
ජෙහාන් පෙරේරා
22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම නැවත වරක් මහජන අවධානයට යොමු වී තිබේ. මෙම යෝජනාව වටා ඇති මතභේදය, විනිසුරුවන්ගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමේ ප්‍රශ්නයට වඩා විශාල වී ඇත. එයින් නව ආණ්ඩුව ශ්‍රී ලංකාව ගෙනයන දිශානතිය පිළිබඳව වඩාත් මූලික ප්‍රශ්නයක් මතුකර තිබේ. 2024 මැතිවරණ ප්‍රකාශනය මගින් ජාතික ජන බලවේගය පොරොන්දු වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන අතරතුර පවතින ව්‍යවස්ථාමය රාමුව ක්‍රියාත්මක කරන බවයි. කල් ඉකුත් වී ඇති පළාත් සභා මැතිවරණය වසරක් ඇතුළත පවත්වන බවටත්, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් අඩංගු වී ඇති ව්‍යවස්ථාපිත සහතිකයන් ක්‍රියාත්මක කරන බවටත් එය ප්‍රතිඥා දුන්නේය. එබැවින් සංශෝධනයක් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබාගත හැකිද යන්න සහ තමන් සතු බහුතරය භාවිත කරන ආකාරය මගින් විශ්වාසය ශක්තිමත් කරන්නේද නැතහොත් බලපෑමක් ඇති කරන්නේද යන්න පිළිබඳව ආණ්ඩුවට නැවත සිතාබැලීමට සිදුව ඇත.
ආණ්ඩුව විසින් ළඟදීම පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටතින් ද දැනටමත් සැලකිය යුතු අනතුරු ඇඟවීමක් පැමිණ තිබේ. විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වෙට්, යෝජිත සංශෝධනය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් සිය කනස්සල්ල පළකර ඇත. විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු විය හැකි බවට ඇය අනතුරු ඇඟවා ඇති අතර, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට මෙම වෙනස අදාළ කිරීමේ ඇති විශේෂිත අනතුර පෙන්වාදී තිබේ. ආණ්ඩුව මෙය සහ අනෙකුත් අන්තර්ජාතික නිරීක්ෂණයන් දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුව ඇත. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගේ මෙම අනපේක්ෂිත මැදිහත්වීම විශේෂ බරකින් යුක්ත වේ. මෙම වෙනස අවශ්‍ය වන්නේ මන්දැයි සහ දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට එය අදාළ විය යුත්තේ මන්දැයි ආණ්ඩුව පැහැදිලිව විස්තර කළ යුතුය.
ශ්‍රී ලාංකිකයෝ දශක ගණනාවක් පුරා දූෂණය, දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය, දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කිරීම අත්විඳ ඇත්තාහ. රට පිරිසිදු කිරීමට රජයට ඇති කැපවීම පිටුපස ඇති හැඟීම ඔවුන්ට තේරුම්ගත හැකිය. ඔවුන් බොහෝ විට ආණ්ඩුව මනින්නේ එහි අරමුණු සහ එය ලබාදෙන ප්‍රතිඵල මගිනි. අන්තර්ජාතික ප්‍රජාව වඩාත් සමීපව බලනු ඇත්තේ වෙනස් කරනු ලබන නීති, ඉන් බලපෑමට ලක්වන ආයතන සහ නිර්මාණය වන පූර්වාදර්ශයන් දෙසය. එහෙත් මෙහිදී පවා දේශීය ඡන්දදායකයාගේ ඉවසීම ආණ්ඩුවට සැහැල්ලුවට ගත නොහැක. වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වන ලද නවතම Mood of the Nation මත විමසුමෙන් හෙළිවූයේ ආණ්ඩුවට ඇති අනුමැතිය 2026 පෙබරවාරි මාසයේ පැවති සියයට 65 සිට ජූලි මාසයේදී සියයට 50 දක්වා පහත වැටී ඇති බවයි. ආර්ථිකය යහපත් වෙමින් පවතින බව විශ්වාස කළ පිරිස සියයට 64 සිට සියයට 41.63 දක්වා පහත වැටී ඇති අතර, එය ආර්ථිකය නරක අතට හැරෙන බව පැවසූ සියයට 40.29 ට වඩා තරමක් ඉහළ අගයකි.
දේශීය අවබෝධය
වර්තමානයේ, පසුගිය දශක කිහිපය තුළ සිදුකරන ලද අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් නඩු පැවරීමට රජය ප්‍රමුඛතාවයක් ලබාදෙන බව පෙනීයන අතර එය සැබවින්ම මහජන මතයට අනුකූල වේ. කාලයක් තිස්සේ යටපත්ව තිබූ සාක්ෂි කරළියට එමින් තිබේ. පසුගිය දශකවල දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය අත්විඳි ශ්‍රී ලාංකිකයන්, සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර ගැනීමට රජයට ඇති තීරණාත්මක කැපවීම තේරුම් ගනු ඇත. ඔවුහු ඉතිහාසය දන්නා අතර, බොහෝවිට විසඳා නොමැතිව ඉතිරි වූ අතුරුදහන්වීම්, ඝාතන, දූෂණ වංචා සහ දේශපාලන ඇඟිලි ගැසීම් මතක තබාගෙන සිටිති. එහෙත් අන්තර්ජාතික විශේෂඥයන්ගෙන් එවැනි දේශීය හෝ ජාතික අවබෝධයක් බලාපොරොත්තු විය නොහැක, මන්ද ඔවුන්ගෙන් බොහෝදෙනෙක් සීමිත කාලයක් සඳහා පමණක් තම තනතුරු දරන බැවිනි. ඔවුන් බලන්නේ ඔවුන් ඉදිරියේ ඇති ආයතන සහ නීති දෙසය. විශේෂ වාර්තාකාරිනියගේ මැදිහත්වීම මෙම ප්‍රවේශය නිදර්ශනය කරයි. යෝජිත වෙනස අධිකරණයේ ස්වාධීනත්වය සඳහා වූ අන්තර්ජාතිකව පිළිගත් ආරක්ෂණ ක්‍රමවේදයන් සමඟ අනුකූල වන්නේද යන්න ඇය විමසා සිටියි.
ධනාත්මක පාර්ශ්වයෙන් බලන කල, ශ්‍රී ලංකාවේ දිගුකාලීන අන්තර්ජාතික හවුල්කරුවන් විසින් රටේ ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ දූෂණ විරෝධී වැඩසටහන සාදරයෙන් පිළිගෙන ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නවතම සමාලෝචනය මගින් කාර්යසාධනය සාමාන්‍යයෙන් යහපත් ලෙස විස්තර කර ඇති අතර යහපාලනය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සටහන් කර ඇත. යුරෝපීය සංගමයේ නවතම ඇගයීම මගින් සටහන් කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට, මාර්ගගත සුරක්ෂිතතා පනත ප්‍රතිසංස්කරණය කිරීමට, සිවිල් අවකාශය ආරක්ෂා කිරීමට, වගවීම ශක්තිමත් කිරීමට සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයෑමට රජය කැපවී සිටින බවයි. එහෙත් රජයේ ක්‍රියාත්මකවීම මන්දගාමී සහ අසමාන ලෙස පවතින බවටද අනතුරු ඇඟවීම් පවතී. යහපාලනය පිළිබඳ අන්තර්ජාතික කනස්සල්ල ද්විතියික කාරණයක් ලෙස සැලකීම රජය කරන වරදකි. ආධාර, වෙළඳාම, ආයෝජන, ණය ප්‍රතිසංස්කරණය, තාක්ෂණික සහාය සහ වෙළඳපොළ ප්‍රවේශය සඳහා රටට අන්තර්ජාතික ප්‍රජාව අවශ්‍ය වේ.
වර්තමානයේ, යුරෝපීය සංගමයේ GSP+ යෝජනා ක්‍රමය සැලකිය යුතු ආර්ථික වැදගත්කමකින් යුක්ත වන අතර, වත්මන් වැඩපිළිවෙළ 2026 දී අවසන් වන විට නැවත අයැදුම් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරයි. 22 වැනි සංශෝධනය පිළිබඳව රජය විශේෂයෙන් ප්‍රවේශම් විය යුත්තේ මේ බැවිනි. එහි ප්‍රබලම ප්‍රතිචාරය වියයුත්තේ අන්තර්ජාතික විවේචන විදේශීය ඇඟිලි ගැසීම් ලෙස බැහැර කිරීම නොව, ඒවා සමඟ බැරෑරුම් ලෙස සහ පාරදෘශ්‍ය ලෙස කටයුතු කිරීමයි. තුනෙන් දෙකක බහුතරයක් ඇති ආණ්ඩුවට සිය කැමැත්ත පැනවිය හැකිය, නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නැවත ගොඩනැගීමට උත්සාහ කරන රජයක් සිය දේශීය හා අන්තර්ජාතික විවේචකයන් දිනාගැනීමටත්, ප්‍රතිසංස්කරණ සඳහා ඇති කැපවීම කෙරෙහි ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගීමටත් උත්සාහ කළ යුතුය. ත්‍රස්තවාදය සලක්වීමේ පනත, මාර්ගගත ආරක්ෂණ පනත සහ පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන්, පවතින ශ්‍රී ලංකා ආණ්ඩුවලින් දිගු කලක් තිස්සේ බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණ, අන්තර්ජාතික ප්‍රජාව පෙන්වා දී ඇති ප්‍රධාන කරුණු අතර වේ. ඒ සියල්ලම රාජ්‍ය බලය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් අතර සමතුලිතතාවයට අදාළ වේ.
අන්තර්ජාතික විශ්වාසය
අතීතයේ පැවැති දැවැන්ත දූෂණ හා අපරාධ පිරිසිදු කිරීමේ දුෂ්කර කාර්යය පෙන්වාදෙමින් බලය මධ්‍යගත කිරීම සාධාරණීකරණය කිරීමට පෙළඹවීමක් තිබිය හැකිය. ආණ්ඩුව මුහුණදෙන්නේ මුල් බැසගත් දූෂණයට හා අපරාධවලට වන අතර, තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා බලය අවශ්‍ය බව සාධාරණ ලෙස තර්ක කළ හැකිය. එහෙත් පවතින අනතුර නම්, අතීතය පිරිසිදු කිරීමට භාවිත කරන ක්‍රමවේදයන් විසින්ම, මුලින් මෙම ගැටලු ඇති කිරීමට හේතු වූ මධ්‍යගත බලයේ පැරණි පුරුදු නැවත නිර්මාණය කළ හැකි වීමයි. අන්තර්ජාල සුරක්ෂිතතා පනත වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක නොකරන බව පැවසූ ජනාධිපති දිසානායක, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව නීති සම්පාදනය කිරීමට ඇති කැපවීම නැවත අවධාරණය කළේය. දේශපාලන හා පරිපාලන බලය විමධ්‍යගත කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීමටත් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙන් ද පොරොන්දු විය. එහෙත් පළාත් සභා තවමත් තේරී පත් වූ නියෝජිතයන් නොමැතිව පවතී. මෙම පොරොන්දු දැන් යථාර්ථයක් විය යුතුය.
යෝජිත රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ නීතිය නැවත කරළියට පැමිණීම මගින් පෙන්නුම් කරන්නේ ද එම කනස්සල්ලමය. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ 2018 දී මුලින්ම මතුවූ සහ 2020 දී ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ නැවත මතු වූ මෙම නීතිය, මූල්‍ය කාර්ය සාධක බලකායේ අවශ්‍යතාවලට අනුකූලව නියාමනය ශක්තිමත් කිරීමට සහ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ අවි ආයුධ ව්‍යාප්තියට අරමුදල් සැපයීමේ අවදානම අවම කිරීමට අදහස් කරන බව රජය පවසයි. එහෙත් නියාමනය කිරීම රාජ්‍ය නොවන සංවිධාන ඉලක්ක කර ගැනීමක් නොවිය යුතුය. කෙටුම්පත් නීතිය මගින් රාජ්‍ය නොවන සංවිධාන යන්න නිර්වචනය කර ඇති පුළුල් පරාසය හේතුවෙන් ඕනෑම ස්වේච්ඡා සමිතියක් ඊට අයත් වන අතර, නොමිලේ හෝ ලාභ නොලබන සංවිධාන කෙරෙහි රාජ්‍යයට ලැබෙන පුළුල් බලතල හේතුවෙන් කනස්සල්ලක් මතු වී තිබේ. නියාමන රාමුවක් නීත්‍යානුකූල හා අවශ්‍ය වේ. එහෙත් ස්වේච්ඡා සහ ලාභ නොලබන සංවිධානවලට වරකට වසර තුනක් සඳහා ලබාදෙන රාජ්‍ය බලපත්‍ර හරහා ක්‍රියාත්මක වීමට බලකිරීම සහ සංවිධානවලට දඩ පැනවීමට හෝ අත්හිටුවීමට ඇති පුළුල් බලතල මගින් සිවිල් ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකළ හැකිය.
පසුගිය සතියේ රාජ්‍ය නොවන සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර පැවැති හමුව සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීම පිළිබඳ වඩාත් දිරිගන්වනසුලු උදාහරණයකි. සිවිල් සමාජ නියෝජිතයෝ කෙටුම්පත් නීතිය පිළිබඳව තමන්ගේ කනස්සල්ල මතුකළ අතර ප්‍රධාන ලේකම්වරයා ඊට සවන් දී ඒවා රජයේ නායකත්වයට දන්වන බවට පොරොන්දු විය. එම අදහස් හුවමාරුව මිත්‍රශීලී, පරස්පර ගෞරවයෙන් යුක්ත වූ අතර එය ඵලදායී වනු ඇතැයි බලාපොරොත්තු වේ. වඩාත් පුළුල් ලෙස අවශ්‍ය වන්නේ සවන්දීමේ එම ආකල්පයයි.
ශ්‍රී ලංකාව අද වන විට යථාතත්ත්වයට පත්වීම මෙන්ම ස්වයං-පෝෂිත ආර්ථික හා දේශපාලන සංවර්ධනයක් සඳහා සූදානම්ව සිටී. එහෙත් ලබාගත් ජයග්‍රහණ තවමත් අවදානම් සහිතය. ශ්‍රී ලංකාවට දේශීය නීත්‍යානුකූලභාවය මෙන්ම අන්තර්ජාතික විශ්වාසය ද අවශ්‍ය වේ. අපරාධ සහ දූෂණවලට එරෙහිව සටන් කරන අතරතුර සහ සිය වැඩසටහනට එල්ල වන ප්‍රබල විරෝධතාවලට මුහුණදෙන අතරතුර, අතීතයේ අනිසි ලෙස භාවිත කරන ලද රාජ්‍ය බලතල අඩුකිරීමට දුන් පොරොන්දු ඉටු කිරීම රජය විසින් ආරම්භ කළ යුතුව ඇත. එනම්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම, මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම, පළාත් සභා පාලනය නැවත පිහිටුවීම, ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම සහ ජාතික සංවර්ධනයට දායක වීමට සිවිල් සමාජයට ඉඩකඩ ඇති බව තහවුරු කිරීමයි. ආණ්ඩුව සිය විරුද්ධවාදීන්ගේ සහ විවේචකයන්ගේ කනස්සල්ලට සවන්දෙමින් සාධාරණ හා සෘජු විසඳුම් සෙවීම මගින් ඔවුන්ව දිනාගත යුතුය. රජයේ ප්‍රජාතන්ත්‍රවාදී කැපවීමේ පරීක්ෂණය වන්නේ එය සිය බලය කොතරම් වගකීමෙන් යුතුව භාවිත කිරීමට තෝරාගන්නේද යන්නයි.