27 November, 2021

Blog

20 වන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි 

ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පල කර ඇත. එය එක වාක්‍යයකින් විස්තර කරනවා නම් කිව හැක්කේ එයින් රට 2010-2015 කාලයට ආපසු ගෙන යන බවය. 20 යෝජිත ආකාරයට සම්මත වුවහොත් 19 වන සංශෝධනයෙන් ඉතිරිවන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ වසර 5ක ධූර කාලය, ජනාධිපති ධූර සීමාව සහ තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිවාසිකම පමණි.

20හි  සාරාංශ කීපයක් පල කර ඇත. තවත් සාරාංශයක් කරනු වෙනුවට, එය ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුකරණයට අහිතකරව බලපාන ආකාරය සහ ජනතා පරමාධිපත්‍යයට අගතිගාමී වන ආකාරය විස්තර කර, එයට ජනමත විචාරණයක් අවශ්‍ය ඇයි දැයි පෙන්වා දීමට මෙය ලියමි. 

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා 1978 ව්‍යවස්ථාව යටතේ පාලන ක්‍රමය විස්තර කලේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පිලි අන්දවන ලද ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපති ක්‍රමයක් ලෙසය. 18වන සංශෝධනය සමග ශ්‍රී ලංකාවේ ජනාධිපති ක්‍රමය ලෝකයේ ශක්තිමත්ම සහ නරකම ජනාධිපති ක්‍රමය නොවේ නම් ඒවායින් එකක් බවට පත් විය. දැන් 20 ඉලක්ක කරන්නේ 19 වන සංශෝධනයේ ජයග්‍රහණ සියල්ල ආපසු හරවා රට ආපස්සට ගෙන යාමටය.

19 වන සංශෝධනයේ දුර්වල කම් ගණනාවක් ඇත. එසේ වූයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකිරීමට යහපාලන ආණ්ඩුව තීරණය කිරීම, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කල කෙටුම්පත සැර බාල කිරීමට ජනාධිපති සිරිසේනගේ නායකත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික හෙළ උරුමය කල බලපෑම් සහ තුනෙන් දෙකක වැඩි ඡන්ද​ය ලබා ගැනීමට අවශ්‍ය නිසා විරුද්ධ පක්ෂයේ යෝජනා වලට එකඟ වීම නිසාය. 19 වන සංශෝධනය යටතේ අත් දැකීම් වලින් පෙනෙන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යාමට ඇති අවශ්‍යතාවය මිස ආපසු යාමට ඇති අවශ්‍යතාවය නොවේ.

පාර්ලිමේන්තුව ජනාධිපති යටතට

යෝජිත 20 යටතේ පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ කැමැත්ත ඇතිව පවතින ආයතනයක් වනු ඇත. 2004 දී කුමාරතුංග ජනාධිපතිනිය කලාක් මෙන් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් අගමැති වරයාට ඇති විටක පවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇත. ඇති එකම සීමාව වන්නේ කලින් වූ පාර්ලිමේන්තුව වසර පහේ කාලය ගත වීමට පෙර විසුරුවන ලද්දේ නම් අලුත් පාර්ලිමේන්තුව විසුරුවන්නට වසරක් ගත විය යුතු බවය. කලින් පාර්ලිමේන්තුව වසර පහේ කාලය සම්පූර්ණ කලේ නම් අලුත් පාර්ලිමේන්තුව පළමු වරට රැස්‌වූ දිනට පසු දින පවා විසිරුවා හැරීමට යෝජිත 70(1) වගන්තියෙන් ජනාධිපති වරයාට බලය ලැබෙන්නේය.

නැවත පියුන් අගමැති

ආර්. ප්‍රේමදාස මහතා අගමැති කාලයේ කීවේ 1978 ව්‍යවස්ථාව යටතේ තමා පියුන් කෙනෙක් වගේ බවය. එහෙත් අද 19 සංශෝධනය නිසා පාර්ලිමේන්තුවේ විශ්වාසය හිමි අගමැතිවරයාට බොහෝ බලතල තිබේ.

20 සම්මත වුවහොත් අගමැතිවරයා නැවත පියුන් කෙනෙකුගේ තත්වයට වැටෙනු නියතය. ඕනෑම අවස්ථාවක අගමැති ඉවත් කිරීමට හැකිය. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ජනාධිපතිවරයා විසින් පත්කිරීමේදී අගමැති විමසීමට අවශ්‍යම නැත. අගමැති වරයා නොවිමසා ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැක. ඇමතිවරුන්ගේ විෂයයන් තීරණය කිරීමේ තනි බලය ඇත්තේ ජනාධිපතිටය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජිත විධිවිධාන සහ අගමැති වරයා දුර්වල කිරීමෙන් පාර්ලිමේන්තුව දුර්වල තත්වයකට වැටේ. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන ආයතනය වන පාර්ලිමේන්තුව දුර්වල කිරීමෙන් ජනතාවගේ පරමාධිපත්‍යයට හානිකර වන නිසා යෝජිත වෙනස්කම් වලට ජනමත විචාරනයකදී ජනතාවගේ කැමැත්ත ලබාගත යුතුය.

පත්වීම් ජනාධිපති හිතූමතේට

19වන සංශෝධනයෙන් නැවත පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුලින්, ඉහල අධිකරණයට, වැදගත් තනතුරු වලට සහ ස්වාධීන කොමිෂන් සභා වලට කරන පත්වීම් වලදී ජාතික එකඟත්වයක් ලබා ගැනීමට අවස්ථාවක් ඇතිවේ. එහි ආණ්ඩුවේ සහ විපක්ෂයේ මෙන්ම කුඩා පක්ෂවලද නියෝජනයක් ඇත. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්ද එහි සිටී. දේශපාලනයේ නොයෙදෙන, විශිෂ්ඨත්වයෙන් සහ අවංකභාවයෙන් යුත් කීර්තිමත් පුද්ගලයින් තිදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු එයට පත්කරන්නේ අගමැතිවරයා සහ විපක්ෂ නායක වරයාගේ එකගත්වයෙනි. එසේ පත් කල යුත්තේ සියලු පක්ෂ නායකයින් විමසා වන අතර පත් කිරීමේදී වෘතීය සහ සමාජ විවිධත්වය ඇතුළු ශ්‍රී ලාංකික සමාජයේ බහුත්තව ලක්ෂණ සහතික කල යුතුය. 

එහෙත් යෝජිත 20වන සංශෝධනය යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වී ඒ වෙනුවට පාර්ලි‌‌මේන්තු සභාවක් ඇති කෙරේ. එහි සාමාජිකයන් වන්නේ කතානායක, අගමැති සහ විපක්ෂ නායක සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි. පෙරකී වැදගත් තනතුරු වලට පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තිබූ බලතල එයට නොමැත. ජනාධිපතිවරයා කල යුත්තේ පාර්ලිමේන්තු සභාවේ අදහස් විමසීම පමණි. මේ අනුව උසස් අධිකරණවලට, ඉහල තනතුරු වලට සහ ස්වාධීන කොමිසම් සභා වලට පත්වීම් කිරීමේදී ජනාධිපතිවරයාට සම්පූර්ණ අභිමතයක් හිමිවේ. මෙයින් එම තනතුරු සහ කොමිෂන් සභා වල ස්වාධීනත්වයට බලපෑමක් වන අතර ඒවා පිලිබඳ ජනතාවගේ විශ්වාසයද අඩුවනු ඇත.

19වන සංශෝධනයට පෙර නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වයස 58දී ජනාධිපතිවරයාගෙන් සේවා දිගු ලබා ගත යුතුය. මෙයින් ඔවුන්ගේ ස්වාධීනත්වයටද හානි විය. අපට සිටි හොදම සහ ඉහළ ගෞරවයකට පත්වූ නීතිපතිවරයෙක් වූ කේ. සී. කමලසබේසන් මහතාට මාස තුනක පමණක් වූ සේවා දිගුවක් ලැබුණු අතර ඔහු විශාල කලකිරීමකට ලක්ව මිය ගියේය. 19වන සංශෝධනයෙන් නීතිපති සහ පොලිස්පතිගේ විශ්‍රාම යන වයස 60ක් ලෙස නියම කෙරිණි. 20වන සංශෝධනයෙන් මෙයද අහෝසිවනු ඇත. 19වන සංශෝධනය යටතේ නීතිපති හෝ පොලිස්පති ඉවත් කල නොහැකිය යන්න අසත්‍යයකි. 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත්කිරීමේ පනත යටතේ ඔවුන්ට කරුණු කීමට අවස්ථාවක් දීමෙන් පසු, ඉවත් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවට හැකි වන්නේය.

ඉහත සඳහන් පත්කිරීම් පිලිබඳ අගය කලයුතු වත්මන් ප්‍රතිපාදන ඉවත්කිරීමෙන් අදාළ ආයතන සහ තනතුරුවල ස්වාධීනත්වය නැතිවීමෙන් ජනතාවගේ පරමාධිපත්වයට හානි වන නිසාවෙන් යෝජිත වෙනස්කම් සඳහා ජනතාවගේ කැමැත්ත ජනමත විචාරනයකදී ලබාගත යුතු බව ලේඛකයාගේ මතය වේ.

මූලික අයිතිවාසිකම් හෑල්ලුයි

ජනතාවගේ පරමාධිපත්වයට පැහැදිලි ලෙසම හානි වන යෝජනාවක් වන්නේ ජනාධිපතිවයට නැවත සම්පූර්න මුක්තියක් දීමය. තම මූලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් උල්ලංඝනය වූවිට ඒ පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන වගන්තිය ප්‍රකාර කෙනකුට අයිතියක් ඇත. 17වන වගන්තිය මූලික අයිතිවාසිකම් පරිච්චේදයේ වගන්තියක් නිසා එයද මූලික අයිතිවාසිකමකි. 1978 මුල් ව්‍යවස්ථාවේ මෙයට ව්‍යතිරේඛයක් විය. එනම් ජනාධිපතිවරයාට මුක්තියක් තිබීමයි. 19වන සංශෝධනයෙන් මෙය වෙනස් කර ජනාධිපතිවරයාගේ නිල ක්‍රියාවකින් මූලික අයිතිවාසිකමක් කඩවූ විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට අයිතියක් පුරවැසියන්ට ලැබුණි. මෙයින් ජනතාවගේ පරමාධිපත්‍යය ශක්තිමත් විය. ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරූ විට එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එය අවලංගු කරවා ගැනීමට හැකි වූයේ ඒ අනුවය. නැවත ජනාධිපතිවරයාට සම්පූර්ණ​ මුක්තිය දීම ඒ අනුව ජනතාවගේ පරමාධිපත්වය හීන කිරීමකි.

ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය ප්‍රකාර ජනතාවගේ පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද​ බලය අයත්ය.

ජනමත විචාරණයක් අවශ්‍යයි

19වන සංශෝධනය ජනමත විචාරණයකින් තොරව සම්මත කල නිසා එහි ප්‍රතිපාදන ජනමත විචාරණයකින් තොරව ඉවත්කල හැකියැයි නගන තර්කය සාවද්‍යය. පරමාධිපත්‍යය ශක්තිමත් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැත. එහෙත් පරමාධිපත්‍යය හීන කිරීමට නම් ජනතා අනුමැතිය අවශ්‍යය. උදාහරණයක් ගතහොත් අප ව්‍යවස්ථාවේ ජීවත්වීමේ මූලික අයිතියක් නැත. ජීවත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය​ට ඇතුල් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ. එහෙතේ එසේ  ඇතුල් කල පසු එය ඉවත් කිරීමට නිසැක වශයෙන්ම ජනතාවගේ කැමැත්ත ජනමත විචාරණයකදී ලබා ගත යුතුය. 19වන සංශෝධනයෙන් ජනතාවගේ පරමාධිපත්‍යය වඩා ශක්තිමත්විය. එම ජයග්‍රහණ ආපසු හරවන්නේ නම් එයින් පරමාධිපත්‍යය හීන වන අතර ඒ සදහා ජනතා කැමැත්ත ජනමත විචාරණයකදී ලබා ගත යුතුය.

20 වන සංශෝධනයෙන් පරමාධිපත්‍යය හීන වන්නේදැයි තීරණය කිරීමට එම සංශෝධනයේ විධිවිධාන සංසන්දනය කල යුත්තේ වර්තමාන ව්‍යවස්ථාව සමග මිස තව දුරටත් නොපවතින, 19වන සංශෝධනයට පෙර තිබූ ව්‍යවස්ථාව සමග හෝ 1978 මුල් ව්‍යවස්ථාව සමග නොවේ. අපට ඇත්තේ එක ව්‍යවස්ථාවකි; එය වර්තමාන ව්‍යවස්ථාවයි. එහි දක්වා ඇති පරමාධිපත්‍යය හීන කල හැක්කේ ජනමත විචාරණයකින් අනුමත වූවොත් පමණි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.