21 June, 2024

Blog

මර්දනය තිරසාර විකල්පයක් නොවේ

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ආපසු පැමිණි බව පැවසුණත් රට තවමත් පවතින්නේ දැඩි අසීරුතාවකය. කියුබාවේ සහ නිව්යෝර්ක් යන ස්ථාන දෙකේදීම, ජනාධිපතිවරයා ලෝක වේදිකාවේ යෝධයන් සමඟ තමාගේ සලකුණ තැබීය. කියුබාවේ පැවැති G77 සමුළුවේදී රාජ්‍ය නායකයන් අමතමින් ජනාධිපතිවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවල අනාගතය හැඩගැස්වීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ වැදගත්කම පිළිබඳව කථා කළේය. ඔහු 21 වැනි සියවසේ මතුවන නව තාක්‍ෂණික බෙදීම ගැන සඳහන් කළ අතර, එම පරතරය පියවා ගැනීම සඳහා ඩිජිටල්කරණය හා Big Data, IoT, කෘත්‍රිම බුද්ධිය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෛව තාක්ෂණය සහ Genome Sequencing වැනි නව තාක්‍ෂණයන් අනුගමනය කිරීම අවශ්‍ය බව පෙන්වාදුන්නේය. ඔහු නව හවානා ප්‍රකාශනයට සහාය දැක්වීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළ අතර, G77 සහ චීනයේ සාමූහික හඬ අන්තර්ජාතික වේදිකාවල ප්‍රකාශ විය යුතු බව පෙන්වාදුන්නේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී රාජ්‍ය නායකයන් අමතමින්, ලෝක සාමය සඳහා අත්‍යවශ්‍ය වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය පුළුල් කිරීම සඳහා ඉල්ලා සිටිමින්, ජනාධිපතිවරයා සාමය ගොඩනැගීමේ අත්දැකීම් ලබාගත්තේය. ආර්ථික, මූල්‍ය, ආයතනික සහ ප්‍රතිසන්ධාන පෙරමුණු තුළ තමන් ආරම්භ කළ ප්‍රතිසංස්කරණ ජනතාව සහ රජය අතර විශ්වාසය යළි ගොඩනැංවීමට මෙන්ම, ආර්ථික ස්ථාවරත්වයට හා ප්‍රකෘතිය සඳහා අඩිතාලම දැමීම වෙනුවෙන් යොමු වූ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ඔහු එහිදී අවධාරණය කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බලවත් අභියෝගවලට මුහුණදීමට සිදුවේ. පසුගිය වසරේ සියයට 07 කින් සහ මේ වසරේ පළමු කාර්තුවේ සියයට 11 කින් හැකිළී ගිය රටේ ආර්ථිකය, දෙවැනි කාර්තුවේ දී තවදුරටත් සියයට 03 කින් හැකිළීමක් සමඟ, එහි අඛණ්ඩ පහත වැටීම ප්‍රදර්ශනය කර ඇත. හිඟයන් සහ පෝලිම් නොමැතිවීම ඔස්සේ බොහෝදුරට ප්‍රකාශ වන්නේ, ආර්ථික කාර්ය සාධනය ඉහළ යෑමක් නොව, මිනිසුන්ට වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය අඩුවී ඇති බවයි.

පසුගිය වසරක කාලයේදී වැඩිවුණු උද්ධමනය විසින් මිනිසුන්ගේ සැබෑ ආදායම අඩකින් අඩුකර ඇති අතර, බදු දැලෙහි පැටලී සිටින අයගෙන් තවදුරටත් ඉහළ බදු අයකිරීම හේතුවෙන්, මධ්‍ය ආදායම් සහ වෘත්තීය කාණ්ඩවල අය තවදුරටත් දිළිඳු බවට පත්කර තිබේ. මේ නිසා ආර්ථිකය තවත් අර්බුදයට ලක්කරමින් ඔවුහු රට හැර යමින් සිටිති. එහෙත් මධ්‍යම හා වෘත්තීය පන්තිවලට සෘජුවම බලපා ඇති බදු ප්‍රතිසංස්කරණ සහ දුප්පතුන්ට බලපා ඇති වැඩිකළ විකුණුම් බදු තවමත් IMF සහාය සඳහා අවශ්‍ය රටේ මූල්‍යවල හිඩැස් ආවරණය කිරීමට ප්‍රමාණවත් වී නොමැත. IMF සමඟ එකඟ වූ ආදායම් ඉලක්කයට සාපේක්ෂව රජයේ ආදායම පහත වැටී ඇත. රටේ අඛණ්ඩ ක්‍රියාවක් ලෙස බොහෝදෙනා විශ්වාස කරන බදු මුදල් අවභාවිතයෙන් හෝ මහා පරිමාණයෙන් කොල්ලකෑමෙන් තොරව වඩාත් විධිමත් ලෙස ආදායම් භාවිත කිරීමේ පැහැදිලි අවශ්‍යතාවක් පවතී.

අසමාන බර

තවදුරටත් ආර්ථික දුෂ්කරතා ජනතාව මත පැටවිය යුතු බවට ඇඟවීම් පවතී. ප‍්‍රශ්නය වන්නේ ආණ්ඩුව ධනවතුන් මත නොව දුප්පතුන් මත අසමාන ලෙස බර පැටවීමයි. IMF නිර්දේශ පරිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යම් බරක් බැංකු පද්ධතියට දැරීමට සිදුවුවහොත් බැංකු කඩාවැටෙනු ඇතැයි යන ආණ්ඩුවේ ආස්ථානය ගැන ගැඹුරින් විශ්ලේෂණය කරමින් සිටින වෙරිටේ රිසර්ච්(Verite Research) චින්තන පර්ෂදයේ ප්‍රධානියා වන ආචාර්ය නිශාන් ද මෙල් ඊට එකඟ නොවේ. ඔහු පෙන්වාදෙන්නේ රජය කිසිදු විශ්ලේෂණයකින් තොරව මෙම නිගමනයට පැමිණ ඇති බවයි. “ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ අනෙකුත් සියලුම රටවල්, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කොටසක් බැංකු අංශයට මාරුකර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බැංකු ආරක්ෂා කිරීමේ ක්‍රම තිබේ. රජය සියලු බර විශ්‍රාම වැටුප් අරමුදල් මත පටවා ඇති අතර, මෙම අරමුදල් සඳහා වන බලපෑම සීමිත බව පවසයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම නිසා බැංකුවලට බලපෑම් එල්ල වුවහොත් ඒවා කඩාවැටෙනු ඇතැයි ද රජය ප්‍රකාශ කරයි. ඉතින්, කුමන ප්‍රකාශය සත්‍යද? බැංකුවලට බරින් කොටසක් බෙදාගත නොහැක්කේ ඇයි?”

ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ බර සමාජයේ දිළිඳු කොටස් මත අසමාන ලෙස පැටවෙන බවට පොදු එකඟතාවක් ඇත. වගකීමක් නොමැතිකම නිසා, පාඩු සමාජගත කරමින් ලාභය පෞද්ගලීකරණය කරමින් රජය කටයුතු කරමින් සිටින බවද ආචාර්ය ද මෙල් පෙන්වා දී තිබේ. “බලයේ සිටින අය තම සහ ඔවුන්ගේ මිතුරන්ගේ ප්‍රයෝජනය සඳහා කටයුතු කරන අතර, කුඩා පිරිසකට වර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට හෝ ඉලක්කගත කණ්ඩායම්වලට ප්‍රතිලාභ ලබාදෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔවුහු සහතික වෙති. කෙසේ වෙතත්, තත්වය අයහපත් වූ විට, උදාහරණයක් ලෙස, අපට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සිදු වූ විට, පොදුවේ ජනතාවට පාඩුව දරාගැනීමට බලයේ සිටින අය වගබලා ගනිති. ලංකාවේ අප දකිමින් සිටින්නේ මෙයයි”. මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසින් රචනා කරන ලද සිවිල් සමාජ සංවිධාන එකතුවක් විසින් අනුග්‍රහය දක්වන ලද සිවිල් සමාජ පාලන රෝග විනිශ්චය වාර්තාවේ ද මෙම මතය දැකගත හැකිය, එහි සඳහන් වන්නේ, “වර්තමානයේ වර්ධනය වන ආර්ථික අසාධාරණය පිළිබඳ හැඟීම උග්‍ර කර ඇත්තේ නිර්මාපකයන් විසිනි. ඔවුහු යෝජිත ප්‍රතිසංස්කරණයේ බරෙහි කිසිදු කොටසක් දරන්නේ නැත. ප්‍රතිසංස්කරණ බර නැවතත්, කිසිදු මහජන සංවාදයකින් තොරව, මෙම අර්බුදයේ වින්දිතයින් මතට දැඩි ලෙස තල්ලු කර ඇත”.

තත්ත්වය වඩාත් අස්ථාවරභාවයට පත්කිරීම නම්, මෙම අසමාන බර පැටවීම දේශපාලන සුජාතභාවය අඩු ආණ්ඩුවක් විසින් සිදුකරනු ලැබීමයි. දැනට ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස සිටින්නේ, යන්තම් වසර එකහමාරකට පමණ පෙර,ඔවුන්ගේ දූෂිත හා තුච්ඡ ක්‍රියාවලින් රට බංකොලොත් කළ බවට චෝදනා ලැබ සිටින, විශාල ජනකායකගේ කෝපයෙන් සැඟවී පළාගිය පුද්ගලයන්ය. දැන් ඇමතිකම් දරන සියලුමදෙනාට (විපක්‍ෂයෙන් ගිය අතලොස්සක් හැර) එදා තම ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සිදු විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 134 දෙනකුගේ ඡන්දයෙන් නීත්‍යානුකූලව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු, ඔවුන්ව ඇමැතිධූරවලට නීත්‍යානුකූලව නැවත පත්කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. එහෙත් නීත්‍යානුකූලභාවයේ හිඟයක් ආණ්ඩුව තුළ දිගටම හොල්මන් කරන අතර, එය අනාරක්ෂිත තත්වයක් නිර්මාණය කර ඇත. විශ්වාසය මඳ බවේ ගැටලුව පියවාගැනීම සඳහා, නීත්‍යානුකූලභාවය ලබාගැනීමේ මාර්ගය නම්, සියලු ජනතාවට බලපාන පරිදි සාධාරණ තීරණ ගැනීමයි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති

නියමිත ප්‍රතිකර්ම සඳහා පියවර නොගතහොත් IMF සමඟ ආණ්ඩුවේ වත්මන් සම්බන්ධය පවත්වා ගැනීම දුෂ්කර විය හැකිය. මෙයට හේතුව IMF විසින් නියම කර ඇති ඉලක්ක සපුරා ගැනීමට රජය අසමත් වීම පමණක් නොවේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ අවිශ්වාසයක් ද පවතී. Verite Research විසින් සිදු කරන ලද මහජන මත විමසුමකින් පෙන්නුම් කර ඇත්තේ IMF වැඩසටහන හේතුවෙන් අනාගතයේදී ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 45 ක් පමණ විශ්වාස කරන බවයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙල අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් වනු ඇතැයි විශ්වාස කරන්නේ ජනගහණයෙන් සියයට 28 ක් පමණි. වත්මන් ආර්ථික අර්බුදයන් හමුවේ මිනිසුන් මුහුණදෙන දුෂ්කරතා විරෝධතා සහ උද්ඝෝෂණ ව්‍යාපාරවලට තුඩුදිය හැකිය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් ජනතාව මත පැටවී ඇති ආර්ථික දුෂ්කරතා සමනය කිරීමට විවිධ දේශපාලන පක්ෂ තමන්ගේම පොරොන්දු ලබාදීම සමඟ, තරඟකාරී මැතිවරණ දේශපාලනයේ තර්කනය ක්‍රියාත්මක විය හැකිය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ආරක්ෂා කිරීම සඳහා මැතිවරණ අත්හිටුවීමක් අවශ්‍ය විය හැකි බවට ආණ්ඩුවේ සාමාජිකයන් විසින් අදහස් දක්වා ඇති බව පෙනේ. ආර්ථිකය වෙනුවෙන් පෙනීසිටීම සඳහා එම මාර්ගය ගැනීමට ආණ්ඩුව කැමැත්තෙන් සිටින බව පෙන්නුම් කර ඇත. මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමට පෙර සිටම, මැතිවරණ පැවැත්වීමට වඩා ආර්ථික ප්‍රකෘතිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව පවසමින් ආණ්ඩුව මේ වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල්දැමුවේය. තවත් වසරකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, 2024 අයවැයෙන් මුදල් වෙන් කළහොත් රජයට ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට නොහැකි වනු ඇතැයි ජනාධිපතිවරයා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන විරෝධයේ යෙදීමේ හැකියාව සීමා කළ හැකි ආන්දෝලනාත්මක නීති දෙකක් මතුවීමද මෙම සන්දර්භය තුළ නිරීක්ෂණය කළ යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරමින් ගෙන ඒමට අපේක්ෂා කරන, කෙටුම්පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත පුළුල් විෂය පථයක් ආවරණය කරන අතර, මහජන විරෝධතා හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය එමගින් රජයට ලබාදෙයි. “මහජනයා හෝ මහජනයාගෙන් කොටසක් බිය ගැන්වීම” යැයි චෝදනා කරමින් මෙම නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකිය. දේශපාලන සන්නිවේදන අරමුණු සඳහා අන්තර්ජාලය භාවිත කිරීම සීමාකිරීමට අන්තර්ජාල ආරක්ෂණ පනතට හැකියාව ඇත. එමගින් සාමාජිකයන් පස්දෙනකුගෙන් යුත් කොමිසමක් ස්ථාපිත කරනු ඇති අතර, ඔවුන් සියල්ලන්ම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර, ජනතාව විසින් අන්තර්ජාලය ඔස්සේ පළකරන අන්තර්ගතයන්ගේ සත්‍යතාව තීරණය කිරීම ඔවුන්ට පැවරෙනු ඇත. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිෂන් සභාවට ඕනෑම සමාජ මාධ්‍ය ගිණුමක් හෝ අන්තර්ජාල ප්‍රකාශනයක් තහනම් කිරීමට හෝ අත්හිටුවීමට හැකි වන අතර, එම වැරදි සඳහා සිර දඬුවම් නියම කිරීමටද හැකියාව ඇත. මෙම නීති කෙටුම්පත් දෙකම ජනතාවගේ නිදහසට බරපතල ලෙස බලපාන බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් පෙන්වාදෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඒවා ඉවත් කරගන්නා ලෙසත් ඉල්ලා සිටියි. මේ නීති දෙක පාර්ලිමේන්තුවෙන් සම්මත වුවහොත්, ආණ්ඩුව වැරදි මාර්ගයක ගමන් කරන විට එය අභියෝගයට ලක්කිරීම තවත් අසීරු වනු ඇත. ආර්ථික තත්ත්වය දිගින් දිගටම නරක අතට හැරෙමින්, අතිවිශාල ජනකායක් දුක්විඳීම වැඩිවීමත් සමඟ, නීතිය සහ ආරක්ෂක අංශ යොදා ගනිමින් මර්දනය කිරීම තිරසාර විකල්පයක් නොවනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.