
ජෙහාන් පෙරේරා
2009 වසරෙන් පසු පශ්චාත්-යුද සමයේදී, ආණ්ඩු සිය පාර්ලිමේන්තු සුපිරි බහුතරය භාවිත කළේ තම බලය තවදුරටත් තහවුරු කර ගැනීමට, එම බලය අවභාවිත කිරීමට සහ දූෂණය පෙර නොවූ විරූ මට්ටමකට ගෙනයෑමටය. ආයතනික සංවරණ හා තුලන (checks and balances) දුර්වල කිරීමට සහ විධායක අධිකාරිය ශක්තිමත් කිරීමට ව්‍යවස්ථාමය වෙනස්කම් හඳුන්වාදෙනු ලැබීය. බලය ඒකරාශී වීම, දූෂණය සහ ආර්ථික අවපාලනය යන කරුණු එක්ව 2022 ආර්ථික බිඳවැටීමට සහ ඉන් අනතුරුව ඇති වූ ‘අරගලය’ නම් ජනතා නැගිටීමට තීරණාත්මක ලෙස දායක විය. එම නැගිටීමෙන් මතු වූ ‘ක්‍රම වෙනසක්’ (system change) සඳහා වූ ඉල්ලීම, හුදෙක් එක් දේශපාලනඥයන් පිරිසක් වෙනුවට තවත් පිරිසක් පත්කර ගැනීමේ ඉල්ලීමක් පමණක් නොවීය. එය රට පාලනය කිරීමේ වෙනස්ම ක්‍රමවේදයක් සඳහා වූ ඉල්ලීමකි.
2024 වසරේ පැවති මැතිවරණවලදී ජාතික ජන බලවේගය බලයට පත්කරමින්, ඡන්දදායකයන් විසින් අතීත දේශපාලනය සහ එය නියෝජනය කළ පිරිස් ප්‍රතික්ෂේප කරන ලදී. ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කළේ මුහුණු මෙන්ම ක්‍රමවේදයන් ද වෙනස් කිරීම වෙනුවෙනි. වසර දෙකකට පසු, අද මතුව ඇති ප්රශ්නය වන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ගුණාත්මකව නව පාලන අවධියක් උදාකරමින් ක්‍රම වෙනස පිළිබඳ පොරොන්දුව යථාර්ථයක් බවට පත්කරනු ඇත්ද යන්නයි. අතීතය හා සසඳන විට වර්තමාන පාලනය තුළ කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක් දක්නට ලැබේ. මින් වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, මෙරට පෙර නොවූ විරූ අන්දමින් දූෂණයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. සෑම දේශපාලන පක්ෂයකම පාහේ දේශපාලනඥයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද නිරන්තරයෙන් අධිචෝදනා ගොනුකර අධිකරණය හමුවට පමුණුවා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙය රට තුළ මුල් බැසගෙන තිබූ දණ්ඩමුක්තියේ (නීතියෙන් ගැලවී සිටීමේ) සංස්කෘතියෙන් බැහැරවීම වැදගත් පියවරකි. දේශපාලන තනතුරු සහ අතීත බලපෑම් මගින් නීතියෙන් ආරක්ෂාවක් නොලැබෙන බව එයින් පෙන්නුම් කෙරේ. වත්මන් ආණ්ඩුවේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ, තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට සහ ප්රජාතන්ත්රවාදයට අහිතකර වන පරිදි වහාම ව්‍යවස්ථා වෙනස්කම් සිදුකළ පෙර පැවති ආණ්ඩු මෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය භාවිත නොකිරීමයි. 2026 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව සිය 2/3 බහුතරය භාවිත කරමින් සම්මත කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කරන ලදී. එහෙත් එය, විධායක ජනාධිපති ධුරය වෙත බලය ඒකරාශී කළ 18 වැනි සහ 20 වැනි සංශෝධන වැනි අතීත ව්‍යවස්ථා වෙනස්කම් සමඟ කිසිසේත් සැසඳිය නොහැක.
නුසුදුසු නීති
මෙවන් පසුබිමක් තුළ, ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ (PSTA) සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (POCA) යන නව ආරක්ෂක නීති දෙක ඉදිරිපත් කිරීම, ආණ්ඩුව සිය මැතිවරණ ප්රකාශනයට අවංකව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ අයට මහත් කම්පනයක් ගෙනදුන්නේය. විසම්මුතිය මර්දනය කිරීමට භාවිත කළ හැකි වෙනත් නීතියක් ඒ වෙනුවට ආදේශ කරනවා වෙනුවට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු පීඩාකාරී සහ අමානුෂික නීති අහෝසි කරන බවට ජාතික ජන බලවේගය පොරොන්දු වී තිබිණි. පසුගිය මැතිවරණවලදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයන් ඇතුළු දේශපාලන හා සිවිල් ක්‍රියාකාරී කණ්ඩායම් විසින් පවත්වන ලද මහජන විරෝධතාවලින් මෙම කම්පනය සහ පාවාදීම පිළිබඳ හැඟීම පැහැදිලිව දිස්විය. මෙහිදී මතුවන ගැටලුව වන්නේ රජයකට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හෝ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට නොහැකි විය යුතුය යන්න නොවේ. ඒවා ඕනෑම රජයක නීත්‍යානුකූල වගකීම් වේ. ගැටලුව වන්නේ, පුළුල් ලෙස අර්ථ දක්වා ඇති වැරදි සහ ආරක්ෂක අංශ හා විධායක බලධාරීන් වෙත පුළුල් බලතල පවරන අධික ලෙස දැඩි නීති මගින් බලය අවභාවිත වීමේ හැකියාව වැඩිකිරීමයි.
ජාතික ආරක්ෂාවේ නාමයෙන් හඳුන්වාදෙන සුවිශේෂී බලතල, දේශපාලන විරුද්ධවාදීන්ට, ජනමාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයන්ට සහ සුළුතර ප්රජාවන්ගේ සාමාජිකයින්ට එරෙහිව භාවිත කළ හැකි ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලින් ඕනෑ තරම් සාක්ෂි සපයයි. එවැනි බලතල නීතියට ඇතුළත් කළ පසු, ඒවා හඳුන්වාදුන් අවස්ථාවන් ඉක්මවා පවතින අතර, මුලින් ප්‍රකාශ කළ අරමුණුවලට වඩා බෙහෙවින් වෙනස් අරමුණු සඳහා අනුප්‍රාප්තික ආණ්ඩු විසින් භාවිත කළ හැකිය. ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගැනීම සහ අධිකරණ අධීක්ෂණයට අදාළ වෙනස්කම් ඇතුළුව සංශෝධන හතරක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීරණය කර ඇති අතර, ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ’ වගන්ති 67න් 52ක් සංශෝධනය කළ යුතු බවද තීරණය කර ඇත. මෙම පුළුල් වෙනස්කම් මගින් පෙන්නුම් කරන්නේ, මුල් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ප්‍රමාණවත් ලෙස පරීක්ෂාවට ලක්කළේද යන්න පිළිබඳව ආණ්ඩුව නැවත සිතාබැලිය යුතු බවයි.
සංශෝධනවලින් පසුව පනත් කෙටුම්පතක් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ පරීක්ෂණයෙන් සමත් වූ පමණින්, එය ප්රජාතන්ත්රවාදයකට සුදුසු නීතියක් බව හෝ ජනතාව ලබාදුන් ජනවරමට අනුකූල වන බව හෝ ප්රජාතන්ත්රවාදී නිදහස ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කරන බව ඉන් අදහස් නොවේ. මෙම පසුබිම තුළ, සිවිල් සමාජය සහ ජනමාධ්‍ය සංවිධාන අතර කනස්සල්ලට හේතු වී ඇති තවත් ව්‍යවස්ථාදායක යෝජනා දෙකක් තිබේ. පළමුවැන්න 1980 ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත වෙනුවට ගෙන ඒමට අපේක්ෂිත ‘රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත් කෙටුම්පතයි’. දෙවැන්න ‘ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පතයි’. මෙම දෙකම සමාගමයේ නිදහස (freedom of association) සහ ප්රකාශනයේ නිදහස පිළිබඳ වැදගත් ප්‍රශ්න මතුකරයි.
උපදේශන අවශ්‍ය වේ
රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත මගින් සිවිල් සමාජ සංවිධාන කෙරෙහි රාජ්‍ය බලධාරීන්ට පුළුල් අධීක්ෂණ බලතල ලබාදෙන අතර, එම සංවිධානවල උපදේශන හා පෙනීසිටීමේ කටයුතු (advocacy) සීමාකළ හැකි සහ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව තම ක්‍රියාකාරකම් පෙළගැස්වීමට බලකෙරෙන විධිවිධාන පිළිබඳව කනස්සල්ල මතු වී තිබේ. සිවිල් සමාජය සහ සිවිල් සමාජ සංවිධාන සමඟ සාකච්ඡා කර මෙම කෙටුම්පත් නීතිය පුළුල් ලෙස සංශෝධනය කිරීමට රජය එකඟ වී ඇත. ජනමාධ්‍ය පනත් කෙටුම්පත වෘත්තීය ප්රමිතීන් ඉහළ නැංවීමේ මුලපිරීමක් ලෙස ඉදිරිපත් කර තිබුණද, ව්‍යවස්ථාපිත නියාමනය මගින් ජනමාධ්‍ය ස්වාධීනත්වයට බාධා එල්ලවීමේ හැකියාව පිළිබඳව ද කනස්සල්ල මතු වී තිබේ. සමානාත්මතාවට සහ වෘත්තියේ නිදහසට බලපාන වගන්ති ඇතුළුව, ජනමාධ්‍ය පනත් කෙටුම්පතේ විධිවිධානවල ඇති ව්‍යවස්ථාමය ගැටලු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුනාගෙන ඇත.
ක්‍රම වෙනසක් සඳහා කැපවී සිටින ආණ්ඩුවක්, තමන්ට පෙර සිටි ආණ්ඩුවලට වඩා වැඩි වශයෙන් උපදේශනාත්මක (සාකච්ඡාමය) විය යුතුය. මෙම ව්‍යවස්ථාදායක මුලපිරීම් හතර සම්බන්ධයෙන් ගත්කල, නීති සම්පාදනය කිරීමේදී සිවිල් සමාජයේ සහ දේශපාලන විපක්ෂයේ දායකත්වය ලබාගත හැකිව තිබූ අවධිවලදී ඔවුන් සමඟ පැවති සම්බන්ධතාවය ප්‍රමාණවත් නොවීය. ආණ්ඩුව ආරක්ෂක අංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව මත දැඩි ලෙස විශ්වාසය තබා ඇති බව පෙනෙන්නට තිබෙන අතර, ප්රජාතන්ත්රවාදී සමාජයක ප්‍රමුඛතාවන්ට අනිවාර්යයෙන්ම සමාන නොවන ආයතනික ප්‍රමුඛතා ඇති රාජ්‍ය බලධාරීන්ට නීති සම්පාදනය කිරීමේ කටයුතු ඵලදායී ලෙස පවරා දී ඇත. මෙය ‘ගැඹුරු රාජ්‍යය’ (deep state) ලෙස අර්ථ දැක්විය හැකි අතර, එයින් අදහස් කෙරෙන්නේ මැතිවරණ නොතකා ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමට, පටු අභිලාෂයන් ආරක්ෂා කිරීමට හෝ වැරදි වසන්කිරීමට තිරය පිටුපස සිට ක්‍රියාත්මක වන මුල් බැසගත් සහ වගවීමක් නොමැති බල ජාලයන්ය.
මෙම ආයතනවල විශේෂඥ දැනුම වැදගත් වුවද, එය මහජන උපදේශනයට සහ දේශපාලන විවාදයට ආදේශකයක් විය නොහැක. සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමකින් තොරව මෙම නීති පාර්ලිමේන්තුව හරහා බලහත්කාරයෙන් සම්මත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත්, උපදේශනය යන්නෙන් අදහස් විය යුත්තේ අත්‍යවශ්‍ය තීරණ දැනටමත් ගෙන අවසන් වූ පසු උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීමට වඩා වැඩි දෙයකි. ඉන් අදහස් විය යුත්තේ යළි සලකා බැලීමට ඇති කැමැත්ත සහ අවශ්‍ය විටෙක ප්රජාතන්ත්රවාදී පාලනය සමඟ නොගැලපෙන යෝජනා ඉල්ලා අස්කර ගැනීමට ඇති සූදානමයි.
ක්‍රම වෙනසක් සඳහා තමන් තුළ ඇති කැපවීම හුදු දේශපාලන නායකත්වයේ වෙනසකට වඩා වැඩි යමක් බව පෙන්වීමට ආණ්ඩුවට දැන් අවස්ථාවක් උදා වී තිබේ. විවේචනවලට ඇහුම්කන් දීමට තමන් සූදානම් බවත්, සමාජයට වඩාත් සුදුසු දේ පිළිබඳව අවසන් තීරණය සැමවිටම රාජ්‍ය ආයතන සතුව නොමැති බව පිළිගන්නා බවත්, ප්රජාතන්ත්රවාදී නිදහස කැපනොකර ජාතික ආරක්ෂාව තහවුරු කළයුතු බව හඳුනාගන්නා බවත් ආණ්ඩුවට පෙන්විය හැකිය. ආණ්ඩු වගවීමට ලක්කිරීමේදී ස්වාධීන සිවිල් සමාජයක සහ ජනමාධ්‍යයක වැදගත්කම තමන් අවබෝධ කරගෙන සිටින බවද ආණ්ඩුවට පෙන්නුම් කළ හැකිය. බලය බෙදාගැනීම සහ අතීතයට මුහුණදීම යන ගැටලු ඇතුළුව, දිගු කලක් නොවිසඳී පවතින ජනවාර්ගික ගැටලුවට ප්‍රමාණවත් ලෙස විසඳුම් ලබාදීම තහවුරු කිරීම ද මෙයට ඇතුළත් වනු ඇත. ක්‍රම වෙනස පිළිබඳ ලිට්මස් පරීක්ෂාව වනු ඇත්තේ, මෙම නීති මගින් ජනිත කර ඇති විවේචනවලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමටත්, අවශ්‍ය තැන්හිදී සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමටත්, සාධාරණීකරණය කළ නොහැකි නීති ඉල්ලා අස්කර ගැනීමටත් ආණ්ඩුව සූදානම්ද යන්නයි.