19 April, 2024

Blog

පාස්කු කොමිසම් වාර්තාවෙන් ඔබ්බට….

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

මෑතදී ජනාධිපති කොමිසම් වාර්තාවන් දෙකක් ජනාධිපතිතුමන්ට භාරදීමෙන් පසු දේශපාලන බලධාරීහු ඒවා සමාජගත කිරීමේ ප්‍රමාද විවේචනය කළහ. රජය වෙනුවෙන් කරුණු දක්වන්නෝ වාර්තා පිලිබඳව ඉවසිලිමත්වන ලෙසත් පැවසූහ. අතරතුර පාස්කු වාර්තාව කලඑළිදැක ඇත.  

ජනාධිපති කාර්යාලය වාර්තාවේ පිටපත් පූජ්‍යපාද මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට හා කාදිනල්තුමන්ට භාරදුනි. කාදිනල්තුමන් දැඩි ඉල්ලීමක් කළ හෙයින් මුලින්ම එතුමාට දුන්නේයයි විවේචනයෙන් මිදීමට නම් මහනායක ස්වාමීන් වහන්සේලා වාර්තාව ඉල්ලා නැතත් එතුමන්ට වාර්තාව භාරදීම අනීවාර්යම වේ. නාස්තිකව සිද්ධිගත ඉස්ලාමීය බැතිමතුන්ගේ ආගමික නායකයින් මෙහිදී අමතක වුසේය. ඉස්ලාම් භක්තිකයින් අධිකරණයට ගෙනයතියි ප්‍රසිද්ධියට පත් නොවීම නිසා ඉස්ලාම් පූජකයන්ට වාර්තාව දීම අනවශ්‍ය වුවාද විය හැකිය. අප තවම වාර්තාව දැක නැත. එහෙත් අසා ඇති දෑ අනුව ඉස්ලාම් ආගමික නායකයින් වාර්තාව අධ්‍යයනය කිරීම සුදුසුය.   

ජනාධිපතිතුමන් පාස්කු කොමිසම් වාර්තාව අධ්‍යයනයට ඇමති කණ්ඩායමක් පත්කර ඇත.  බැඳුම්කර කොමිසම් වාර්තාව ලද පසු ආගමික නායකයින්ට භාර නොදුන් අප ගත් පියවර මෙම ක්‍රියාදාමයෙන් වෙනස් නොවේදැයි සිහිපත් වූ හෙයින් අප අත්දැකීම පාඨකයන් සමග බෙදාගැනීම මැනවයි සිතුනේ ජනපති ප්‍රවේශය ප්‍රශ්නාභිමුඛයට නොවේ. පූර්වගාමික ජනාධිපතිගෙන් වෙනස් ක්‍රියාමාර්ගයක් ලෙස පෙනෙනු හෙයිනි. කොහොමත් එදෙදෙන දෙදෙනෙකි! එමෙන්ම මෙම ලිපියේ තාක්ෂණික නම්බුරුවකියි විවේචනය විය හැකිය. එසේය, එය තාක්ෂනිකය. තාක්ෂණික නොවීමේ අයහපතම සලකා කවුරුන් හෝ තාක්ෂණික ගතිකයන් පැවසියද යුතුය.  

මෙහිදී රජයන්, ජනාධිපහිවරුන්, ජනාධිපති ලේකම්වරුන්, නීතිපතිවරුන්, දේශපාලන  කථිකයින් ආදී නළුවන් වෙනස්වීම නිසා රංගනයද වෙනස්වීම සාධාරණයයි යමෙකු කිවහැකිය. එසේවුවද, සම රාජ්‍ය ක්‍රියාමාර්ග මත සම්ප්‍රදායන්, පූර්වාදර්ශයන්, නෛතික ව්‍යවහාරයන් ආදීන් රැකීම කවුරුන් කුමන නිල දැරුවත් තිරසාර බව සදහා අවශ්‍යවේ.   

බැඳුම්කර වාර්තාව හා පසුවිපරම  

2017 දෙසැම්බර් මස 30 දිනබැඳුම්කර වාර්තාව මෛත්‍රීපාල  සිරිසේන ජනාධිපතිතුමන්ට විනිසුරු කේ ටී චිත්‍රසිරි විසින් බාරදෙන ලදී. දැන් මෙන්ම එකලද මාධ්‍යය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනීවාර්යයෙන්ම දේශපාලන වාසි උරගෑමට බැඳුම්කර වාර්තාවේ කොටස් සඟවා සිටිතැයි රජයට චෝදනා කළහ. මෙවරද ජනාධිපතිතුමා ඇමති කමිටුවක් පත්කළේ වාර්තාවේ කොටස් ඉවත් කිරීමේ අභිලාෂයෙන්යයි පුවත් මවති. උදාහරණයට, රන්ජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා වාර්තාව නිලධාරියෙකු විසින් වෙනස්කර ඇතියිද චෝදනා කරයි. 

එකලද, මෙකලද දැකිය හැකි සාම්‍යයක් වනුයේ වාර්තා පිටපත් හා අදාළ සියලුම ලේඛන අවශ්‍ය කෙනෙකුට වහාම ලැබිය යුතුයි මතයේ එල්බීමය. එවකට විරුද්ධ පක්ෂයේ සිටි, දැනට අමාත්‍යධුර හොබවන සමහරු එකල දැඩිව මේ ඉල්ලීම් කළහ. ඔවුන් සමහරු පසුගියදා ඊට ප්‍රතිවිරුද්ධව ප්‍රමාදයට අලගු තැබූහ. එකල රජයේ සිටි බලධාරීහු මෙකල වාර්තාව ඉක්මනින්ම ඉල්ලූහ. දෙගොල්ලම දේශපාලනඥයෝය.      

වාර්තා පිටපත් තුනක් සිරිසේන ජනාධිපතිතුමාට භාරදුනි. එකපිට එක තැබූ පිටපත් තුනෙහි පින්තූර මාධ්‍යයේ පලවීමෙන් වාර්තාව සත්‍ය ප්‍රමාණය මෙන් තුන්ගුණයක් ලෙස පාඨකයින් මනසෙහි සැකයක් බිහිකළේය. වාර්තා කොටස් ජනාධිපති කාර්යාලය විසින් සඟවා සිටිතියි අදහසක් අලෙවි කෙරුණි. ‘රජයේ දුෂණ ඔප්පුවන වාර්තාව සඟවා ඇත’ ආකර්ශනීය පුවතක් හෙයිනි. අදද මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමා කරන්නේද එයමයි.   

අපි වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මකයට හා නෛතික උපදෙ ස්සඳහා වාර්තාව වහාම නීතිපතිට යැවූවෙමු. මෙවරඑයටසාපේක්ෂවදිගු කලක්ග තවීය. එහෙත්, ගෝටාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට සාධාරණයට කිව යුත්තේ ඉක්මන්පි යවරගැනීමට එතුමා නිදහස්දින උළෙලේදී ප්‍රකාශකිරීමය.  

නීතිපතිතුමා වාර්තාව මුලිකව හදාරා 2018 ජනවාරි 8 දින දැනුම් දුන්නේ වාර්තාවේ නිර්දේශ අදාළ නීති හා ක්‍රමවේද අනුව, අදාළ ආයතනයන් විසින් නිසි පියවර ගැනීමට, වාර්තාව හා අනික් අදාළ ලේඛන එකී ආයතනවලට ලැබෙන්නට සැලැස්විය යුතුබවය. අදවනතුරු නීතිපතිගෙන් පාස්කු කොමිසම් නිර්දේශ ගැන නියමයක් වාර්තාවීද? ජී එල් පීරිස් ඇමතිතුමාට අනුව (අයිලන්ඩ් පුවත්පත 3/3/2021) ජනාධිපතිතුමා පත්කළ අමාත්‍ය කමිටුව ඉදිරි කටයුතු කරන අන්දම පිළිබඳව නිර්දේශ හා උපදෙස් රජයට දෙනු ඇත. යහපාලන රජය මෙය ඉටුකරගත්තේ රජයේ නීති නියෝජිතවූ නීතිපතිගෙනි. දැන් ඇමතිවරු එය කරති. කාලීන වෙනසකි.

අද තත්ත්වය තවත් වෙනස්වී ඇත. ලේඛන වෙළුම් 87 කින් 22ක් ආරක්ෂක හේතු මත නීතිපති වෙත නොදීමට කොමිසම උපදෙස්දී ඇතිබවද පීරිස් ඇමතිතුමා පවසයි. කිසිසේත් මෙය කොමිසම විසින් නිර්දේශ කරනු ඇතියි නොසිතමි. මෙය සත්‍ය නම් කොමිසම ජනාධිපතිවරයාගෙන් ලද අධිකාරයෙන් බැහැරව ඇතියි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙහිදී මා යැපෙන්නේ ජී එල් පීරිස් ඇමතිතුමාගේ ප්‍රකාශය මත පමණි.

කොමිසමට අධිකාරය දුන් අංක 2141/88 (2019.09.21 දිනැති) අතිවිශේෂ ගැසට්ටුවේ 3A පිටුවේ අංක 11 අයිතමයම බලමු.  

 “11. ඉහත කී වැරදි සිදුකළායයි කියනු ලබන තැනැත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සලකා බැලීමට නීතිපතිවරයාට හැකිවන පරිදි විමර්ශනයට හා පරීක්ෂණයට අදාළ සාක්ෂි නීතිපතිවරයාට ප්‍රේෂණය කිරීම”  

මේ තමා කොමිසමෙන් අපේක්ෂිතය. සියලුම සාක්ෂි ලේඛන – රහස්‍යවුවද, නොවුවද – එසේ ප්‍රේෂණය කළයුත්තේ ‘විමර්ශනයට’ හා ‘පරීක්ෂණයට’ය. චූදිතයන්ට ‘අපරාධ නඩු පැවරීමට සලකා බැලීමටය. එය ගැසට්ටුවේ 10 අයිතමයද තහුවුරු කරයි. ලේඛන ප්‍රේෂණය නොවුනොත් විමර්ශන හා පරීක්ෂණ සිදුනොවේ. එනිසා නඩු නොපැවරේ. කොමිසමට අවශ්‍යවනු ඇත්තේ නඩු පැවරීමය. එහෙත්,  යම් සිද්ධීන් හෝ පුද්ගලපාදක විශේෂකරණයකට මෙය මග පාදා ගැනීමක්දැයි සැකයක් ඇතිවේ. එය වින්දිතයින් රජයට එරෙහිකර රජය හා ජනාධිපති අසීරුවට පත්කරනු ඇත. 

රටේ ආරක්ෂාවද අත්‍යවශ්‍යවේ. ඊට උපාය මාර්ග සොයාගැනීමට ජනාධිපතිතුමා පොහොසත් බව අපි අදහස් කරමු. එතුමා මැතිවරණ ව්‍යාපාරවලදීද අදද පවසන්නේ ඊට එතුමාට ඇති විශේෂඥතාවයයි.   

මෙකියන ආරක්ෂක හේතු මොනවාදැයි නොදනිමු. එහෙත්, මෙවැනි රහස්‍ය ලේඛන භාවිතය පිළිබඳ  පූර්වාදර්ශ අත්දැකීමෙන් දක්වත හැකිය. බැඳුම්කර කොමිසමේ වාර්තාවේ 4 පිටුවේ “ඇමුණුම II” සමහර ලේඛන “රහස්‍ය” ලෙස සලකන බව මහබැංකුව කොමිසමට උපදෙස්දී ඇති හෙයින්, ජනතාවට ප්‍රසිද්ධ නොකළයුතු ලේඛන ගැන මහබැංකුවේ අදහස් ලබා ගැනීමට කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත. ඒවා ජනාධිපතිකාර්යලයෙන් බැහැරට නොයවන ලෙස නිර්දේශ නොවීය. ඉන් ගම්‍යවන්නේ ඉදිරි පියවර ගන්නේනම් මහබැංකුවේ අනුදැනුම හෝ කොන්දේසි මත එම තොරතුරු රහස්‍යව ප්‍රයෝජනයට ගත හැකිබවයි. 

ආරක්ෂක හේතුද එසේම උචිතව පරිශීලනය කළ හැකිය. කෙසේවුවද, නීතිපතිටද සඟවා රජයක් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ක්‍රමවේදය ඉගෙනීම නම් උචිතය. එය මතුවට නීති අධ්‍යාපනය සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. කෙසේවුවද, මෙම පූර්වාදර්ශය ඕනෑම අපරාධකරුවෙකු, දූෂිතයෙකු අධිකරණයක් නොවන කොමිසමක නිගමනය යටතේ වහංගු කිරීමට ඉඩ සලසන හෙයින් භයානයකය. 

අනික් අතට කොමිසම් නිර්දේශ දේවභාෂිත නොවේ. සංශෝධිතව පූර්වාදර්ශ මත ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාට හැකිය. අනික් අතට කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ පළපුරුද්ද රජයන්ට ඇත. උගත් පාඩම් කොමිසම හොඳම උදාහරණයකි! අනික් අතට පීරිස් ඇමතිතුමාම පවසා ඇති අන්දමට මෙම වාර්තාවේ අඩුපාඩු තිබුනද ඉවත දැමිය නොහැකිය. ලේඛන නීතිපති සමග බෙදා නොගැනීම එවන් අඩුපාඩුවක්දයි නොදනිමි!        

2008 අංක 16 පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධිත පනතේ) චේද 26 යටතේ නීතිපතිට කොමිසමෙන් සියලුම ප්‍රකාශ, ලිපිලේඛන, අන් ද්‍රව්‍ය ඉල්ලා සිටීමට හැකිය. ඒවා ඔහුට භාර දීම අනීවාර්යය. දැන් කොමිසම අවසන්වී ඇති හෙයින් පරීක්ෂණ පවත්වා නඩු  පවරන්නට නම් එකී දේ භාරව සිටින ජනාධිපති ලේකම් කාර්යාලය ඒවා නීතිපතිට දිය යුතුයි නීතිපති තර්ක කරනු ඇත. එවන් සියලුම ලේඛන ලේඛනාරක්ෂක පනතේ 11 වගන්තිය යටතේ රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට මාස තුනක් තුල භාරදිය යුතුය. (එවන් එක වාර්තාවක් හා ලේඛන වරෙක එසේ භාරනොදීම පූර්වාදර්ශයක් ලෙස රජය නොසලකනු ඇතියි සිතමි.) 

නීතිපතිටත්,  දෙපාර්තමේන්තුවටත් මෙය යහපත් චරිත සහතිකයක්ද නොවේ. තවද, මෙම ක්‍රියාදාමය නිසා දේශපාලනික හෝ පෞද්ගලික හිතවාදීන් බේරාගැනීමට වක්‍රව ඉඩ සලසතයි පාර්ලිමේන්තුවේදී රජය චෝදනාවකට ලක්වනු නියතය. පුද්ගල අගතීන් නිසා මේවන් තත්ත්වයක් උද්ගතවී ඇත්ද ලෙස සැකකරනු ඇත. මෙවැනි අදහසක් ඇමති කමිටුව සමගින් දැනටමත් ජනගතවී  ඇත. නීතියේ ස්වාධිපත්‍ය ගැන නොයෙක් වේදිකාවල අන්තර්ජාතිකවද සඳහන්වන අවදියක මෙසේ ක්‍රියාකිරීම උපායමාර්ගිකවද නොහොබිනා කරුණකි.    

අමාත්‍ය කමිටුවට මේ තහනම් ලේඛන දකින්නට ලැබේදැයි නොදනිමු. ලැබුනත්, නීතිමය සංකූලතා අධ්‍යයනයට ඔවුන්ගේ හැකියාව ප්‍රශ්නාභිමුඛ වේ. කාදිනල්තුමා එය ඉතා හාස්‍යජනක අන්දමින් ප්‍රකාශකර ඇත. උන්වහන්සේ වැරදියයි කිසිවෙක් නොකියයි. කෙසේවුවද, ඔවුන් “නිර්දේශ හා උපදෙස් දෙන හෙයින්” අධ්‍යයනය නොකළ සාක්ෂි මත පිහිටා ගන්නා නෛතික පියවර කුරුවල්වනු නියතය. නීතිකෘත්‍යයන් අසාර්ථකවීම නියතය. නීතිය ක්‍රියාත්මක කිරීමේ විධිමත්භාවය බිඳවැටීමටද ගැටලුවකි. විධිමත්භාවය බිඳවැටීම පාස්කු ප්‍රහාරයට හේතුවීයයි ජනමතයකි. එය නොමැකිය හැකි ලෙස සනිටුහන්වී ඇත. අපි නැවතවරක් එයම ප්‍රතිරාවයේ පාපකාරී ඉමට ඇවිත්ද?  

එකල, නීතිපති උපදෙස් මත 2018 ජනවාරි 10 දින වාර්තාවේ පිටපතක් මහ බැංකුවේ අධිපති හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්ට භාරදුනි. වාර්තාවෙන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළයුතුයයි යෝජිත විශේෂ නිර්දේශ, අදාළ නීති හා ක්‍රමවේද අනුව ඉටුකරන බව නීතිපති මට 8/1/2018 දින දැනුම් දුනි. එමගින් අපේක්ෂා කළේ නීතිපති හා අන් ආයතනික ශක්තීන් තහුවුරු කිරීමයි. ලේඛන තහනම්ව, එදා මෙන් ක්‍රියා කිරීමට හැකියාව නීතිපතිට හැකිදැයි සැකයකි. එවිට අපරාධකරුවන් පලාහැර යනු ඇතැයි තර්කයක් එවිට ගොඩනැගේ.

මෙවැනි වාර්තාවක් එළිදැක්වුණු පසු ඇතිවන දේශපාලන ‘හදිස්සිය’ 2018 ජනවාරි 9 දින පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ ලේකම්, වාර්තා පිටපත් 26 ක් හා ‘බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද , බලය හා අධිකාරය අනිසි ලෙස භාවිතාකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ’ වාර්තා පිටපත් 34 ක් 2018-ජනවාරි 10 දින පෙරවරු 9.30 ට පෙර එවන ලෙස ඉල්ලීමෙන් පෙනුනි. ගතයුතු පියවර පිලිබඳව විධිමත් ක්‍රියාදාමයක් ලෙස ලද නීතිපති උපදෙස වුයේ “වාර්තා නිකුත් කළ හැක්කේ ජනාධිපතිතුමාගේ අභිමතයට යටත්ව” බවයි. ජනාධිපතිතුමාගේ උපදෙස පරිදි 2018-1-17 දින වාර්තා පිටපත් 26 ක් පාර්ලිමේන්තුවට ලබා දුනිමි. මෙවර මෙන් විපක්ෂය උගුර ලේවනතුරු මොරගෑමෙන් පසුව නොවේ!  

වාර්තාව දේශපාලනීකරණය වීම සමරූපීව එකලද වීය. ඒ බව සභානායක ලේකම්ගේ 2018-1-11 දින ඉල්ලීම්වලින් පෙනේ. එනම්:

1. පාර්ලිමේන්තුවට සභාගත කරන වාර්තා භාෂාත්‍රයෙන්ම විය යුතුය. 

2. භාෂාත්‍රයෙන් සකස් කරන ලද බැඳුම්කර කොමිසමේ වාර්තා පිටපත් 50 හා සංයුක්ත තැටි 350 ක් ලබාදිය යුතුය. 

3. බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා 34 සහ අවසන් ප්‍රධාන වාර්තාවේ භාෂාත්‍රයෙන් සකස්කරන ලද පිටපත් 50 බැගින් හා පීඩීඑෆ් අනුසාර සංයුක්ත තැටි 350 ක් ලබාදීම.

වාර්තාවේ සියලු ඇමුනුම් ඉදිරිපත් කරන ලෙස විශාල ඝෝෂාවක් වීය. බැඳුම්කර කොමිසමේ වාර්තාවට අදාළ ඇමුණුම් මා වෙත ලැබුනේ 2018-1-11 දිනය. එය I, II, IV  හා V කොටස් ලෙසය. අංක III ඇමුණුමක් නොමැතිවීමද ජනාධිපති කාර්යාලයේ සැලසුම් සහගත කරුණු වසන්කිරීමක් ලෙස අර්ථකථන වීය. මට කෙදිනවකවත් III ඇමුණුමක් නොලැබිණි. 

අප ලද ලේඛන සියල්ලම නීතිපතිට ඉදිරිපත් කළද මෙවර වෙළුම් 22ක් ඉදිරිපත් නොකරති. එහෙයින් විපක්ෂය අවදියෙන් සිටීනම් පසුගියවරවූ ඝෝශාව පාර්ලිමේන්තු ගැබ දෙදරවනු ඇත. මේ නිසාම මා පාර්ලිමේන්තුවට කැඳවිය යුතුයි අද දෙටු ඇමතිධුර දරන්නෝ එදා ගෝරනාඩු කළහ. එදා නිසලව සිටි ඇමතිධුරධාරීන්ට වත්මන් ජනාධිපති ලේකම් පාර්ලිමේන්තුවට කැඳවිය යුතුයි ගෝරනාඩු කළ හැකිය. එහෙත් සාධාරණ හේතු දක්වා මම එහි නොගියෙමි. ආචාර්ය පී .බී ජයසුන්දරද “ආරාධනය” ලදොත් මා අනුගමනය කරනු ඇතැයි සිතමි!      

නීතිපතිගේ අත්‍යවශ්‍ය භූමිකාව  

නීතිපති කොමිසම් වාර්තා පිළිබඳව දැඩි මෙහෙයක් ඉටුකරයි. නීතිපති, කොමිසම් වාර්තා ලිපිලේඛන හා භාණ්ඩ නිදහස් කිරීම පිලිබඳව කළ විමසීමට උපදෙස් දුනි. එය පාස්කු සිද්ධිය පිලිබඳව පාර්ලිමේන්තුවේත්, පිටතත් ගෝරනාඩු නිසා, කලබල නොවී, ඉදිරි නීතිකෘත්‍ය නිරවද්‍යව ඉටුකර ගැනීමට සහායට වලංගුයයි සිතා කෙටියෙන් ඉදිරිපත් කරමි.  

1. තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම් තොරතුරු නිදහස් කිරීමට අවසර නොදෙතත්, ජාතික වැදගත්කමින් යුත් කාර්යයකදී තොරතුරු ප්‍රතික්ෂේප කළ නොහැකි බව.  (වින්දිත ප්‍රකාශ අනුව මෙම නිර්නායකය භාවිතයට කෙනකු උත්සුක විය හැකිය. රහස්‍ය වූවද ‘ජාතික වැදගත්කම’ ප්‍රමුඛ කරගෙනය.)  

2. පාර්ලිමේන්තුව ලිපි ලේඛන ඉල්ලා සිටින්නේනම් නිදහස් කිරීමට පෙර පහත සඳහන් කරුණු කෙරෙහි පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ අවධානය ලක්කිරීම සුදුසුය. 

(අ) වාර්තාවේ අඩංගු කරුණු පදනමින් අපරාධ/ සිවිල් නීතිකෘත්‍යන් කිරීමට නීතිපති හෝ අන් ආයතනයන් ක්‍රියා කිරීමේදී ගන්නා පියවරවල් වලට අගතියක් ඇතිවීමට ඇති ඉඩකඩ.

(ආ) වාර්තාවේ යොමුකර ඇති ලේඛනවල අඩංගු සංවේදී තොරතුරු අදාළ භාණ්ඩගාර බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ හෝ නැති හෝ තුන්වැනි පාර්ශවයකගේ හෝ අයිතීන්ට බලපෑමට හැකිවීම 

(ඇ) දැනට නොයෙක් ආයතන මගින් කරගෙන යන පරීක්ෂණ හා අනතුරුව ගන්නා  නීතිමය ක්‍රියාමාර්ගවලට, ලේඛන අන්තර්ගතයන් ප්‍රසිද්ධියට පත්වීමෙන් වියහැකි අගතීය

(ඈ) මේ මගින් තොරතුරු ජනතාව අතරට යාමෙන් වැරදි කළවුන් අධිකරණයට ගෙන ඒම සාර්ථකව කරගෙන යාමට බාධකයක් වීම නිසා රජයේ අව්ශ්‍යතාවයවූ වරදකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට  බාධකයක් වීමට හැකියාව.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද යම් අපරාධ පිළිබඳව පරීක්ෂණ කිරීම හා නඩු පැවරීම පිළිබඳව අගතියක් ඇතිවීම හුවා දක්වා තිබුණි. අදද කොමිසම් වාර්තාව අනුව නීති කෘත්‍යයන් ඇරඹීමට ප්‍රකාශ ඇසෙන හෙයින් දැනට අග විනිසුරුවන, එකල නීතිපතිතුමාගේ මාර්ගෝපදේශ සැලකිල්ලෙන් අධ්‍යයනය හා භාවිතය මැනවි.  

මේ අතරතුර මගේ මතකයේ හැටියට දේශපාලනිකවත්, සමාජ මාධ්‍යයෙනුත් ‘සී-350 – සී 360’ නම් කොමිසම ඉදිරියේ සඳහන් වූ සාක්ෂි මුලයක් ගැන තදබල ප්‍රසිද්ධියක් ලැබුණි. මේ ඉල්ලීම ලදවිට අපි නීතිපති උපදෙස් / එකඟතාවය පැතුවෙමු. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සමහර අනිත් පාර්ශවවද කොමිසමෙන් සමහර ලේඛන ඉල්ලන බවටත් මා දැනුවත් වීය. මෙවැනි ගැටළු අදද සිදුවිය හැකිය. වෙළුම් 22ක් නීතිපතිට නොයැවීමම මෙවන් ඉල්ලීම්වල භාරදූරත්වය සඥා කරයි.   

කොමිසමේදී නීතිපති නියෝජිතවූ යසන්ත කෝදාගොඩ සූක්ෂ්ම පරීක්ෂාවෙන් පසු 2018 ජුනි 4 දින සී 350 ලේඛනය ගැන දුන් අවසන් නියමය වුයේ එය රහස්‍ය ලේඛනයක් නොව, එමෙන්ම පවත්වන පරීක්ෂණ ආදියට බලපෑමක් නොවන බවය. එසේ නීතිපතිගේ මැදිහත්වීම, යෝජිත අමාත්‍ය කමිටු මැදිහත්වීමකට වඩා උචිතය.     

අවසන් වශයෙන් නීතිපති 2018 ජුනි 19 දින තොරතුරු කළමනාකරණය ගැන නිශ්චිතවම ප්‍රකාශ කළේය. සාරාංශව ඒවා සටහන් කරන්නේ, මෙම උපදේශන, විවේචකයින්ගේ චෝදනා නිසා සැලී ක්‍රියාකිරීමෙන් වියහැකි අවනීතිය වලක්වා ගැනීමට යොදාගැනීමටය. නීති ක්‍රියාදාම ගැන ගැඹුරින් නොසිතා, දේශපාලන ප්‍රමුඛතා කරපින්නාගෙන අගතිගාමීව ක්‍රියාත්මක කිරීම කොමිසමේ නිර්දේශ පරිදි ප්‍රශ්නාභිමුඛයන්ට වක්‍රව උපකාරීවීමේ උනන්දුවෙන් කළ ව්‍යායාමයක්යයි එවැනි අවස්තාවලදී කෙනෙකු උපගමනය කළොත් එහි වරදක් නොවනු ඇත. එය විපතට පත්වූවන්ට කළහැකි අපායගතික පාපකාරී ප්‍රතිචාරයකි.  

නීතිපති මෙම ලේඛන කොටස් හතරකට බෙදා එක් එක් කොටසේ තත්ත්වය පැහැදිලිකර, එකිනෙක පිලිබඳව  ගත හැකි විකල්ප නිර්දේශයන්  විශ්ලේෂණයකර තිබුණි.  එනම්:

1. ලේඛන පළමු කාණ්ඩය ලෙස සලකා තිබුනේ කොන්දේසි විරහිතව මහජනතාවට ප්‍රවේශ වීමට ඉඩ නොදිය හැකි ලේඛනය. ඒ ලේඛන නිදහස් කිරීමෙන්:

(අ) දැනට කරගෙන යන අපරාධ පරීක්ෂණවලට 

(ආ) අනාගතයේදී අධිකරණය ඉදිරියට ගෙන යා හැකි අපරාධ නීතිකෘත්‍යන්ට සම්බන්ධ විය හැකි 

(ඇ) රජයෙන් දැනටමත් අධිකරණය ඉදිරියට ගෙන ගොස් ඇති සිවිල් නීති කෘත්‍යන්ට 

(ඈ) අනාගතයේදී අධිකරණයට ගෙන යා හැකි සිවිල් නීති කෘත්‍යන්ට, අගතියක් ඇතිකළ හැකිය. එවැනි දිගු ලේඛන ලැයිස්තුවක්ද ඉදිරිපත් කර තිබුණි. 

මෙම ලිපි ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටීම මැනවයි කතානායකතුමාට පැහැදිලි කරදීම ඔහු යෝජනා කළේය. 

2. කොමිසම ඉදිරියේ පරීක්ෂනයෙදී “රහස්‍ය” ලෙස මහ බැංකුව විසින් ලැයිස්තුගත කොට, එසේ සලකන ලෙස කොමිසමට දැනුම්දුන්, කොමිසම ප්‍රසිද්ධියේ නොතැබූ ලිපිලේඛන දෙවැනි කාණ්ඩය විය. මීට අදාළ ලේඛනද ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණි.

මෙම ලිපි ලේඛන පිලිබඳ මූල්‍ය මණ්ඩලයේ අදහස් විමසා උචිත තීරණයක් ගන්නා ලෙස කතානායකට දැනුම්දී, යම් හෙයකින් මූල්‍ය මණ්ඩලයේ අදහසට පටහැනිව ලේඛන පරීක්ෂාවට ඉඩදීම අවශ්‍යමනම් කතානායකතුමා හෝ පාර්ලිමේන්තුවේ මහලේකම් ඉදිරියේ පරීක්ෂාවට ඉඩදීම සුදුසුයි නිර්දේශ කර තිබුණි.

3. කොමිසම විසින්  බැඳුම්කර වංචාව පිලිබඳව, යම් පුද්ගලයන්ගේ හැසිරීම ගැන පරීක්ෂණයට සබැඳි, ඔවුන් ලකුණු කොට ඉදිරිපත් කළ, ඔවුන් රහස්‍ය ලෙස තැබීමට රුචි ලේඛන තුන්වැනි කාණ්ඩය වීය. 

අදාළ පුද්ගලයන්ගෙන් විමසා, ඔවුන්ගේ අදහස් කතානායකතුමාට දන්වා, එතුමා යම් හෙයකින් අදාළ පුද්ගලයින්ගේ අදහස අභිභවා ක්‍රියාකිරීමට ඉඩදීම අවශ්‍යමනම්, කතානායකතුමා හෝ පාර්ලිමේන්තුවේ මහලේකම් ඉදිරියේ පරීක්ෂාවට ඉඩදීම සුදුසුයි නිර්දේශ කර තිබුණි.

4. උක්ත තුන්විධියටම අයත් නොවන ලිපිලේඛන සතරවැනි කාණ්ඩය වීය.

මේ ලේඛන කිසිම කොන්දේසියක් නොමැතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායකතුමාට ඉඩදීමට හැකිය.

පාස්කු කොමිසම් වාර්තාවේ ඇතුලත්/ සබැඳි මීට වඩා දේශපාලනික හා ආරක්ෂක වශයෙන් සංවේදී, අතිරහස්‍ය තොරතුරු තිබිය හැකි හෙයින් බැඳුම්කර කොමිසමට වඩා භයානක ප්‍රතිපල ඒවාට ඇතිකළ හැකිබව අමතක නොකළයුතුය. එහෙයින් ජනාධිපති කාර්යාලයත්, අන් සියලුම සම්බන්ධිත ආයතනත් නීතිපතිගේ අදහස් නැවත විමසුවද සුදුසුය. මීට අදාළ ලිපිගොනු ජනාධිපති ලේකම් කාර්යාලයේ යම් තැනක දූවිලි වැදෙමින් ඇති හෙයින් ඒවා පිරිසිදු කොට පරිශීලනය අනවශ්‍ය විවේචනයන්ට ගොදුරුවීමෙන් ගැලවීමට උපකාරී වියහැකිය. රටේ ඇති අන් ආර්ථික, සමාජ ප්‍රශ්න යටපත් කර ජනතා අවධානය විතැන් කිරීමට අවශ්‍ය නම් මේ සංවාදයට තව තවත් පොහොර දැමීම උචිතය.  

කෙසේවුවද, 2018 දී අල්ලස් පනතේ 70 වගන්තියට හා පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 24 ඇ වගන්තිය සංශෝධන කර ඇත. පළමුවැන්නෙන් මහේස්ත්‍රාත්වරයෙකු විසින පවත්වනු ලබන ලඝු නඩු විභාගයට “මහාධිකරණය විසින් පවත්වනු ලබන නඩු විභාගයකින්” යන්න සංශෝධනයෙන් නීති ක්‍රියාමාර්ගය වේගවත් කර ඇත. දෙවැන්න පරීක්ෂණ කොමිෂන් සභා නීතියට ‘24ඇ’ අනුව කොමිෂන් සභාව ඉදිරියෙහි සාක්ෂි ලබාදී ඇති තැනැත්තෙකුගේ ප්‍රකාශ අල්ලස් කොමිසම උචිතයි සලකන්නේ නම් නැවත වාර්තාගත කිරීම අනවශ්‍ය ලෙස ප්‍රතිපාදනයෙන් දීර්ඝ ප්‍රකාශ නැවත සටහන් කිරීම මගහැර නඩු වේගවත් කිරීමට හැකිය. පාස්කු කොමිසම් වාර්තාවේ අල්ලස් දූෂණ කොමිසම ක්‍රියා කළයුතුයයි නියම කර ඇත්නම් එහිදී ඉක්මනින් යුක්තිය පසිඳලනු ඇතියි සිතිය හැකිය. 

මුහුණදෙන සංකූලතා 

දැනට මාධ්‍යයෙන් පැහැදිලි කරන්නේ පාස්කු බෝම්බ පිපිරීම 2019-4-21ට දශකයකටවත් පෙර සිට අන්තවාදීන් පෝෂණය නිසාවූ සිද්ධියක් බවය. එසේනම් බැඳුම්කරයේ සිදුවුසේ යහපාලන සමයට සීමිත සාවියක පමණක් පරීක්ෂාවෙන් තෘප්තිමත් විය නොහැකිය.  මෙම කරුණ නැවත නැවතත් ඉදිරිපත්වනු නොඅනුමානය. මහමොලකරුවන්, ඉස්ලාම් අන්තවාදීන් පෝෂණය, අන්තවාදීන් හා සමහර හමුදා නිලධාරීන් ගැන රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය ආදිය දේශපාලන සංකූලතාවයක් තවත් බිහිකරනු ඇත.  

කොමිසම විසින් භාරදෙන සාක්ෂි සටහන් මත පිහිටා මූලික විමර්ශන හා පරීක්ෂණ පවත්වා අපරාධ හෝ දණ්ඩනීති සංග්‍රහය යටතට ගැනෙන වරද පිලිබඳව නීති කෘත්‍යයන් ඇරඹීමට අධිකාරය ඇත්තේ නීතිපතිටය. එයට යම් බාධාවක් දැන් උද්ගත තත්ත්වය යටතේ පැන නැගෙන්නේනම් නව සංකූලතාවයක් ඉදිරිපත්වනු ඇත. ඊට පිළියම් සොයා ගත යුතුවේ.  

අපි බලා සිටිමු!

පාස්කු කොමිසමින් කරණ ලද නිර්දේශ ඉක්මනින්ම නෛතික ලෙස ඉදිරි කටයුතු කිරීමට හැකි නීතිමය මතුව්‍යුහය සකස්වී ඇත. අවශ්‍යව ඇත්තේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලනමය හා නිලමය අභිප්‍රේරණයයි. කවුරුන්හට, කෙසේ නෛතික ක්‍රියාමාර්ග ගතයුතුද යන්න තීරණය කිරීමයි. එමගින් යම් දේශපාලනික විතැන්වීම් වේදැයි තවත් පිරිසක් බලා සිටිති.  

පාස්කු බෝම්බ සිද්ධියේ මහමොලකරුවන් වාර්තාවෙන් හෙළි නොවෙතයි වාර්තාවේ. ගැසට්ටුවේ 3A පිටුවේ අංක 9න් අපේක්ශාවනම් එයයි. කාදිනල්තුමා මහමොලකරු හෙළිකරන ලෙස දැඩිව ඉල්ලා සිටී. දැන් පෙනෙන අන්දමට පශ්චාත්-සිද්ධි නිලයන්ට මිස මහමොලකරුවන්ට දඬුවම් නොමැතිවීමට ඉඩක් ඇතැයි සැකයක් සමාජගතව ඇත.   එහෙත්, කොමිසමේ සාක්ෂි දුන් සමහරු මහමොලකරුවන් සිටිබවට සැක පහළවන සාක්ෂි දී ඇත. (උදාහරණ පො.අ. ශානි අබේසේකර, නි.පො.ප. රවී සෙනෙවිරත්න) ඒ ප්‍රකාශ හාරා බලා ඉදිරි පරීක්ෂණ හා විමර්ශනයෙන් හිඩැස් පිරවේවිදැයි සමහරු බලා සිටිති. 

තවත් පිරිසක් සීමිත වාර්ගික හා ආගමික කන්ඩායමකට හානිකර තත්ත්වයක් කොමිසම මගින් සිදුකර ඇතියි මාධ්‍යයේ අදහස් ප්‍රකාශ කරති. විශේෂයෙන්ම බෞද්ධ අංශයෙන් මෙය ඉදිරිපත් වෙතැයි පෙනේ.  නඩු පැවරීම් සූදානම සමග ඔවුන්ද යලි ප්‍රාණවත් විය හැකිද ගැන බලා සිටිමු. ප්‍රතික්‍රියා හානිකර නොවේවායි ප්‍රාර්ථනා කරමු.    

කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාව සාධාරණය අපේක්ෂාවෙන් බලා සිටිති. ඔවුන් මග රැක සිටියේ කොමිසමේ ප්‍රතිචාරයයි. එය නොසෑහේනම් අන්තර්ජාතිකයට යාමට වුවද ඔවුන් සූදානම්ය. ඔවුන්ට කුමක් වී ඇත්දැයි අපි බලා සිටිමු. කතෝලිකයන් දෙසතියක් කළු ඇඳුමින් සැරසීම ලබන 22දා ජිනීවා ඡන්දයට​ පෙර දින දක්වා පැවැත්වීම අන්තර්ජාතිකාට යවන සංඥාවක්ද? 

කොමිසමේ සාක්ෂි දුන් මා වැන්නවුන් ආරක්ෂක ආයතනික ව්‍යුහයන්හි වෙනස්කම් අපේක්ෂා කළේ  අනාගතයේදී මෙවන් සෝචනීය විපත් නොවීමට වගබලා ගැනීමේ අපේක්ෂාවෙනි. අපේ හඬ කොමිසමට ඇසී යම් වෙනස්කම් නිර්දේශවී ඇතැයිද හා එසේ නොවේනම් කොමිසම යෝජනා කරන අන් සාධනීය මාර්ග මොනවාදැයි අපි බලා සිටිමු. 

පොදු අදහසවී ඇත්තේ අනීවාර්යයෙන්ම ප්‍රසිද්ධ නිලමය හා දේශපාලන චරිත කිහිපයක් අධිකරණයෙන් දඬුවම් ලැබීමයි. රටේ ඇති “දඬුවම් දෙනු!” යන ඝෝෂාව සමනයට එය අවශ්‍යය. රජයේ ලොක්කන් හා සොක්කන් දෙගොල්ලම කරන ප්‍රකාශ මෙම සැකය මෝදුකරයි. එය සිදු නොවුනහොත් රජයට ගැලවිලක්ද නැත. එහෙයින් අපි එදෙසද බලාසිටිමු.  

මෙම මතුව්‍යුහ හා ඝෝෂා මතවුවද බැඳුම්කර නිර්දේශ බැඳුනු පියවරවල් දශමයක්වත් ඉදිරියට නොයන පසුබිමක් යටතේ වුවද යහ ප්‍රතිපල සඳහා දේශපාලන, නෛතික, පරිපාලන ආයතනික ව්‍යුහ දිරිමත්වී පාස්කු නිර්දේශ සඳහා කැප වෙතැයි ජනතා අපේක්ෂාවන් ඇත. එය ඉටුකිරීමේදී පුද්ගල, වාර්ගික, ආගමික, දේශපාලන හෝ අන් නිර්නායකයන් බාධක ලෙස නොසැලකීම ඔවුන්ගේ රුචීන් වේ. බැඳුම්කර වාර්තාවටවූ සන්තැසිය පාස්කු කොමිසම් වාර්තාවට සිදුනොවෙතැයි ජනතා අපේක්ෂාවයි.   

*ඔස්ටින් ප්‍රනාන්දු – විශ්‍රාමික ජනාධිපති ලේකම්

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    වර්තමාන දේශපාලන අවහිරය ඇති වූයේ මේදමුලනා පවුල තුළ නැවත ඉපදුණු අහංකාර හා අස්වාභාවික දේශපේ‍්‍රමයෙනි. ඒ හැර අන් කිසිවක් නොව, විනාශ වූ ජාතිය විනාශ කිරීමට හේතු විය. දිවයිනේ දුප්පත් බහුතරයකට එවැනි බලවේග පරාජය කිරීමට හැකියාවක් නැත, මන්ද බෞද්ධ භික්ෂූන් සැමවිටම දේශපාලන පෙළපාළි වල ඉදිරි පෙළේ හිඳගෙන සිටි බැවිනි. අද වන විට, බෞද්ධ භික්ෂූන් සමහර විට ඔවුන් සැබෑ භික්ෂූන් නොවිය හැකි නමුත් සංගා ඇඳුමින් සැඟවී සිටින කුහකයන්, රාජපක්ෂ ස්වභාවයේ අපරාධ දේශපාලන politicians යින්ගේ කුලීකරුවන් බවට පත්ව ඇත. ආත්මාර්ථකාමී හා නපුරු බලවේගයන්ගේ දේශපාලන අභිමතයන් මත පදනම් වූ ඕනෑම අසත්‍යයකින් දූපත් ජාතියේ බහුතරයක් පහසුවෙන් නොමඟ යවනු ඇත. Strue අනෙක් අරගලය වන්නේ මිථ්‍යාවන් ව්‍යාප්ත කිරීම සහ රට තුළ පැය කිහිපයක් ඇතුළත ගණනය කළ මහජන සංජානනය ගොඩනැගීමයි. මිනිසුන් බළලුන් හා බල්ලන් මෙන් වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස අපට ජාතියට කවදා හෝ ආඩම්බර විය හැකි නම්, වින්දිතයන්ගේ යුක්තිය උදෙසා කිසිවක් කළ නොහැකි බව අවසානයේදී නීති lawyer යෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව ඊයේ මට අසන්නට ලැබුණි.

    වර්තමාන පාලකයින්ට වඩා හොඳ අනාගතයක් සඳහා සැලැස්මක් නොව ඔවුන්ගේ පවුල් දේශපාලනය සඳහා සැලැස්මක් ඇත. එම ගුහාවට උපත ලැබූ මෝඩ මිනිසුන් දිගටම මෙම ජාතිය විනාශ කරමින් සිටිති. දේශපාලනික නොවන නමුත් ඉහළ අපරාධකරුවෙකු යැයි කියනු ලැබුවද, කිසිසේත්ම යුක්තියක් නොමැත. අද බලයේ සිටින සාපරාධී විෂම කන්ඩායම් විසින් ස්වයං සැකසූ පාස්කු ඉරිදා ව්‍යසනය සිදු වන තුරු, ආර්ථිකය වඩා හොඳින් හා බාහිර දේශපාලනය තුලනය කිරීමෙන් එය කළමනාකරණය කිරීමට පෙර රජයට හැකි විය. බටහිරින් මෙන් ඛනිජ තෙල් මිල ගණන් තෙල් සූත්‍රයක් මගින් පියවා ඇත. එය රජයට වඩා ජනතාවට බොහෝ දේ ඉතිරි කළේය. එකල බාහිර ජාතීන් රටට කරදර කළේ නැත. නමුත් අද එය විශාල තර්ජනයක් වී තිබේ. දුර්වල නායකයන් අප වැනි කුඩා රටවලට ගැඹුරට වැටීමට ඉඩ දෙන්නේ ඔවුන්ගේ තීරණ බොළඳ සහ ඔවුන්ගේ ආත්මාර්ථකාමී වාසි මත පමණක් පදනම් වූ බැවිනි. අද වන විට ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව අතර පාපන්දු ක්‍රීඩාවක් බවට පත්ව ඇත. අද ඔවුන්ට බුබුල තුළ නොවිසඳිය හැකි ගැටළු ඇති බව පෙනේ. මට නම්, මේ සියල්ලම මියගිය සත්ව මස් ගඳ ගසන්නට සටන් කරන විවිධ වන සතුන් වැනි ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.