10 October, 2024

Blog

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට සිරිමා බණ්ඩාරනායකගේ සහ රනිල් වික්‍රමසිංහගේ බලපෑම 

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පසුගිය වසරේ අගමැති වීමට පෙර රනිල් වික්‍රමසිංහ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ යුක්රේන් යුද්ධය සම්බන්ධව බොහෝ ආසියානු රටවල් පැත්තක් නොගත් බවයි. රුසියාව කලේ යුක්රේනය ආක්‍රමණය කිරීමක් බවත් තමන් එය අනුමත නොකරන නමුත් යුක්රේන ජනාධිපතිට රුසියාව සමඟ සාකච්ඡා කිරීමෙන් යුද්ධය වලක්වා ගත හැකිව තිබුණු බවත් ජනාධිපති වරයකු ගේ වගකීම සිය රට ආරක්ෂා කර ගැනීම බවත් ඔහු කීය. ඇමරිකන් මිසයිල් යුක්රේනයේ ස්ථාපනය කරනු ඇතැයි රුසියාව බියෙන් සිටි බවත් එම බිය වටහා ගත හැකි බවත් ඔහුගේ අදහස විය. ඇමරිකන් ජනාධිපති බයිඩන් රුසියාව සහ චීනය සමඟ එකවිට ගැටුමකට ගොස් බටහිර අධිපත්‍යය ස්ථාපනය කිරීමට උත්සාහ දරන බව ඔහු කීය. එමෙන්ම බටහිර රටවල් මෙම යුද්ධයේදී ආසියාවේ අදහස් නොවිමසූ බවටත් ඔවුන් එසේ කල යුතුව තිබුන බවටත් ඔහු අදහස් දැක්විය. මෙම අදහස් ලොවපුරා සැලකිල්ලට භාජනය විය.  

පසුගියදා ජපානයේ පැවති නිකි ෆෝරම් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය කරමින් ආසියාවට ලෝකයේ භූමියෙන් 30% පමණ අයත් වන බවත් ලෝක ජනගහනයෙන් 60% පමණ වන බිලියන 4.75 ක ජනතාවට ආසියාව නිවහන වන බවත් මෙම කලාපය ලෝකයේ විශාලතම ආර්ථික කලාපය වන බවත් ඔහු කීය. ඇමරිකන්චීන එදිරිවාදී කම් වලට ප්‍රතිචාර වශයෙන් බටහිර විසින් ආර්ථික බලපෑම් ද ඊට අමතරව වෙළෙඳ අන්තර්ග්‍රහනයන්ට බාධාවන් ද ඇතිකර ඇති බවත් මේවා ලෝක වෙළෙඳ සංවිධානයේ නීති වලට පටහැනි බවත් ඔහු කියා සිටියේය.ක්‍රීඩාවේ නීති ඒක​ පාර්ශ්විකව වෙනස් නොකළ යුතු බවත් මේ නිසා පරාජිතයන් වන්නේ ආසියාවේ සිටින මැදි ආදායම් ලබන රටවල් බවත් ඔහුගේ අදහස විය. 

මෙම එදිරිවාදී කම නිසා QUAD සංවිධානය (ඇමෙරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානයෙන් සමන්විතයි) සහ ඉන්දු පැසිපික් කලාපය එක පසෙකටත් චීන Belt and Road ක්‍රියාන්විතය එක පසෙකටත් බෙදී සිටින බවත් ආසියානු රටවල් මෙම කණ්ඩායම් දෙකෙන් එන බලපෑම කළමනාකරණය කිරීමට කැමති නැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඇමෙරිකාව හෝ චීනය හෝ දෙකෙන් එකක් තෝරාගැනීමට ආසියාවේ බොහෝ රටවල්  එකඟ නොවන බව ඔහු කීය. ආසියාව බෙදීමටත් මෙම තෝරාගැනීමටත් එම රටවල්  විරුද්ධ වන්නේ දැනටමත් ඔවුන්  විසින් ආසියාව තෝරාගෙන සිටින නිසා බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉතා නිර්භය වූද කිසිම පාර්ශවයකට ගැති නොවූද මෙම අදහස් වඩාත් ලං වන්නේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මෙරට සිටි කීර්තිමත් රාජ්‍ය නායිකාවක වූ සිරිමා බණ්ඩාරනායකගේ ක්‍රියා කලාපයටය. ජේ. ආර්. ජයවර්ධනගේ අසාර්ථක විදේශ ප්‍රතිපත්තියට නොවේ. 

එනමුත් ඩී.එස්. සේනානායක රජයේ නියෝජිතයා වශයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව පැවති සන්ප්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයෙන් වන්දි ඉල්ලා සිටිය යුතු යයි වූ සෝවියට් ස්ථාවරයට විරුද්ධ වෙමින් කල ජයවර්ධනගේ කථාව බොහෝ දෙනාගේ සම්භාවනාවට පාත්‍ර විය.

බැන්ඩුන් සමුළුවේදී එවකට අගමැති ජෝන් කොතලාවල විසින් නොබැඳි කඳවුරට එරෙහිව කල කථාව එවකට ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු විසින් පුද්ගලිකව කොතලාවල ගෙන් ප්‍රශ්න කර තිබු බව අපි දනිමු. ඉන් පසුව අගමැති වූ ඩඩ්ලි සේනානායක චීනය සමඟ රබර් සහල් ගිවිසුම අත්සන් කිරීමට පියවර ගත්තේය. අගමැති එස්. ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක විසින් බටහිර කඳවුරට බරව තිබූ ලංකාව එයින් ගලවා සෝවියට් කඳවුර සහ චීනය සමඟ සම්බන්ධතා වලට මුල පුරන ලදී.

පසුගියදා අභාවප්‍රාප්ත වූ මෙරට සිටි ප්‍රමුඛ සිවිල් සේවකයකු වූ නෙවිල් ජයවීර ඔහුගේ සේවා අත්දැකීම් පදනම් කරගෙන ලියා ඇති පොතක 1960-1965 ආරක්ෂක සහ විදේශ අමාත්‍යංශ ලේකම් ධුරය දැරූ එන්. කියු. ඩයස් විසින් ඉන්දියානු බලපෑම සමනය කිරීම සඳහා  චීනය සමඟ සබඳතා තර කර ගැනීමට එවකට අගමැති වූ සිරිමා බණ්ඩාරනායකගේ චීන සංචාරයක් සැලසුම් කල බවට සඳහන් කර ඇත. 

ඉන්දියාව සමඟ මනා සම්බන්ධතාවක්ද එවකට ඉන්දීය අගමැතිව සිටි ඉන්දිරා ගාන්ධි සමඟ පවුල් අතර වන පුද්ගලික හිතවත් කමක්ද තිබියදී බංගලා දේශය වෙන් කිරීම සඳහා වූ ඉන්දු පකිස්ථාන යුද්ධයේදී ඉන්දියාව විසින් පකිස්ථාන ගුවන් යානා වලට ඉන්දියාවට ඉහලින් එවකට නැගෙනහිර පකිස්ථානයට පියාසර කිරීම තහනම් කල විට එවකට පකිස්ථාන අගමැති සුල්පිකාර් අලි භූතෝ ගේ ඉල්ලීමට අනුග්‍රහය දක්වමින් ලංකාව හරහා  එම ගුවන් යානා වලට යාමට ඉඩදීම සිරිමා බණ්ඩාරනායක ගේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික භාවයට උදාහරණයකි.

ඉන් පසුව බලයට පැමිණි ජේ ආර් ජයවර්ධනගේ විදේශ ප්‍රතිපත්තිය වූයේ මිතුරන් සමඟ සිටීමයි. එය සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රතිපත්තියට වඩා ක්‍රියාත්මක කිරීමට පහසු නියාලු ප්‍රතිපත්තියක් විය. පෝක්ලන්ඩ් යුද්ධය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විවාදයේදී එවකට විදේශ ඇමති ඒ.සි.එස්. හමීඩ් විසින් තෙවරක්ම විමසන ලදුව ඒ තෙවාරයේදීම ජයවර්ධන විසින් කියා ඇත්තේ බ්‍රිතාන්‍යයට පක්ෂව ආජන්ටිනාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන ලෙසයි. බ්‍රිතාන්‍යය එවකට වික්ටෝරියා ජලාශය ඉදිකිරීමට ආධාර කරමින් තිබුණි. 

මේ මිතුරන් වාර්ගික යුද්ධයේදී ඔහුගේ සහායට පැමිණියේ නැත. එවකට සංවෘත වූ ඉන්දීය ආර්ථිකයට ඉදිරිගාමිව ශ්‍රී ලංකික ආර්ථිකය විවෘත කිරීමට ඔහු පියවර ගත් නමුත් එවකට විපක්ෂයේ සිටි ඉන්දිරා ගාන්ධි ඔහු විසින් විවේචනය කරන ලදී. හමීඩ් ගේ පත්වීමට අප්‍රසාදය පලකල ඉන්දීය අගමැති මොරාජි දේසායි ගේ ඉල්ලීම ඔහු විසින් නොසලකා හරින ලදී. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ඔහුගේ මිතුරන් වූ බටහිර සමඟ විය. ඉන්දිරා  ගාන්ධි බලයට පත්වන විට මෙරට ජනවර්හික ප්‍රශ්ණය ඔඩු දුවමින් තිබුණි. විශේෂයෙන් 1983 ජනවාර්ගික අරගල වලින් පසුව බටහිරට හිතැති ජයවර්ධන අස්ථාවර කිරීමේ උපක්‍රමයක්ද වශයෙන් මෙරට සන්නද්ධ කණ්ඩායම් වලට ආධාර කිරීමේ ප්‍රතිපත්තියක් ඉන්දියාව විසින් පවත්වා ගෙන යන ලදී.

එවකට සිටි විදේශ කටයුතු පිලිබඳ ශ්‍රී ලාංකික විද්වතකු වූ රැල්ප් බුල්ජන්ස් ගේ අදහස වූයේ මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයේ කේන්ද්‍රය තමිල්නාඩු මහා ඇමති ධුරය ආශ්‍රිතව ඇති බවයි. එකල තමිල්නාඩුව විසින් ඉන්දීය මධ්‍යම රජයට කරන බලපෑම මත බොහෝ දේ වෙනස් විය. 

ජයවර්ධන යුගයේදී ඉන්දීය හමුදා වලට මෙරටට පැමිණීමට ආරාධනය කළ අතර  ප්‍රේමදාස යුගයේදී ඉන්දීය හමුදා මෙරටින් ඉවත් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික සහ රාජ්‍ය තාන්ත්‍රික නොවන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. වරෙක ප්‍රේමදාස විසින් ඉන්දීය හමුදා මෙරට සිටීම නිසා සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන ලදී.

වර්ෂ 1991දී සිදුවූ රජීව් ගාන්ධි ඝාතනයෙන් පසුව ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම් වලට වූ ඉන්දීය සහයෝගය අනුක්‍රමයෙන් අඩු වන්නට විය. මෙම තත්ත්වය ශ්‍රී ලංකා රජයට වාසි වන ලෙස සකසා ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සිටි විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් ඉවහල් විය. එකල ඉතා අසීරු අවස්ථා වලදී ආයුධ ලැබුනේ පාකිස්ථානයෙනි. වර්ෂ 2001 ඇමෙරිකාවේ සිදුවූ 9/11 ප්‍රහාරයත් සමඟ ජාත්‍යන්තර වශයෙන් විමුක්ති කොටි සංවිධානයට තිබූ  සහයෝගයද සසල විය. වර්ෂ 2002 දී රනිල් වික්‍රමසිංග අගමැති වශයෙන් අත්සන් කල සාම ගිවිසුම මගින් විමුක්ති කොටි සංවිධානය ජාත්‍යන්තරව නිරාවරණය විය. සාකච්ඡා වලදී ඇන්ටන් බාලසිංහම් සන්ධිය පෙඩරල් ක්‍රමයකට එකඟ වූ නමුත් ඔහු පසුව සාකච්ඡා වල නායකත්වයෙන් ඉවත් කර තමිල් සෙල්වම් ඒ තැනට පත් කරන ලදී. 

පසුව නැවත යුද්ධය පටන් ගත් විට මුල්කාලයේදී මෙන් ප්‍රබල ජාත්‍යන්තර සහයෝගයක් විමුක්ති කොටි සංවිධානයට නොලැබීමට මෙම සිද්ධීන් ද හේතු විය. එනමුත් ආයුධ ප්‍රධාන වශයෙන්ම ලැබුනේ චීනයෙනි. ඉන්දියාව සමබරව තබා ගැනීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සාහ දැරීය. එය බලවත් උත්සහයක් නොවේ. මක්නිසාද යත් ඒ වනවිට විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමේ හදිසි අවශ්‍යතාව ඉන්දියාව අවබෝධ කරගෙන තිබුන බැවිනි. 

එනමුත් රාජපක්ෂ විසින් යුද්ධයෙන් පසුව ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට ඉන්දියාවට වූ පොරොන්දුව පසුව කඩ කරන ලදී. මෙය සිංහල ජාතිවාදීන්ගේ බලපෑමට යටත්ව ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට ලැබුණ මහඟු අවස්ථාව පැහැර හැරීමකි. රාජපක්ෂ චීනය වෙත ආකර්ෂණය වීමට ඉන්දියානු බලපෑමෙන් මිදීමටවූ අවශ්‍යතාවද හේතුවිය.

ඉන් පසුව ශ්‍රී ලාංකික විදේශ ප්‍රතිපත්තිය හොරා පොලිස් ක්‍රීඩාවක් විය. එකල චීනය සහ  ඉන්දියාව එකිනෙකාට එරෙහිව තැබීමේ ප්‍රයත්නයක්ද විය. ඉන් පසුව යහපාලන යුගයේ දේශීය ප්‍රතිපත්තියට  මෙන්ම විදේශීය ප්‍රතිපත්තියටද ජනාධිපති සහ අගමැති අතර ගැටුම බලපෑවේය.

මෛත්‍රිපාල සිරිසේනද ගෝඨාභය රාජපක්ෂද සිය පළමු විදේශ සංචාර සිදු කලේ ඉන්දියාවටයි. එනමුත් රනිල් වික්‍රමසිංහ ලංකාවේ හිතවතකු වූ හිටපු ජපන් අගමැති ෂින්ෂියෝ අබේ ගේ අවමඟුල ටද බ්‍රිතාන්‍ය මහා රැජිනගේ අවමඟුලටද සහභාගී වූ අතර පසුගියදා නිකි ෆෝරම් සම්මන්ත්‍රණයට සහභාගී වීම උපයෝගී කරගනිමින් ජපන් අගමැති ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්විය. ඉන්දියාවට  ඔහුට ආරාධනා කිරීමට හෝ ඔහුට ඉන්දියාවට යාමට හෝ විශේෂ අවශ්‍යතාවක් ඇති බව පෙනෙන්නට නොමැත.

වික්‍රමසිංහ අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙන විදේශ ප්‍රතිපත්තියකට එවැනි අන්තේවාසික සංචාර අවශ්‍ය නොවේ. ඔහු ජපානයේදී ඉල්ලා සිටියේ අපට උදවු කරන ලෙස සහ ආධාර කරන ලෙසයි. අපට ජපානයට කළ හැකි උදව්වක් නොමැත. එවැනි ගමනකදී ජපන් භුමිය තුලම ජපානය විශේෂ සම්මාදමක් කරන QUAD සංවිධානය පිලිබඳ කරන ලද විවේචනය වැන්නක් කල හැකි ශ්‍රී ලංකාවේ සිටි  අනෙක් රාජ්‍ය ප්‍රධානියා  සිරිමා බණ්ඩාරනායකයි. 

සිරිමා බණ්ඩාරනායක ඉන්දියානු සාගර සාම කලාප යෝජනාව ඉදිරිපත් කළ අතර රනිල් වික්‍රමසිංහ ආසියානු කලාපයේ රටවල් අතර පවතින විරුද්ධවාදී කම් වලට විරුද්ධ වෙයි. ඉන්දියානු සාගර සාම කලාප යෝජනාව එවකට සිතල යුද්ධයක පැටලී සිටි ඇමරිකාවේ සහ රුසියාවේ බල ව්‍යපෘති වලට එරෙහි වූ අතර වික්‍රමසිංහ ගේ එක් ආසියාවක් පිලිබඳ යෝජනාව ආසියානු කලාපය තුල ඇමෙරිකාවේ සහ චීනයේ බල ව්‍යපෘති වලටද ඇමෙරිකාවට ආධාර කරන අපට හිතවත් රටවල ක්‍රියා කලාපයටද එරෙහි වෙයි. අන්තේවාසික විදේශ ප්‍රතිපත්තියක් හෙවත් එක රටකට හෝ බල කඳවුරකට හෝ පක්ෂපාති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නායකයෙකුට මෙවැනි ස්ථිරසාර, අපක්ෂපාති සහ නිර්භය ප්‍රවේශයක් ගත නොහැක.

ඔහු ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ රුසියාව සහ චීනය විෂයෙහි ලා වන ප්‍රතිපත්තියද  හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ චීනය විෂයෙහි ලා වූ ප්‍රතිපත්තියද නියමින් සහ අනියමින්  විවේචනය කරයි. එම විවේචනය මගින් ඔහු රුසියාවට හෝ චීනයට හෝ පක්ෂපාතිත්වය ප්‍රකාශ නොකරන අතර විවේචනය ලෝක සාමය සහ ලෝක ආර්ථිකය පදනම් කර ගත්තකි. 

මෙම අපක්ෂපාතිත්වය පවත්වා ගැනීම කඹයේ යනවා වැනි වැඩකි. වර්ෂ 1962 ඉන්දු චීන යුද්ධය අවස්ථාවේදී එක් මධ්‍යම රාත්‍රියක චීන හමුදා ඉන්දියාවට ඇතුළු වූ බව චීන තානාපතිවරයා විසින් සිරිමා බණ්ඩාරනායකට දැනුම් දෙන ලදී. පසුව නොබැඳි සංවිධානයේ මිතුරු රටවල් ගණනාවක අනුදැනුම ඇතුව සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ නියෝජිත පිරිසක් දෙවනුව ඉන්දියාවට යන අරමුණ ඇතිව ප්‍රථමයෙන් චීනයේ නායකයන් හමුවීමට ගියහ. මේ අවස්ථාවේදී ලංකාව විසින් ඉන්දියාවේ පැත්ත නොගැනීම පිළිබඳව ඉන්දියාව තුළ බලවත් විරෝධයක් බණ්ඩාරනායක කෙරෙහි ඇතිවිය.  මෙම විරෝධය සමනය වූයේ නියෝජිත පිරිසේ යෝජනා චීනය විසින් පිළිගැනීමෙන් පසුවය. 

ශ්‍රී ලංකාවට අත්‍යන්තයෙන්ම උචිත මෙවැනි විදේශ ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකාව විදේශ ප්‍රතිපත්තිය විෂයෙහි ලා සම්පුර්ණ වටයකින් කැරකී සිරිමා බණ්ඩාරනායක යුගයට සම්ප්‍රාප්ත වෙමින් සිටි. රනිල් වික්‍රමසිංහට සිරිමා බණ්ඩාරනායකට මෙන් ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගැනීමේ විභවයක් තිබේ.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.