12 January, 2026

Blog

අධි-වැය ජයග්‍රහණයකින් වසර 16 කට පසු: සැමරීමට පමණක් නොව, මෙනෙහි කිරීමට කාලයයි

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ වසර 30 ක් පුරා පැවති සන්නද්ධ ගැටුම අවසන් වූ තැන් පටන්, එය ජයග්‍රහණයක් ලෙස සැමරිය යුතුද නැතහොත් යුද්ධයෙන් විපතට පත් වූවන්ට ශෝක වීමට ඉඩ දිය යුතුද යන්න හැම වසරකම පාහේ විවාදයට බඳුන් වන කාරණයක් වී තිබේ. 1949 සිට, ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ජාතිකවාදී බලවේග උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යම් ප්‍රමාණයක ස්වයං පාලනයක් සඳහා කරන ලද දේශපාලන ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ජාතික ප්‍රශ්නය සන්නද්ධ ගැටුමක් බවට පත් වූ අතර එය පසුව එයබෙදුම්වාදී ත්‍රස්තවාදයක් ලෙස නම් කොට දශක ගණනාවක් පුරා පැවති යුද්ධයකින් පසු සාහසික යුදමය විසඳුමක් සොයා ගන්නා ලදී. මෙම අශෝභන කතාන්දරය තුළ සිදු කරන ලද ඝාතන, අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ තවත් බොහෝ අපයෝජන සම්බන්ධයෙන් රජයේ සන්නද්ධ හමුදා, එල්ටීටීඊය සහ ඔවුන්ගේ නොයෙක් පැරාමිලිටරි කණ්ඩායම් යන සියළු දෙනා වගකිව යුතු විය.

ජනතා විමුක්ති පෙරමුණ එකල පැවති පාලන තන්ත්‍රයන් සහ ආරක්ෂක හමුදාවල යුද ප්‍රයත්නයට තදබල ලෙස සහාය දැක්වූයේ, දකුණේ ජාතිකවාදී සහ ස්වෝත්තමවාදී බලවේගවල විශාලතම සන්ධානය ගොඩනැගීමෙනි. දැන් එයට, එහි පුළුල් පෙරමුණ වන ජාතික ජන බලවේගයත් සමග රටත් ජන ප‍්‍රජාවනුත් එකමුතු කම, සමගිය සහ සංහිඳියාව කරා ගෙන යාම සඳහා දැවැන්ත වගකීමක් පැවරී ඇත. රටේ උතුර, නැගෙනහිර සහ දකුණේ විශ්වාසය ගොඩනැගීම සඳහා, හිස් පොරොන්දු දෙන්නට යොමු වීමට වඩා ජාතික ජන බලවේගය අර්ථවත් හා ධෛර්ය සම්පන්න ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල යුතුය.

දකුණේ සමහරු  උතුරේ ජනතාවට දීර්ඝ, කුරිරු යුද්ධයේ දී මියගිය තම ආදරණීයයන් වෙනුවෙන් ශෝක වන්නට ඉඩ නොදෙන තරමට උතුර සහ දකුණ තවමත් ගැඹුරින් බෙදී ඇත. ජන ප්‍රජාවන් ගණනාවක් සිටින රටක, එක් ප්‍රජාවකට, තවත් ප්‍රජාවක් ශෝක වන අතර ප්‍රීතිමත් විය හැකිද? දෙමළ ජනතාවගේ ශෝක වීම මර්දනය කිරීමට, වැළැක්වීමට සහ නැවැත්වීමට අයිතියක් ඇති බව සන්නද්ධ අරගලය පරාජය කිරීමට සහභාගී වූ අයට හැඟෙන්නට පුළුවන. දකුණේ සන්නද්ධ නැගිටීම් අතරතුර දී ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් විසින් පෙන්නුම් කර තිබෙන පරිදි, සාමූහික ශෝක වීම, සටන්කාමීන් හෝ සිවිල් වැසියන් වේවා, සිය මිතුරාගේ හෝ නෑදෑයෙකුගේ මරණ දිනය තවමත් නොදන්නා උතුරු හා නැගෙනහිර පුද්ගලයින්ට වෙත ද ව්‍යාප්ත කළ යුතුය.

සන්නද්ධ ගැටුම අවසන් වීම ගැන අපි බොහෝ දෙනෙක් සතුටු වෙමු. ගැටුමේ සන්නද්ධ අවධියේ අවසානය සැමරීමට ඕනෑම කෙනෙකුට තිබෙන අයිතිය පිළිගන්නා අතරම, මහජනතාව වශයෙන් අපි අවම වශයෙන් දැන් වත් වැදගත් ප්‍රශ්න කිහිපයක් මතු කළ යුතුය. වසර 16 ක යුද ජයග්‍රහණය සැමරීම සහ දෙමළ ජනතාව අතර යුද්ධයෙන් මියගිය අය සැමරීම මර්දනය කිරීම විවිධ ජන ප්‍රජාවන් අතර එක්සත් බව, සංහිඳියාව සහ ඒකාබද්ධතාවය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වී තිබේද? යුද්ධයෙන් මියගිය, සිවිල් වැසියන් හෝ සටන්කාමීන්ගේ ශෝකය සහ වේදනාව මර්දනය කිරීම, ඔවුන්ගෙන් මියගිය අයගේ සොහොන් සමතලා කිරීම, රට නැවත එක් සේසත් කිරීමට සහ කල් පවතින සාමයක් ඇති කිරීමට උපකාරී වී ඇත්තේ කෙසේද?

අද දින යුද ජයග්‍රහණ සැමරුම යොදා ගන්නට තිබෙන හොඳම ක්‍රමය වන්නේ, සන්නද්ධ ගැටුමට තුඩු දුන් අතීතයේ සිදු වූ වැරදි පිළිගැනීමෙන්, එවැනි වැරදි නැවත වරක් සිදුවීම වැළැක්වීම සඳහා ශක්තිමත් සහ බලාත්මක කළ හැකි පියවර ගැනීමෙන් සහ අපගේ බෙදී ගිය ජන ප‍්‍රජාවන්ගේ සමගිය, සංහිඳියාව සහ ඒකාබද්ධතාවට දායක වීමට මං පාදන ක්‍රියාත්මක කළ හැකි නෛතික යාන්ත්‍රණයන් සකස් කිරීමෙන්, එක්සත්කම, සංහිඳියාව සහ ඒකාබද්ධතාව සඳහා වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමයි.

යුද ජයග්‍රහණ සැමරුමක දී, සාමය සහ සංහිඳියාව ගැන කතා කිරීම, සටන් කළ අයගේ කැප කිරීම් පිළිගැනීම පමණක් නොව, යුද්ධයේ කල් පවතින බලපෑම් සහ සුවපත් කිරීමේ සහ අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීම ද සම්බන්ධ වෙයි. NPP ආණ්ඩුව සැමරුමෙන් ඔබ්බට ගොස් ගැටුමෙන් උගත් පාඩම් සහ ගැටුම්වලින් තොර යහපත් අනාගතයක් වෙත එහි ඇති කැපවීම ගැන මෙනෙහි කළ යුතුය. ඇද වැටුණු අයට ගරු කිරීම, ඔවුන් කළ කැප කිරීම් සහ සටන් කළ අය, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් අත්විඳින ලද වේදනාව, දුක් වේදනා සහ අහිමි වීම් පිළිගැනීම එයට ඇතුළත් විය යුතුය.

අවි අතට ගැනීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැතැයි සිතූපරාජිතයන්ගේ වේදනාව බෙදා හදා ගැනීමසඳහා මඳක් නවතින්නට ද එය අවස්ථාවකි. ගැටුම විසින් පුද්ගලයන් සහ සමස්තයක් ලෙස සමාජය වෙත ඇති කර තිබෙන කල් පවත්නා බලපෑම මෙනෙහි කරන අතර, සියලු පාර්ශ්වයන්ට අදාල වූ මිනිස් පිරිවැය හඳුනා ගැනීම ද මේ හා සම්බන්ධ වේ. අවධාරණය යොමු කල යුත්තේ විරුද්ධවාදීන් ව සිටිය හැකි අය අතර අවබෝධය, සමාව දීම සහ සුවපත් කිරීම දිරිමත් කරමින් වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම සඳහා සාමය, යුක්තිය සහ සහයෝගිතාවය සඳහා තිබෙන අවශ්‍යතාවය ගැනයි. ඒ සමඟම, අනාගත ගැටුම් වළක්වා ගැනීමට සහ වඩා සාමකාමී රටක් ගොඩනැගීමට බලාපොරොත්තුවත් කැපවීමත් පොලඹවා ලිය යුතුය.

මෙවැනි දිනයක, යුද්ධය යනු හුදෙක් සන්නද්ධ හමුදා සහ කණ්ඩායම් අතර ගැටුමක් නොව, මානව කම්පනයන් සහ බොහෝ නිෂේධාත්මක අත්දැකීම් සහ ප්‍රතිවිපාකවල සංකීර්ණ ජාලයක් බව හඳුනා ගැනීම් මගින් අප යුද්ධයේ සංකීර්ණතාවයන් පිළිගත යුතුය. විශේෂයෙන්ම, දේශපාලන නායකයෝ, සතුරාට එරෙහිව ජයග්‍රහණය සැමරීම හෝ ඔවුන්ගේ ඇද වැටුණු අයව අමානුෂික බවට පත් කිරීම සහ යුද්ධය උත්කර්ෂයට නැංවීම ලෙස අර්ථ ගැන්විය හැකි වචන යොදා ගැනීමෙන් වැළකී සිටිමින්, සියළු දෙනා ඇතුළත් කර ගන්නා භාෂාව යොදා ගැනීමේ ඇති වැදගත්කම අවබෝධ කර ගත යුතුය. ජනනාත්මක අනාගතයක්, ඔරොත්තු දීමේ හැකියාව, ධෛර්යය සහ අනුකම්පාව පිළිබඳ අනාගතයක් සහ සම්බන්ධ වූ සියලු පුද්ගලයින්ගේ ශක්තිය සහ මනුෂ්‍යත්වය සඳහා දැක්මක් ගොඩනැගීම සඳහා දායක වන මානව අත්දැකීම් ඉස්මතු කිරීම වැදගත් වනු ඇත.

එක්සත් රටක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරන බව අප ප්‍රකාශ කරන්නේ නම්, ජයග්‍රහණයේ සහ පරාජයේ උච්චතම සහ පහළම අවස්ථා සමහන් කිරීමට, සමාජයේ ජාතිකවාදී ආතතීන්ට මුහුණ දී නිරාකරණය කරන්නට සහලස්සන ජීවිතයක් සහ සමෘද්ධිමත් රටක්බවට පත් කරන්නට ඔවුන් සතු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට NPP යට සහ එහි නායකයින්ට ධෛර්යය සහ අධිෂ්ඨානය ඇති කර ගැනීමට දැන් කාලය එළඹ ඇත.

සාමය, සාධාරණත්වය සහ සංහිඳියාව වෙත ප්‍රමුඛත්වය ලබා දෙන අනාගතයක් නිර්මාණය කිරීම සඳහා NPPයේ නායකයෝ ක්‍රියාමාර්ග සහ ඊට ඇති කැපවීම පොලඹවා ලිය යුතුය. අවසානයේ දී, අතීතය පිළිබඳ විවෘත හා අවංක සාකච්ඡා දිරිමත් නොකොට සහ අතීතයේ වැරදිවලින් පාඩම් ඉගෙන නොගෙන, අනාගතයේ දී මෙවැනි ම ගැටුම් වළක්වා ගන්නටත් ඒකාබද්ධ ජාතියක් කරා යන ගමනේ යෙදෙන්නටත් නොහැකි වනවා ඇත.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.