14 November, 2026

Blog

විරාමය, පොරොන්දුව, බලය; ශ්‍රී ලංකාවේ ආරක්ෂක පනත් කෙටුම්පත් සඳහා අවශ්‍ය වන්නේ නීතිමය වගන්ති මිස සහතික නොවේ

ලයනල් බෝපගේ –

ආචාර්ය ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණවාදීහුද, ඔවුන්ගේ විවේචකයෝද බොහෝ විට එකම නීතිය ප්‍රතිවිරුද්ධ වචනවලින් විස්තර කරති. ආණ්ඩුවට අනුව, නව කෙටුම්පත් අතීතයෙන් වෙන්වීමක් සනිටුහන් කරයි. අසූව දශකය, අනූව දශකය සහ ඉන් පසුව ආ දිගු ගැටුම් තුළින් ජීවත් වූ බොහෝ දෙනෙකුට, ඒවා නව නමක් යටතේ නැවත එකලස් කරන ලද හුරුපුරුදු මෙවලම් කට්ටලයක් ලෙස පෙනේ.

මෙම තර්කය නීතිමය වගන්ති ගැන ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කළ යුතු බවට සෑම දෙනාම පාහේ එකඟ වෙති. ප්‍රශ්නය වන්නේ එය ප්‍රතිස්ථාපනය කරන පනත් එහි යාන්ත්‍රණය රඳවා ගනියිද යන්නයි. පුළුල් අර්ථ දැක්වීම්, විධායක රඳවා තබා ගැනීම, සීමා කරන ලද ඇප සහ එක කෙටුම්පතක, අධිකරණයට පිළිගත හැකි පොලිස් පාපොච්චාරණ යනාදී සියල්ල නව භාෂාවෙන් නැවත පෙනී සිටී. සූක්ෂම විචාරකයෙකු පවසන්නේ, මේවා කිසිවක් නොමැතිව රාජ්‍යයට සැබෑ ත්‍රස්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට මුහුණ දිය හැකි බවයි.

පනත් කෙටුම්පත් සහ ඒවා ඉදිරියට ගෙන යන කරුණු

ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිස්ථාපනය කිරීමට අදහස් කරන ලදි. එහි ත්‍රස්තවාදය අතිශය පුළුල් ලෙස අර්ථ දක්වා තිබීම, දුර්වල අධිකරණ අධීක්ෂණය සහ සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පවතින පුළුල් බලතල, Human Rights Watch සංවිධානය විසින් විස්තර කර ඇත්තේ කනස්සල්ලට කරුණක් ලෙසයි. ඒ හා සමාන ගැටළු මතු කර තිබෙන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) PTA අහෝසි කරන ලෙසත්, ඒ අතරතුර එහි භාවිතය අත්හිටුවන ලෙසත් ඉල්ලා සිටී. සියලු විචාරකයෝ කෙටුම්පත එකම ආකාරයෙන් නොකියවති.  විධායක බලතල සීමා කිරීම සම්බන්ධයෙන් නවතම සංස්කරණය අගය කරමින් එය යහපත් පියවරක් ලෙස හැඳින්වූ ලිපි රචකයෙක්, ඒ අතර විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා වන ආරක්ෂාවන් තවමත් අධික ලෙස නඩු පැවරීම් මත රඳා පවතින්නට ඉඩ හරින බවට තර්ක කළේය.

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත එහිම වූ ගැටළු මතු කරයි. එහි අර්ථ දැක්වීම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ඉක්මවා යන පුළුල් පරාසයක් ආවරණය කරයි. විචාරකයන්ගේ කනස්සල්ලට හේතු වී ඇත්තේ පෙනුම සහ ඇසුර මත පදනම්ව පොලිසියට ගත හැකි ක්‍රියා මාර්ග මොනවාද යන්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ලබා දෙන පාපොච්චාරණ  අධිකරණයේ දී සාක්ෂි ලෙස පිළිගත හැකි වන්නේ කෙසේද යන්නයි.

පොරොන්දුව සහ පරතරය

මහජන කනස්සල්ලන් වෙත සවන් දෙන තුරු ආණ්ඩුව ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ පනත් ඉදිරියට ගෙන නොයන බව 2026 නොවැම්බර් 7 වන දින ජනාධිපතිවරයා වෘත්තීය සමිති සම්මේලනයක දී ප්‍රකාශ කළේය. ආණ්ඩුව එම සාකච්ඡා සඳහා කාල සටහනක් හෝ ආකෘතියක් තවම ප්‍රකාශයට පත් කර නැත. මෙතෙක් වාර්තා වී ඇති රඳවා තබා ගැනීමේ කාලය පැය 72 සිට 48 දක්වා අඩු කරන නිශ්චිත සංශෝධනය, සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වේ. එය සීමා ඉක්මවා යාම් වළක්වා ලන්නේ කෙසේද යන්න පිළිතුරු නොලද ප්‍රශ්නයකි. ත්‍රස්තවාදී පනත් කෙටුම්පතේ නීතිමය වගන්ති පිළිබඳව කිසිවක් ප්‍රකාශයට පත් කර නැත. උපදේශනය පැවැත්විය යුතුව තිබුණේ මෙම පනත් කෙටුම්පත් ගැසට් කිරීමට පෙර දී මිස, පසුව නොවේ.

විරාමයක් යනු තීරණයකි; එය වැදගත් වේ. එහෙත් විරාමයක් යනු සංශෝධනයක් නොවේ. විචාරකයන් විවාදයට ලක් කර ඇති ආකාරයට ම තවමත් පවතින පනත් කෙටුම්පත් ආණ්ඩුව පොරොන්දු වන සාකච්ඡා අවසානයේ දී බොහෝ දුරට නොවෙනස්ව අවසාන විය හැකිය. නව නීති සම්මත කර ගැනීමට අවශ්‍ය බව ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන සහ නැවත කෙටුම්පත් සකස් කිරීමේ කාල වකවානුව තවමත් පැහැදිලි නැත.

විරාමයෙන් පසු නව වර්ධනයන් සිදු වී ඇත. නොවැම්බර් 9 වන දින සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවේ ආණ්ඩුව කමිටු අවධියේ දී සංශෝධන මගින් පච්ච සහ ශරීර සලකුණු පිළිබඳ විධිවිධාන ඉවත් කරන බවත්, බරපතළ අපරාධ නඩු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට පෙර පූර්ව අධිකරණ අනුමැතිය සඳහා ඇති අවශ්‍යතාවය ඉවත් කරන බවත් ය. සුරා බදු ආඥා පනතේ වැරදි ඉවත් කිරීම, ප්‍රකාශන හිමිකම් වැරදි සංශෝධනය කිරීම ද යෝජනා කර ඇති අතර, රැඳවුම් නියෝග සහ ඇප පනතට වෙනස්කම් කිරීම ගැන තවමත් සලකා බලමින් සිටී. සංශෝධිත නීතිමය වගන්ති අධිකරණයට සහ පෙත්සම් කරුවන්ගේ නීතිඥයින්ට ලබා දී ඇති නමුත් එය ප්‍රළ කිරීම ගැන වාර්තා කර නොමැත. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ තවත් පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ වෙන වෙනම නොවැම්බර් 11 වන දින කථානායක කාර්යාලයට ලබා දී ඇති අතර, ඒවායේ අන්තර්ගතය ප්‍රසිද්ධ කර නොමැත. පාපොච්චාරණ රීතිය හෝ කොණ්ඩා මෝස්තර, ඇඳුම් පැලඳුම් සහ ඇසුරු කිරීමෙන් ඇති කර ගන්නා උපකල්පන ගැන ඒ වාර්තා මෙතෙක් ආමන්ත්‍රණය කරන්නේ නැත.

මතකය වැදගත් වන්නේ ඇයි

ආණ්ඩුවේ පණිවිඩකරණය සහ එය ජනතාව අතර ඇති කරන කනස්සල්ල එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම දුෂ්කර විය හැකිය. පොරොන්දු ඉටු කිරීම සඳහා තවත් ධුර කාලයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙන ඇතැම් කතාවල දී, වැඩ කරන ජනතාවගේ ප්‍රතිවාදීන් සැබෑ ජයග්‍රහණ ආපසු හැරවීමට උත්සාහ කරන බව විස්තර කර, ක්‍රියාත්මක වන සතුරු බලවේග ගැනද පෙන්වා දී ඇත. මේවා අවංකවම දරන අදහස් විය හැකිය. ඒ සමගම, නව පනත් කෙටුම්පත් මගින් අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, අදහස් ප්‍රකාශ කිරීම සහ සංවිධානය වීම සම්බන්ධයෙන් රාජ්‍ය බලතල පුළුල් කෙරේ. බොහෝ පුරවැසියන් සාධාරණ ලෙස මෙය අර්ථකථනය කරන්නේ, විරෝධයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරන සහ ඒ සඳහා සූදානම් වන ආණ්ඩුවක් ලෙසයි. ආණ්ඩුවට සැබෑ වගකීමක් පැවරී ඇති අතර, එහි යහපත් අභිප්‍රායයන් පිළිබඳව ගැට‍ළුවක් නැත. විනිවිදභාවය, වගවීම සහ ජනතාව සමඟ විවෘත සම්බන්ධතා මෙම කනස්සල්ල සමනය කිරීමට බොහෝ දුරට උපකාරී වනු ඇත. අනාගත රජයකට එය වගවීමට ලක් කරන ප්‍රගතිශීලී, යුක්තිය ගැන සිතන පුරවැසියන් නිශ්ශබ්ද කිරීමට භාවිතා කළ හැකි ආකාරයෙන් මෙම බලතල කිසි විටෙක ඉතිරි නොකෙරේවා යන්න අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාවේ වාර්තාව සහිත රටක එම කියවීම ව්‍යාකූලත්වයක් නොවේ. හැත්තෑව දශකයේ සිට ඉදිරියට, ආරක්ෂක හමුදා, කැරලිකරුවන් සහ රාජ්‍ය අනුග්‍රහය ලත් කණ්ඩායම් විසින් සිදු කරන ලද  අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම් සහ අපයෝජන ගෙන ආවේය. සමහර නායකයෝ නිශ්චිත සිදු වීම් සඳහා වගකීම පිළි ගෙන ඇත. තවත් බොහෝ දෙනෙක් එසේ කර නොමැත.  ඇතමුන් කිසිදා වගවීමට ලක් වී ද නොමැත. බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් කිසිවෙකු කිසිසේත්ම වගකීම භාර ගෙන නැත. මෙවැනි ඉතිහාසයක් උරුම කර ගෙන සිටින, සහ ඉන් පසුව තර්ජන පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම් සහිත නීති සම්පාදනය කරන ආණ්ඩුවක්, එහි පුරවැසියන් එම කරුණු එකිනෙක සම්බන්ධ කර බලා නිගමනවලට එළඹෙනු ඇතැයි අපේක්ෂා කළ යුතුය.

ප්‍රතිචාරාත්මක බලපෑමකට සූදානම් වීම ගැන බිය වන අයගේ තර්කය මෙසේ වෙයි: ආණ්ඩු සාමාන්‍යයෙන් ස්ථාවර පරිසරයක් සඳහා හදිසි අවස්ථා ආකාරයේ බලතල කෙටුම්පත් නොකරයි. රජය, රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් පාලනය කිරීමට, සීමිත සංවිධාන කරණයට සහ වළකා ලීමේ රඳවා තැබීම වලට අවශ්‍ය නීති සකස් කරන විට, ප්‍රශ්නය වන්නේ ඒවා ඉලක්ක කරන්නේ කාවද යන්නයි. පුළුල් දේශපාලන ව්‍යාපාරය තුළ සිටින අත්දැකීම් සහිත පැරණි ක්‍රියාකාරීහු පෙර ආණ්ඩු යටතේ බලහත්කාරී රාජ්‍ය යාන්ත්‍රණය අත් විඳ ඇත. ඔවුන්ට අඛණ්ඩ පැවතීම පුද්ගලික වන අතර, නව නීති ගැන ඔවුන් අතර පවතින සැකය එමගින් න්‍යායිකව පමණක් නොපවතින එකක් බවට පත් කරයි. බරපතළ තර්කයක් වන මෙය, ප්‍රතික්ෂේප කර දැමීමට වඩා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ යුතුය. PTA යුගයේ ජීවත් වූ සහ දැන් ආණ්ඩුව තුළ බලපෑමක් උසුලන අය, නව නීති පැවතියේ නම් ඔවුන්ට සිදු වූ දේ වෙනස් වීමට ඉඩ තිබුණේද යන්න පැහැදිලි කිරීමට වඩා සුදුසු තත්ත්වයක සිටිති. ඔවුන්ගේ හඬ විවාදයේ දී බරක් දරනු ඇත.

සහතික සහ ඒවායේ සීමා

ආණ්ඩුවේ හොඳම පිළිතුර වන්නේ නීති සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන බවත්, විරාමයෙන් පෙන්වන්නේ ඔවුන් සවන් දෙන බවත් ය. ඒවා සුළු කාරණා නොවේ. එහෙත් නීතිය ක්‍රියාත්මක කරන්නේ එය කෙටුම්පත් කළ ඇමතිවරයා විසින් නොව, වගන්තියක් තමා තේරුම් ගන්නා ආකාරයට කියවන පොලවේ සිටින නිලධාරියා විසිනි. මෙහි දී වඩාත්ම අවදානමට ලක් වන්නේ දුප්පතුන්, කොළඹින් පිටත ජීවත් වන්නන් සහ නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීමට අවස්ථාව නොමැති පුද්ගලයින් ය. තවද, නීති සම්පාදනය කළ ආණ්ඩුවලට වඩා දිගු කාලයක් එම නීති පවතී. අද ලබා දෙන බලතල, හෙට දවසේ බලයේ සිටින ඕනෑම පාර්ශ්වයක් වෙත පැවරෙනු ඇත.

එබැවින් එකම කල් පවත්නා සහතිකය වන්නේ අනිසි භාවිතය වැළැක්වෙන අයුරින් එහි නීතිමය වගන්ති සකස් කරන ලද නීතියක් පමණකි. සැබෑ ත්‍රස්තවාදයට හෝ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීමට රජය සතු හැකියාව දුර්වල නොකරම, නිශ්චිත වෙනස්කම් කිහිපයක් සිදු කිරීම මගින් මෙය සාක්ෂාත් කර ගත හැකිය.

අර්ථ දැක්වීම් සම්බන්ධයෙන් ගත් විට, ත්‍රස්තවාදය පිළිබඳ පනත් කෙටුම්පත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මිණුම් සලකුණු සමඟ පෙළගැස්විය යුතු අතර, දේශපාලන විසම්මුතිය, පක්ෂව පෙනී සිටීම, සාමකාමී විරෝධතා, කාර්මික ක්‍රියාමාර්ග සහ ස්වාධීන පුවත්පත් කලාවේදය ඒවායින් පැහැදිලිවම බැහැර කළ යුතුය. එවැනි ක්‍රියාවන් පමණක් තනිවම  ත්‍රස්තවාදය අනුමාන කිරීමට ප්‍රමාණවත් නොවන බවට කරන සරල ප්‍රකාශයක් බැහැර කිරීමකට වඩා දුර්වල ය. සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත කොණ්ඩා මෝස්තර, පච්ච කොටා ගැනීම, ඇඳුම් පැලඳුම්, අත් සලකුණු හෝ ලිහිල් ඇසුර මත පදනම් වූ සාමාජිකත්වයන් පිළිබඳ ඕනෑම උපකල්පනයක් ඉවත් කළ යුතුය. ප්‍රතික්ෂේප කළ හැකි උපකල්පනයක් පවා පොලිසියට පුද්ගලයෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ගෙන ඒමට ඉඩ සලසයි, එවිට ඔහු ඔවුන් රිමාන්ඩ් කිරීමට බැඳී සිටී. එහි වැරදි පිළිබඳ ලැයිස්තුව ද පටු කළ යුතුය, මන්ද එය දැනට ද්වි–විවාහය, ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය සහ බලපත්‍ර රහිත සූදුව වැනි හැසිරීම් දක්වා විහිදෙන බැවිනි. අසාමාන්‍ය බලතල බැඳී තිබිය යුත්තේ සැබවින්ම සංවිධානාත්මක බරපතළ අපරාධ සමගයි. වෙනත් නීතිමය පද්ධති සඳහා කෙටුම්පත් කර ඇති විදේශීය ආකෘති, ඒවා මෙහි බද්ධ කිරීමේ දී සමීපව පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.

අධිකරණමය පාලනය සම්බන්ධයෙන් ගත් විට, වසරක් දක්වා වන විධායක රඳවා තැබීමේ නියෝග පනත් කෙටුම්පත් දෙකෙන් ම ඉවත් කළ යුතුය. අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ බන්ධනාගාරගත කිරීම අධිකරණය සතුව තිබිය යුතුය. නිරීක්ෂණය, ස්ථාන ලුහු බැඳ යාම සහ ඩිජිටල් උපාංග බලයෙන් විවෘත කිරීම සඳහා අධිකරණ වරෙන්තුවක් අවශ්‍ය විය යුතුය. සැකකරුවෙකු රිමාන්ඩ් භාරයේ රඳවා තබන්නට බල කිරීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් සීමා කිරීම වෙනුවට මහේස්ත්‍රාත්වරුන්ට සිය අභිමතය පරිදි ඇප ලබා දීම පිළිබඳව කටයුතු කරන්නට යළි හැකි විය යුතුය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ සාධාරණ ක්‍රියාවලියක දී, සංවිධානාත්මක අපරාධ පනතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට කරන ප්‍රකාශ සාක්ෂියක් ලෙස පිළිගත හැකි කරවන විධිවිධාන ඉවත් කළ යුතුය. ත්‍රස්තවාදය පිළිබඳ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති අනුරූප නීතිය නිවැරදිව ඉවත් කර ඇති අතර, එය වෙනත් ප්‍රඥප්තියක් මගින් නැවත ඇතුළු නොකළ යුතුය. ඉතිහාසය පෙන්වා දෙන්නේ එවැනි නීති බලහත්කාරයට සහ වධහිංසාව දිරි ගන්වන බවයි. සැකකරුවන්ට පළමු සම්බන්ධතාවේ සිටම, ප්‍රශ්න කිරීම අතරතුර ද ඇතුළුව, නීතිඥයෙකු වෙත රහසිගත ප්‍රවේශයක් තිබිය යුතුය. මිය ගිය හෝ සොයා ගත නොහැකි පුද්ගලයන්ගෙන් ලැබෙන කටකතා හරස් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු නොවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට NPP පොරොන්දු වීමෙන් පසුව 2024 සැප්තැම්බර් සිට 2025 මැයි දක්වා කාලය තුළ PTA යටතේ අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව තවත් අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇති බවත් වාර්තා පෙන්වා දෙයි. නීතිමය වගන්ති වැදගත් වීමට හේතුව වන්නේ මෙම සංඛ්‍යා ලේඛනයි.

ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගත් විට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ බොහෝ සිවිල් සමාජ කණ්ඩායම් ඉල්ලා සිටින පරිදි, පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම සඳහා තාවකාලිකව ඉවත් කර ගත යුතුය. සංවිධානාත්මක අපරාධ පනතට අදාළ විශේෂඥ කමිටුවේ කෙටුම්පත සහ 2025 ත්‍රස්තවාදී පනත් කෙටුම්පත පිළිබඳ උපදේශනයට ලැබුණු ප්‍රතිචාර ද ඇතුලත්ව, ඒවායින් බැහැර වීම් පිළිබඳ පැහැදිලි කිරීමක් ද සහිතව කෙටුම්පත් කිරීමේ වාර්තා ප්‍රකාශයට පත් කළ යුතුය. සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත, දේශ සීමා ඉක්මවා යන සංවිධානාත්මක අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UN Convention against Transnational Organised Crime) සැබවින්ම ඉල්ලා සිටින කරුණුවලට පමණක් සීමා විය යුතුය. එම සම්මුතිය විධායක රඳවා තැබීම, පොලිස් පාපොච්චාරණ පිළිගැනීම හෝ පෙනුම මත පදනම් වූ සාමාජිකත්වය පිළිබඳ උපකල්පන ඉල්ලා නොසිටී.

සාධාරණ ප්‍රති–තර්ක

සාධාරණ වාර්තාවක් ආණ්ඩුවට එහි ප්‍රබලතම තර්කය ලබා දිය යුතුය. ශ්‍රී ලංකාවට PTA ප්‍රතිස්ථාපනය කිරීමට දිගු කලක සිට අවශ්‍ය වී තිබුණ අතර, එය සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය අරමුදල් සපයන ජාල වලින් සැබෑ තර්ජනවලට මුහුණ දෙයි. ආණ්ඩුවේ ආධාරකරුවන් තර්ක කරන්නේ නවතම PSTA කෙටුම්පත පෙර අනුවාද වලට වඩා පටු බවත්, විරාමය සවන් දීමට ඇති කැමැත්ත පෙන්වන බවත්, ඇතැම් විවේචන ප්‍රතිසංස්කරණයට මුල සිටම විරුද්ධ වූ අය ගෙන් පැමිණෙන බවත් ය. මර්දනකාරී නීති රාමුවක් විසුරුවා හැරීමට කාලය ගත වන බවත්, එය මන්දගාමී වුවත් විවේචකයන් සමඟ සාකච්ඡා කිරීම, නිවැරදි ඉලක්කය බවත් ඔවුහු පවසති.

මෙම කරුණු බරපතළ ලෙස සලකා බැලිය යුතුය. එම කරුණුම, දැන් නීතිමය වගන්තිවලට වෙනස්කම් ඇතුළත් කිරීමේ තර්කය ශක්තිමත් කරයි. ආණ්ඩුව තම කෙටුම්පත් ප්‍රමාණවත් ලෙස පටු බව විශ්වාස කරන්නේ නම්, එය කෙටුම්පත් කිරීමේ වාර්තා ප්‍රකාශයට පත් කර, විවේචකයන් ඉල්ලා සිටින සංශෝධන පිළි ගැනීමට කැමැත්තෙන් සිටිය යුතුය.

අනාගතයේ ඇති විය හැකි ප්‍රතිචාරයක් මර්දනය කිරීම සඳහා හිතාමතා සැලසුමක් තිබූ බවටත්, විදේශීය බලවතුන් නොසන්සුන්තා ඇති කිරීමට කටයුතු කරන බවට හෝ එබඳු තත්වයක් බලාපොරොත්තුවෙන් සිටින බවටත් කෙරෙන ප්‍රකාශ, තහවුරු වූ කරුණු ලෙස නොව පවතින්නේ අනුමාන ලෙසටයි. ණය දෙන්නන් සහ වෙළඳ හවුල්කරුවන් සතු බලපෑම් කිරීමේ හැකියාව සැබෑවක් වන අතර ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සාකච්ඡා ද කෙරේ; එසේ නමුත් එයින් කිසිදු කුමන්ත්‍රණයක් ඔප්පු නොවේ. වඩාත් ප්‍රබල සහ ආරක්ෂා කළ හැකි තර්කය වන්නේ, අදාළ පාඨ කුමන කරුණුවලට ඉඩ ලබා දෙන්නේ ද යන්න සහ මීට පෙර පැවති නීති භාවිත කළ ආකාරය පිළිබඳ ඓතිහාසික පූර්වාදර්ශය කුමක්ද යන්න පිළිබඳව යි.

රාජ්‍ය නොවන සංවිධාන සහ කම්කරු පනත් කෙටුම්පත්

රාජ්‍ය නොවන සංවිධාන කෙටුම්පත අවිධිමත් ප්‍රජා කණ්ඩායම් දක්වා විහිදෙන ඕනෑවට වඩා පුළුල් විෂය පථයක් සහ පවතින රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට යාබදව නව බල අධිකාරියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත. එක් සටහනක් තර්ක කළේ, ආණ්ඩුව පෙර පරිපාලනය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටුම්පත් කරන ලද නීතිය ප්‍රතිචක්‍රීකරණය කරන බවයි. ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරන හඬවල් අනතුරු අඟවා ඇත්තේ, ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට පොදුවේ සහාය දක්වන සංවිධාන මෙම කෙටුම්පත මගින් දුරස්තර බවට පත් කළ හැකි බවයි. රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ සිවිල් සමාජය සමඟ සාකච්ඡා කර එය සංශෝධනය කරන ලෙස ඉල්ලා ඇත. ආණ්ඩුවේ තර්කය වන්නේ, මෙම නීතිය ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ විරෝධී ප්‍රමිතීන්ට ප්‍රතිචාර දක්වන බවයි. ඒ ප්‍රමිතීන් සැබෑ ය, නමුත් ඒවා අවදානම මත පදනම් වූ ප්‍රවේශයක් ඉල්ලා සිටී. ප්‍රජා කණ්ඩායම් වල සිට ආයතනික පරාර්ථකාමීත්වය දක්වා වන සියල්ල නියාමනය කරන නීතියක් පැහැදිලිවම අදාළ අරමුණ සඳහා ගැළපෙන්නේ නැත.

කම්කරු ප්‍රතිසංස්කරණ නංවන්නේ අනු පිළිවෙල හා සම්බන්ධ ප්‍රශ්නයකි. ක්ෂමා ජාත්‍යන්තරය සහ වෙනත් කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ කම්කරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයන් නිසි ලෙස සාකච්ඡා කරන තෙක් ක්‍රියාවලිය නවත්වන ලෙසයි; කම්කරු නියෝජ්‍ය ඇමතිවයා පසුව පවසා ඇත්තේ ප්‍රතිසංස්කරණවල අරමුණ කම්කරු අයිතිවාසිකම් ශක්තිමත් කිරීම බවයි. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්විය යුත්තේ නීති කෙටුම්පත සකස් කිරීමට පෙර මිස, එය සකස් කිරීමෙන් පසුව නොවේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන, නවීන කම්කරු රාමුවක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුව දරන උත්සාහය සහාය දැක්විය යුත්තකි. එහෙත් පරීක්ෂාව වන්නේ අවසාන නීතිය දැනට කම්කරුවන් සතු ආරක්ෂාවන් තවදුරටත් සුරක්ෂිත කරන්නේද යන්නයි, එය කෙටුම්පත් නීතිමය වගන්ති  එළිදැක්වෙන තුරු ඒ පිළිබඳව දැන ගත නොහැකිය.

නිගමනය

ශ්‍රී ලංකාව අත්විඳ ඇති දේ අත්විඳ ඇති රටක තිත් එකට යා කිරීම අසාධාරණ නොවේ. එහෙත් තිත් වඩාත් ඒත්තු ගැන්විය හැකි ස්වභාවයක් ගන්නේ ඒවා කටකතාවන්ට වඩා ඓතිහාසික හා දේශපාලන වාර්තා මත පදනම්ව කරුණු ගොනු කරන විටයි. නිර්වචන, රඳවා තබා ගැනීම, ඇප සහ පාපොච්චාරණ පිළිබඳ වගන්ති දෘශ්‍යමාන ඒවා වන අතර ඒවා පේළියෙන් පේළියට විවාද කළ හැකිය. උපදේශන වාර්තා සහ කෙටුම්පත් කිරීමේ ඉතිහාසය ද එසේමයි.

ආණ්ඩුව ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත්වලට විරාමයක් තබා ඇති අතර, එය ආරම්භයකි. විරාමයක් යනු අවලංගු කිරීමක් නොවේ; එසේම සහතිකයක් යනු නීතියක් නොවේ. පාර්ලිමේන්තුවට ඇති අභියෝගය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර පාඨයේ වෙනස්කම් සඳහා පාර්ලිමේන්තුව අවධාරණය කර සිටියි ද යන්න සහ අතීතයේ යාන්ත්‍රණය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව අදහස් නොකරන බව නීතියෙන් සහ ක්‍රියාවෙන් එය පෙන්වා සිටියිද යන්නයි.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment