29 April, 2024

Blog

ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා සෑම මට්ටමකම විශ්වාසය ගොඩනැගීමට ජනාධිපතිවරයාට පවතින අවශ්‍යතාව

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ආර්ථිකය කඩාවැටීමේ ක්ෂණික යථාර්ථයන්ට මුහුණදීමේ අවශ්‍යතාව සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන විරෝධතා නිර්මාණය වීම පසුගිය වසර දෙක තුළ දේශපාලන උනන්දුවෙහි කේන්ද්‍රීය වේදිකාව අත්පත් කරගෙන තිබේ. එහෙත් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාර්ගික ගැටලුව සහ සංහිඳියා ක්‍රියාවලිය ජාතික දේශපාලනයේ මධ්‍යස්ථ වේදිකාවට, එනම්, එය තිබිය යුතු තැනට ගෙනැවිත් ඇත. නොවිසඳුණු ජනවාර්ගික ගැටුම ආර්ථික හා දේශපාලන අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමට රට දරන ප්‍රයත්නයන් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. එල්.ටී.ටී.ඊ. නායකත්වය විනාශ කිරීමත් සමඟ ජනවාර්ගික ගැටුම මුලතිව් සටන් බිමින් අවසන් වූ බවට වූ විශ්වාසය බොහෝ කලක සිට පදනම් විරහිත බව ඔප්පු වී ඇත. මධ්‍යගත රාජ්‍යයේ ආධිපත්‍යයට එරෙහි අභ්‍යන්තර හා ප්‍රකාශිත දෙමළ ප්‍රතිරෝධය දුර්වල කිරීම, බාහිර මැදිහත්වීම් ශක්තිමත් කිරීමත් සමඟ සිදුව තිබේ.

පැවැති අවසන් සැසියේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඔවුන් රැස්කරන කුමන සාක්ෂියක් වුවද, ඒවා විශ්ව අධිකරණ බලය මත නඩු පැවරීමට යොදාගැනීමට කැමැති ඕනෑම රටකට ලබාදෙන බවයි. මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මට්ටමේ සාකච්ඡාවල නිරතුරුවම ඉදිරියෙන්ම සිටින රටකට ලැබෙන සෘණාත්මක ප්‍රතිරූපය, විදේශ ආයෝජන ලබාගැනීමට බාධාවක් වනු නිසැකය. මෙම නිත්‍ය ගැටුම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙන සෑම සැසිවාරයකදීම ශ්‍රී ලංකා රජයට එරෙහිව අනුක්‍රමයෙන් දැඩිවීමේ ස්වරූපයක් ගෙන ඇත. ජාතික සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක වුවහොත් විදේශ ආයෝජන රට තුළට ගෙන්වා ගැනීමට රජය දරන ප්‍රයත්නයට දිරියක් ලැබෙනු ඇත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ දේශපාලන විසඳුමක විකාශනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළේය. මෙම ආරාධනය බොහෝ දේශපාලන පක්ෂ පිළිගනු ලැබීය. සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී අදාළ සියලු පාර්ශ්වවල අදහස් ඊට ඇතුළත් විය යුතු බවයි. පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමට තමාට හෝ මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත්දෙනාට බලයක් නොතිබූ බවත්, ඒ සඳහා බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන පක්ෂ, සමස්ත දේශපාලන පද්ධතිය තුළම පැතිරී ඇති අවිශ්වාසය පිළිබිඹු කරන හැඟීම් ප්‍රකාශ කළේය. දේශපාලන ආත්මාර්ථකාමීත්වය සහ බල තණ්හාව සෑම පාර්ශ්වයකින්ම දේශපාලන ක්‍රියාකාරීන්ගේ ක්‍රියාවලට යටින් පවතින බවට විශ්වාසයක් පවතී. මෙම අවිශ්වාසය දුරුකිරීමට ආණ්ඩුවේ ක්‍රියාකලාපය දායක වී ඇත්තේ අල්ප වශයෙනි.

මැතිවරණ කල්දැමීම

පළාත් සභා මැතිවරණයට ප්‍රමුඛත්වය ලබාදීමට පක්ෂව සර්ව පාක්ෂික සමුළුවේදී විපක්ෂය ඉදිරිපත් කරන ලද තර්ක කරුණු දෙකක් මත වලංගු වේ. පළමුව, ක්‍රියාත්මක කිරීමට යෝජිත පළාත් සභා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පළාත් සභා තෝරා පත්කර ගැනීම අවශ්‍ය වේ. දෙවැන්න, වත්මන් ආණ්ඩුවට හිමිව ඇති ජනවරමේ ප්‍රශ්නකාරී ස්වභාවයයි. එවකට සිටි ජනාධිපති, අගමැති සහ ඇමැති මණ්ඩලයට ඉල්ලා අස්වීමට බලකෙරුණු අරගලය තුළින් මතුවූ මහජන විරෝධතා හමුවේ, වඩාත් යහපත් ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ආණ්ඩුවට සිය ජනවරම නැවත වලංගු කර ගැනීම සඳහා, මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය විය. එහෙත්, ඒ වෙනුවට, පාර්ලිමේන්තුවේ බහුතර සාමාජිකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්හ. නව ජනාධිපතිවරයාට ආණ්ඩුවේ අභිමතය පරිදි ආරක්ෂක අංශ යොදාගනිමින් විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමේ දේශපාලන ඥානය සහ කැමැත්ත යන දෙකම පවතින නමුත්, ජනවරම පිළිබඳ ප්‍රශ්නය දිගටම පවතී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණය වන්නේ ජනතාව විසින් තම නියෝජිතයන් තෝරා පත්කර ගන්නා මැතිවරණ ක්‍රමානුකූලව පැවැත්වීමයි. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්ව ඇත. වසර හතරකට වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමත්, දැන් මාස පහක් කල් ඉකුත් වී ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමත් සමඟ, ආණ්ඩුව එක පෙළට මැතිවරණ පැවැත්වීම අත්හිටුවා තිබේ. සර්ව පාක්ෂික සමුළුවේදී, පැමිණ සිටි දේශපාලන පක්ෂ බොහොමයක් ඉල්ලා සිටියේ, ජනාධිපතිවරයා යෝජනා කළ පරිදි තම බලය වැඩි කර ගැනීමට පෙර, පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. පළාත් සභා බලගැන්වීමට නම් ඒවා ක්‍රියාත්මක වියයුතුය. පළාත් සභාවලට තේරී පත්වන්නන්ට, බලය බෙදාගැනීමේ විධිවිධානවල ඇති දුර්වලතා පෙන්වාදීමට වැඩි නීත්‍යනුකූලභාවයක් සහ දැනුමක් ඇත.

මේ පසුබිම සමඟ යහපත් චේතනාවන් ඇති ජනයා, මේ මොහොතේ ප්‍රමුඛ අවශ්‍යතාව ලෙස මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාව දැකීම සාධාරණය. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට කරන ලද ඉල්ලීමට, සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ, රැස්වීම අවසන් කිරීමයි. එසේ වූයේ ඔහු මෙම විකල්පය ප්‍රතික්ෂේප කිරීම නිසාද, එසේත් නැතිනම් මේ සම්බන්ධයෙන් ඔහුගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය නැවත සළකා බැලිය යුතු නිසාද යන්න ඉදිරි දිනවලදී වඩාත් පැහැදිලි වනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටිකෝණයකින් බලන කල, මැතිවරණ තරගයක දී, වාසියක් අත්වීමට ඉඩක් නැතැයි යන ආණ්ඩුවේ ගණන් බැලීම් මත පදනම්ව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මතයන් ඛාදනය කිරීමක් වන මැතිවරණ කල්දැමීම සාධාරණීකරණය කළ නොහැක. 2024 මැතිවරණය පැවැත්වෙන වසර බවත්, ඒ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගනු ඇති බවට විශ්වාසය පළ කරන බවත්, ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කර තිබේ.

දැන් පටන් ගන්න

මෙම තත්ත්වය තුළ, අවම වශයෙන් 2024 සැප්තැම්බර් හි ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය දක්වා, හැකිතාක් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුවට අවශ්‍ය විය හැකිය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ කාලසටහනට ගැළපෙන පරිදි මෙලෙස මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනය වීමකි. රටට අවාසි සහගත වූ මෙවැනි මැතිවරණ උපාමාරු ශ්‍රී ලංකාවට අමුත්තක් නොවේ. එවැනි එක් අවස්ථාවක් වූයේ 1975 දී එවකට ආණ්ඩුව විසින් ගෙන ආ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කාරණය උපයෝගී කරගනිමින්, තවත් වසර දෙකක කාලයක් පැවැති ආණ්ඩුවට බලය ලබාදීමයි. එහෙත්, වසර දෙකකින් පැවැති මැතිවරණයෙන් එම ආණ්ඩුව විශාල පරාජයක් ලැබීය. තවත් අවස්ථාවක් වූයේ, ආණ්ඩුවේ කාලය අවසන් වූ විට, මහ මැතිවරණයක් පවත්වනවා වෙනුවට, පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීමය. එමගින්, 1983 කළු ජූලියේ දෙමළ විරෝධී සංහාරය සහ ඉන් ඉක්බිතිව දශක තුනක අභ්‍යන්තර යුද්ධයකට පසුබිම සකස් කළේය.

ජනාධිපති වික්‍රමසිංහගේ අනාගත දැක්ම කුමක් වුවත්, ඔහු ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ය. මෙමගින් ඉල්ලා සිටින්නේ, පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙසයි. ජනාධිපතිවරයාගේ කැපවීමේ වටිනාකම සහ විශ්වසනීයත්වය පවතින්නේ, ආණ්ඩුව එම මැතිවරණ දිනනවාද නැද්ද යන්න මත නොව, ඔහු ගන්නා තීරණවල අවංකභාවය තුළය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතිවලට අනුකූලව කටයුතු කිරීම, ඔහු කෙරෙහි සහ ඔහුගේ සහතිකය කෙරෙහි දේශපාලනයේ විශ්වාසනීයත්වය ජනිත කරනු ඇත. රට නිවැරදි මගට ගැනීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනාධිපතිවරයා ආරම්භ කර තිබේ. නිදහස ලැබූ දා සිටම රට පීඩාවට පත්කළ වාර්ගික ගැටුම සම්බන්ධයෙන්ද විසඳුමක් ඔහුට අවශ්‍ය බව දැන් පෙනේ. මෙම ද්විත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, 2024 සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කැඳවන තෙක් ජනාධිපතිවරයාට සම්පූර්ණ වසරක කාලයක් තිබේ.

පසුගිය මාස හයක කාලය තුළ ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති ආකාරයට, 13 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිලිව අවධාරණය කෙරී තිබේ. තමාට පෙර බලයට පැමිණි ජනාධිපතිවරුන් හත්දෙනාට කිරීමට නොහැකි වූ දේ ඔහු කළ යුතුව තිබේ. එනම් පොලිස්, ඉඩම් බලතල ඇතුළු පළාත්වලට බලතල බෙදාහැරීමට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමයි. විද්වතුන්, ප්‍රජා නායකයන් සහ සිවිල් සමාජ සංවිධාන විසින් මෙහෙයවන, දැනුවත් කිරීමේ ක්‍රියාවලියකින්, මෙම බලතල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ව්‍යවස්ථාදායක කමිටුවේ සාමාජිකයකු වූ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ. සර්වේස්වරන් විසින් මෑතකාලීනව ලියූ ලිපිවලින්, පොලිස් සහ ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම බෙදාහැරියත්, අදාළ ක්‍රියාවලිය මධ්‍යම ආණ්ඩුවේ අවසාන අධිකාරිය යටතේ පවතින ආකාරය පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය වන්නේ විශ්වාසයේ ඌණතාවයි. එය සෑම තැනකම පවතින අතර, එය ජය ගැනීමට විශ්වාසවන්ත නායකත්වයක් අවශ්‍ය වේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.