18 November, 2018

Blog

ගෝඨාභය සූදුව

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙමින් තිබෙන නව ප්‍රවණතා වල පැහැදිලි චිත්‍රයක් පසුගිය සති කිහිපයේදී දැකගත හැකි විය. විශේෂයෙන්ම විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අනාගතයේ දී ඇතිවිය හැකි වියවුලේ ස්වභාවය කැපී පෙනුණි. ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ වියත්මග වෙනුවෙන් එම පිල කෙරෙහි ඇති විරෝධය සමනය කරනු වස් ඔවුන් විසින් එහි නම හරි මග ලෙස වෙනස් කරනු ලැබීය. එසේම ගෝඨාභය රාජපක්ෂ, පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලන කාර්යාලය හා ප්‍රධාන කාර්යාලය වන නෙළුම් මාවතට පසුගිය දිනක නිල වශයෙන් ගියේය. එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවට ප්‍රවෘත්ති රට පුරා පළවිය.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුලත්, පොදුජන එක්සත් පෙරමුණ තුලත් විශාල විරෝධයක් පවතී. නමුත් රටේ අවශේෂ ජනයා අතර ජනප්‍රිය නායකයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්වෙමින් තිබෙන අතර විපක්ෂයට ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි හොඳම විකල්පය ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරාගැනීමට සමාජීය බලපෑම රාජපක්ෂවරුන්ට එල්ල වෙමින් තිබේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස ආණ්ඩුවේ බලවත් කොටස් සලකන්නේ නැත. මන්දයත් ඔවුන් සියලුම දෙනා විශ්වාස කරනුයේ ගෝඨාභය රාජපක්ෂ වැනි පැසිස්ට් හා වැරදිවලින් ගහන ඉතිහාසයක් ඇති අපේක්ෂකයෙකු විපක්ෂයෙන් ඉදිරිපත් කළහොත් ඔහුව ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවයි. එය එක්තරා ආකාරයක සත්‍යයක් වන නමුත් මගේ පෞද්ගලික මතය නම් එය අර්ධ සත්‍යයක් බවයි. ගෝඨාභය රාජපක්ෂට මුස්ලිම් ජනයාගේ හා දෙමළ ජනයා ගේ දැඩි විරෝධයක් පවතින අතරම ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයන්ගේ විරෝධයක් හා භීතියක් පවතින බවද සත්‍යයක් වේ. නමුත් ග්‍රාමීය සිංහල බෞද්ධ ජන කොටස් තුළ ගෝඨාභය රාජපක්ෂට පුදුමාකාර ජනප්‍රියත්වයක් තිබේ.

එනම් එම ජනප්‍රියත්වය ග්‍රාමීය සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට අසූවක් ලබා ලබාගැනීමට ප්‍රමාණවත් වුවහොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ හැකි අපේක්ෂකයා පරාජය කිරීමට ඉඩ තිබේ. එනම් අපට ග්‍රාමීය මට්ටමේ හමුවන සියළුම ගැමි මිනිසුන් හා ගැහැනුන් දහදෙනකුගෙන් අට දෙනෙකුම ගෝඨාභය රාජපක්ෂට පක්ෂපාත වන්නේ නම් ආණ්ඩුවෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයෙකුට ජය ගැනීමට ඇති ඉඩකඩ අවම බව මාගේ හැඟීමයි.

ගෝඨාභය රාජපක්ෂගේ මුළු වැඩපිළිවෙළම පදනම්වී ඇත්තේ සිංහල ග්‍රාමීය බෞද්ධ ඡන්ද පදනම දිනා ගැනීම සඳහායි. නමුත් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වැඩපිළිවෙළ හා පරිපාලන වැඩපිළිවෙල සකස්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ගොඩනැගීම උදෙසාමය. කොටින්ම කිවහොත් ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තු වන්නේ ග්‍රාමීය සිංහල බෞද්ධ දුප්පත් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වී මධ්‍යම පාන්තිකයන්ගේ ජීවිත සුඛිත මුදිත කොට ඔවුන්ට සැපවත් ජීවිතයක් ගොඩනඟා දීමටයි. එහිදී මධ්‍යම පන්තියෙන් ගෝඨාභයට විශාල විරෝධයක් තිබෙන නමුත් ගෝඨාභය සේවය කරන්නට උත්සාහ කරන්නේද එම පංතියටමය. නමුත් එම පන්තිය තමන්ගේ සුඛවිහරණයටත් වඩා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක්, සිවිල් අයිතිවාසිකම් වැනි පාරභෞතික කාරණා පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාවකි.

මට අනුව නම් ගෝඨාභයගේ දේශපාලනය හා පරිපාලන වැඩපිළිවෙලම කොළය වසා ගැසීමකි. ගෝඨාභය රාජපක්ෂගේ ජීවිතයත්, ඔහුගේ වැඩපිළිවෙලත්, ඔහුගේ දේශපාලනයත් අතර විශාල පරස්පරතා තිබේ. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය වන්නේ යුද්ධය වෙනුවෙන් යුද්ධය උදෙසා ජීවත් වනවා යැයි කියූ ගෝඨාභය රාජපක්ෂ යුද්ධය තදින්ම ක්‍රියාත්මක වන කාලයේ දී රටින් පලාගොස් ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමයි. එසේම ජාතිකත්වය මත පදනම්ව බලය ලබාගැනීමට උත්සහ කරන ගෝඨාභය රාජපක්ෂ කිසිම කොන්දේසියක් මත ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් නැත. ඔහුගේ පුරවැසිභාවය අත්හැරීමට ඇති එකම කොන්දේසිය වන ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය සම්බන්ධයෙන් ඇති ආකල්පය විශ්ලේෂණය කර ගත යුතුය. ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අවස්ථාවේදී ඇමරිකාවට පැනගොස් ලබාගන්නා මෙම ඇමරිකානු පුරවැසිභාවය ඔහුගේ ජීවිතයේ ඔහු විසින් ලබාගන්නා ලද ඉහළම අගය හා සත්‍ය ලෙස ඔහු විසින් සලකනු ලබයි. ඔහුගේ බිරිඳ හා දරුවන්ද, ඔහුගේ සියලුම දේපළද ඇත්තේ ඇමරිකාවේය. එවන් තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වීමට මේ රටේ ජනතාවගෙන් ජනවරමක් පතනුයේ කුමන පදනමකින් දැයි සිතාගත නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ යනු ඔහුගේ ඇත්ත ජීවිතයේත් ඔහුගේ දේශපාලන ජීවිතයේත් ඇති දෙබිඩි චරිතයකි. හිට්ලර් සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනිම වටපිටාවකි. හිට්ලර් යනු මස් මාංශ ආහාරයට නොගත් ඇත්ත වශයෙන්ම මානසික ව්‍යාධීන්ගෙන් පෙළුණු නායකයෙකි. ඔහු විසින් මිලියන 6ක යුදෙව් ජනතාවක් ඝාතනය කරද්දී වුවද ඔහු ගතකරන ලද්දේ ඉතාම සාමකාමී ජීවිතයක්ය. 

මාගේ පෞද්ගලික තක්සේරුව නම් ගෝඨාභය රාජපක්ෂ තේරුම් ගැනීමට හෝ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ දරන මතය අධ්‍යයනය කිරීමෙන් අනාගත නායකත්වය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බවයි. මෙවැනි තත්ත්වයන් යටතේ ගෝඨාභය රාජපක්ෂද මේ රටේ නායකත්වයට පත්වීමට ඇති ඉඩකඩ අවම තත්ත්වයක පවතී. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරිපත්වීම දිගින් දිගටම ප්‍රශ්න කරන තත්ත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂටද මේ රටේ නායකත්වයට පත්වීමට ඇති ඉඩකඩ වැළැක්වීමට මේ රටේ මධ්‍යම පන්තිය හා සිවිල් සමාජය දිගින් දිගටම කටයුතු කරනු ඇත. 

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසාන වශයෙන් කිව හැක්කේ එය ඒකාබද්ධ විපක්ෂයේ හා ආණ්ඩු විරෝධි බලවේග විසින් යෙදීමට නියමිත බරපතල සූදවක් බවයි. මෙම සූදුවෙන් ජයගනු ඇත්තේ කවුරුන්දැයි කීමට තවමත් කල් වැඩි අතර ගෝඨාභය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමට මහින්ද රාජපක්ෂ සූදානම්දැයි තවමත් අවිනිශ්චිතය. ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ හෝ ජී. එල්. පීරිස් හෝ ශිරන්ති රාජපක්ෂ යන අයගෙන් කෙනෙකු 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. චමල් රාජපක්ෂගේ නම වාසුදේව ප්‍රමුඛ කණ්ඩාම මොරගා කිවුවද රාජපක්ෂ පවුල ඒ නම සලකාබැලීමටවත් කැමැත්තක් දක්වන්නේ නැත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.