9 September, 2024

Blog

කළු ජූලියට වසර 41ක් – අර්ථවත් සංහිඳියාවක් කරා නැඟිය යුතු අපේ හඬ

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාව තුළ භීතිය පැතිර පවතී. මාධ්‍ය සහ මිනිසුන්ගේ මූලික අයිතීන් මර්දනය කිරීම ත් මානව හිමිකම් ආරක්ෂකයින් මර්දනය කිරීම ත් විසින් වින්දිතයින් නිහඬ කරවා ලමින්, සහ සංහිඳියාව වළකා ලමින් භීතියේ වාතාවරණයක් පෝෂණය කර ඇත. සත්‍යය හෙළිදරව් කිරීම නිසා ජීවිත අවදානමට පාත්‍ර කරමින් දේශපාලන සහ සාපරාධී ඵල ප්‍රයෝජන විසින් යුක්තිය පසිඳලීමේ ක්‍රම වේදයට තර්ජනය එල්ල කරනු ලැබේ.

රටේ පාලන තන්ත්‍ර විසින් දශක ගණනාවක් පුරාම වෙනස් කරන බවට කිසිදු සලකුණක් නොමැතිව, දණ්ඩ මුක්තිය ස්ථිරසාර බවට පත් කර තිබේ. කැරලි කෝලාහල, කළු ජූලි සංහාරය, ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම හෝ පාස්කු බෝම්බ ප්‍රහාර වැනි ප්‍රධාන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් විශ්වාසනීය අන්දමේ ස්වාධීන පරීක්‍ෂණ කිසිවක් මේ තාක් සිදු කර නොමැත. විමර්ශන කටයුතු වලට බොහෝ විට බාධා එල්ල කොට, අපරාධකරුවන්ට එරෙහිව පැවති නඩු ඉවතට දමා, සැබෑ විමර්ශකයින් නිහඬ කර දමා හෝ පිටුවහල් කර දමා ඇත. බුද්ධි අංශ සහ ආරක්‍ෂක ආයතනවලට එල්ල වෙන චෝදනාවලින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මැදිහත් වීමෙන් යුක්තව විනිවිද පෙනෙන හා ස්වාධීනව පවත්වන පරීක්‍ෂණවල ඇති අවශ්‍යතාවය යි.

Black July 1983

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආගම සහ රාජ්‍යය අතර පැවති බෙදීම බිඳ දමා බහුතර ආධිපත්‍යය තහවුරු කළේය. ප්‍රහාර එල්ල කිරීම සහ සංහාරයට ලක් කිරීම නිසා බොහෝ දෙමළ ජනයාට රටින් පලා යන්නට බල කෙරිණි. එමඟින් දෙමළ (සහ පසුව මුස්ලිම්) ජනයා නොමැති රාජ්‍යයක් ඉල්ලා සිටීමේ ප්‍රවණතාවක් ජනනය විය. එය අනුව යමින් පෙරට ආ වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා කරන ලද ඉල්ලීම තවදුරටත් ශක්තිමත් බවට පත් විය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මෙම ප‍්‍රවණතාවය නොකඩවා පැවතුණි.

අපගේ ජන කොට්ඨාස මත ඇති කරන ලද කම්පනය (ක්ෂතිය), වැඩවසම් යුගයේ සිට යටත් විජිතවාදය හා නිදහස ලැබීමෙන් පසු ඉතිහාසයේ සියවස් ගණනාවක් පුරා විහිදී ඇත. මෑත කාලීන අපරාධ වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන දණ්ඩ මුක්තිය අවසානයක් නොදැක සමාජය තුළ හොල්මන් කරයි. 1983 කළු ජූලි සංහාරයේ 41 වැනි සංවත්සරය යනු දෙමළ ජනයා දහස් ගණනක ගේ මරණ, මහා පරිමාණ අවතැන් වීම් සහ උතුරු නැගෙනහිර වසර 26ක සිවිල් යුද්ධයේ සහ දකුණේ පැවති සන්නද්ධ නැගිටීමේ ආරම්භය පිළිබඳව මනා සිහි ගැන්වීමකි. එම සංහාරයේ ප්‍රතිඵලය වූයේ රටේ තරුණ තරුණියන්ගෙන් සමන්විත වුනු ජීවිත අපමණ සංඛ්‍යාවක් අහිමි කර ලීම යි.

තම ආදරණීයයන් පිළිබඳව සත්‍යය දැන ගැනීම සඳහා වින්දිතයින් ගේ පවුල් බල කරමින් සිටිති. ආරක්ෂක හමුදා සහ අතුරු හමුදා කණ්ඩායම් විසින් කෲරකම් සිදු කර තිබුනද, මෙතෙක් ඒ පිළිබඳව කිසිදු වග වීමක් පෙනෙන්නට නැත. දිවයින පුරා තවත් සමූහ මිනී වලවල් සොයා ගනු ලැබුවද, යුද අපරාධ ආමන්ත්‍රණය කිරීමට පාලන තන්ත්‍ර විසින් සැබෑ උනන්දුවක් දක්වා නොමැත. ඒ වෙනුවට, අනුප්‍රාප්තික ආණ්ඩු කර ඇත්තේ සංහිඳියාව නිම නොකළ කටයුත්තක් ලෙස නොකඩවා පවත්වා ගැනීම සහතික කරමින් ජාත්‍යන්තර සන්නිරීක්ෂනය මඟ හරවා ලීම යි.

අපේ අභියෝගය

ශ්‍රී ලාංකීය ඕස්ට්‍රේලියානුවන් වශයෙන්, අපි අභියෝග දෙකකට මුහුණ දී සිටිමු. ඒ ශ්‍රී ලංකාව තුළ ඵලදායී සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා අපේ හඬ නැංවීම ත් සැකයෙන් පෙළෙනවුන්ට එහි ඇති වැදගත්කම පිළිබඳව ඒත්තු ගැන්වීම ත් ය. අප කරන කටයුතුවලදී අපේ අවංක බව පවත්වා ගැනීමට නම්, ඕස්ට්‍රේලියාවේ කෙරෙන සංහිඳියා ප්‍රයත්නයන් සඳහා ද අපේ දායකත්වය ලබා දිය යුතුය. 2023 ඕස්ට්‍රේලියාවේ ස්වදේශීය හඬක් ගැන පවත්වන ලද ජනමත විචාරණය සම්බන්ධයෙන් මා සතුව පවතින අත්දැකීම් සංහිඳියාව වෙනුවෙන් සත්‍යය ගවේෂණය කිරීම සඳහා උකහා ගත හැකි පාඩම් උද්දීපනය කරයි.

සංහිඳියාව දිගු ගමනක් වේ. ඕස්ට්‍රේලියාවේ අර්ථවත් වෙනසක් ඇති කර ගැනීම සඳහා පරම්පරාවන් විසින් නොකඩවා සටන් වැදී ඇති අතර, අනාගතයේ අත්පත් කර ගත යුතුව තිබෙන ජයග්‍රහණ වෙනුවෙන් වඩා වැඩි පරිශ්‍රමයක් දැරිය යුතුව තිබේ. සංහිඳිත ඕස්ට්‍රේලියාවක් ඇති කර ගැනීම යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයෙකුගේ පසුබිම විසින් එම පුද්ගලයාගේ ජීවන තත්ත්වය තීරණය කරනු නොලබන බව සහතික කරමින්, ආදිවාසී නොවන දරුවන් භුක්ති විඳින අන්දමට සමාන වන අන්දමේ අවස්ථා සහ ජීවිතයේ දී කරන තෝරා ගැනීම් ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධියේ දරුවන්ට ද හිමි කර දීම යි.

සංහිඳියාව යථාර්ථයක් වන්නට නම් රටක් සත්‍යය දැන ගැනීම වෙනුවෙන් සූදානම් ව සිටිය යුතුය. සමාජය මත එය බලයෙන් පැටවීම එහි අසාර්ථකත්වයට මඟ පාදයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන දෙරටේම ඉඩම් අයිතිය පැහැර ගැනීම, ප්‍රචණ්ඩත්වය සහ වර්ගවාදය හා සම්බන්ධ වන යටත් විජිත වෘත්තාන්ත, විශේෂයෙන්ම බහුතරයට අයත් නොවන ආන්තික ජන කොටස් කෙරෙහි, දිගු කලකට බලපාන ප්‍රතිවිපාක ඇති කර ලයි. 1991 පටන් ඕස්ට්‍රේලියාව සංහිඳියාව වෙත සාධනීය පියවර ගෙන තිබෙන නමුත්, එහි ප්‍රගතිය අර්ධ හා මන්දගාමී ව පවතී.

සංහිඳියාව සඳහා දැක්මක්

ඕස්ට්‍රේලියාවේ සංහිඳියාව පදනම් වන්නේ පෞරාණික පිළිගැනීම, වාර්ගික සබඳතා, සමානත්වය සහ සමානාත්මතාවය, ආයතනික ගරුත්වය සහ එක්සත්කම යන මාන පහ මත යි. සංහිඳියාව යනු එය බහු ජාතික සමාජයක් තුල පවතින සබඳතා ශක්තිමත් කරමින් ඉදිරියට යන ගමනක් වේ.

විවිධ සංස්කෘතීන් පිළිබඳව අවබෝධ කර ගැනීම සහ ඒවාට ගරු කිරීම විසින් වෙනස්කම් වලට ලක් කරනු ලැබීමෙන් තොර වීම සහතික කරමින් විශ්වාසය ගොඩනැගීමට මඟ පාදනු ලැබේ. සියළු ජන කොටස් එකිනෙකාගේ අයිතිවාසිකම් සහ සංස්කෘතීන් විශ්වයීය ලෙස පිළි ගනිමින් ජීවිතය තුල සමානයින් වශයෙන් කටයුතු කළ යුතු වේ. දේශපාලන, ව්‍යාපාරික සහ ප්‍රජා නායකයෝ කැපවීමෙන් හා සක්‍රිය බවින් යුක්තව සංහිඳියාව සඳහා දරන පරිශ්‍රමයන් වෙත සහාය දීම අවශ්‍ය වේ.

සියළුම පුරා වෘත්ත, සංස්කෘතීන් සහ අයිතීන් අගය කොට සැලකීම විසින් සමාජයීය එකමුතුව යලි ගොඩ නඟන්නට සහාය වෙමින් බෙදා හදා ගත් (හවුල්) අනන්‍යතාවයක් පෝෂණය කරනු ඇත. ඓතිහාසික වශයෙන් කරන ලද හානි සහ ඒවා විසින් ඇති කරන ලද බලපෑම් අවබෝධ කර ගැනීම, එවැනි හානි නැවත සිදු නොවන බවට පුළුල් ලෙස පිළි ගන්නට මඟ පාදා ලයි.

සත්‍යය ප්‍රකාශ කිරීම ත්, ක්‍රමය හා අනුබද්ධ ව පවතින අසමානත්වය, වර්ගවාදය හා වෙනස්කම් වලට ලක් කරනු ලැබීම ත් වැනි ගැට‍ළු විසඳා ගැනීම මත සංහිඳියාව රඳා පවතියි. අතීතයේ වැරදි ඓතිහාසික ව පිළිගැනීම මඟින් සම්බන්ධතා, සමානත්වය සහ සමානාත්මතාවය වැඩි දියුණු කර ලනු ලැබේ.

අපගේ අවධානය

සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් ඒවා රැක ගැනීමට සංහිඳිත සමාජයක් කටයුතු කරයි. සංහිඳියාව ඇති කිරීම සඳහා කටයුතු කිරීමේදී ආමන්ත්‍රණය කල යුතුව පවතින ගැට‍ළු හඳුනා ගැනීම තීරණාත්මක වෙයි. කිසිදු පුද්ගලයකුගේ පසුබිම ගැන නොසලකා සියළු දෙනාට ම සම ජීවන අවස්ථා සපයා දීම, සාධාරණ, සමානාත්මවාදී සමාජයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරයි.

ප්‍රබුද්ධ නායකයන් විසින් අතීත අපරාධ මෙන්ම අයිතීන් කඩවීම් ආමන්ත්‍රණය කරනු ලැබීමට ඵලදායි සංහිඳියාව බල කර සිටියි. අව්‍යාජ කැපවීමක් අවශ්‍ය කරවන සංහිඳියාව දේශපාලනික පන්තීන් ඉක්මවා යන්නකි. ශ්‍රී ලංකාව තුළ සංහිඳිත අනාගතයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අතීතයේ දී විවිධ දේශපාලන නායකයින් විසින් කරන ලද කැපවීම් වලත්, දේශපාලන නායකයින් දැනට කරන ඇතැම් ප්‍රක්ෂේපන තුලත් පවතින ගැටළුකාරී කරුණු ඉස්මතු කිරීමට කැමැත්තෙමි.

පැහැදිලිවම, වෙනසක් අවශ්‍ය ව ඇත.

සත්‍ය සෙවීමේ කොමිෂන් සභාඉතිහාසය

ශ්‍රී ලංකාවේ පළමු දෙමළ විරෝධී කෝලාහල ආරම්භ වූයේ 1958 දී රජය සිය වගවීම මග හැරීමත් සමඟිනි. කිසිදු පිළිවෙලක් නොමැතිව පත් කරන ලද කොමිෂන් සභා විසින් තොරතුරු එක් රැස් කරන ලද නමුත් පාලන තන්ත්‍ර සිය වගකීම නොසලකා හැරියේය. දණ්ඩ මුක්තිය රාජ්‍ය අපයෝජන වෙනුවෙන් පවත්වා ගෙන යෑම නොකඩවා සිදු වෙයි.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, නීති විරෝධී ව කරන ලද ඝාතන, වධහිංසා පැමිණවීම්, බලය අයුතු ලෙස භාවිත කිරීම, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුල ඇතුළත් වේ. හමුදාව විසින් සිවිල් වැසියන් සහ ආරක්‍ෂිත කලාප ඉලක්ක කරනු ලැබීම, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) සැලකිල්ලට යොමු නොකලේය. ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් පිහිටුවන ලද අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය නමැති සංක්‍රාන්ති යුක්තිය හා අදාල ආයතන දෙක පවා කිසියම් අන්දමේ අර්ථවත් සත්‍යයක්, යුක්තියක් හෝ වන්දියක් ලබා දීමට තරම් වත් දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවූ අතර ඒ ආයතනවලට අවශ්‍ය සම්පත් ලබා නොදීම හේතුවෙන් ඒවා ක්‍රියාකාරිත්වය අතින් අභාවයට පත් විය.

යුද්ධය පැවති කාලය තුල සිදු වූ දේවල් යටපත් කර දමන්නට අනුප්‍රාප්තික පාලන තන්ත්‍ර අසාර්ථක උත්සාහයක යෙදුණි. අතීතයේ පැවති ගැටුම් විසින් ඇති කරන ලද බරපතල ගැට‍ළු විසඳා ලන්නට රජය විසින් පත් කරන ලද පරිපාලන හා අධිකරණ යාන්ත්‍රණ සහ අනෙකුත් උපාංග අසමත් විය. එවැනි පරිශ්‍රම විසින් තව දුරටත් ව්‍යාකූලත්වය සහ දෙගිඩියාව පතුරා ලන ලද අතර එමඟින් ගැටුම් නිරාකරණය කරන්නට ත් සංහිඳියාව ඇති කරන්නට ත් දරන උත්සාහයන් දුබල බවට පත් කළේය.

පසුගිය මැයි මාසයේ දී යෝජනා කරන ලද සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා වන කොමිෂන් සභාව (CTUR) විශ්වාසනීය බවක් අත් කර නොගත් අතර, එය දක්නා ලද්දේ සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් කරන ලද මවා පෑමක් ලෙසිනි. වින්දිතයින් සහ සිවිල් සමාජය අතර ආණ්ඩුව පත් කල කොමිෂන් සභා ගැන විශ්වාසයක් නො පවතී.

අදාළ ගැට‍ළු

ඵලදායී විමර්ෂණ සඳහා සාක්ෂිකරුවන්ට අව්‍යාජ ලෙස ආරක්ෂාව සැපයිය යුතුය. සාක්ෂිකරුවන්ට ආරක්ෂාව නොලැබීම සහ එයින් ඇති කල බිය පසුගිය කොමිෂන් සභාවල වින්දිතයින් ගේ පෙනී සිටීමට බාධා පැමිණවිය. විදේශයන්හි සිට සාක්ෂි ලබා දෙන්නට දරන ලද උත්සාහයන් ද අසාර්ථක වූ අතර, සාක්ෂිකරුවන් ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ද තර්ජන එල්ල වූයේය. සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැලසීම සඳහා සකස් කරන ලද නීති කෙටුම් පතක් කිසි විටෙක සම්මත කරනු නොලැබිණි. සමස්තයක් ලෙස එම ක්‍රියාවලියට විශ්වාසනීයත්වය අහිමි වූයේය. පෞද්ගලික සහ ආයතනික ගරුත්වය මත කොමිෂන් සභාවක් කෙරෙහි තබන විශ්වාසය රඳා පවතී.

සත්‍යය, සමගිය සහ සංහිඳියාව

යෝජිත නව සත්‍ය සෙවීමේ කොමිෂන් සභාව නතර කර දමා සත්‍යය සෙවීම සහ යුක්තිය ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ එක්ව කටයුතු කරන ලෙස බොහෝ දෙනා ඉල්ලා සිටිති. සංහිඳියාව සඳහා බලතල සාරෝපණය (devolution) කිරීම, හමුදා හරණය (හමුදා කරණය ඉවත් කිරීම) කිරීම, ඉඩම් අහිමි වූ අය යළි පදිංචි කර ලීම සහ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම අවශ්‍ය වේ. බලතල සාරෝපණය සුදුසු විසඳුමක් නොවන්නේ යයි සිතන්නේ නම් ඒ වෙනුවට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතුය.

සිවිල් පරිපාලනය ප්‍රතිෂ්ඨාපනය කර බල ගැන්වීමෙන් තොරව, ඵලදායි හමුදා හරණය කිරීමෙන් තොරව, දෙමළ හා මුස්ලිම් අවතැන් වූවන් යළි පදිංචි කිරීමෙන් තොරව, අතුරු හමුදා විසුරුවා හැරීමෙන් තොරව, නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීමෙන් තොරව, පළාත්බද ආර්ථිකයන් පුනර්ජීවනය කිරීමෙන් තොරව සංහිඳියාව ගැන කතා කිරීම අර්ථවත් නොවනවා පමණක් නොව රැවටීමක් ද වන්නේය.

නිගමනය

වග වීම් විරහිත විධායක බලතල අහෝසි කිරීම, ආණ්ඩුවේ ප්‍රධාන අංශ අතර යලි සමතුලිතතාව ඇති කිරීම, මර්දන නීති අහෝසි කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම හා සමඟ සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමේ කටයුත්ත සම්බන්ධ වේ. ස්වාධීන අධීක්ෂණයක් සහිතව නඩු පැවරීම් කිරීම මඟින් දණ්ඩ මුක්ති සංස්කෘතිය බිඳ දැමිය හැකිය. නව දේශපාලන සංස්කෘතියක් මෙන්ම කැප වුනු නායකත්වයක් සහිත ප්‍රගතිශීලී බලවේගවල පුළුල් සන්ධානයකට අධිකාරවාදයට අභියෝග කොට, සමාජආර්ථික සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම කළ හැකිය.

අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම සඳහා වින්දිතයින් ට ඇහුම්කන් දීම ත් විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ත් අවශ්‍ය වේ. අතීතයේ සොයා ගෙන ඇති කරුණුත්, සිදු කර තිබෙන නිර්දේශත් මත පදනම් වනු ලබන සාකල්‍ය ක්‍රියාවලියක් උපයෝගී කර ගෙන වගවීම, නීතියේ ආධිපත්‍යය සහ බල ගැන්වීම මඟින් ප‍්‍රජාවන් සවි බල ගැන්විය යුතුය.

අතීතයේ සිදු කරන ලද අපයෝජන සම්බන්ධයෙන් බරපතල ලෙස විමර්ශනය කිරීම සඳහා පාලන තන්ත්‍ර සිය දේශපාලන අභිලාෂය විදහා දැක්විය යුතුය. ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවන්ට ඒවා ආපසු ලබා දීම සහ මියගිය අය අනුස්මරණය කිරීමට ඉඩකඩ ලබා දීම අතිශයින් වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) වෙත සපයන ලද ප්‍රතිඥා සපුරා ලන්නට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් සාක්ෂි එකතු කිරීමේ කටයුත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පවරා දෙන 2021 යෝජනාවකට මඟ පෑදුණේය. එක්සත් ජාතීන්ගේ මූලික ලේඛන (protocols) යටතේ සත්‍ය ගවේෂණය කිරීමෙන් බෙදී ගිය ප‍්‍රජාවන් සමාදානයට පත් කළ හැකිය.

වින්දිතයින් අන්තර් ගත කර ගැනීම ත්, මිලිටරි බලය අභිභවන සිවිල් ප්‍රජාතන්ත්‍රවාදය වෙත කැප වීමත් සංහිඳියාව සඳහා අවශ්‍ය වේ. ප්‍රගතිය අත් කර ගැනීම සඳහා සත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව කරන අව්‍යාජ සංවාදයක් අත්‍යවශ්‍ය වන්නේය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    I think that dramas and other programs and workshops showing the atrocities committed by both sides during the war should be brought before the people not less than once a week and it will definitely sow the seeds of eternal reconciliation. Unfortunately, our religious leaders are not sharp enough to convey the message. What do they really do? Venerable Malcolm Ranjith and the Maha Sangharatne were dead silent as Medamulana Mrugas and their sons held car races near the Talada Palace compound in Kandy. Colombo was freely offered for the sons’ # illegitimate activities.
    We need to find new strategies and mechanisms to tame the stubborn mentality of people. The healthier people are, the better their future lives will be. The youth will be grateful to us. Verbal attacks are sometimes many times more powerful than any real weapon in nations at war.

  • 0
    0

    යුද්ධයේදී දෙපාර්ශ්වයම කළ අමානුෂික ක්‍රියා පෙන්වන නාට්‍ය හා වෙනත් වැඩසටහන් සහ වැඩමුළු සතියකට වරක් නොඅඩු ජනතාව හමුවට ගෙන ආ යුතු අතර එය අනිවාර්යයෙන්ම සදාකාලික සංහිඳියාවේ බීජ වපුරනු ඇතැයි මම සිතමි. අවාසනාවට, අපේ ආගමික නායකයන් පණිවිඩය දීමට තරම් තියුණු නැත. ඔවුන් ඇත්තටම කරන්නේ කුමක්ද? මැදමූලන මෘගයන් සහ ඔවුන්ගේ පුතුන් මහනුවර තලඳ මාලිගා පරිශ්‍රය අසල කාර් රේස් පවත්වද්දී මැල්කම් රංජිත් හිමි ඇතුළු මහා සංඝරත්නය නිහඬව සිටියහ. පුතාලගේ # අවජාතක වැඩ වලට කොළඹ නිදහසේ දුන්නා.
    මිනිසුන්ගේ මුරණ්ඩු මානසිකත්වය මෙල්ල කිරීමට නව උපාය මාර්ග සහ යාන්ත්‍රණ සොයා ගත යුතුය. මිනිසුන් නිරෝගී වන තරමට ඔවුන්ගේ අනාගත ජීවිතය යහපත් වනු ඇත. යෞවනයන් අපට කෘතඥ වනු ඇත. වාචික ප්‍රහාර සමහර විට යුද්ධයේ සිටින ජාතීන් තුළ ඇති ඕනෑම සැබෑ ආයුධයකට වඩා බොහෝ ගුණයකින් බලවත් වේ.xxx

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.