16 December, 2025

Blog

බුද්ධි මණ්ඩපය ඉදිරි මැතිවරණයේ තීරණාත්මක සාධකය ද?

ආනන්ද ජයවික්‍රම

මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

පසුගිය අප්‍රේල් මස 7වන ඉරුදින පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ ප්‍රධාන උත්සවශාලාව මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් හා වෙනත් පර්යේෂණකයන් හා විද්වතුන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. මෙම සිද්ධිය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට හා පරිකල්පිත මතකයක් සහිත ප්‍රවීනයන්ට අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පොදු වෘත්තීය ගැටලුවලින් බැහැරව වෙනත් කටයුත්තක් සදහා එක මිටට ආචාර්ය මහාචාර්යවරුන් හා විද්වතුන් රැස් වු හා රැස්කළ දැවැන්තම වේදිකාව මෙය විය.

ජනතාවාදි බුද්ධි මණ්ඩපය යනු මෙරට දේශපාලන ආර්ථික සමාජමය ගමන්මඟ කෙරෙහි සාධනීය නැඹුරුවක් සහිතව ළඟ එන සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් පිළිබද ඉවකින් යුතු ව හා එයින් ගැළවීමට විකල්ප වැඩපිළිවෙලක් සකස් කිරීමට අදිටන් කරගත් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් 18 දෙනෙකු 2020 දෙසැම්බර් මාසයේ රැස් වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආශීර්වාදයෙන් පිහිටුවාගත් සංවිධානයකි. එම යුගය 69 ලක්ෂයක වරමින් ජනාධිපති ධූරයට පත්ව සිටි සහ 2/3 බලය ඉක්මවු පාර්ලිමේන්තු බලයක් සහිතව සිටි වියත්මග පුමුඛ කරගත් ගෝඨාභය රාජපක්ෂ පාලනයේ බලපරාක්‍රමය උච්චතම කාලය ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඒ බොහෝ දේශපාලකයන්, උගතුන්, වියතුන් ගෝඨාභය පාලනයේ කෲරත්වය පිළිබඳ බියකින් හෝ තමන්ට ලබාගත හැකි වරප්‍රසාද හා වරදාන අපේක්ෂාවෙන් හෝ ඇත්ත කතා නොකොට ගෝඨාභය පාලනයේ මුග්ධකම්, සැහැසිකම් සහ දුෂ්ඨකම් සාධාරණීකරණය කරමින් සිටි යුගයයි. එවැනි වටපිටාවක ගෝඨාභය පාලනයේ අදූරදර්ශී බව හා විනාශාකාරි බව විවෘතව කථාබහ කිරීමටත් එහි ආදීනව පෙන්වා දීමටත් ඒ සඳහා විපක්ෂයට ශක්තියක් වීමටත් ඉදිරිපත් වු ආචාර්ය මහාචාර්යවරුන් මෙම ජනතාවාදි බුද්ධි මණ්ඩපයේ ප්‍රාරම්භක සාමාජිකයන් විය.

ඒ වන විට පැවති දේශපාලන සංදර්ශය තුළ විපක්ෂයට ළැදියාවක් සහිතව මෙම සංවිධානය පිහිටුවීමට වඩා එය දේශපාලනිකව ස්වාධීනව පිහිටුවිය යුතු යැයි කියු තර්කය තර්කානුකූලව බැහැර කරමින් පිහිටු වු මෙම සංවිධානය ආරම්භයේ සිටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සමීපව කටයුතු කළේය. එයට හේතුව වුයේ ඒ වන විටත් මෙරට පොදු මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ජනතාවාදි දේශපාලනයක නිරත වු දේශපාලන නායකයා වශයෙන් මෙම බුද්ධිමතුන් සජිත් ප්‍රේමදාස හඳුනාගත් නිසාය. ගෝඨාභය පාලනයේ අදූරදර්ශි ප්‍රතිපත්ති හමුවේ රට කඩාවැටෙද්දි රට නැවත ගොඩනැගිය හැකි මාවතක් හා දර්ශනයක් පිළිබද අදහස් බුද්ධි මණ්ඩපයේ විද්වතුන් විවිධ මාධ්‍ය වැඩසටහන් හරහා ආණ්ඩුව මෙන් ම ජනතාව ද දැනුවත් කිරීමට කටයුතු කළ බව රහසක් නොවේ. රටම කොරෝනා වෛරසයට බිළි දී වසංගතයේ ලොක්ඩවුනයට මුවා වී උසස් අධ්‍යාපනය වනසන කොතලාවල විශ්වවිද්‍යාල පනත ආදිය ගෙන ඒමේ දී එයට විරුද්ධව මුලින්ම පාරට බැස්සේ මෙම බුද්ධි මණ්ඩපයේ මහාචාර්යවරුන් මිස ජාතික ජනබලවේගයේ විද්වතුන් හෝ වෙනත් අය හෝ නොවේ. එදා කොතලාවල පනතට එරෙහිව බුද්ධි මණ්ඩපය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය වළක්වාලීමට වසංගතයට මුවා වී කොළඹ කොටුව උසාවිය මගින් බුද්ධි මණ්ඩපයේ සභාපතිවරයාට එරෙහිව වාරණය නියෝගයක් ලබාගැනීමට පොලීසිය උත්සාහ කළේ ආණ්ඩුවේ නිරුවත ප්‍රදර්ශනය කරමිනි. ගෝඨා ගෝ සටන්පාඨය නිර්මාණය කරමින් සමගි ජනබලවේගය ආරම්භ කළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ වු විද්වත් කණ්ඩායම අන් කවරක්වත් නොව බුද්ධි මණ්ඩපයයි. එක රැයින් රටම කාබනික වගාවට තල්ලු කරමින් කෘෂිකර්මාන්තය විනාශ කරන විට එයට එරෙහි වුයේ බුද්ධි මණ්ඩපය මිස වෙනත් විද්වත් කණ්ඩායම් නොවේ. වැරදි හා මුග්ධ තීරණ හමුවේ රට කඩාවැටෙන විට රට බංකොළොත් වීමට මත්තෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා වෙනත් ජාත්‍යන්තර සහයෝගය ලබාගත යුතු බවට යෝජනා ඉදිරිපත් කළේ එම බුද්ධි මණ්ඩපය මිස අද මයික් ඉදිරියේ කෑමොර දෙන මුහුණු පොතේ හා වෙනත් සමාජ මාධ්‍යවල පිටු ගණන් පුරවන විද්වත් කණ්ඩායම් හෝ වෙනත් ස්වාධීන යැයි කියාගන්නා තමන් ප්‍රබුද්ධ යැයි කියා ගන්නා ආචාර්ය මහාචාර්යවරුන් නොවේ.

එදා එසේ ආචාර්ය මහාචාර්යවරුන් 18 දෙනෙකුගෙන් ආරම්භ වු බුද්ධි මණ්ඩපය අද වන විට සාමාජිකයන් 1200ක් ඉක්මවා ගිය දැවන්ත සංවිධානයකි. මෙරට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් විවිධ තරාතිරම්වල විවිධ හැකියාවන්ගෙන් යුතු ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් විද්වතුන්ගෙන් බුද්ධි මණ්ඩපය සමන්විතය. පසුගිය අප්‍රේල් 7 වෙනිදා ෂැංග්‍රීලා හෝටලය පිරිඉතිරී ගොස් තිබුණේ මෙම ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් හා විද්වතුන්ගෙන්ය.

එදා එම විද්වතුන් රොදබැද පැමිණියේ වියත්මග ආකාරයේ අන්ධභක්තික දේශපාලනයක නිරත වීමට නොවේ. ඇතැම් අය කියන ආකාරයේ අධ්‍යාත්මික නායකයෙකු බිහිකිරීමට ද නොවේ. රාජපක්ෂ වික්‍රමසිංහවරුන් නැතිබංගස්ථාන කර ඇති මෙරට දේශපාලන සමාජ ආර්ථික දේහය නැවත ගොඩනැගිය හැකි එවැනි හැකියාවක් ඇති නායකත්වයකට හා කණ්ඩායමකට බුද්ධිමය ශක්තිය ලබාදීමටත් රට ගොඩනැගිය හැකි නුවණ ඉන්දියානු සහ සිංගප්පුරු අත්දැකීම් තුළින් හඳුනාගැනීමටත්ය. අද ජාතික ජන බලවේගය, එජාපය, පොහොට්ටුව වැනි පක්ෂවලට ආවඩන කණ්ඩායම් හා පුද්ගලයන්ට බුද්ධි මණ්ඩපය වහකදුරු වි ඇත්තේ ඒ නිසාය. රටේ දේශපාලන යථාර්ථය තේරුම්ගැනීමට තරම් මුහුකුරා නොගිය බුද්ධියක් ඇති ඇතැමුන් කියන ආකාරයට බුද්ධි මණ්ඩපය මෙරට සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකත්වයට සුදුහුණු ගාන සංවිධානයකි, සජිත් ප්‍රේමදාස පුම්බන සංවිධානයකි. වියත්මඟ පාර්ට් ටු සංවිධානයකි. ඇතැමුන්ට අනුව බුද්ධි මණ්ඩපය රනිල් වික්‍රමසිංහ මොඩලයේ ලිබරල් ආර්ථික දැක්මක් ඇති සංවිධානයකි.

බුද්ධි මණ්ඩපය රනිල් වික්‍රමසිංහ මොඩලයේ ලිබරල් ආර්ථික දේශපාලන දර්ශනයක් දේශනා කරන සංවිධානයක් නම් එය නැවතිය යුත්තේ රනිල් ළඟ මිස සජිත් ළඟ නොවේ. බුද්ධි මණ්ඩපය යනු සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයත් සමාජයේ සෑම සියලු දෙනාම ඔසවා තැබිය හැකි එයටම අනුගත ආර්ථික මොඩලයක් අනුව ක්‍රියාත්මක වන ඒ අනුව පක්ෂයට හා නායකත්වයට මඟපෙන්වා දෙන සංවිධානයකි. නව ලිබරල් ගජමිතුරු ධනවාදය ප්‍රතික්ෂේප කොට රටට සමාජයට ගැළපෙන ආකාරයට වෙළෙදපොල ආර්ථික ක්‍රමය ප්‍රතිසංවිධානය හා ප්‍රතිසංස්කරණය කොට ග්‍රාමීය ආර්ථිකය හා සුලු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ඔසවා තබමින් දේශීය හා ගෝලීය ආර්ථිකය අරමුණු කරගත් භාණ්ඩ නිෂ්පාදනය මුල් කරගත් නිෂ්පාදන ආර්ථිකයක් බවට මෙරට ආර්ථිකය පත් කිරීම බුද්ධි මණ්ඩපයේ ප්‍රතිපත්ති දැක්මය. වංචා දුෂණයෙන් තොර ක්‍රියාශීලි පරිපාලනයක් හා ජනතාව රැකබලා ගන්නා රාජ්‍යයක් නිර්මාණය කිරීමය. ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කළ සහ අනුර කුමාර විශ්වාස කරන පරිදි මෙරට දේශපාලනය ආර්ථික සමාජය එක රැයකින් උඩු යටිකුරු කරන ක්‍රම වෙනසක් මඟින් නිර්මාණය කරන සිහින ආර්ථිකයක් පිළිබද විශ්වාසයක් බුද්ධි මණ්ඩපයට නොමැත. අප විශ්වාස කරනුයේ සමාජ යුක්තිය, සමාජ යහපත සහ සමාජ සාධාරණත්වය උදෙසා මෙහෙය වන සහ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමයක් ක්‍රමයෙන් නිර්මාණය කෙරෙහි පමණි.

බුද්ධි මණ්ඩපය වියත්මඟ පාර්ට් ටු බවට කෙසේවත් පත් වුයේ හෝ පත් වන්නේ ද නොමැත. බුද්ධි මණ්ඩපය එහි ආරම්භක සාරධර්ම හා සංකල්ප අදටත් ආරක්ෂා කර ගෙන ඇත. ඒවා ඉදිරියටත් ආරක්ෂා කරගනු ඇත. බුද්ධි මණ්ඩපය පුද්ගල ප්‍රපංච දේශපාලනය මුල සිටම ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්ති කේන්ද්‍රීය සංවිධානයකි. තානාත්තර වරදාන වරප්‍රසාදවලට එම සාරධර්ම හා සංකල්ප පාවාදීමට කිසිම අවස්ථාවක බුද්ධි මණ්ඩපයේ හර කණ්ඩායම කටයුතු කර නොමැත. එහි පිරිවැය කුමක් වුවත් එය ඉදිරියටත් එසේම වනු ඇත. බුද්ධි මණ්ඩපය කිසිම විටක ඡන්ද අරමුණු කරගනිමින් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය කුලවාදය අවුස්සමින් මෙරට ජන කණ්ඩායම් අතර වෛරය වපුරන සංවිධානයක් බවට පත් වුයේ නැත. එය ඉදිරියටත් එසේ වන්නේද නැත. බුද්ධි මණ්ඩපය තම වාසිය උදෙසා ජනතාව රැවටීමට මුළා කිරීමට සත්‍ය වසන්කිරීමට යුක්තිය අයුක්තියෙන් යටපත් කිරීමට කටයුතු කර නොමැත. බුද්ධි මණ්ඩපය කිසිම අවස්ථාවක දේශපාලන නායකත්වයේ ඉපියාව (mouth piece) බවට පත් වී නොමැත. එය ඉදිරියටත් එසේම පවතිනු ඇත. මේ දක්වා ආ ගමන්මඟේ සජබය හා සජිත් ප්‍රේමදාස සමඟ බුද්ධි මණ්ඩපය අතර වාද විවාද සංවාද සිදු වුනා මිස බුද්ධි මණ්ඩපය කේවට්ටයන් බවට පත් වුයේ නැත. එය ඉදිරියටත් එසේම වනු ඇත.

බුද්ධි මණ්ඩපය සජිත් ප්‍රේමදාස සමඟ එකතු වුයේ ඔහු සතු නායකත්ව ගුණාංග සහ බලයට පෙර ජනතාව (people before power) තබන ගුණාංගය නිසාය. එවැනි ගුණාංග ඇති නායකත්වයකට සුදුහුණු ගෑම අවශ්‍ය නැත. එවැනි නායකත්වයක් පිම්බිමට අවශ්‍ය නැත. බුද්ධි මණ්ඩපයට කළ යුතුව තිබුණේ අවශ්‍ය දැනුම හා උපදේශනය තුළින් එම නායකත්වය ඔපමට්ටම් කිරීම පමණි. එය ඉදිරියටත් සිදු කරනු ඇත.

අප්‍රේල් 7 දින පැවති සමගි බුද්ධි මණ්ඩපයේ ජාතික සම්මේලනය හා ප්‍රතිපත්ති සංවාද මණ්ඩපයෙන් පසු බොහෝ දේශපාලන පක්ෂවලට අයත් විද්වත් සංවිධාන පුද්ගල වියතුන් යුටියුබ් නාලිකාකරුවන් සලිත වී ගොස් ඇත්තේ ඒ මඟින් සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනඟන නුවණ කරළියට බැසීම නිසාය. තම පොදු හා පෞද්ගලික වගකීම් මධ්‍යයේ සියලු දුෂ්කරතා විඳගනිමින් යාපනයෙන් රජරටින් නැගෙනහිරෙන් රුහුණෙන් වයඹින් ඌවෙන් පේරාදෙණියෙන් සිය දහස් ගණනින් ආචාර්ය මහාචාර්යවරුන් සහ විද්වතුන් බුද්ධි මණ්ඩපයට ශක්තියක් වීමට සජිත් ප්‍රේමදාසට ජවයක් වීමට කොළඹට පැමිණීමට තීරණය කිරීමම මෙරට දේශපාලනයේ අලුත් හැරවුමකි. විවිධ දුෂ්කරතා මධ්‍යයේ දුරකතර ගෙවා ආචාර්ය මහාචාර්යවරුන් විද්වතුන් පැමිණියේ දේශපාලන නායකත්වයකට සුදුහුණු ගෑමට නොව රටට සෙත සැළසෙන වැඩපිළිවෙලට ධෛර්යයක් වීමට සහ දේශපාලනයෙන් විනිර්මුක්ත වු ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීමේ අඩිතාලම දැමීමටය. බුද්ධි මණ්ඩපයේ මෙම ප්‍රතිපත්ති සාකච්ඡා මණ්ඩපය ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට මේ වන විට සැලසුම් කර හමාරය. ඒ තුළින් විද්වතුන් ඇතුළු බහුතරයකට මෙම නව ප්‍රතිපත්ති සාකච්ඡා හා සම්පාදන ක්‍රියාවලියට දායකවීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එය නව දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ නිර්මාණය කිරීමට දායක වනු ඇත. ධනවාදි පැළැන්තියේ අවශ්‍යතාවට නොව ජනතාව පැත්තේ සිට දේශපාලනය කරන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. එම ජනතාවාදි දේශපාලන ප්‍රවේශය රට ගොඩනඟන නුවණ වන බවත් එය නියත වශයෙන්ම මෙරට ගොඩනැඟිය හැකි දේශපාලන නායකත්වය තෝරාගැනීමට ජනතාවට උපකාරි වනු ඇත.

*මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, සභාපති, සමගි බුද්ධි මණ්ඩපය

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.