28 April, 2024

Blog

ශ්‍රී ලංකාවේ අල්ලස, දූෂණය සහ දූෂණ විරෝධී පනත

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

දූෂණය මෙරට ජනප්‍රිය මාතෘකාවකි. රටේ තිබෙන සියලුම ප්‍රශ්ණ වලට මුල දූෂණ ය බවද දූෂණ ය නැති කිරීමෙන් සියලු ප්‍රශ්න නිවාරණය වන බවද සමහරෙක් සිතති. මෙය එක්තරා ප්‍රමාණයකට සත්‍ය වුවත් සම්පුර්ණ සත්‍යය නොවේ.

මෙරට දේශපාලනඥයන්ද, රාජ්‍ය නිලධාරින්ද,පුද්ගලික අංශයද, ජනතාවද අඩු වැඩි වශයෙන් දූෂිතයෝ වෙති. සෞඛ්‍ය අංශයේ දැනට පෙනෙන්නට ඇති පරිදි අධම ගණයේ දූෂිතයන් බිහිවන්නේ රට තුල ඇති දුෂිත සංස්කෘතිය නිසාය. එබැවින්  මේ දූෂිත සංස්කෘතිය නැති කීරීම දූෂණ විරෝධයේ පළමු පියවර විය යුතුය. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී මෙවලම් කට්ටලයේ එන අර්ථ දැක්වීම අනුව මෙම දූෂණ  මහා පරිමාණ දූෂණ හෙවත් රජයේ මූලික කාර්යයන්ට බලපෑම් කරන දූෂණ හෝ  කුඩා පරිමාණ දූෂණ හෙවත් ආණ්ඩුකරණ සහ සමාජයීය රාමුව තුල ඇති  දූෂණ හෝ සක්‍රිය දූෂණ හෙවත් අල්ලස ලබන්නා සහ දෙන්නා යන දෙදෙනාම සක්‍රිය දූෂණ හෝ අක්‍රිය දූෂණ හෙවත් මේ දෙදෙනාගෙන් එක්  අයකු අක්‍රිය දූෂණ හෝ විය හැක.

මෙයින් දැනට සිදුවන පරිදි මහා දූෂණ වලට නිදහසේ වැඩෙන්නට සලස්වා කුඩා දූෂණ කරන්නන් කොටුකර ගැනීම හෝ සමහරුන් අපේක්ෂා කරන පරිදි මහා දූෂණ කරන්නන් කොටු කර ගෙන කුඩා දූෂණ කරන්නන්ට නිදහසේ ඒවා කරගෙන යාමට සැලැස්වීමෙන් හෝ දූෂණය නැති කළ නොහැක. කළ යුත්තේ මහා හෝ කුඩා හෝ දූෂණ සියල්ලටම එරෙහිවී ඒවා මර්දනය කිරීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2023 මාර්තු මස නිකුත් කරන ලද අංක 23/116 දරණ වාර්තාවේද ලංකාවේ දූෂණයට ඇති නැමියාව පිලිබඳ සඳහන් කර ඇත. රාජ්‍යයේ විවිධ අංශ වල ආණ්ඩුකරණය පිළිබඳව ඇති දුර්වලතාද ඉතා ඉහල මට්ටමක ඇති දූෂණයද හේතුවෙන් දූෂණයට  එරෙහිව කටයුතු කිරීමට, රාජ්‍ය ආයතන වල පරිපාලනය විධිමත් කිරීමට, ආදායම් එකතුකිරිම සහ වියදම් පරිපාලනය සඳහා ආණ්ඩුවේ කටයුතු ඩිජිටලීකරණය කිරීමට වේදිකාවක් සැකසීමට, රාජ්‍ය අංශයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට  සහ මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදීන්ට අධාරදීමේ ක්‍රියාවලි වලට එරෙහිව කටයුතු කිරීමට යොමුවීම අවශ්‍ය බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත

2023 සැප්තැම්බර් මස නිකුත් කරන ලද අංක 23/340 දරණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව අනුව 2023  අංකදරණ දූෂණ විරෝධී පනත මගින් දූෂණ විරෝධී  නීති රාමුව බොහෝ සෙයින් බලසම්පන්න කරන ලද බව කියා සිටියි. එමෙන්ම පනත අනුව කොමිසමට කොමසාරිස් වරුන් පත්කිරීමේදී ආණ්ඩුකරණයේ සහ දූෂණවිරෝධී කටයුතුවල විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවද දූෂණ විරෝධී පනත තවදුරටත් බලාත්මක කිරීම සඳහා වත්කම් ආපසු ලබාගැනීමේ පනතක් සම්මත කරගත් යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටී.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත අනුව 1954 අංක 11 දරණ අල්ලස් පනත, 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන්  සභා පනත සහ 1975 අංක 1 දරණ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පනත අහෝසි වන අතර ඒවායේ ප්‍රතිපාදන තවදුරටත් ප්‍රතිශෝධනය කර  මෙම පනතට ඇතුලත් කර ඇත. එමෙන්ම මෙම පනත යටතේ ලිංගික අනුග්‍රහය තුටු පඬුරක් හෙවත් අල්ලසක් ලෙස අර්ථ ගන්වා ඇත. ලිංගික අනුග්‍රහය යන්නෙන් ලිංගික සංසර්ගය හෝ ලිංගික සංසර්ගය ලෙස සැලකිය නොහැකි එහෙත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය හෝ වෙනත් යම් මාධ්‍යයක් භාවිතා කිරීම ඔස්සේ ශරීරයේ රහස් කොටසක් නිරාවරණය කිරීම හෝ යම් ක්‍රියාවක් සිදුකිරීම ඇතුළත් වූ ලිංගික ආකාරයෙන් කායික, වාචික හෝ වාචික නොවන හැසිරීමකට ගණන් ගැනෙන හෝ එවැන්නක් සංස්ථාපනය විය හැකි යම් ක්‍රියාවක් ඇතුලත්වේ. (162 වගන්තිය)

පනතේ 101 වගන්තිය යටතේ රජයේ යම් දෙපාර්තමේන්තුවක් කාර්යාලයක් හෝ ආයතනයක් හරහා රජය සමඟ කවර හෝ ආකාරයක සම්බන්ධතාවක් දක්වන තැනැත්තකු විසින් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ හෝ ආයතනයේ සේවයේ නියුතු යම් රජයේ සේවකයකුට යම් තුටු පඬුරක් පිරිනැමීම වරදකි.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව කාර්යාලය හෝ ආයතනය හරහා රජය සමඟ සිදුකරන යම් ආකාරයක ගනුදෙනු කරනු ලැබ එසේ කිරීමට පෙර වසරක් ඇතුලත හෝ එසේ කිරීමෙන් වසරක් තුළ ඒ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ හෝ ආයතනයේ සේවයේ නියුතු යම් රජයේ සේවකයකුට යම් තුටු පඬුරක් පිරිනැමීම ද වරදකි.

පනතේ අර්ථදැක්වීම අනුව ත්‍යාගයක්ද තුටු පඬුරකි. මේ අනුව නව වසරට කැලැන්ඩරයක් හෝ දිනපොතක් දීමද වරදකි.

පනත් කෙටුම්පතේ මෙම තත්ත්වය ඉහත දෙවන වරදට පමණක් බලපාන පරිදි අතික්‍රමණය කර තිබුනේඑසේවුවද රජයේ සේවකයකුට එවැනි තුටු පඬුරක් පිරිනැමීමේදී ඒ පිරිනමන්නා විසින් ඒ ඡේදයේ සඳහන් කළ පරිදි එවැනි ගනුදෙනු වලට සම්බන්ධ සහ අදාල නොවන කාර්යයක් සඳහා සද්භාවයෙන් පිරිනැමූ තුටුපඬුරක් බවට ඔප්පු කරන්නේ නම් ඒ පිරිනැමීම මෙම වගන්තිය යටතේ වරදක් නොවිය යුතුයයන ව්‍යතිරේකය මගිනි,  මෙම ව්‍යතිරේකය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට පටහැනි බව මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වූ  අවස්ථාවේදී දෙනලද S.C.S.D 16/2023 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තීරණය කළ අතර සහකාර සොලිසිටර් ජනරාල් වරයා විසින් යෝජනා කළ පරිදි ව්‍යතිරේකය ඉවත් කරන ලදී.

නව පනතේ 106 වන වගන්තිය යටතේ  පුද්ගලික අංශයද ඇතුලත් කර ඇති අතර 108 වන වගන්තිය යටතේ ක්‍රීඩා ඉසවු වලට අදාල වැරදි ඇතුලත් කර ඇත.

පනත යටතේ වැරදි තුන්වන  කොටසේ පළමු පරිච්ඡේදයේ දක්වා ඇති අතර සියලුම වැරදි වලට දඬුවම රු. මිලියනයකට නොවැඩි දඩයක් හෝ වසර හතක කොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම හෝ ඒ දෙකම හෝ  විය හැක. දඬුවමට අමතරව වරදෙන් උපාය ගත් මුදල් රජය සතුවන ලෙසටද නියෝග කල හැක. එමෙන්ම වරද කරු වූ දිනයේ සිට ජීවිතාන්තය දක්වා පාර්ලිමේන්තු/පළාත් සභා මන්ත්‍රීවරයකු, පළාත්පාලන ආයතන සභිකයකු හෝ රජයේ සේවකයකු විය නොහැක. (114 වගන්තිය

ජනාධිපතිවරයා ඇතුළු නම් කරන ලද රජයේ සේවකයන්, වෘත්තීය සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි සමිති වල විධායක නිලධරයන්, ප්‍රවෘත්ති ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ ප්‍රකාශයන් කරනු ලැබ  ඇති  බලපත්‍රලාභී මාධ්‍ය ආයතන වල හිමිකරුවන්, කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වන වගන්තිය යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන් සහ  කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ක්‍රීඩා පනත යටතේ පිහිටුවනු ලැබූ ක්‍රීඩා සංගම් වල ධුර දරන නිලධාරීන් ඇතුළු නම්  කරන ලද පිරිසක් විසින් වාර්ෂිකව සහ වෙනත් නිශ්චිත අවස්ථා වලදී වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය.

පනතේ 90 වන වගන්තිය යටතේ වත්කම බැරකම් ප්‍රකාශ නිසි කලට ලබා නොදෙන්නන්ට එරෙහිව කොමිසමට දඩ මුදල් පැනවිය හැකි අතර එම කල සීමාව ද ඉක්මවූ පසු මහේස්ත්‍රාත් වරයකු ඉදිරියේ කෙරෙන ලඝු නඩු  විභාගයකින් පසුව සිර දඬුවම් සහ දඩ නියම කළ හැක.

පනත 2023 අගෝස්තු මස සම්මතවී සැප්තැම්බර් මස බලාත්මක වූ අතර එයට කොමසාරිස්වරුන් ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත.  අධ්‍යක්ෂ ජනරාල් වරයා තවම පත්කර නොමැත. කොමසාරිස් වරුන් පත්කළ යුතු වන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේහය මත ජනාධිපතිවරයා විසිනි. පනත් කෙටුම්පතේ කොමසාරිස්වරුන්ගේ සුදුසුකම් සඳහන්වූ 4 වන වගන්තිය අනුව කොමසාරිස්වරුන් නිතිය සහ වෙනත් නිශ්චිත විෂයයන් ගණනාවකින් එකක විසි අවුරුදු පළපුරුද්දක් ලබාගත යුතුව තිබුණි. එනමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එක් කොමසාරිස්වරයකු නීතිය පිලිබඳ පළපුරුද්දද අනෙක් කොමසාරිස්වරු අනෙක් නිශ්චිත විෂයයන් ගෙන් එකක පළපුරුද්දද ලබාගත යුතුවූ බව සඳහන් වූ නිසා මෙම පත්කිරීම් සරල විය.  නැතහොත් කිසිදා එවැනි පුද්ගලයන් කොමසාරිස් වරුන් ලෙස පත් කිරීම සඳහා සොයාගත නොහැකි වන්නට තිබුණි.

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද පත්කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශය මත සහ කොමිෂන් සභාවේ සාමාජිකයන් විමසීමෙන් පසු ජනාධිපතිවරයා විසිනි. මෙම ප්‍රතිපදනයට කොමිෂන් සභාවේ සාමාජිකයන් විමසීම ඇතුලත් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවය. තීන්දුව/පනත  අනුව ඔහු/ඇය ඉවත්කිරිමටද කොමිසමේ නිර්දේශය අවශ්‍ය වෙයි. සුදුසු පුද්ගලයන් තනතුරු සඳහා පත්කළ යුතු වුවත් ඔවුන් පත්කිරීමේ ප්‍රමාදය නිසා පනත ක්‍රියාත්මක වීමටද ප්‍රමාද වේ.

පනත අනුව කොමිසමේ සේවක මණ්ඩලය සම්පුර්ණයෙන්ම කොමිසමේ පාලනයට යටත් වේ.එබැවින් කොමිසම සම්පුර්ණයෙන්ම ස්වාධීනය. කොමිසම අයවැය ඇස්තමේන්තු මුදල් ඇමති වරයාගේද අනුදැනුම ඇතුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල පසු පාර්ලිමේන්තුව විසින් එය සම්මත කර අයවැය ට ඇතුලත් කිරීමට මුදල් ඇමතිවරයා වෙත යවනු ලැබේ. එබැවින් කොමිසමට අරමුදල් සම්බන්ධයෙන්ද ස්වාධීනත්වයක් තිබේ. (31 වගන්තිය)

පනතේ 119 වන වගන්තිය අනුව දැනදැනම යම් අසත්‍ය පැමිණිල්ලක් කොමිසම වෙත ඉදිරිපත් කරන්නෙකුට මහේස්ත්‍රාත් වරයකු ඉදිරියේ වරද කරුවකු කරනු ලැබුවිට ඔහුට රු. මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ වසර තුනක් නොඉක්මවන කාලයක් සඳහා සිරගත කිරීමකට හෝ ඒ දෙකටම හෝ යටත් කළ හැක. මෙම ප්‍රතිපාදනය පනත් කෙටුම්පතේද ඒ ආකාරයටම තිබුන අතර පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී එය සමාජය තුල විශාල කථාබහකට ලක්විය.

පසුව  ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය අභියෝගයට ලක්විය.1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 21 වන වගන්තියේද මෙම ප්‍රතිපාදනය  මේ ආකාරයටම තිබුන අතර දඬුවම වශයෙන් දඩය ලක්ෂ දෙකක උපරිමයකටද  සිර දඬුවම  වසර දහයක උපරිමයකට යටත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ. “වැරදි ක්‍රියා හෙළිදරවු කරන්නන්ගේ, තොරතුරු සපයන්නන්ගේ, සාක්ෂිකරුවන්ගේ සහ කොමිසමට සහය දෙන අනෙකුත් අයගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විවිධ ප්‍රතිපාදන පනත් කෙටුම්පතේ පස්වන පරිච්ඡේදයේ ඇත.එසේ වුවත් වැරදි ක්‍රියා හෙළිදරවු කිරීම(whistle Blowing) යනු චෝදනා වැරදි බව දැනදැනම චෝදනා කිරීම නොවේ. එමෙන්ම චෝදනා වැරදි බව දැනදැනම චෝදනා කිරීම පනත් කෙටුම්පත යටතේ වරදක් නොවන බව සිතාගෙන කටයුතු කිරීමද වැරදි ක්‍රියා හෙළිදරවු කිරීම නොවේ. “  (පරිවර්තනය ලියුම්කරු විසිනි) 119 වගන්තිය අනුව වැරදි ක්‍රියා හෙළිදරවු කරන්නා දැනදැනම බොරු චෝදනාවක් කල බව සාධාරණ සැකයකින් තොරව උසාවියේදී ඔප්පු කිරීම පැමිණිල්ලේ කාර්යභාරය වන බැවින් 119 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලදී.

පනත් කෙටුම්පතේ 141 වන වගන්තියද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්විය. පනත් කෙටුම්පත අනුව 141 වගන්තියේ තිබුනේඑකී වෙනත් කටයුත්තේ ඇති හදිසි ස්වභාවයෙන් විශේෂ අවස්ථානුගත ක්‍රම හේතුවෙන් එසේ කිරීමට නොහැකි වන්නේ නම් මිස මේ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් අධිකරණයක පැවැත්වෙන නඩු කටයුත්තක් එකී අධිකරණයේ වෙනත් යම් කටයුත්තකට පෙර විභාගයට ගනු ලැබිය යුතුය.”

මෙය ඉතාමත් සාධනීය වගන්තියක් වූ නමුත් ප්‍රශ්ණය දෙස වෙනත් දිසාවකින් බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කරන ලදී. ප්‍රශ්ණය  වූයේ මෙය  ව්‍යවස්ථාදායකය  විසින් අධිකරණයේ කටයුතු වලට ඇඟිලි ගැසීමට උත්සාහ දැරීමක් ලෙස අර්ථ කථනය කල හැකි වීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තර්කය පිලි නොගත් අතර දූෂණය පිටු දැකීමේදී මෙවති තත්ත්වයක් අවශ්‍ය බව නිගමනය කරන ලදී. එසේ වුවත් එය සාධාරණිකරණය කිරීම සඳහා 141 වගන්තියට තවත් අතිරේක කොටසක් එක්  කරන ලෙස යෝජනා කරන ලදී.

එයට අමතරව ශ්‍රී ලංකාවේ නඩු ප්‍රමාදය සලකා බලන විට මෙම පනත අනුව පවරන නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් තිබීම අවශ්‍ය වේ. මෙය තනිකරම අධිකරණ පරිපාලන ක්‍රියාවලියකි. අධිකරණයේ කටයුතු වලට ඇඟිලි ගැසීමක් නොවේ.

පනතේ 162 වන වගන්තියේ රාජ්‍ය සේවකයා යන්නෙහි අර්ථ නිරූපනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පරිදි ජනාධිපතිවරයාද ඇතුලත් කර ඇත.

මෙරට ප්‍රශ්ණය වන්නේ නීති තිබුනත් ඒවායේ ක්‍රියාත්මක වීමේ අඩුපාඩු ය. මානව හිමිකම් රකින්නට ගෙන ආ ICCPR පනතේ ක්‍රියාකාරීත්වය උදාහරණයකි. මෙම පනත අනුව පත්කරන කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ස්වාධීනව කටයුතු කරන්නේ නම් මෙරට අල්ලස සහ දූෂණය බොහෝ සෙයින් අඩු කරගත හැක.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    මේ රටේ ප්‍රශ්නය තමයි නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක නොවීම. මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ආ ICCPR පනතේ ක්‍රියාකාරීත්වය උදාහරණයකි. මේ පනතට අනුව පත් කරන කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ස්වාධීනව කටයුතු කළොත් මේ රටේ අල්ලස දූෂණය විශාල වශයෙන් අඩු කරන්න පුළුවන්.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පොලිසිය හෝ වෙනත් පාර්ශ්වයන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් පසු මෑතක දී මෙය වඩාත් පැහැදිලි විය. අදටත් එම තීන්දුව සලකන්නේ “සත්‍ය නොවන සමාජ මාධ්‍ය ප්‍රවෘත්තියක්” ලෙසිනි: අධිකරණ තීන්දු ප්‍රසිද්ධියේ විහිළුවක් බවට පත්වන තත්ත්වයත් සමඟ මේ රටේ ජනතාව නීතියට හා සාමයට ගරු කරනු ඇතැයි අප කිසිසේත් අපේක්ෂා කරන්නේ කෙසේද? අපට අවශ්‍ය වන්නේ නීතිය හා සාමය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමයි.
    ශිෂ්ට සම්පන්න රටක මෙවැනි තීන්දුවක් මුළු ජාතියේම ගෞරවයට පාත්‍ර වී ඇත්තේ ඔවුන්ගේ පොලිසිය සහ අනෙකුත් බලධාරීන් ඔවුන්ව සිරගත කිරීමට හෝ ඊට වඩා දැඩි දඬුවම් දෙන නිසාය.

  • 4
    0

    The problem in this country is that there are laws but they are not enforced. An example is the functioning of the ICCPR Act brought to protect human rights. If the commissioners and the director general who are appointed according to this act act independently, the bribery corruption in this country can be greatly reduced.

    This became more evident recently after the police or other parties did not respond properly to the Supreme Court verdict. Even today, the judgment is considered a “fake social media story”: how can we expect the people of this country to respect law and order when court decisions are made a public joke? We want strict enforcement of law and order.
    In a civilized country such a decision is respected by the entire nation because their police and other authorities will imprison them or punish them more severely.

  • 3
    0

    හර්ෂ, මේ ශ්‍රී ලංකාවේ දූෂණය නැවතීමට නීති ගෙන ඒම කෙසේ වෙතත් ඒ ගැන කතා කිරීමවත් කිසිම වැඩකට නැති ඉතා අප්‍රසන්න කාරියක් බවයි මට නම් දැන් සාක්‍ෂාත් වී ඇත්තේ. ඕනෑම සමාජයක වෙසෙන මිනිසුන් දූෂණයට ඇදී යන එක ඉතා ස්වාභාවිකයි. හැබැයි, රටක නීති පද්ධතිය බලවත් නම්, ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන් එම නීතීන් හරියට ක්‍රියාත්මක කරනවා නම් ඔය කියනාකාරයේ ජරාජීර්ණ දූෂණ හෝ අවනීතින් සිදු වෙන්නේ නෑ. එහෙම තමයි TI scale එකේ උඩම තියෙන බොහෝ රටවල කාරනා කටයුතු කෙරෙන්නේ. මගේ නිරීක්ෂණ වලට අනුව නම් ලංකාවේ මේ විනාශය රාජ්‍යගත කලේ 1970 සිරිමා රජයෙන්. ඒ රජයෙන් පටන් ගත් මංත්‍රී ලියුම් වලට රැකියා දීමේ ක්‍රමය තමා අද මේ දක්වා ඉතා දරුණුවට “දියුණු” වී ඇත්තේ. ඒ කාන්ඩයම තමා අදත් පාර්ලිමේන්තුවේ ඉන්නේ – නිල්, කොළ, රතු කියල කිසිම වෙනසක් නෑ. මේ රාජ්‍යගත දූෂණ ක්‍රියාවලිය මේ දක්වා ඉතා සරු සාරව වැඩී ගිය මහා වෘක්ෂයක් ලෙස මේ මුළු මහත් සමාජයම වසා ගෙන ඇති බවත්, මන්ත්‍රී ඇමති ජනාධිපතිවරු පමණක් නොව, මේ රටේ සෑම පුරවැසියකුම ත් ඊට අඩු වැඩි වශයෙන් දායක වී ඇති බවත් ඉතාම පැහැදිලියි.

    ලොකුම පුරවැසියාගේ ඉඳන් පහලම කම්කරුවා දක්වා ඔඩු දුවලා ඇති මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්ට ඕනා නම් තව අවුරුදු විස්සක් තිහක් වත් පාර්ලිමේන්තුව වහලා දමලා පුරවැසි පරමාධිපත්‍යට ගරු කරන ඒකාධිපතියකු බිහි වෙන්ට ඕනා. එවැනි දෙයක් ලංකාවේ වෙයිද කියල නම් මම දන්නේ නෑ. හැබැයි එහෙම දෙයක් වෙන තෙක් ඉතිං මොන නීති, පනත් ඔය පාර්ලිමේන්තු හොර ගුහාවේ සම්මත කලත් ඇති කිසිම වැඩක් නෑ!

    • 3
      0

      මගේ ආදරණීය ජිත්, උදා වූ වසර ඔබට සියලු සතුට හා සෞඛ්යය ගෙන එයි. අද අපේ මිනිස්සු කොච්චර ගැඹුරට වැටිලාද කියලා ඔයාට තේරුණාද?
      -https://www.youtube.com/watch?v=taeaQcLwtTA

      https://www.youtube.com/watch?v=_xqi8DmsFaI

  • 3
    0

    අද බොහෝ දේ ගැන ශ්‍රී ලාංකිකයන් සිටින්නේ දැඩි කලකිරීමකිනි. මම කියන්නේ කලක් රටේ ජීවත් වූ කෙනෙක්. මම හිතුවේ 2022 ජූලි මාසෙන් පස්සේ එයාලට පාඩමක් ඉගෙන ගන්න ඇති කියලා.

    කෙසේ වෙතත්, ඔවුන් කිසිවක් ඉගෙන ගෙන නැති බව පැහැදිලිය. IMF එකට යන එක නවත්තන්න හිටපු ආණ්ඩුවට ප්‍රධානම බාධාව වුණු VASIDEWA දැන් NPP එකට එකතු වෙන්න යනවා… කටකතා. ඇත්ත වශයෙන්ම වාසීදේව හෝ වැන්නවුන් පොහොට්ටුවේ දේශපාලකයන් විසින් සදහටම සිරගත කළ යුතුය. නීතියට බැඳී සිටින නිලධාරීන් විසින් එය නොසලකා හැරිය යුතු නොවේ.

    මෙය කවදා හෝ සිදු විය හැක්කේ කෙසේද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිටෙන් ඉන්දියාවට සහ තවත් සමහර රටවලට තම ප්‍රශ්නවලින් මිදී ඔළුව උස්සන්න පුළුවන් නම් ලංකාවට වැඩක් කරන්න බැරි ඇයි? එය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිවලට පක්ෂව ක්‍රියාත්මක වන්නේ නම්?
    අපේ සාමාන්‍ය බහුතරයක් හරි වැරැද්ද අතර රේඛාව දන්නේ නැහැ. ඔවුන්ගේ නිදහස අයුතු ලෙස භාවිත කිරීමේ අවියක් බවට සිංහල බෞද්ධකම පත්ව ඇත. ශ්‍රී ලාංකේය බුද්ධාගමේ මාර්ගෝපදේශකයින් ලෙස පූජනීය බෞද්ධ භික්ෂූන් වහන්සේ සලකන අය කිසිවක් නොකරන්නේ ඔවුන්ට “සැබෑ බුදුදහම” පිළිබඳ දැනුම නොමැතිකම නිසාය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.