17 September, 2026

Blog

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නවීකරණය ගැන නැවත සිතා බැලීම: බහුතර–සුළුතර අර්බුදයෙන් ඔබ්බට යාම

දිනේෂ් දොඩම්ගොඩ

දිනේෂ් දොඩම්ගොඩ

2026 සැප්තැම්බර් 11 වැනිදා තරුණ නීතිඥ සංගමය විසින් කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදීඅපි අලුත් ජනතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පෙළගැසිය යුත්තේ ඇයි?” යන තේමාව යටතේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. සම්මානනීය මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, රොහාන් එදිරිසිංහ, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු ප්‍රසිද්ධ නීති විශේෂඥයෝ පිරිසක් එයට සහභාගී වූහ.

මෙම ලිපියෙන් මා පෙන්වා දෙන්නේ සැබෑ ව්‍යවස්ථාමය නවීකරණයක් සඳහාබහුතරසුළුතර උගුලෙන්ඔබ්බට යා යුතු බවයි. ඒ සඳහා ආයතන නිසි ලෙස සකස් කිරීම, බලය විමධ්‍යගත කිරීම සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මත පදනම් වූ සමාජ එකඟතාවක් ගොඩනැගිය යුතුය. එමගින් වඩාත් සමගි සම්පන්න අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළ හැකිය.

විද්වත් මණ්ඩලයේ අදහස් සහ ඒවායේ න්‍යායාත්මක සීමාවන්

මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දුර්වලතා පෙන්වා දෙන ලදී. මහාචාර්ය ගුණසේකර විධායකයට අධික බලයක් ලැබී තිබීම විවේචනය කළ අතර, විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව පැවසුවාය. 2000 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඇතුළු ව්‍යවස්ථාමය රාමු සකස් කළේ ගැටුම් වැළැක්වීමේ අරමුණින් වුවද, දේශපාලන බාධා සහ කේන්ද්‍රීය නායකත්වය පවත්වාගෙන යාමේ අවශ්‍යතා නිසා එවැනි ප්‍රතිසංස්කරණ අසාර්ථක වූ බව ඇය සඳහන් කළාය. මෙම බාධා ජය ගැනීම සඳහා පුළුල් සහ සැලසුම්ගත එකඟතාවක් අවශ්‍ය බව එයින් පෙනේ.

රොහාන් එදිරිසිංහ මහතා අවධාරණය කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ජනතා කැමැත්ත” ((the will of the people) නියෝජනය කළ යුතු බවයි. එහෙත් නූතන සමාජ තේරීම් න්‍යාය (social choice theory), විශේෂයෙන් ෂෝන් ඉංහැම්ගේ (Sean Ingham) පාලන රාමුව, පෙන්වා දෙන්නේ මෙය සරලව කළ නොහැකි බවයි. සංකීර්ණ සමාජයක ජනතාව තනි කණ්ඩායමක් නොවේ. ඔවුන් එකිනෙකා මත රඳා පවතින බහුතර කණ්ඩායම් කිහිපයකින් (multiple majorities) සමන්විත වේ. උදාහරණයක් ලෙස, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහාය දෙන බහුතරයක්, ප්‍රාදේශීය බලය බෙදාගැනීම හෝ මූල්‍ය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් වෙනස් අදහස් දැරිය හැකිය.

2000 වසරේ සිට ඉදිරිපත් වූ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ බොහොමයක් ජනවාර්ගික, ආගමික සහ භාෂාමය අනන්‍යතා මත පදනම් වූ දෙපාර්ශ්වික තේරීම් ලෙස සලකා ඇත. එහෙත් නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම්‍යශීලී සහ සියලු දෙනා ඇතුළත් කරගන්නා එකක් විය යුතුය. ජනතාව විසින් පැහැදිලිව තෝරා පත්කරගන්නා මන්ත්‍රී මණ්ඩලයක් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සෙනෙට් සභාවක් වැනි වෙනස් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග එයට ඇතුළත් කළ හැකිය. එවැනි ව්‍යුහයක් යටතේ කිසිදු තනි කණ්ඩායමකට පාලනය සම්පූර්ණයෙන් අත්පත් කරගත නොහැකිය. ඒ සමගම, අවශ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට බහුතරයකට අවස්ථාව ලැබෙන අතර ව්‍යවස්ථාමය ස්ථාවරත්වයද ආරක්ෂා වේ.

සාලිය පීරිස් මහතා අවධානය යොමු කළආයතනික අඛණ්ඩතාවයන අදහස පදනම් කරගනිමින්, ආයතනික ආර්ථික විද්‍යාව (New Institutional Economics NIE), විශේෂයෙන් ඩග්ලස් නොර්ත්ගේ (Douglass North) අදහස්, විධිමත් (formal) සහ අවිධිමත් (informal) ආයතන අතර පවතින වෙනස හා සම්බන්ධතාව පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති විධිමත් ආයතන වන අතර, සමාජ සම්මතයන් සහ දේශපාලන සංස්කෘතිය අවිධිමත් ආයතන වේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීමෙන් පෙනී යන්නේ මෙම දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව නොසලකා හැරීමේ අනතුරයි. 1987 ඉන්දුලංකා ගිවිසුම යටතේ පළාත්වලට බලය විමධ්‍යගත කිරීමේ නීතිමය ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එහෙත් එය බොහෝ දුරට කඩදාසියට පමණක් සීමා වී ඇත. දශක හතරකට ආසන්න කාලයක් ගතවී තිබුණද, පොලිස් සහ ඉඩම් බලතල සම්බන්ධ ප්‍රධාන විධිවිධාන තවමත් ක්‍රියාත්මක කර නොමැත.

මෙම අසාර්ථකත්වය තාක්ෂණික ගැටලුවක් පමණක් නොවේ. එයට ප්‍රධාන හේතුව වූයේ සමාජ එකඟතාවක් සහ දේශපාලන සහයෝගයක් ගොඩනැගීමකින් තොරව නීතිමය රාමුවක් හඳුන්වා දීමයි. විධිමත් නීතිවලට සහාය දෙන ශක්තිමත් සමාජ සම්මතයන් සහ දේශපාලන සංස්කෘතියක් පවතී නම්, ජනතා විශ්වාසය සහ ස්ථාවරත්වය ගොඩනැගිය හැකිය. එමගින් සමබර සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටද හැකි වේ.

පවතින යෝජනා නැවත ඇගයීම

සම්මන්ත්‍රණයේ කථිකයන් 2000 ව්‍යවස්ථා කෙටුම්පත මගහැරුණු අනගි අවස්ථාවක් ලෙස සැලකුවද, විවිධ විශ්ලේෂණවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික බලය බෙදාගැනීමේ (consociational) රාමුවෙන් ඔබ්බට යා යුතු බවයි. 2000 කෙටුම්පත සහ 13 වැනි සංශෝධනය, ආර්න්ඩ් ලයිෆාර්ට් (Arend Lijphart) ඉදිරිපත් කළ බලය බෙදාගැනීමේ ක්‍රමය මත පදනම් විය. මෙම ක්‍රමය බලය සහ ප්‍රදේශ වෙන් කිරීම සඳහා ජනවාර්ගික අනන්‍යතාව පදනම් කරගනී. එහෙත් ෆිලිප් ජී. රූඩර් (Philip G. Roeder) පෙන්වා දෙන්නේ ගැටුම්වලින් පසු සමාජවල මෙවැනි බලය බෙදාගැනීමේ ක්‍රමවල බරපතළ අඩුපාඩු ඇති බවයි.

එවැනි ක්‍රම මගින් ජනවාර්ගික වර්ගීකරණයන් නීතිගත කළ විට, ජනවාර්ගික දේශපාලනඥයන් සහ අන්තවාදී කණ්ඩායම් තවදුරටත් ශක්තිමත් විය හැකිය. එය සමාජ බෙදීම් සහ දේශපාලන අස්ථාවරත්වය වැඩි කිරීමට හේතු වේ. 20 වැනි සියවසේ පැවති මෙවැනි පාලන ක්‍රම බොහොමයක් අවසන් වූයේ රටවල් වෙන්වීමෙන්, සිවිල් යුද්ධවලින් හෝ හමුදා කුමන්ත්‍රණවලිනි. චෙකොස්ලොවැකියාව රටවල් දෙකකට වෙන්වීමත්, සයිප්‍රසයේ සහ ලෙබනනයේ ඇති වූ සිවිල් ගැටුම් සහ ෆීජිහි හමුදා කුමන්ත්‍රණත් ඒ සඳහා උදාහරණ කිහිපයකි.

ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉන්දියාවේ ප්‍රවේශය වෙනස් විය. ඉන්දියාව ආගම වැනි සංවේදී කරුණු මත බලය බෙදාගැනීමෙන් වැළකී, භාෂාව සහ එකිනෙක සමග සම්බන්ධ වන විවිධ අනන්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය.

2000 කෙටුම්පත සකස් කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේද අඩුපාඩු පැවතිණි. විධායකය විසින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ජනාධිපති ධුර කාලය දීර්ඝ කරගැනීම වැනි පෞද්ගලික දේශපාලන අරමුණු සමග සම්බන්ධ කිරීමට උත්සාහ කළේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබාගැනීම සඳහා නීතියට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට නොගැළපෙන බලපෑම් කළ බවටද චෝදනා එල්ල විය.

මෙහිදී අවසාන අරමුණ මෙන්ම එය ඉටු කරගැනීමට භාවිත කරන ක්‍රමයද වැදගත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට දිගුකාලීන සුජාතභාවයක් ලබා ගැනීමට නම්, එය සකස් කරන ක්‍රියාවලියද එහි උතුම් අරමුණු සමග ගැළපිය යුතුය. දූෂිත දේශපාලන ක්‍රම මගින් ශ්‍රී ලංකාවට විශ්වාසදායක ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගිය නොහැකිය.

පහසුවෙන් බිඳ වැටිය හැකි දේශපාලන ප්‍රභූන්ගේ එකඟතා මත යැපීම වෙනුවට, ශ්‍රී ලංකාව නව අධ්‍යයන සහ පර්යේෂණ මත පදනම් වූ වෙනස් ක්‍රමයක් අනුගමනය කළ යුතුය. රාජ්‍ය බලය ස්වාධීන ආයතන අතර බෙදාහැරීම, හොඳින් සලකා බලා මධ්‍යම රජයක් පිහිටුවීම සහ ස්වාභාවික සම්පත් පදනම් කර ගත් පාරිසරික කලාප හා සිවිල් කණ්ඩායම් ශක්තිමත් කිරීම එයට ඇතුළත් විය හැකිය. මෙහි අරමුණ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කරමින් කිසිදු දේශපාලන කල්ලියකට හෝ ජනවාර්ගික කණ්ඩායමකට සම්පූර්ණ පාලනය අත්පත් කරගැනීමට ඉඩ නොදීමයි.

ජීවත් වීමේ මූලික අයිතිය පැහැදිලිව තහවුරු කිරීම

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ මෙම සම්මන්ත්‍රණයේ සාකච්ඡාවල පැහැදිලිජීවත් වීමේ අයිතියක්” (Right to Life) ඇතුළත් නොවීම සැලකිය යුතු අඩුවකි. ශ්‍රී ලංකාව අනුමත කර ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 6 වැනි වගන්තිය මගින් ජීවත් වීමේ අයිතිය කඩ කළ නොහැකි මූලික මානව අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇත. එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එය පැහැදිලිව ඇතුළත් කර නොමැත.

එහි ප්‍රතිඵලයක් ලෙස, ජීවත් වීමේ අයිතිය පවතින බව පෙන්වීම සඳහා පුරවැසියන්ට සහ නීතිඥයන්ට 11 වැනි වගන්තිය සහ 13(4) වගන්තිය පිළිබඳ අධිකරණ අර්ථකථන මත යැපීමට සිදුවී ඇත. 11 වැනි වගන්තිය වධහිංසාවලින් නිදහස් වීමේ අයිතිය ගැන සඳහන් කරන අතර, 13(4) වගන්තිය අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලට එරෙහි ආරක්ෂාව පිළිබඳව සඳහන් කරයි.

අධිකරණ අර්ථකථන මත පමණක් යැපීම නිසා මූලික මානව අයිතිවාසිකමක් වෙනස් වන නීතිමය අදහස් සහ දේශපාලන තීරණ මත රඳා පැවතීමේ අවදානමක් ඇති වේ. සැබෑජනතා ව්‍යවස්ථාවක්තුළ මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කිරීම නීතිමය අනුමාන මත පදනම් නොවිය යුතුය. වෙනස් කළ නොහැකි මූලික සහතිකයක් ලෙසජීවත් වීමේ අයිතියඑහි පැහැදිලිව සඳහන් කළ යුතුය.

නවීකරණය සඳහා යෝජිත රාමුවක්

මෙම අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාමය රාමුවක් අවශ්‍ය විය හැකිය. එය බහුතරයේ පාලනය මත පමණක් රඳා නොපවතින, ආයතනික පාලනයන් සහ සමබරතාවයන් checks and balances) සහිතව ස්වයංක්‍රීයව සංතුලනය ක්‍රියාත්මක විය හැකි ක්‍රමයක් විය යුතුය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ රාජ්‍ය සභා මණ්ඩලයක් (Council of State) පිහිටුවීම එයට ඇතුළත් කළ හැකිය.

රටේ වැදගත් ක්ෂේත්‍ර නියෝජනය කරමින් තෝරාගන්නා සාමාජිකයන් 75 දෙනෙකුගෙන් යුත් ක්ෂේත්‍ර නියෝජන සෙනෙට් සභාවක් (Senate of Sectors) පිහිටුවිය හැකිය. එම සභාවට හානිකර නීති පාලනය කිරීම සඳහා දැනුම සහ කුසලතාව පදනම් කරගත් අධීක්ෂණයක් සැපයිය හැකිය. එමගින් කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ කර්මාන්ත වැනි විවිධ ක්ෂේත්‍රවලට පාලන ක්‍රියාවලිය තුළ හඬක් ලැබෙනු ඇත.

පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු විසින් විධායක බලය ක්‍රියාත්මක කළ හැකිය. ක්ෂේත්‍ර කොමසාරිස්වරුන්ගේ හෝ සෙනෙට් සභාවේ ප්‍රධානීන්ගේ අතිරේක අත්සන් ලබාගැනීමේ ක්‍රමයක් මගින් මෙම කණ්ඩායම් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ කළ හැකිය.

පාරිසරික හා ආර්ථික විමධ්‍යගත කිරීම යටතේ ජනවාර්ගික පදනමින් සකස් වූ පළාත් වෙනුවට ගංගා ද්‍රෝණි කේන්ද්‍ර කරගත් ආර්ථිකපාරිසරික කලාප 25ක් පිහිටුවීමට යෝජනා කළ හැකිය. එමගින් පවතින ප්‍රාදේශීය පරිපාලන සීමා නැවත සකස් කෙරෙන අතර, ග්‍රාමීය සමගි සභා කවුන්සිල හරහා ගම් මට්ටමේ නායකයන්ට ඒවා කළමනාකරණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙහි අරමුණ වන්නේ ඉඩම් සහ ජලය සියලු දෙනාට අයත් පොදු සම්පත් ලෙස සැලකීම, විවිධ කණ්ඩායම් අතර සහයෝගය වර්ධනය කිරීම සහ සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රජාවන්ට ව්‍යවස්ථාමය නිෂේධ බලයක් ලබා දීමයි.

නිගමනය

තරුණ නීතිඥ සංගමයේ සම්මන්ත්‍රණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව නැවත ආරම්භ කර ඇත. එහෙත් දිගුකාලීන සහ ස්ථාවර පාලනයක් ගොඩනැගීමට නම්, ජනවාර්ගික බහුතරය සහ සුළුතරය මත පදනම් වූ අදහස්වලින් ඔබ්බට යා යුතුය.

ශ්‍රී ලංකාව පැරණි ව්‍යවස්ථා කෙටුම්පත්, ජනවාර්ගික බෙදීම් සහ වාර්ගික නායකයන් මත යැපීමෙන් ඉවත් විය යුතුය. ඒ වෙනුවට, බහුතර කණ්ඩායම් කිහිපයක් ((multiple majorities) ඇතුළත් බහුත්වවාදී පද්ධතියක් ගොඩනැගිය යුතුය. නීති මගින් සමාජයේ වටිනාකම් නියෝජනය වන බව තහවුරු කළ යුතු අතර, ව්‍යවස්ථාව සකස් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතුය. ජීවත් වීමේ අයිතියද පැහැදිලිව සහ ස්ථිරව තහවුරු කළ යුතුය.

මෙම පියවර මගින් ස්ථාවර, තිරසාර සහ තමන්වම ආරක්ෂා කරගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

*දිනේෂ් දොඩම්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකි. ඔහු එක්සත් රාජධානියේ ක්‍රැන්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගෝලීය ආරක්ෂාව පිළිබඳ පශ්චාත් උපාධියක් (MSc) (MSc) ලබා ඇත. එමෙන්ම, මහා බ්‍රිතාන්‍යයේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ සහ ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲස් විශ්වවිද්‍යාලයේ CSTPV ආයතනයේ පර්යේෂණ සිදු කර ඇත. ඔහු අමෙරිකාවේ ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයේ එක්සත් ජනපද ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකි.

(Colombo Telegraph හි SEPTEMBER 12, 2026  පළවූ Rethinking Sri Lanka’s Constitutional Renewal: Moving Past the Majoritarian-Minorities Dilemma ලිපියේ සිංහල පරිවර්තනය)

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment