
ජෙහාන් පෙරේරා
මෙවර වෙසක් දින පණිවිඩ මඟින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යන දෙදෙනා ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ප්‍රතිසන්ධානය, සහජීවනය සහ යුක්තිය අත්‍යවශ්‍ය සාධක බව අවධාරණය කළහ. බුදුදහමේ ඉගැන්වීම් සමකාලීන සමාජයට බෙහෙවින් අදාළ වන බව පෙන්වාදුන් ජනාධිපති දිසානායක, වෙසක් උත්සවය යනු “සියලු ප්‍රජාවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුකම සහ සහජීවනය” මෙන්ම ප්‍රතිසන්ධානයේ ද සංකේතයක් ලෙස හැඳින්වීය. එලෙසම අග්‍රාමාත්‍ය අමරසූරිය ද කුලය, ජාතිය හෝ ආගම නොබලා සැමට යුක්තිය සහතික වන සමාජයක් ගොඩනැගීමට කැපවන ලෙස ඉල්ලා සිටියාය. මෙම පණිවිඩ හුදු ආගමික අභිලාෂයන් පමණක් නොවූ අතර, ඒවා ශ්‍රී ලංකාවේ පශ්චාත් නිදහස් ඉතිහාසයේ බරපතළම අසාර්ථකත්වයන් වෙත එල්ල කළ සෘජු අභියෝගයන් විය. දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය, එහිදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ දේශපාලන විසඳුමක් සෙවීමට අපොහොසත් වීම ඊට ඇතුළත් ය.
ශ්‍රී ලංකාවට සිය උපරිම හැකියාවන් කරා ළඟාවීමට බාධා පමුණුවන අභියෝගයන් බවට මේවා අතීතයේ මෙන්ම වර්තමානයේ ද පත්ව තිබේ. මෙයට අමතරව, සමාජ ධූරාවලියේ පහළම මට්ටමේ සිටින ප්‍රජාවන් කොන්කරනු ලබන සමාජීය හා ආර්ථික අසමානතාවන් ද දිගින් දිගටම පවතියි. එවැනි අසාධාරණයන් සඳහා පවතින වඩාත්ම කල් පවත්නා උදාහරණයක් වන්නේ මලයාහ (වතුකරයේ) දෙමළ ප්‍රජාව මුහුණදෙන අත්දැකීමයි. මෙම මුල් බැසගත් බැහැර කිරීමේ පරිමාණය පැහැදිලිව වටහා ගැනීම වටී. 1946 ජනලේඛන දත්තවලට අනුව, මලයාහ දෙමළ ප්‍රජාව ආසන්න වශයෙන් 780,600 දෙනකුගෙන් සමන්විත වූ අතර, එය රටේ සමස්ත ජනගහණයෙන් සියයට 11.73ක් විය. ඒ අනුව එකල ඔවුන් ලංකාවේ දෙවැනි විශාලතම ජනවාර්ගික ප්‍රජාව බවට පත්ව සිටියේ, එවකට 733,700ක් හෙවත් ජනගහණයෙන් සියයට 11.02ක් වූ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවටත් වඩා විශාල වෙමිනි.
මලයාහ දෙමළ ප්‍රජාවට පුරවැසිභාවය සහ ඡන්ද අයිතිය අහිමි කිරීම, පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික සුළුතරයකට සිදුකරන ලද පළමු මහා අසාධාරණයයි. එහි ප්‍රතිඵල විනාශකාරී මෙන්ම දිගුකාලීන විය. වතුකරයේ තම ශ්‍රමය තුළින් රටේ ආර්ථිකයට අතිමහත් දායකත්වයක් සපයන ලද ප්‍රජාවක් දේශපාලන සහභාගිත්වයෙන් බැහැර කර මූලික අයිතිවාසිකම් පවා අහිමි කරනු ලැබීය. මෙය රටේ පශ්චාත් නිදහස් ඉතිහාසය මත දිගු අඳුරු සෙවනැල්ලක් හෙළූ දේශපාලන හා සතිකය සදාචාරාත්මක බිඳවැටීමකි. එම අසාධාරණයේ වගකීම පුළුල් ලෙස බෙදාගත යුතුව ඇත. විවිධ ජනවාර්ගික නියෝජනයන්ගෙන් යුත් දේශපාලන නායකයන් ඊට එරෙහි වීමට අපොහොසත් විය. එහි ප්‍රතිඵලය වූයේ, ජාතික සමෘද්ධිය සඳහා ඔවුන් ලබාදුන් දායකත්වයට ලැබිය යුතු පිළිගැනීමට වඩා බෙහෙවින් අඩු මට්ටමකට මෙම ප්‍රජාව කොන්කරනු ලැබීමයි. අද වන විට, දශක අටකට පමණ පසු, ශ්‍රී ලංකාවට එම ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබී ඇතත්, එය කළ හැක්කේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ සැබෑ සමාජීය අන්තර්ග්‍රහණය ද ගැළපෙන්නේ නම් පමණි.
දිගුකාලීන දුක්ගැනවිලි
මලයාහ දෙමළ ජනතාවගේ දිගුකාලීන දුක්ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජාතික ජන බලවේග ආණ්ඩුව නැවත නැවතත් පිළිගෙන තිබේ. සිය මැතිවරණ ප්‍රකාශය මඟින් ද ජාතික ජන බලවේගය ප්‍රතිඥා දුන්නේ, වතුකරයේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත්, ඉඩම් සහ නිවාස අයිතිය ශක්තිමත් කිරීමටත්, අධ්‍යාපනය හා පොදු සේවාවන් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීමටත්, වතු ප්‍රජාව ජාතික සංවර්ධනයට වඩාත් පූර්ණ ලෙස දායක කර ගැනීමටත්ය. ජාතික ජන බලවේගයේ 2023 නුවරඑළිය ප්‍රකාශනය ද වතු ප්‍රජාව පරම්පරා ගණනාවක් තිස්සේ බැහැර කිරීමට ලක්ව ඇති බව පිළිගත් අතර, නිවාස, ඉඩම් හිමිකම, යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ ආර්ථික අවස්ථා වල පවතින විෂමතා පියවීමට පියවර ගන්නා බවට පොරොන්දු විය. එවැනි ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව අද වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබේ. කාලයත් සමඟ පුරවැසිභාවය පිළිබඳ ගැටලු බොහෝදුරට විසඳී ඇති අතර, දශක ගණනාවක බැහැරකිරීම් නිසා ඇති වූ සමාජ-ආර්ථික ප්‍රතිඵල තවමත් වතුකරයේ දෛනික ජීවිතය හැඩගස්වමින් තදින් මුල් බැසගෙන පවතියි. මැයි 21 වන දින ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් සමාජ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මෙම කරුණ මෙන්ම තවත් වැදගත් කරුණු රැසක් අවධානයට ලක් විය. පී. මුතුලිංගම්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම සංවිධානය පසුගිය වසර 35 පුරා මලයහ තමිල් ජනතාවට සමාන පුරවැසියන් ලෙස සමාජ හා ආර්ථික යුක්තිය භුක්ති විඳීමට ඇති අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිට ඇත.
බොහෝ වතු කම්කරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ, ඔවුන්ට ලැබෙන අඩු ආදායම් මට්ටමයි. කාර්යයේ පවතින දුෂ්කරතාව හා වෙහෙසකාරී බව හා සසඳන විට ඔවුන්ගේ දෛනික වැටුප රටේ පවතින අවම වැටුප් මට්ටම් අතර පවතියි. වතු ශ්‍රමය තවමත් පදනම් වී ඇත්තේ පරම්පරා ගණනාවකින් සුළු වෙනසකට ලක්වූ ක්‍රමවේදයන් මතය. වෙනත් තේ නිෂ්පාදනය කරන තරඟකාරී රටවලට සාපේක්ෂව මෙරට ඵලදායිතාව අඩු මට්ටමක පවතින්නේ, කම්කරුවන්ගේ දක්ෂතාවල අඩුවක් නිසා නොව, ඔවුන්ගේ සුභසාධනය, කුසලතා සහ ආර්ථික සංචලතාව සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම පැහැරහැර ඇති බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරුවෝ අඩු වැටුප් සහ සීමිත ආර්ථික අවස්ථා නමැති විෂම චක්‍රයක සිරවී සිටිති. ඔවුන්ගේ නිවාස තත්ත්වය ද මෙම දුෂ්කරතා තවත් සංකීර්ණ කරයි. බොහෝ වතු පවුල් තවමත් ජීවත් වන්නේ වතු සමාගම්වලට හෝ රජයට අයත් ලයින් කාමර නිවාසවලය. සුරක්ෂිත හිමිකාරිත්වයක් නොමැතිකම නිසා වත්කම් රැස්කර ගැනීමට, ණය පහසුකම් ලබාගැනීමට හෝ ඔවුන්ගේ අනාගතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට ඇති හැකියාව සීමා වී ඇත. ‘ඩිට්වා’ සුළිකුණාටුවෙන් වතු නිවාසවලට හානි සිදු වූ අවස්ථාවේදී, එම නිවාසවල ජීවත් වූවන්ට තමන් ජීවත් වූ නිවසේ අයිතිය තමන් සතුව නොතිබීම නිසා රජයේ වන්දි ලබාගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවිය.
මෙම ගැටලු මධ්‍යම කඳුකරයට පමණක් සීමා නොවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පෞද්ගලික වතු සහ කුඩා වතු නිෂ්පාදන ආශ්‍රිතව ජීවත් වන වතු කම්කරුවෝ ද මෙවැනිම අභියෝගවලට මුහුණදෙති. දකුණු පළාතේ පෞද්ගලික තේ වතුවල සේවය කරන මලයාහ දෙමළ කම්කරුවන්ට සිදුවන බරපතළ අපයෝජනයන් පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ මෑතකාලීන වාර්තාවක් මඟින් කරුණු ලේඛනගත කර තිබිණි. වැටුප් රඳවා තබාගැනීම, ණය බරිතභාවය මත පිඩාවට පත්වීම, ගමනාගමන සීමාකිරීම් සහ බියගැන්වීම් ඊට ඇතුළත් වන අතර, එම වාර්තාව තර්ක කරන්නේ, මේවා අන්තර්ජාතිකව පිළිගත් බලහත්කාරී ශ්‍රමයේ ලක්ෂණවලට සමාන වන බවයි. මෙම සොයාගැනීම් සුළුකොට තැකිය නොහැකිය. එමඟින් හෙළිදරව් වන්නේ, මලයාහ දෙමළ ප්‍රජාවේ ව්‍යුහාත්මක බැහැරකිරීම් යනු අතීතයේ ඉතිරි වූවක් නොව, වර්තමානයේ ද සක්‍රීයව පවතින තත්ත්වයක් බවයි. ආර්ථික අවදානම සහ සමාජීය වශයෙන් කොන්කිරීම හේතුවෙන් බොහෝ වතු කම්කරුවන්ට තවමත් නිසි ආරක්ෂාවක් හෝ යුක්තිය ඉටුකර ගැනීමේ ප්‍රවේශයක් නොමැත. රජයේ මෑතකාලීන වතු ප්‍රතිසන්ධාන මුලපිරීම සුවිශේෂී වැදගත්කමක් ගන්නේ මෙවැනි පසුබිමක් තුළය.
දෙවැනි අදියර
භාවිතයට නොගෙන පවතින වතු ඉඩම් සහ වත්කම් ආයෝජන සඳහා ලබාදීමේ වැඩසටහනේ දෙවැනි අදියර රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙහි අරමුණ වන්නේ අඩු කාර්යසාධනයක් සහිත වත්කම්, රැකියා උත්පාදනය කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ කලාපීය ආර්ථිකයන් පුනර්ජීවනය කිරීමට සමත් ඵලදායී ව්‍යවසායන් බවට පරිවර්තනය කිරීමයි. මෙම වැඩසටහන මඟින් වතු ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත්, ඵලදායිතාව ඉහළ නැංවීමටත්, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත තුළ නව අවස්ථා නිර්මාණය කිරීමටත් අපේක්ෂා කරයි. මෙම අරමුණු අත්‍යවශ්‍ය මෙන්ම සාදරයෙන් පිළිගත යුතු ඒවා වෙයි. කෙසේවෙතත්, ආර්ථික ප්‍රතිසන්ධානය පමණක් ප්‍රමාණවත් නොවන අතර, ශ්‍රී ලංකාවේම අතීත ඉතිහාසය ඒ සඳහා අනතුරු ඇඟවීම් සපයයි. මීට පෙර සිදුකළ වතු නවීකරණ ක්‍රියාවලීන්හිදී ඵලදායිතාව ඉහළ නැංවීමට උත්සාහ කළ ද, කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වන ජනතාවගේ ව්‍යුහාත්මක බලගැන්වීම් කෙරෙහි අවධානය යොමුනොකෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ ධනය බෙදානොහරිමින්, ධනය පමණක් උත්පාදනය කළ ආයෝජනයන්ය. ධනය නිපදවූ කම්කරුවන්ට එහි ප්‍රතිලාභ හිමිකර දෙනවා වෙනුවට ඔවුන් නැවතවරක් සලකනු ලැබුවේ හුදු ශ්‍රම යෙදවුම් ලෙස පමණි. වත්මන් ප්‍රතිසන්ධානය ද එම තර්කනයම අනුගමනය කළහොත්, එය එම අසාර්ථකත්වයම නැවත ඇති කිරීමේ අවදානමකට ලක්වෙයි.
ප්‍රතිසන්ධානය සාර්ථක වීමට නම්, වතු කම්කරුවන් හුදු ශ්‍රම බලකායක් ලෙස පමණක් නොව, අයිතිවාසිකම්, අභිලාෂයන් සහ සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදාගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති පාර්ශ්වකරුවන් (Stakeholders) ලෙස පිළිගත යුතුය. නිවාස හිමිකම, සුරක්ෂිත ඉඩම් භුක්තිය, ගුණාත්මක අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ ව්‍යවසායකත්වය ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ මුල සිටම ඊට ඇතුළත් කළ යුතුව ඇත. එබැවින් මලයාහ දෙමළ ප්‍රජාව වෙනුවෙන් රජය දක්වන කැපවීම් මෙම ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සෑම අදියරකටම ඇතුළත් කළ යුතුය. වඩාත් මතභේදාත්මක ගැටලුවක් වන ඉඩම් සම්බන්ධයෙන් ස්වාධීන ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවීමට රජයට සලකා බැලිය හැකිය. එවැනි ආයතනයකට පිළිගත් රජයේ නිලධාරීන්, වෘත්තිකයන් සහ සියලුම ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ නියෝජිතයන් ඇතුළත් විය යුතුය. එය ඉඩම් ප්‍රතිපත්තිය පුළුල් ලෙස සමාලෝචනය කර, වෙන්කිරීම් සහ භාවිතය සඳහා විනිවිදභාවයෙන් යුත් ප්‍රතිපත්ති සකස්කරමින්, තීරණ ගැනීමේදී සාධාරණත්වය සහතික කළ යුතු අතර, ආරවුල් විසඳීම සඳහා විශ්වාසදායක යාන්ත්‍රණයක් සැපයිය යුතුය. විශ්වසනීය ඉඩම් කොමිෂන් සභාවක් මඟින්, ඉඩම් ප්‍රතිසන්ධානයන් සිදුකරනු ලබන්නේ නම්, යම් නිශ්චිත කණ්ඩායම්වල ප්‍රයෝජනය සඳහා නොව ජාතික අවශ්‍යතාව උදෙසා එය සිදුවන බවට මහජන විශ්වාසය ගොඩනැගීමට උපකාරී වනු ඇත.
ඓතිහාසික අසාධාරණයන් නිවැරදි කිරීම එක් ප්‍රජාවකට පමණක් සිදුකරන සහනයක් ලෙස නොදැකිය යුතුය. එය ජාතික සමගිය සඳහා කරනු ලබන ආයෝජනයක් ලෙස වටහා ගත යුතුය, මන්ද තමන් විසින් වැරදි සිදුකරන ලද පිරිසක් දිගින් දිගටම බැහැර කර තැබීමෙන් සමාජයක් ශක්තිමත් නොවන බැවිනි. ඊට පටහැනිව, සමාජයක් ශක්තිමත් වන්නේ එම බැහැර කිරීම් අවසන් කිරීමෙනි. නිදහසින් පසු ජනවාර්ගික සුළුතරයකට සිදු වූ පළමු මහා අසාධාරණය ආපසු හැරවිය නොහැකිය. එහෙත් එහි ප්‍රතිඵල සඳහා විසඳුම් සෙවිය හැකි අතර, එසේ කිරීමෙන් ප්‍රතිසන්ධානය ශක්තිමත් වන අතර, සමාජ ඒකාබද්ධතාවය වැඩිදියුණු වී, සියලු ප්‍රජාවන් සමාන ගෞරවයකින් සහ සමාන බලාපොරොත්තුවකින් ජීවත් වන රටක් පිළිබඳ දැක්ම වෙත ශ්‍රී ලංකාව සමීප කරවනු ඇත. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ වෙසක් පණිවිඩ මඟින් පොරොන්දු වූයේ මෙයයි. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වතු ප්‍රතිසන්ධානය යනු, එම පොරොන්දුව හුදු වචනවලට පමණක් සීමා නොකර, ඕනෑම තනි රජයකින් ඔබ්බට පවතින සහ මේ සඳහා දීර්ඝතම කාලයක් බලා සිටි ජනතාව වෙත ළඟා වන තිරසාර ප්‍රතිපත්තියක් බවට පත්කිරීමට ලැබී ඇති සුදුසුම මොහොතයි.
leelagemalli / June 7, 2026
ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ එහි විවිධ ප්‍රජාවන් අතර ගැටුම්, අවිශ්වාසය සහ බෙදීම් විඳදරාගෙන ඇත. බොහෝ අය තවමත් යුද්ධයෙන් ඇති වූ නොකියූ මතකයන් සහ තුවාල මෙන්ම සංහිඳියාව සඳහා වෙහෙසෙන රටක දෛනික ජීවිතයේ අභියෝග ද දරා සිටිති. එවැනි සන්දර්භයක් තුළ, ජනතාව විසින් තේරී පත් වූ පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයාට එකමුතුකම, අන්‍යෝන්‍ය ගෞරවය සහ ජාතික සුවය ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වගකීමක් ඇත. විශේෂිත ප්‍රජාවක්, ආගමක් හෝ කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් හෝ විවේචනය කරමින් අර්ථ දැක්විය හැකි ප්‍රසිද්ධ ප්‍රකාශ, ජනතාව එකට එක් කිරීමට වඩා පවතින බෙදීම් ගැඹුරු කිරීමේ අවදානමක් ඇත.
රජය සමඟ එකඟ වුවත් නැතත්, ජනාධිපතිවරයා සහ අගමැති යන දෙදෙනාම ප්‍රවේශමෙන්, ඇතුළත් කර ගත් සහ වගකිවයුතු මහජන සන්නිවේදනය තුළින් ආදර්ශයෙන් මඟ පෙන්විය යුතුය. ශ්‍රී ලංකාව එහි සියලුම පුරවැසියන්ට අයත් වේ. සිංහල බෞද්ධයන්ට රට පුරා පූජනීය ස්ථාන නැරඹීමට නිදහස ඇති සේම, දෙමළ හින්දු භක්තිකයන්ට සහ අනෙකුත් ප්‍රජාවන්ගේ සාමාජිකයින්ට ද ජාතියේ ඕනෑම තැනක සංචාරය කිරීමට, වන්දනාමාන කිරීමට සහ ආගමික හා සංස්කෘතික කටයුතුවලට සහභාගී වීමට අයිතියක් ඇත. එබැවින් නායකයින් තම වචන භාවිතා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව තවදුරටත් බෙදිය හැකි වරදවා වටහාගැනීම් ඇති කිරීමට නොව, විශ්වාසය ගොඩනැගීමට, සහජීවනය දිරිමත් කිරීමට සහ ජාතික සමගිය ශක්තිමත් කිරීමට ය.
/
leelagemalli / June 7, 2026
Sri Lanka has endured decades of conflict, mistrust, and division among its diverse communities. Many people still carry unspoken memories and wounds from the war, as well as the challenges of daily life in a country striving for reconciliation. In such a context, the President, as the first citizen elected by the people, has a special responsibility to promote unity, mutual respect, and national healing. Public statements that can be interpreted as targeting or criticizing a particular community, religion, or group risk deepening existing divisions rather than bringing people together.
Whether one agrees or disagrees with the government, both the President and the Prime Minister must lead by example through careful, inclusive, and responsible public communication. Sri Lanka belongs to all its citizens. Just as Sinhalese Buddhists are free to visit sacred sites across the country, Tamil Hindus and members of other communities also have the right to travel, worship, and participate in religious and cultural activities anywhere in the nation. Leaders should therefore use their words to build trust, encourage coexistence, and strengthen national unity, rather than creating misunderstandings that may further divide the people of Sri Lanka.
This version keeps the focus on unity, reconciliation, and responsible leadership while remaining respectful and suitable for public discussion.
/