27 April, 2024

Blog

ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මහතාට විවෘත ලිපියක්

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

හිතවත් රත්නායක මහතාණෙනි,

ලේක්හවුස්  සභාපතිධුරයෙන් ඉවත්වීමට ඔබ තීරණය කර ඇති බව දැන ගත්තේ මාස කිහිපයකට ඉහතදීය. එය මා පුදුමයට පත්කළ කාරණයක් වූයේ එසේ සිය කැමැත්තෙන් ධුරයෙන් ඉවත් වූ ලේක්හවුස් සභාපතිවරුන් ගැන අප මීට පෙර අසා නැති බැවිනි. ඔබට විරුද්ධ වූවන් ඔබ ගැන ගොතා ඇති කතන්දර බොහෝය. ඔබ කිසිදිනක සභාපතිධුරය අත්නොහරින බවට ඔවුන් කාලයක් තිස්සේ මත සමාජගත කළේය. අවසානයේ එවැනි පිරිස් මවිත කරලීමට ඔබ සමත් විය. සැබවින්ම එය ප්‍රශංසනීයය.

ලේක්හවුසිය යනු බොහෝ දෙනෙකුට හොඳ “ඉල්ලමකි“. ඉන් ගොඩගිය, ඉන් හොරකම් කළ එහි සාරය සොරා කෑ ඉහළ මට්ටමේ නිලධාරීන් ගැන අප අනන්තවත් විස්තර කතන්දර, ඉතිහාස කතා අසා තිබේ. නමුත් ඔබ ඊට ව්‍යතිරේඛයක් විය. ලේක්හවුස් සේවකයන් ලවා ඔබ ගෙවල් හදා ගත්තේ නැත. කොමිස් මුදල්වලින් රථ වාහන මිලදී ගත්තේ නැත. සොරකම් නොකිරීම පිළිබඳව 100%ක් සතුටු විය හැකි වැඩ වාර්තාවක් ඔබ සතුය. දකුණු පළාතට පළමුවෙන්ම මෝටර් රථයක් ගෙන ගිය දෙනියායේ රත්නායක පවුලේ සාමාජිකයකු ලෙස ඔබට සොරකම් කිරීමට තරම් කිසිදු අවශ්‍යතාවයක් නොතිබෙන්නට ඇත. බෞද්ධකම නිතර පිටතට ප්‍රදර්ශනය නොකිරීමට වගබලා ගත්ත ද පාරම්පරික උරුමයෙන් ම ඔබ හොඳ බෞද්ධයෙක් බව අපි දන්නෙමු. බෞද්ධ පිළිවෙත් ඉහළින්ම අනුගමනය කරන්නෙකු වන ඔබ සොරකම මෙන්ම වල්කම වැනි දුරාචාර එකසේ ප්‍රතික්ෂේප කළ බව හොඳාකාරවම දන්නෙමු.

ලේක්හවුසියේ ඔබ ගත කළේ මාස 30ක් වැනි කාලයකි. ඔබ සර්ව සම්පූර්ණ සභාපතිවරයකු නොවීය. කෙසේ වෙතත් ඔබ අසාර්ථක යැයි එයින් නොකියවෙයි. තීරණාත්මක අවස්ථාවලදී ඔබ කොන්ද කෙලින් තබාගෙන කල යුතු දේ සිදු කළේය. ණය කන්දක සිරවෙමින් මරණාසන්නව සිටි ලේක්හවුසිය යළි දෙපයින් නැගිටීම ඇරඹුයේ ඔබගේ කාලයේදීය. එය මහපොළොවේ ඇත්තක් බවට පත් කිරීමේදී ඔබේ දායකත්ව පංගුව ඉහළ මට්ටමක වූ බව පැවැසීම “මුරුංගා අත්තේ“ තැබීමක් නොවේ. මෙම සමස්ත ක්‍රියාවලිය තුල තරගයේ වීරයා වූයේ ඔබය.

සාමාන්‍යයෙන් කියන දේ කරන එක, කරන දේ කියනවාට වඩා අසීරුය. වැඩි පුරසාරම් නොමැතිව කළ යුතු දේ කල්යල් බලා, නියමාකාරයෙන් සිදු කිරීමට ඔබ නිතර උත්සාහ ගත්තේය. කටින් බතලකොළ සිටුවන කාඩ්බෝඩ් වීරයන් බහුල සමයක එය සුවිශේෂි වූවක්ම ය.  තම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කකුලෙන් ඇදීම් සිදු කරද්දී ඔබ සැබෑ නායකයෙකු ලෙස නායකත්වයේ ඉණිම් බොහෝ අවස්ථාවල ක්‍රීඩා කළේය. අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ඔබට වැඩ කිරීමට සිදුවූයේ ඔබ මෙන්ම වේගයෙන් දිවිය හැකි “අශ්වයන්“ පිරිසක් සමඟ නොවේ. කකුල් කැඩුණු අශ්වයන් වූ බොහෝ දෙනෙකු ඔබගේ කකුලෙන් ඇදීමට උත්සාහ කළා මිසක සැලකිය යුතු කිසි දෙයක් පසුගිය කාලයේ සිදු කළේ නැත. එබඳු “කෝලම්කරුවන්“ පිරිසක් සමග වැඩ කර මාස 30ක් “නොදැවී“ සිටීමට සමත්වීම ම යනු විශාල ජයග්‍රහණයකි. ඔබ තවත් හොඳ දෙයක් කරන ලදි. ඒ අන් සෑම පුරවැසියකුටම මෙන්ම මාධ්‍යවේදීන්ටද දේශපාලනයක් ඇති බව තේරුම් ගැනීමය. ආයතනය තුළ සේවය කළ කිසිදු මාධ්‍යවේදි‍යෙකු තම දේශපාලන පැවැත්ම තුළ මහින්ද අබේසුන්දරලා, රාජ්පාල් අබේනායකලා, දිනේෂ් වීරවංශලා බවට පත්වනු දැකීමට ඔබට අවශ්‍ය වූයේ නැත. මාධ්‍යකරණය සඳහා බලපෑම් නොකරමින් හැකි උපරිම නිදහස හැම විටම මාධ්‍යවේදීන්ට ලබා දුන්නේය.

මැජික් පොල්ලක් අතේ නොතිබුණ ද, තවත් බොහෝ දෑ ලේක්හවුස් සේවකයන් ඔබෙන් අපේක්ෂා කළේය. විශේෂයෙන්ම 1994 සිට විවිධ අසාධාරණයන්ට පීඩාවන්ට ලක්වූ එජාපයට සම්බන්ධ සේවක කණ්ඩායම් වසර ගණණාවක් තිස්සේ තමනට සිදුවූ අසාධාරණයන් ඔබෙන් නිවැරැදි වනු ඇතැයි දෑස් දල්වාගෙන බලා සිටියහ.

නමුත් “ක්‍රීඩා පිටිය“ සැකසී තිබූ ආකාරය අනුව එය පහසු කටයුත්තක් නොවීය. “පත්තර මහගෙදර“ අද බහුතරය වී ඇත්තේ 1994න් පසු එහි පත්වීම් ලබා ගත්තවුන්ය. ඉහළ මට්ටම්වල සිටින නිලධාරීන්ගෙන් අති බහුතරය එවැන්නන්ය. ඔබට වැඩ කිරීමට සිදුවූයේ එවැනි කණ්ඩායමක් සමඟිනි. අනෙක් අතට රටතුළ නිර්මාණය වී ඇති සම්මුති බද්ධ ආණ්ඩුකරණය තුළ එක් කණ්ඩායමකට විශේෂ කොට සැලකීම ද පහසුවෙන් සිදුකල හැකි දෙයක් නොවීය. ඒ කාරණය සම්බන්ධයෙන් අපේක්ෂා කළ මට්ටමට නොපැමිණිය ද ගෙවුණු මාස 30 තුළ ඔබේ සීමාවන් තුල රැඳෙමින් ඔබ කළ දෑ බොහෝය. අපේ රටේ බොහෝ නිලධාරීන් තමන් දරණ තනතුර නිසා බැබලීමට උත්සාහ කරනමුත්, තනතුරෙන් තමන් බැබලෙනවා වෙනුවට තනතුර බැබලවීමට ඔබ කටයුතු කළේය. එහිදී ඔබේ ප්‍රවේශය සරල එකක් විය.  සභාපතිකම ඔබට ආභරණයක් නොවීය. ඔබ ඉන් ඔළුව විශාල කර ගත්තේ නැත. සමුගෙන ගියද ඔබ පෙන්වූ නිහතමානීකම තවත් වසර ගණණාවක් යන තුරු ලේක්හවුස් සේවකයන් ගෞරවයෙන් සිහිපත් කරනු ඇත. ඒ පිළිබඳ ස්තූතිය පළකරන අතරතුර මේ රට වෙනුවෙන් මීටත් වඩා ශක්තිමත් සේවාවක් නව සේවා ස්ථානය තුල සිදුකිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.