20 June, 2026

Blog

රජයට නිවැරදි කළ හැකි එහෙත් නොසළකා හරින ලද ප්‍රමුඛතාවක්

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට දුන් වැදගත් පොරොන්දු අතර දූෂණය හා නාස්තිය පිළිබඳ ගැටලුව විසඳීම ද වේ. 2022 දී පාලනය බිඳදැමූ අරගලය විරෝධතාවල කේන්ද්‍රීය අංගය මෙය විය. විපක්ෂයේ සිටියදී ආණ්ඩු පාර්ශ්වය තවත් බොහෝ පොරොන්දු ලබාදුන්නේය. ජීවන වියදම අඩු කිරීම වැනි මෙම අනෙකුත් පොරොන්දු සම්බන්ධයෙන් මෙන් නොව, දූෂණය හා නාස්තිය අඩු කිරීමේ පොරොන්දුව, අභ්‍යන්තර සාධකවලට වඩා බාහිර සාධක මගින් තීරණය වන, ජීවන වියදම අඩු කිරීමට වඩා බොහෝදුරට රජයේ බලය තුළ පවතින්නකි. රජය සිය වියදම් සැළකිව යුතු ලෙස අඩුකර ඇත. නව ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණය සැමරීම සහ නව ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව දිවුරුම්දීම ඉතා සුළු මට්ටමක පැවැතිණි. ජනාධිපතිවරයා ඉන්දියාවට සිදුකළ පළමු නිල විදේශ සංචාරයේදී ඔහු තමා සමඟ කුඩා දූත පිරිසක් පමණක් රැගෙන ගියේය.

ආණ්ඩුවේ සාමාජිකයන් සම්බන්ධ කිසිදු මූල්‍ය අපකීර්තියක් නොතිබීම හේතුවෙන් රජයේ පළමු දින සියය කැපීපෙනිණි. රජයේ අසුන්වලට පත්වන පුද්ගලයන් එක් හෝ තවත් පාර්ශ්වයන් සමඟ දූෂිත ගනුදෙනුවලට නිරන්තරයෙන් සම්බන්ධ වී ඇති අතීතයක් සහිත සන්දර්භයක් තුළ මෙය කැපීපෙනෙන ජයග්‍රහණයකි. විශේෂයෙන්, ස්ථාවර ආදායම් මත ජීවත් වන අයට ඔවුන්ගේ වර්තමාන වැටුප් මත ජීවන වියදම් සපුරාගත නොහැකි බැවින්, සමාජයේ සෑම මට්ටමකටම විනිවිද ගොස් ඇති දූෂණ ගැටලුව සමඟ කටයුතු කිරීම ඉතා අභියෝගාත්මක වනු ඇත. ජීවන වියදම අඩුකිරීම සහ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් දුන් පොරොන්දු ඉටුකිරීමට රජයට නොහැකි වීමට හේතුව, පෙර පාලනයන් විසින් ඇතිකර ගත් ගිවිසුම් මගින් වත්මන් පාලනය විලංගු දමා තිබීම ඇතුළුව, තමන්ගේම නොවන ගැටලු උරුම වී තිබීමයි.

ශ්‍රී ලංකාව පිරිසිදු කිරීම සඳහා රජයේ ඇති කැපවීම, පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කිරීමෙන් ප්‍රකාශ වේ. මෙම කාර්යසාධක බලකාය පුළුල් සමාජ, පාරිසරික සහ සදාචාරාත්මක පරිවර්තනයක් තුළින් රට උසස් කිරීම අරමුණු කර ඇත. ජනාධිපති ලේකම්, සන්නද්ධ හමුදා සහ පොලිස් අණදෙන නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් ඇතුළු රජයේ ඉහළ තනතුරු දරන සාමාජිකයන් මීට ඇතුළත් කිරීම තුළින්, වෙනස ඉහළින්ම ආරම්භ කළ යුතු බවට රජය ස්ථාවරයක් ගෙන ඇති බව පෙනේ. කෙසේවෙතත්, එහි සංයුතිය පිළිබඳ ගැටළු විසඳීම, සියලු ජන කොටස් ඊට ඇතුළත් කිරීම සහතික කිරීම, පවතින නීති ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම සහ පැහැදිලි වැඩසටහන් විස්තර සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වනු ඇත.

සෘණාත්මක ට්‍රොයිකාව

දූෂණය හා නාස්තිය තුරන්කිරීමට අමතරව, රජය විසින් භාරගෙන ඇති වැදගත් කාර්යයක් වන්නේ සමාජය තුළ ජාතිවාදය සහ අන්තවාදය තුරන්කිරීමයි. රජය මෙය ඉතා බැරෑරුම් කාරණයක් ලෙස සළකන බව පෙනේ. වාර්ගික සුළුතරයන් බහුලව සිටින ප්‍රදේශවලින්, විශේෂයෙන් උතුර හා නැගෙනහිරින් පමණක් නොව, රටේ මධ්‍යම ප්‍රදේශවලින් ද ලැබුණු ජනවරම තුළින්, ආණ්ඩුව ජාතිවාදී නොවන බවට ජනතාව තුළ ඇති විශ්වාසය දැකිය හැකිය. කෙසේවෙතත්, පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා වූ කාර්ය සාධක බලකාය, වැදගත් වන ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ ඉදිරි දර්ශන නොසළකා හැරීමට ඉඩ තිබේ. මෙම සුළුතර ප්‍රජාවන් ඇතුළත් කිරීමේ ඌණතාව, විවිධ ප්‍රජාවන් හරහා ක්‍රියාත්මක කිරීමේදී වැඩසටහනේ පිළිගැනීමට සහ ඵලදායීතාවයට බාධාවක් විය හැකිය.

දූෂණය, නාස්තිය සහ ජාතිවාදය යනු, රටේ බලාපොරොත්තු සුන්කළ අගාධයකට ඇදදැමූ සෘණාත්මක සාධක ත්‍රිත්වය බව පැවසිය හැකිය. ජාතික සම්පත් පෞද්ගලික අරමුණු සඳහා ලබාගැනීම සහ යුද්ධයෙන් රට විනාශ වීම හේතුවෙන් රාජ්‍ය ආදායමින් සහ ධනයෙන් සැළකිව යුතු කොටසක් අහිමි විය. අවසානයේ දිග්ගැස්සුණු යුද්ධයකට තුඩු දුන් ජනවාර්ගික ගැටුම උත්සන්න වීමට ප්‍රධාන හේතුවක් වූයේ, ජනවාර්ගික හා ආගමික සුළුතරයන් අතර, ඔවුන් නොසළකා හරින ලද, තමන් එක්කර නොගන්නා සහ වෙනස්කොට සැළකූ බවට වන හැඟීමයි. කැබිනට් මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ මෑතකදී පිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වූ කාර්ය සාධක බලකාය වැනි තීරණ ගැනීමේ ආයතන සඳහා රජය විසින් පත්කරන ලද බොහෝදෙනෙක් සිංහල ප්‍රජාවෙන් වීම මගින් අතීතයේ මතකයන් අවදි කළ හැකිය.

1936 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කාලය තුළ පවා සිදු වූ පරිදි, සිංහල පමණක්ය යන තේරීම් වත්මන් පාලනය විසින්ද සාධාරණීකරණය කිරීමට හේතුව, තේරීම් පදනම සහ කැපවීම මත පදනම් වී තිබීම විය හැකිය. තමන්ගේම ජන වර්ගය විශ්වාස කිරීමට ඇති කැමැත්ත බොහෝ ඈත කාලයකට දිවයයි. 1936 දී, බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ඉල්ලා සිටීමේදී, තමන්ට හොඳින්ම විශ්වාසය තැබිය හැක්කේ සිංහලයන් බව සිංහල නායකයන්ට හැඟුණු අතර, එබැවින් ඔවුහු බ්‍රිතාන්‍යයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මුළුමනින්ම සිංහල අමාත්‍ය මණ්ඩලයක් තෝරාගත්හ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව ජනවාර්ගික හා ආගමික සුළුතර ජනගහණයෙන් සියයට 30ක් පමණ වාසය කරන වාර්ගික හා ආගමික බහුත්ව සමාජයක් බව සැළකිල්ලට ගත යුතුය.

ජාතිවාදී දේශපාලනය

තීරණ ගැනීමේ ආයතනවලට විවිධ ජනවාර්ගික, ආගමික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පසුබිම් ඇති අය ඇතුළත් කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ, බහුතර සාමාජිකයන් කරුණු පිළිබඳව දකින ආකාරයට වඩා වෙනස් ලෙස ඔවුන් එම කාරණා දකිනා බැවිනි. තීරණ ගැනීමේ ආයතනවල වඩාත් විවිධාකාර නියෝජනයක් තිබීම මගින් තීරණ ගැනීමේ වේගය යම් ප්‍රමාණයකට මන්දගාමී කළ හැකිය. එහෙත් මෙම අදහස් සහ අවශ්‍යතා, එහි මිශ්‍රණයෙන් පැනනගින සාකච්ඡාව සහ විවාදය, බොහෝවිට විශාල සංඛ්‍යාවකට වඩාත් පිළිගත හැකි වන බැවින්, ඒවා වඩාත් තිරසාර විසඳුම් වේ. තීරණ ගැනීමෙන් බැහැර වූ අයට බොහෝවිට හැඟෙන්නේ, ලැබෙන විසඳුමේ හිමිකාරිත්වය තමන්ට නොමැති බවයි. එවිට ඔවුන්ට එයට සහාය දැක්වීමට එතරම් පෙළඹවීමක් ඇති නොකෙරේ.

තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කොටසක් නොවන සහ ඒ ගැන අමනාප වන අය, සිදුවන්නේ කුමක්ද යන්න විකෘති කිරීමට සහ වැරදි චිත්‍රයක් ලබාදීමට නිරන්තරයෙන්ම කැමැත්තක් දක්වනු ඇත. වීදි වෙළෙන්දන්ට තම භාණ්ඩ වීදිවල විකිණීම නැවැත්වීමට නියෝග කර ඇති බවට චෝදනා එල්ල වීමත් සමග, පිරිසිදු ශ්‍රී ලංකා කාර්ය සාධක බලකාය දැනටමත් අසත්‍ය විවේචනවලට ලක්ව ඇත. සැබවින්ම මෙය සිදුකරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය තුළ වන අතර, ඔවුන්ගේ වීදි වෙළඳාම වහාම නතර කරන ලෙස නියෝග කළ අතර, එමඟින් දහස් ගණනක් කුඩා වෙළඳුන්ට දැවැන්ත දුෂ්කරතා ඇති විය. පරිසරය පිරිසිදුව තබාගැනීම සඳහා පිරිසිදු ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායට ලබාදී ඇති වරම, ආණ්ඩුවට දේශපාලනිකව විරුද්ධ අය විසින් විකෘති කර ඇත.

රජයේ තීරණ ගැනීමේ ආයතන තුළ ජනවාර්ගික හා ආගමික සුළුතරයන් නියෝජනය කිරීමේ වැදගත්කම නම්, දේශපාලන වාසි තකා නිර්මාණය කරනු ලබන අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට හැකිවීම සහ ඒ සඳහා ඔවුන් කැමැත්තක් දැක්වීමයි. තීරණ ගැනීමේ ආයතනවලට ඔවුන් ඇතුළත් කිරීමට අපොහොසත් වීමෙන්, උතුර සහ නැගෙනහිර හා මධ්‍යම ප්‍රදේශවල ඡන්දදායකයන් මීට පෙර අවස්ථාවන් වලදී ප්‍රතික්ෂේප කළ, වාර්ගිකත්වය හා ආගමිකත්වය පදනම් වූ විරුද්ධත්වයක් නැවත මතුවීමට රජය දොර විවර කරමින් සිටී. මෙම ගැටලුසහගත ස්ථානය ආමන්ත්‍රණය කිරීම, සාධාරණත්වය පිළිබඳව පමණක් වන්නක් නොවේ, එය දිගුකාලීන ජාතික සමගිය සහ ස්ථාවරත්වය සඳහාද අත්‍යවශ්‍ය වේ. ජාතිවාදී දේශපාලනය නැවත ඇති නොවන බව සහතික කිරීම සඳහා රජය තම පාලන ව්‍යුහයේ සෑම මට්ටමකටම වාර්ගික හා ආගමික සුළුතරයන් සවිඥානිකව ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් පවතී.

Latest comment

  • 0
    0

    AKD and his NPP politics@

    They lied before the election.
    Now they are still lying to protect them.

    https://www.youtube.com/watch?v=kNbwYweGpOk&t=48s

    Some innocent petty workers are strugAKD සහ ඔහුගේ NPP දේශපාලනය@

    ඔවුන් මැතිවරණයට පෙර බොරු කිව්වා.
    දැන් ඔවුන් තවමත් ඔවුන්ව ආරක්ෂා කිරීමට බොරු කියනවා.

    https://www.youtube.com/watch?v=kNbwYweGpOk&t=48s

    සමහර අහිංසක සුළු සේවකයින් අද අරගල කරමින් සිටින්නේ ඔවුන් ඉදිරියේ තම ජීවිතවලට මුහුණ දිය නොහැකිවය. ටුක්-ටුක් උපකරණ නිෂ්පාදනය කරන සමහර සමාගම් කෙටි දැනුම්දීමකින් තොරව වසා දමා ඇත. කම්කරුවන් අසරණයි.

    https://www.youtube.com/watch?v=dixLyRt02t0

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.