21 November, 2019

Blog

ශ්‍රී ලංකාව: මැයි දිනය සහ කම්කරු අයිතිවාසිකම්

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

රාජ‍්‍ය අංශය, බැංකු හා වෙළඳ අංශ සඳහා 1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මැයි දින උත්සව වෙසක් උත්සවයේ උවමනාවන් හෝ ඒ වෙනුවෙන් පවත්වන උත්සව කටයුතු සමඟ කිසි විටෙකත් ගැටුම්කාරී වී නැත. මෙම තත්ත්වය ගැන නොසළකා සහ උපදේශනයකින් තොරව ජනාධිපතිවරයා විසින් මෙම වසරේ “වෙසක් සතිය”ක් පැවැත්වීමට නියමිතය යන්න කඩතුරාවක් ලෙස යොදා ගනිමින් මැයි දිනය කල් තබන්නට ඒකමතිකව තීරණය කොට ඇත. ඊයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනයකින් මැයි 1 ට යෙදී ඇති මැයි දින නිවාඩුව අවලංගු කර තිබේ.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ මැයි දින උත්සව මැයි 7 වන දා දක්වා කල් දැමීම මහනායක හිමිවරුන් විසින් කරන ලද ඉල්ලීමක් නිසා වූයේයයි කියනු ලැබේ. මෙය‚ වැඩකරන ජනතාවගේ අවධානය දවසේ දැවෙන ප්‍රශ්නවලින් ඉවතට යොමු කිරීමෙන් ඔවුන්ගේ විරෝධතා වළක්වා ලීම සඳහා ආගමික හැඟීම් යොදා ගැනීමේ ගොරහැඩි දේශපාලන කූටෝපායකි. කම්කරුවන්ගේ අවශ‍්‍යතා නියෝජනය කිරීමට නියමිත පක්ෂ හා වෘත්තීය සමිති සමහරක් දැනටමත් ආන්ඩුව සමග පෙළ ගැසී ඇත. අනෙක් අය‚ පෙළපාලි යාමට එරෙහිව නාගරිකව පනවා ඇති තහනම් කිරීම් නොතකා ඔවුන්ගේ විරෝධතා මැයි 1 වන දා වීදි බස්වන්නට තීරණය කොට ඇත.

වෙසක් දිනය මැයි දිනය සමග එක පිට වැටීමේ ගැටළුව මීට ඉහත බොහෝ වාරයක් මතුවී තිබේ. මෙය සිදු වන අවස්ථාවලදී ආගමිකත්වයේ මුහුණත දෘශ්‍යමාන වෙයි. 1967 දී එක්සත් ජාතික පක්ෂ පාලනය මැයි දින උත්සව මැයි 2 දක්වා කල් තැබීය. ප්‍රවෘත්ති වාර්තාවල උපුටා දක්වා ඇති අන්දමට, කොමියුනිස්ට් පක්ෂය (බීජිං පිළ) එයට විරුද්ධ වූ අතර මෛත්‍රීපාල සිරිසේන කොමියුනිස්ට් පක්ෂයේ තීරණයට සහාය දුන්නේය. මැයි දින උත්සව කල් දැමීමෙන් දැන් ඔහුම තම අවස්ථාවාදය ප්‍රදර්ශනය කරමින් තිබේ.

මැයි මස 1 ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම කම්කරුවන්ගේ අයිතියක් බව අවධාරනය කරමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති කිහිපයක් මැයි දිනය කල් දැමීමේ මෙම තීරණයට දැඩි ලෙස විරෝධය පල කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මැයි දින රැලිය පවත්වන බව ප්‍රකාශ කොට ඇතත් කොළඹ රැලිය මැයි 7 පවත්වනු ඇත. ඔවුහු ඔවුන්ගේ මැයි දින රැළිය මැයි 1 යාපනයේ පැවැත්වීම සැළකිය යුත්තකි. කම්කරුවන්ගේ අයිතිවාසිකම් පරයා ආගමට ප්‍රමුඛත්වය දීම පිළිබඳ ප්‍රශ්ණයට අභිමුඛ නොවන්නට මෙම තේරීම කරන්නේදැයි යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. ජනතා විමුක්ති පෙරමුණට අනුව මැයි 1 දිනයේ දී උත්සව සඳහා කොළඹට විශාල ජනකායක් ගෙන ඒම කොළඹ පැවැත්වීමට නියමිත වෙසක් උත්සවවලට බාධාවක් වනු ඇත. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දෙගිඩියාවට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2008 දී‚ වෙසක් උත්සවය හේතුවෙන් මැයි 1 වන දායි‍න් මැයි දිනය වෙනස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ ඊට පුරෝගාමී වූයේය.

මෙම වසරේ වෙසක් දිනය මැයි 1 දාට නොවැටේ. මෙම ගැටුම හට ගෙන ඇත්තේ මෙම වසරේ වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි. වෙසක් සතිය වාර්ෂික සිදුවීමක් බවට පත්කරනු ලැබුවහොත්‚ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක් වනු ඇත්දැයි යන්න දැන ගැනීම වැදගත් වෙනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කෙනෙකුට “එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීම” හා සමඟ පහසුවෙන් අර්ථ කථනය කළ හැකි ය. එසේ ගත් විට ඔවුහු ශ්‍රී ලංකාවේ දකුණේ වැඩ කරන ජනතාවට‚ කොළඹ පදිංචිව සිටින ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර කම්කරු දිනයේ අදාලත්වය නොසළකා මැයි 1 දා කොළඹ මැයි රැළිය පැවැත්වීම මඟ හරිති.

1977 නොවැම්බර් මාසයේ දී අප බන්ධනාගාරයෙන් නිදහස් කරන ලද විට, කම්කරුවන් සූදානම් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වූයේ ඔවුන්ගේ පුද්ගලික දේශපාලන බැඳියාව සැළකිල්ලට ගැනීමෙන් තොරව තනි කම්කරු ෆෙඩරේෂනයක් (සම්මේලනයක) තුල ඔවුන් සංවිධානය කිරීමයි. සටන් පාඨය වූයේ “එක් කර්මාන්තයක් සඳහා එක් වෘත්තීය සමිතියක්” යන්නයි. කෙසේ වෙතත් මෙය සිදු නොවූ අතර ජනතා විමුක්ති පෙරමුණ “සමාජවාදී කම්කරු සංගමයේ” ධජය යටතේ තමන්ගේ ම වෘත්තීය සමිතියක් පිහිටුවා ගත්තේය. පක්ෂ මාවත් ඔස්සේ කම්කරුවන්ගේ එකමුතුව මෙසේ භින්න වී යාම ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇතුළු බොහෝ රටවල දකින්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ කම්කරුවෝ එක්සත් ජාතික පක්ෂය‚ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ධනේශ්වර දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී සිටිති. වම සමඟ සම්බන්ධව සිටින අය පවා බොහෝ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වටා විසිරී ඇත. මෙම දේශපාලන ආයතන සෘජු ලෙස හෝ ධනේශ්වර පාලක සභාගයේ කොටස්කරුවන් ලෙස හෝ‚ රටේ කම්කරුවන් හා තරුණයන් විසින් මෙහෙයවන ලද බොහෝ අරගල ප්‍රචන්ඩකාරී ලෙස මර්දනය කොට තිබේ. වෘත්තීය සමිති අතර ඇති නිකායවාදය ඒකාබද්ධ මැයි දින උත්සව නොපවත්වන්නට සම්මාදම් වීමෙන් කම්කරු ව්‍යාපාරයේ දුර්වලතාවයටද දායක වේ. වෘත්තීය සමිතිවල වලංගුභාවයට මහජනතාව ඉදිරියේ හානි පමූණුවන සාධකයන්ගෙන් එකක් වන මෙය වැඩ කරන ජනතාවගේ ඇතැම් කොටස්වල උදාසීනත්වයටද හේතු කාරක වී තිබේ.

තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ස්වාධීනව බලමුලු ගැන්වෙනු වෙනුවට කම්කරුවෝ දැන් තම අභිප්‍රාය වෙත කට වචනයෙන් පමණක් ප්‍රතිචාර දක්වති. මේ අතර පාලන තන්ත්‍රය පැය අටේ වැඩ දිනය ඇතුළුව දුෂ්කර ලෙස අත් කර ගන්නා ලද කම්කරු අයිතිවාසිකම් පැහැර ගන්නට කටයුතු කරමින්‚ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් සහ න්‍යාය පත්‍රය අනුව කටයුතු කරමින් සිටී. “එක් කර්මාන්තයක් සඳහා එක් වෘත්තීය සමිතියක්” යන ප්‍රතිපත්තිය මත පදනම් වෙමින් වෘත්තීය සමිති සංවිධානය වන තෙක් මෙම තත්වය වෙනස් නොවෙනු ඇත. ඒ සමඟම එවැනි එකමුතුවක් සඳහා එකම සහතිකය වනු ඇත්තේ වෘත්තීය සමිති තුල ප්‍රජාතන්ත්‍ර වාදය ක්‍රියාත්මක කිරීමයි.

දකින්නට ඇති අන්දමට‚සහභාගිත්වයෙන් තීරණ ගැනීම සඳහා විවිධ දේශපාලන අදහස් සහිත වැඩ කරන ජනයාට එකට එක්වන්නට ඉඩ කඩ සපයන ප්‍රධාන වෘත්තීය සමිතිවලින් එකක් වන්නේ නැසීගිය බාලා තම්පෝ සහෝදරයා විසින් කලින් නායකත්වය දෙන ලද ලංකා වෙලඳ සේවක සංගමයයි.කෙසේ වෙතත්‚ විවිධ දේශපාලන මත සහිත කම්කරුවන්ට සංගමයට බැඳෙන්නට අවසර ලබා දී තිබුනද‚ ඔහුගේ දිගු කාලීනවූ නිලකාල සීමාව තුළදී ‚ඔහුගේ අභාවය සිදු වෙන තෙක් ප්‍රධාන ලේකම්වරයා විසින් සංගමය මත දැඩි ග්‍රහණයක් පවත්වා ගෙන ගිය බව මම සටහන් කරමි.

මේ අනුව‚ මැයි දිනය වැඩ දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව‚එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරන කොළඹ මහ නගර සභාව කොළඹ මහජන උද්‍යානවල මැයි 1 වැනිදා මැයි දින රැළි පැවැත්වීම සඳහා අවසර දීම ද ප්‍රතික්ෂේප කොට ඇත. මෙය පැහැදිලිවම කොළඹ සියළුම මැයි දින උත්සව තහනම් කිරීමකි. මැයි 1 වන දා මැයි දින උත්සව සංවිධානය කරන්නන්ට එරෙහිව මෙම ආණ්ඩුව ගන්නා මර්දනකාරී ක්‍රියාමාර්ගවල ස්වරූපය‚ පසුගිය පාලනය එවකට පැවති කම්කරු අරගලවලට එරෙහිව ගන්නා ලද ප්‍රචණ්ඩ මර්දනකාරීක්‍රි යාමාර්ගය සමඟ බොහෝ විට සැසඳිය හැකිය. එක්සත් ජනපදය හා තවත් රටවල් කීපයක් කර ඇති ආකාරයට‚ ශ්‍රී ලංකා ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විවෘතවම දමනය කරන්නට ඉදිරිපත් වී තිබෙන බව පෙනේ.

දහ නවවන සියවස අග භාගයේදී සමාජවාදී කන්ඩායම් බොහොමයක් බිහි වුන කාලයත් සමඟ කෙනෙකුට ඓතිහාසික සමාන්තරයන් නිරීක්ෂණය කළ හැකිය. ඔවුන්ගෙන් සමහරෙක් දේශපාලන පක්ෂ වූ අතර අනෙක් අය ගීතිකා කණ්ඩායම් පමණක් වූහ. ඡන්දදායකයන්ගේ කොට්ඨාස නියෝජනය කරන්නට සමාජවාදීන් බොහොමයක්ද තෝරා පත් කරගන්නා ලදි. කෙසේ වෙතත් විශාල වෙළඳ ව්‍යාපාර සහ රජය විසින් දේශපාලන ක්‍රියාවලිය පාලනය කරන ලදි. වඩා හොඳ අනාගතයක් සඳහා ඉදිරියට ගමන් කළ හැකි මාවතක් නොමැති බව දුටු බොහෝ දෙනා ධනවතුන් ආරක්ෂා කිරීම සඳහා සැලසුම් කර තිබුන දේශපාලන අවකාශය ප්‍රතික්ෂේප කළෝය. ඔවුන්ගෙන් බොහෝ දෙනා දේශපාලණ සංවිධාන වලින් කැඩී වෙන්ව ගොස් අරාජික වාදීන් බවට පත් වූහ. කම්කරුවන් විසින් මෙහෙයවනු ලබන කර්මාන්ත සඳහා තිබෙන අවශ‍්‍යතාවය අවධාරණය කළ ඔව්හු නිලධාරිවාදී දේශපාලන ක්‍රියා දාමයන් පරයා සෘජු ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි සැලකිල්ල දැක්වූහ.

ලොව පුරා සිටින වැඩ කරන ජනතාව සෑම වසරකම මැයි 1 වන දා ඔවුන්ගේ සම්ප්‍රදායන්, ඉතිහාසයන් හා ජයග්‍රහණයන් සමරති. දෙවන ජාත්‍යන්තරයේ සමාජවාදියෝ සහ කොමියුනිස්ට්වාදීහු චිකාගෝ හි හේමාර්කට් සිදුවීම මැයි මස පළමුවැනි දා සැමරූහ; අප දන්නා මැයි දිනය බවට පත් වූයේ එයයි. ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සිටින කම්කරුවෝ විරෝධතා රැළි සහ පෙලපාලි සහිතව පවත්වන මැයි දිනය බොහෝ රටවල දැන් රජයේ නිවාඩු දිනයක් වේ. වසර බොහෝ දහස් ගණනක් පුරා මැයි දිනය පුනර්ජීවනය හා සශ්‍රීකත්වය සැමරීමේ දිනයක්ව පැවතින. මුලින් එය ගිම්හානයේ ආරම්භය සමරන මිථ්‍යාග්‍රාහික නිවාඩු දිනයක් විය. මල් වලට අරක් ගත් රෝම දේවතාවිය වන ෆ්ලෝරාගේ උත්සවයටද අදාල වූ මැයි දිනය‚ විශේෂයෙන්ම උතුරු අර්ධගෝලයේ‚ පුනරුද සමයේ වසන්ත මංගල්‍යයන් සමඟ සම්බන්ධව පැවති අතර බොහෝ සංස්කෘතීන් තුල එය අද පවා සමරනු ලැබේ. පසුව, මැයි දිනයේ මිථ්‍යාග්‍රාහික ස්වභාවය හීන වී යාමෙන් යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වඩා ලෞකික සැමරුමකට මඟ පෑදුනේය. මේ අර්ථයෙන් ගත් කල‚ ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස මැයි දිනය සමරන්නවුන් සහ සංස්කෘතික විලාසයකින් එය සමරන අය අතර පරස්පරයක් හෝ ගැටුමක් නොමැත.

1880 ගණන්වල සිට මැයි දිනය ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස පිළිගනු ලැබ ඇත. එවකට‚ කම්කරු පන්ති ව්‍යාපාර ප්‍රමිතිකරණය කළ පැය අටක වැඩ දිනයක් සහ වෘත්තීය සමිතිවල අයිතිවාසිකම්ද ඇතුළුව සාධාරණ සේවා කොන්දේසි සඳහා සටන් කලහ. දැඩි සහ අහිතකර කොන්දේසි යටතේ නිවාඩු ප්‍රතිපාදන නොමැතිව දිනයකට පැය 10 සිට 16 දක්වා කම්කරුවන්ට වැඩ කිරීමට සිදුවිය. අනාරක්ෂිත වැඩ චර්යාවන් හේතුවෙන් මරණය හා තුවාල ලැබීම සාමාන්‍ය සිදුවීමක් විය. මෙම කාලය තුල කම්කරු පන්තිය පැය 8ක වැඩ දිනයක් දිනා ගැනීමට නිරන්තර අරගලයක නිරත වූයේය. කෙසේ වෙතත්‚ සංවිධානාත්මක ශ්‍රමයට, සේවා යෝජකයින්ගේ කැමැත්තෙන් තොරව‚ පැය 8ක වැඩ දිනය ප්‍රකාශයට පත් කරන්නට තරම් ප්‍රමාණවත් බලයක් ලබා ගන්නට හැකි වූයේ 1880 ගණන්වල අග භාගයේදී පමණකි.

1884 දී (පසුව ඇමරිකානු කම්කරු සමිති සම්මේලනය බවට පත්වූ) සංවිධිත වෙළඳ හා කම්කරු සමිති සම්මේලනය “1886 මැයි 1වන දා සිට සහ ඉන් පසුව පැය අට නීත්‍යානුකූල දිනක ශ්‍රමය සංස්ථාපනය කරන්නේය” යනුවෙන් ප්‍රකාශයට පත් කලේය. බොහෝ දෙනා මෙම ප්‍රකාශය යලි යලිත් අවධාරනය කළ අතර වර්ජන හා පෙළපාලි මගින් ඊට සහයෝගය දැක්වීමට අදහස් කළේය. “අනර්ථයේ මූලය වෙත”පහර එල්ල කරන්නට අසමත් වූ නිසා ආරම්භයේ දී‚ අරාජිකවාදීහු හා රැඩිකල් වාදීහු එය අති ප්‍රතිසංස්කරණවාදී වූයේ යයි සිතූහ. මෙවැනි දෙගිඩියාවන් තිබියදීත් “චිකාගෝ ප්‍රදේශයේ මිලියන කාලක් පමණ යයි තක්සේරු කළ කම්කරුවන් ප්‍රමාණයක්‚පැය 8 වැඩ දිනය ක්‍රියාවේ යෙදවීමේ කුරුස යුද්ධයට සෘජු ලෙස සම්බන්ධ වූහ”. කෙසේ වෙතත් පැය 8 දිනයට වඩා විශාල ගැටළු ඇති බව තේරුම් ගනිමින් රැඩිකල්වාදීහු මේ සමඟ පැය 8 වැඩ දිනය සඳහා සටන් කිරීමට එකඟ වූහ.

1886 මැයි 1 ලොව පළමු මැයි දින සැමරුම වූයේය. චිකාගෝහි 40,000 ක් දෙනා වැඩ වර්ජනය කළහ. වීදිවල දස දහස් ගණන් පෙලපාළි කරුවන්‚ සරඹ පෙළපාලි සහ තූර්ය වාදක කණ්ඩායම් කම්කරුවන්ගේ ශක්තිය හා එකමුතුව නිරූපනය කළහ. වැඩ වර්ජකයෝපොලිස් ප්‍රහාරවලට ගල් ප්‍රහාර එල්ල කරමින් පිළිතුරු දුන් අතර පොලීසිය වෙඩි තබා වර්ජකයන් කිහිප දෙනෙකු මරා දමමින් හා බොහෝ දෙනෙකුට තුවාල සිදු කරමින් ඊට ප්‍රතිචාර දැක්වූයේය. චිකාගෝ විරෝධතා යුරෝපය පුරා පැතිර ගියේය. එහෙත්‚ මේ පිළිබඳව නොදන්නා බොහෝ දෙනෙක් එය කොමියුනිස්ට්වාදීන් හා සමාජවාදීන් විසින් පමණක් සමරනු ලබන දිනයක් බව විශ්වාස කරති. මෙම විශ්වාසය තිබුනද‚ මැයි දිනය සියලු වැඩකරන ජනතාව සඳහා සමාජ ආර්ථික සාධාරණය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ සමඟ නොකඩවාම සම්බන්ධ වී තිබේ.

සමාජවාදය කම්කරුවන්ට ආකර්ෂණීය ප්‍රස්තුතයක් බවට පත් වූයේ පසු කාලයකදී පමණි. සියළු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම කම්කරු පන්තියේ පාලනයට නතුවීම පිළිබඳ අදහස නව්‍ය මෙන්ම ඉතා ආකර්ෂණීය එකක් ද වූයේය. ලාභය සඳහා කම්කරුවන්ගේ ශ්‍රමය හා ජීවිත අලෙවි කිරීමෙන් නිෂ්පාදන මාර්ග හිමිකරුවන්ට වාසිදායක වෙන අන්දමට පමණක් ධනවාදය කටයුතු කරන බව ඔවුහු තේරුම් ගත්හ. වැඩෙහි යෙදෙන පිරිමින්‚ ගැහැණුන් හා ළමයින් දහස් ගණන් අනවශ්‍ය මරණවලට ගොදුරු වීමෙන්‚ ඇතැම් කර්මාන්ත වල ආයු අපේක්ෂාව වසර විසි ගණන්වලට තරම් පහතට වැටී තිබුණි. මරණය හා අසරණ භාවය හැර අන් බලාපොරොත්තුවක් නොමැති වූ විට සමාජවාදය ඔවුන්ට මානව හිතවාදී විකල්පයක් ලබා දුන්නේය.

බොහෝ ලබ්ධීන් සහ ජනවර්ග වලට අයත් බටහිර රටවල කම්කරුවෝ සංක්‍රමණිකයන් සහ සරණාගතයන්ගේ අයිතීන් සුරැකීම සඳහා දැන් කාලයේ එක්ව කටයුතු කරති. පසුගිය වසර කිහිපය තුළ මැයි දින කටයුතුවලට සූදානම් වීමේදී ආගමණ ප්‍රතිපත්තිය කේන්ද්‍රීය කරුණක් බවට පත් වූයේය. කම්කරු අයිතිවාසිකම් සඳහා වන නවීන ව්‍යාපාරය තුල‚ සංක්‍රමණිකයෝ සහ ඔවුන්ගේ සහායකයෝ වීදිවල පෙළපාලි යති. පාලක පන්තීහු ආගමණය බෙදුම්කාරී දේශපාලන ප්‍රශ්නයක් බවට සංකීර්ණ කොට ඇති අතර අප එය මානව ප්‍රශ්නයක් බවට පරිණාමනය කළ යුතුව ඇත.

අප අද භුක්ති විඳින අයිතිවාසිකම් හා ගරුත්වයන් වෙනුවෙන් මිනිසුන් සටන් කළ බව ඉතිහාසය අපට උගන්වයි. දිනා ගන්නට තවත් බොහෝ දේ තිබේ. පැය අටේ වැඩ දිනයක් අපට භුක්ති විඳින්නට මිනිසුන්ට වෙඩි තබන ලද බව අපට මතක නම්; සෙනසුරාදා අපට සති අන්තයේ කොටසක් ලෙස ලැබෙන්නට නිවාස ගිනි තබන ලද බව අප පිළි ගන්නේ නම්; ළමා ශ්‍රමයට සහ වැඩකරන තත්වයන්ට විරෝධය පාමින් වීදිවල පෙළපාලි ගිය කාර්මික අනතුරුවලට ගොදුරුවූ ළමයින්ට පොලීසිය හා සමාගම්වල මැරයන් පහර දෙන ලද බව අපේ මතකයට නංවා ගන්නේ නම් පමණකි‚ අපගේ වත්මන් තත්වයන් නොවෙනස්ව එලෙසම පවතිනු ඇතැයි සැළකිය නොහැකි බව අපට වටහා ගත හැක්කේ. බොහෝ මිනිසුන් විසින් කරන ලද කැප කිරීම් අමතක කළ නොහැකිය. එසේ නොවුවහොත්, අපගේ මුතුන්මිත්තන් විසින් දිනා ගන්නා ලද එම අයිතිවාසිකම්ම යළි දිනා ගැනීම සඳහා නැවත නැවතත් සටන් කරන්නට අපට සිදු වනවා ඇත. මැයි දිනය සමරන විට අප ඉගෙන ගත යුතුව තිබෙන ඉතා වැදගත් ඓතිහාසික පාඩම එයයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.