24 April, 2024

Blog

ශ්‍රී ලාංකික දේශපාලනයේ සියළු දුර්විපාක එක්තැන් කරණ ගුළු ඇණය ගලවා දැමීම 

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ආගමික හෝ විශ්වාසයේ හෝ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ වාර්තාකරු අහ්මඩ් ෂහීඩ් විසින් 2019 අගෝස්තු 15 සිට 26 දක්වා ශ්‍රී ලංකාව තුළ ඔහු විසින් කරණ ලද සංචාරය පාදක කොට ගෙන මෙරට ආගමික හෝ විශ්වාසයේ හෝ නිදහස පිළිබඳ වාර්තාවක් පසුගිය පෙබරවාරි 24වන දින මානව හිමිකම් කොමිසමේ 43 වන සැසි වාරයට ඉදිරිපත් කරණ ලදී. පිටු 18 කින් සමන්විත සවිස්තර වාර්තාවක් වූ එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මාර්තු 2 වන දින කෙටි ප්‍රතිචාරයක් දක්වන ලදී.  එයට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම  විසින්ද මාර්තු 2 වන දින වාර්තාවට ප්‍රතිචාරයක් දක්වන ලදී. මෙම ලිපියේ අරමුණ එම වාර්තාවත් එයට ලැබුන ප්‍රතිචාර දෙකත්  පිළිබඳව කෙටි සමාලෝචනයක් කිරීම සහ ශ්‍රී ලංකාවට කෙරෙන නිරන්තර විදේශ බලපෑම් සමනය කර ගැනීමේ ක්‍රමයක් සොයා බැලීම යි.

පිවිසුම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම ප්‍රතිපාදන සියලුම පුරවැසියන් විසින් භුක්ති විඳින බව තහවුරු කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීමයි. එනමුත් මෙරට මෙම අයිතීන් කුඩා ආගමිකයන්ට සහ කුඩා ජන වර්ග  වලට එරෙහිව සුලබව උල්ලංඝනය වන බවත් රාජ්‍යය බොහෝ විට මහා ජන වර්ගයේ හෝ මහා ආගමික කණ්ඩායමේ හෝ මතයයන්ට එරෙහි වීමට බියෙන් මෙම උල්ලංඝනයන් ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන බවත් අපි දනිමු. එමතුද නොව රාජ්‍යය කරවන හෝ රාජ්‍යය කරවීමට බලාපොරොත්තු වන හෝ දේශපාලන කණ්ඩායම් මෙම ක්‍රියාවන්ට අනුග්‍රහය දැක්වීම මගින් සිය ඡන්ද පදනම වර්ධනය කර ගැනීමට උත්සාහ දරන බවද අපි දනිමු.

වර්ෂ 1958 ජාතිවාදී අරගල සමයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති වරයා  නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිළුණු බවත් අවසානයේ නීතිය කඩන්නන්ට එරෙහිව වෙඩි තැබීමද ඇතුළුව නීතිය ක්‍රියාත්මක කිරීමට අණ දුන්නේ අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක බවත් අපි දනිමු. වර්ෂ 1983 ජූලි අරගල සමයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිළෙමින් ඇඳිරි නිතිය පැනවීම පමා  කළ බවත් දින ගණනකට පසුව ජාතිය අමතා කළ කථාවේදී ඔහු වින්දිතයන්ට චෝදනා කළ බවත් අපි දනිමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වර්ෂ 2014 ජුනි මස අළුත්ගම මුස්ලිම් වරුන්ට එරෙහිව ඇතිවූ ගැටුමේදී බොදු බල සේනාවට අනුග්‍රහය දැක්වූ බවත් ඔවුන්ගේ වෛරී ප්‍රකාශනයට එරෙහිව නිසි මොහොතේදී ප්‍රතිචාර නොදක්වා අරගලය ඇවිලීමට ඉඩ හළ බවත් අපි දනිමු. රතුපස්වල සහ මීගමුවේ නිරායුධ විරෝධතා කරුවන්ට වෙඩි තැබීමට අණ දීමට තරම් නිර්භීත වූ ඔහු අළුත්ගමදී අරගලකරුවන්ට එරෙහිව එම නියෝගය දීමට පසුබට විය.පසුගිය ආණ්ඩු කාලයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැති වරයා මුස්ලිම් වරුන්ට එරෙහිව සංවිධානය කරණ ලද අරගල ගණනාවකදී නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිළුන බවත් එය පමා කළ බවත් අපි දනිමු. කෙනෙකුට මේවාට හේතු දක්වමින් විවිධ දේශපාලන අර්ථ කථන දිය හැක. එනමුත් අවසාන විග්‍රහයේදී පීඩිත ජන වර්ග සහ ආගමිකයෝ  තව දුරටත් පිඩාවට පත් වූහ.

විශේෂ වාර්තාකරුගේ වාර්තාව  

මානව හිමිකම් කොමිසමේ විශේෂ වාර්තාකරු ගේ වාර්තාව  ආගමික හෝ විශ්වාසයේ හෝ නිදහස සම්බන්ධව  රාජ්‍යය අනුගමනය කරණ ප්‍රතිපත්තිය සහ එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ කර්කශ විවේචනයකි. එම විවේචනයට පිළිතුරු බැඳීම ඉතාමත් අපහසු කාරණයකි. මක්නිසාද යත් ඔහු සඳහන් කරණ කරුණු සත්‍ය වන බැවිනි. ශ්‍රී ලංකා ආණ්ඩුව එයට ලබාදී ඇති ප්‍රතිචාරය ඉතාමත් දියාරු වන්නේ ඒ නිසාය. 

වරදට දඬුවම් නොලැබීමේ ශ්‍රී  ලාංකික ක්‍රම වේදය  පවතින තත්ත්වයට ප්‍රබල හේතුවක්  බව විශේෂ වාර්තාකරු කියයි. ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවල පවා පැය ගණනාවක් මුළුල්ලේ වින්දිතයන්ට ප්‍රහාර එල්ල කිරීමට දාමරිකයන්ට හැකිවීම පිළිබඳව විමතිය ප්‍රකාශ කරණ අදහස් තමාට ලැබුණ බව ඔහු කියයි. එයට හේතු වන්නේ පොලිසිය ඔවුන්ට සහාය දීම හෝ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සම්පූර්ණයෙන්ම අසමත් වීම හෝ  බව  වාර්තාවේ සඳහන් වේ.. 

මුස්ලිම් වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ සමාජ ගත කරණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ  මාධ්‍ය පිළිබඳව තමන්ට ලැබුන පැමිණිලි ගැන ඔහු සඳහන් කරයි. සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගෙන තමන්ට එරෙහිව තමන්ට එරෙහිව ප්‍රචාරය වූ පුවත් පිළිබඳව ක්‍රිස්තියානි එවැන්ජලික වරුන් පැමිණිලි කළ බවද ඔහු කියයි.

ආගමික සහයෝගිතාව සඳහා ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ සහ සිවිල් සමාජයේ මැදහත් වීම විශේෂ වාර්තාකරු අගය කර තිබුණි. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන විශේෂ වාර්තාකරු භික්ෂුනීන්ට සිය හැඳුනුම් පතේ උපසම්පදා නාමය ඇතුළත් කිරීමට ඉඩ නොදීම සම්බන්ධව කනස්සල්ල පළ කරයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ජන වර්ග සහ භාෂාව මත බෙදුණු පාසල් ක්‍රමයක් පවතින බවද  ජනවර්ග හෝ භාෂාව හෝ එකකට වැඩි ගණනකින් සමන්විත පාසල් ඇත්තේ ස්වල්පයක් බවද ඔහු නිරීක්ෂණය කරයි. බෞද්ධ පාසල් වලට රාජ්‍යයේ ආධාර ලැබෙන අතර ක්‍රිස්තියානි පාසල් පුද්ගලික ආධාර මත පවත්වාගෙන යන බව ඔහු කියයි.

සියළුම ජන කොටස් ඇතුළත්වූ අනන්‍යතාවක්  ප්‍රවර්ධනය කිරීම උදෙසා දරුවන් නිදහස් සමාජයක වගකීම් සහගතව ජිවත් වීමට ද සාමය, ඉවසීම, ලිංගික සමානාත්මතාව සහ ආදී වාසීන් ඇතුළු සියළු ජන වර්ග සහ සියළු ආගමික කොටස් අතර   මිත්‍රත්වය ඇතිකිරීමටද ඉවහල් වන සේ මෙරට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට ඔහු යෝජනා කරයි. මෙය ඉතාමත් වැදගත් යෝජනාවක් වන අතර රාජ්‍යය විසින් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු යයි සිතමි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයෙහි  ආරම්භයේ කර ඇති පහත සඳහනට සම්පුර්ණයෙන් එකඟ විය හැක.

“අප රට ජාතික වශයෙන් අභියෝග රැසකට මුහුණ දී පැවති අවධියක මෙම සංචාරය සඳහා පහසුකම් සැලසීම, එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ විවෘත හා ඵලදායී සංවාද පැවැත්වීමේ මෙම රජයේ ප්‍රතිපත්තිය විද්‍යමාන කිරීමක් විය.”

ජාතීන් හා ආගම් වශයෙන් අසමානතා තිබුණ ද, ශ්‍රී ලංකාවේ ජනතාව සාමකාමීව ජිවත් වන අතර පසුගිය දශකය මුළුල්ලේ සංහිදියා හා ජාතික වශයෙන් සුවපත්වීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට තිබුණ බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය අනුව   සියලු රටවලට පොදුවූ අන්තවාදී ප්‍රතිවාදියකු සමඟ අපි සටන් කරමින් සිටින බවත්  ප්‍රතිචාරයෙහි සඳහන් විය. රාජ්‍යයේ කටයුතු කළමණාකරණය කර ගැනීමේ නොහැකියාව ආරක්ෂක හේතු ඉදිරියට දමමින් වසා ගැනීමට උත්සාහ ගෙන තිබේ. රටේ ආරක්ෂක අංශ කෙටි කාලයක් තුළ ප්‍රහාරයට අදාල තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවත් ජාතිවාදී අරගල මැඩ  පැවැත්වීමේ ලා  රාජ්‍යය හෝ ආරක්ෂක අංශ හෝ එතරම් කාර්යක්ෂම නොවූ බවත් අපි දනිමු.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය  “ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන් කළහකාරී පිරිස් සමග එක්ව කුමන්ත්‍රණ කටයුතු සිදුකිරීම සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට හෝ නැවැත්වීමට කටයුතු නොකිරීම”; “මෙම ප්‍රචණ්ඩත්වයට එරෙහිව බලධාරීන්ගේ ප්‍රතිචාරයක් නොලැබීම” සහ  “බලධාරීන්ගේ නිශ්ශබ්දතාව සහ ඒ පිළිබඳව පියවර නොගැනීම හේතුවෙන් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිදහසේ සිදුවන බව” යනාදී වශයෙන් වන විශේෂ වාර්තාකරු ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි. 

එවකට ප්‍රසිද්ධ වූ වීඩියෝ පට අනුව සන්නද්ධ භටයන් බලා සිටියදී පහර දීම් සිදුවිය. බෞද්ධ භික්ෂුන් ජනයා උසි ගන්වද්දී සන්නද්ධ භටයන් බලා සිටින ඡායා රූප ප්‍රසිද්ධ විය. මේ පිළිබඳව පරීක්ෂණ සිදු කර වාර්තාවන් ප්‍රසිද්ධ කර නොමැත.

ඇඳුම් පැළඳුම් සඳහා සීමාවන් පැනවීම පිළිබඳ කර ඇති සඳහන සම්බන්ධයෙන්, අදාළ රෙගුලාසි එකල පැවති කුමන හෝ අවස්ථාවක එල්ල විය හැකි ආරක්ෂක තර්ජනය සැලකිල්ලට ගනිමින්, අනන්‍යතාවය සඟවා ගැනීම වැළැක්වීම අරමුණු කොට, හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ගන්නා ලද තාවකාලික පියවරක් බව ප්‍රතිචාරයෙහි සඳහන් විය. එනමුත් මෙම සීමාවන් පැනවීම සම්බන්ධයෙන් වූ චක්‍ර ලේඛය නිකුත් කළ එවකට සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයා පාර්ලිමේන්තුව මගින් ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කිරීමට පත්කළ තේරීම් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහුගේ චක්‍ර ලේඛය සාධාරණිකරණය කිරීමට අසමත් වීම අපි නිරීක්ෂණය කළෙමු. මුස්ලිම් කාන්තාවන්ට සාරිය ඇඳීමට බල කිරීමේ තිබෙන අයිතිවාසිකම් උල්ලංඝනය ඔහුට සාධාරණිකරණය කළ නොහැකි විය.  ත්‍රස්ත වාදීන් පැමිණියේ විවෘත වය. කිසියම් ඇඳුමකින් ආවරණය වී නොවේ. 

ප්‍රතිචාරයේ  ආකාරයට ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා නීත්‍යානුකූලව අපරාධ පරීක්ෂණ පවත්වන ලද අවස්ථා, ආගමික හෝ විශ්වාසයේ නිදහස උල්ලංඝනය කිරීමේ ප්‍රයත්න ලෙස නිරූපණය කිරීමට මෙම වාර්තාව මඟින් උත්සාහ දරා  ඇතැයි සඳහන් කිරීම යෝග්‍ය නොවේ. මක්නිසාද යත් වාර්තාවෙන් නිරූපනය  වන්නේ මුස්ලිම් වරුන් සියළු දෙනාම සැකකාරයන් ලෙස සලකනු ලැබූ බවයි. පසුගිය ඉරිදා අනිද්දා පුවත් පතේ පලවූ තරිඳු උඩුවරගෙදර ගේ ලිපියක් මගින් අනුරාධපුර ප්‍රදේශයේ හමුදා මුර කපොල්ලකදී බස් රථයක් නැවැත්වූ පසුව සෙබලෙකු ‘මුස්ලිම් අය අයිඩෙන්ටි අරගෙන බහින්න’ යනුවෙන් කළ නියෝගය විශේෂ වාර්තාකරු අදහස් කරණ දේ සනාථ කරයි. 

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත සුළු ජාතීන් ආරක්ෂා කිරීම සඳහා යොදාගෙන නැති නමුත්, ආගමේ හෝ විශ්වාසයේ නිදහස සීමා කරන “මර්දනකාරී මෙවලමක්” බවට පත්ව ඇති බවට මෙම වාර්තාවේ සඳහන් සාවද්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරණ බව ප්‍රතිචාරය සඳහන් කරයි. එම ප්‍රකාශය සාවද්‍ය නොවේ. මක්නිසාද යත් ශක්තික සත්කුමාර අත් අඩංගුවට ගත්තේ සහ බොහෝ කාලයක් රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටියේ මෙම පනත භාවිතා කිරීමෙන් බැවිනි.

ප්‍රතිචාරයෙහි මෙසේ ද සඳහන්වේ.

“වෙනත් ආගම්වලට වඩා බුද්ධාගමේ ඇති “ශ්‍රේෂ්ඨත්වය” මත පදනම්ව සිදුවූවා යයි කියනු ලබන වෙනස් කොට සැලකීම් පිළිබඳව මෙම වාර්තාවේ දක්වා ඇති අදහස් සම්බන්ධයෙන්, රජය විසින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මඟින් නියම කරන බවත්, සියලු ආගම් සඳහා ව්‍යවස්ථාව යටතේ ලබා දී ඇති අයිතිවාසිකම් සහතික කරන බවත් අවධාරණය කිරීමට කැමැත්තෙමු.”

වාර්තාවේ අදාල සඳහන මෙසේය.

“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ඡේදය  අනුව 10 වන ඡේදයේ  සහ 14(1) (ඉ ) ඡේදයේ සඳහන් පරිදි සියළුම ආගම් වල අයිතිවාසිකම් සහතික කරණ නමුත් බොහෝ ජනයා බුද්ධාගමට අනෙකුත් ආගම් වලට වඩා  ‘ශ්‍රේෂ්ඨත්වයක්’ ප්‍රදානය කර ඇතැයි සිතනවා පමණක් නොව ඔවුන් ඇත්තටම තමන්ගේ ආගමට වෙනස් කොට සැලකීමක් අත්විඳ ඇත.”

එබැවින් ප්‍රතිචාරය ප්‍රකාශයට මනාව එල්ල කර නොමැති බව පැහැදිලි වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රතිචාරය 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම වාර්තාව බලවත් අගය කිරීමකට ලක් කරයි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට වඩා හාත්පසින්ම ප්‍රතිවිරුද්ධය. විශේෂ වාර්තාකරුගේ බොහෝ නිරීක්ෂණ සහ යෝජනා වලට කොමිෂන් සභාව එකඟ වේ. ආගම දේශපාලනීකරණය වීම පවතින තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව කොමිෂන් සභාව කියයි. පාසල් විෂය නිර්දේශය සංශෝධනය කිරීමට සහ සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට  බෙදීම් වලින් තොරව එකට අධ්‍යාපනය ලැබීමට ඉඩ සැලැස්වීමේ යෝජනා වලට කොමිෂන් සභාව බලවත් ප්‍රසාදය පළ කරයි.

සමාප්තිය

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවද එකඟවී ඇති මානව හිමිකම් කොමිසමේ නියාමනයන්ට පිටුපා  ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට නොහැක. එමෙන්ම එසේ ක්‍රියා කළහොත් ජාත්‍යන්තර දේශපාලන බල කඳවුරු අතර සමතුලිතතාව පවත්වා ගැනීමට අසමත්වී ශ්‍රී ලංකාව චීනය දෙසට වඩාත් නැඹුරු වීමට ඉඩ ප්‍රස්ථාව තිබේ. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ජාත්‍යන්තර දේශපාලන බල කඳවුරු වලට උපාය මාර්ගික වශයෙන් වැදගත් වේ. ශ්‍රී ලංකාව සිය භාණ්ඩ අපනයනය  කරණ ප්‍රධාන වෙළෙඳ පොළවල් වන්නේ යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි. චීනය වෙත නැඹුරු වීම මගින් ශ්‍රී ලංකාව දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇත. මේ සියල්ල තුලනය කර ගත හැකි දේශීය පොදු සාධකය නම් පවතින ආණ්ඩුවට ප්‍රධාන දායකත්වය සපයන සිංහල බෞද්ධ අන්තවාදී මානසිකත්වය සමනය කර ගැනීමයි. මේ එකම දේ කිරීම මගින් සහ එයින් ඇතිවන ප්‍රතිඵල මගින් විශේෂ වාර්තාකරු ගේ සමස්ත වාර්තාවේ ඇති කරුණු එකින් එක බිඳ වැටී යනු ඇත. මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරණ කරුණුද එකින් එක බිඳ වැටී යනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අප නීච වීම වැලකී  යනු ඇත. දෙමළ සහ මුස්ලිම් අන්තවාදයද  වියැකී යනු ඇත. එමතුද නොවේ. ජාත්‍යන්තර තලයේ අපට අවශ්‍ය නොබැඳුනු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සියළු පාර්ශ්ව වල සහයෝගයද  ලබා ගත හැකි වනු ඇත. එනමුත් මෙම දේශීය පොදු සාධකය හෙවත් ගුළු ඇණය ගලවා දැමීම ලෙහෙසි කටයුත්තක් නොවේ. බණ්ඩාරනායක එය කිරීමට ගොස් ඝාතනය විය.  ඔහු ඝාතනය වූයේ තමන් විසින්ම නිර්මාණය  කළ එම දේශීය පොදු සාධකයේ  අතිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම දේශීය පොදු සාධකයේ නිර්මාණයකි. එබැවින් එය ගලවා දැමීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.