කාව්‍ය ශාස්ත්‍ර විනෝදය සඳහා බුද්ධිමතුන්ගේ කාලය කැප වෙයි (කාව්‍යශාස්ත්‍ර විනොදෙන කාලො ගච්ඡති ධීමතාම්) යනු පැරණි පඬි වදනකි. කාව්‍ය ශාස්ත්‍ර විනෝදයෙන් නොනැවතී ඒ තුළින් අත්පත් කරගත් දැනුම් සම්භාරය පරිපාලන, රංගකලා, ජනමාධ්‍ය, දෙශපාලන, සමාජ හා සංස්කෘතික ක්‍ෂෙත්‍රයන්හි උන්නතිය සඳහා කැප කළ මානව හිතවාදියකු වශයෙන් නම ගත් ශ්‍යාමන් ජයසිංහයන්ගේ වියෝව ඉහත කී ක්‍ෂෙත්‍රයන්ට පිරිමැසිය නොහැකි පාඩුවකි. මිය යන විට අසූසත් වැනි වියෙහි පසු වූ ශ්‍යාමන් ජයසිංහ අඩසිය වසද ඉක්මවා කළ ජනතා සේවය ලෙහෙසියෙන් අමතක කළ හැක්කක් නොවේ. රාජ්‍ය සෙවයේ ඉහළම පදවි තානාන්තර දැරුව ද ඒවා තමා වැජඹවීම සඳහා කිරුළක් කර නොගත් හෙතෙම රාජ්‍ය පරිපාලන සේවයට අවංකත්වයේ පරමාදර්ශී චරිතයක් විය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල අමාත්‍යවරයා යටතෙහි පැවති කෘෂිකර්ම හමුදාවේ දකුණු පලාත භාර නිලධාරියාව සිටි ඇල්ප්‍රඩ් අල්විස් ජයසිංහ හා ඊනිඩ් ජයසිංහ යන දෙපළගේ වැඩිමහල් පුත්ව 1936 දී උපත ලැබූ ශ්‍යාමන් මූලික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ජෝසොප් විදුහලෙනි. කුඩා අවදියෙහි සිටම ගායනයෙහි දස්කම් පෑ හෙතෙම විද්‍යාලයීය ගායන තරඟ කිහිපයකදී ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.
1957 දී පේරාදෙණිය සරසවියට ඇතුළත් වී මහාචාර්ය කේ එන් ජයතිලක හා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි වියතුන් ඇසුරෙන් දර්ශන විෂය හදාරා විෂෙශවෙදී ගෞරව උපාධිය හිමි කරගත් ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය දැරීමට ද අවස්ථාව උදා විය. එම තනතුර දරමින් අවස්ථා කිහිපයකදී ම ජපානය හා ජර්මනිය වැනි විදේශ රටවල පැවැති සම්මන්ත්‍රණවලදී තම ශිෂ්‍ය සංගමය නියෝජනය කිරීමට ද ඔහුට හැකි විය. ඔස්ටේරලියානු විශ්වවිද්‍යාලයක අධ්‍යයයනයෙන් ලබාගත් ව්‍යාපාර කලමනාකරණ විෂය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ඔහු සතු වෙයි.
ශ්‍යාමන් ජයසිංහයන්ගේ ගායන හා රංග කෞශල්‍යය එළි දැක්වීමට අවස්ථාව සැළසුනේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් කරළියට ගෙන ආ මනමේ නාට්‍යයෙනි. එය රංගගත වීමේදී එහි කැපී පෙනන භූමිකාවක් වූ පොතේ ගුරු චරිතය නිරූපනය කළේ ශ්‍යාමන් ජයසිංහයන් විසිනි. ඇඟ කිළිපොළා යන ගැඹුරු ගායන ස්වරයකින් පොතේගුරු භූමිකාව නිරූපනය කිරීමෙන් හෙතෙම ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළා පමණක් නොව මනමේ නාට්‍යය ලාංකීය නාට්‍ය ඉතිහාසයෙහි සදානුස්මරණීයත්වයට පත් කළේය.
නාට්‍යය නිර්මාණය කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ආභාෂයකුදු නොලබා ස්වශක්තියෙන් ම ඔහු පොතේගුරු චරිතයෙන් ඉදිරිපත් කළ ගායන ශෛලිය කොතරම් ජනප්‍රිය වූයේද යත් පසුකාලීනව මනමේ පොතේගුරු චරිතයට පණ පෙවූ හැම නළුවෙක් ම ශ්‍යාමන් අනුකරණය කළ බව නොරහසකි. මනමේ පණස් වැනි සංවත්සරයේදී ද ආරම්භක පොතේගුරු චරිතය ඒ අයුරින්ම රඟ දැක්වීමට ඔහු සමත් වූ බව මෙහිදී සඳහන් කළ යුත්තකි.
විශ්වවවිද්‍යෘලයීය අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව රාජ්‍යපරිපාලන සේවකයකු ලෙස දිවයිනේ පලාත් කිහිපයක ම සේවය කිරීමේ අවස්ථව ඔහුට උදා විය. අවංක රාජ්‍ය නිලධාරියකු ලෙස නමක් දිනාගත් ශ්‍යෘමන් පරිපාලන සේවයේ උසස් තනතුරු රැසක්ම හෙබවීය. අධ්‍යක්ෂක – විශ්ශ්‍රාම වැටුප්, හා කම්කරු අමාතා්‍යංශ ලේකම් පදවිවලද සේවය කළ හෙතෙම යුද්ධය පැවැති වකවානුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරය දරමින් සිටියදී විශ්ශ්‍රාම ගැනීමෙන් තම රාජ්‍ය සේවා කාලය අවසන් කළේය. ඔහුගේ සේවා කාලය තුළදී ඔහු විසින් සිදුකළ එක් විශිෂ්ට කාර්යයක් වන්නේ දෙහිවල ගල්කිස්ස නගරසභාවේ විශෙෂ කොමසාරිස් ධුරය දරමින් නාගරික පුස්තකාලය ගොඩනැගීමට අවංක කැපවීමකින් ක්‍රියාකිරීමයි.
ශ්‍යාමන් ජයසිංහ යනු රාජ්‍ය සේවයෙහි පමණක් නොව ග්‍රන්ථකරණයෙහි මෙන් ම ලෙඛන කලාවෙහිද නමක් දිනාගත් චරිතයකි. ව්‍යාපාර කලමනාකරණ විෂය පිළිබඳව සිංහල භාෂාවෙන් ලියවුණු ප්‍රථම කෘතිය බිහි වන්නේ ඔහු අතිනි. ව්‍යාපාර කලමනාකරණය නම් වූ එම ග්‍රන්ථය එම විෂය පිළිබඳ විද්‍යාර්ථීන්ට ඉමහත් රුකුළක් වූ අතර බෙහෙවින් ජනප්‍රියත්වයට ද පත් විය. ආගම් දර්ශන ආර්ථික විද්‍යාව හා දෙශපාලන විද්‍යාව වැනි විවිධ විෂයයන් පිළිබඳ පුළුල් දැනුමක් හිමිව සිටි ඔහු එම විෂයයන් අරභයා ලිපි ලෙඛන පුවත්පත්වල පළ කිරීම පුරුද්දක් කර ගෙන සිටියේය. වියට්නාමය තායිලන්තය මියැන්මාරය හා චීනය වැනි විදෙශයන්හි පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයහි ඔහු විසින් ඉදිරිපත් කළ ශාස්ත්‍රීය දේශනයන්ට සහභාගී වීමේ අවස්ථාව මෙම ලිපිය ලියන මා හටද උදා වූ බව ඔහුට ගෞරවයක් වශයෙන් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.
රාජ්‍ය සේවයෙන් විශ්ශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍යාමන් ජයසිංහයන්ගේ නිත්‍ය වාසය සිදු වූයේ ඔස්ටේරලියාවෙහිය. විශෙෂයෙන් මෙල්බන් නුවර ශ්‍රී ලාංකීය ජනතාව අතර ජනප්‍රිය චරිතයක් වූ ඔහු ඔවුන්ගේ කලාරස වින්දනය දියුණු කරනු සඳහා සිය බිරිය වූ මාලනී ජයසිංහ සමග එක්ව සංගීත හා නාට්‍ය සංදර්ශනයන් සංවිධානය කළ බව ප්‍රකට කරුණකි. ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් හා නාට්‍ය ශිල්පීන් ගෙන්වා එම සංදර්ශන වර්ණවත් කිරීමට ද ඔහුගෙන් ලැබුනේ මහත් පිටුබලයකි.
ජනප්‍රිය ගීතරචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වූ ශ්‍රී නිහාල් ජයසිංහ ශ්‍යාමන් ජයසිංහයන්ගේ බාල සොහොයුරාණන් බව මෙහිදී සඳහන් කිරීම ඔවුන් දෙදෙනාටම අන්‍යොන්‍ය වශයෙන් ගෞරවයක් වෙතැයි සිතමි. ශ්‍රී නිහාල් ජයසිංහයන් විසින් රචිත දහම් සුගන්දේ ගීතය ලාංකික බොදුනුවන්ගේ තුඩ තුඩ ගැයෙන මෙම පොසොන් සමයේ ශ්‍යාමන් ජයසිංහයන්ගේ වියොව දෛවෝපගත සිදුවීමක්දෝයි සිතෙයි.
ශ්‍යාමන් ජයසිංහ ඇත්තෙන්ම ජනහිතකාමී මානවහිතවාදී උදාර පුරුෂයෙකි. දකින කවුරුන් වෙත වුවද සිනාමුසු මුහුණෙන් සංග්‍රහශීලී වන ඔහු පුද්ගලයන් උසස් පහත් වශයෙන් නොසළකන සමානාත්මතා ගුණයෙන් හෙබි මහාත්මයෙකි. ඔහුගේ අභාවයෙන් ශොකාකූල වී සිටින ඔහුගේ පුත් අශෝක්, දියණිය වින්ධ්‍යා හා සොහොයුරියන් වන මානෙල් සුනීතා හා නිලානි වෙත අපගේ සංවෙගය ප්‍රකාශ කරමු. අභාවප්‍රාප්ත ශ්‍යාමන් ජයසිංහයන්ට සැනසුම් සුවය අත් වේවා.