2 May, 2024

Blog

සංවර්ධනය ඉහළ නැංවීම සඳහා සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීමේ වැදගත්කම

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

පසුගිය මාස 04 තුළ රජය විසින් නව නීති 42ක් පනවා ඇති බවත්, තවත් නීති 62ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඒ සියල්ල රටේ ආර්ථික පරිවර්තනය උත්ප්‍රේරණය කිරීමේ අරමුණ වෙනුවෙන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇති කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ නීති කෙටුම්පත් දෙකක්ද මේ අතර වේ. මෙම නීති මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. යෝජිත කාන්තා සවිබල ගැන්වීමේ පනත යටතේ වෙනම කාන්තා කොමිසමක් පිහිටුවීමට අපේක්ෂා කරයි. මෙම කොමිෂන් සභාවේ මූලික අරමුණ වනුයේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන යටතේ සියලුම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ අභිවෘද්ධිය සහ බලගැන්වීම සඳහා පහසුකම් සැලසීමයි.

නුදුරු අනාගතයේ දී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කෙරෙහි අවධානය යොමුකරන තවත් පනතක් එළිදැක්වීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති වික්‍රමසිංහ නිවේදනය කර තිබේ. මෙම පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ තාක්ෂණික ප්‍රතිපත්ති ඇතුළු විවිධ අංශ හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ මූලධර්ම ස්ථාපිත කිරීමත්, මෙම මූලධර්මවලට සහායවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපැයීමත් ය. එමගින් කාන්තා අයිතිවාසිකම් හුදු සාකච්ඡාවකට වඩා වැඩි යමක් වියයුතු බව අවධාරණය කරන අතර, සංයුක්ත නීති සහ අණපනත් හරහා ඒ සඳහා කාන්තාවන්ගේ සහාය ඉල්ලා සිටී. කෙසේවෙතත්, සමාජ මැදිහත්වීමකින් තොරව මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නීති ස්ථාපනය කිරීමේ පියවර පමණක් ප්‍රමාණවත් නොවන බව ද එමගින් පිළිගනී. නීති සහ ඒවායින් අදහස් කරන්නේ කුමක්ද යන්න මිනිසුන් දැන සිටිය යුතුය. තම අයිතීන් ලබාගැනීමට නීතිය භාවිත කළහොත් සාධනීය ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි යන විශ්වාසය ඔවුන් තුළ තිබිය යුතුය.

ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම වෙනුවෙන් වූ ප්‍රජා සහභාගීත්ව ඉගෙනුම් සහ උපදේශන සම්මන්ත්‍රණය(WOICE) හරහා රට පුරා දිස්ත්‍රික්ක හතකින් කාන්තා නායිකාවන් සහ ක්‍රියාකාරිනියන් 120කට වැඩි පිරිසක් එක්රැස් කරන ලදී. රාජ්‍යය විසින් නීති ක්‍රියාත්මක කිරීමේදී පුරවැසියන්ගේ පාර්ශ්වයෙන් නීති පිළිබඳ දැනුම නොමැතිකම නිරීක්ෂණය කෙරුණු ප්‍රධාන කරුණු අතරින් එකකි. පාලනය සහ වගවීමේ ක්‍රියාවලීන් පිළිබඳ සංකල්පමය අවබෝධයක් හා අදාළ නීති, ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් මෙන්ම ඵලදායී ප්‍රජා මැදිහත්වීම් සඳහා කුසලතා වර්ධනය කරගැනීම මෙම සියලු දිස්ත්‍රික්කවල සිටින කාන්තාවන් උනන්දුවක් දැක්වූ කාරණයකි.

කාන්තාවෝ හඬ අවදි කරති

ප්‍රාදේශීය මට්ටමේ ගැටලු නිරාකරණය කර ගැනීමට කාන්තාවන් උත්සාහ කළ යුතුය යන අවශ්‍යතාවය පදනම් වී ඇත්තේ, බොහෝ අවස්ථාවල කාන්තාවන් පිරිමින් විසින් මෙහෙයවනු ලබන ක්‍රියාවන් සඳහා ආධාරකයක් ලෙස කටයුතු කිරීම සහ ඔවුන් ඉටු කරන කාර්යභාරය සඳහා නිසි පිළිගැනීමක් ලබාගැනීමට අපොහොසත්වීම යන කරුණු බව විශ්ලේෂණ ඔස්සේ අනාවරණය වී ඇත. එසේම, කාන්තාවෝ තම ප්‍රජාවට සේවය කිරීමට පෙළඹී සිටින අතර, මේ සඳහා ප්‍රජා නායකත්වයේ සිට දේශපාලන සහභාගීත්වය දක්වා, විශේෂයෙන් ප්‍රාදේශීය මට්ටමින් වැඩි නායකත්ව භූමිකාවන් භාර ගැනීමට කැමැත්තෙන් සිටිති. නායකත්වය සඳහා ඇති ආශාව මෙහෙයවනු ලබන්නේ අවශ්‍යතාවය විසින් මත මිස අභිලාෂය මත පමණක් නොවේ. මේ සම්බන්ධයෙන් අඛණ්ඩ හා වැඩිදියුණු කළ පුහුණුවක් සහ උපදේශනයක් අවශ්‍ය වේ.

මෙම සම්මන්ත්‍රණය මගින් ප්‍රජා මට්ටමේ සංවිධානවල කාන්තා නායිකාවන්ට, ක්‍රියාකාරීන්ට ජාතික මට්ටමේ කාන්තා නායිකාවන් සමඟ සම්බන්ධවීමට අවස්ථාව ලබාදෙන ලදී. WOICE සම්මන්ත්‍රණයේ කථිකයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඉල්ලා සිටියේ, ඉදිරි මැතිවරණ සන්දර්භය තුළ, තනි ඡන්දදායකයන්ට ලබාදෙන මනාප තුනෙන් එකක් හෝ කාන්තා අපේක්ෂකයන්ට ලබාදීම සහතික කිරීම සඳහා මනාප ඡන්ද ක්‍රමය භාවිත කළ හැකි බවයි. මන්ත්‍රීනී තලතා අතුකෝරළ පෙන්වාදුන්නේ, මානව හිමිකම් සහ විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නවලදී සුළු පිරිසක් හැරුණු විට, එක්ව සිටින තේරී පත් වූ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් අතර පාර්ලිමේන්තුව තුළ ඇති සහයෝගීතාවයි.

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් සියයට 56කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ගෙන් සමන්විත වුවද, පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින්නේ කාන්තාවන් සියයට හයකට වඩා අඩු ප්‍රමාණයක් පමණකි. 2016 වසරේ පළාත් පාලන මට්ටමින් සියයට 25ක කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා සම්මත කරගත් නීතිය, වසරකට ගණනාවක් තිස්සේ මැතිවරණ නිසි කලට පැවැත්වීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ක්‍රියාවිරහිතව පැවැතීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් සම්මන්ත්‍රණයේ දී අදහස් පළකරමින්, විශේෂයෙන් කල් පවතින විසඳුම් සැකසීමේ දී මෙම සංක්‍රාන්ති කාලය තුළ සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීමේ වැදගත්කම ගැන සඳහන් කළාය. සියලුම ජන කොටස්වල යහපැවැත්ම සපුරාලිය හැකි සමාන ප්‍රවේශයක් ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංගයක් ලෙස කාන්තාවන් ඇතුළත් කිරීම පිළිබඳව ඇය පෙන්වාදුන්නාය.

නීති ක්‍රියාත්මක කළ යුතුයි

පළමු පියවර ලෙස රජය සම්මත කරන නීති ක්‍රියාත්මකවන බවට සහතික කිරීමට පියවර ගත යුතුය. මෙය දූෂණය අවම කිරීම, ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම, පළාත්වලට බලය බෙදාහැරීම සහ කාන්තා අයිතිවාසිකම් සහතික කිරීම සඳහා වන නීතිවලට අදාළ වේ. කාන්තාවන්ගේ අධ්‍යාපනය ඉහළ මට්ටමක තිබියදීත්, 2023 අගෝස්තු වන විට, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) ශ්‍රේණිගත කිරීම්වලදී රටවල් 187 කින් ශ්‍රී ලංකාව 180 වැනි ස්ථානයට පත්ව තිබීම විශේෂයෙන් භයානකය. සම්මත කරන ලද නීති සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ජාතික මට්ටමේ තීරණ ගැනීමේදී කාන්තාවන්ගේ සහභාගීත්වය අතිශයින් වැදගත් වේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හිටපු එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනි, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සෝමාලියාවේ උදාහරණය පිළිබඳව සඳහන් කරමින්, ගෝත්‍ර පහක් එකිනෙකා සමඟ සටන් කර මරාගන්නා ආකාරය පෙන්වාදුන්නාය. එහි කාන්තාවෝ 06 වැනි ගෝත්‍රයක් පිහිටුවාගත්හ. පසුව එය සෝමාලියානු කාන්තා ව්‍යාපාරය බවට පත්වූ අතර, පාර්ලිමේන්තුවේ සියයට 12 ක කෝටාවක් ලබාගත්තේය. ඇය අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ අපට බොහෝ කණ්ඩායම්, පන්ති කුලය යනාදිය ඇති බැවින්, වෙනසක් ප්‍රජා මට්ටමින් ආරම්භ විය යුතු බව පෙන්වාදුන්නාය. “කාන්තාවන් කණ්ඩායමක් ලෙස සංවිධානයවීම ඔබට ආරක්ෂාවක් විය හැකියි. සැබෑ වෙනසක් ආරම්භ වන්නේ ප්‍රජා මට්ටමින් පමණි.” යනුවෙන් ඇය කාන්තාවන් දිරිමත් කළාය.

2012 වසරේ නොබෙල් සාම ත්‍යාගලාභී ලයිබීරියාවේ Leymah Gbowee, සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා කාන්තා න්‍යාය පත්‍රයක් රජයට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය ශ්‍රී ලංකාවේ දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ වැඩි සහභාගිත්වය ඉල්ලා සිටි අතර එයට හේතුව පැහැදිලි කළාය. “දෘෂ්ටීන්ගේ ගැටුම් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සිරුරු මත සටන් වදින බව” ඇය නිරීක්ෂණය කළ අතර, සෑම යුද්ධයක්ම එකිනෙකට වෙනස් ලෙස සහ අනන්‍ය දේශපාලන ලක්ෂණ ඇති පිරිමින් මෙන් නොව, සියලුම යුද්ධවලදී ස්ත්‍රීන් එක හා සමාන බව පෙන්වා දුන්නාය. යුද්ධය ගෙනදෙන දුක් වේදනා සහ කාන්තාවන්ට තම පවුල් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය මෙයයි. “සාධාරණත්වය, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඔබේ රටේ මූලධර්ම නම්, කාන්තාවන් තීරණ ගැනීමේ තනතුරුවලට ගෙන එනු ඇත. ඔවුන් බරක් ලෙස නොසළකනු ඇත. එහිදී ඔවුන්ට සහයෝගය ලබාදෙන අතර සියලු මිනිසුන්ට සමාන ලෙස සළකනු ලැබේ” යනුවෙන් ඇය පැවසුවාය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.