ඊ.එම්. තිස්සකුමාර –
වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රමුඛව ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන නිතිපතා විග්‍රහාත්මක රචනයේ යෙදෙන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පිළිවෙලින් 2025.09.12,19 හා 26 දිනැතිව ලිපි තුනක් “අනිද්දා” පුවත්පතට ලියුවේය. එහි පලමු ලිපියට පාදක කරගත් උධෘත පාඨ තුනෙන් එකක් වූයේ ගුණදාස අමරසේකර ගේ සුප්‍රකට ලිපියක මාතෘකාව වන “මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි පරපුරයි” යන්නය. අමරසේකර ලියූ එම ලිපිය 1962 වසරේදී සංස්කෘති සඟරාවේ දසවස් පූර්ණ සමරු කලාපයේ පලවිය.
2024 වසරේදී ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවීමත් සමඟම, අමරසේකර 1962 වසරේදී ලියූ ලිපිය මගින් සිදුකල අනාවැකිය සත්‍ය වූ බවට උයන්ගොඩ ඉහත ලිපියෙහි සඳහන් කරන්නේ, ඔහුගේම වචන වලින් කිවහොත් “ගුණදාස අමරසේකර ගේ අනාවැකිය, ඔහු කැමති වුවත් නැතත් දැන් ලංකාවේ සත්‍ය වී තිබේ. උගත් ගැමි පරපුර ආණ්ඩු බලය ලබාගෙන ආර්ථික, සමාජ හා දේශපාලන පදනම් වෙනස් කිරීමට ද පටන්ගෙන ඇත” යනුවෙනි (උයන්ගොඩ – 2025.09.12 ලිපිය) . අමරසේකර ගේ දේශපාලන චින්තනය කෙරෙහි තියුණු විවේචනයක් ඉදිරිපත් කරන්නෙක් වන උයන්ගොඩ මෙකී යුග විපර්යාසය ගැන අමරසේකර සමග එකඟ වෙන මොහොතක් මෙය වන්නේය.
“මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි පරපුරයි” යන ලිපිය 1962 වසරේදී ලියන්නේ වසර 1956 දී සිදුවූ සමාජ පෙරළිය නිසා ඇතිවූ චින්තනමය පිබිදීම නිසා බව අමරසේකර කියයි (ගුණදාස අමරසේකර – ගණඳුර මැදියම දකිනෙමි අරුණලු; 1998 තෙවන මුද්‍රණය – පි. 132). උයන්ගොඩ දක්වන්නේ අමරසේකර එවකට මාර්ටින් වික්‍රමසිංහ ගේ සමාජ චින්තනයෙන් ලද ආභාසය ද මෙම ලිපිය ලිවීමට බලපෑ බවයි. වික්‍රමසිංහ සහ අමරසේකර දෙදෙනාම 1956 දේශපාලන පෙරළිය විග්‍රහ කළේ යුග විපර්යාසයක් ලෙසිනි. වික්‍රමසිංහ එම දේශපාලන පෙරළිය හැඳින්වූයේ “බමුණු කුලයේ බිඳවැටීම ” යන සුප්‍රකට වදන් වලිනි. උයන්ගොඩ නිවැරදිව කියනා ලෙසට වික්‍රමසිංහ ආභාසය අනුව අමරසේකර ද මේ “බමුණු කුලය” යන වදන භාවිතා කරයි. සංස්කෘතික අර්ථයකින් පමණක් නොව සමාජ දේශපාලන අර්ථයකින් ඔවුන් දෙදෙනාගේම මේ විමසුම් දෙස බැලීම වැදගත්ය.
ගුණදාස අමරසේකර තම ” අබුද්දස්ස යුගයක්” නම් කෘතිය පළකරන්නේ 1971 ජනතා විමුක්ති පෙරමුණෙහි පලමු සන්නද්ධ දේශපාලන අරගලයට වසර පහකට පසුව 1976 වසරේදීය. එහි දෙවන මුද්‍රණය 1996 අප්‍රේල් මස දී නිකුත්වූ අතර එහි පිටු අංක 49 සිට 52 දක්වා මෙම කෙටි ලිපිය යළිත් වරක් ඇතුලත් කර ඇත. මාගේ මෙම ලිපියට පාදක කරගන්නේ අමරසේකර ගේ එම ලිපියයි.
යටත් විජිත යුගයේ සිට ආරම්භ වූ අධ්‍යාපන ක්‍රමය තවමත් (මෙම ලිපිය ලියන 1962 වසර වනවිට ද) පවතින බවත් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ප්‍රමුඛව ඇතිකල නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පෙරකී අධ්‍යාපන ක්‍රමයේ “දළදඩු මුහුණුවර” නැතිවූවත් එහි “මූලික රටාවෙහි” වෙනසක් සිදු නොවූ බවත් මේ “අධ්‍යාපන ක්‍රමය විසින් මෙරටට හෝ සමාජයට කිසිඳු සේවයක් නොකල මතු අනාගතයේ දීත් එවැන්නක් කරති යි අපේක්ෂා කළ නොහැකි තුන් පිරිසක්” බිහිකර ඇතැයි ගුණදාස අමරසේකර ලිපිය ආරම්භයේදී ම සඳහන් කරයි.
යටත් විජිත පාලනය සමග එක්ව කටයුතු කරන, නාගරික සුඛෝපභෝගී ජීවන රටාවක් ගතකරන, රෝයල් සැන් තෝමස් වැනි රදළ ඉංග්‍රීසි පාසැල්වල අධ්‍යාපනය ලබන, පොදු ජනයාගෙන් ඈත්වූ, පොදු ජනයා පෙළන, සුද්දන්ගේ සිරිත් විරිත් අකුරටම පිළිපැද එ බස කතාකරන ඔවුනගේ සුවච කීකරු දාසයන් වූ, පොදු ජනයාගේ බස කලා ශිල්ප සිරිත් විරිත් නිගාවට ලක්කරන්නාවූ බමුණු කුලය (අමරසේකර ගේ වචන ) පළමුවන පිරිසය. මෙහි සඳහන් “බමුණු කුලය” යන වදන අමරසේකර භාවිතා කරන්නේ හුදු ආගමික නොව දේශපාලන අර්ථයකින්ය. 1956 දී සිදුවූ දේශපාලන පෙරළිය විග්‍රහ කරන අවස්ථාවේදී මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලය යන වදන භාවිතා කලේ ද දේශපාලන අර්ථයකින් 1956 මහ මැතිවරණයේදී පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය එජාප සහ එහි දේශපාලන නායකත්වය හා එයට පක්ෂපාතී දේශපාලන බලවේග හැදින්වීමටය. අමරසේකර එසේ සෘජුවම නොකීවද අදහස් කරන්නේ වික්‍රමසිංහ ගේ අර්ථය බව සිතිය හැකිය.
දෙවන පිරිස ඉහත පළමු පිරිසට හාත්පසින් වෙනස් වුවද බමුණු කුලය තුලින්; ඒ ආශ්‍රිතව මෙම යටත්විජිත අධ්‍යාපන ක්‍රමය විසින් බිහිකල බව අමරසේකර සඳහන් කරයි. මේ දෙවන පිරිස හැදින්වීමට “සිපිරි ගෙවල තනිවූ; එක්ටැම් ගෙවල තනිවූ; තනි වූවන් සමූහයක්” යන විශේෂණ පදය භාවිතා කරයි. ඔවුන් බමුණු කුලය තුළින් පහලවූ ප්‍රාඥයන්; විප්ලවවාදීන් බව හෙතෙම සඳහන් කරයි. අමරසේකර කියන බමුණු කුලයේ පරමාර්ථ හා ඒවායේ සීමිත භාවය, ඒ ජීවිතවල ඇති නිසරු බව (අමරසේකර ගේ වචන) වටහාගත් මේ බුද්ධිමය ජීවීන් ඒවා විවේචනය කල නමුත් බමුණු කුලය ඒවා නොසළකා හැරියා පමණක් නොව ඔවුන් තම කුලකය තුලින් පිටමං කරන ලදී. එපමණක් නොව බමුණු කුලයෙන් පිටමං ව පොදුජනයා සමග එක්ව එම කුලයට එරෙහිව සටන් කිරීමට ද අපොහොසත්විය. මෙම බුද්ධිමය ස්තරයට රටේ පොදුජනයා සමග පෑහීමට නොහැකි වන්නේ ඔවුන්ව “හදින් නොව මනසින්” (අමරසේකර ගේ වචන) වටහාගැනීම නිසා බව හෙතෙම පවසයි. මෙවන් බුද්ධිමය ජීවියෙකු ලෙස අමරසේකර විසින් උදාහරණයට ගන්නේ ආනන්ද කුමාරස්වාමිය. ඔහු ජීවත්වූ බමුණු කුලය මෙන්ම මෙරට “අඥාන පොදුජනයා” (අමරසේකර ගේ වචන) ද කුමාරස්වාමිව ප්‍රතික්ෂේප කල බව සඳහන් කරයි.
මෙරට මධ්‍යම පංතික ජනතාවට ද අධ්‍යාපන අවස්ථා හිමිවීමත් සමග තුන්වන සමාජ කණ්ඩායම බිහිවූ බව අමරසේකර කියයි. ඔහුට අනුව මේ මධ්‍යම පංතිය ගම්බද ඉඩම් හිමියන්, ලිපිකරුවන්, සිංහල ගුරුවරුන් අයත්ය. මෙම පාංතික දරුවන් පෙරකී බමුණු කුලය ලද අධ්‍යාපන ක්‍රමය තුලට යොමුවන්නේ ඒ කුලය වෙත ගමන් කිරීමේ අපේක්ෂාවෙන්ය. එයින් බිහිවූයේ දීනයන් හා නිවටයන් පිරිසක් බව ඔහු සඳහන් කරයි.
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ප්‍රමුඛව ඇතිකල නිදහස් අධ්‍යාපන ක්‍රමය තුලින් “සීමිත අතලොස්සකට වරප්‍රසාදයක් වූ අධ්‍යාපනය බහුජනයාට ද පොදු දායාදයක්” ( අමරසේකර ගේ වචන) වීම නිසා විශ්ව විද්‍යාල තුලට පහළ මධ්‍යම පංතික හා දුප්පත් පාංතිකයන්ට ඇතුල්වීමට අවස්ථාව ලැබිණි. මෙම බහුජන අධ්‍යාපනය මගින් අලුත් උගත් ගැමි පරපුරක් බිහිවීම ද ඔවුන් “1956 දී බමුණු කුලය බිඳවැටීම නිසා මධ්‍යම පංතිය අතට පත් බලයට උරුමකම් කියන්නෝ” බව අමරසේකර ගේ අදහසයි .
මෙතැන් පටන් අමරසේකර මෙම උරුම කරුවන් පිලිබඳව දැරූ ලෙන්ගතු ආදරය සහ අනාගතවාදී අපේක්ෂාව ඔහුගේම වචන වලින්ම දක්වමි. “…. මෙරට පසෙන්, බහු ජනතාව කෙරෙන් බිහිවන මේ උගතුන් පිරිසට, මා මුලින් දැක් වූ උසස් පංතියෙන් බිහි වූ ප්‍රාඥයන්ට සිදු වූ අකරතැබ්බය සිදු නොවෙනු ඇත…..බහුජනතාව සිතින් හදෙන් දන්නා …… ඔවුන්ගේ හඬට බහුජනතාව කන් යොමා අසා සිටිනු නියතය …… බහුජනතාව කෙරෙන් බිහිවන මේ අලුත් පරපුර තමන් සතු සංස්කෘතියෙහි හරය උකහා ගත්තෝ වෙති …. බොරු ජාතිවාදයක් ඔවුනට අනවශ්‍ය වෙයි. තමන්ගේ ආගම් දහම් කුල සිරිත් මේ ඈ සියල්ල නිර්දය ලෙස විවේචනය කිරීමෙහි ඔවුන් සමත්වනු ඇත …. මෙරට බහුජනයා සමග එකට බැඳී උරෙන් උර ගැටී ජීවත්වන ඔවුන් තම උතුම් පරමාර්ථ සපුරාලනු වස් මෙ රට ඇති ආර්ථික හා සමාජ පදනම් වෙනස් කරනු නොඅනුමානය. බහුජනයා ලවා එවැන්නක් කරවීමෙහි සමත් වන්නේ ඔවුන් පමණි… “. අමරසේකර ගේ ඉහත අනාගතවාදී දැක්ම පලකරන 1962 වසර වනවිට ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛව ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ප්‍රබල ස්ථානයක සිටිය නමුත් මේ ලිපියේ කිසිඳු තැනක ඔවුන් ගැන සඳහන් නොකරයි. ලාංකීය වාමවාදී සමාජවාදී දේශපාලනය පිළිබඳ තියුණු බුද්ධිමය විවේචනයක් පසුකාලීනව ගොඩනඟන අමරසේකර මේ අවධිය වනවිට ද වාමාංශික දේශපාලන සංස්කෘතික කතිකාවේ විවේචකයකු විය. ඔහු කියන්නාවූ “බහුජනතාව කෙරෙන් බිහිවන මේ අලුත් පරපුර” කිසි ලෙසකින්වත් සමකාලීන ලාංකීය වාම දේශපාලන ව්‍යාපාරය අදහස් වන්නේ නොවේ. ඇත්තටම ඔහු දේශපාලනිකව පිබිදී සිටියේ 1956 දී එස්.ඩබ්.ආර්.ඩී. බංඩාරනායක ගේ ජයග්‍රහණය සමඟය. බමුණු කුලය පරාජය කල 1956 දේශපාලන බලවේග කෙරෙහි වූ ඔහුගේ පක්ෂපාතීත්වය පැහැදිළිය. එම බලවේග වල ඊලග පරම්පරාව මේ අලුත් පරපුර ලෙසින් අමරසේකර හදුනාගෙන අරුත් ගන්වයි.
මෙරට දේශපාලන විපර්යාසය සිදුකළ හැකි සමාජ බලවේගය ලෙස අමරසේකර හඳුනාගන්නේ “පහළ මධ්‍යම පංතික හා දුප්පත් පංතිවලට” (අමරසේකර ගේ වචන) අයත් බහුජනතාවයි. ඔවුන් 1956 දේශපාලන පෙරළියෙහි උරුම කරුවන්ය. එම යුගයේ සමාජ පරිවර්තනීය කර්තෘකාරකත්වය ගැන සාකච්ඡාවට ගෙනෙන උයන්ගොඩ මෙකියන බමුණු කුලයට එරෙහිව සමාජ පරිවර්තනීය දේශපාලන බලවේග වූයේ සමකාලීන වාමාංශික පක්ෂ සහ බණ්ඩාරනායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ බව සඳහන් කරයි (2025.09.12 ලිපිය). එම බලවේග වල පරිවර්තනීය කර්තෘකාරක සමාජ පංති, ස්ථර, කොටස් ලෙස උයන්ගොඩ ගේ හදුනාගැනීම සමග අමරසේකර හදුන්වන කර්තෘකාරක “පහළ මධ්‍යම පංතික හා දුප්පත් පංති” හා සමාන වීම අහම්බයක් නොවේ. මේ සමාජ දේශපාලන බලවේග පසු නිදහස් ඉතිහාසයේ අඛණ්ඩව විවිධ තත්වයන් යටතේ ගමන් කරමින් සිටිති.
2024.09.21 ජනාධිපතිවරණයෙන් ද 2024.11.14 මහමැතිවරණයෙන් ද ජයගෙන ජනාධිපති දිසානායක ප්‍රමුඛ ආණ්‌ඩුව පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය අමරසේකර කියූ “උගත් ගැමි පරපුර” ලෙස උයන්ගොඩ හඳුනාගනී. අමරසේකර දුටු සිහිනය, ඔහුගේ අනාවැකිය සාක්ෂාත් වී ඇත. 1962 වසරේ දී “මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි පරපුරයි” යන ලිපිය අමරසේකර ලියන විට ජනතා විමුක්ති පෙරමුණ බිහිවී තිබුනේ නැත. එම පක්ෂය බිහි කිරීමේ පළමු පියවර ගැනුණේ 1965.05.14 වෙනි දා ගාල්ලේ අක්මීමන දී රෝහණ විජේවීර ගේ ප්‍රධානත්වයෙන් තිබූ දේශපාලන සාකච්ඡාවේ දීය (පක්ෂයේ ඉතිහාසය 1965-1994 -ජනතා විමුක්ති පෙරමුණ; නියමුවා ප්‍රකාශන-2012 ; පිටුව 01). ජවිපෙ බිහිවීමත් සමග ලංකාවේ වාමාංශික දේශපාලන ඉතිහාසයේ ගමන්මග වෙනස් විය. එම පක්ෂය 1971 සහ 1988/90 කාලවලදී සන්නද්ධ දේශපාලන අරගල දෙකක් දියත් කළේය. 2024 වසරේදී ලංකාවේ නවවන විධායක ජනාධිපතිධූරයට පත්වූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකය. ජවිපෙ බිහිවූ කාලයේ සිට අද දක්වාම එම පක්ෂය කෙරෙහි අමරසේකර දැක්වූ සමාජ දේශපාලන ආස්ථානය තත්වානුරූපීයය; කාලානුරූපීය.
අමරසේකර 1962 වසරේදී ලියූ ලිපිය තවදුරටත් සංවර්ධනය කරමින් “මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි පරපුරයි – මාක්ස්වාදී අර්ථකථනයක්” යනුවෙන් යලි පළකරන්නේ ඔහුගේ “ගනඳුර මැදියම දකිනෙමි අරුණලු” නම්, වසර 1988 අප්‍රේල් මස (පලමු මුද්‍රණය) ප්‍රකාශයට පත්කල ලිපි දොලහකින් යුතු කෘතියෙහි මුල් ලිපියෙන් වසර විසිපහකට පසුවය. 1988 වසර වනවිට ජේ.ආර්.ජයවර්ධන ගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ජවිපෙ තහනම් කර එනිසාම යටිබිම්ගත දේශපාලන ක්‍රියාකාරීත්වයක් ගොඩනගමින් සන්නද්ධ දේශපාලන අරගලය තීව්‍ර කරමින් සිටියේය. දකුණේ එවකට පැවති “ත්‍රස්තවාදය” (අමරසේකර ගේ වචන) ජයවර්ධන රජය විසින් බිහි කරන ලද බවත්, එවැන්නක් සිදුකරන්නේ ජවිපෙ නම් එයට හේතුව ජයවර්ධන රජය විසින් ජවිපෙ තහනම් කර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භූමියෙන් ඉවත් කිරීම බව අමරසේකර පසුවදනෙහි සඳහන් කරයි. මෙම කෘතියෙහි දොළොස්වන ලිපිය ලෙස ඉහත ලිපිය ලියන ලද්දේ “ජවිපෙ ය මේ ත්‍රස්තවාදී කටයුතුවල නිරත වීමට පොරාතුව” 1986 වසරේ අග භාගයේ දී බව පසුවදන ආරම්භයේදීම සඳහන් කර ඇත . ජවිපෙ විසින් එවකට දියත් කල සන්නද්ධ දේශපාලන අරගලය “ත්‍රස්තවාදී ක්‍රියා” බවට ජයවර්ධන ආණ්ඩුව කල අර්ථකථනය සමග අමරසේකර ද එකඟ බව පෙනීයයි. කෙසේවුවද අමරසේකර සඳහන් කරන “මෙරට අනාගතය භාර ගැනීමට අවශ්‍ය උගත් ගැමි තරුණ පරම්පරාව දේශපාලනිකව නියෝජනය කරන්නේ ජවිපෙ බව අමරසේකර කියයි. එනිසාම මේ ත්‍රස්තවාදී උගුලට හසු නොවී සිටිය යුතු බව ජවිපෙට යෝජනා කරන ඔහු එළියට පැමිණ දේශපාලන කටයුතුවල නිරතවීමට සෑම අනුබලයක් දිය යුතු බවටද යෝජනා කරයි. 1962 දී සිටි උගත් ගැමි තරුණ පරපුර 1988 කාලය වනවිට “…..මෙරට ඉන්නා සමාජවාදය පතන දහස් සංඛ්‍යාත ගැමි තරුණ පිරිස….” ලෙස හඳුනා ගන්නා ඔහු පවසන්නේ එම පිරිස “නියෝජනය කරන සංකීර්ණ ජන සංඝය…” යනු ජනතා විමුක්ති පෙරමුණ බවය.
මෙම “ගනඳුර මැදියම දකිනෙමි අරුණලු” කෘතියෙහි තුන්වන මුද්‍රණය 1998 අප්‍රේල් මස දී ප්‍රකාශයට පත්කරන්නේ තවත් ලිපි හතරක් ද ඇතුලත් කරමිනි. ඒ වනවිට ජනතා විමුක්ති පෙරමුණෙහි සන්නද්ධ දේශපාලන අරගලය පරාජය වී සෝමවංශ අමරසිංහ හැර සියලුම දේශපාලන මංඩල හා මධ්‍යම කාරක සභා සාමාජිකයන් සියල්ල ඝාතනය කර බිමට සමතලා කර වසර නවයක් ගතවී තිබිණි. ජවිපෙ යලි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙහි නිරත වෙමින් සිටින අවධියකි. එජාප ආණ්‌ඩුව පරාජය කර 1994 දී ශ්‍රීලනිප ප්‍රධාන පක්‍ෂය වී ගොඩනඟා ගත් නිදහස් සන්ධානය ජයගෙන ආණ්ඩුව පිහිටවූ හා එහි නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය වූ අවධියකය.
1990 වනවිට ජවිපෙ ලද පරාජය සහ 1994 දී ශ්‍රීලනිප බලයට පත්වීම පසුගිය කාලය තුල සිදුවූ වැදගත් සිදුවීම් බව අමරසේකර සඳහන් කරන්නේ මේ 1998 තුන්වන මුද්‍රණයේ පෙරවදනෙහිය. “මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි පරපුරයි – මාක්ස්වාදී අර්ථකථනයක්” යන ලිපිය මෙම කෘතියෙහි පිටු අංක 132 සිට 146 දක්වා දිවෙන 1962 ලිපියට වඩා දිගු ලිපියකි. ඉන් වසර විසිපහකට පසුව නව අරුත් සපයන්නේ එම තරුණ පරම්පරාව කෙරෙහි ඇති ආදරය හා භක්තිය මුසුවූ හැගීමකිනි (පි.132). මේ දිගු ලිපිය නිමාකරන අවසාන පිටු දෙකහි තම නිගමන බහාලයි. මෙරට සමාජවාදී පරිවර්තනය කල හැකි කර්තෘකයා වන්නේ “උගත් ගැමි තරුණ පරපුර” බව අමරසේකර පවසයි. 1962 වසරේ ලියූ පෙර කී ලිපියෙහි (ඒ වනවිට ලසසප හා කොප ප්‍රමුඛව ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ප්‍රබල ස්ථානයක පසුවූවත්) මෙරට සමාජවාදී රටක් බවට පත්කල යුතු යැයි සඳහන් කලේ නැති අතර රටේ සමාජ හා ආර්ථික පදනම් වෙනස් කල යුතුය යන අදහස පලකළේය. එසේ වුවද 1988 මේ කෘතියෙහි පළකල ලිපියෙහි ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය හා එහි මාක්ස්වාදී දර්ශනය ගැන තියුණු විවේචනයක් ඇත. සමාජවාදී සමාජ පරිවර්තනයෙහි කර්තෘකයා මෙරට කම්කරුවා බව “පැරණි මාක්ස්වාදී පක්‍ෂ” පිලිගැනීම ගැන අමරසේකර විවේචනය කරන අතරම එම පක්ෂ වල දේශපාලන අසාර්ථකත්වයට ද එයම හේතුවක් බව දක්වයි. 1956 දී සිදුවූ දේශපාලන වෙනස
“විජාතික ආධිපත්‍යයට එරෙහි ව දියත් කළ පළමු ජාතික විමුක්ති අරගලය” ( පිටුව 21) බව හා එය මෙ රට සමාජවාදී පරිවර්තනයේ පූර්විකාව ( පිටුව 143 ) ලෙස අමරසේකර හදුන්වයි. “.. අද (1988 – ලියුම්කරු) මෙරට ගම් නියම්ගම්වල ඉන්නා තරුණ පිරිස 56 පෙරළිය සිදු කළ ගැමි ජනතාව කෙරෙන් බිහි වූ පළමු හා දෙවන පරපුරට අයත් අය වන බව අපට පෙනී යා යුතුය…මේ පරපුරට මෙරට තුළ සමාජ පරිවර්තනයක් කිරීමේ ආශාව නොමඳ ව පැවති බව ද….1971 දී මතු වූ කැරැල්ලෙන් පෙන්නුම් කරනු ලබන එක ම වැදගත් කරුණ නම් සමාජවාදී පරිවර්තනයක් සඳහා මේ තරුණ පිරිස තුළ ඇති දැඩි අධිෂ්ඨානයයි; කැපවීමයි. සටන්කාමීත්වයයි. එහිදී ඔවුන් ගත් මඟ වැරදි වුව ද ඔවුන් ප්‍රදර්ශනය කළ සටන්කාමීත්වය අපගේ ප්‍රසාදයට ලක්විය යුතුය…” (පිටුව 144).
මෙම කර්තෘකාරක උගත් ගැමි තරුණ පරම්පරාවේ බහුතරය තම දේශපාලන පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණ තෝරාගෙන ඇති නමුත් යම් ප්‍රඥාංකුරයන් ලෙසින් බිහිවන්නන් රදවාගැනීමට අපොහොසත් වීම ගැන හෙතෙම දක්වන්නේ ජවිපෙ මෙරට ජනතාව ගේ අධ්‍යාත්මය නියෝජනය කරන චින්තනයෙන් වියෝවීමක් පෙන්වන බවයි (පිටුව 145-146). ඔවුන්ගේ මාර්ගෝපදේශකයා විය යුත්තේ මෙරට ජාතික චින්තනය වියයුතු බව අමරසේකර අවසාන වශයෙන් සඳහන් කරයි. 1956 දී සිදුවූ දේශපාලන පෙරළිය මෙරට සමාජවාදී සමාජයක් බිහිකිරීමේ පූර්විකාව බවත් 1971 දී හා 1988/90 සන්නද්ධ දේශපාලන අරගල ඒ ගමන් මගේ යම් උත්සහායන් බවටත් අමරසේකර ගේ සිතීම අනුව ගත්විට ඇත්තටම කූට ප්‍රාප්තිය වන්නේ 2024 දී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලින් මහජන ඡන්දයෙන් ජවිපෙ/ජාජබ රටේ නායකත්වයට පත්වීමය. එහෙත් ගුණදාස අමරසේකර ඒ ආකාරයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව ගැන අද සිතන්නේ ද? මේ ගැන උයන්ගොඩ හා කල කතාබහේදී ඔහු සඳහන් කළේ වර්තමාන ජාජබ ආණ්ඩුව කෙරෙහි අමරසේකර ගේ මනාපයක් නොමැති බවත් ජාජබ යනු බටහිර සහ දෙමල ඩයස්‌පෝරා ඒජන්තයෙක් ලෙස සලකන බවය.
1956 සිදුවූ දේශපාලන පෙරළිය මෙරට සමාජවාදය කරා යන ගමනේ පූර්විකාව බව අමරසේකර කියන්නේ ඒ පෙරළියට පුරෝගාමී වූ පුද්ගල හා දේශපාලන බලවේග වල ස්වාභාවය අනුවය. “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” යන පංච මහා බලවේගය පිළිබඳ සමාජ දේශපාලන හැඳින්වීම සේම අමරසේකර ගේ පහල මධ්‍යම පංතික හා දුප්පත් පංතික බහුජනතාව පිළිබඳ හැඳින්වීම ද 2025.09.12 ලිපියෙන් උයන්ගොඩ සඳහන් කරන “නිර්ප්‍රභූ පන්ති ස්ථර ගණනාවක” එකතුවක් ලෙස කරන හැදින්වීම ද 1956 දේශපාලන පෙරළිය සිදුකල දේශපාලන බලවේග ලෙස අර්ථ දැක්විය හැකිය. එයට අතිරේකව ධනපති පංතියේ එක් කොටසක් ද මේ නිර්ප්‍රභූ සමාජ එකතුව හා බද්ධ වූ බවත් සමාජය ප්‍රභූ හා නිර්ප්‍රභූ ලෙස සිදුවූ ඛණ්ඩනය දේශපාලනිකව ප්‍රකාශයට පත්වූ බවත් උයන්ගොඩ සඳහන් කරන්නේය. මාර්ටින් වික්‍රමසිංහ හා අමරසේකර දෙදෙනාම බමුණු කුලය ලෙසින් හැඳින්වූයේ මේ කියන ප්‍රභූ දේශපාලන බලවේගයයි. වික්‍රමසිංහ ලියූ “බමුණු කුලයේ බිදවැටීම” නම් ලිපිය අනුව ඔහු බමුණු කුලය ලෙසින් හැඳින්වූයේ 1956 මහ මැතිවරණයේදී පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය එජාප සහ එහි දේශපාලන නායකත්වයයි. අමරසේකර සෘජුවම එසේ නොකීවද අදහස් කළේ එයම බව සිතිය හැකිය.
මෙරට පැරණි වාමාංශික පක්ෂ සහ ඒවා ගුරු කොට ගන්නා මාක්ස්වාදී චින්තනය පිළිබඳව අමරසේකර ගේ විවේචනය පදනම් වන මූලිකම සාධකයක් වන්නේ මෙරට සමාජයට සංස්කෘතියට අනුගත වීමට නොහැකි වීම යන්නය. මාක්ස්වාදය ගැන කවර විවේචනයක් තිබුණද මෙරට සමාජවාදී සමාජයක් බිහිකිරීම අවශ්‍ය බව ඔහුගේ ද අපේක්ෂාව විය. ඒ සඳහා මෙරටට ගැලපෙන සමාජ දේශපාලන දර්ශනයක් චින්තනයක් ගොඩනැඟිය යුතු බව හා එය ජාතික චින්තනය විය යුතු බව අමරසේකර ස්ථිරසාර ලෙස සඳහන් කරයි. ඔහුගේ සමාජ පරිවර්තනීය කර්තෘකාරක උගත් ගැමි තරුණ පරම්පරාව සිටින ජවිපෙ මෙකියන ජාතික චින්තනය තම දේශපාලන චින්තනය ලෙසින් පිළිගනු ලැබුවේ ද? නැතිනම් ජවිපෙ තම දේශපාලන හැරවුම ලෙස ජාතික ජන බලවේගය නිර්මාණය කරද්දී හෝ වර්තමාන ආණ්ඩු බලය ලබාගැනීම කරා යන ගමනේදී ජාතික චින්තනය ගුරු කොට ගත්තේ ද? එසේ යැයි කිව නොහැකි වන්නේ ජාජබ ආණ්ඩුවෙහි සමාජ දේශපාලන ආර්ථික ඉදිරි දැක්ම වඩාත් දියුණු නවීකාරක රටක් බිහිකිරීම වීම නිසාය. එම දැක්ම අමරසේකර 1988 දී අපේක්ෂා කල සමාජවාදී සමාජයක් පිළිබඳ දැක්ම සමග එකට එක්ව ගමන් කරන්නේ ද යන්න ඔහුටම පසුකාලීනව සැක උපන්නා සේය. අද පවතින ජාජබ ආණ්ඩුව කෙරෙහි ඔහුගේ දේශපාලන පක්ෂපාතීත්වයක් නොමැත. එසේවුවද උයන්ගොඩ කියන්නා සේ අමරසේකර නොකැමති වුවත් “උගත් ගැමි තරුණ පරපුර” දේශපාලන බලවේග ලෙසින් “ජන සංඝයක්” බවට එක්වූ ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ රටේ දේශපාලන බලය අත්පත් කරගෙන ඇත.
තරුණ අමරසේකර දුටු සිහිනය සැබෑ වූ බව දකින්නේ වියපත් අමරසේකරය.
leelagemalli / October 30, 2025
ලංකාවේ පැවැත්ම කිසිම විදියකින් වෙනස් වෙන්නේ නැහැ හොඳ නීති හඳුන්වදෙනකම් …අද උනත පාරේ නීතියක් ඇත්තෙම් නැහැ.
ටුක් ටුක් පදින එවුන් නිලමස්සෝ වගේ.. මහජන ප්‍රවාහනයේ යෙදෙන ය කිසිම විදියකින් නීතිගරුක නැහැ.
+ රට පැමිණෙන විදේශිකයන් බය බිරන්තවෙන පාරේ ගමන ගමනයේදී. මටම කියල තියෙනවා…අපේ රටේ ගමන ගමනය අනතුරු දායකයි කියල.
අද කොතරම් බලයක් රජය පාර්ලිමේන්තුව තුල තිබුනත්, කිසිම විදියකින් නීති මේ පසුගිය මස 12 තුල ගෙනවිත් නැහැ. එක අපිට උබතොකොටික ප්‍රශනයක්ඒ ??????? මෙය අපිට දැනුන ගොටබය පත්වුණා විටත්.
.
ඒ ක නොහැකියාවේ ප්‍රශනයක් කියල බොහෝදුරට පේනවා. එය තර්කයක් නැතිව පිළිගත යුතුයි.
රනිල්ගේ මස 26 තුල තිබුන අන්තර රජය තුල එතුමා ඇතුළු ඒ සුළු කැබිනට ඇමති වරු සමග ගොඩක් ජාති වලට නීති ගේනවා….ඩොලර සන්චිතය ඩොලර් බිලියන 6 ක් දක්වා ගේනවා….ඒ මස 26 ක් ඇතුලත. … ජෙප්පෝ රජය මාස 12 තුල 0.2 ඩොලර් බිලියන සංචිත වලට එකතු කොරල තිබෙනවා. හොඳ දේවල ජන ගත වෙන්න මාද්‍ය මාෆියව කවදාවත් ඉඩ දෙන්නෙත් නැහැ. නමුත් ඒවා ජනගත් කොරන්න තරම් මදය ගනිකොඅවෝ අපක්ෂ පති වුනේ නැහැ. අද හෝ ඉදිරියට “අනුර කුමාරගේ ” පිටරට චාරිකා වල පරධ්‍රුෂ්ය බව හෙළිවනවා. එතකොට රනිල කොරපු දෙහ්ස්පලන පලිගැනීම දුස්හිම් ගණන් වලින් ගෙවන්නට වෙනවා. මේවා ඉර හන්ද වගේ විස්වාසයි.
/