24 November, 2020

Blog

දිවියෙන් සමු ගත් අපේ සගයා, සමන් වගආරච්චි ගැන මගේ මතක සටහන්

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

සමන් වගආරච්චි සහෝදරයා 1977 මුල් භාගයේ දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී තිබුණේ 1971 අප්‍රේල් නැගිටීම සම්බන්ධයෙන් අප සිරගත කොට සිටියදී ය . ගාල්ල වරායේ සහ ලංකා සිමෙන්ති සංස්ථා වැඩ බිමේ කම්කරුවන් විසින් ගන්නා ලද වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට ඔහු සහාය දුන් බව පසුව මට දැන ගන්නට ලැබුණි. සමන් සහෝදරයාගේ පවුලේ අය සමඟ මගේ ඇසුර ආරම්භ වූයේ , 1979 දෙසැම්බරයේ පැවති ගාල්ලේ අතුරු මැතිවරණ සමයේ දී ය . ඒ කාලයේ පටන් සමන් සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවන් බවට පත් වූ අතර සමන් සහෝදරයා පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු බවට පත් විය. උපතිස්ස ගමනායක සහෝදරයා ලේකම්වරයා ව සිටි සමාජවාදී කම්කරු සංගමය තුල ඔහු දේශපාලන කටයුතුවල නිරත වි සිටියේය. සමාජවාදී සංස්කෘතික සංගමයේ ද ක්‍රියාකාරී වූ සමන් සහෝදරයා, අනුබද්ධ කණ්ඩායමක් ලෙස කවියන් හා ලේඛකයින් සංවිධානය කිරීමේදී ප්‍රධාන දායකත්වයක් දැක්වීය..

සමන් සහෝදරයා එකල අප විසින් ප්‍රකාශයට පත් කරන ලද කාව්‍ය පත්‍රිකාවක කතුවරයා විය. මොනිකා රුවන්පතිරණ, රත්න ශ්‍රී විජේසිංහ සහ පූජ්‍ය විලේගොඩ ආරියදේව හිමි වැනි ප්‍රමුඛ කලාකරුවන් ඊට දායක වූ බව මගේ මතකයේ තිබෙයි. ‘විමුක්ති ගී’ ප්‍රසංග පුහුණු කිරීම හා සංවිධානය කිරීම හා සම්බන්ධ විවිධ කටයුතුවලදී, ඒ උදෙසා ඔහුගේ නො මඳ සහාය ලැබුණි. 1983 මුල් භාගයේ දී තෙවන වරටත් ප්‍රසංගය තහනම් කරන තෙක්, ඔහුගේ නැගණිය, සමන්මලී වගආරච්චි සහෝදරිය විමුක්ති ගී ගායක කණ්ඩායමේ සාමාජිකාවක වූවාය.

‘මිලාන වූ මලක් නොවේ’ නාට්‍යය නිෂ්පාදනය කරන්නට අප ගත් උත්සාහයට ද සමන් සහෝදරයා දායක විය. මෙම නාට්‍යය සඳහා පදනම් කර ගනු ලැබූයේ ප්‍රේමාවතී මනම්පේරි සහෝදරියගේ සැබෑ ජීවිත කතාව ය . එවැනි නාට්‍ය නිෂ්පාදන ගැන පරීක්ෂා කරන්නට රජය විසින් පත් කොට තිබූ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය නාට්‍යයේ මංගල දර්ශනයේ දීම එය තහනමට ලක් කළේය. ඊට හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂ නායකයන්, විශේෂයෙන් ආර්. ප්‍රේමදාස මහතා, දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මනම්පේරි සහෝදරියගේ ජීවිත කතාවේ විකෘති කරන ලද අනුවාදයක් ඔවුන්ගේ කටයුතුවලට යොදා ගෙන තිබීම ය.

සමන් වගආරච්චි

සමන් සහෝදරයා, රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක සහෝදරවරුන්ගේ සමීපතම හිතවතකු විය. සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1981 දී වෙන් වී ගිය කණ්ඩායමේ නායකයා වූ මෛත්‍රීපාල සේනානායක මහතා, ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ සම්බන්ධීකරණයෙන් යුතුව රෝහණ සහෝදරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණි. මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන්, විජේවීර සහ ගමනායක සහෝදරවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ රැළියක් කඩාකප්පල් කරන්නට, සමන් සහෝදරයාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් සංවිධානය කර තිබුණි. බණ්ඩාරනායක මහත්මිය මෙම රැලිය ඇමතීමට නියමිත ව සිටියා ය.

මෙම සිද්ධිය හේතු කොට ගෙන සමන් සහෝදරයා ඇතුළු තවත් සහෝදරවරුන් කිහිප දෙනෙකු ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසිය ඒ සියළු දෙනාම, විශේෂයෙන්ම සමන් සහෝදරයාව, දැඩි වධ හිංසාවට ලක් කළේය. ඔවුහු ඔහුට පරාලයක එල්ලා පහර දී තිබුණි. එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් පිළිබඳව තීරණය කර, සංවිධානය කර, එය ක්‍රියාවට පවා නගා ඇති බවක්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයින් සමහරෙක් පවා දැන සිටියේ නැත. එදින ම සවස දුර කථනයෙන් මා ඇමතූ ගමනායක සහෝදරයා, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින අය ඇප මත මුදා ගන්නට කටයුතු කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මේ සමස්ත කාරණය ගැන සෑහෙන ලෙස වික්ෂිප්තියට පත් ව සිටි මා ගමනායක සහෝදරයා සමඟ පළමු වරට තදින් වාද කළ බව මට සිහිපත් වෙයි. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි අය මහර උපරිම ආරක්ෂක බන්ධනාගාරයේ රිමාන්ඩ් කොට තිබුණි . මම පසු දාම ඔවුන් බැලීමට ගියෙමි. ටික කලකට පසුව ඔවුන් ඇප මත මුදා ගන්නට අපට හැකි විය.

1984 දී, මා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස් වූ පසු, සමන් සහෝදරයා සමඟ මට තිබූ සම්බන්ධකම නැතිව ගියේය. කෙසේ වෙතත්, පිටුවහල් ව ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නට බල කරනු ලැබීමෙන් පසු, අනූ ගණන්වල අග භාගයේ දී මම ලංකාවට ගියෙමි. ශ්‍රී ලංකාවේ නැවත පදිංචි වී, එකල අප පෙනී සිටි දේශපාලනයේ දිගටම නිරත වන ලෙස සමන් සහෝදරයා මගෙන් දැඩිව ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ඒ වන විට මට, මගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි ව තිබූ හෙයින් මගේ ද්විත්ව පුරවැසිභාවය පිළි ගන්නා ලෙස ආණ්ඩුවට ඉදිරිපත් කරන ලද අයදුම්පත් කිහිපයක් නොසලකා හැර තිබිණි. ඒ අනුව, නැවත ශ්‍රී ලංකාවට ගොස් ස්ථිරව පදිංචි වීමට මට අවස්ථාවක් නොලැබිණි.

පසුකාලීන ව සමන් කිසියම් දුරකට වාමාංශික දේශපාලනය බැහැර කර දමා අනුර බණ්ඩාරනායක මහතාගේ ද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද, සමීප සහායකයකු බවට පත් විය. ඉන් පසුව ඔහු ක්‍රමයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙත සමීප විය. පාලක දේශපාලන පංතියේ සාමාජිකයන් තම දේශපාලන තරාතිරම හා අධිකාරි බලය ස්වකීය පෞද්ගලික හා මූල්‍යමය වාසි සඳහා අයුතු ලෙස භාවිතා කළ මේ කාලයේ දී වුවද, සමන් කිසි විටෙකත් ආත්මාර්ථකාමී පුද්ගලයකු බවට පත් නොවීය. සිය ජීවිතයේ අවසානය දක්වා ම, පෞද්ගලික වරප්‍රසාද හෝ සැප පහසුකම් සොයා යාමක් නොකළ, ඔහුගේ අභිලාෂය ව පැවතියේ තමන්ට කරන්නට හැකියයි ඔහු සිතූ හොඳම ආකාරයට පොදු ජනතා අවශ්‍යතා උදෙසා සේවය කිරීම ය.

අප අතර දේශපාලන වෙනස්කම් තිබූ නමුදු, ජනතාවගේ මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා සම්බන්ධ කරුණු ගණනාවක් මත අපට මිතුරන් ලෙස එකට වැඩ කරන්නට හැකි විය. එම අයිතිවාසිකම් ද, යහපාලන මූලධර්ම සහ භාවිතාවන් ද, රැක ගැනීමේ පුළුල් වේදිකාවක් මත අපි මැතිවරණ සමයේ දී එකට වැඩ කළෙමු. මේ කාලය තුළ මාධ්‍ය නිදහස සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූ ඔහු මාධ්‍යවේදීන් බලහත්කාරයෙන් අතුරුදහන් කර දැමීමට හා මරා දැමීමට එරෙහිව උද්ඝෝෂණය කළේය. 1990 දශකයේ මුල් භාගයේ දී, එකල පැවති රජයට සම්බන්ධ ඝාතක කණ්ඩායමක් විසින්, ඒ යුගයේ සිටි ප්‍රකට රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙකු වූ රිචඩ් ද සොයිසා මහතා පැහැර ගෙන ගොස් මරා දැමීමට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමේදී සමන් සහෝදරයා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව ඉතා ප්‍රචලිත කරුණක් විය.

මීට මාසයකට පමණ ඉහත දී මා ඔහු සමඟ කතා කල නමුත්, ඔහු තමාගේ අසනීප තත්ත්වයක් ගැන මා සමඟ සඳහන් කළේ නැත. ඔහු සුවයෙන් පසු වෙතැයි මම උපකල්පනය කළෙමි. එහෙයින්, ඔහුගේ රෝගී තත්ත්වය ගැන ඔහු සමඟ කතා කරන්නට අවස්ථාවක් නොලැබීම පිළිබඳව මම බෙහෙවින් කණගාටු වෙමි.

එකම දේශපාලන මාවතක ගමන් කොට, අනතුරුව අපේම වූ වෙනස් මාවත්වලට අවතීර්ණ වුවද, මිතුරන් වශයෙන් වැදගත් දේශපාලන කරුණු රාශියක් සම්බන්ධයෙන් එකට කටයුතු කරන්නට අපට හැකි විය. මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් ඔහු දැක්වූ සංවේදී බව ගැන ගෞරවයෙන් යුතුව මම ඔහුට ප්‍රශංසා කරමි. සමාජ ප්‍රගතිය කෙරෙහි ඔහු දක්වන ලද ප්‍රබල දායකත්වය ගැන, ඔහුගෙන් අප සමු ගන්නා මේ මොහොතේ දී ඔහුට මගේ ආචාරය පිරි නමමි. ඔහුගේ පවුලේ අයට සහ නෑ හිතමිතුරන්ට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කිරීමේ දී චිත්‍රා ද මා සමඟ එක් වන්නීය.

සමන්ගෙන් සමු ගන්නා මේ ශෝකජනක අවස්ථාවෙන් පසුව පවා, ඔහු පිළිබඳ දයාබර මතකය, තවත් දිගු කලක් යන තෙක්ම අප බොහෝ දෙනාගේ හදවත් තුළ සුරැකිව පවතිනවා ඇත.

ඉතින් ආයුබෝවන්, අප ආදරණීය සබඳ!

ලයනල් සහ චිත්‍රා බෝපගේ

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.