‘අවසන් රජුගේ සමුදුරු ගමන’ නමින් යුතු කෘතිය නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් සංස්කරණය කල පිටු 103 ක කුඩා ග්‍රන්ථයකි. එසේ වුවත් එයින් සංග්‍රහ කෙරෙන මහා කතාන්දරය ලංකා ඉතිහාසයේ එක් පරිච්ඡේදයක නිමාව සනිටුහන් කරයි.
ශ්‍රී ලංකාවේ, සිංහලයේ, කන්ද උඩරට මහනුවර රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් අල්වාගෙන අනතුරුව ඉන්දියාවට පිටුවහල් කිරීමේ නාවික ගමන සම්බන්ධව රජු හා පිරිවර භාරව කටයුතු කල යටත් විජිත පාලනයේ නිලධාරියෙකු වූ විලියම් ග්‍රැන්විල් එම ගමනේදී තැබූ දින සටහන් සෙනෙවිපාල විසින් මෙම කෘතියේ දී සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. ග්‍රැන්විල් විසින් ඉංග්‍රීසියෙන් ලියූ දින සටහන්ද මෙහි ඇතුළත්ය.

Screenshot
විලියම් ග්‍රැන්විල් විසින් ඉංග්‍රීසියෙන් ලියූ දින සටහන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතාපදානයක් ලෙසද සැළකිය හැකි අතර එය එ බසින් වසර 1930 දී පළවී ඉන් වසර 194 කට පසු සිංහල බසට පරිවර්තනය වී මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත්වන්නේ සෙනවිපාල ගේ මේ කෘතිය මගිනි (සෙනෙවිපාල 2025: 8).
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්වූයේ අවස්ථා දෙකකදීය. පළමුවැන්න නම්, එතෙක් ලන්දේසින් යටතේ පාලනය වූ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් 1796 වසරේදී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට හිමිවී වර්ෂ 1802 දී බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට නතුවීමය. දෙවැන්න නම් වර්ෂ 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට යටත් කරගැනීමය (ඇඳගම 2007: 1).
උඩරට රාජධානියේ ආරම්භය හා රජ පරපුර කෙටි බැල්මක්
උඩරට මහනුවර/සෙංකඩගල රාජධානියේ ආරම්භය සිදුවන්නේ සේනාසම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511) කෝට්ටේ රාජධානියට යටත් පාලකයෙකු වශයෙන් සිටි අවධියේ පටන්ය (සෝමරත්න 2015: 10-12). ඔහුගේ මරණින් පසු පුත් ජයවීර බණ්ඩාර (ක්‍රි.ව 1511-1551) රජ වන්නේය. එවකට කෝට්ටේ හා සීතාවක රාජධානි වෙතින් එල්ල වූ යුධ දේශපාලන තර්ජනය නිසා ජයවීර බණ්ඩාරට එකල ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයේ සිටි පෘතුගීසින් සමඟ සම්මුතියට පැමිණීමට සිදුවූයේ වර්ෂ 1546 දී ඔහු කතෝලික ආගම වැලඳ ගත්තේය (සෝමරත්න 2015: 15). රජ පවුලේ අභ්‍යන්තර බල අරගලයක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පුත් කරල්ලියද්දේ බණ්ඩාර විසින් යුද්ධයකින් තම පියා පලවා හැර රජු බවට පත්විය. සීතාවක රාජසිංහ රජුගේ යුධ දේශපාලන තර්ජනය නිසා කරල්ලියද්දේ බණ්ඩාර ද ප්‍රසිද්ධියේම දොන් ජුවන් යන බෞතීස්ම නම යටතේ කතෝලික ආගම වැලද ගත්තේය (සෝමරත්න 2015: 17-18). එවකට කෝට්ටේ රාජධානියේ රජු වූයේ කතෝලික ආගම වැලද ගත් දොන් ජුවන් ධර්මපාල ය. පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ නොනිල පාලකයින් බවට පත්විය.
මේ යුගයේ ඉතිහාසය දෙස බැලීමේදී කෝට්ටේ, සීතාවක හා උඩරට රාජධානි එක්ව සටන් කර ආක්‍රමණික පෘතුගීසින් පලවා හැරීමේ අභිප්‍රායක් ඔවුනට තිබුණේ නැත. ඔවුන් එකිනෙකා සමඟ වරින්වර යුධ වැදුණු අතර ඒ අවස්ථාවලදී පෘතුගීසීන්ගේ යුදමය සහයෝගය පාර්ශව තුනම විවිධ ආකාරයට ලබාගත්තේය.
කරල්ලියද්දේ බණ්ඩාර ගේ කතෝලික ආගම වැලද ගැනීම මූලික කරගත් අප්‍රසාදයක් උඩරට රදළ ප්‍රභූන් අතර ඇතිවී තිබුණි. සීතාවක රාජසිංහ ගේ 1582 වසරේ උඩරට ආක්‍රමණයේදී එම රදළ ප්‍රභූන් ඔහුට සහයෝගය දැක්වූ හෙයින් කරල්ලියද්දේ බණ්ඩාර පරාජයට පත්ව තම දියණිය කුසුමාසන දේවි සහ බෑනා යමසිංහ බණ්ඩාර සමඟ පෘතුගීසින් වෙත පළාගියේය (දේවරාජ 1997: 26). රාජසිංහ ගේ සහයෝගයෙන් වීරසුන්දර බණ්ඩාර ප්‍රභූවරයා ඔහුට යටත් නාමික පාලකයා බවට පත්විය. නමුත් වීරසුන්දර බණ්ඩාර සීතාවක ආධිපත්‍යයට එරෙහිව කැරළි ගැසීම නොඉවසූ රාජසිංහ ඔහුව මරාදැමීමට කටයුතු කළේය (සෝමරත්න 2015: 19-20). උඩරට රාජධානිය සීතාවක රාජසිංහ රජුට අයත්විය.
මේ කාලය වනවිට උඩරට රජ පවුලට සම්බන්ධ බොහෝ පිරිස් පෘතුගීසින් ගේ රැකවරණය යටතේ සිටියහ. කරල්ලියද්ද බණ්ඩාර ගේ බෑනා වූ කතෝලිකයෙකු ද වූ දොන් පිලිප් යමසිංහ බණ්ඩාර සහ වීරසුන්දර බණ්ඩාර ගේ පුතා වූ කතෝලිකයෙකු වූ කොනප්පු බණ්ඩාර ද කැටුව උඩරට රාජධානිය ආක්‍රමණය කල පෘතුගීසින් විසින් යමසිංහ බණ්ඩාර සිහසුනේ තැබීය. යමසිංහ බණ්ඩාර ගේ මරණය සමග කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය නමින් රජවිය (සෝමරත්න 2015: 20-21). ඔහු පළමුවන විමලධර්මසූරිය (1592-1604) නමින් ඉතිහාසයට එක්විය. රජු බවට පත්වීමෙන් පසු ඔහු බෞද්ධාගම වැළඳ ගත්තේය. යමසිංහ බණ්ඩාර මෙන් නොව විමලධර්මසූරිය රජුට රාජකීය උරුමයක් සිහසුනට නොවීය.
රාජකීය උරුමය ඇති, කතෝලික ආගම වැලද ගෙන පෘතුගීසින් භාරයේ සිටි දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය ද පෙරටුකරගත් ඔවුහු, විමලධර්මසූරිය රජුට එරෙහිව වර්ෂ 1594 දී උඩරට රාජධානිය ආක්‍රමණය කළහ. උඩරට රාජධානිය යටත් කරගත් ඔවුන් කුසුමාසන දේවිය උඩරට රැජින බවට පත්කල ද විමලධර්මසූරිය රජු විසින් පෘතුගීසි හමුදා සමූලඝාතනය කර ඇය ද තම අග මෙහෙසිය බවට පත්කර ගත්තේය. එනයින් විමලධර්මසූරිය රජුගේ රාජකීය උරුමය සුජාතභාවයට පත්විය. ඔහුගේ මරණයෙන් පසු ඥාති සොයුරු සෙනරත් රජ බවට (1604-1635) පැමිණියේ ද කුසුමාසන දේවිය විවාහ කර ගනිමිනි. ඔවුනගේ පුතුන් තිදෙනා අතරින් බාල පුත් රාජසිංහ නමින් රජවිය (සෝමරත්න 2015: 24-26). ඔහු දෙවන රාජසිංහ (1629-1687) නමින් හැඳින්වේ. පෘතුගීසින් හා ලන්දේසි යටත්විජිත ආක්‍රමණිකයන් සමඟ අඛණ්ඩ යුධ අරගලයක නිරතවී සිටි දෙවන රාජසිංහ රජ මියගිය විට ඔහු පුත් දෙවන විමලධර්මසූරිය (1687-1707) කන්ද උඩරට රජ විය.
දෙවන රාජසිංහ ඉන්දියාවේ මදුරා පෙදෙසේ රාජකීය පෙළපතක් වන නායක්කර් වංශික කුමාරියක් සරණ පාවාගත්තේය. එම බිසව වෙතින් ලද පුත් කුමරු වන්නේ ඉහත සඳහන් දෙවන විමලධර්මසූරිය රජුය. ඔහුද අග මෙහෙසිය කරගත්තේ මදුරා පුරයෙන් කැන්දාගෙන ආ නායක්කර් වංශික කුමාරියක් බව මහාවංශය සඳහන් කළද සමහරවිට ඒ බව නිසැකවම කිව නොහැකි බව සෝමරත්න සඳහන් කරයි (සෝමරත්න 2015: 54). වර්ෂ 1707 දී රජු මියගිය අතර ඔහු පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) නමින් රජවිය. ඔහුගේ පළමු මෙහෙසිය වූයේ දකුණු ඉන්දියාවේ මදුරාවෙන් ගෙන ආ කුමරියකි. නරේන්ද්‍රසිංහ රජුට දරුවන් නොසිටි හෙයින් අග මෙහෙසිය ගේ සොහොයුරා නායක්කර් පෙළපතේ ශ්‍රී විජය රාජසිංහ (1739-1747) නමින් රජවිය (සෝමරත්න 2015: 58). ඔහුද මදුරාවේ නායක්කර් පෙළපතෙන් කුමාරියක් බිසව කරගත්තේය. මෙම රජුට ද පුතුන් නොසිටියෙන් ඔහුගේ අභාවයෙන් පසු බිසවගේ සහෝදරයෙක් කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781) නමින් රජවිය. ඔහුද නායක්කර් වංශිකයෙකි. ඔහුද පෙර සිරිත අනුව මදුරා පුරයෙන් අග බිසව විවාහ කරගත්තේ, ඔහුට ද දරුවන් නොසිටියෙන් රජු ඇවෑමෙන් ඔහුගේම සොයුරා රාජාධි රාජසිංහ (1782-1798) නමින් සිහසුනට පත්විය. ඔහුගේ බිසෝවරුන් ද මදුරා පුරයෙනි. ඔහු ද දරුවන් නොලැබ මියගියේය (සෝමරත්න 2015: 59-61).
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ පදවිප්‍රාප්තිය
මහනුවර උඩරට රාජධානියේ රාජාධිරාජසිංහ රජුගේ මරණයෙන් පසු ඔහුගේ බිසෝවරුන් තිදෙනාගේ සහෝදරයා වූ මුත්තුසාමි කුමාරයාට රජකම හිමිවීමට තිබුණේය. මහනුවර රජ පවුල සමඟ සමීප සබඳතා තිබූ, රාජ්‍ය පාලනයේ බලපෑම් සහගත තත්ත්වයක සිටි පළමු මහ අදිකාරම වූ පිලිමතලව්වේ ගේ මැදිහත්වීම මත මියගිය රජුගේ බිසවකගේ සහෝදරයෙකු ගේ පුතෙකු වූ කන්නසාමි කුමාරයාව ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798 – 1815) නමින් සිහසුනේ තැබීය. එවකට රජු වයස අවුරුදු දහ අටක රාජ්‍ය පාලනයෙහි අත්දැකීම් රහිත තරුණයෙකු වූයේය (ඇඳගම 2007: 15, අබයසිංහ 2015: 108-109). මුත්තුසාමි හා සමහර නායක්කාර් වංශික පිරිස් ඉංග්‍රීසීන් වෙත පළාගියේ අනතුරුව ඇතිවූ අර්බුදකාරී තත්ත්වය නිසාය (ඇඳගම 2007: 18). කාලය ගත වනවිට රාජසිංහ රජු සහ පිළිමතලව්වේ අදිකාරම අතර සබඳතා අර්බුදයට යමින් පැවතිණි. උඩරට රදළ පැලැන්තියේ දේශපාලන බලය රජුගේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක විය.
රාජසිංහ රජු ඉවත්කර තමා හට රජකම ලබාගැනීම අරමුණු කරගත් පිළිමතලව්වේ විසින් ඒ සඳහා උපකාර ගැනීමට වර්ෂ 1799-1803 අතර කාලයේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. 1800 ජනවාරි මස සීතාවක දි නෝත් ආණ්ඩුකාරයා සමඟ පැවති සාකච්ඡාවේදී තමන්ට උඩරට රජවීම සඳහා උදව්කරන මෙන් ඉංග්‍රීසීන්ගෙන් පිලිමතලව්වේ සෘජුවම ඉල්ලා සිටියේය. ආණ්ඩුකාරයා එයට එකඟ නොවීය (ඇඳගම 2007: 19). ක්‍රමයෙන් රාජසිංහ රජු සහ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය අතර දේශපාලනික අර්බුදය වර්ධනය වෙමින්, 1803 දී බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කළේය. ඉංග්‍රීසින් වෙත පළාගිය මුත්තුසාමි කුමාරයා සමග පැමිණි බ්‍රිතාන්‍ය හමුදා ඔහුව උඩරට රජු බවට පත්කළේය.
මහනුවර නගරය හිස්ව පැවතිණි. රාජසිංහ රජු මහනුවර ජනතාව සමඟ නගරයෙන් ඉවත්ව ගියහ. රාජසිංහ රජු සමඟ ප්‍රහාරය ඇරඹු උඩරට හමුදා විසින් ඉංග්‍රීසි හමුදා පරාජයට පත් කළේය. මුත්තුසාමි කුමාරයාව ඝාතනය කළේය. රාජසිංහ රජ නැවත මහනුවර නගරය වෙත පැමිණි අතර ඔහු හා පිළිමතලව්වේ අතර ගැටුම උග්‍ර වූයේ, රජු මරාදැමීමට කල කුමන්ත්‍රණය අනාවරණය වීමෙන් පසු රාජ ද්‍රෝහි වරදට පිළිමතලව්වේ ඇතුළු කුමන්ත්‍රණයෙහි යෙදුන පිරිස මරා දැමුවේය (ඇඳගම 2007: 21-23).
රාජසිංහ රජුට පක්ෂපාති රදළ කොටසක් ද විරුද්ධ කොටසක් ද ඇතිවිය. රජුට එරෙහිව සපරගමුවේ කැරැල්ලක් ඇතිකල එහි දිසාව වූ ඇහැළේපොල අදිකාරම ඉංග්‍රීසීන් වෙත පළාගියේය. රාජසිංහ රජු විසින් ඔහුගේ බිරිඳ සහ දරුවන් ඝාතනය කළේ රාජ ද්‍රෝහි වීමේ වරදටය. ඇහැළේපොල ද, ජෝන් ඩොයිලි ද සහායට ගත් රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර වරයා විසින් 1815 ජනවාරි 10 දින උඩරට රාජධානියට විරුද්ධව යුධ ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ හමුදා සහ උඩරට රදළවරුන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ සිංහල හමුදා වලින් සමන්විත ආක්‍රමණය මහනුවර නගරයට ඇතුළු වනවිට රාජසිංහ රජු නගරය හැරදමා ගොස් අවසානය (ඇඳගම 2007: 23).
මැද මහනුවර බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටිය ආරච්චිගේ නිවසේ ආරක්ෂිතව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා බිසෝවරුන් ඉංග්‍රීසි හමුදා සමඟ එක්ව සිටි, පෙරදී රාජසිංහ රජුගේ අදිකාරම් වරයෙකු වූ පසුව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එක්වූ එක්නැළිගොඩ අදිකාරම හා ඔහුගේ හමුදා පිරිස විසින් අත්අඩංගුවට ගන්නා ලදී (ඇඳගම 2007: 27-28). ඒ 1815 පෙබරවාරි මස 18 වෙනිදාය. මේ බව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ ආණ්ඩුකාරවරයා විසින් 1815 පෙබරවාරි 19 වෙනිදා නිල වශයෙන්ම නිවේදනය කළේය (සෙනෙවිපාල 2025: 11).
ශ්‍රී ලංකාවේ අවසන් රජු බ්‍රිතාන්‍යයන් විසින් අල්වාගෙන කන්ද උඩරට රාජධානිය යටත් කරගත්තේය. මුළු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට අයත් විය. 1815 පෙබරවාරි 29 දා බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට රාජ්‍යයේ රාජ්‍යත්වය අහෝසි කරන බව නිවේදනය කළේය (ඇඳගම 2007: 29).
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් පසු
බ්‍රිතාන්‍ය හමුදා විසින් අත්අඩංගුවට ගත් රජු හා බිසෝවරුන් සහ පිරිවර 1815 මාර්තු මස 06 දින කොළඹ කොටුවට රැගෙන ආවෝය. ඔවුන් සිරකරුවන් ලෙසින් ආසන්න වශයෙන් මාස දහයක් කොළඹ කොටුවේ සුවපහසු විශාල මන්දිරයක රඳවා තබාගන්නා ලදී (සෙනෙවිපාල 2025: 13, මාර්ෂල් 2025: 205). රජු ඒ වාසස්ථානය ගැන බොහෝ තුටුපහටුව සිටි බව මාර්ෂල් වාර්තා කරයි. 1816 ජනවාරියේදී ඔවුන් ඉන්දියාවේ මදුරාසියේ වෙල්ලෝරය වෙත පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය තීරණය කළේය (සෙනෙවිපාල 2025: 8). වර්ෂ 1816 ජනවාරි 24 වෙනිදා රාජසිංහ රජු සහ පිරිවර නැව් නැංගෝය.
මුහුදු ගමන
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ පිරිවර ඉන්දියාව වෙත රැගෙන ගියේ බ්‍රිතාන්‍ය රජුගේ කොන්වෝලිස් (His Majesty’s Ship Cornwallis) නෞකාව මගිනි. (සෙනෙවිපාල ගේ පොතේ පිටකවරයේ දැක්වෙන්නේ එම නෞකාවේ ඡායාරූපයකි). එවකට ලංකාවේ ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිග් ගේ අණ පරිදි බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු වූ විලියම් ග්‍රැන්විල් මෙම සමුදුරු ගමනේදී රජුගේ භාරකරු ලෙස පත් කෙරුණි. ආණ්ඩුකාරවරයාගේ අණ පරිදි ඔහු මේ ගමන පුරාම දෛනික සිදුවීම් ලේඛණගත කළේය (සෙනෙවිපාල 2025: 8). ‘අවසන් රජුගේ සමුදුරු ගමන ‘ නමින් සෙනෙවිපාල විසින් සංස්කරණය කර සිංහල බසට පරිවර්තනය කරන්නේ ඒ ග්‍රැන්විල් ගේ දිනපොතය.
කොන්වෝලිස් නෞකාවේ කපිතාන් වරයා වූයේ ආර්. ඕ’ බ්‍රයන් ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ භාරකාරත්වය පැවරුණේ ග්‍රැන්විල් වෙතය. රජු , බිසෝවරුන් සිව්දෙනා ඇතුළු රජුගේ පරිවාර පිරිස 60 දෙනෙකු විය.
ග්‍රැන්විල්ගේ දින සටහන් ආරම්භ වන්නේ 1816 ජනවාරි 24 වෙනි බදාදා දිනයෙන්ය. 1816 පෙබරවාරි 21 වෙනිදා අවසන් දින සටහන තබන්නේය.
කන්ද උඩරට මහනුවර රාජධානියේ රජු වූ රාජසිංහ, තවදුරටත් තමන් පිටුවහල් කරන දුර්වල රජෙකු ලෙස හැසිරුණේ නැති බව ග්‍රැන්විල්ගේ දින සටහන් අනුව පෙනේ. රජු කතාකලේ උස් හා ගැඹුරු හඬකිනි. කතා කරන අවස්ථාව වලදී කවර හෝ අවිනිශ්චිත තාවයක් නොතිබූ බව ග්‍රැන්විල් සඳහන් කරයි. නෞකාවේ සිටින සෑම මොහොතකම රජු හොඳින් සැමදේම නිරීක්ෂණය කළේ අවධානයෙන් යුතුවය.
තම බිසෝවරුන්ට රජු විසින් කල පහරදීමක් ග්‍රැන්විල් විසින් පාලනය කරන අතර යලි එවැන්නක් සිදු නොකරන බවට වූ පොරොන්දුව රජු එලෙසම සුරැකි බව ඔහු 1816 ජනවාරි 29 වෙනිදා වාර්තා කරයි (සෙනෙවිපාල 2025: 75). මේ දින සටහන් තුළම රජු විසින් තම බිසෝවරුන්ට ගෞරවනීය ලෙස සැලකූ ආකාරය ද සඳහන්ය. නැව් නැඟීමට යනවිට බිසෝවරුන් වේල් පටින් මුහුණ වසා සිටි අතර සෙසු නාවිකයන් හට ඔවුන්ව නොපෙණෙන පරිදි තිරරෙදි ඇද තිබුණ අතර රජු ඒවා එකිනෙක ලං කල බව ග්‍රැන්විල් ලියා තබයි. නෞකාවේදී බිසෝවරුන් සියලුදෙනාම කාමරවලට යොමුකිරීමෙන් අනතුරුව රජු තම කාමරයට ගියේය (සෙනෙවිපාල 2025: 69-72).
රජුගේ අදිකාරම් කෙනෙකු ලෙස සිට පසුව රජුට එරෙහිව කැරළි ගසා බ්‍රිතාන්‍ය පාර්ශවයට පළාගොස් රජු අල්වා ගැනීමට මූලිකත්වය ගත් ඇහැළේපොල ගැන තම අදහස රජු විසින් ග්‍රැන්විල් හට අනාවරණය කළේය. ගුණමකු බව සහ බල තෘෂ්ණාවෙන් යුතු අයෙකු ලෙස ඇහැළේපොලව හඳුන්වා දුන් රජු අසීමිත ණයගැති භාවය නිසා ඔහු තමන්ට එරෙහිව ආයුධ එසවූ බව කීවේය. ඔහුගේ ක්‍රියාවන්ට උඩරට නීතිය අනුව මරණීය දණ්ඩනය ලබාදිය යුතුව තිබුණද රජු විසින් ඇහැළේපොලව දෙවරක් ආරක්ෂා කර තිබේ. රජුගේ කනස්සල්ල වූයේ ඇහැළේපොල ගේ පක්ෂපාතීත්වය ගැන තමන් පමණට වඩා විශ්වාස කිරීමය (සෙනෙවිපාල 2025: 78-79). ඔහු විසින් බ්‍රිතාන්‍යයන්ට ද පවසන්නේ ඇහැළේපොල විශ්වාස නොකරන ලෙසය.
ග්‍රැන්විල් සඳහන් කරන්නේ රජු වනාහි අන් අයගේ හැඟීම් ගතිලක්ෂණ හඳුනාගැනීමට ඇති හැකියාව මෙන්ම තියුණු බුද්ධියක් සතු වූවෙකු ලෙසිනි. කුඩා කළ සිට සකස් වූ ප්‍රභූ හැසිරීම් හා ආචාර සමාචාර ගැන හෙතෙම සඳහන් කරන අතරම රජු සිය ජන්මය හා අභිමානය කිසිවිටෙක අමතක නොකළ බවද කියන්නේය. රාජසිංහ රජු තම පැවැත්ම සහ හැසිරීම් විශයෙහි සාවධානව සිටියෙකු බව පෙනෙයි. රජුගේ කුඩා වියේ සිට සකස් වූ උසස් ප්‍රභූ ගුණයන්ට හානියක් කිරීමට ඔහු මුහුණ දුන් අවාසනාවන්ත තත්වයන්ට නොහැකි වූ බව ග්‍රැන්විල් සඳහන් කරන්නේය (සෙනෙවිපාල 2025: 85). ඔහු රාජ නීතියට යටත්ව එය ක්‍රියාවට නැංවූවේය. අත්තනෝමතිකත්වය, අපරාධකාරීත්වය යන වර්තමානයේ කවරාකාර භාෂාවකින් රාජසිංහ රජුව හැඳින්වූවත් තත්කාලීන යුගයේ රාජ්‍යත්වය සම්බන්ධව ඔහු මුහුණ පාමින් සිටියේ අතිශය සංකීර්ණ හා ව්‍යාකූල තත්ත්වයකට බව තේරුම්ගත යුතුය.
රජු කිහිපවරක් ඇසූ එක් පැණයක් වූයේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිග් ඔහුව හමුවීමට නොපැමිණියේ මන්ද යන්නයි. ආණ්ඩුකාරවරයාට පමණක් කීමට බොහෝ දේ ඇති බව රජු කීවේය. සඟවා ඇති තම වස්තුව පිළිබඳ තොරතුරු ආණ්ඩුකාර වෙත දැන්වීමට රජුට අවශ්‍යතාව වූ බව, මන්ද ඒවා ඔහුගේ සතුරන් විශේෂයෙන්ම ඇහැළේපොල සතුවේවි යන බිය හා කනස්සල්ල රජුට වූ බව ග්‍රැන්විල් ලියන්නේය (සෙනෙවිපාල 2025: 89-90). ඇහැළේපොල මෙන්ම රාජසිංහ රජු රාජ්‍යත්වය කරා ගෙන ආ පිළිමතලව්වේ යන අදිකාරම්වරුන් දෙදෙනා කෙරෙහි අනුකම්පාවක් තිබුණේ නැත. ඒ ඔවුන්ගේ රාජද්‍රෝහි බවට එරෙහිව රජු දැඩිව දඬුවම් කළේය. ඒ තමා නොසැදූ නමුත් පිළිපැදීමට සිදුවූ චිරාගත උඩරට නීතියට යටත්වය. ඔහු විසින් රජෙකු ලෙසින් ගත් කිසිඳු තීරණයක් පියවරක් ගැන පසුතැවීමට හෝ කණගාටුවීමට තැත් නොකළ බව ග්‍රැන්විල් ගේ සටහන් අනුව නිරීක්ෂණය වේ. නමුත් රාජකීය උරුමය අහිමිව, එහි විභූතිමත් බව අහිමිව, රාජ්‍ය බලය, අධිකාරත්වය අහිමිව සිරකාරයෙකු බවට පත්වීමට සිදුවීම ගැන රජු සන්තාපයෙන් කණගාටුවෙන් හා ආතතියෙන් සිටියේය.
නෞකාවට ප්‍රවිශ්ඨ වීමේ සිට එහි මාසයකට ආසන්න කාලයක් ජීවත්වීමේ සහ නෞකාවෙන් බැහැර වූ දිනයේදී ද රාජසිංහ රජෙක් ලෙස ජීවත්වීමට, හැසිරීමට පසුබට වූයේ නැත. ඔහුගේ රාජකීයත්වයට නොගැළපෙන සිදුවීම් කෙරෙහි ඔහුගේ බලවත් විරෝධය පෑවේය. තමා සිරකරුවෙකු නොවන බවත් උඩරට රජු බවත් හැසිරීමෙන්, කතාවෙන් ඔහු අන් අයට දන්වා සිටියේය. නෞකාවෙන් නික්ම ගියේද රජෙකු ලෙසය (සෙනෙවිපාල 2025: 100-103).
1816 පෙබරවාරි 21 වෙනිදා දකුණු ඉන්දියාවේ මදුරාසිය අසල ‘පුලිකට්’ නැව්තොට වෙත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ පිරිවර රැගත් කොන්වෝලිස් නෞකාව ලඟාවිය. රජු සහ පිරිවර ගෞරව සහිතව ගොඩබිමට රැගෙන යාමට බ්‍රිතාන්‍යයන් කටයුතු කල අතර එදින රජු සහ පිරිවර වෙල්ලෝරය වෙත රැගෙන ගියෝය.
වසර 17 ක් වෙල්ලෝරයේ සිරකරුවකු ලෙසින් සිටි ශ්‍රී ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ 1832 ජනවාරි මස 30 වෙනිදා අවසන් හුස්ම හෙළන ලදී. එවිට ඔහුගේ වයස අවුරුදු 52 කි. පවුලේ අයගේ කැමැත්ත පරිදි රජුගේ දේහය ආදාහනය කරන ලදී (මාර්ෂල් 2025: 223).
ආශ්‍රිත ග්‍රන්ථ
1 . සෙනෙවිපාල, එන්.ටී- අවසන් රජුගේ සමුදුරු ගමන, 2025, සමන්තී පොත් ප්‍රකාශකයෝ, ජා ඇල.
2 . ඇඳගම, මාලනී- ‘ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් වීම’. ශ්‍රී ලංකාවේ ඉතිහාසය: සිවු වන කොටස, 2007 (දෙවන මුද්‍රණය), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.
3 . අබයසිංහ, ටිකිරි- ‘රාජ්‍යයක අවසානය , 1760-1818’ උඩරට රාජධානිය, දේවරාජ, සෝමරත්න-2015 (දෙවන මුද්‍රණය),සී/ස ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්ගලික) සමාගම, පන්නිපිටිය.
4 . සෝමරත්න, ජීවීපි -‘උඩ රට රාජධානිය බිහි වීම සහ ස්වාධිපත්‍යය සඳහා අරගලය’.උඩරට රාජධානිය-අබයසිංහ, දේවරාජ, සෝමරත්න-2015 (දෙවන මුද්‍රණය) , සී/ස ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්ගලික) සමාගම, පන්නිපිටිය.
5. මාර්ෂල්, හෙන්රි- Ceylon:A General Description of the Island and its Inhabitants, සිංහල පරි: ලංකාව, ඩී.එම්.අනුර බණ්ඩාර, 2025, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ.
6. දේවරාජ, ලෝනා ශ්‍රීමතී- උඩරට රාජධානිය, සිංහල පරිවර්තනය-කුසුම් දිසානායක,1997, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, පාදුක්ක.