13 November, 2019

Blog

දෑවැද්ද

ඉනෝකා ශංඛිණී –

ඉනෝකා ශංඛිණී

දෑවැද්ද පහුගිය දවස්වල හුඟක් කතාබහට ලක්වුන මාතෘකාවක්. පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයන්ගේ දිනයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන්න යෙදුන විරෝධතාවය සමඟ මේ මාතෘකාව නැවත කරලියට පැමිණුනා.

දායද හෝ දෑවැද්ද ඇත්තටම මොකක්ද මේ…

තරුණියක් හා තරුණයෙක් නීතියෙන් එක්වන විට කාන්තාවගේ පාර්ශ්වයෙන් පුරුෂයා වෙත පිරිනමන දේපල, මිල මුදල් හා අනෙකුත් භෞතික දෑ දායාද නොහොත් දෑවැදි ලෙස සලකනවා. දෑවැද්ද හෝ දායාද කියන සංකල්පය මූලිකවම බැලුවොත් ඉන්දියානු සංස්කෘතික ආභාශය සමඟ පැමිණි දකුණු ආසියාතිකරයේම පැතිරී පවත්නා සංස්කෘතික ලක්ෂණයක් කීවොත් වැරදි නොවන බවයි මගේ අදහස. මෙහි විශේෂත්වය වන්නේ දුප්පතුන්ගේ සිට පොහොසතුන් දක්වා පැතිර පවත්නා ප්‍රපංචයක් වීමයි. ඈත අතීතයේදී දායාද ලබා දීම සිදු වුනේ පුරුෂ පාර්ශ්වය මගින්. දියණියක් හදා වඩා, පෝෂණය කොට තමන් හා සරණ යාමට අවස්ථාව සලසාදීමට කලගුණ සලකනුවස් පුරුෂයා විසින් කාන්තාවගේ පාර්ශ්වයට දායාද දෙනු ලැබූ බව සඳහන්. කෙසේ වුවද මෙම මූලික සංකල්පය මුස්ලිම් සංස්කෘතියේ තවමත් එලෙස පවතිනවා.

එක් පසකින් ගත් කල දායාද අහිමිවිම නිසාම විවාහයකට යා නොහැකිව අවිවාහකව සිටිනා මැදිවියේ කාන්තාවන් අප සමාජයේ බහුලව දැකිය හැකියි. බොහෝවිට දරුවන් කිහිප දෙනෙකු සිටිනා පවුලක දෙමාපියන් දරුවන් පෝෂණයට සහ ඔවුන්ගේ අධ්‍යාපනයට වියපැහැදම් කල පසු දෑවැද්ද සඳහා මුදල් හෝ දේපල සපයා ගැනීමට අපහසු වෙනවා. බොහෝ පවුල් සතු එකම දේපල වන්නේද බොහෝ විට ඔවුන් පදිංචි නිවසම විය හැකියි. එවිට දරුවන් කිහිප දෙනෙක්ට දායාද ලබාදීම ඔවුන්ට සැබෑ කරගත නොහැකි හීනයක් වනවා. මෙය අතිශය අසාධාරණයක් ලෙස පෙනුනද ඒ සඳහා ගත හැකි පැහැදිලි විසඳුමක්ද සමාජය සතු නැහැ. බොහෝ පවුල් වල දියණියන් විවාහ කර දීමේදී “අනේ අපිට දෙන්න තියෙන දෑවැද්ද මෙයා තමයි, ගුණ යහපත් කමට හැදුවේ.” පවසන මව්වරුන්ම, පුත්‍රයින්ට මනාලියන් සෙවීමේදී, “මනාලියට මොනවද දෙන්නේ” ඇසීම සුලබ කරුණක්.

මේ පිලිතුරු නීතිමය රාමුවක් සකස් කිරීමට මූලික කතාබහ සිදුව තිබුණේ 1936 වසරේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේදි. එම යෝජනාව සභාගත කර ඇත්තේ මහාචාර්ය එච්.පී. ද් සොයිසා මැතිතුමන්. එතුමාගේ යෝජනාව මෙසේය​: “This council is of opinion that it should be made illegal to give or receive dowries.” එය එක වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.​ එම අවස්ථාවේදී මෙන්ම එය රනිල් වික්‍රමසිංහ මහතාගේ 2005 මැතිවරණ ප්‍රකාශයේද මේ පිලිබඳ සඳහන්ව තිබූණි.

බුදුන් කල විශාඛා සිටු දුව​ගේ පටන් පැවත එන දායද දීම දුරාතීතයේදී සිදු කරනු ලැබුවේ තම උපන් නිවසෙන් පිටව ජීවත්වීමට යන දියණිය හට යම් ශක්තියක් සැපයීමට බව සැබෑයි. එනමුදු අද සමාජයේ දෑවැද්ද මත පදනම්ව විවාහ සිදු කිරීම කොතරම් දුරට සාධාරණද? කොතරම් අසාධාරණ වුවද නීත්‍යානුකූල රාමුවකට කොටු කර මෙය නවතාලිය හැකිද?

මේ පිලිබඳව මගේ මතය වන්නේ දෑවැද්ද හෝ දායදය දෙනු ලබන පාර්ශවයේ හැකියාව හා කැමැත්ත මත තීරණය විය යුතු බවයි. කොතරම් නීති අණ පනත් ගෙනාවද අප සමාජයේ මේ සියලු නීති පිළිබඳව 60% හෝ විශ්වාසයක් තැබිය හැකිද? එයින් බොහෝවිට සිදුවිය හැක්කේ මේ ගැටළුව උග්‍රවීම නොවන්නේද? අතිශය සුලුතරයක් හැරුනු කොට බොහෝ තරුණයින් දායදයක් බලාපොරොත්තු නොවන්නේ යැයි අපට සහතික විය හැකිද? එවන් පසුබිමක මේසා නීති පැනවීමට උත්සහ කිරීම හාස්‍යට කරුණු නොවන්නේද? බොහෝ ගම්බද තරුණියන් වෙලඳ කලාපයට පැමිණෙන්නේ ඔවුන්ට දායද සකසාදීම සඳහා දෙමාපියන්ට කිසිවක් කල නොහැකි බව දන්නා නිසා බව නොරහසකි. ඔවුන් කනකර ආභරණ පටන් ගෘහ භාණ්ඩ දක්වාම රැස් කිරීම සාමාන්‍ය දෙයක්. තරුණියකට රැකියාවක් තිබුණා හෝ වේවා දායදයක් බලාපොරොත්තු වීම් බොහෝ පුරුෂ පාර්ශ්වයින්ගෙන් දැකිය හැකියි. “අඩුම ගාණෙ එනකොට රත්තරං බඩුවක්වත් තිබ්බද?” මෙවැනි ප්‍රකාශ නවතාලීමට නීති පැනවීමෙන් හැකි වේද? මේ සියල්ල සැලකීමේදී නීති පැනවීමෙන් අදාල ක්‍රියාවලිය නවතන්නේ කෙසේද කියා මටනම් මූලික වැටහීමක්වත් ඇති නොවෙයි. අල්ලස් දීම හෝ ගැනීම නීතියෙන් තහනම් වුවත් අල්ලස් දීම හෝ ගැනීමට නවතාලීමට හැකිවී නැති පසුබිමක දෑවැද්ද දීම හෝ ගැනීම නවතාලීමට නීති පැන්වීමට සිතීමම හාස්‍යජනක කරුණක් නොවන්නේද?

ඒ හා සමඟම තරුණියකට ඇයගේ දෙමාපියන් විසින් කැමැත්තෙන් යම් තිළිණයක් ලබා දෙන්නේ නම් නීතිය විසින් එය කෙලෙස වලකාලන්නද?

එනිසා ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ නීති පැනවීම නොව ආකල්පමය වෙනසකට මග පෑදීමයි. එය තරුණයන්ගේ පමණක් නොව ඔවුන්ගේ පවුල් සංස්ථා දක්වාම විහිද යායුතු බවයි මගේ අදහස නම්. අතීතයේ මෙන් නොව නූතනයේ බොහෝ යුවතියන් රැකියාවක නියුතු, නිවසේ ආර්ථිකයට විශාල පිටුවහලක් සපයන්නෝ වෙති. එම නිසා තරුණයන් හෝ ඔවුන්ගේ පවුල් තරුණියකගෙන් දෑවැදි බලාපොරොත්තු වීම සාධාරණ නොවේ. මන්ද ඔවුන්ගේ අවශ්‍යතාවය වන ආර්ථික සුරක්ෂිතතාවයට රැකියාවැනි තරුණියකගෙන් පිටුවහලක් ලැබෙන බැවිනි.

එසේම ඕනෑම තරුණියකට ඇය සතු ආර්ථික නිදහසක් හිමි විය යුතු බව මාගෙ අදහසයි. තමාගේ සියලු අවශ්‍යතා සැමියාගෙන් ඉටුවන තුරු බලා සිටීම සිදුනොවිය යුතුය. සෑම තරුණියකටම අඩු තරමේ තමාගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට නිවසේ ආර්ථිකයට සුලු හෝ සහනයක් වීමට හැකි වටපිටාවක් ගොඩනගා ගැනීම ඇයගේ වගකීමකි. යම් තරුණයෙක්, බිරිඳක් තම දිවියට එක් කරගන්නේ ඇයගේ සහ අනාගතයේ ඉපදෙන දරුවන්ගේ වගකීම දැරීමට හැකි බවට තමා තුල ආත්මවිශ්වාසයක් මත බැවින් එසේ නොමැති තරුණයන් අවිවාහකව සිටීම වඩා සුදුසු බව මාගේ අදහසයි. තරුණ පුතුන් සිටින දෙමාපියන් ද, තමාගේ දරුවා විවාහ කරදීමට සූදානම් වනවිට ඔහුට ඒ වගකීම දැරිය හැකිද සලකා බලන වටපිටාවක් ගොඩනැගීමට ආකල්පමය වෙනසක් ඇති කිරීමට දැනුවත් කිරීම් සිදුවන්නේ නම් එය නීති පනවනවාට වඩා ප්‍රායෝගික වනු ඇත.

තරුණියන් සිටින දෙමාපියන්ද තමාගේ දියණියගේ සුභ සිද්ධිය උදෙසා යම් කිසි සහයක් ලබාදීමට හැකි ක්‍රමයක් ගැන වඩා අවධානය යොමු කිරීම තුල මෙවන් ගැටළු අවම වනු ඇත.

අවුරුදු දහස් ගාණක අතීතයක් හිමි, දකුණු ආසියාව පුරා පැතිර ඇති විටින් විට පුවත් මවන දහක් ගනනක් තරුණියක්ට ජීවිතය අහිමි කරන “දෑවැද්ද” නම් සංකල්පය නීති මගින් මැඩීමට උත්සුක වීමට වඩා ජනයාගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම මගින් නම්‍යශීලි තත්ත්වයකට පත් කර ගැනීම වඩා සුදුසු වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.