24 April, 2025

Blog

ජනාධිපතිවරයා වටා රොක්වීම

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුව කෙරෙහි මහජන සහාය ඉහළ නැගෙමින් පවතී. ආණ්ඩුවේ පළමු ක්‍රියාමාර්ග සාමාන්‍ය ජනතාව අගය කර ඇත. මේවාට හිටපු ජනාධිපති උපදේශකයන් සහ ඔවුන්ගේ වාහන හෙළිදරව් කිරීම, වීසා සහ ගමන් බලපත්‍ර පිළිබඳ ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කිරීම මෙන්ම මැතිවරණයෙන් පසු සාමකාමී උත්සව පැවැත්වීම ඇතුළත් වේ. මෙහිදී බලයේ සිටි අයට එරෙහිව කිසිදු පළිගැනීමක් සිදුනොවීය. මෙය අතීතයෙන් බැහැර වීමකි. අතීතයේදී ජයග්‍රාහකයන් තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් කළ අතර, අනාරක්ෂිත ජාතික හා ආගමික සුළුතර කණ්ඩායම් ද ඔවුන්ගේ උන්මාදයට ඇතුළත් විය.

මෙවර මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩත්වය පිළිබඳ සැළකිව යුතු කනස්සල්ලක් තිබිණි. මන්දයත් දේශපාලන බෙදීමේ පන්ති ස්වභාවය නිසා නිරන්තරයෙන් බලයේ සිටි අය සහ නිරන්තරයෙන් බලයෙන් පිටත සිටි අය අතර සම්බන්ධතා යළි සකස් කිරීමේ හැකියාවක් තිබූ බැවිනි. ඊට අමතරව, ජාතික ජන බලවේගයේ ප්‍රධාන කොටස වන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ එය මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂයක් බවත්, ආර්ථික පිරමිඩයේ ඉහළින්ම සිටින අයට අයත් විදේශීය දේපළ අත්පත් කරගැනීම විශ්වාස කරන බවත්ය. තවද, විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව අතර ජවිපෙ විසින් රාජ්‍යයට එරෙහිව කළ ප්‍රචණ්ඩ කැරලි පිළිබඳ මතකය තවමත් පවතී. එමගින් දහස් ගණනක් ඝාතනයට ලක් වූ අතර රාජ්‍ය සහ පෞද්ගලික දේපළ විනාශ කෙරිණි.

කෙසේවෙතත්, 1971 පළමු ජවිපෙ කැරැල්ලෙන් වසර 52 කට පසුව සහ දෙවැනි කැරැල්ලෙන් වසර 46 කට පසුව, ජවිපෙ වඩාත් මෘදු පක්ෂයක් බවට පත්ව ඇත. එතැන් සිට එහි ප්‍රචණ්ඩත්වය රාජ්‍ය විශ්වවිද්‍යාල තුළට සීමා වී තිබේ. මෙම විශ්වවිද්‍යාලවල ජවිපෙ සහ එහි කැඩීගිය කණ්ඩායම වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය එකිනෙකා සමඟ සහ අනෙකුත් ශිෂ්‍ය සංගම් සමඟ තවමත් සටන් වදිති. මෙය පළමු වසරේ සිටින නවක සිසුන් කම්පනයට පත්කිරීමේ මට්ටමට පවා සිදුවේ. ජාතික ජන බලවේගය පාලනයට වහාම නවක වදය නතරකිරීමට හැකි වුවහොත්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අධ්‍යාපනය ලැබීමට තෝරාගන්නා හෝ පෞද්ගලික අධ්‍යාපනයේ අධික පිරිවැය හේතුවෙන් වෙනත් විකල්පයක් නොමැති දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් බොහෝ සහානුකම්පාව සහ යහපත් හැඟීම් ඔවුනට ලබාගත හැකිවනු ඇත.

ජාතික අවශ්‍යතාව

තවද, අකැඩමිගත පර්යේෂකයන්, වෘත්තිකයන්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඉදිරියට ගෙනඒම තුළින් ජාතික ජන බලවේගය, ප්‍රධාන ධාරාවට එක්වීමක් ද සිදු වී ඇත. ප්‍රධාන ධාරාවේ සමාජයේ වඩා හොඳ අංශ ආකර්ෂණය කරගැනීමට සහ සියල්ලන්ට පිළිගත හැකි නව භාවිතයන් ආරම්භ කිරීමට ජවිපෙ සමත් වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය, පරාජිතයන්ට වේදනාකාරී ආකාරයට, ආඩම්බරකාර ලෙස සැමරීමෙන්ද වැළකීම මේවාට ඇතුළත් වේ. අන්තර්ජාතික ජානමාධ්‍ය විසින් නව ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ගොඩගැනීමේදී විසින් ඉටුකළ යුතු කාර්යභාරය පිළිගන්නා මධ්‍යස්ථ-වාම වැඩසටහනක් වැළඳ ගැනීමට ජවිපෙ සහ එහි පුළුල් ජාජබ කඳවුර ගෙන ඒමේ දී ඉටුකළ කාර්යභාරය ඉස්මතු කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන චින්තකයින්ගෙන් කෙනකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ අන්තර්ජාතික ජනමාධ්‍යවලින් උපුටා දක්වමින් පවසා ඇත්තේ, “ජාතික ජන බලවේගය වාමාංශික, සමාජවාදී, මාක්ස්වාදී ලෙස නම් කිරීම ඉතා යල්පැන ගිය” හැඳින්වීමක් බවත් “පැරණි මතවාදී ලේබල මෙම දේශපාලන මොහොතේදී තවදුරටත් අදාළ නොවන” බවත්ය. ජාජබ හි විදේශ ප්‍රතිපත්තිය මතවාදීමය සමීපතාවක් ඇති කොමියුනිස්ට් රටවල් වෙත නැඹුරු වනු ඇතැයි අන්තර්ජාතික ප්‍රජාවේ කොටස් අතර සැළකිව යුතු කනස්සල්ලක් තිබිණි. කෙසේවෙතත්, මෙතෙක් එවැන්නක් සිදු වී නැත. ජයග්‍රහණයෙන් පසු ජනාධිපති දිසානායක හමු වූ පළමු රාජ්‍යතාන්ත්‍රිකයා ඉන්දීය මහ කොමසාරිස්වරයා විය. තවද, ජනාධිපති දිසානායක විසින් කළින් සිදුකළ සංචාරයේ පසුවිපරමක් ලෙස ඉන්දීය විදේශ ඇමතිවරයා ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද දේශීය ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. නව ආණ්ඩුව ව්‍යාපාරික ප්‍රජාවට සහතික වී ඇත්තේ, ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමේදී වඩා හොඳ කාර්යයක් කළ හැකිව තිබුණා යයි හැඟෙන නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අනුව අඛණ්ඩව කටයුතු කරන බවයි. උතුරේ අදානි බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳවද ශ්‍රී ලංකාවේ දිගුකාලීන ප්‍රතිලාභය සඳහා යළි සාකච්ඡා කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා මහජනතාවට සහ අන්තර්ජාතික ප්‍රජාවට ජාජබ කෙරෙහි ඇති ප්‍රධාන ආකර්ෂණය වන්නේ, ජාතික අවශ්‍යතාව කෙරෙහි ඔවුන්ගේ ඇති කැපවීම ඔප්පු කිරීමයි. මේ දක්වා ජවිපෙ හෝ එහි විශාල කණ්ඩායම වන ජාජබ හෝ ජාතික අවශ්‍යතාවට වඩා ප්‍රමුඛත්වය ගන්නා පටු හෝ පෞද්ගලික උනන්දු පෙන්නුම් කර නොමැත. පෙර පාලනයන්හි නායකයන් ‘සුදු අලි’ ලෙස හැඳින්විය හැකි ව්‍යාපෘති ඇතුළු ණය ගැනීමේ පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණය සැළකිල්ලට ගැනීමට පෙර, තම පෞද්ගලික අවශ්‍යතා සපුරා ගැනීමට පසුබට නොවූ නමුත් මෙවර එය එසේ නොවීය. වීසා සහ ගමන් බලපත් සම්බන්ධ මෑතකදී සිදු වූ වංචාව පිළිබඳව රජය නියෝග කර ඇති පරීක්ෂණ එවැනි බොහෝ දෑ අතරින් පළමුවැන්න විය හැකිය.

විදේශ ප්‍රතිපත්තිය

ජාතික අවශ්‍යතාව මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් මගින් ඉන්දියානු සාගරයේ සිදුවන භූ දේශපාලනික උණුසුමින් ශ්‍රී ලංකාව ආරක්ෂා කරගැනීමට උපකාරී වනු ඇත. රටට වැඩිම ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන රටවල් සමඟ ආර්ථික සබඳතා පැවැත්වීම ශ්‍රී ලංකාවේ යහපතට හේතු වේ. මෙයට ඉන්දියාවට අමතරව චීනය සහ බටහිර කඳවුරේ රටවල්ද ඇතුළත් විය හැකිය. එකම අවස්ථාවේදී, කලාපීය මහා බලවතෙකුගේ කනස්සල්ල වන ඉන්දියාවේ ආරක්ෂක කනස්සල්ල පිළිබඳව සැළකිලිමත් වීම ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවකි. දැනට ඇති සංඥා අනුව ජාජබ හි විදේශ ප්‍රතිපත්තිය ‘ඉන්දියාව පළමුව’ ප්‍රතිපත්තියක් ඇති අගමැති මෝදිගේ ප්‍රතිපත්තිය හා සමාන වනු ඇත. එය ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා පළමුව සළකන ණය, ප්‍රදාන සහ ආයෝජන පමණක් පිළිගැනීමට සූදානම් වනු ඇත.

මෙවැනි ආකාරයේ චින්තනයක් ජවිපෙ මෙන්ම LTTE සංවිධානය තුළ ද පැවැති බව දැකගැනීමට ලැබීම සිත්ගන්නාසුලුය. මෙම කණ්ඩායම් දෙකම ප්‍රචණ්ඩත්වය භාවිත කළේ සමාන පුරවැසිභාවයෙන් සහ රටේ සංවර්ධනයේ ප්‍රතිඵල ලබාගැනීමෙන් අසාධාරණ ලෙස බැහැර කර ඇතැයි හැඟුණු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව සටන් කිරීමටය. ඉන්දියාව ඔවුන්ට පුහුණුව හා අවි ලබාදුන්නද, LTTE සංවිධානය ඉන්දියානු රජයේ විදේශ ප්‍රතිපත්ති මෙවලමක් වීමට සූදානම් නොවීය. LTTE සහ ජවිපෙ යන කණ්ඩායම් දෙකම පළාත් සභා පිහිටුවන 13 වැනි සංශෝධනයට විරුද්ධ වූහ. LTTE සංවිධානය ඉන්දියාව සමඟ ඇති සම්බන්ධතාවෙන් ප්‍රයෝජන ලැබුවද, ගැටලුව විසඳීමට අවංක දේශපාලන අභිලාෂයක් නොමැති විට 13 වැනි සංශෝධනය හෝ බලය පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීම පිළිගත්තේ නැත. එහෙත් කාලය වෙනස් වී ඇති අතර පැරණි සතුරුකම් අවසන් කළ යුතු අතර ජාජබ එය කිරීමට සුදුසු තත්වයට පත්ව ඇත.

අතීතයේ තුවාල සුව කිරීම සම්බන්ධයෙන් සහ රටේ දූෂණය තුරන්කිරීම සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකාව පළමුව’ යන ප්‍රවේශයක් රටට අසාමාන්‍ය ලෙස ප්‍රයෝජනවත් වනු ඇති අතර, බලාපොරොත්තු පවත්වා ගැනීමට පරමාදර්ශවාදය අවශ්‍ය ලෝකයකට ආදර්ශයක් සපයනු ඇත. එහෙත් එය ගැටුම් සහ දූෂණවලින් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබන සහ ඒවා දිගටම ලබන අය වෙතින් ප්‍රතිරෝධයක් ඇති කරනු ඇත. දූෂිත ක්‍රියාකාරකම්වල නිරත වී ඒ තුළින් පෞද්ගලික ලාභ ලබන අය තම අරමුණු හා අභිප්‍රායන් ඉටුකර ගැනීම සඳහා කිසිවක් නොකර සිටීමට කැමති වනු ඇතැයි සිතිය නොහැක. මෑතකදී පැවැති මැතිවරණයේදී ජනාධිපති අනුර දිසානායකට ඡන්දය නුදුන් අය අතර පවා දැන් ඇති කතාබහ වන්නේ, කිසිදු පෙර ආණ්ඩුවක් නොකළ මෙහෙවරක් ඉදිරියට ගෙනයෑම සඳහා නව පාලනය ආරක්ෂා කරගත යුතු බවයි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.