19 June, 2026

Blog

විශ්වාසයක් නොමැතිව සියල්ලන් ඇතුළත් කිරීම අපහසුය

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

පසුගිය වසර දෙස ආපසු හැරී බලන විට, ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳව නිර්මාණය කළ බොහෝ බියජනක දේ සැබෑ වී නැත. නව ආණ්ඩුව රට අස්ථාවර කරනු ඇතැයි සමහර බලවත් කණ්ඩායම් කනස්සල්ලට පත්ව සිටියහ. එහි මාක්ස්වාදී පසුබිම නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් රජයක් පෞද්ගලික දේපළවලට ගරු නොකරනු ඇතැයි යන කනස්සල්ල ද තිබිණි. මෙම බිය සැබෑ වූයේ නැත. ආණ්ඩු වෙනස සුමට විය. ප්‍රධාන කැළඹීම්, ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය පරිපාලනයේ බිඳවැටීමක් සිදුනොවීය. රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය. මෙම ස්ථාවරත්වය මහජන විශ්වාසය ගොඩනැගීමට උපකාරී විය. පැහැදිලි මැතිවරණ ප්‍රතිඵලයකින් පසු නව පාලනයක් සාමකාමීව බලයට පත් වූ විට, එය සාමාන්‍යයෙන් එයට තර්ජනයක් නොව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක ලකුණක් ලෙස සැලකේ. නව නායකයන්, පවතින ආයතන විනාශ කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කිරීම වෙනුවට ඒවාට ගරුකරන විට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වේ. මේ සම්බන්ධයෙන්, රජයේ පළමු වසර සහතිකයක් ලබාදී ඇත.

කෙසේවෙතත්, විශ්වාසය ගොඩනඟාගත් පසු, එය ද නැති විය හැකිය. රජය දැන් බරපතල අභියෝගවලට මුහුණ දී සිටින අතර, එහිම සමහර ක්‍රියාමාර්ග කනස්සල්ලට හේතු වී තිබේ. එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ, විගණකාධිපතිවරයකු පත්කිරීම දිගු කාලයක් ප්‍රමාද වීමයි. විපක්ෂයේ සහ සිවිල් සමාජයේ විරෝධතා සැලකිල්ලට නොගෙන, තමන් කැමති අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට රජය අවධාරනය කිරීමෙන් මෙය තවත් නරක අතට හැරී ඇත. මෙය වඩාත් ගැඹුරු ගැටලුවක් නිර්මාණය කරයි. ජනාධිපතිවරයාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පක්ෂග්‍රාහී බව රජය ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශයේ සත්‍යතාව කුමක් වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරන ලද ආයතනයක් සමඟ පවතින ගැටුම ආයතන සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය අඩුකරයි.

මෙම ගැටළුව තවත් උග්‍ර කරන්නේ, බොහෝ ජ්‍යෙෂ්ඨ පත්වීම් තෝරාගෙන ඇති ඉතා කුඩා කණ්ඩායම විසිනි. බොහෝ සහ සමහර විට, ඉහළම රාජ්‍ය තනතුරු පාලක පක්ෂ සාමාජිකයන්ට හෝ ඔවුන්ට සමීපව සම්බන්ධ පුද්ගලයන්ට ලබා දී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ සාම්ප්‍රදායික ඡන්ද පදනම සියයට පහක් පමණ වේ. ජ්‍යෙෂ්ඨ පත්වීම් එතරම් කුඩා කවයකට සීමාකිරීමෙන් හොඳම පුද්ගලයන් තෝරාගැනීම අපහසු වේ. එමගින් බොහෝ දක්ෂ හා පළපුරුදු පුද්ගලයන් වසාදමන අතර, එය ජාතික අවශ්‍යතාවලට පටහැනි වේ.

ශ්‍රී ලංකාවේ ආයතන සංග්‍රහය මඟින්, රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට මැතිවරණවලට තරඟ කිරීමට ඉඩ නොදේ. මෙම නීතිය පවතින්නේ කුමන පක්ෂයක් බලයේ සිටියත්, රාජ්‍ය නිලධාරීන් ඕනෑම රජයකට සේවය කිරීමට අපේක්ෂා කරන බැවිනි. ජ්‍යෙෂ්ඨ පත්වීම් සඳහා එක් දේශපාලන පක්ෂයකට සම්බන්ධ පුද්ගලයන් මත රජය අධික ලෙස රඳාපවතින විට, එය පුළුල් කුසලතා සහ විශේෂඥතාව සඳහා පවතින ප්‍රවේශය අඩුකරයි. දේශපාලන මධ්‍යස්ථභාවය සහ සාධාරණ ආයතන කෙරෙහි විශ්වාසයක් නොමැතිව, පාලක පක්ෂයෙන් පිටත සිටින දක්ෂ පුද්ගලයන්ට ඉදිරියට ඒමට ඉඩක් නැත. එය ඔවුන් රටේ ප්‍රකෘතියට සැබවින්ම දායකවීමට කැමති වුවද සිදුකළ නොහැක්කකි.

අසාධාරණ ඉලක්ක කිරීම

මෑතකාලීන සිදුවීම්, පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් දුර්වල කර ඇත. සමලිංගික සම්බන්ධතා ආශ්‍රිත වෙබ් අඩවියකට සබැඳියක් ඇතුළත් 6 ශ්‍රේණියේ මොඩියුලයක් පිළිබඳ මතභේදය සරල වැරැද්දක් නොව කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස පෙනේ. රජයේ දූෂණ විරෝධී වැඩසටහනෙන් තම අවශ්‍යතාවලට තර්ජනයක් එල්ල වන කණ්ඩායම් විසින් එය අඩපණ කිරීමට උත්සාහ කරන බව පෙනේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති අතර, මෙම සිද්ධිය පරිපාලනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මහජන විශ්වාසයට හානිකර ඇත. සිවිල් සේවාවන් දේශපාලනීකරණය කිරීම වෙනුවට, එය ශක්තිමත් කර වෘත්තීයකරණය කළ රටවල් දිගුකාලීනව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී වඩාත් සාර්ථක වී ඇත. ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම්, දේශපාලන නායකයන් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය පරිපාලනය අතර විශ්වාසයක් තිබිය යුතුය.

රජය තම අභිලාෂකාමී මැතිවරණ පොරොන්දු ඉටුනොකිරීම සම්බන්ධයෙන් ද විවේචනයට ලක්ව ඇත. මේ අර්ථයෙන් ගත්කල, මැතිවරණ අතරතුර යථාර්ථවාදී නොවන පොරොන්දු දුන් අනෙකුත් පක්ෂවලට වඩා ජාතික ජන බලවේගය වෙනස් නොවේ. සත්‍යය නම් 2022 ආර්ථික බිඳවැටීම රට වසර ගණනාවක් පසුපසට තල්ලු කළ බවයි. වත්මන් ආණ්ඩුවේ වරදක් නොමැතිව, ආර්ථිකය 2018 මට්ටමට පමණ පහත වැටිණි. හොඳම නායකත්වයකට පවා මෙම හානිය එක රැයකින් අලුත්වැඩියා කළ නොහැක. පසුගිය වසරේ, ආර්ථිකය සියයට පහක පමණ වර්ධනයකට යථා තත්ත්වයට පත්විය. කෙසේවෙතත්, මෙම ප්‍රකෘතිමත් වීම, දැන් ඩිට්වා සුළි කුණාටුව නිසා නව දුෂ්කරතාවන්ට මුහුණදෙයි. සුළිකුණාටුවෙන් පසු, දේශපාලන පක්ෂවල හැසිරීම බලාපොරොත්තු සුන්කරවනසුළු විය. සහන සහ නැවත ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකිරීමට එකට එක්වීම වෙනුවට, බොහෝදෙනෙක් අගමැතිට පහරදීම ඇතුළු දොස්පැවරීමට සහ දේශපාලන ප්‍රහාරවලට යොමුවූහ. විශ්වාසය වඩාත් අවශ්‍ය වූ අවස්ථාවක මෙම හැසිරීම රාජ්‍යය කෙරෙහි මහජන විශ්වාසය දුර්වල කළේය.

මෙම පීඩන මධ්‍යයේ වුවද, රජය විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ සියලුදෙනා පාලනයට ඇතුළත් කරගැනීමට අඛණ්ඩව කටයුතු කළ යුතුය. කල් පවතින ප්‍රතිපත්ති වෙනසක් රඳාපවතින්නේ මැතිවරණ ජයග්‍රහණය කිරීම මත පමණක් නොව, පුළුල් මහජන සහයෝගයක් ලබාගන්නා සියලුදෙනා රාජ්‍ය පාලනයට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලීන් භාවිත කිරීම මතය. පටු බහුතරයක් විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ පවතිනු ඇතැයි සිතිය නොහැක. මේ හේතුව නිසා, පක්ෂ අතර සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ. රට නැවත ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා දේශපාලන බෙදීම් හරහා වැඩකිරීම මෙන්ම විපක්ෂය සහ සිවිල් සමාජය සමඟ අර්ථවත් සාකච්ඡා පැවැත්වීම අවශ්‍ය වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාමාන්‍යයෙන් ඵලදායී ප්‍රවේශයක් ගෙන ඇති අතර, සියලු පාර්ශ්වයන් යහපත් විශ්වාසයකින් ක්‍රියාකරන විට සංවාදයක් නිර්මාණය කළ හැකි බව පෙන්වයි.

කෙසේවෙතත්, සහයෝගීතාව වෙනුවෙන් පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් ජනවාර්ගික හා ආගමික සුළුතරයන් ද රාජ්‍ය පාලනයට ඇතුළත් කළ යුතුය. සමාන අයිතිවාසිකම් සහ වෙනස්කම් නොකිරීම සඳහා රජයේ කැපවීම යම් ධනාත්මක ප්‍රතිඵල ගෙන දී ඇත. විවෘත ජාතිවාදය අඩු වී ඇති අතර සුළුතර ප්‍රජාවන්ට භෞතිකව ආරක්ෂිත බවක් දැනේ. මෙම වැඩිදියුණු කිරීම් වැදගත්ය. එහෙත් ඒවා තවමත් බිඳෙන සුළුය. ගැඹුරු අවිශ්වාසය තවදුරටත් පවතී. බොහෝ සුළුතර ප්‍රජාවන්, විශේෂයෙන් උතුර හා නැගෙනහිර ප්‍රද්දෙෂවලදී, සංවර්ධනයෙන් සහ තීරණ ගැනීමේදී අතහැර දමා ඇති බවක් දැනේ. ජාතික නායකයන්ගේ සංචාර සහ සහභාගීත්වය ඔවුන් සාදරයෙන් පිළිගන්නා නමුත්, පොරොන්දු වූ සංවර්ධනය වචනවලින් ඔබ්බට නොයන බවක් දැනේ. බෞද්ධ ප්‍රජාවන් නොමැති ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම ඓතිහාසික ප්‍රකාශ භාවිත කරමින් බොහෝවිට යුක්තිසහගත කර ඇති අතර, එම ප්‍රදේශවල ප්‍රජාවන් සංහිඳියාවට උපකාරයකට වඩා තර්ජනයක් ලෙස සලකනු ලැබේ. මෙය වැඩි සංවේදීතාවක් සහ අව්‍යාජ සංවාදයක් මගින්, විශ්වාසය දුර්වල කිරීමට වඩා ගොඩනැගීමට උපකාරී වන ක්ෂේත්‍රයකි.

මධ්‍යගත ගැටලුව

සංහිඳියාව සඳහා දේශපාලන බලය බෙදාගැනීම අත්‍යවශ්‍ය වේ. රට එක්සත්ව තබාගනිමින් සුළුතර ප්‍රජාවන්ගේ ගැටළු විසඳීමට දහතුන්වැනි සංශෝධනය තවමත් ප්‍රායෝගික ක්‍රමයයි. දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ තවදුරටත් කල්දැමීමකින් තොරව පැවැත්විය යුතුය. පළාත් සභා වසර හතක් තිස්සේ ක්‍රියාත්මක වී නොමැති අතර, එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වලවන අතර සුළුතර ප්‍රජාවන් අතර විශ්වාසය අඩු වේ. ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය වැනි වෙනත් රටවල අත්දැකීම්වලින් පෙනීයන්නේ කලාපීය ආයතන ක්‍රියාකාරී වන අතර, ඡන්දදායකයන්ට පිළිතුරු දියහැකි විට විමධ්‍යගතකරණය වඩාත් හොඳින් ක්‍රියාත්මක වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු පුද්ගලයන්ට සමානව සැලකීම පමණක් නොවේ. තීරණ ගැනීමේදී කාර්යභාරයක් ඇති නීත්‍යානුකූල කණ්ඩායම් ලෙස ප්‍රජාවන් හඳුනාගැනීම ද එයට ඇතුළත් වේ. බලය බෙදාගැනීම ඒ ඒ ප්‍රජාවන්ට බහුතරයක් සිටින ප්‍රදේශවල තීරණ ගැනීමට ඉඩසලසයි. මෙය බැහැර කිරීමේ හැඟීම් අඩුකිරීමට සහ ජාතික සමගිය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

සිය පළමු වසර තුළ, රජය අතුරුදහන් වූ පුද්ගලයන්, දිගුකාලීන රඳවා තබාගැනීම්, ඉඩම් ආරවුල් සහ ප්‍රමාද වූ පළාත් මැතිවරණ ඇතුළු දිගුකාලීන ගැටළු රාශියක් හඳුනාගත්තේය. කෙසේවෙතත්, මෙම ගැටළු හඳුනා ගැනීම ප්‍රමාණවත් නොවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීම වැනි නීති ප්‍රතිසංස්කරණය කිරීමට රජය උත්සාහ කළ තැන්වල පවා ප්‍රතිඵල පිළිගත් ප්‍රමිතීන් සපුරා නැත. එළඹෙන නව වසර මෙම මූලික ගැටළු ස්ථිරව හා පැහැදිලිව විසඳන එකක් විය යුතුය. ඒවා විසඳා නොගතහොත්, ඒවා දිගටම වර්ධනය වී රජය එහි සංවර්ධන ඉලක්කවලින් අවධානය වෙනතකට යොමුකරනු ඇත. බලය බෙදාහැරීම කථා සහ පොරොන්දු ඉක්මවා සැබෑ ක්‍රියාමාර්ග කරා යායුතුය. පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉක්මනින් පත්කිරීමට නියමිත බව වාර්තා වී ඇත. මෙම ක්‍රියාවලිය හදිසිභාවයෙන් හා විශ්වසනීයත්වයෙන් යුතුව හැසිරවිය යුතුය.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය වැනි ආයතන ශක්තිමත් කළ යුතුය. සත්‍යය සහ සංහිඳියා ක්‍රියාවලියක් ද ජනතාව විශ්වාස කරන ආකාරයෙන් ස්ථාපිත කළ යුතුය. ආයතන කෙරෙහි විශ්වාසය රඳාපවතින්නේ ව්‍යවස්ථාපිත නීති සහ ක්‍රියාපටිපාටිවලට ගරු කිරීම මතය. සමාජය කෙරෙහි විශ්වාසය රඳා පවතින්නේ, සියල්ලන් ඇතුළත් තීරණ ගැනීම මතය. ප්‍රජාවන් අතර විශ්වාසය රඳාපවතින්නේ සැබෑ බලය බෙදාගැනීම සහ වගවීම මතය. ආර්ථික ප්‍රකෘතිය, ආපදාවලින් පසු නැවත ගොඩනැගීම, ශක්තිමත් ආයතන සහ සංහිඳියාව යන සියල්ල එක හා සම්බන්ධ වේ. රජය තම මූලික ආධාරකරුවන් මත පමණක් රඳාපැවතීමෙන් ඔබ්බට ගොස් පුළුල් ලෙස මහජනතාව සමඟ සම්බන්ධ විය යුතුය. විශ්වාසය නොමැතිව මෙය කළ නොහැකි වනු ඇත. රජය විශ්වාසය ගොඩනඟා ගන්නා ආකාරය විසින්, ප්‍රතිසංස්කරණ කල් පවතිනවාද යන්න පමණක් නොව, රටේ දිගුකාලීන ස්ථාවරත්වය සහ එකමුතුකම ද තීරණය කරයි.

Latest comments

  • 1
    0

    Even if someone arbitrarily creates weblinks using arbitrarily chosen terms, there may be some websites that match them. The possibility exists, hence any educationalists involved in educational reform should have considered it earlier. That alone demonstrates to anybody with common sense that the minister and her government, as well as the authorities, have not taken the situation seriously. This has become a worrying issue for the minister of education as of today. Those who came before, despite being labeled as immensely corrupt, did things after due discussion. That is why prior ministers of education have not faced such harsh criticism. Jeppos should now be able to get along with others, especially political opponents. Their hate-mongering would not bring.

  • 1
    0

    යමෙකු අත්තනෝමතික ලෙස තෝරාගත් යෙදුම් භාවිතා කරමින් වෙබ් සබැඳි නිර්මාණය කළත්, ඒවාට ගැලපෙන සමහර වෙබ් අඩවි තිබිය හැකිය. හැකියාව පවතින බැවින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සම්බන්ධ ඕනෑම අධ්‍යාපනඥයෙකු ඒ ගැන කලින් සලකා බැලිය යුතුව තිබුණි. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට එයින්ම පෙනී යන්නේ අමාත්‍යවරිය සහ ඇගේ රජය මෙන්ම බලධාරීන් ද තත්වය බැරෑරුම් ලෙස නොසලකන බවයි. අද වන විට මෙය අධ්‍යාපන අමාත්‍යවරියට කනස්සල්ලට කරුණක් බවට පත්ව ඇත. මීට පෙර පැමිණි අය, අතිශයින් දූෂිතයන් ලෙස ලේබල් කර තිබියදීත්, නිසි සාකච්ඡාවකින් පසුව දේවල් කළහ. ඒ නිසා පෙර අධ්‍යාපන අමාත්‍යවරුන් එවැනි දැඩි විවේචනවලට මුහුණ දී නොමැත. ජෙප්පෝස් දැන් අන් අය සමඟ, විශේෂයෙන් දේශපාලන විරුද්ධවාදීන් සමඟ සුහදව කටයුතු කිරීමට හැකි විය යුතුය. ඔවුන්ගේ වෛරය අවුස්සන දේවල් ගෙන එන්නේ නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.