකාරයට ජවිපෙ නායක සහ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙවැනි ප්‍රකාශයක් කර ඇත. “…සජිත් ට දේශපාලනය කරන්න තියෙන එකම සුදුසුකම ප්‍රේමදාසගේ පුතා වීමය. එයාට දේශපාලනය කරන්න වෙන කිසිම සුදුසුකමක් නැත…” අනුර කුමාර මෙම ප්‍රකාශය සිදුකරන්නේ සරත් ෆොන්සේකාගේ නමත් ඈඳාගෙනය. අනුරගේ මෙම ප්‍රකාශය සම්බන්ධ විශ්ලේශනයක් කිරීම සුදුසු යැයි මට සිතුණි. ආර් ප්‍රේමදාස ගැන කියවීම පමණයි සජිත්ට දේශපාලනය කිරීමට තියෙන එකම සුදුසුකම කියලා අද කියන අනුර කුමාරලා එදා වන්ද්‍රිකා කුමාරතුංග සමඟ පරිවාස ආණ්ඩු හදන කාලේ වගේම ඇමතිකම් දරාගෙන චන්ද්‍රිකාගේ කැබිනෙට්ටුවේ ඉන්න කාලේ චන්ද්‍රිකාට දේශපාලනය කරන්න තියෙන එකම සුදුසුකම තාත්තයි අම්මයි ගැන කියවීම පමණයි කියා කිවුවේ නැත. මෙරට දේශපාලනය තුළ චන්ද්‍රිකා ස්ථාපිත වන්නේ ම තම පියාගේ සහ මවගේ දේශපාලන පවුල් පසුබිම මුල් කරගෙනය. එදා බණ්ඩාරනායකවරුන් ගැන චන්ද්‍රිකා කළ ප්‍රකාශ සම්බන්ධව කිසිම විවේචනයක් අනුරලාට තිබුණේම නැත. 2004 දී චන්ද්‍රිකාට සහයෝගය දුන් අනුරලා 2005 දී සහයෝගය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු බලයට ගෙන ඒමටය. ඒ සඳහා අනුරලාගේ ජවිපෙය නොසැහෙන සේ දර දිය ඇද්ද බව ජනතාවට රහසක් නොවේ. මහින්ද රාජපක්ෂ සහ සහෝදරයන් තමන්ට බණ්ඩාරනායකවරුන්ට නොදෙවෙනි දේශපාලන සුජාත භාවයක් ඇති බව කොටා තැබීමට නොගත් උත්සාහයක් නොමැත. ඩීඒ රාජපක්ෂ චරිතය පිම්බීම උදෙසා ජාතික ධනයෙන් සැළකිය යුතු කොටසක් බිළිදීමට ඔවුන් පසුබට නොවුණි. රාජපක්ෂ නාමයෙන් සම්මන්ත්‍රණශාලා කෞතුකාගාර සොහොන් කොත් ගුවන්තොටපොළ මංමාවත් ජාතික ධනය වැය කොට ඉදිකෙරිණි. රාජපක්ෂ සහෝදරයන්ට පමණක් නොව එම පවුලේ අල ගිය මුල ගිය සියලුුම දෙනාට දේශපාලනය කිරීමට ඇති එකම සුදුසුකම ඩීඒ රාජපක්ෂගේ පුතුන් මුණුපුරන් ඥාතීන් වීම බව අනුරලා කිසිදා ප්‍රකාශ කරන්නේ නැත. නාමල් රාජපක්ෂට දේශපාලනය කරන්න තියෙන එකම සුදුසුකම මහින්ද රාජපක්ෂගේ පුතා වීම බව අනුරලා කිසිදා ප්‍රකාශ කර නොමැත. උවිඳු විජේවීරට දේශපාලනය කරන්න තියෙන එකම සුදුසුකම රෝහණ විජේවීරගේ උරුමය බව ප්‍රකාශ කිරීමට අනුරලා හීනෙන්වත් සිතන්නේ නැත. තම පැවැත්ම වෙනුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරණායකවරුන් ගැන කතා කිරීමත් මහින්ද රාජපක්ෂ ඩීඒ රාජපක්ෂ ගැන කතා කිරීමත් නාමල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ගැන කතා කිරීමත් ඉවසන අනුරලාට උවිඳු විපේවීර රෝහණ විජේවීර ගැන කතා කිරීම නයාට අඳු කොළ වැනිය. ඒ රෝහණ විජේවීරගේ දේශපාලන උරුමය අනුරලා සින්නක්කරව ලියාගෙන ඇති බැවිණි.
සජිත් ප්‍රේමදාස පියාගේ දේශපාලනය අභරණයක් කරගත්ත ද එය තම බඩගෝස්සතරය කරගත්තේ නැත. වැඩි ඡන්ද පදනමක් සහිත පියාගේ දිගුකාලීන උරුමය වන මැද කොළඹ හා කොළඹ දිස්ත්‍රික්කය අතහැර රාජපක්ෂ බලකොටුව වු හම්බන්තොටට ගොස් ඔහු දේශපාලනයේ නිරත වන්නේ තම දේශපාලන අනන්‍යතාව ගොඩනඟා ගැනීමටය. 2000 මහ මැතිවරණයට මුල්වතාවට හම්බන්තොටින් ඉදිරිපත් වන සජිත් මනාප ඡන්ද 98,831ක් ලබා ගන්නා අතර එය එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්ද සංඛ්‍යාවෙන් 83% කි. එය දිස්ත්‍රික්කයේ මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 36% කි. 2004 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තුන් වෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් සහිත කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අනුර කුමාර දිසානායක ලබාගත් මනාප සංඛ්‍යාව 153,868කි. එය පක්ෂයට දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්ද සංඛ්‍යාවෙන් 37% ක් ද දිස්ත්‍රික්කයේ මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 19%කි. 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හම්බන්තොටින් ලැබුණු ඡන්දවලින් 89%ක ගේ වරණය ලැබුණු සජිත් හම්බන්තොටින් පාර්ලිමේන්තු යද්දි කලක් කෘෂිකර්ම වාරිමාර්ග කැබිනට් ඇමති ධුරය දැරු අනුර කුමාර පාර්ලිමේන්තු යන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානයට ජාතික ලැයිස්තුවෙන් හිමි වු මන්ත්‍රී ධුර දෙකෙහි දෙවැනියා වශයෙනි.
කොළඹ උරුමය තිබුණු සජිත් කොළඹ අතහැර වඩාත් දුෂ්කර හම්බන්තොටට යද්දි තඹුත්තේගම ඉපැදුණු අනුර කුමාර ඡන්ද අඩු අනුරාධපුර දිස්ත්‍රික්කය අතහැර පළමුව කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එතැනිත් කොළඹ දිස්ත්‍රික්කයටත් මාරු වේ. එතැනින්ම අනුර කුමාරලාගේ සමාජවාදය, ගොවියන් වෙනුවෙන් පෙනී සිටීම, දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රලාපයක් බව පෙන්නුම් කර ඇත. දිගින් දිගටම දිගටම වසර 25කට වැඩි කාලයක් හම්බන්තොට දේශපාලනයේ නිරත වන සජිත් එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්දවලින් 2000 දී 83%ක් ද 2001 දී 82% ක් ද 2004 දී 84%ක් ද 2010 දී 89%ක් ද 2015 දී 86%ක් ද ලබාගත්තේ සජිත් ප්‍රේමදාසගේ ජනතාවාදි දේශපාලනය නිසාය. ඔහු අවස්ථාවාදි කුහක දේශපාලනයක නිරත වුවා නම් හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයක එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ දශක දෙකක් සාර්ථක වීමට ජනතාව ඔහුට ඉඩ නොදෙනු ඇත.
2020 මහ මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර යන දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අතර රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ප්‍රබලයන් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ වෙනම තරඟ කරන පසුබිමක සජිත් ප්‍රේමදාස තමන්ගේ අලුත් දේශපාලන පක්ෂය කොළඹින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව වන 387,145න් 79%ක වරණයක් එනම් මනාප 305,744 ක් ලබාගනී. සජිත් ලබාගත් ඡන්ද සංඛ්‍යාව දිස්ත්‍රික්කයේ මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 26%කි. එය පුද්ගලයෙක් මුලු ඡන්දවලින් ලබාගත් ඉහළම ප්‍රතිශතයකි. ජාතික ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ජවිපෙ නායක අනුර කුමාර මනාප ඡන්ද 49,814ක් ලබාගන්නා අතර එය ජාතික ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්දවලින් 74%කි. එය කොළඹ දිස්ත්‍රික්කයේ මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 4%ක් පමණ ප්‍රමාණයකි. මෙම සංඛ්‍යා දත්තවලින් පෙන්නුම් කරන්නේ අනුර කුමාර දිසානායකට සාපේක්ෂව සජිත් ප්‍රේමදාසට තිබෙන ජනතා පදනමයි. ඒ සදහා හම්බන්තොට ද කොළඹ ද යන්න වැදගත් නොවේ.
2019 ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මෙන් ම අනුර කුමාර දිසානායක ද තරඟ කළේය. මෙහි දී සජිත් ප්‍රේමදාසට ඡන්ද 5,564,239ක් ලැබුණු අතර එය මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 42%ක් පමණ වේ. අනුර කුමාර දිසානායකට ඡන්ද 418,553ක් ලැබුණු අතර එය මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 3.16ක් පමණ වේ. 2019න් වසර 37කට පෙර එනම් 1982 දී පැවති පළමු ජනාධිපතිවරණයට ජවිපෙන් රෝහණ විජේවීර තරඟ කොට ඡන්ද 273,428ක් ලබාගත්තේය. එය එදා මුලු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 4.19ක් විය. 1982 රෝහණ විජේවීර 4.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිද්දි අනුර කුමාර දිසානායක තවත් වසර 37ක දේශපාලනයකින් පසුව ඇමති ධුර දැරීමකින් පසුව ජනාධිපතිවරු කිහිප දෙනෙක් ආණ්ඩු කිහිපයක් පිහිටුවීමට දායක වීමෙන් පසුව ලබාගෙන ඇත්තේ රෝහණ විජේවීරටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි. අනුරලාගේ දේශපාලන සාර්ථකත්වය එයින් මනාව නිරූපණය වේ.
සජිත් ප්‍රේමදාස 2019 ජනාධිපතිවරණයේ දි ඡන්ද 55 ලක්ෂ 64 දහස් 239ක් ලබාගත්තේය. අනුරලා කියන ආකාරයට මෙම 55 ලක්ෂ 64 දහස ආර්. ප්‍රේමදාස උරුමය නිසා පමණක් ලැබුණු ඡන්ද ද? 1988 ජනාධිපතිවරණයේ දී දිවංගත ආර්. ප්‍රේමදාස මහතා ඡන්ද 25 ලක්ෂ 69 දහස් 199ක් ලබාගත්තේය. එදා සිට 2019 වන විට වසර 31ක් ගෙවී ගොස්ය. ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ මරණ අනුපාතය වන 0.7255% අනුපාතයට අනුව එදා ප්‍රේමදාස ජනාධිපතිවරයාට ඡන්දය දුන් අයගෙන් දළ වශයෙන් 577,826ක් 2019 වන විට මිය ගොසින් ය. ඒ අනුව ආර්. ප්‍රේමදාස මහතාට ඡන්දය දුන් අයගෙන් 2019 වන විට ජීවත්ව සිට ඇත්තේ ආසන්න වශයෙන් 19 ලක්ෂ 91 දහස් 373කි. එය ආර්. ප්‍රේමදාස උරුමයෙන් සජිත්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය යැයි අප මඳකට සිතමු. සජිත්ට 2019 ලැබණු ඡන්ද ප්‍රමාණයත් 2019 වන විට ඉතිරිව තිබුණු ප්‍රේමදාස උරුමය ඡන්ද ප්‍රමාණයත් අතර වෙනස ඡන්ද 35 ලක්ෂ 72 දහස් 866කි. එය 2019 ජනාධිපතිවරණයේ දී අනුර කුමාර ලබාගත් ඡන්ද සංඛ්‍යාව මෙන් 9 ගුණයකි. එසේ නම් සජිත් ප්‍රේමදාසට දේශපාලනය කරන්න තියෙන්නේ ආර්. ප්‍රේමදාස කළ කී දෑ පමණක් කියලා අනුර කුමාරලා කියන්නේ කෙසේ ද? සජිත් ප්‍රේමදාස තම දේශපාලන දිවිය තුළ ගොඩනඟා ගත් සමාජ ප්‍රාග්ධනයට ගැරහීමට තරම් අනුරලා කුහක වුයේ ඇයි?
අනුරලාගේ කබරගොයා තලගොයා කරගැනීමේ ප්‍රතිපත්තිය එහි උච්චතම අවස්ථාවට පත්වන්නේ සජිත් ප්‍රේමදාස තම පියාවන ආර්. ප්‍රේමදාස දේශපාලන චින්තනය ගැන කතා කරන විටය. ආර්. ප්‍රේමදාස දේශපාලන උරුමය ගැන කතා කරන විටය. ආර්. ප්‍රේමදාස ආර්ථික දැක්ම ගැන කතා කරන විටය. ආර්. ප්‍රේමදාස ජාතික සේවය ගැන කථා කරන විටය. ආර්. ප්‍රේමදාස නොනිමි මෙහෙවර ගැන කතා කරන විටය. ජවිපෙ සහ අනුරලාගේ දේශපාලනය දන්නා කෙනෙකු දන්නා කරුණක් වන්නේ ජවිපෙය තම දේශපාලන පැවැත්ම කෙරෙහි වඩාත්ම බිය වු දේශපාලන චරිතය වුයේ ආර්. ප්‍රේමදාස බවය. හේතුව ජවිපෙය තම වසර 65ක පමණ දේශපාලන ඉතිහාසය පුරාවටම නඟාසිටුවීමට කැසපොට කවන සමාජ තලයේ ප්‍රතිමුර්තිය ආර්. ප්‍රේමදාස වීමය. සමාජයේ පහත් තලය, වරප්‍රසාද අහිමි පන්තිය, දුප්පත් ජනතාව සත්‍ය වශයෙන්ම නියෝජනය කළ ආර්. ප්‍රේමදාස දුප්පතාගේ හිතවතා බව තම නොනිමි දේශපාලන මෙහෙවර තුළ වුවද පෙන්නුම් කොට ඇත. දුප්පත් ජනතාවට ආර් ප්‍රේමදාස අදටත් අදහන්න පුලුවන් චරිතයක් වන්නේ ඒ නිසාය. ආර් ප්‍රේමදාස අනුරලා මෙන් දුප්පතුන් තවත් දුප්පත් කළ විනාශකාරි දේශපාලනයක නිරත නොවු සැබෑ මානව හිතවාදි සමාජවාදියෙකි. මහ පොලොවේ යථාර්ථයක් කළ නොහැකි අනුරලාගේ පුහු සමාජවාදය මෙන් නොව ප්‍රේමදාස චින්තනය ලැබුණු සෑම අවස්ථාවකින් ම තනතුරකින් ම දුප්පතුන්ට යහපතක් කිරීමට යොදා ගත් චින්තනයකි. අනුරලා චන්ද්‍රිකා රජයේ ඇමතිකම් තනතුරු දැරුව ද දුප්පතුන්ට සේවය කිරීම රටට සේවය කිරීම පසෙක දමා පක්ෂයේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ලැබුණු අවස්ථාව අතහැර ජනතාවට පයින් ගැසු අයය. ආර්. ප්‍රේමදාස – සජිත් ප්‍රේමදාස වැනි සැබෑ මානවහිතවාදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදි චින්තනයකින් ජනතා සේවාවක් සිදු කිරීමේ හැකියාවක් අනුරලාට නොමැත. එබැවින් ඔවුන් ප්‍රේමදාස නාමයටත් බියවීම සාධාරණය. රාජ්‍ය පාලනය තුළ ප්‍රේමදාසලාගේ ස්ථාපිත වීම දුප්පත් හා වරප්‍රසාද අහිමි කළ පන්තියේ සුබසිද්ධිය සනිටුහන් කරන්නක් වන අතර එය ජවිපෙහි ව්‍යාප්ති අවකාශය හකුළා දමන බව දන්නා අනුරලා ප්‍රේමදාසලාගේ ඉස්මතුවීම වැළැක්වීමට යක්ෂයා සමඟ වුවද අත්වැල් බැඳගනු ඇත. ජවිපෙ–ජාජබ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල මහ පොළොවේ යථාර්ථය නොවන බව අනුරලාට අවබෝධ නොවන්නේ යම්තාක් ද ඒතාක් ඔවුන්ගේ දේශපාලනය ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොවනු ඇත. නමුත් ප්‍රේමදාස චින්තන රාමුව තුළ ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික වැඩපිළිවෙළ නොබෝ දිනකින්ම රටෙහි ජාතික ප්‍රතිපත්තිය හා වැඩසටහන වශයෙන් ඔසවා තැබීමට ජනතාව සුදානම් බව අනුරලාට පසුව හෝ අවබෝධ වනු ඇත.
*මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, ඡ්‍යෙෂ්ඨ සභාපති, සමගි බුද්ධි මණ්ඩපය