10 November, 2026

Blog

මුසාවාදා සහ අදින්නාදානා මත දුවන රටක්

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ගිහාන් ප්‍රනාන්දු හිරු නාලිකාව හරහා ඉදිරිපත් කරන පොඩි වැඩ්ඩෝ නම් වැඩ සටහනේ එක් කුඩා දැරියක් සමග කල සාකච්ඡාවක කොටසක් Facebook හරහා දුටිමි. අනතුරුව සම්පුර්ණ වැඩ සටහන බැලුවෙමි. අදාල කොටසේදී ඇය තමා  ජනාධිපති වීමට බලාපොරොත්තුවන බව කියයි. ප්‍රශ්න විචාරකයා මෙසේ අසයි.

“ජනාධිපති උනාම මො කද කරන්නේ ?” ඇගේ පිළිතුර “බොරු කියනවා”. ප්‍රශ්න විචාරකයා තුෂ්නිම්භූත වෙයි.

ජනාධිපති වන්නට සිතුනේ ඇයි යන ප්‍රශ්නයට ඇය කියන්නේ ජනාධිපති වූ විට ලොකු ගෙයක් සහ කාර් දහයක් පමණ ගෙන ඉන්නට පුළුවන් බවයි.

දේශපාලනයට එන අරමුණම වැරදි බව ප්‍රශ්න විචාරකයා කී විට ඇය දේශපාලනයේ දී කියන්නේ බොරු බව කියයි.

ඇයට දේශපාලනඥයන් ගැන දැනීමක් ද තිබේ. ලොව ප්‍රථම අගමැතිනිය නමින් සඳහන් කිරීමට ඇය සමත් වූවාය. එමෙන්ම වර්තමාන ජනාධිපතිගේ නම සඳහන් කිරීමටද අගමැතිනියගේ ස්වරූපයද මුල් නම කී විට වාසගම සඳහන් කිරීමට ද ඇය සමත් විය.

ඇය ප්‍රකාශ කරන්නේ විශේෂයෙන් නිවසේදී සහ සමාජයේදී ඇය උකහාගත් දැනුමයි. බරපතල කාරණය වන්නේ දැරිය ගේ මනසට කිඳා බස ඇත්තේ සියළුම දේශපාලනඥයන් බොරු කියන බවයි. ජවිපෙ බොරු කියන බව නොවේ.

දේශපාලනඥයන් සැම විටම සත්‍යය ප්‍රකාශ කරන්නේ නැත. ඔවුහු අසත්‍යය ද ප්‍රකාශ කරති. නමුත් බොරුව මේ තරම් බලවත් ලෙස පාවිච්චි කල ආණ්ඩුවක් මෙතෙක් කල් තිබී නැත. ජවිපෙ විසින් ප්‍රචලිත කළ බොරුවක් වූ ඊනියා 76 වසරක ශාපය විශ්වාස කරන පුරවැසියෝ ඕනෑ තරම් සිටිති. ඒ අනුව ඩි ඇස් සේනානායකගේ සිට සියල්ලෝම ශාප ලද්දෝය.

ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ ඇති ධම්මපදයේ ලෝක වග්ගයේ 176 වන ගාථාව මෙසේය.

ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතිණ්ණපරලෝකස්ස නත්ථි පාපං අකාරියං

එහි සිංහල තේරුම මෙසේය.

සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණධර්මය පවා ඉක්මවා ගිහින්, බොරු දොඩවන කෙනෙකුට පරලොව ගැන කිසිම හැඟීමක් නෑ. ඒ නිසා ඔහුට කරන්ට බැරි පාපයකුත් නෑ.

එකම එක ගුණ ධර්මය නම් අනෙක් සියළු ගුණ ධර්ම  අයින් කලත් ඉතිරිවන ගුණ ධර්මය යන තේරුමයි. එනම් සත්‍යවාදී බව ප්‍රධාන ගුණධර්මය බවයි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී සත්‍යවාදී බව අත්‍යවශ්‍යයි. මක්නිසාද යත් ජනතාව දේශපාලනඥයන්ට දෙන්නේ රට පාලනය කිරීමට තාවකාලික බලයක් බැවිනි. ඒ බලය දෙන්නේ විශ්වාසය පදනම්වයි. විශ්වාසයේ පදනම සත්‍යවාදී බවයි.

මේ ආණ්ඩුව පත්වූ අලුත නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය බොරු කීමට තමන්ට අයිතියක් ඇතැයිද අසන්නන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු යයි ද කියා සිටියාය. ඇය එසේ කිවේ මැතිවරණය සමයේ ඇය විසින් ප්‍රකාශ කළ උගන්ඩා සල්ලි ගැන විමසූ අවස්ථාවේ දිය. ඇයගේ බොරු කීමේ අයිතිය පිලිබඳ ප්‍රකාශය ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් ගත් දේශපාලන තීන්දුවක් බව පැහැදිලිව පෙනෙන සිද්ධීන් ඊට පසු ඇතිවිය.

රනිල් වික්‍රමසිංහ ගේ යුගයේ රට වැටී තිබුණු අගාධයෙන් ගොඩ ගෙන සාමාන්‍ය ජනතාවට දැනෙන ලෙස පෝලිම් නැති කිරීමත් බදු මිල යම් පමණකට අඩු කිරීමත් සාර්ව ආර්ථික දර්ශක ඉහල නැංවීමත් සිදු කරන ලදී. බොරු කීම හරහා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් කරන ලද මේ ප්‍රශස්ත ක්‍රියාව තමන් විසින් කරන ලදැයි ජනතාවට ඒත්තු ගැන්වීමට ජවිපෙ ප්‍රබලයන්ට අවශ්‍ය​‍ය විය.

ආර්ථිකයේ කඩාවැටීම ආපසු හැරවීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ප්‍රසංශා කළ අය අතර එය ඉතාමත් විශේෂිත දෙයක් බව සඳහන් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ශ්‍රී ලංකාව සම්බන්ධ නියෝජිත පීටර් බෘවර්, එය විශිෂ්ටතම පුනරාගමන කථාව බව සඳහන් කළ ඇමරිකාවේ දකුනු ආසියාව පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ අර්බුදයෙන් පසුව ඉක්මන් පුනරාගමනයක් පිළිබඳව ප්‍රසංශා කළ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල් ඔඩ්රේ ආසුලේ ද වුහ. මම රනිල් වික්‍රමසිංහ ට ප්‍රසංශා කර ඇතිවාක් මෙන් ඔහු විවේචනයද කර ඇත්තෙමි.

පාර්ලිමේන්තුවේදී විවිධ ඇමති වරු තමන් බාරගත්තේ බංකොලොත් වූ රටක් බව කීහ. ඒ අතර  ජනාධිපති අනුර කුමාර දිසානායකද විය. අගමැති හරිනි අමරසුරිය සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එයම ප්‍රසිද්ධ සභාවල කිහ. සුනිල් හඳුන්නෙත්ති සහ සුනිල් ආර් ගමගේ යන අමාත්‍ය වරු දෙරණ සහ සිරස යන රුපවාහිනී  නාලිකා වල සාකච්ඡා වලදී මෙම කාරණය කියන්නට ගොස් එය ඔප්පු කර ගැනීමට අසමත්ව අපහසුතාවයන්ට පත් වුහ. කවටයන් වැනි තවත් ඇමතිවරු – සමන්ත විද්‍යාරත්න එක් අයෙකි – මෙම අසත්‍යය අවධාරණය කිරීමට ගොස් හාස්‍යයට ලක් වුහ. මේ ප්‍රවාහයට වෙනස් අදහසක් දැක්වුයේ අමාත්‍ය ලාල් කාන්ත පමණි. ඒ බව ඔහුට ගෞරවයක් ලෙස සටහන් කළ යුතුය. වීඩියෝ සාකච්ඡාවකදී ඒ අවස්ථාවේදී රට බාර ගැනීමට සිටියේ රනිල් වික්‍රමසිංහ පමණක් බව ඔහු කියා සිටියේය. මෙම තත්ත්වය ආණ්ඩුවේ  සාමාජිකයන් ඉහළ සිට පහළට  සංවිධානාත්මකව බොරු කීම පිළිබඳව ප්‍රබල උදාහරණයකි.

ආණ්ඩුවේ නායකයන් මැතිවරණ සමයේ කියන ලද බොරු සහ දැන් ඔවුන් මුහුණ දෙන යථාර්තය සම්බන්ධ කර විවිධ වීඩියෝ පට සමාජ මාධ්‍ය හරහා සංසරණය වේ. ඒ සියල්ල පසෙක තිබියේවා. ජනාධිපතිවරයා ජනාධිපති හැටියටද බොරු කියයි. වරෙක ඔහු වැව් 450 ක් හදන බව කියයි. එසේ වැව් හැදිය නොහැකි බව අපි දනිමු. ඉන්පසු ඔහු වැව් සැදීමට තමන් පණ්ඩුකාභය දැයි විමසයි. මේ වීඩියෝ පට දුටු විට ඒවා සත්‍ය​ දැයි මම වික්ෂිප්ත වුයෙමි.

මේ ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය හොරු ඇල්ලීමයි. එනම් පසුගිය ආණ්ඩු වල දුෂණ ක්‍රියාවල යෙදුන නමුත් සිය බලය හේතුවෙන් පරීක්ෂණ යටපත් කරගෙන සිටි අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමයි. එයට පුරවැසියන් ගෙන්  කිසිවකු එරෙහි වන්නේ නැත. එමෙන්ම දැන් ඉදිරියට යන බොහෝ නඩු පසුගිය ආණ්ඩු කාල වලදී පටන්ගත් ඒවා බව අප මතක තබාගත යුතුය.

අනෙක් වැදගත් කරණය වන්නේ සිය වැරදි වලට නොදුටු ඇස් ද නොඅසූ කන්ද ඇතිව සිටීමයි. ගල් අඟුරු වංචාව වැනි බරපතල අපයෝජන විමර්ශනයට අතිතයටද බලපාන පරිදි කොමිෂන් සභා පත්කර ඇත. මෙතරම් නින්දා සහගත තත්ත්වයට පත්වූ කතානායක වරයෙක් පෙර  සිට නැත. මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඇතැම් ඇමතිවරුන්ට තීබු සොරකමකට අදාල නඩුවක් (නුදුන්දේ ගැනීම සොරකමකි) කල්දමා ගැනීමට කටයුතු කර ඇති වාර්තා වේ. ආණ්ඩුවෙන් පිට සිටින සිය හිතවාදීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවේ. විරුද්ධ දේශපාලනඥයන් නඩු තීන්දු දීමට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකිවන පරිදි චෝදනා ගොනු කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවනු ලබයි.

නොබෝදා කඩුවෙල නගරාධිපති තමන්ට හැම්පර් ගෙනත් දෙන්නැයි ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. ඔහු  තමන්ද කන  බොන මිනිසුන් බව කියා සිටියේය. මෙය අල්ලස් පනත අනුව දුෂණයකි. මේ ඔහු කළ කවට කමක්ද නැතහොත් ඔහුගේ මුග්ධ ප්‍රකාශයක් දැයි නොදනිමි.

ආර්ථිකය ගැන සොයා බැලීමට ආණ්ඩුවට වෙලාවක් නැත. පෙනෙන ආකාරයට ඒ ගැන බලා ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. රාජ්‍ය යාන්ත්‍රණය අන්තිම අකාර් යක්ෂමය. සියල්ල ඉබේ සිදුවේ. වැඩ වැරදුනු විට බොරු කියති. බොරු අතේ පත්තු වූ විට නිශ්ශබ්ද වෙති.

අවසානයේදී රට දුවන්නේ මුසාවාදා සහ අදින්නාදානා  හෙවත් බොරුව සහ හොරකම  මතය. පාලකයෝද ජනතාවද දෝලනය වන්නේ හොරකම සහ බොරුවට පක්ෂව සහ විපක්ෂවය. මෙවැනි රටක් මා දැක නැත. කවුරුන් හෝ විසින් මේ බව ගිනස් වාර්තා පොතට දැන්විය යුතු යයි සිතමි.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment