22 October, 2020

Blog

කබ්රාල්ගේ ආර්ථික පුනරුත්ථාපන සැලැස්ම

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට ආර්ථිකය නංවන දොළොස් වැදෑරුම් ක්‍රමවේදයක් පිළිබඳව වියත් මඟ සමුළුවකදී ප්‍රකාශ කර තිබුණි. අනාගත මුදල් ඇමතිවරයා වීමට බලාපොරොත්තුවන අයකුගේ අදහස් සාවධානව සැලකිල්ලට ගත යුතුය.

රටේ ආර්ථිකය තිබෙන්නේ ඉතාමත් අවදානම් සහගත තත්ත්වයකය. නිදහස ලැබූ දා පටන් වසර කිහිපයක් හැර රාජ්‍යයේ ආදායමට වඩා  වියදම වැඩිවිය. ආදායමට වඩා වැඩි වියදම පියවා ගන්නා ලද්දේ දේශීය සහ විදේශීය ණය මගිනි. දිගින් දිගටම පැවති හිඟ අයවැය නිසා රාජ්‍ය ණය අනුක්‍රමයෙන් වැඩි විය. මෙම වියදම් කරන ලද මුදල් ප්‍රශස්ත ලෙස වියදම් කරන ලද්දේ නම් එයින් ආර්ථිකයේ වර්ධනයක් ඇතිවී ලබාගත් ණය ගෙවීමේ ඇති හැකියාව වැඩිවේ. උදාහරණයක් වශයෙන් අධ්‍යාපනයට වියදම් කරණ ලද මුදලින් රටේ නිෂ්පාදනය නංවා ලීමට දායක විය හැකි දැනුමකින් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කිරීමට හැකි නම් එය රටේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට දායක වේ. රටේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවෙන විට අවශ්‍ය නම් බදු අයකර ගැනීමේ හැකියාවක් ඇති නිසා රාජ්‍ය ආදායම ද ඉහළ යාමේ ප්‍රවනතාවක් තිබේ. ඉහළ යන රාජ්‍ය  ආදායම මගින් ලබාගත් ණය ගෙවිය හැක.  වෙනත් වචන වලින් කිවහොත් කෙරෙන වියදමට වඩා ලැබෙන ප්‍රතිලාභය වැඩිනම් වියදම් කිරීම සඳහා ණය ගැනීමේ වරදක් නැත.

මෙම ආණ්ඩුව බලයට පැමිණෙන විට එක් පසෙකින් රාජ්‍ය ණය ඉහළ යමින් පැවති අතර අනෙක් පසින් රාජ්‍ය ආදායම පහළ යමින් පැවතුනි. 1990 දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 19.6%ක් විය. 2014 දී එය 11.5% දක්වා පහත වැටී තිබුණි. 2018 දී එය 13.3% දක්වා වර්ධනය විය. රාජ්‍ය ණය 2014 දී දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 71.3% ක් වූ අතර 2018 දී එය 82.9%ක් විය. රාජ්‍ය ණය දේශීය සහ විදේශීය ණය වලින් සමන්විතවේ. මෙම වැඩිවීම ප්‍රධාන වශයෙන්ම සිදුවී ඇත්තේ විදේශ ණය වලිනි. 2014 දී දල දේශීය නිෂ්පාදිතයට විදේශ ණය ප්‍රතිශතය 30% ක් වූ අතර 2018 දී එය 41.6%ක් විය. මෙම වැඩිවීමට අයවැය හිඟය සහ මෙම ආණ්ඩුව කාලයේ සිදුවූ රුපියලේ අව ප්‍රමාණය බලපා ඇත. එයට අමතරව සාපේක්ෂ වශයෙන් අඩුවූ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයද බලපා ඇත. මෙම අඩුවීම ආරම්භ වූයේ 2013වර්ෂයේදීය. 2010 සිට 2012 දක්වා දල දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය වර්ධනය 8.5% ක් වූ  අතර 2013 දී එය 3.4% ක් විය 2013 සිට 2017 දක්වා සාමාන්‍ය වර්ධනය 4.2% ක් විය. 2018 දී එය 3.2% කී. 

මෙම ආණ්ඩුවද පසුගිය ආණ්ඩුවද අයවැය හිඟය අඩු කරණ බව පැවසුවත් එය අඩු වන බවක් දක්නට නොලැබේ. මැතිවරණ සඳහා ජනතාවට සහන සැලසීම් වස් මැතිවරණ පැවැත්වෙන වර්ෂ වලදී අයවැය හිඟය වැඩිවේ.

අයවැය හිඟයට අමතරව මෙරට ආනයනය සඳහා වියදම් කරණ මුදල් සහ අපනයනයෙන් ලැබෙන ආදායම අතරද හිඟයක් පවතී. මෙම හිඟයෙන් සෑහෙන කොටසක්  පියවා ගන්නේ මෙරට වැසියන් විදේශ රැකියා වලින් මෙරටට එවන මුදලිනි. මෙම හිඟය පියවා ගැනීම සඳහා අපනයන වැඩි කළ යුතුය. භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලද ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2004 දී 35.3% ක් වූ  අතර 2010 දී එය  19.55% දක්වා අඩුවිය. 2014 දී එය 21.09% ක් වූ  අතර 2018 දී එය 22.7% කි.

කබ්රාල් ගේ දොළොස් වැදෑරුම් ක්‍රමවේදය පිලිබඳව  සලකා බැලිය යුත්තේ මේ පසුබිම තුලය. ඔහුගේ ප්‍රථම යෝජනාව ව්‍යාපාරික මනෝ භාවයන්ට අහිතකර අමනෝඥ බදු යටත් පිරිසෙයින් 20% කින් වත් අඩු කිරීමයි. බදු අඩු කිරීම මගින් ව්‍යාපාරිකයන් ආයෝජනය සඳහා පෙළඹී ඒ මගින් ආර්ථික වර්ධනයක් ඇතිවීම සාමාන්‍ය සිද්ධාන්තයකි. පසුගිය වසර වල ඇතිවූ ආර්ථික වර්ධනයේ අඩුවීමට බදු අඩුකර සහ අයවැය හිඟය තරමක් වැඩිකර ආර්ථික වර්ධනයට උත්තේජනයක් දිය හැකැයි  බොහෝ දෙනා කීහ. වැඩිවන ආර්ථික වර්ධනය හරහා ගත් ණය පියවීමේ වැඩි හැකියාවක් තිබේ. මේ ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම මත වුවත් බදු වැඩි කිරීමේ එක් හේතුවක් වූයේ ඉහත දැක්වූ පරිදි රාජ්‍ය ආදායම අසාමාන්‍ය ලෙස පහළ යාමයි. එමතුද නොවේ. මෙරට බදු ආදායමෙන් 80%ක් පමණ ලැබෙන්නේ වක්‍ර බදු වලිනි. ඍජු බදු වලින් ලැබෙන්නේ 20% ක් පමණ ආදායමකි. එනම් බදු ගෙවිය හැකි අය බදු ගෙවන්නේ අඩුවෙන් වන අතර සමස්ත ජනතාවගෙන් අයකර ගන්නා වක්‍ර බදු මුළු බදු වලට වැඩි දායකත්වයක් සපයයි. බොහෝ රටවල තත්ත්වය මෙයට වඩා වෙනස්ය. මෙරට වක්‍ර බද්දක් වන වැට් බද්දෙන්ද අපේක්ෂිත ආදායම නොලැබේ.

එබැවින් මේ සියල්ල තුලනය කර ගැනීමේ අවශ්‍යතාවක් පවතී. බදු ක්‍රමය පිළිබඳව බදු ගෙවන පුද්ගලික අංශය සමඟද සාකච්ඡා කළ යුතුය. අමනෝඥ බදු පනවා ඇත්නම් ඒවා ඉවත් කිරීම සාධාරණ වේ.

පොලි අනුපාත අඩුකිරීමක් ගැන ඔහු යෝජනා කරයි. එය දැනටද කෙරෙමින් පවතී. රුපියලේ අගය ස්ථාවර කිරීමට ඔහු යෝජනා කරණ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 150ක් දක්වා ශක්තිමත් කිරීමටද ඔහු අදහස් කරයි. පසුගිය ආණ්ඩු කාලය මුළුල්ලේම රුපියලේ අගය කෘත්‍රිම ලෙස පහල අගයක එනම් ශක්තිමත් අගයක තබා ගන්නා ලදී. මෙසේ කිරීමට ප්‍රධාන හේතුව වූයේ රුපියල අවප්‍රමාණය වුවහොත් විදේශ වලින් ණයට ගන්නා ලද මුදල් ආපසු ගෙවීමේදී රුපියල් වලින් ගණනය කළ හොත් වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවීමයි. මෙම අමනෝඥ ප්‍රතිපත්තිය හේතුවෙන් රුපියලේ අගය කෘත්‍රිමව ශක්තිමත් මට්ට්ටමක තබාගන්නා ලද අතර එමගින් පහර වැදුනේ මෙරට අපනයන ව්‍යාපාරිකයන්ටය. එහි ප්‍රතිවිපාක එම ආණ්ඩු කාලය තුළ අපනයන ආදායම පහත වැටීම මගින් පෙන්නුම් කෙරේ. අපනයන ප්‍රවර්ධනය සඳහා කිසිම යෝජනාවක් කබ්රාල් ගේ යෝජනාවලිය තුළ නොමැති අතර මෙම යෝජනාව මගින් අපනයන අධෛර්යමත් කෙරේ. ඉහළ මට්ටමේ නිෂ්පාදනය සහ අපනයනයෙන් තොර සංවර්ධනයක් කුඩා වෙළෙඳපොළක් සහිත ලංකාවට නොමැති බව අප මතක තබා ගත යුතුය. 

පසුගිය ආණ්ඩු කාලයේ යුරෝපා සංගම් වෙළෙඳපොළට තීරුබදු රහිතව සහ සහනදායි තීරුබදු වලින් යුක්තව භාණ්ඩ අපනයනය කිරීම සඳහා වූ GSP+ සහනය අත්හිටවන ලදී. මේ අවස්ථාවේදී එම ආණ්ඩුව GSP+ සහනය වෙනුවෙන් ජනතාවට ලබා දියයුතු මූලික අයිතිවාසිකම් වලටද එකඟ නොවිය. මේ මගින් යුරෝපා සංගම් වෙළෙඳපොළට භාණ්ඩ අපනයනය කළ ව්‍යාපාරිකයන්ට පහර වැදුණි. පවතින ආණ්ඩුව විසින් මේ සහනය නැවත ලබා ගන්නා ලදී.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල සහ මිලෙන්නියම් චැලේන්ජ් වැනි අත්සන් කළ සහ අත්සන් කිරීමට යන මෙරටට අවාසි සහගත ගිවිසුම් වෙනස් කිරීම සඳහා නැවත සාකච්ඡා කරණ බව ඔහු කියයි. එය හොඳ දෙයකි. එමෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ චීනයට සින්නක්කරව හිමිවීමට තිබූ බිම් කොටස 99 අවුරුදු බද්දකට යටත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුව කළ මෙවැනි සාකච්ඡාවක්  මගිනි.   

ඔහුගේ ඊළඟ ප්‍රධාන යෝජනාව කි.මී.600 ක දිගින් යුත් අධිවේගී මාර්ගයක් රටවටා ඉදිකිරීමයි. ආර්ථිකයට උත්තේජනයක් ලබා දීම මෙහි අරමුණයි.රාජ්‍යයේ වගකීම යටිතල පහසුකම් දියුණු කිරීමයි. ආයෝජන ප්‍රවර්ධනය කිරීමට එය හේතුවනු ඇත. මේ සඳහා සහනදායි පොලි අනුපාත මත දීර්ඝ කාලීන ණයක් ලබාගත හැකිනම් එය සුදුසුය. මෙවැනි මහා පරිමාණ ආයෝජන සඳහා දේශපාලකයෝ කැමැත්තක් දක්වති. රට දැනට පවතින තත්ත්වය අනුව මිට වඩා අඩු මුදලක් ආයෝජනය කර වැඩි ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රම සොයා බැලීම නිර්මාණශීලි පාලකයන්ගේ වගකීමකි.

රාජ්‍ය සේවය විධිමත් කිරීමෙන් පමණක් විශාල මුදලක් ඉතිරි කරගත හැක. රනිල් වික්‍රමසිංහ 2001 දී ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත් විට අගමැති වූ අවස්ථාවේදී  එවකට ප්‍රසාරණය වී තිබූ රාජ්‍ය සේවයට බඳවාගැනීම් සම්පුර්ණයෙන්ම නතර කළේය. පළපුරුදු දේශපාලනඥයකු වූ ඔහු එය  දේශපාලන සියදිවි නසා ගැනීමක් බවත් එනමුත් එම අවස්ථාවේදී රටට එම තීරණය අත්‍යවශ්‍ය වූ බවත් දැන සිටින්නට ඇත.   

ණය බරින් මිරිකී සිටින ආයතන වලට සහනයක් වශයෙන් පොළිය පමණක් ගෙවා මුල් මුදල ගෙවීම මාස 18කට අත්හිටවීම, මුල්‍ය ආයතන වලට සහනයක් වශයෙන් ව්‍යාපාර පුනරුත්ථාපන අරමුදලක් ඇතිකිරීම සහ මුල්‍ය ආයතන වලට ද්‍රවශීලතා පහසුකම් සැපයීම වැනි කබ්රාල් ගේ කෙටි කාලීන යෝජනා සාධනීය වේ.

පවතින තත්ත්වයෙන් දීර්ඝ කාලීනව මිදීමට අයවැය හිඟය අඩු විය යුතුය. වෙළෙඳ ශේෂය වාසි සහගත විය යුතුය. ආර්ථිකය ප්‍රසාරණය විය යුතුය. නිෂ්පාදනය වැඩි විය යුතුය. අපනයන වැඩි විය යුතුය. රට පුරා වෙසෙන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැංවිය යුතුය. 

මේ ආණ්ඩුව රටේ දීර්ඝ කාලීන මූලික ප්‍රශ්ණ දෙකට එනම් අයවැය හිඟයට සහ වෙළෙඳ ශේෂ හිඟයට පිළියම් සෙවීමට උත්සාහ කරයි. ගමන මන්දගාමී වුවත් මාර්ගය නිවැරදිය. මීළඟ ආණ්ඩුවේ කාර්ය භාරය වියයුත්තේ මන්දගාමී ගමන ශිග්‍රගාමී කිරීමයි. වෙනත් මාර්ගයක ගමන් කිරීම අරඹා ආර්ථිකය අවුල් කිරීම නොවේ.

එමෙන්ම කබ්රාල් නියෝජනය කරණ දේශපාලන ධාරාව ඒකාධිපතිවාදය සහ ජාතිවාදය  ප්‍රවර්ධනය කරණ අතර වර්තමාන ආණ්ඩුව නියෝජනය කරණ දේශපාලන ධාරාව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරයි. මෙම දේශපාලන ධාරා දෙකම ධනපති වෙළෙඳපොළ ආර්ථිකය ප්‍රවර්ධනය කරයි. මේ අනුව සම්ප්‍රදායික වශයෙන් වඩාත් දක්ෂිණාංශික වන්නේ පළමු කී දේශපාලන ධාරාවයි. මෙයට අමතර වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරණ වාමවාදී දේශපාලන ධාරාවද තිබේ. මේ අතුරින් ජනතා කැමැත්ත ලබන මස තීන්දු වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.