
ජෙහාන් පෙරේරා
වසර ගණනාවක් පුරා විසඳුමකින් තොරව විවෘත ප්‍රශ්න ලෙස පැවැති, බෙහෙවින් ආන්දෝලනාත්මක නඩු කිහිපයක නීතිමය ක්‍රියාවලීන් ක්‍රමයෙන් අවසාන අදියර කරා ළඟාවෙමින් පවතී. 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, 2015 වසරේ ඇති වූ මහබැංකු බැඳුම්කර වංචාව සහ පසුගිය දශක දෙකක හෝ ඊට වැඩි කාලයකදී පැවති අනුප්‍රාප්තික ආණ්ඩුවලට දැඩි ලෙස සම්බන්ධ වූ විවිධ දූෂණ චෝදනා මීට ඇතුළත් ය. එක් කලෙක අඩාල වී ඇති බවක් පෙනෙන්නට තිබූ විමර්ශන, දැන් උසාවි සහ විමර්ශන ආයතන හරහා ඉදිරියට යන ලකුණු පෙන්නුම් කරයි. මෑතකාලීන වර්ධනයන්ගෙන් පෙනීයන්නේ, මෙම දිගුකාලීන නඩු තීරණාත්මක අදියරකට අවතීර්ණ වෙමින් පවතින බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේදී, සිදුවූ නව අත්අඩංගුවට ගැනීම් සහ පරීක්ෂණ හේතුවෙන්, ප්‍රහාරය එල්ල කළ සෘජු වැරදිකරුවන්ගෙන් ඔබ්බට ගිය බුද්ධි අංශවල අසාර්ථකත්වයන් සහ කලකදී සිදුවූ බව කියන දේශපාලන හවුල්කාරිත්වයන් පිළිබඳ ප්‍රශ්න කෙරෙහි නැවතත් දැඩි අවධානයක් යොමුව තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සල්ලේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තැබීම, මෙම ප්‍රහාරය පිටුපස ඇති සම්පූර්ණ ඇත්ත අනාවරණය කර ගැනීම සඳහා මහජන උනන්දුව තීව්‍ර කිරීමට හේතු වී ඇත.
මහබැංකු බැඳුම්කර වංචාව ද නැවතත් අවධානයට ලක්ව තිබේ. නඩු පැවරීම් ඉදිරියට ගෙනයෑමට බාධාවක්ව පැවති නීතිමය බාධක මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කරන ලද අතර, නඩුව කඩිනමින් ඉදිරියට ගෙන යන ලෙස නියෝග කළේය. මේ හරහා රටේ මෑතකාලීන ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ මූල්‍ය වංචාවක් පිළිබඳ නඩුව නැවත විවෘත වී ඇති අතර, ප්‍රමුඛ පෙළේ දේශපාලන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයන් කිහිපදෙනකුම නැවතත් නීතිමය පරීක්ෂාවට ලක්ව ඇත. මෙම නොවිසඳුණු නඩුවලට සම්බන්ධ වී සිටින්නේ නිදහසින් පසු දේශපාලන බෙදීමේ දෙපැත්තටම නායකත්වය දුන් පෙර පැවති ආණ්ඩුවල ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් බැවින්, ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින මෙම නීතිමය ක්‍රියාවලීන්ට එරෙහිව දෘශ්‍යමාන මෙන්ම නොපෙනෙන දැඩි විරෝධයක් මතුවනු ඇතැයි කෙනකුට පහසුවෙන් සිතාගත හැකිය.
දැනට විමර්ශනය වෙමින් පවතින මෙම නඩු, දේශපාලන කඳවුරු සීමාවන් ඉක්මවා යන අතර රටේ ඉහළම තනතුරු හෙබවූ පුද්ගලයන් ද ඊට සම්බන්ධ වී සිටිති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වගවීම පිළිබඳ ක්‍රියාවලියට එරෙහිව විවිධ පාර්ශවයන්ගෙන් බාධා මතුවීමට ඉඩ තිබේ. යුධ සමයේදී අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත පුද්ගලයන් පිළිබඳ නඩු තවමත් විවෘත කිරීමට ඉතිරිව ඇත. ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා පත්කර ඇති නමුත්, දැනට සිදුවන ආකාරයේ බරපතල විමර්ශනයක් මෙතෙක් සිදුවී නොමැත. මෙවැනි තත්ත්වයක් තුළ, බලයට අලුතින් පැමිණි පිරිසගෙන් සැදුම්ලත් වත්මන් ආණ්ඩුව, පරම්පරා ගණනාවක් තිස්සේ බලය හෙබවූ විපක්ෂයේ පිරිසගෙන් අනිවාර්යයෙන්ම මතුවන මෙම බාධාවලට මුහුණ දීම සඳහා උපරිම බලයක් රඳවාගැනීමට කැමැත්තක් දක්වනු ඇතැයි අනුමාන කළ හැකිය. අධිකාරය විමධ්‍යගත කිරීමට හෝ තමන් සතු රාජ්‍ය බලයේ මෙවලම් අවම කිරීමට මෙය සුදුසුම කාලය නොවන බව ආණ්ඩුව ගණන් බලා තිබෙන්නට පුළුවන. ඒ වෙනුවට, විමර්ශන, නඩු පැවරීම් සහ ප්‍රතිසංස්කරණ කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙනයෑමට නම්, යම් කාලසීමාවකට මධ්‍යගත පාලනයක් අවශ්‍ය බව ආණ්ඩුව විශ්වාස කරනවා විය හැකිය.
පළාත් සභා මැතිවරණය
ආණ්ඩුවට එරෙහිව ජනතාව සහ මහජන මතය පෙළගැස්වීමට විපක්ෂය ගන්නා උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නොමැති බව පෙනෙන්නට තිබේ. බඩු මිල ඉහළ යෑමට එරෙහිව විරෝධයක් ගොඩනැගීමට ගත් උත්සාහය ඊට එක් උදාහරණයකි. නැඟී එන මිල ගණන් සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනතාව නිසැකවම පීඩාවට පත්ව සිටියද, එම උත්සාහයන් සැලකිය යුතු බලවේගයක් බවට පත්කිරීමට ඔවුහු අපොහොසත් වූහ. නීතිමය කටයුතු ඉදිරියට යත්ම, මැයි මාසයේදී විපක්ෂයේ දේශපාලනඥයන්ට සිරගත වීමට සිදුවනු ඇතැයි ජනාධිපති දිසානායක අනාවැකි පළකළ අවස්ථාවේදී තවත් උත්සාහයක් මතු වූ නමුත්, එය එලෙස සිදු වූයේ නැත. විවේචකයන් කියාසිටියේ, එවැනි ප්‍රකාශ මගින් අධිකරණයේ තීන්දුවලට බලපෑම් කිරීමට අදහස් කරන බවයි. එසේ වුවද, එම විවේචනය ද මහජනතාව අතර ප්‍රචලිත කිරීමට ඔවුන් අසමත් විය. ඊට බොහෝදුරට හේතුව මහජන මතකය තවමත් නැවුම්ව පැවතීමයි. පෙර පැවති ආණ්ඩු විසින් සිදුකළ ආර්ථික වැරදි කළමනාකරණය, දූෂණ වංචා, බලය අභිභවා යෑම සහ අවසානයේ සිදුවූ ආර්ථික බිඳවැටීම පිළිබඳව බොහෝදෙනකුට තවමත් මතකය. ඒ හා සසඳන විට, වත්මන් ආණ්ඩුව තවදුරටත් මහජන සුභවාදී ආකල්ප සහ විශ්වාසනීයත්වයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටී. නීතිමය ක්‍රියාමාර්ග සාක්ෂි සහ නිසි ක්‍රියාවලිය මත පදනම් වන තාක් කල්, ආණ්ඩුව කෙරෙහි සැක නොසිතා අවස්ථාවක් ලබාදීමට මහජනතාව සූදානම් බව පෙනේ.
දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් තම මධ්‍යගත බලය අඩුකර ගැනීමට ආණ්ඩුව දක්වන, හිතාමතාම සිදුකරන මෙන්ම පරෙස්සම් සහගත ප්‍රවේශය දෙස බැලිය යුත්තේ මෙම පසුබිම තුළය. පාර්ලිමේන්තුව විසින් මාසිකව හදිසි නීති රෙගුලාසි අනුමත කිරීම සාධාරණීකරණය කිරීමට රජය ඉදිරිපත් කරන්නේ, ‘ඩිට්වා’ සුළිකුණාටුවෙන් සිදු වූ විනාශයට ප්‍රතිචාර දැක්වීමේ අඛණ්ඩ අවශ්‍යතාවයයි. කෙසේවෙතත්, මැතිවරණ ප්‍රතිසංස්කරණ මුවාවෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට දක්වන අකමැත්ත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අපොහොසත් වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කල් දැමීම දෙස එකට බලන කල, ඒ සියල්ලෙන් පෙනීයන්නේ දේශපාලනිකව සංවේදී මොහොතක උපරිම පාලනයක් රඳවාගැනීමට දක්වන කැමැත්තයි. මෙම ප්‍රවේශයට සාධාරණ තර්කයක් ඇත. ප්‍රධාන නීතිමය සහ දේශපාලනික ගැටුම්වලට මුහුණදෙන ආණ්ඩු බොහෝ විට ස්ථාවරත්වය සහ පාලනය අපේක්ෂා කරයි. ඕනෑම ඒකාධිපතියකු ද එසේමය. කෙසේවෙතත්, මෙහි අවාසිදායක පැත්තක් ද තිබේ.
දේශපාලන තරඟකාරිත්වය සඳහා නීත්‍යානුකූල අවස්ථාවන් අහිමි කළ විට, එය බොහෝ විට ප්‍රකාශ වන්නේ ගැටුම්, බාධා කිරීම් සහ ධ්‍රැවීකරණයන් හරහා ය. මේ අවස්ථාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ප්‍රමුඛතාවය දීමේ වාසිය නම්, එමගින් ගොඩනැගෙමින් පවතින දේශපාලන පීඩනය අවම කර ගත හැකිවීමයි. ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ මෙම මැතිවරණ පවත්වන ලෙස එක හඬින් ඉල්ලා සිටියි. ඒවා පැවැත්වීමෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවලට පළාත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් සහ දේශපාලන අධිකාරියක් ලබාගැනීමට අවස්ථාවක් සැලසේ. වාර්ගික සහ ආගමික සුළුතරයන් බහුතරයක් වෙසෙන උතුර සහ නැගෙනහිර පළාත්වලට මෙය විශේෂයෙන්ම සත්‍ය වනු ඇත. පළාත් සභා ක්‍රමය බිහි වූයේ ජාතික ගැටලුවට (වාර්ගික ගැටුමට) සාධාරණ විසඳුමක් ලෙස බව අමතක කළ නොහැක. පළාත් මට්ටමින් මැතිවරණ පැවැත්වීම, දේශපාලන රැකවරණ (දේශපාලන හිතවත්කම්) මත නොව, ප්‍රජාතන්ත්‍රවාදී තරඟකාරිත්වය තුළින් නව පරපුරේ දේශපාලන නායකයන් බිහිවීමට අවස්ථාව සලසා දෙනු ඇත. දැනට නීතිමය පරීක්ෂාවට ලක්ව සිටින බොහෝදෙනෙක් පැරණි පරපුරට අයත් වන අතර, නව පරපුර ඔවුන්ගේ අවශ්‍යතාවලට එතරම් යටහත් පහත් නොවනු ඇත.
කුළුණු දෙක
ද්විපාර්ශ්වික (පක්ෂ දෙකේම) සහයෝගය ලබාගත හැකි තවත් ප්‍රතිසංස්කරණයක් වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එහි මුල් අරමුණෙන් ඔබ්බට ගිය තත්ත්වයන් සඳහා භාවිත කිරීම හේතුවෙන් නැවත වරක් ආන්දෝලනයට ලක්ව තිබේ. හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මෙම පනත යටතේ රැඳවුම් භාරයට ගැනීම, යුධ සමයේ සිට රඳවා සිටින සමහර දෙමළ සිරකරුවන් දිගින් දිගටම සිරගත කර තැබීම සහ ප්‍රකාශන ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම යන කරුණු, නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම සහ අසීමිත විධායක බලය පිළිබඳ කනස්සල්ල නැවත මතුකර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම දුෂ්කර වී ඇත්තේ, එය ජාතික ආරක්ෂාව සහ භූමියෙහි අඛණ්ඩතාව පිළිබඳ කනස්සල්ල සමඟ සමීපව බැඳී පවතින බැවිනි. නැඟී එන බෙදුම්වාදී ගැටුමට මුහුණදීම සඳහා 1979 දී තාවකාලික පියවරක් ලෙස හඳුන්වාදුන් එය, දශක ගණනාවක යුද්ධය පුරා නොනැසී පැවති අතර යුද්ධය අවසන් වී දිගු කලක් ගත වූ පසුව ද නීති පොතේ එලෙසම ඉතිරිව ඇත.
ඒ අතරම, අසාමාන්‍ය බලතල අවභාවිත වීමට වැඩි ඉඩක් ඇති බව ඉතිහාසය පෙන්වාදෙයි. නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීමට හෝ පුළුල් විධායක අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ සලසන නීති, ඒවායේ මුල් අරමුණට පමණක් සීමාවන්නේ කලාතුරකිනි. විවිධ දේශපාලන පක්ෂවල ආණ්ඩු තම විරුද්ධවාදීන්ට සහ විවේචකයන්ට එරෙහිව මෙවැනි බලතල භාවිත කර ඇත. එසේ කිරීමට පෙළඹීම, පාලනයකින් තොරව ලැබෙන අසීමිත අධිකාරිය සතු සහජ ලක්ෂණයකි. එබැවින් ඉදිරි මාවත විය යුත්තේ වගවීම සහ ප්‍රතිසංස්කරණ යන දෙකෙහි එකතුවකි. ප්‍රධාන දූෂණ සහ ආරක්ෂාවට අදාළ නඩුවලදී ස්වාධීන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා රජය දිගින් දිගටම සහයෝගය දැක්විය යුතුය. මේ සම්බන්ධයෙන් දේශපාලන අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීම නීතියේ ආධිපත්‍යය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කරන අතර, කිසිදු පුද්ගලයකු නීතියට ඉහළින් නොසිටින බවට වන මූලධර්මය තහවුරු කරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සහ මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන අතරම, නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා සපුරාලන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන නීති සම්පාදනයක් මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කළ හැකිය.
මෙහිදී සලකා බැලිය යුතු අන්තර්ජාතික මානයන් ද පවතී. යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ‘GSP Plus’ බදු සහනය දිගින් දිගටම ලබාදීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු පාලන සහ මානව හිමිකම් ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය නැවත නැවතත් දැනුම්දී ඇත. ආර්ථික පුනරුත්ථාපනය ජාතික ප්‍රමුඛතාවයක්ව පවතින මෙවන් වකවානුවක, මෙම ගැටලු සම්බන්ධයෙන් ප්‍රගතියක් ලැබීම ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික තත්ත්වය ශක්තිමත් කරනු ඇත. ආණ්ඩුවට දැන් ලැබී ඇත්තේ දුර්ලභ අවස්ථාවකි. පෙර පැවති ආණ්ඩුවලට නොතිබූ ප්‍රබල මැතිවරණ ජනවරමක්, මහජන සුභවාදී ආකල්පයක් සහ අවංකභාවය පිළිබඳ කීර්තියක් වත්මන් ආණ්ඩුව සතුය. දේශපාලන ප්‍රතිරෝධයන් අවම කරන සහ මහජන සහයෝගය පුළුල් කරන, අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සමඟින්, දිගු කලක් ප්‍රමාද වී ඇති නඩුවලදී යුක්තිය ඉටු කිරීමේ කාර්යය රජයට එකට ඒකාබද්ධ කළ හැකිය. මේ මොහොතේ, වගවීම සහ බලය බෙදාගැනීම යනු වඩා හොඳ අනාගතයක් වෙනුවෙන් ප්‍රමාදයකින් තොරව සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට ශ්‍රී ලාංකිකයන් කැපවිය යුතු ප්‍රධාන කුළුණු දෙකයි. දැන් අසාර්ථක වුවහොත් මීළඟ අවස්ථාව එනතුරු දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.