27 April, 2024

Blog

විජෙදාස සහ රාවය

චරිත හේරත්

ආචාර්ය චරිත හේරත්

මම හිතන්නේ මේ විජෙදාස රාජපක්ෂ මහතාගේ ප‍්‍රශ්ණ​යත් එක්ක මේ ආණ්ඩුවේ ඉතාමත් වැදගත් පිපිරීමක් සටහන් වෙනවා කියල. මේ පිපිරීමට හෝ එහෙමත් නැත්නම් මේ ගැටලුවට ආණ්ඩුව​ වැටෙන්නේ මේ ආණ්ඩුව​ හදන්න මහන්සි වෙච්ච අයගේ තියෙන ඥනවිභාගාත්මක අවුලක් නිසයි. දැන් මේ විජෙදස රාජපක්ෂට එජාපයේ අය විරුද්ධ වෙන්නෙ ඇයි කියන කාරණය ටිකක් තේරුම් ගත්තොත් මේ තත්ත්වය පැහැදිලි කර ගන්න පුලුවන්.

මේ ආණ්ඩුව හදන්න ඉස්සරවෙලා ඒකාළේ සිටි විපක්ෂය (එජාපය) සහ අනෙකුත් අය සමාජය ඉදිරියේ තියපු දේශපාලන අලංකාරිකය වුනේ පසුගිය ආණ්ඩුව (ඒ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව) අසීමිත ලෙසින් දුෂණ ක‍්‍රියාවල යෙදිල හිටිය බවත් ඒ දුෂණය නවත්වන්න නම් ඒ රජය පරාජයට පත් කරන්න ඕන බවත් කියන කාරණයයි. දැන් තර්කය ස්ථිර කරන්න අවශ්‍ය දේවල් හදන එක තමයි ඒ කාළේ සිවිල් සමාජයේ කියල එළියට ආපු කට්ටිය එහෙම කළේ. රත්ත‍්‍රං අශ්වයෝ ලැබ්බගිනී වගේ වචන ආවේ මේ කාරණය තව තවත් ශක්තිමත්ව සමාජගත කරන්නයි. මම හිතන්නේ එතැනදි මේ ආණ්ඩුව ගේන්න වැඩ කරපු අයගේ වැඬේ ඒ අය සාර්ථකව කරා කියලයි. රටේ බහුතරය ඒ අයගේ තර්කය පිළි අරගෙන ඒ කාළේ හිටපු ආණ්ඩුව ජනාධිපතවරණයෙන් පරාජයට පත් කළා. ඒ තීරණයට මම එකග නැති එක වෙනම කාරණයක්. ඒත් රටේ බහුතරය මේ අයගේ අලංකාරිකයට එකඟ​ වෙලා ඒක ස්ථිර​ කරල ඒ ආණ්ඩුව ගෙදර යවල මේ ආණ්ඩුව පත් කළා.

දැන් මේ දේශපාලන දත්තය (ඒ කියන්නේ 2015 ජනවාරි 8 සිද්ධිය) පෙන්නුම් කරන්නේ දේශපාලන බල පෙරළිය​ සදහා පාව්ච්චි කළ අලංකාරිකයට එද අගයක් ලැබුනා කියලයි. ජනතාව ජන්දය මගින් කීවේ ඒ කියපු කාරණය පිළිගත්තා දැන් ඒ විදියට නොව අලුත් විදියකට ආණ්ඩුව රට සංවර්ධනය කළ යුතුයි කියන කාරණයයි. කොටින්ම මම හිතන්නේ ජන්දය දිපු අය ඒ අලංකාරිකය ජන්දයට පාවිච්චි කරල ඒක අත ඇරල දැම්ම. ඒත් එජාපයේ යට ඉන්න සමහර නායකයොයි සිවිල් සමාජය කියල එළියට ඇවිත් ඉන්න කට්ටියයි ඒ අලංකාරිකයේ එක දිගටම එල්ලිලා ඉන්න එක තමයි මේ පෙන්නුම් කරමින් තියෙන්නේ. මේ තනිකරම අදේශපාලනික රංගනයක්. මට පේන විදියට​ රනිල් වික‍්‍රමසිංහ මහත්තයට මේ කාරණය හොදට තේරෙනව. ඒකයි ඔහු හැමවිටම ආර්ථිකය හෝ අන්තර්ජාතික සහයෝගය වැනි කළාපවලට තමන්ගේ අවධානය යොමු කරවන ආකාරයේ කථා කරමින් උත්සාහ ගන්නේ. ඒත් අර මම මුළින් කියපු එජාපයේ යට නායකයොයි තනිකරම අදේශපාලනික කණ්ඩායමක් වුන සිවිල් සමාජයේ කියන කට්ටියයි මැතිවරණයේ රිටොරික් එකෙන් එළියට එන්නනෙම නැහැ. දැන් ඒ කට්ටිය තමයි මේ විජෙදස රාජපක්ෂ ඉවත් කිරිම වගේ දේවල් ඇතුලේ ඉන්නේ.

මේ කණ්ඩායම පසුගිය අවුරුදු දෙකේම එල්ලිලා ඉන්නේ මේ දුෂණය ඇලිලීම කියන තර්කය ඇතුළේ. ඒ අය කියන විදියට ‘දුෂණ අල්ලන්න යනකොටම මොකක් හරි වෙනව,’ ඉතින් වැඩේ පස්සට යනව. හැම තිසසේම අර ලැකානියානු මනෝ විශලේෂණ​යේ කියනව වගේ ‘අඩුවක්’ (lack) තියෙනව. ඒ නිසා දුෂණය අල්ලන්න බැහැ කියල කියනව. ආයිත් ඒ අඩුව වහන්න හදනව. දැන් බලන්න මුළින් ම ඒ අය කිව්ව මේ සීඅයිඞී එක විතරක් තිවෙන හින්දයි බැරි. ‘අඩුව’ තියෙන්නේ එතන කියල. ඊට පස්සේ විශේෂ පොලිස් ඒකකයක් FCID දැම්ම. ඊලගට කිව්ව දැන් ඒක හරි ඒත් පොලිස්පති පරණ ආන්ඩුවෙ කෙනෙක් ඒක නිසා වැඬේ කරගෙන යන්න බැහැ කියල. දැන් ‘අඩුව’ හොද පොලිස්පති කෙනෙක් නැති කම කියල කිව්ව. ඊට ප්සසේ ඒකත් සම්පුර්ණ කරල අලුත් පොලිස්පති කෙනෙක් ගෙනාව. ඊලගට වැඩේ හරියට කරන්න නම් නඩු දින පමා වෙන්නේ නැතිව වේගයෙන් කරන්න බැරි එක ‘අඩුක්’ කියල කිව්ව. දැන් ඒ අඩුව සම්පුර්ණ කරන්න නීති ටිකක් වෙනස් කරන්න ඕන​ නිසා වෙනම ම එක පවුලක නඩු අහන්න උසාවියක් හදගන්න බැරි එක ‘අඩුව’ ක් කියල කිව්ව. දැන් ඒ වැඩේ කරන්න බැරි වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ඇමතිවරයාගේ උවමනාවක් නැති කමේ ‘අඩුව’ කියලයි අන්තිමට තීරණය කරල තියෙන්නේ. දැන් හදන්නේ ඒ අඩුව සම්පූර්ණ කරන්නයි විජෙදස යන්න ඕන කියල කියන්නේ. ඇත්තටම තමන්ම හදපු දේශපාලන අලංකාරිකයට තමන් ම අහුවෙලා මෙහෙම නටන රංගනයක් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කවදවත්ම තිබුනේ නැහැ. දැන් මේ රංගනය තව ඉදියටත් යන්න නියමිතයි. ඉදිරියේ දි විජෙදසව අයන් කළාට පස්සේ ඊලග එක එයි නිතිපති එක්ක බැහැ එතන අඩුවක් තියෙනව කියල. මෙහෙම ගිහිල්ල අන්තිමට කෝල්බෘක් – කැමරන් දෙන්න ලංකාවට නීති හදපු ආකාරය වැරදියි වගේ තැනකිත් මේ වැඩේ නවතියි. එතකොට ඊලග මැතිවරණය කාළේ වෙන්නත් පුලුවන්. දැන් මම​ තියෙන්නේ ඒ කාලෙට කියන්න වෙනත් අලංකාරිකයක් හදන්න සිවිල් සමාජයේ ටික දෙනෙක් පත් කරල තානාපති කාර්යාලයකට භාර දෙන එකයි.

දැන් මේ සිද්ධියත් එක්ක අපේ රටේ කොළඹ සිවිල් සමාජයේ සමහරු හැසිරෙන විදිය ඉතාමත් සිත් ගන්නා සුලුයි. ජනවාරි 8 සිදුවීමත් එක්ක මතුවෙච්ච සමහර සිවිල් සමාජ නායකයෝ 77 ජෙ ආර් ගේ හෝ 94 චන්ද්‍රිකාගේ කාළේ ආපු සිවිල් සමාජයේ අය වගේ දේශපාලන බුදධියකුත් නැහැ වගේ තමයි ඒ අය කියන දේවල් වලින් පේන්නේ. දැන් ඒ හැමෝම රාවය පුවත් පත ඇතුලට ඇවිල්ල පිටු ගනන් ඒ ඒ ස​තිවල කරලියට එන මම ඉහතින් කියපු ‘අඩුව’ ගැන ලියන එක තමයි කරන්නේ. ඇත්තටම ජනවාරි 8 ජනාධිපතිවරණයටම හද ගත් සමහර සංවිධානවල දැන් කිසිම ‘භාවිත වටිනාකමක්’ (use value) නැහැ. සාධාරණ සමාජයක් වගේ බෝඩ්වල​ දැන් කිසිම වටිනාමක් නැහැ කියල තේරුම් ගන්න තරම් ඒ සංවිධානවල ඉන්න නායකයෝ දේශපාලනික නැහැ. හරියට අමංගල්‍යයකින් පස්සත් ඒකට හදපු අවමංගල්‍ය සභාව පවත්වාගෙන යනවා වගේ විහිලුවක් තමයි මේ සමහර ජනවාරි 8 සංවිධාන දැන් කරන්නේ. ජවිත කාලයෙම නවකථා කෙටි කථා ලියපු අය ජනවාරි 8 ඉදල දේශපාලනය ඇවිත් කවි ලියනව වගේ දේවල් තමයි පේන්නේ.

දැන් මේ තත්ත්වය හමුවේ රාවයේ ක‍්‍රියාකාරීත්වය ගැනත් යමක් කියන්න ඕන. මම මේ විවෙචනය කරන්නේ රාවය සගරාවක් විදියට පටන් ගත්ත දවසෙ ඉදලම ඒක කියවන කෙනෙක් හැටියටයි. මේ පුවත්පත ලංකාවේ දේශපාලනයට විශේෂ බලපෑමක් කළ එකක් කියල අපි හැමෝම පිළිගන්නව. ඒ බලපෑම සාධනීයද නැද්ද කියන එක එක එක්කෙනාට වෙනස් වුනත් එවැනි බලපෑමක් වුනා කියන එක පිලිගත යුතු දෙයක්. ඒත් ජනවාරි 8 සිද්ධියෙන් පස්සේ රාවයටත් වෙළා තියෙන්නේ අර මම මුළින් කියපු කට්ටියට වෙච්ච දේ මයි. විජෙදසගේ ප‍්‍රශ්ණය ගැන ගත්තත් රාවය හිතාගෙන ඉන්නේ දැන් මේ ‘අඩුව’ අයින් කරන එක තමයි වැඩේ කියල. සිරිකොත කාත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය එන්නත් කළින් රාවය එජාපයේ මතය උස්සල හෙඩ් ලයින් ගහන්නේ ඒකයි. මේ අවුළෙන් ගැලවෙන්න රාවයට බැරි වුනොත් ආණ්ඩුවේ පත්තරේට ඒ කියන්නේ දිනමිණට වෙච්ච එකම රාවයටත් වෙන්න පුලුවන්. ඉස්සර රාවය වැඩ කළේ වැහිලිහිනියෙක් වගේ. ඒ කියන්නේ වැස්ස එන බව වැස්ස එන කාලයේ වැස්සේ ස්වභාව ඒක එන්න ඉස්සර කියන අනාගතවාදි ආකාරයකින්. දැන් රාවය වැඩ කරන්නනේ කපුටෙක් වගේ. ඒ කියන්නේ කුණු ඇති තැන්වල හාර හාර ඉන්න එකයි. එනිසා නැවත වැහිලිහිනියක් වෙනවාද කපුටෙක් විදියටම යනවාද කියන ප‍්‍රශ්නය විසද ගන්න එක විජෙදසගේ ප‍්‍රශ්නයට වඩා රාවයට හුගක් වැදගත් කියලයි මම හිත්නනේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    පසුගිය කලෙක ඉන්දියාව ගැන ලිවූ සුප්‍රකට ඉන්දියානු කතෲ වරයකු ගැණ අදහසක් පලකල සුප්‍රකට දෙශපාලන විචාරක වරයෙකු කියා සිටියේ එම කතෲවරයා ලියන්නේ ඉන්දියාවේ කුණුගොඩවල්ගැනයි කියාය. රාවයද වැඩිවශයෙන් අනුගමනය කලේ ලංකාවේ කුණුගොඩවල්ගැණ ලියන ප්‍රතිපත්තියකි. දැන් එවැනි දේ සිදුවන්නේ සමාජ වෙබ් අඩවි හරහාය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.