27 June, 2019

Blog

ඉස්ලාම් මූලධර්මවාදය සහ බටහිර නූතනත්වය

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

අප්‍රේල් 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවේ ඉස්ලාමීය අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් දඩයම සිදු වේ. ඊට මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජනයාගේ සහාය ලැබෙන බවද පෙනේ. ඇතැම් අත්අඩංගුවට ගැනීම්වලට මග පාදන තොරතුරු සපයනන්නේද සාමාන්‍ය මුස්ලිම් ජනයා යැයි කියවේ. දේශපාලන බලය ඇති මුස්ලිම් අය තම බලය අවභාවිත කොට තොරතුරු සඟවන්නට ඉඩ ඇතත්, සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලු සහාය දෙන බව පෙනේ. එය උචිතය. මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පමණක් මෙම ගැටලුව විසඳීම ඉතා දුෂ්කර වන්නට ඉඩ තිබේ. ඒ පාස්කු දවසේ ලංකාවේ අප කැඳවනු ලැබ ඇත්තේ ලෝක පරිමාණ ත්‍රස්තවාදයක් වෙත වන්නටද ඉඩ තිබේ. ඒ කෙසේ වෙතත් ළඟදී එළඹෙන මැතිවරණ උදෙසා කරන දේශපාලන ගණන් බැලීම්වලින් වැලකී සියලු පරීක්ෂා කිරීම්වලට ආරක්ෂක අංශවලට ඉඩ දීම අවශ්‍ය වේ.

ඉරාන විප්ලවය

 ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සමාජ මාධ්‍යවල අදහස් දක්වන අය ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරාණයේ පැවති ලිබරල් නිදහස ආදිය ගැන කියති. බටහිර ඇඳුමින්ද බටහිර පන්නයේ නාන ඇඳුමින්ද සැරසුණු ස්ත්‍රීන්ගේ ඡායාරූපද පළ කරති. ඒවා ඇත්තය. ඉරානයේ ඉස්ලාම් විප්ලවයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ලෞකික නිදහස අහිමි වූ ආකාරය ගැන නොයෙක් පොතපත ලියවී තිබේ. මහාචාර්ය අසාර් නෆිසි Reading Lolita in Tehran නම් කෘතියෙන් ඉරානයේ විශ්වවිද්‍යාලවල නූතන බටහිර සාහිත්‍ය ඉගැන්වීම පවා මුල්ලාවරුන් විසින් තහනම් කරන ලද ආකාරය පෙන්වා දෙයි. ඉංග්‍රීසි මහාචාර්යවරියක වූ ඇය සිසුන් තම නිවසට කැඳවා හොරෙන් හොරෙන් ඒ සාහිත්‍යය ඉගැන්වූවාය. විජාතික වූද නිර්-ඉස්ලාමීය වූද අදහස් උගන්වන්නේ යැයි ඇතැම් ශිෂ්‍යයෝ පවා තම මහාචාර්යවරුන්ට තර්ජන ගර්ජන කළහ. ශිෂ්‍ය ප්‍රජාවද ඉස්ලාම් අන්තවාදී පූජකයන්ගේ ග්‍රහණයට හසු වූ සිටි බැවිනි. නූතන අදහස් දරන ඇතැම් මහාචාර්යවරුන්ට නොයෙක් හිංසනවලට මුහුණ දෙන්නට සිදු විය. මහාචාර්ය නෆිසිගේ පොත ගැන මම 2008 පළ කළ පොතක පැහැදිලි කළෙමි. 

සමාජ මාධ්‍යවල ඉරානීය විප්ලවයට පෙර පැවති ලිබරල් ඉරානය පෙන්වන ඡායාරූප පළ කරන අය නිවැරදිය. ඉන් පසු ඉරානය සම්පූර්ණයෙන්ම වෙනස් විය. එසේම ඉරානීය විප්ලවයට පෙර, එනම් 1978-9 වර්ෂට පෙර, ඉරානීය බෙහෙවින් බටහිර ගැති රාජ්‍යයක් වූයේය යන්නද ඇත්තය. ෂා රජු යටතේ එතෙක් පැවති ඉරානය බටහිර ලෞකික නූතනත්වය අනුගමනය කළ කෙනෙකියි කීම වරදක් නැත. ඔහු ඇමරිකන් ගැත්තෙකියි යන්නද ජනප්‍රිය මතයකි. ඔහුට එරෙහිව ආගමික සහ ලෞකික කණ්ඩායම් විසින් පැවැත්වූ විරෝධතා මාලාවක් ඉරානීය විප්ලවය හෙවත් ඉස්ලාමීය විප්ලවය යනුවෙන් පසුව හැඳින්වෙන්නට යෙදුණු දේශපාලන පරිවර්තනයට හේතු විය. ෂියා මුස්ලිම් නායකයෙකු වූ අයතොල්ලා කොමෙයිනීට ඉන් පසු ඉරානයේ බලය හිමි විය. මෙය අප කවුරුත් දන්නා පරණ කතාවකි. ඉස්ලාම්වාදීන් විරුද්ධ වූ ඒ ෂා රජුගේ ඉරානය සංකේතවත් කළේ කවරාකාර ලෝකයක්ද? සමාජ විධියක්ද?

නූතනත්වය හා ඉස්ලාම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දවස් කීපයකට පසු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ෆේස්බුක් පෝස්ටුවකින් මෙවැන්නක් ඇසීය: “සිංහල බෞද්ධයා මුස්ලිමුන්ට කියන්නේ මෙයයි: “නූතනත්වය වැළඳ ගනු!” විනිවිදිනසුලු කෙටි ප්‍රකාශ කිරීමෙහි සමත් ඒ මහතා අසන්නේ වැදගත් ප්‍රශ්නයකි. එහෙත් එහි සිදුරු ගණනාවක් ඇත. දැනටමත් නූතනත්වය යම් යම් පමණින් වැළඳගත් මුස්ලිම් ජනයා ලොව පුරා සිටිති. තුර්කියේ නම් රාජ්‍යය සහ ආගම වෙන් කිරීමද පවතී යැයි කියවේ. ඒ නිසා සිංහල බෞද්ධයා මුස්ලිමුන්ට කියන්නේ “නූතනත්වය වෙතින් ආපසු නොයනු” යන්න යැයි කියන්නටද පුළුවන.  

එසේම බටහිර නූතනත්වය යැයි අප අද අදහස් කරන ජීවන විධිය සකස් කරන්නට මුස්ලිම් ජනයාද දායක වී තිබේ. බටහිර දර්ශනය යනුවෙන් හැඳින් වෙන් චින්තන සම්ප්‍රදායට පදනම දැමූ ග්‍රීක දර්ශනයට අයත් ඇතැම් සම්භාව්‍ය පොත පත ආරක්ෂා වී තිබුණේ මුස්ලිම් උගතුන් කළ අරාබි පරිවර්තනවලිනි. නූතන සාහිත්‍යය යැයි හැඳින්වෙන සාහිත්‍යයට මුස්ලිම් උගතුන් දැක් වූ දායකත්වය ගැන බොහෝ පොතපත ලිය වී තිබේ. මා මෑතකදී පළ කළ සිතිවිලි සිතිජය පොතෙහි මේ ගැන ඇතැම් කරුණු අඩංගු වේ. 

බටහිර අධිරාජ්‍යවාදීන් නූතනත්වය වෙත මුස්ලිම් ප්‍රජාව කළ දායකත්වය අමතක කළ බව නම් ඇත්තකි. එසේ වුවත් නූතනත්වය යනුවෙන් හැඳින්වෙන සමාජමය වර්ධනයෙහි උරුමය හුදෙක් බටහිරට පමණක් අයිති නොවන බව පෙන්වන අධ්‍යයනද තිබේ. එහෙත් එම කාරණය වඩාත්ම අමතක වී ඇත්තේ මුස්ලිම් මූලධර්මවාදීන්ටය.

බටහිර නූතනත්වයට විකල්ප වූ සම්පූර්ණයෙන් ඉස්ලාමීය ජීවිතයක් සෙවීම ඉස්ලාම් මූලධර්මවාදීන් වෙතින් දැකිය හැකිය. ඒ අර්ථයෙන් ඔවුන් සහ සිංහල ජාතික චින්තකයන් සමාන වන්නේය යනුවෙන්ද ආචාර්ය දේවසිරි තර්ක කර තිබෙනු දුටුවෙමි. එය නම් ඒත්තු යන තර්කයකි. 

ඉස්ලාම් ජාතික චින්තනය

The Britannica Guide to the Muslim World කෘතියෙහි ඉස්ලාම් මූලධර්මවාදය ගැනද පරිච්ඡේදයක් ඇත. ඒ පොතට මුස්ලිම් ජාතික වියතෙකු අගනා පෙරවදනක් ලිව්වද එය මූලික වශයෙන්ම බටහිර පළ වූ පොතක්ය කාරණය දැන දැනම අපි ඒ වෙත මඳකට යමු. අපට වඩා හොඳින් මේ කරුණු දන්නා වූද මේ සම්බන්ධයෙන් බටහිර නොවන මූලාශ්‍ර ගැන දන්නා වූද මුස්ලිම් උගතුන් ඉදිරියට පැමිණ මේවා ගැන අපට කියන දවසක් එන තෙක් අපම කරුණු සොයා ගැනීම වරදක් නොවේ. 

මුස්ලිම් මූලධර්මවාදය පෞද්ගලික තලයේ ප්‍රකාශයට පත් වන්නේ යාඥාව, උපවාසය හෙවත් නිරාහාරව සිටීම (නෝම්බි), ඉස්ලාමීය ඇඳුම, පවුල පිළිබඳ අවධානය වෙත වැඩි අවධාරණයක් යොදමිනි. දේශලපාලනයේදී ඉස්ලාමීයත්වය අවධාරණය කිරීමද එකී මූලධර්මවාදයේ ලක්ෂණයකි. තමන් තම අධම සතුරන් හා ශුද්ධ වූ යුද්ධයක (ජිහාද්) නිරත වී සිටින්නේ යැයි ඉස්ලාම් මුලධර්මවාදියෝ විශ්වාස කරති. ආණ්ඩුව සහ සමාජය ඉස්ලාම් නීතිය අනුව නැවත සකස් කිරීමට අවශ්‍ය බව ඔවුහු සිතති. මුස්ලිම් ලෝකය පුරා ඉස්ලාම්වාදී දේශපාලන පක්ෂ පැතිර ගියේ මෙම අරමුණු ඉටු කර ගැනීමටය. ඒ ඒ ඉස්ලාම් කණ්ඩායම් අතර යම් යම් වෙනස්කම් තිබුණද සමාජ සහ දේශපාලන පර්යාය සකස් කළ යුතු ආකාරය පිළිබඳ නොවරදින සැලැස්මක් ඉස්ලාම් ආගම විසින් සැපයෙන බව මූලධර්මවාදියෝ විශ්වාස කරති. 

මෙම කාරණයේදී ඉස්ලාම් මූලධර්මවාදය බටහිර නූතනත්වයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඒ නිසා සිංහල ජාතිකවාදී චින්තකයන් කියන හැටියට මුස්ලිම් මූලධර්මවාදය සහ බටහිර අධිරාජ්‍යවාදය යනු එකක් නොවේ. ඇමරිකාව වැනි බලවත් රටවල් කලින් කල තම දේශපාලන අවශ්‍යතා පිණිස ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් පෝෂණය කර ඇති බව ඇත්තය. බටහිර නූතනත්වය සහ ඉස්ලාම් අන්තවාදය එකක් යැයි ඉන් අදහස් නොවේ. 

මධ්‍යම පාන්තික මූලධර්මවාදය

ඉස්ලාම් මූලධර්මවාදීන් පැන නැග ඇත්තේ ගොවීන්, නිර්ධනයන් වැනි පිරිස් අතරින් නොවේ. මධ්‍යම පාන්තික පසුබිම්වලිනි. බොහෝ ඉස්ලාමීය මූලධර්මවාදියෝ විශ්වවිද්‍යාල උපාධිධරයෝය. ඇතැම් අයට බටහිර විශ්වවිද්‍යාලවල උපාධිද තිබේ. මා මේ කරුණු උපුටා ගැනීමට භාවිත කරන ඉහත නම සඳහන් පොත පළ වී අවුරුදු දහයකට පසුව ලංකාවේ සිදූ වූ සිදුවීම්වලින්ද මේ සමාජ පසුබිම පිළිබඳ කාරණය සනාථ වේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියාවලට සහභාගි වූ ඇතැම් අයටද විදේශ උපාධි තිබේ. මහනුවර වෛද්‍යවරයෙක්ද ආයුධ සමග හසු විය. ලෝකය පුරා මුස්ලිම් මූලධර්මවාදීන් අතර වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ, නීතිඥයෝ ආදීහු වෙති. 

ඉස්ලාම් මූලධර්මවාදය රාජ්‍ය පාලනය පිළිබඳ බටහිර ආකෘති ප්‍රතික්ෂේප කරයි. ඒ වගේම බටහිර ආර්ථික ආකෘතිද ප්‍රතික්ශේප කරයි. එහිදී ඔවුහු ධනවාදයට සේම කොමියුනිස්ට්වාදයටද විරුද්ධයහ. බටහිර ලෞකිකවාදය, පරිභෝජනවාදය සහ භෞතිකවාදය නිසා මුස්ලිම් සමාජය දූෂණය වී ඇතැයි ඔවුහු විශ්වාස කරති. ඒ නිසා දූෂණ කාරක බටහිර ආභාස වෙතින් දුරස්වීම අවශ්‍ය යැයි ඔවුහු යෝජනා කරති. මුස්ලිම් ලෝකය වෙත බටහිර ජාතීන් පැමිණීමට පෙර පැවැතියේ යැයි කියන “ස්වර්ණමය යුගය” වෙත ආපසු යා යුතු යැයි ඉස්ලාම් මූලධර්මවාදියෝ සිතති. ශරියා හෙවත් ඉස්ලාමීය නීතිය එවන් ඉස්ලාම් සමාජයක් ගොඩනැගීම පිණිස අවශ්‍ය යැයි ඔවුහු සිතති. මේ වූකලි ඇතැම් සිංහල ජාතිකවාදීන්ගේ ඇදහිලිවලින් වෙනස් වූවක් නොවේ. 

මා මෙතෙක් දැක් වූයේ ඉහත සඳහන් කෘතියෙන් ගත් තොරතුරු බිඳක් පමණි. ඒවාගෙන් පෙනෙන්නේ බොහෝ රටවල පවත්නා ජාතිකවාදී අදහස් සහ ඉස්ලාම් මූලධර්මවාදී අදහස් අතර සමානතාවක් ඇති බවයි. සිංහල ජාතිකවාදීන් තම වාග්මය අලංකාරිකවලින් බටහිර නූතනත්වයට විරුද්ධ වුවත්, ජීවන පැවැත්මෙන් බටහිර නූතනත්වයේ බොහෝ අංග ප්‍රශ්න නොනගා පිළිගන්නා මුත් ඉස්ලාම් මූලධර්මවාදියෝ තමන් විශ්වාස කරන ජීවිතය ගත කරන්නට තැත් කරති. අනෙක් අය ලවා ඒ ජීවිතය බලෙන් ගත කරවන්නට තැත් කරති.

බුර්කාවට විරුද්ධව සාධාරණ විරෝධයක් ලංකාවේ තිබේ. බුර්කාව වැනි ඇඳුම් පැතිරෙන්නේද බටහිර ජීවන විලාසිතාවලට විකල්පයක් ලෙසිනි. එය නීතියක් වැන්නකි. 

බටහිර පන්නයේ නූතනකරණයේ නරක ප්‍රතිඵල ඉස්ලාම් මූලධර්මවාදයේ නැගීමට හේතුවකි. වේගවත් නාගරිකකරණය, පිටිසර ගම්වල සිට නගර කරා සිදු වූ විශාල ජනසංක්‍රමණය, සාම්ප්‍රදායික පවුල් සම්බන්ධතා, සමාජ වටිනාකම් ආදියෙහි බිඳවැටීම නිසා ඉස්ලාම් මූලධර්මවාදය වේගයෙන් පැතිරිණි. ඒ දෘෂ්ටිවාදය නාගරික මැද පන්තියෙන් පැන නැග ඒමේ රහසද එතැන තිබේ. “බටහිර ආකාරයේ ජීවන විලාසිතා නූතනත්වයේ සංකේතයක්” සේ සැලකෙන මුස්ලිම් සමාජවලම එය “සදාචාරමය බිඳවැටීමේද, ආධ්‍යාත්මික රෝගීභාවයේ, දූෂණයේ, විරුකියාවේ සහ සාවද්‍ය ලෙස ධනය බෙදී යාමේ මූලයක්” ලෙසද සැලකිණ. මෙම දෙබිඩි ප්‍රතිචාරයට බොහෝ ජාතිකවාද තුළ දැකිය හැකි ලක්ෂණයකි. මේ දෙබිඩි ප්‍රතිචාරයම පවා ධනවාදයේ නිෂ්පාදනයකියි කියන්නටද පුළුවන.

අතිවිශාල මුස්ලිම්වරුන් පිරිසකට අනුව ඉස්ලාම්වාදයේ නැවත නැගී සිටීම වූකලි තම සංස්කෘතික අනන්‍යතාව නැවත තහවුරු වීමකි. තම සදාචාර විශ්වාස නැවත තහවුරු වීමකි. 

ඉස්ලාම් මූලධර්මවාදීන් බටහිර වෙත දක්වන සතුරු ආකල්පය මගින් කරුණු දෙකක් පෙනේ. එකක් නම් නූතනත්වය ප්‍රතික්ශේප කිරීමය. අනෙක නම් මැදපෙරදිග කලාපයේ බටහිර පවත්වා ගන්නා දේශපාලන සහ ආර්ථික ආධිපත්‍යය පිළිබඳ අමනාපයයි. ඔසමා බින් ලාඩන්ගේ අදහස්වලින් ඒ දෙවැනි කරුණ පෙනේ.

බුර්කාව වැනි ඇඳුම්ද ඉස්ලාම් අනන්‍යතාව අධි-අවධාරණය කරන ඇතැම් සංස්කෘතික පැවතුම්ද සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේදී අප ඒවා පැන නැගි සංකීර්ණ පසුබිම් ගැන අවබෝධයකින් සිටීම උචිතය. මුස්ලිම් ජනයා සමග කුඩා කල සිටි හැදී වැඩුණු මට මුස්ලිම්කම අධි-අවධාරණය කරන ඇඳුම් හැඳි අය මීට වසර තිහකට පමණ පෙර සිටි බවක් මතක නැත. මගේ මව විසූ නිවස අසලම ඇති ගෙවල් හතරින් දෙකක්ම මුස්ලිම්ය. ඒ ගෙවල විසූ අක්කලා සහ නංගිලා බුර්කා පැළඳි බවක් මට මතක නැත. මා උගත් වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍යයෝ බොහෝ සිටියහ. ඒ අය බුර්කා හෝ නිකාබ් පැළැන්දේ නැත. මගේ හොඳම මිතුරෙක් ඒ නංගි කෙනෙකු සමග ආදර සම්බන්ධයකුත් පැවැත්වීය. 

ඒ නිසා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ ෆේස්බුක් පෝස්ටුව මෙසේද ලිවිය හැකිය: “සිංහල බෞද්ධයන් මුස්ලිම් ජනයාට කියන්නේ මෙයයි: නූතනත්වය වෙතින් ආපසු නොයනු.” එහෙත් සිංහල ජාතිකවාදියාට එසේ කිව නොහැකිය. මක්නිසාද ඔහුද සිය දේශපාලන අලංකාරිකවලින් නූතනත්වයට විරුද්ධ බව පෙන්විය යුතුය. මේ ප්‍රශ්නය වඩාත්ම ඇත්තේ ජාතික චින්තන අයටය. නූතනත්වයට අලංකාරිකවලින් විරුද්ධ වුවත් ක්‍රියාවෙන්, ඇඳුමෙන් පැළඳුමෙන්, ගතිසිරිත්වලින් ඇත්තටම විරුද්ධවීමද කළ නොහැකිය. එවිට ඔහු වඩ වඩාත් මුස්ලිම් මූලධර්මවාදියාට කිට්ටු වේ.

මෙවන් අර්බුදවලින් අප කාටත් මිදිය හැක්කේ විචාරාත්මක නූතනවාදීන් වීමෙනි. එසේ කිරීමට නූතනත්වය නම් සමාජ ප්‍රගමනයෙහි හොඳ සහ නරක මධ්‍යස්ථව වටහා ගැනීමත්, නූතනත්වය සාධනය කිරීමට ලෝකයෙහි බොහෝ මනුෂ්‍ය කණ්ඩායම් දායක වී ඇති බව අවබෝධ කරගැනීමත් කළ යුතුය. නූතනත්වය යනු හුදෙක් බටහිරට පමණක් උරුම වූවක් නොවේ. 

එසේම නූතනත්වය යනු අවසන් නිර්මිතයක්ද නොවේ. එය තවමත් නිර්මාණය වෙමින් පවතින දෙයකි. එය වඩාත් සාධනීය කරන්නට අපටද දායක විය හැකිය.  බටහිර නොවන පරිසරවාදීන් නූතනත්වය වඩා පොහොසත් කරන්නට දායක වී ඇති ආකාරය නිදර්ශනයකි. නූතනත්වයට සම්පූර්ණයෙන් විකල්ප ශුද්ධ වූ අද්විතීය දෙයක් අපට ඇතැයි කියන ඕනෑම ප්‍රජාවක් කවදා හෝ නිර්මාණය කරන්නේ ඉස්ලාම් මූලධර්මාවාදියාට සමාන කෙනෙකි. ජාතික චින්තනයට පවා ප්‍රමාණවත් පිරිසකගේ මොළ සෝදා ගත හැකි නම් එවන් මූලධර්මවාදියෙකු නිර්මාණය කර ගත හැකිය. මා නම් ඉස්ලාම් මූලධර්මවාදයට විරුද්ධ වන්නේ ඒ අර්ථයෙනි. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.