19 June, 2026

Blog

සංවර්ධිත සමාජයක් උදෙසා බෞද්ධ සමාජ දර්ශනය

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

මූලික වශයෙන් ලෝකෝත්තර වූ නිර්වාණය සඳහා වූ මග විවරණය කොට දැක්වූ බුදුන් වහන්සේගෙන් සමාජ දර්ශනයක් ඉදිරිපත් විය හැකිදැයි කෙනකුට ප්‍රශ්ණයක් මතු විය හැකිය. ලෝකයෙහි ඇලී ගැලී සිටින ජනතාවකට නිවන් අවබෝධ​ කරගැනීම සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. ප්රඥාව මුහුකුරා ගියවුන්ට හැර සෙසු ජනතාවට ඒ සඳහා සෑහෙන කාලයක් සමාජගතව සිටිමින් ම දහම් මග අනුගමනය කිරීමට සිදු වෙයි. එබැවින් මිනිසා ජීවත් වන සමාජය දහම් මග අනුගමනය කරන්නකුට බාධාකාරී සමාජයක් නොවිය යුතුය. අසංවිධිත සමාජයක ජීවත් වෙමින් දහම් මග ගමන් නොකළහැකි බැවින් මානව සමාජයක් සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ බුදුන් වහන්සේගේ අවධානය මනාව යොමු වී තිබේ.

යහපත් සමාජයක පැවතිය යුතු සමාජ මූලධර්ම ගැබ් කරගත් බුදුන් වහන්සේගේ සමාජ දර්ශනයෙහි පැහැදිළිව කැපී පෙනෙන විශේෂ ලක්ෂණය වන්නේ එය සමස්ත මානව ප්‍රජාවගේ යහපත හා සුභසිද්ධිය සඳහා ඉදිරිපත්ව තිබීමයි. කාල අවකාශ භේදයකින් තොරව ආගම් ජාති කුල භාෂා වශයෙන් එන සමාජ වර්ගීකරණයන් නොතකා පොදු යහපත පමණක් අරමුණු කරගත් බෞද්ධ සමාජ දර්ශනය වඩාත්ම ඵලදායී වන්නේ සදාචාරය, ආර්ථිකය, සමාජ සාධාරණය, නීතියේ ආධිපත්‍යය හා දේශපාලන​ අධිකාරය වැනි හැම සමාජ අංශයකම බිඳ වැටීමක් පවතින සමාජ සන්දර්භයක් තුළය.

ඒ අනුව බලන විට වර්තමාන ශ්‍රී ලාංකික සමාජය ඉහත දැක්වූ සෑම සමාජ අංශයක්ම පතුළටම බිඳ වැටී ඇති පසුබිමක එය නැවත නගා සිටුවීම සඳහා සාර්ථකව ක්‍රියාත්මක​ කළ හැකි සමාජ ප්‍රතිපත්ති බුදුන් වහන්සේගේ සමාජ දර්ශනයෙහි ගැබ්ව ඇති බව මෙහිදී අවධාරණය කළ යුතුය. බුදුදහම පෝෂණය​ කිරීම ව්‍යවස්ථාමය වගකීමක් කර ගත් ශ්‍රී ලාංකික රාජ්‍යය සැත්තෑසය වසරක් තුළ පාලනය කළවුන් බෞද්ධ සමාජ දර්ශනය සම්පූර්ණයෙන් ම නොතකා හැරීමෙන් බුදුදහම පෝෂණය කිරීමේ වගකීමෙන් බැහැර වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. රාජ්‍යයක බුදුදහම පෝෂණය කිරීම යන්නෙන් අදහස් වන්නේ පාලකයන් භික්ෂූන් ඉදිරියේ මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම නොවේ. බුදුදහමින් අනුමත යහපත් සමාජ පසුබිමක් නිර්මාණය කිරීමයි. බුදුදහම දක්වන නිවන් මගේ හරි අඩකටත් වඩා සමාජයේ යහපත අරමුණු කොට පවතියි. නිවන් මග අංග අටකින් සමන්විතය. එයින් මුල් අංග පසම යහපත් සමාජ සන්දර්භයක් අරමුණු කොට ගෙන තිබේ.

මුල්ම අංගය වන සම්මා දිට්ඨිය යනු හොඳ නරක, හරි වැරදි වටහා ගැනීමයි. මෙම වැටහීම නැති පාලකයකුට හෝ පුරවැසියෙකුට සමාජ යහපත සඳහා ක්‍රියා කළ නොහැකිය. දෙවැනි අංගය වන සම්මා සංකප්පය සමාජ යහපතට පාදක වන මානසිකත්වයක් පවත්වා ගැනීමයි. දැඩි ලෝභයෙන් හා දැඩි ද්වේශයෙන් ඉවත්ව අවිහිංසාවාදී ආකල්පයක් පවත්වා ගැනීම එයින් අදහස් වෙයි. දේශපාලකයකු සම්බන්ධයෙන් ගත්විට මෙය ඉතාම වැදගත් තත්ත්වයකි. මහජන දේපල​ අවභාවිතයට, සොරකමට හා අල්ලස් ගැනීම් වැනි දූෂිත ක්‍රියාවලට පෙළඹෙන්නේ දැඩි ලෝභය නිසාය. ජනතාව කෙරෙහි ද්වේශ සහගත වන්නකුගෙන් සමාජ යහපතක් බලාපොරොත්තු විය නොහැකිය. අවිහිංසාවාදී මානසිකත්වය ඇති විට සමාජයට ඒකාධිපතියකු මෙන් පීඩාකාරීව හැසිරීමේ ඉඩකඩ ඇහිරෙයි.

තෙවැනි හා සිවු වැනි අංග වන සම්මා වාචා හා සම්මා කම්මන්ත මගින් සමාජ සදාවාරය අවධාරණය වෙයි. පස්වැනි අංගය සම්මා ආජීවයයි. එයින් පුද්ගලයා හා රජය විසින් අනුගමනය කළ යුතු නිවැරදි හා සාධාරණ ආර්ථික සමෘද්ධිය ඉස්මතු කොට දක්වයි.

බුදුන් වහන්සේ තම සමාජ දර්ශනය ඉදිරිපත් කොට ඇත්තේ නිවන් මගෙහි ඉහත දැක්වූ අංග පස පාදක කොට ගෙනය. ඒ අනුව බෞද්ධ සමාජ දර්ශනය තුළ ගොඩ නැගෙන සමාජ ප්රතිපත්ති ප්රධාන වශයෙන් අංශ සතරට වර්ග කළ හැකිය. ඒවා සදාචාරය, ආර්ථිකය, සමාජ සාධාරණත්වය හා දේශපාලන අධිකාරය යනුවෙන් නම් කළ හැකිය.

සදාචාරය

පාලකයාගේ හා ජනතාවගේ සදාචාරාත්මක හැසිරීම සාමකාමී සහජීවන සමාජයක පැවතිය යුතු මූලිකම තත්ත්වයක් වශයෙන් බුදුදහම දකියි. එම සදාචාරය මූලික ප්‍රතිපත්ති පහකට (පංචසීල) කැටි කොට දැක්වෙයි. 1. බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත වීම. 2. නිසි ලෙස උපයාගත් තම සන්තකයන් භුක්ති වඳීමේ අයිතිය තහවුරු වීම. 3. ලිංගික අපචාරයන්ගෙන් තොරව වෛවාහික සම්බන්ධතා නිසි ලෙස පැවැත්වීමේ අයිතිය තහවුරු වීම 4. සත්‍යවාදී වීම හා 5. මානසික විකෘතීන්ට සාධක වෙමින් සමාජ පිළිලයක් වියහැකි මත්ද්‍රව්‍ය​ අපහරණය. මෙම කරුණු පහෙන් තොර සමාජයක ජනතාවගේ සාමකාමී හා සහනශීලී පැවැත්මට මෙන් ම සමාජ සංවර්ධනයට අවශ්‍ය පසුබිම සැකසෙයි. සමාජයේ සෑම ස්ථරයක් නියෝජනය කරන්නන්ගෙන්ම සදාචාරවත් බව බුදුදහම අපේක්ෂා කරයි. ධාර්මික වීම යන්නෙන් බුදුදහම අදහස් කරන්නේ සදාචාරාත්මක වීමයි. විශේෂයෙන් පාලකයන් සදාචාරාත්මක වීම ජනතාවට ඒ සඳහා ආදර්ශයක් සපයයි. නායකයන් ඍජුව හැසිරෙන විට අන් සියල්ලන්ට ද ඍජුව හැසිරීමට බලපෑමක් ඇතිවෙයි (සබ්බා තා උජු ගච්ඡන්ති නෙත්තෙ උජු ගතෙ සති). එබැවින් පාලකයා ධාර්මිකයකු වීම  මුළු රටම සුවපත් කරවීමක් බව (සබ්බං රට්ඨං සුඛං සෙති, රාජා චෙ හොති ධම්මිකො.) බුදුන් වහන්සේගේ ඉගැන්වීමකි.

ආර්ථිකය

බුදුන්වහන්සේ තරම් සමාජයක ආර්ථික සමෘර්ධියේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කළ ආගමික ශාස්තෘවරයකු ගැන ලෝක ආගමික ඉතිහාසයේ අසන්නට නැත. එබැවින්ම උන්වහන්සේගෙන් ඉදිරිපත් වූ ආර්ථික දර්ශනය බෙහෙවින්ම සිත්ගන්නා සුලු වූවකි. උන්වහන්සේගේ ඍජු දේශණ​ මඟින් මෙන් ම විවිධ පුරාවෘත්ත මගින් ද ආර්ථිකය පිළිබඳව නොයෙක් කරුණු විවරණය වෙයි. උන්වහන්සේගේ පරම අපේක්ෂාව වූයේ භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් සුඛිත මුදිත ජනතාවක් වෙසෙන සමාජයකි. ආර්ථික දරිද්‍රතාව​ උන්වහන්සේ දකින්නේ ජනතාවගෙන් තුරන් කළයුතු දුක්ඛිත තත්ත්වයක් ලෙසය. ඒබැවින්ම දිළිඳු බවට හේතු සාධක, දිළිඳු බවෙන් ඇතිවන සමාජ ව්‍යසනයන්, ආර්ථික සමෘද්ධිය උදා කරගන්නා ක්‍රම​ සහ විධි බුදුන්වහන්සේ විසින් සාකච්ඡාවට ලක් කොට තිබේ.

ආර්ථික බංකලොත්භාවයට පත්ව ඇති වර්තමාන ශ්‍රී ලංකාවේ පාලකයන්ට හා ජනතාවට එම තත්වයෙන් ගොඩ ඒම​ සඳහා බෞද්ධ ආර්ථික දර්ශනයෙන් උකහා ගත හැකි පාඩම් බොහෝය. ආර්ථිකයේ නිෂ්පාදනය, පරිභෝජනය​ හා බෙදාහැරීම යන ප්‍රධාන​ අංශ තුනම එහි සාකච්ඡාවට බඳුන් වෙයි.

බොද්ධ ආර්ථික දර්ශනයෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ රජ‌යේ මෙන්ම ජනතාවගේ සාමූහිකත්වයෙන් ගොඩ නැගෙන නිෂ්පාදන ආර්ථිකයක වටිනාකම ඉස්මතු කරලීමයි. ආර්ථික දරිද්‍රතාවයට හා ඒ මගින් ජනිත වන සමාජ ව්‍යසනයන්ට මූලික හේතුව කොට බුදුදහම දකින්නේ සමාජයක් තුළ නිර්ධන​ පන්තියක පැවැත්මයි. රජයේ මැදිහත් වීමකින් තොරව සමාජයේ ආර්ථික දරිද්‍රතාවය තුරන් කරලිය නොහැකි බව චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් මෙන්ම කූටදන්ත සූත්‍රයෙන් ද අවධාරණය කෙරෙයි.

දේශපාලන​ ආර්ථිකය

සමාජයක ආර්ථික සමෘද්ධිය සඳහා රජයක් මැදිහත් වියයුතු ආකාරය කූටදන්ත සූත්‍රයෙන් විවරණය කොට දැක්වෙයි. ආර්ථිකයේ කඩා වැටීමෙන් සිදුවන සමාජ අර්බුදය​ සමාජයට පීඩනයක් වන පරිදි අයබදු පැනවීමෙන් මෙන්ම තර්ජනයෙන් හා වධහිංසනයෙන් ඉවත් කරලිය නොහැකි බව එම සූත්‍රයෙන් පැහැදිළි කෙරෙයි. ඒපමණක් ද නොව රජයක් ඒ සඳහා ගතයුතු නිසි පියවර පිළිබඳ විවරණයක ද යෙදෙයි. රටෙහි පවත්නා සෑම වෘත්තියකම වර්ධනය සඳහා රජය අවශ්‍ය පියවර ගතයුතු බව නිදසුන් සහිතව සූත්‍රය පැහැදිළි කරයි.

එහි සඳහන් වන පරිදි කෘෂිකර්ම, පශුරක්ෂණ වැනි කර්මාන්තකරුවන්ට අවශ්‍ය බීජ හා වෙනත් අවශ්‍යතා සැපයීම, වාණිජ කටයුතුවල යෙදෙන්නන්ට අවශ්‍ය මූලධනය සැපයීම හා රාජ්‍ය සෙවයෙහි නියුක්ත වන්නන්ට ප්රමාණවත් වැටුප් ගෙවීම රජයක යුතුකම වෙයි. ජනතාව රජයේ සහාය ඇතිව කෙරෙන ආර්ථික​​ ක්‍රියාවලියේදී රජයේ නියාමනයක් ද පවතින්ට ඇතැයි නිගමනය කළ හැකිය. රජය ආර්ථික වර්ධනය සඳහා එබඳු පසුබිමක් සකසන විට ජනතාව තමතමන් සතු කාර්ය්‍යයන්හි අනලස්ව ක්‍රියා කරමින් රාජ්‍ය භාණ්ඩාගාරයේ සමෘද්ධිය වෙනුවෙන් තම සහයෝගය දක්වයි. ආර්ථික සමෘද්ධිය හෙතුවෙන් අර්බුද, අරගල හා පීඩාකාරී තත්ත්වයන් පහව ගිය සමාජයක පුරවැසියන්ගේ පැවැත්ම එම සූත්‍රයයෙන් පැවසෙන්නේ බෙහෙවින් සිත්ගන්නා සුලු ආකාරයකටය. “සතුටින් ප්රීතිමත්ව මිනිස්සු දරුවන් ළයෙහි නටවමින් නොවැසූ දොරවල් ඇති නිවෙස් ඇත්තවුන් මෙන් හැසිරෙති” (මනුස්සා මුදා මොදමානා උරෙ පුත්තෙ නච්චෙන්තා අපාරුතඝරා මඤ්ඤෙ විහරන්ති.) “නොවැසූ දොරවල් ඇති නිවෙස්” (අපාරුතඝරා) යන යෙදුම මෙහිදී බෙහෙවින් වැදගත් වෙයි. දුරාචාරයට මූලික හේතුවක් වන්නේ දිළිඳු කමයි. ආරථික වර්ධනයත් සමග දුරාචාරය ද තුරන් වෙයි. එවිට මිනිසුන්ට තම නිවෙස් වටා අහස උසට පවුරු බැඳීමට හෝ ගෙවල දොරවල් වලට ඉඹියතුරු දමා වසා දැමීමට අවශතාවක් පැන නොනගියි. මේ තත්වය ඇතැම් බටහිර දියුණු සමාජයන්හි අද ද දක්නට ලැබේ.

පෞද්ගලික ආර්ථිකය

පෞද්ගලික ආර්ථිකය පිළිබඳ බුදුන් වහන්සේගේ කෙටිම හා සරළම විග්‍රහය​ වන්නේ තමන්ට ගැලපෙන දේ තෝරාගෙන කරන, වගකීම් සහිත උත්සාහවන්තයා ධනය අත්පත් තර ගනියි (පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතෙ ධනං) යන්නයි. මෙහිදී ඉතා වැදගත් වන කරුණු කිහිපයක් ම හෙළි වෙයි. තමන්ගේ ප්‍රාග්ධනය​, වෘත්තීය නිපුනතාව, වෙළඳපොල අවශ්‍යතාව හා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැනි කරුණු සැළකිල්ලට ගැනීම තමන්ට ගැලපෙන දේ තෝරා ගැනීම යන්නට ඇතුළත් වෙයි. වගකීම් සහිත යන්නෙන් අදහස් වන්නේ තමන් කරන නිෂ්පාදන ක්‍රියාවෙහි සාර්ථකත්වය උදෙසා තමාගේ වගකීම හා වගවීම අවශ්‍ය වන බවයි. අනෙක් වැදගත් කරුණ වන්නේ දැඩි උත්සාහයකින් හා කැපවීමකින් කටයුතු කිරීමය.

පෞද්ගලික අංශයේ ආර්ථික නිෂ්පාදන ක්රියාවලියේ සාර්ථකත්වට බෙහෙවින්ම සාධක වන කරුණ වශයෙන් බුදුන් වහන්සෙගේ වඩාත්ම අවධානයට ලක් වන්නේ උත්සාහය හා කැපවීමයි. මෙය හුදු උත්සාහයට හා කැප වීමට සීමා වීමක් නොවේ. මේ පිළබඳ උන්වහන්සෙගේ නිර්වචනය බෙහෙවින්ම අර්ථසම්පන්න වූවකි. තමන් තෝරා ගන්නා නිෂ්පාදන ක්‍රියාවෙහි දක්ෂයකු වීම, අනලස්ව ක්‍රියා කිරීම, සාර්ථකත්වයට අදාළ උපායමාර්ග විමසා බලා කටයුතු කිරීම හා ක්‍රියා කිරීමෙහි හා සංවිධානයෙහි හැකියාව උත්සාහය යන්නට ඇතුළත්ය (තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං අයං වුච්චති බ්‍යග්ඝපජ්ජ උට්ඨාන සම්පදා).

පෞද්ගලික ආර්ථික නිෂ්පාදනයෙහි ස්වභාවය කවරාකාරයෙන් විය යුතුද යන්නද මෙම උත්සාහය හෙවත් උට්ඨාන වීර්යය විවරණය කිරීමෙන් පැහැදිළි කොට දැක්වෙයි. බාහුබලයෙන් යුතුව දහඩිය වගුරුවමින් උත්සාහය යෙදිය යුත්තේ ධාර්මික නිෂ්පාදනයකය. සමාජයේ විනාශයට හා පීඩාවට හෙතු වන නිෂ්පාදන මෙහිදී බැහැර වෙයි. එමෙන්ම තමන්ගේ මෙන්ම අනුන්ගේද යහපත අරමුණ කරගත් ආර්ථික නිෂ්පාදනයන්ට ජනතාව යොමු කිරීම බෞද්ධ ආර්ථික දර්ශනයේ තේමාව වන බව මෙම කරණුවලින් අවධාරණය වෙයි. තම ශක්තියෙන් ඉපැයෙන ආර්ථිකයේ සාර්ථකත්වය තුළින් කෙනෙකුට අත්විඳිය හැකි වටිනාම සතුට වන්නේ තමන් සමාජයට හානියක් නොවන නිෂ්පාදනයක නිරත වූ බව සිහිපත් වන විටය. එබඳු සතුට බුදුදහම දකින්නේ අනවජ්ජ සුඛ යන නමිනි.

පරිභොජනය පිළිබඳ බෞද්ධ සංකල්පය ද සුඛිත මුදිත සමාජයක් පදනම් කොට ගෙන සැකසුනකි. බෙදාහදාගෙන කෙරෙන පරිභොජනය තුළින් ලබන සතුට එයින් අදහස් වෙයි. බුදුදහමෙහි සුඛිත මුදිත යන්න අධි දරිද්‍රතාවය මෙන්ම අධි පරිභොජනය ප්‍ර​තික්ෂෙප වෙමින් අත්ථිසුඛ, භොගසුඛ, අනණ සුඛ හා අනවජ්ජ සුඛ තුළින් අත්පත් කරගත යුත්තකි. එය සමාජය තුළ සමව ක්‍රියාත්මක වීම බෞද්ධ ආර්ථික දර්ශනයෙහි අපෙක්ෂාවයි. බුදුදහම අපෙක්ෂා කරන සමජීවිකතාව ඒ සඳහා මග පෙන්වයි. ආර්ථිකයෙහි එන බෙදා හැරීම යන්නෙහිද මූලික මූල ධර්මය වන්නේ ධාර්මිකත්වයයි. ධාර්මිකත්තවය යන්න සියලු ගණයේ වැරදි තුළින් ඉවත් වීමයි. නිවැරදි වීම නිතිගරුක වීම ආදිය ද ඊට ඇතුළත්ය.

නිවැරදි ආර්ථික සමෘද්ධියකින් ජනතවට අත්පත් කරගත හැකි අත්ථිසුඛ (ධනය තමන් සතුව ඇතැයි යන සතුට), භොගසුඛ (පරිභොජනයෙන් අත්වන සතුට), අනණ සුඛ (තමන් අනුන්ට ණය නැතැයි යන සතුට) හා අනවජ්ජ සුඛ (නිවැරදිව ධනය උපයන ලදැයි ඇති වන සතුට) යන සිවු වැදෑරුම් සතුටම නූතන ලාංකික ජනතාවගෙන් මුළුමනින්ම තුරන් වී තිබේ. බන්කලොත් වී ඇතැයි ප්‍ර​කාශිත රටකට අත්ථිසුඛයක් කෙසේ ලැබිය හැකිද? තුන් වේලෙන් එක වේලක්වත් කුසපුරා ගත නොහැකි බහුතරයකට භොගසුඛයක් අත්විඳිය හැකිද? කාලාන්තරයක් මුළුල්ලේ විදෙස්වලින් හෝ මූල්‍ය සංවිධානවලින් ගත් ණය නොපියවා ණය කඳු අහස උසට ගොඩ ගැසී ඇති එරජයක් තිබියදී මෙන්ම කන කර ආයිත්තම් උගස්කර ණය බරින් පෙළෙන සමාජයක් තිබියදී කවර නම් අනණ සුඛයක්ද? ධන නිපැයීමක් නොමැති විටක අනවජ්ජ සුඛයට අවස්ථාවක් නොලැබෙයි.

සමාජ සාධාරණය

සැත්තෑ සය වසරක පැවති ලාංකික දෙශපාලනයෙහි සාධාරණ සමාජයක්, ධර්මිෂ්ඨ සමාජයක්, සමෘද්ධිමත් සමාජයක්, ලිච්ඡවි පාලනයක් හා යහපාලනයක් වැනි සංකල්ප බෞද්ධ සමාජ දර්ශනයෙන් උකහා ගන්නා ලද සංකල්පයෝයි. එහෙත් ඒවා පාලකයින් විසින් සමාජයෙහි ක්‍රියාත්මක කළ ආකාරය බලන විට සැබවින්ම සිදුවී ඇත්තේ එම බෞද්ධ සංකල්පයන් නිග්රහයට පත් කරවීමක් පමණි. සමාජ සාධාරණත්වයේ මූලික පදනම සමානාත්මතාවයි. වෙනත් වචනවලින් පවසතොත් අගතිවිරහිත අපක්ෂපාතිත්වයයි. රාජ්‍ය භාණ්ඩාගරයෙන් සැපයෙන සමාජ සුභසාධන ක්‍රියාවන්හිදී ජාති, කුල, ආගම්, ප්‍රදේශ​ හා ස්ත්‍රී පුරුෂ වැනි භෙද නොතකා ඒවා සුදුසු පරිදි සමාජය තුළ ගලා යාමට සැළසීමයි. සමාජ සංවර්ධනයේ මුල්ගල වශයෙන් සැළකිය හැක්කේ බෞද්ධ සමානාත්මතා සංකල්පයයි. කාටත් යෝග්‍ය පරිදි සමාජ අයිතිවාසිකම් බෙදී යන විට එහි ප්‍රතිඵලය වන්නේ සමාජ ඒකාබද්ධතාවයි. ඔවුනොවුන් එකාවන්ව සැළකුම් ලබද්දී සමාජ භේද ඉබේම​ වියැකී යයි. මෙම සමානාත්මතා සංකල්පය දෙශපාලනික මූලධර්මයක් ලෙස යොදා ගැනීමේ වැදගත්කම බුදුන් වහන්සේ විසින් කොසොල් මහ රජුට පෙන්වා දුන් බව සූත්‍ර ධර්මයක සඳහන් වෙයි.

සාධාරණ සමාජයක තවත් වැදගත් මූලධර්මයක් වන්නේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමයි. මෙය බුදුන් වහන්සේගේ වචනවලින් හඳුන්වතොත් අගතිවිරහිත වීමයි. උසස් පහත්, කුලීන කුලහීන, දුප්පත් පොහොසත්, බලවත් දුබල වැනි තත්ත්වයන් යටතේ ඇතිවිය හැකි ඡන්ද, දොස, භය. මෝහ​ යන සතර අගතියෙන් ඉවත් වීම රාජ්‍ය පාලකයන්ගෙන් මෙන්ම සෑම පුරවැසියකුගෙන්ම බුදුදහම අපේක්ෂා කෙරෙයි. විශෙෂයෙන් නීතිය ක්‍රියාත්මක වන අංශවලදී මෙන්ම රාජ්‍ය සුභසාධන ක්‍රියාවන්හිදී අගතියෙන් තොරව අපක්ෂපාතී වීම හෙවත් සමානාත්මතාව රාජ්‍ය මූලධර්මයක් කොට බුදුදහම දකින්නේ එසේ නොවුනහොත් වැරදිකරු නිවැරදිකරුවකු හෝ නිවැරදිකරු වරදකරු වීමෙන් හෝ සුදුස්සා නුසුදුස්සකු හෝ නුසුදුස්සා සුදුස්සකු වීමේ සම්භාව්‍යතාව පවත්නා බැවැනි. අපක්ෂපාතීවීම ධර්මයෙහි පිහිටීමක් ලෙසත් පක්ෂපාතීවීම ධර්මයෙන් බැහැරවීමක් ලෙසත් සිගාලොවාද සූත්‍රයේදී හෙළි කෙරෙයි. එහි දැක්වෙන ධර්මය යනු ලෝක සම්මත නීතියයි. නීතිය පසිඳලන තැන ධර්මාධිකරණයයි.

දේශපාලන අධිකාරිය

බුදුදහමට අනුව දේශපාලන අධිකාරයක් සැකසෙන්නේ ජනතා අවශ්‍යතා සපුරා ගැනීමේ පහසු මාධ්‍යයක් වශයෙනි. දේශපාලකයා පොළොවෙහි දෙවියකු (භූසුර) තත්ත්වයෙන් පිළිගැනීමක් බ්රාහ්මණික මතවාද වලින් සමාජගත වී තිබුන ද බෞද්ධ පිළිගැනීම් වලින් කියවුනේ පාලකයා ජනතා අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියාකිරීමේ සමත්කම් ඇති ජනතා නියෝජිතයකු වශයෙනි. එබඳු නියෝජිතයකු තුළ පැවතිය යුතු පොදු ජන සමාජයට හිතකර වූ යහපත් ගුණධර්ම ගණනාවක්ම බුදුසමයෙන් හඳුන්වා දීමක්ද සිදු කොට තිබේ. ඒ අතරින් අගය කළයුතු කරුණක් වන්නේ රාජ්‍ය පාලකයා ජනතාව විසින් ප්‍රශ්ණ​ කළ හැකි තත්ත්වයට පත් කරලීමයි. බෞද්ධ පිළිගැනීම අනුව ඔහු නීතියට යටත්ව ක්‍රියා කළ යුත්තෙකි. පාලකයා හැඳින්වෙන්නේ ධම්මාධිපතෙය්‍ය යන නමිනි. එයින් කියවෙන්නේ ධර්මයට මුල්තැන දී ක්‍රියා කරන්නා යනුයි. මෙහි ධර්මය යනු සමාජ සම්මත නීතිය බවට කිසිදු සැකයක් නැත. පාලකයා නීතියට යටින් සිටිනන්කු මිස තමන් නීතියෙන් මිදී නීතියට උඩින් සිටින්නෙක නොවේ. නීතිය පසිඳලන්නන් විෂයෙහි ද බලපෑම් කිරීමෙන් මිදී සිටින්නකු විය යුතුය. තම රාජ්‍යය තුළ කිසිදු අනීතික ක්‍රියාවකට ඉඩ නොතැබිය යුතු බව චක්කවත්ති සූත්‍රයෙන් අවධාරණය කෙරෙයි (මා ච තෙ තාත විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ) යන්නෙහි සැඟවුණ අරුත වන්නේ මොනම විදියකින් හෝ අනීතික ක්‍රියාවක් නොසිදු විය යුතු බවයි.

දේශපාලනික, සමාජ, සංස්කෘතික හා ආර්ථික යනාදී සෑම අංශයකින් ම පතුලටම කඩා වැටී ඇති වර්තමාන ශ්‍රී ලංකා සමාජය ඒ හැම අංශයකින් ම රට සංවර්ධන මාවතට ගත හැකි දේශපාලන නායකයකු තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට මුහුණ පාමින් සිටියි. බහුතරයක් ජනතාව බුදුදහමත් සසුනත් දිවි පරදුවට තබා රැක ගැනීමට ඉදිරිපත් වන්නන් බව ඔවුන්ගේ කියුම් කෙරුම්වලින් හෙළි වෙයි. ඒ හැරත් ව්‍යවස්ථාවෙන්ද බුදුදහම පෝෂණයට බැඳී සිටියි. එසේ නම් මේ අවස්ථවෙහි ලාංකික ජනතාවගේ පරම යුතුකම වන්නේ ඉහතින් දැක්වූ බෞද්ධ සමාජ දර්ශනයෙන් මතු කොට දක්වන ප්‍රතිපත්ති අවංකවම ක්‍රියාවට නැගීමට ප්රතිඥා කෙරෙන පුද්ගලයකු රටෙහි පාලනය සඳහා තෝරා පත් කර ගැනීම බව අවධාරණය කළ යුතුය.

Latest comment

  • 0
    2

    අද මුළු ලෝකයම අද RW අගය කරනවා. නමුත් මෝඩ ද්වේෂසහගත මිනිසුන් ඔහුට පහර දෙති. මේක ශාපයක්. ඒ අවස්ථාවේදී ඔහු ජීවිතය පරදුවට තැබුවේය. ඔහුගේ පියවර ඩොලරයේ අගය අගය කරයි. සංචාරකයන්ගේ පැමිණීම අද විශාල විදේශ විනිමය ගෙන එයි. Youtube normads පැහැදිලි කරන්නේ ශ්‍රී ලංකාව අද වන විට හොඳම සංචාරක ගමනාන්තයක් බවයි. ශ්‍රී ලංකාවේ සංචාරකයින් ඔවුන්ව එක්-කාලීන සංචාරකයින් ලෙස හැඳින්වීම ගැන මෝඩ AKD බොරු කියයි, නමුත් සත්‍යය නම් ඔවුන්ගෙන් 30% කට වඩා වැඩි ප්‍රමාණයක් වරක් සංචාරය කළහොත් ආපසු රට බලා යති.
    රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම, සංචාරකයින් ඔවුන්ගේ ව්‍යාපාර ඔවුන්ට එකතු කිරීමෙන් මිනිසුන් ආශීර්වාද ලබයි. මෙය යථාර්ථයක් වන බැවින්, RW හට තවදුරටත් අවස්ථාවක් ලබා නොදෙනු ඇතැයි මම නොසිතමි.

    අපි කවුරුත් දන්නා පරිදි RW යනු වත්මන් පාර්ලිමේන්තුවේ තනි පක්ෂ අපේක්ෂකයෙකි, නමුත් පාර්ලිමේන්තුවේ තිරිසනුන් ඕනෑ තරම් සිටින බැවින්, ගෝඨාභයගේ රජය බිඳවැටීමෙන් පසු එය යථා තත්ත්වයට පත් කිරීමට ඔහු තම ඉවසීම සහ දේශපාලන ඥානය භාවිතා කරයි. 2004 දෙසැම්බර් සුනාමි ව්‍යසනයට වඩා එය මුළු ජාතියටම කිහිප වතාවක්ම බලපෑවේය.
    . එහි ප්‍රතිඵලය වූයේ සමස්ත ජාතියටම ප්‍රතිලාභ ලැබෙන ආකාරයේ ගෞරවයක් හා අභිමානයකි. යමෙක් නොපෙනේ නම්, එය ව්යාධිජනක හේතු සමඟ සම්බන්ධ විය යුතුය.
    අවසාන වශයෙන් AKD දෙයියෝ විසින් කරන ලද අනවශ්‍ය හේතු මත පදනම් වූ කුහක චෝදනා අද ජාතිය නොමග යවමින් තිබේ.
    .
    ඔහු නොවන්නට අද මිනිසුන් කුසගින්නේ සිටිනු ඇත. අවාසනාවකට, අපේ මිනිස් තිරිසනුන්ට එය තේරුම් ගැනීමට මොළයක් තිබුණේ නැත.
    ඒ වගේම අපේ මිනිස්සුන්ට කෙටි කාලයකින් හැමදේම අමතක වෙනවා.
    AKD deyyo ඕනෑම කෙනෙකුට පහර දීමට දක්ෂයි, නමුත් ඔහුට දකුණු ආසියානු දේශපාලනයේ අවම දැනුම ප්‍රායෝගික නැත.
    දැන් ස්වීඩනයේ සිටින කුඩා ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ජවිපෙට පක්ෂව අර්ථකථනය කරන ලද ආරාධනාව ගැන ඔහුට මහත් ආඩම්බරයක් දැනෙන්නට ඇත. ඔවුන්ගේ මෑතකාලීන ඉන්දීය සංචාරය වත්මන් ජනාධිපති රෙයිනල් ඩබ්ලිව්.ගේ අනුමැතිය ඇතිව සංවිධානය කළ ද ඉන්දීය රජයේ නිල ආරාධනය මත එය අර්ථකථනය වූ ආකාරය අපට දැනගන්නට ලැබුණි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.