16 July, 2019

Blog

සංස්කෘතිකවත් සමාජයක් ගොඩනැගීම සහ ව්‍යවස්ථාමය සදචාරය

ලියනගේ අමරකීර්ති

මහාචාර්ය ලියනගේ අමරකීරිති

ජාතික විද්වත් සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ වටා පළල් ප‍්‍රගතිශීලි පෙරමුණක් උදෙසා ක‍්‍රියා කරමින් සිටිනවා. මේ වන විට එහි අනුකමිටු දහයක් යටතේ ජාතික ප‍්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරමින් සිටිනවා. මා සමාජිකත්වය දරන කලාව සහ සංස්කෘතිය පිළිබඳ අනු කමිටුව ඉතා දැඩි සහෝදරත්වයකින් යුතුව කිහිපවරක් රැුස්වී තිබෙනවා. තිස්දෙනෙකුටත් අධික කමිටු සාමාජික සාමාජිකාවන්් තනි තනිව ගත්තමත් මේ රටේ කලාව සංස්කෘතිය ගැන ඉතා හොඳ අදහස් තියෙන අය. සාහිත්‍යය, සිනමාව, නාට්‍යය ආදී තම තම කලාව ගැන, ඒ ඒ කලා දියුණු කරන ආකාරය ගැන පැහැදිලි අදහස් තියෙන අය. එපමණක් නොවේ, ලංකාවේ විවිධ නගරවල මේ කමිටුවලට යෝජනා රැුස්කරන සම්මන්ත‍්‍රණවල අපේ කමිටුවේ බොහෝ දෙනෙක් සහභාගි වී තිබෙනවා. සමහර සහෝදරවරු, සහෝදරියො මටත් වඩා වාරගණනක් ඒ රැුස්වීම්වලට සහභාගි වී තිබෙනවා. අපට අදහස් සම්බන්ධ හිගයක්නෑ. සංස්කෘතිය කුමක්ද, කුමක් විය යුතුද, සංස්කෘතිකවත් මිනිසා කවුද, එවැන්නෙක් ගොඩනගන්නේ කෙසේද යන්න ගැන සැලකිය යුතු අවබෝධයක් අපිට තියෙනවා. ඒ අවබෝධය එන්නෙ අපි කවුරුවත් අසීමිත ප‍්‍රාඥයො නිසා නොවෙයි. අප බොහෝ දෙනාට සවන් දෙන්න කැමති අය නිසා. අපි ලංකාවෙ සිටින මේ ක්ෂේත‍්‍ර ගැන සිතන මතන ප‍්‍රවීණයන්ට සවන් දීලා තියෙනවා. තව දුරටත් සවන් දෙන්න සූදානම්. කලාව, සංස්කෘතිය ආදිය පිළිබඳ ලෝකෙ සිටි, දැනට සිටින න්‍යායධරයන්ගේ දැනුම අප ලබාගෙන සිටිනවා, ලබා ගනිමින් සිටිනවා, ලබාගන්න සූදානමින් සිටිනවා. ඒ විතරක් නෙමේ මේ සාකච්ඡුාවලින්, හැදෑරීම්වලින් පස්සෙ අපි ලේඛනගත කරන කලා සංස්කෘතික ප‍්‍රකාශනයත් නොවෙනස් වන, සංවෘත, වසාදමන ලද ලේඛනයක් නෙමේ. කලා-සංස්කෘතික පොලිස් නියෝගයක් නෙමේ. අපි විවෘතයි. මනුෂ්‍ය ඥානයේඅඛණ්ඩ වර්ධනය පිළිගන්න අපි විවෘතයි. මනුෂ්‍ය නිර්මාණ ශක්තියේ අතිවිශාල, අනන්ත විභවතාව පිළිගැනීමට අපි විවෘතයි. අපගේ මූලික ප‍්‍රතිපත්තිමය රාමුව ප‍්‍රසාරණය කරන්නට අපි විවෘතයි.

කලාව පිළිබඳ විවෘත අදහසක්

අපි කලාව කියන්නෙ මේකයි කියලා එක් තනි අධිපති අදහසක්, ප‍්‍රභූ අදහසක්, පුරුෂ මූලික අදහසක්, සිංහල කේන්ද්‍රීය අදහසක්, එක් තනි ලිංගික නම්නතාවක් නියෝජනය කරන අදහසක් රාජ නියෝගයක් වගේ පනවන පිරිසක් නෙමේ. කලා සංස්කෘතික ලෝකය බෙහෙවින් විවිධයි, විචිත‍්‍රයි කියා විශ්වාස කරන පිරිසක්. කලා රසිකත්වය නොයෙක් පැහැයන්ගෙන්, නොයෙක් විචිත‍්‍ර වර්ණවලින් මතු වෙන බව විශ්වාස කරන පිරිසක්. කලා සංස්කෘතික ක්ෂේත‍්‍රවල නිර්ධනයින්ට, ස්ත‍්‍රීන්ට, ජනවාර්ගික සුළුතර පිරිස්වලට, එවැනි තවත පීඩිත කණ්ඩායම්වලට සුවිශේෂ ගැටලූ ඇති බව විශ්වාස කරන පිරිසක්.

ඒ නිසාම අපේ ප‍්‍රතිපත්තිය විශිෂ්ට සංස්කෘතික මිනිසා කඨෝර දරද`ඩුවෙක් නොවෙයි ඉතා සුඛනම්‍ය මිනිසෙක් කියා විශ්වාස කරන ප‍්‍රතිපත්තියක්. කලාව කුමක්ද? කලාවෙහි අර්ථය කුමක්ද? සංස්කෘතිකවත් භාවය කුමක්ද? යන ප‍්‍රශ්න නොනවතින සංවාදයක් රටක තිබිය යුතු කියා විශ්වාස කරන ප‍්‍රතිපත්තියක්.

ඒවගේම අපි විශ්වාස කරනවා සංස්කෘතික, කලා ක්ෂේත‍්‍රවල ඇති ගැටලූ විසඳීම විතරක් නෙමේ සංස්කෘතික විශිෂ්ටත්වය අත්පත් කර ගැනීම හුදෙක් සංස්කෘතිය නමැති අඩවියේ විසඳිය නොහැකි බව. ජාතික විද්වත් සභාවෙහි අඩංගු සියලූම අනුකමිටු අතර සියුම් අනෝන්‍ය අවබෝධයක් අවශ්‍යයි. අපි කමිටු දහයකට බෙදී ක‍්‍රියා කළත් අප ගොඩනගන්නට යන සමාජමය විශිෂ්ටත්වය, යුක්තිය පිළිබඳ මූලික ගෞරවයක් ඇති සමාජය, සාධාරණය පිළිබඳ මූලික විශ්වාසයක් ඇති සමාජය, මනුෂ්‍යයත්වය එහි සියලූ අංග අතින් පොහොණි කරන්නට නම්, පොහොසත් කරන්නට හැකියාවක් කමිටු දහය අතර ඉතා හොඳ අවබෝධයක් නැත්නම්. මේ කමිටු දහයට අයිති නොවන දැනුම් පද්ධති, ඥාන පද්ධති සමගත් අපට සම්බන්ධ වෙන්න සිදු වෙනවා.

සංස්කෘතිකවත්භාවය සහ අධ්‍යාපනය

සංස්කෘතික විශිෂ්ටත්වය පිළිබඳ මූලික අදහසක් රටක අධ්‍යාපනයට නැති නම් කොහොමද අපි ඒ සංස්කෘතික විශිෂ්ටත්වය ගොඩනගන්නෙ? අධ්‍යාපනය තියෙන්නෙ මානව විමුක්තිය පිණිස මිස සහතික ටිකක් එකතු කරන්න නොවේ කියලා නොදන්න අධ්‍යාපනයකින් කොහොමද අපි සංස්කෘතිකවත් මිනිසා හදන්නෙ? අධ්‍යාපනය මූලික වශයෙන් විමුක්ති මාර්ගයක්. හොඳ අධ්‍යාපනයකින් පුළුවන් වෙන්න මනුෂ්‍යයා සිරගත කර තිබෙන, සමාජමය, ආර්ථිකමය, සංස්කෘතික සිරගෙවලින් මනුෂ්‍යයා නිදහස් කරන්න. ඒක තමයි විමුක්තිකාමී අධ්‍යාපනය. මනුෂ්‍ය බුද්ධියට, මනුෂ්‍ය ප‍්‍රතිභාශක්තියට හැකියාවක් නිදහසේ වැඩෙන්නට විතරක් නෙමේ නිදහස සොයා වැඩෙන්නට දිරිදීම තමයි නියම අධ්‍යාපනය. ප‍්‍රංශ විප්ලවයේ දාර්ශනිකයා විතරක් නෙමේ අදටත් අපිට වැදගත් අධ්‍යාපන දාර්ශනයෙක් වන රූසෝ එදා කිව්වා මනුෂ්‍යන්ගේ ඉරණම තීන්දු කරන දුක්ඛය සහ අයුක්තිය ඇති වන්නේ බයිබලයෙහි එන හැටියට ප‍්‍රථම මනුෂ්‍ය යුවළ පාපය නිසා පරම ආනන්දයෙන් පහළට ඇද වැටීම නිසා නොවන බව. ඒවගේම රූසෝ කිව්වා මනුෂ්‍යයන්ගේ දුක්ඛය ඇති වන, මනුෂ්‍ය සමාජයේ අයුක්තිය ඇති වන ප‍්‍රධාන කාරණය මනුෂ්‍ය ස්වභාවය නොවන බව. අපේ සංස්කෘතියේ වචනවලින් කියනවා නම් අප සමාජයේ මනුෂ්‍යයන්ගේ දුක්ඛ්‍යය, පීඩිතභාවය, අයුක්තියට ගොදුරු වීම පව්කාරකමක් හෝ දේව ශාපයක් හෝ හූනියමක් හෝ නිසා සිදුවන දෙයක් නොවේ. මනුෂ්‍ය යථාර්ථය පිළිබඳ එවැනි ආගමික හෝ සාම්ප‍්‍රදායික ඉගැන්වීම්වලට අප ඉතා ඉවසීමෙන් සවන් දුන්නා වුණත් අප වටහාගත යුතුයි අපේ යථාර්ථය ඓතිහාසික නිර්මිතයක් බව. මනුෂ්‍ය නිර්මිතයක් බව. රූසෝගේම වචනයෙන් කියනවා මනුෂ්‍යයා බැඳ තබන යදම් මනුෂ්‍යයන් විසින් මෙලොව දී වාත්තු කරන ලද යදම්. මෙලොවදී පාස්සන ලද යදම්. ඒවා දිවිය ලෝකයේදී හෝ අපායේදී වාත්තු කර මනුෂ්‍ය ලෝකයට එවන ලද යදම් නොවේ. ඒ නිසා යදම් බිඳිය හැක්කේ මනුෂ්‍යයන්ගේ කුළුගෙඩිවලින් විතරයි. ඒ යදම් බිඳිය යුත්තේ මනුෂ්‍යයන්ගේ කුළුගෙඩිවලින් මනුෂ්‍යයන්ම පහර දී මිස අන් ලෙසකින් නොවේ. රූසෝ විතරක් නෙමේ මාක්ස් ඔස්සේ ග‍්‍රාම්ස්චි හරහා පාවුලෝ ෆ්‍රෙයිරේ දක්වා මේ අදහස් ගමන් කරනවා. අපේ බුදු හාමුදුරුවන්ගේ මූලික ඉගැන්වීමවල පවා මානව විමුක්තිය මෙලොවදී සාදාගත යුත්තක්ය කියන මානය තිබෙනවා.

අපි කලාව, විතරක් නෙමේ සංස්කෘතිය දකින්නෙ අප හමුවේ දැනට තියෙන යදම්වල තවත් හිරවෙන්නට මනුෂ්‍යයන් පොලඹවන විදියක් විදියට නෙවෙයි. ඒ යදම් බිඳින විදියක් විදියට. අපිට අපේ පැරණි සංස්කෘතික උරුමය වැදගත්. අපිට ඒ සංස්කෘතික අනන්‍යතාව වැදගත්. නමුත් ඒ උරුමයක් විදියට මිසක් යදමක් විදියට නෙවෙයි. සංස්කෘතිය පිළිබඳ අපගේ අදහස හුදෙක් සංසරක්ෂණවාදී එකක් නොවෙයි. සංස්කරණවාදී එකක්. නව නිර්මාණවාදී එකක්. මනුෂ්‍යයා සෑම විටෙකම සංස්කෘතිය අලූතින් නිර්මාණය කළ යුතුයි කියා විශ්වාස කරන අදහසක්.

සංස්කෘතික ජයග‍්‍රහණවල උරුමය

එහෙත් නැවතත් අවධාරණය කළ යුතු දෙයක් තියෙනවා. යම් සමාජයක සංස්කෘතික ජයග‍්‍රහණ ඒ සමාජයේ ඇති ආර්ථිකයෙන් වෙන් කොට අත්පත් කරගත හැකි යැයි අප සිතන්නේ නෑ. කොහොමට වත් සිතන්නේ නෑ. කලා-සංස්කෘතික කටයුතු යනු ආර්ථිකය විසින් මෙහෙය වනු ලබන, නිර්ණය කරනු ලබන අකර්මණ්‍ය රූකඩයක් යැයි අප විශ්වාස කරන බව නොවෙයි එහි අදහස. නමුත් රටක ජාතික ධනය ඒ රටේ වසන සියලූ මනුෂ්‍යයන්ගේ ජීවිත පොහොසත් කරනු පිණිස සාපේක්ෂ සමානත්වයකින් බෙදී යන සමාජයක් නැතිව මනුෂ්‍ය සංස්කෘතික ජීවිතය පොහොසත් කිරීම කරන්නට බෑ.

අපි හිතමු මෙහෙම. ලංකාවේ ඕනෑම පාසැලක, ඕනෑම පවුලක දරුවෙකුට ලෝක මානවයාගේ විශිෂ්ට සංස්කෘතික උරුමය උකහා ගන්නට අවස්ථාව නැති නම් ඒක මූලික වශයෙන්ම ධනය බෙදීයාම පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒක ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයක්. විලියම් ශේක්ශ්පියර් විශිෂ්ට නාට්‍යකරුවෙක්. ඔහුගේ නාට්‍යවල නියම මිහිර, ඔහුගේ අනුපමේය භාෂා වික‍්‍රම ඉංග‍්‍රීසියෙන්ම කියවා විඳගන්නට ලැබෙන්නෙ එක්තරා පන්තියක, එක්තරා පාසැල් පද්ධතියක දරුවන්නට විතරක් නම් ඒක මූලික වශයෙන්ම ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයක්. ජාතික ධනය විසරණයවීමේ ගැටලූවක් පිළිබඳ ප‍්‍රශ්නයක්. යුරිපිඞීස්ගේ නාට්‍යයක් ග‍්‍රීක බසින්ම කියවා විඳගැනීමේ අවස්ථාව තියෙන්නෙ එක්තරා පන්තියක දරුවන්ට, එක්තරා පාසැල් විශේෂයකට යන දරුවන්ට විතරක් නම් ඒක මූලික වශයෙන්ම ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයක්. ලෝකයේ පළමු නවකථාව යැයි ඇතැම් අය සලකන මුරසකි ආර්යාවගේ ගෙන්ජි මොනොගතරි ජපන් බසින්ම කියවා විඳින්නට අවස්ථාව තියෙන්නෙ එක පිරිසකට විතරක් නම් ඒක ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයක්. මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතික ප‍්‍රාග්ධනයත් සාපේක්ෂ සාධාරණත්වයකින් බෙදී යා යුතු යැයි හිතනවා. එසේ නොවන සමාජයක් සංස්කෘතිකවත් සමාජයක් යැයි අපි විශ්වාස කරන්නේ නෑ.

ඒ වගේම අපි සංස්කෘතිය කියන සංකල්පය තුළට ආත්ම පරීක්ෂාව කියන මානය අඩංගු කරනවා. මොකක්ද ආත්ම පරීක්ෂාව කියලා කියන්නෙ? මූලික වශයෙන් ඉන් අදහස් වෙන්නෙ මේකයි. අපි පුරවැසියො විදියට යුක්තිය, සාධාරණය, සහ සදාචාරසම්පන්භාවය පිළිබඳ මූලික සම්ප‍්‍රදායවලටවත් ගරු කරන, අපගේ ජීවිතය පිළිබඳ අභිමානයකින් අපි ජීවත් වෙනවද කියන ප‍්‍රශ්නෙ. මූලික සදාචාර ධර්මවලට අපි ගරු කරනවාද? ඒවා අපි අතින් අවිඥානකව හෝ උල්ලංඝනය වුණොත් අවංකව පශ්චාත්තාප වන හෘදය සාක්ෂියක් අපට තියෙනවාද? සංස්කෘකික මනුෂ්‍යයා පිළිබඳ අපේ කතිකාවට මේ මානය නැති වුණොත් මොකද වෙන්නෙ?

අපි මේ වැදගත් ප‍්‍රශ්නය අසමින්, ඒ ගැන යම් දාර්ශනික පසුබිමකින් යුතු පිළිතුරක් ගොනු කරමින් ඉන්න වෙලාවෙ ඉතිහාසය විසින් අපට බල කරනු ලැබ තිබෙනවා මේ ප‍්‍රශ්නය පොදු සමාජයෙන් උස් හඬින් අහන්න. අපගේම හදවතට තට්ටු කරමින් අසන්න.
එක තනි මිනිසෙකු අත, එත තනි පවුලක් සමස්ත රටේම බලය ගොනු කරගත් මිනිහෙකුට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික හරය වත් ආරක්ෂා කරන්නට පැමිණි මිනිහෙක් රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග නාහෙට අහන්නැති මෝඩ දරුවෙක් වගේ, කිසිම වරදකාරී හැ`ගීමක් නැතිව, පශ්චාත්තාපයක් නැතිව සෙල්ලම් කරන මනුෂ්‍යයෙක් අපිව ඉතිහාස ප‍්‍රවාහයේ හරි මැදට ඇදල දාල. ජේම්ස් ජොයිස්ගේ යුලිසිස් නවකථාවෙ ප‍්‍රධාන චරිතය එක වෙලාවක කියන ”මා අවදි වී ඉවත් වෙන්නට තැත් කරන නපුරු සිහිනය නම් ඉතිහාසයයි” කියලා.history is the nightmare from which I am trying to awake. අපි දැන් ඉන්නෙ එවන් නපුරු සිහිනයක් මැද්දෙ. ඒ වෙතින් අපි යථාර්ථය වෙත අවදි වෙන්නෙ කොහොමද? ඒ නපුරු සිහිනයෙන් සුබ සිහිනයක් කරා අපි මාරු වෙන්නෙ කොහොමද?

සංස්කෘතිය, කලාව, ආදිය පිළිබඳ අපේ කතිකාව ඇතුළට අර ආත්ම පරීක්ෂාව කියන මානය එක් කරන්නෙ කොහොමද? අපි අපේ බිරිඳගෙ හිත රිදෙන වචනයක් කියවුණොත් දවස්ගාණක් පසු තැවෙන පිරිමි. අපි අපේ සැමියගෙ හිත රිදෙන වචනයක් කියවුණොත් දවස් ගාණක් පසු තැවෙන ගැහැණු. අපේ දරුවන්ගෙ හිත් වැරදිලාවත් රිදුණොත් දුක් වෙන දෙමව්පියො අපි. අපේ සිසු දරුවන්ගේ බුද්ධියට ගරුත්වය පිදිය හැකි ආකාරයකින් දේශනය කරන්න බැරිවුණොත්, පාඩම කරන්න බැරිවුණොත් බොහෝ වෙලාවක් පසු තැවෙන ගුරුවරු අපි. මේ බිඳෙනසුලූ හෘදය සාක්ෂියෙන් කියවෙන්නේ කුමක්ද? අපි ගැනම ආත්ම පරීක්ෂාව අවශ්‍ය යැයි කියන හැ`ගීම අප තුළ තිබෙන බව. ඒ හැ`ගීම සංස්කෘතිකවත්භාවයේ ලක්ෂණයක්. මේ සති කිහිපය ඇතුළත ජනාධිපති සිරිසේන දෙවරක් කර ඇති නීති උල්ලඝනය අපේ හෘදය සාක්ෂියට කරන ලද සරදමක් හැටියටයි අප බාර ගත යුත්තේ. අපි අපෙන්ම අහමු ඒ සරදමින් ඒ අපේ හෘදය සාක්ෂිය රිදෙනවාද කියන ප‍්‍රශ්නය. එසේ ඇසීම තමයි සංස්කෘතික විශිෂ්ටත්වය.
ජනාධිපතිවරයා විසින් අරඹන ලද මේ විකට නාටකයෙන් පස්සෙ සිදු වෙන දේ බලන්න. රංගෙද? කොහෙද ඉන්නෙ? එනව නේද? නෑ බං. – අපිට. – එනව නේද? මේ අශිෂ්ට මිනිස්සු මේ ගනුදෙනු කරන්නෙ ඔට්ටු සෙල්ලම් කරන්න පිල් දෙකකට කට්ටිය එකතු කරනව වගේ සැහැල්ලූවෙන්. මේ සෙල්ලම පිටිපස්සෙ තියෙන්නෙ කුමක්ද? අශිෂ්ටත්වය. ඒවා දැක්කම අපට ඇති වෙන වේදනාව තමයි අපේ හෘදය සාක්ෂිය මිය නොගිය බවට සාක්ෂිය. ඔබ දකින්න ඇති.

දැන් බලන්න අද මගේ වෘත්තියට සිදු වෙලා තියෙන දේ. මහාචාර්ය වෘත්තියට සිදුවෙලා තියෙන දේ. රටේ මූලික නීති පද්ධතිය උල්ලංඝනය කරන පගා මලූ අරන් එහෙට මෙහෙට යන නාට්ටිමිලා බවට මහාචාර්යවරු ඌනනය වී සිටීම ගැන ඒ අයට හෘදය සාක්ෂියක් නැති වුණත්, පොදු සමාජයට තිබිය යුතුයි කම්පාවක්. ඒ කම්පාව මගින් ප‍්‍රකාශ වෙන්නේ කුමක්ද? ඒ තමයි අපේ සාමූහික හෘදය සාක්ෂිය.

සල්ලි ගෝනි අදින මහාචාර්ය නාට්ටාමිලා

මහචාර්යවරු සල්ලි බෑග් එහෙට මෙහෙට ගෙනි යන පාතාලකාරයො බවට පත් වෙලා. “මහාචාර්ය අහවල් බණ්ඩාර කියල එකෙක්”- එහෙමනෙ අර ඞීල්කාරයා කියන්නෙ- ”එකෙක්.” විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට සංස්කෘතිකවත්භාවයක් තියෙනවා ඇසිය යුතු නැද්ද අපේ සමාජිකයෙක් එහෙට මෙහෙට සල්ලි ඇද්දද නැද්ද කියල කියන්න. රටක ඊ ළ`ග උගතුන් පරම්පරාව බිහි කරන වෘත්තිකයන්ගේ මේ කඩා වැඞීම, මේ බලූවීම, සංස්කෘතික ඛාදනයක්ද නැද්ද?

ව්‍යවස්ථාමය සදාචාරය

මේ සියල්ල අතරම ඊට වඩා ප‍්‍රධාන ප‍්‍රශ්නයකට අපට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ තමයි ව්‍යවස්ථාමය සදාචාරය හා සංස්කෘතිකවත්භාවය පිළිබඳ ප‍්‍රශ්නෙ. ව්‍යවස්ථාමය සදාචාරය කියන්නෙ තමා ව්‍යවස්ථාවක් මගින් පැනවෙන සිමා කිරීම්, අනිවාර්යතා විසින් සීමා කරනු ලැබ ඇත්තෙකියි යනුවෙන් කෙනෙකුට, විශේෂයෙන් රාජ්‍ය පාලකයෙකුට දැනෙන වගකීම පිළිබඳ හැ`ගීම්. ඒක ව්‍යවස්ථාව නිසා වගා වූ හෘදය සාක්ෂියක් වගේ දෙයක්. මෙය වැදගත් වෙන්නෙ එය නීතියේ පාලනය වෙත ඇති ප‍්‍රධාන යතුර වන නිසා. ඒ අනුව යම් පාලන තනතුරක් දරන කෙනෙක් ව්‍යවාස්ථාමය ව්‍යූහයක් තුළ ක‍්‍රියා කරද්දි පැවතිය යුතු ගුණධර්ම සමුදායක් තමයි ව්‍යවස්ථාමය සදාචාරය කියන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ යහපත් පුද්ගලයෙකු ලෙස, බෝධිසත්ත්ව චරිත ලක්ෂණ වගේ දේවල් දේශපාලකයෙකුට තියෙනවද නැද්ද කියන එකෙ නෙමේ. මත්පැන් නොබොනවද නැද්ද කියන එක නෙමේ. ව්‍යවස්ථාව විසින් ඇ`ගවෙන අචාරධර්ම රකිනවද කියන එක. ව්‍යවස්ථාවෙන් බලය වෙන් කර ඇති ආකාරය පිළිබඳ ගෞරවයක් තියෙනවද නැද්ද කියන එක. (Frohnen, Bruce,  Constitutional morality and the rise of quasi-law [p. 10]).

මේ මූලික සංස්කෘතිකවත්භාවය නැතිව, විශේෂයෙන් ඒ සංස්කෘතිකවත්භාවය රටක ඉහළ පරිපාලකයන්, ඉහළ නිලධාරීන්, යනාදීන් තුළ නැතිව නීතියේ පාලනය පවත්වාගෙන යන්න බෑ. 
 නීතියේ පාලනය හෙවත් රූල් ඔෆ් ලෝ, (රූල් බයි ලෝ නොවේ,) කියන්නෙ දැනට එක`ග වෙලා තියෙන නීතිවලට අනුව පාලනය කිරීම. එය ඉතා වැදගත් දෙයක්. මොකද ඉන් ස්ථාපිත වෙනවා පූර්වයෙන් උපකල්පනය කළ හැකි, අනාවැකි කිවහැකි පර්යායක්. (predictable order) එම පර්යාය වැදගත් වෙනවා ඉහළ දේශපාලන ප‍්‍රයාමයන්වලට වගේම මූලික මනුෂ්‍ය ජීවිතයේ පොහොණි බවටත්. කෙනෙකු මන්ත‍්‍රීවරයෙකු ලෙස බලය ලබා ගන්නේ කෙසේද කියන වගේම මගෙ දුවට නිසි වයසෙදි පාසැලක් ලැබීම ගැනත් කලින් අනාවැකි කිවහැකි පර්යායක් තියෙන්න ඕනෙ. නීතියෙන් බඳින ලැබ සිටින්නේය යන හැ`ගීමෙන් නීතියට අනුව ක‍්‍රියා කිරීම, ඉහළ පරිපාලකයන් තුළ පැවතීම සමාජයක පැවැත්මට අවශ්‍යයි.

නීතියේ පාලනය නිසා තමයි පාලකයන්ට තමන්ගෙ මනෝ විකාර, ක්ෂණික සිතිවිලි, ඒකපුද්ගල බලකාමීකම, විජීගීෂාව ක‍්‍රියාත්මක කරන්න බැරි වෙන්නෙ. එමගින් වෙන්නෙ පාලකයන්ගෙ අධිෂ්ඨානය සම්මත නීති මාලාවකට යටත් කොට තැබීම.
නීතිය සහ නීතියේ පාලනය පරම සුන්දර දෙයක් නෙමේ. පාලකයො ඉතා මර්දනීය නීති පනවා සම්මත කරගෙන ඒ අනුව පාලනය කරන්න පුළුවන්. ඒ නිසා නීතියේ පාලනය මගින් මානව විමුක්තිය, විශේෂයෙන් දණ්ඩනයෙන් නිදහස, බලෙන් අල්ලාගෙන ගොස් වහල්භාවයට පත් නොකිරීම, විමුක්තිය හෙවත් කසඉැරඑහ ඇති කරන්න බැරි වෙන්න පුලූවන්. ඒත් ඒක තමයි විමුක්තිය ඇති කිරීම පිණිස ශිෂ්ට සමාජයක තිබිය යුතු පළමු කොන්දේසිය. පළමු කොන්දේසිය.

අද අපේ රටේ බිඳවැටී ඇත්තේ ඒ මූලික ශිෂ්ටසම්පන්නභාවයයි. එය බිඳ වැටී ඇති තැනක කලා-සංස්කෘතික කමිටුව විදියට අද අපට මෙතැන ශ‍්‍රී රාහුල හිමියන්ගෙ ඛවි කොච්චර ලස්සනද කියල කතා කරන්න පුළුවන්ද? නල බල සසල දළ රළපෙළ නුබනැගෙන, කියන කොට අනුප‍්‍රාසෙ කොච්චර ලස්සනද කිය කියා තොඳොල් වෙන්න පුළුවන්ද? ඒක අතිශයින්ම අසංස්කෘතික වැඩක්. ඒ නිසා අද අපට අහිමි කරනු ලැබ තිබෙන්නේ සංස්කෘතිකවත් ජීවිතයකට අවශ්‍ය මූලික කොන්දේසිය බව අපි අමතක කරන්න හොඳ නෑ.

මම දන්නව හවසට ටියුෂන් පන්ති දාල සල්ලි කීයක් අරන පාසැල් දරුවන්ට උගන්නන, තමන්ගෙම පාසැලේ දරුවන්ට උගන්නන ගුරුවරු ඇතැම් රාත‍්‍රිවල හිත හිත දුක්වෙනවා තමන්ට කරන්න වෙලා තියෙන දේ ගැන. මම දන්න ඇතැම් වෛද්‍යවරු ඉන්නවා ඉහළ මධ්‍යම පාන්තික පරිභෝජන මැසිමක් බවට තමන් ඌනනය වී තිබීම ගැන දුක්වෙන. ඊට වඩා වෙනස් පරමාදර්ශ විශ්වාස කරන වෛද්‍යවරු අපිත් එක්කත් එකතු වෙලා ඉන්නවා. අපේ කමිටුවල වැඩ කරනවා. අපේ රැුස්වීම්වලට ඇවිල්ල කතා කරනවා. සවන් දෙනවා. ඒ මීට වඩා විශිෂ්ට සංස්කෘතික ජීවිතයක් හොයන ප‍්‍රබුද්ධ පුරවැසියො. තමන්ගේම ආධ්‍යාත්මය ඇතුළෙන් කුණු වෙන බව දැනි දැනී දුක් විඳින්නට මනුෂ්‍යයන් සිදු නොවන සමාජයක් තමයි නියම සංස්කෘතිකවත් සමාජය.

පරමාදර්ශ විනාශකයා

2015 ජනවාරි ජනවරම පිටුපස යම් වූ පරමාදර්ශ සමූහයක් තිබුණද ඒ පරමාදර්ශ විනාශකයා නැවත අගමැති බවට පත් කරද්දී උල්ලංඝනය වන්නේ ඒ පරමාදර්ශ විතරක් නෙමේ. ඒ නිසා වේදනාවට පත් වන්නේ අපේ හෘදය සාක්ෂිය පමණක් නොවේ. රටේ මූලික නීතියද උල්ලංඝනය වෙනවා. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් කියන්නෙ හුදෙක් නීතියක් පමණක් නොවේ. පරමාදර්ශ මාලාවක්. කෙතරම් අසම්පූර්ණ ව්‍යවස්ථාවක වුවත් එක්තරා සමාජ ගිවිසුමක් තියෙනවා. ඒ තමයි තනි තනි මනුෂ්‍යයන් හැටියට අපේ ආත්මාර්ථකාමයන්, අපේ හිංසක ක‍්‍රියා, අපේ උමතු ආශා, අපේ බලකාමය, අපේ විජීගීසා, උන්නතිකාම පොදු ආචාරධර්ම පද්ධතියක් මගින් හික්මවා පාලනය කිරීම. ජනාධිපතිවරයා ඒ ආචාරධාර්මික සමාජ ගිවිසුම උල්ලංඝනය කරනවා විතරක් නොවේ ඔහු කරන්නේ ඒවා තමාගේ බලකාමය, තමාගේ ආත්මාර්ථකාමය වෙනුවෙන් භාවිත කිරීම. මේ පිළිකුළ සහගත තත්ත්වය තමයි අප 2015 දී පරාජය කරන්නට තැත් දැරුවේ.

රටක විශිෂ්ට සංස්කෘතිකවත් මිනිසෙක් ගොඩ නගද්දි, ශිෂ්ටාචාරවත් මිනිහෙක් ගොඩනගද්දී, ඒ සමාජයට තියෙන්න ඕනෙ ඒ සමාජයේ තනි තනි මනුෂ්‍යයන්ට වඩා විශාල පරමාදර්ශ. අපිට තියෙන්නෙ අපේ ජීවිතවලට වඩා විශාල පරමාදර්ශ. අපේ දෛනිකත්වයට වඩා විශාල සිහින. රටේ මූලික නීති පද්ධතිය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ංඝනය කරන කොට ඉන් කියවෙන්නේ කුමක්ද? ශිෂ්ටභාවය පිළිබඳ අපේ විශාල සිහිනයට වඩා එක මිනිහෙකුගේ, එක පවුලක ආශාව ලොකුයි කියන එක නේද? එවැනි උමතු මිනිහෙක් ඉන්න සමාජයක් සංස්කෘතික යැයි කියන්න පුළුවන්ද? ඕනෑම ගැමියෙකු ඇසුරින් වුණත් මේ උමතු මිනිසා බිහි කරන්නට තරම් අපේ ව්‍යවස්ථාව අශිෂ්ට බව දන්නා නිසා එය තරමක් හෝ ශිෂ්ට කරන අරමුණින්ම යෙදූ වැකි, යෙදුම්, වචන උල්ලංඝනය කරන විට එවන් මිනිසෙකුගේ අසංස්කෘතිකවත්භාවය අප පිහිටුවන්නේ කොහෙද? ඒ මිනිසාගේ විඥානය තුළද ඉන් පිටද?

මේ දිගු කාලීන අරගලයක්. නමුත් ශිෂ්ට අරගලයක්. ඒ අරගලය පිණිස ජාතික විද්වත් සංවිධානය සහ ජවිපෙ කේන්ද්‍රකරගත් සුවිශාල පෙරමුණක් ගොඩනගමු.

*2018 නොවැම්බර් 12 ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ජාතික විද්වත් සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව සංවිධානය සම්මන්ත‍්‍රණයෙහි පැවැත් වූ දේශනයෙහි පිටපත. එහිදී ඉදිරිපත් කරන්නට අවකාශ ලැබුණේ මින් අඩක් පමණි. එම අර්ධය යූටියුබ් ඔස්සේ සවන් දෙන්නට අවස්ථාව ඇති නිසා මෙහි ඉදිරිපත් වන්නේ සංස්කරණය කළ කොටසකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.