19 April, 2024

Blog

කාදිනල් ගේ “දේව භාෂිතය”

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

මැල්කම් රංජිත් කාදිනල් තුමා පසුගියදා පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් වලින් හානි වූ කටුවාපිටිය රෝමානු කතෝලික දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී දේශපාලන කථාවක් කළේය. ආගමික නායකයන්ට දේශපාලන කථා තහනම් නොවේ. ප්‍රශ්නය වන්නේ  විචාරශිලිත්වයෙන් තරමක් තොර ස්වභාවයක් පෙන්නුම් කරණ සමහර ජනතා කොටස්  විසින් මේ දේශපාලන කථා “දේව භාෂිතය”  ලෙස පිළිගැනීමට ඇති ඉඩකඩයි. බොහෝවිට බෞද්ධ භික්ෂුන් දේශපාලනය කථා කරණ විට ඔවුන් යම් දේශපාලනඥයන් පිරිසකට විරුද්ධ වන බව සහ තවත් දේශපාලනඥයන් පිරිසකට පක්ෂ වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. විදග්ධයකු වන කාදිනල් තුමාගේ කථා වල එවැන්නක් එකවරම පෙනෙන්නට නැත. එනමුත් එතුමාගේ කථා විමසිල්ලෙන් ශ්‍රවනය කරන්නකුට ඒවායේ ඇති දේශපාලන පක්ෂපාතිත්වය අවබෝධ කර ගත හැක.

පසුගිය දිනෙක බටහිර රාජ්‍යයන් විසින් ප්‍රවර්ධනය කෙරෙන මානව හිමිකම් ගැරහීමට ලක් කෙරෙමින් ද ආගම් තිබෙන විට මානව හිමිකම් අනවශ්‍ය බව ප්‍රකාශ කෙරෙමින් ද මානව හිමිකම් වලට වඩා මෙරට සංස්කෘතිය ගැන අප සැලකිලිමත් විය යුතු බව ප්‍රකාශ කෙරෙමින්ද කළ පසුගාමී කථාවට පිළිතුරු වශයෙන් මංගල සමරවීර ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වරයා සමරවීරට වහාම පිළිතුරු දෙමින් කාදිනල් තුමාගේ “දේව භාෂිතය” ආරක්ෂා කළේය.

කටුවාපිටිය කථාවේ ද එතුමා මානව හිමිකම් විවේචනය කළේය. බුද්ධි අංශ දුර්වල කිරීම පිලිබදව ආණ්ඩුවට චෝදනා කළේය. බටහිර මානව හිමිකම් වල මුලාරම්භය 1215 දී එංගලන්ත රජු එරට වංශවතුන් සමඟ අත්සන් කළ මැග්නා කාර්ටා ගිවිසුමයි. කිසිම වංශවතෙකුට   නිත්‍යානුකුල නඩු තීන්දුවකින් තොරව දඬුවම් කළ නොහැකි යයි එහි සඳහන් වන අතර එයින් පල්ලියේ අයිතිවාසිකම් ද ආරක්ෂා විය. බටහිර මානව හිමිකම් වල නැගීම රෝමානු කතෝලික පල්ලියට එරෙහි  ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයේ නැගීම හා බැඳී පවතී. දහසය වන සියවසේදී රෝමානු කතෝලික පල්ලියට එරෙහිවූ මාටින් ලූතර් දේවගැති තුමා පල්ලියෙන් නෙරපා හරින ලදී. අටවන හෙන්රි  රජු විසින් පාප් තුමාගේ ආධිපත්‍යයට එරෙහිව එංගලන්ත සභාව ආරම්භ කරණ ලද්දේද 16 වන සියවසේදීය. 17 වන ශත වර්ෂයේදී එංගලන්තයේ සිටි රජු නෙරපා ඔලිවර් ක්‍රොම්වෙල් බලයට පැමිණීමත් ඉන් කලකට පසුව 1689 දී එංගලන්තයේ සම්මත කර ගන්න ලද අයිතිවාසිකම් පිලිබඳ පනතත් 1776 දී ඇමෙරිකාව නිදහස ලැබීමෙන් පසුව නිකුත් කළ නිදහසේ ප්‍රකාශනයත් ඉන් දශකයකට පමණ පසුව ඇතිවූ ප්‍රංශ විප්ලවයත් මානව හිමිකම් වල සන්ධිස්ථාන වේ. මානව හිමිකම් යනු කාලයක් තිස්සේ බටහිර රටවල ජනතාව එම රටවල රජුන්ගේ අත්තනෝමතික පාලනයන්ටද රෝමානු කතෝලික පල්ලියේ පාලනයටද  එරෙහිව ගෙන ගිය අරගල වල ප්‍රතිඵලයයි. එබැවින් කාදිනල් තුමාට මානව හිමිකම් වලට ඉහළින් ආගම තැබිය නොහැකිය. ආගම මිනිසාට මානව හිමිකම් සහතික කරණ ප්‍රභවයක් විය යුතුය.

කාදිනල් තුමාගේ “දේව භාෂිතය” අදහන පිරිසගේ දැනගැනීම උදෙසා ඉතාම ප්‍රගතිශීලි සහ ජනහිතකාමී ආගමික නායකයකු වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ මේ සටහන උපුටා දක්වමි. “ජිවිතයට ඇති අයිතිය ප්‍රථම මානව හිමිකමයි.” කාදිනල් තුමා කථා කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජිවිත අහිමි වී අයගේ මානව හිමිකම් වෙනුවෙනි. එවිටම ඔහු මානව හිමිකම් වලට විරුද්ධ වන්නේ කෙසේද?අපගේ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය වෙන් වන්නේ මානව හිමිකම් සඳහාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අප අත්සන් තබා ඇත්තෙමු.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය කාලය තුළ මෙරට මානව හිමිකම් අන්තිම අඩියකට වැටී තිබුණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය විය. පුවත්පත් කලාකරුවන් ගණනාවකට පහරදෙන ලදී. සමහරු පැහැර ගෙන යන ලදුව පසුව නිදහස් කරණ ලදී. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් විය. තජුදීන් ඝාතනය කර එය රිය අනතුරක් සේ පෙනෙන්නට සලස්වන ලදී. මෙය වසන් කිරීමට ඉහළ පොලිස් නිලධාරින්ද ඉහළ වෛද්‍ය නිලධාරින්ද සම්බන්ධ වූහ. මෙහෙයුමකදී වැලිකඩ සිරකරුවන් ඝාතනය කරණ ලදී. නාවික හමුදාවේ  නිලධාරීන් විසින් ශිෂ්‍යයන් පිරිසක් කප්පම් ගැනීම සඳහා රඳවාගෙන පසුව ඔවුන් මරා  දමන ලදී.රාජපක්ෂගේ අන්තේවාසිකයෝ ස්ත්‍රීහු දූෂණය කළහ. නොයෙකුත් මැර ක්‍රියා වල යෙදුණහ. රාජපක්ෂටද ඔහුගේ අන්තේවාසිකයන් ටද එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවුනි. 

කාදිනල් තුමා මානව හිමිකම් පහලට දැමීමේ හේතුව වන්නේ මානව හිමිකම් කඩා දැමූ පසුගිය ආණ්ඩුවට ආවැඩිම හැර වෙන කුමක්ද? මැග්නා කාර්ටා ගිවිසුම එවකට සිටි පාප් වහන්සේ විසින් එය එංගලන්ත රජු මත වංශවතුන් විසින් බලයෙන් පටවන ලද්දක් සේ සලකා එය ප්‍රතික්ෂේප කළේය. පසුව රජු ද එය ප්‍රතික්ෂේප කළේය. ඒ නිසා සිවිල් යුද්ධයක් ඇතිවිය. එවකට පාප් වහන්සේ ද සිටියේ මර්දකයා ගේ පිලෙහිය. දැන් පාප් වහන්සේ සිටින්නේ මර්දකයාගේ පිලෙහි නොවේ. කාදිනල් තුමාද ඒ අනුව යා යුතුය.

පසුගිය ආණ්ඩුව කාලයේ ඝාතන බොහොමයකටම බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධව සිටි බවට පොලිසිය විසින් තොරතුරු හෙළි කරගෙන ඔවුන් අත් අඩංගුවට ගන්නා ලදී. ඥානසාර වැනි මැර භික්ෂුන් ඇතුළු අන්තවාදී පිරිස් විසින් ද රාජපක්ෂ ගැත්තන් විසින්ද පතුරුවා හරින ලද මෙම ආණ්ඩුව විසින් බුද්ධි අංශ විනාශ කළ බවට වන චෝදනාව ප්‍රලාපයකි. පවතින ආණ්ඩුවක දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම බුද්ධි අංශයක කාර්ය භාරයද? පුවත්පත් කලා වේදීන් ඝාතනය කිරීම බුද්ධි අංශයක කාර්ය භාරයද? කප්පම් ගැනීම සඳහා ශිෂ්‍යයන් ඝාතනය කිරීම බුද්ධි අංශයක හෝ රණ විරුවන්ගේ හෝ කාර්ය භාරයද? කාදිනල් තුමා බුද්ධි අංශ දුර්වල කිරීම යනුවෙන් අදහස් කරන්නේ මෙම අත්  අඩංගුවට ගැනීම් විය යුතුය. එසේ නම් එය පසුගිය ආණ්ඩුවට ආවැඩිම වෙන කුමක්ද?

කාදිනල් තුමා දිවයින පත්‍රයේ පුවතක් පාදක කරගෙන අයි එස් අයි එස් කණ්ඩායමේ නායකයා බලවත් රටක භාරයේ සිටින බවත් මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් කීය. දිවයින වැනි පුවත් පතක වාර්තාවක් පදනම් කරගෙන කථා කිරීම ආගමික නායකයකුට තරම් නොවේ. මෙම පුවත් පතේ කෙන්ද කන්ද කරණ වාර්තාකරණය  දොස්තර සාෆි පිලිබඳ ප්‍රවෘත්තියෙන් සනාථ වේ. කාදිනල් තුමා මේ ව්‍යංගයෙන් චෝදනා කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. ලංකාව චීන ගැති රටක් බවට පත්කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුවයි. ජනාධිපති ජයවර්ධන ගේ යුගයේදී අපට ඉන්දියාව සමඟ ගණුදෙනු බේරාගන්නා ලෙස කී ඇමෙරිකාව අපගේ බැඳියාව චීනයට විතැන් වූ පසුව මෙරට පිලිබඳ බලවත් උනන්දුවක් දක්වන්නට විය. කෙසේ වෙතත් මෙම බල අරගලයේදී ඇමෙරිකාවට චෝදනා කිරීම රාජපක්ෂ වාදීන්ගේ ප්‍රතිපත්තියයි. කාදිනල් තුමා එම ප්‍රතිපත්තියම අනුව යයි. 

ජනාධිපති සිරිසේන දේශපාලනඥයන් සෑමවිටම ගෙදර යාමට සූදානම් බව පවසමින් මේ කථාවට පිළිතුරු දී තිබුණි. නමුත් කාදිනල් ලා එසේ ජනතාව ඉදිරියට යන්නේ වත් ගෙදර යන්නේ වත් නැත. ඔවුන් පත් කරන්නේ පාප් වහන්සේ විසිනි.

කාදිනල් තුමාගේ වේදනාව අපි හඳුනමු. ඝාතනයට ලක්වූ කිතුනුවන්ගේ වේදනාවද අපි හඳුනමු. දේපල හානි කරනු ලැබූ සහ මර්දනයට ලක්වූ මුස්ලිම් වරුන්ගේ වේදනාවද අපි හඳුනමු.රටේ ජනාධිපති පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව  සිය වගකීම පැහැර හැරීමද අපි දනිමු. රටේ ජනාධිපති සහ අගමැති ජනවාර්ගික අරගල වලදී නිසි කලට ප්‍රතිචාර නොදැක්වීමද  අපි දනිමු. එමෙන්ම රටේ කාදිනල් තුමා දේශපාලන ගැත්තකු වීම ගැන අපි කණගාටු වෙමු.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    2

    දේශපාලන ගැත්තා 21 සිදුවීමෙන් පසුව ජනතාව සන්සුන් කර කාදිනල්තුමාද, පාර්ශවීක ලේඛන වහරක් ඇති ඔබද යන්න ගැන තර්ක නොකරමු. ඔබ කඩේ යන්නේනම් ඔබේ ශිල්ප ඔබේ දුවා දරුවන්ටද ලබා දෙන්න. නැතහොත් අපට රටක් නැති වූවත් ඔවුනට ජීවත් වීමට මගක් ඉතුරු නොවනු ඇත.

  • 3
    3

    හර්ෂ ගුණසේන මහතා වෙත ඉතා කරුණාවෙන් උත්තර දෙමි.
    මහත්මයානනී,
    ඔබතුමාගේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවීමෙන් පසුව අප රටේ මිනිසුන් දේශපාලනීකව කෙතෙරම් අන්ද භාවයකින් සිටීද යන්න ඉතාමත් කනගාටුවෙන් වූවද පසන් විය. ඔබතුමා එක්සත් ජාතික පක්ෂය හෝ පවතින රජයට සුදු හුණු ගෑමට උතසහ කරනා තවත් බත්බැලයෙක් පමණක් බව මෙම ලිපිය කියවන විට ඕනෑම පුද්ගලයකුට තේරෙනු ඇත. කරුණු පදනම් කරගෙන කතා කිරීම තර්ක ශාසත්‍රයේ ප්‍රධාන සාදකයක් බැවින් ඔබගේ ලිපියේ සඳහන් කරුණු එකක් විග්‍රහ කිරීමට සිතුවෙමි.
    මානව හිමිකම් – ඔබතුමා මානව හිමිකම් ගැන ඉතා දිඟු විස්තරයක් කර ඔබතුමාගේ දැනුම ලෝකයට ප්‍රකාශ කිරීමට උතසහ කර ඇත. නමුත් කර්දිනල් තුමාගේ ප්‍රකාශය තෙඋම් ගැනීමට තරම් පැහැදිලි මනසක් ඔබතුමාට නැති බව මෙයින් පැහැදිලි වනු ඇත. එයට හේතුව නම්, කර්දිනල් තුමා එතුමාගේ කතාවන් වලදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් අනවශ්‍යය බව නොව, මානව හිමිකම් සංවිධාන අනවශ්‍යය බවය. එතුමාගේ කතාවේ එතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ, අප රටට ඉතා දිඟු ඉතිහාසයක් ඇති බවත්, මේ රටේ ජනතාව බුද්ධ ධර්මය වටා ගෙතුණු සංස්කෘතියකට උරුම කම් කියන ජනතාවක් බවත්, මේ රටේ සියලුම ආගමීක නායකයින් ඉතා සහයෝගයෙන් කටයුතු කරන බවත්, එම කරුණු මුල් කරගෙන මෙරටේ යම්කිසි ප්‍රශ්නයක් ඇත්නම් එම ප්‍රශ්නය අපට බේරාගත හැකි බවත්ය. එතුමාගේ කතාවේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ අප රටේ ප්‍රශ්න වලට අනවශ්‍යය ඇඟිලි ගැසීම් අනවශ්‍යය බවය. නැවත කර්දිනල් තුමාගේ මුළු කතාවම සන්සුන් මනසකින් කියවා තේරුම් ගන්න මෙන් කාරුනීකව ඉල්ලා සිටිමි.
    මිල මුදල් වලට හෝ තාන්න මාන්න වලට තම රට ජාතිය විකුණන් කෑමට කස කවන මිනිසුන් මේ රටේ ඉතිහාසය පුරාවටම අප දැක ඇතිසේම අදටත් දකිමින් ඇත. ඔබත එවන් පුද්ගලයකු බව ව්‍යංගාර්ථයෙන් පැවසිය යුතු නැත. මෙය බුදුන්ගේ දේශයයි. ගෞතම බුදුරජානන් වහන්සේ දේශනා කරන ලද ලෙස මෙම දේශයේ ධර්මය වසර 5000 පැවතීම කිසිවකුටවත් නතර කල නොහැක. බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පෑමට මොහොත කට පෙර සක්‍ර දෙවෙන්ද්‍රයනන් සහ සියලුම දේව පිරිවෙර කැඳවා මෙම මෙම ලෝකය සක්‍ර දෙවෙන්ද්‍රයානන් වහන්සේට බාර දෙන ලදී. එහිදී බුදු රජාණන් වහන්සේ වදාලා ඇත්තේ, බුදු දහම ඊළඟ වසර පන්දහස මෙලොව තුල පවතින්නේ ලංකාදීපය කේන්ද්‍ර ගත කරගෙන බවත්, වසර 2500 යන තැන මෙම ධර්මය විනාශ කිරීමට නානාප්‍රකාර වේශයන්ගෙන් පැමිණෙන පුද්ගලයන්ගෙන් මේ රට බේරා ගැනීමට දියසේන කුමාරයා පැමිණෙන බවත්ය. අපි ධර්මය පිළිගන්නා සහ ධර්මය විශ්වාස කරනා මේ ලංකාවාසීන් ජේසුස් ස්වාමී දරුවන් පැමිණෙන තෙක් බලා සිටි කතෝලිකයන් ලෙසින් බලා සිටින්නෙමු. ඔබ වැනි මුග්ද මිනිසුන්ට ස්වභාවධර්මයා විසින් පිළිතුරු සපයනු ඇත. ඔබ කල පවු ඔබේ දරුවන්ගේ සහ එම දරුවන්ගේ දරුවන්ගේ කර පිටින් යාමට නොදී මෙම ජීවිත කාලය තුලම අබේ පවු වලට පසු තැවී, තවත් කිසිම ආත්මයක මෙවන් නරුම ජීවිතයක් ඔබට නොලැබේවා කියා ප්‍රර්ථනා කරමි.

  • 1
    0

    ප්‍රිමාල් ප්‍රනාන්දු මහතාගේ දීර්ඝ ප්‍රතිචාරයට ස්තුතියි. ප්‍රතිචාර යනු ප්‍රජාතන්ත්‍රවාදයයි. කෙසේවෙතත් ප්‍රස්තුත කරණයෙන් බැහැරව මට පවු සිදුවිමක් ගැනද මගේ දරුවන්ට පවු ගෙවීමට සිදුවීමක් ගැනද කථා කිරීම අදාල නොවේ.
    පිරිනිවන් මංචකයේදී බුදුන් වහන්සේ ශ්‍රී ලංකාව ශක්‍ර දේවේන්ද්‍ර යාට භාරදීම මහාවංශ ප්‍රලා පයකි. පිටක ග්‍රන්ථ වලට අනුව බුදුන් විසින් අනාවරණය කරණ ලද දෙවි වරුන්ගේ වැදගත්ම ලක්ෂණය වන්නේ ඔවුන්ට කිසිම ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීමයි. දැන් මෙරට තිබෙන භාවිත බුද්ධාගම පිටක ග්‍රන්ථ වලට අනුව බුදුන් වදාල ධර්මයට බොහෝ සෙයින් වෙනස් වේ. ඔබ මෙය බුදුන්ගේ දේශය යයි පවසන්නේ පවතින බුද්ධාගම අනුවයි.
    මානව හිමිකම් එතුමා විවේචනය නොකළ බවත් එතුමා විවේචනය කලේ මානව හිමිකම් සංවිධාන බවත් ඔබතුමා කියා ඇත. එහි යම් සත්‍යතාවයක් තිබේ. ඒ නිසා ඒ පිලිබඳ පැහැදිලි කරමි.
    මානව හිමිකම් පිලිබඳ එතුමාගේ විවේචනය මගේ ලිපියේ දෙවන පරිච්ඡේදයේ සඳහන් කළෙමි. මානව හිමිකම් පිලිබඳ එතුමාගේ අදහස් පහත ඇති link එක click කර බලන්න.
    http://www.dailymirror.lk/article/Human-rights-is-the-latest-religion-among-Western-nations-Archbishop–155899.html
    කටුවාපිටිය කථාවේ ද එතුමා මානව හිමිකම් විවේචනය කළ බව මම සඳහන් කළෙමි.
    කටුවාපිටිය කථාවේදී කළ එතුමාගේ සඳහන මම උපුටා දක්වමි.
    “එක්සත් ජාතීන්ගේ මණ්ඩලය, මානව හිමිකම් කමිටුව ,ලෝක NGO ව්‍යාපාර සතුටු කරන්න බුද්ධි අංශ විනාශ කරලා දැම්මා.”
    මා ගත්තේ මේ වාක්‍යයේ යටි පෙළ අරුතයි. මානව හිමිකම් වලට පක්ෂ අයකුට මානව හිමිකම් කමිටුව විවේචනය කළ නොහැක. මගේ විවේචනය එල්ල වන්නේ දෙවන පරිච්චේදයේ විස්තරාත්මකව සඳහන් එතුමාගේ මානව හිමිකම් පිලිබඳ ස්ථාවරයටයි.
    රටේ ආගමික නායකයන් දේශපාලනඥයන් ගේ මත ප්‍රතිරාවය කිරීම නුසුදුසු වන්නේ ඔවුන් නායකත්වය දෙන ආගමිකයන්ට එයින් අනිසි බලපෑමක් විය හැකි බැවිනි. ඒ බව මගේ ලිපියේ දක්වා ඇත.
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් සෑහෙන කාලයක සිට ලිපිලියමි. මගේ ලිපි ඒකාධිපති වාදයට ජාතිවාදයට සහ බලය අපහරණය කිරීමට විරුද්ධ වන අතර ප්‍රජාතන්ත්‍රවාදයට සහ සමනත්මතාවයට පක්ෂවේ. මා පක්ෂ වන්නේ හෝ විරුද්ධ වන්නේ හෝ මා පිළිගත් මේ මුලධර්මයන්ටයි. දේශපාලනඥයන්ට නොවේ. මේ අනුව මේ රටේ සිටි සහ සිටින සියළුම පක්ෂ වල නායකයන්ගේ යම් ක්‍රියාවන් විවේචනය කර ඇති අතර යම් ක්‍රියාවන්ට ප්‍රසංශා කර ඇත්තෙමි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.