17 June, 2019

Blog

පර්දාවට එරෙහි මුස්ලිම් කිවිඳියෝ සහ නූතනත්වය

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මහාචාර්ය ලියනගේ අමරකීරිති

ස්ත්‍රීන්ගේ විමුක්ති කතිකාව දකුණු ආසියාව වෙත ආවේ බටහිර නූතනත්වය සමග යැයි කීම අතිසරල කතාවකි. එසේ කීම නූතනත්වයද ආගමක් සේ ඇදහීමකි. එසේම ස්ත්‍රීන් පර්දාවෙන් හෝ බුර්කාවෙන් වසා කොන් කර මුල්ලකට කර තැබීම හෝ දූෂ්‍යකාරක වස්තුවක් සේ හෝ සැලකීම ඉස්ලාමයේ හෝ අනික් ආගමක සිරිත වී යැයි තර්ක කිරීමද සීමාන්තික ආගමිකවාදයකි. එයද පැරණි ඉස්ලාමයේ සෑම විටෙකම තිබුණු දෙයක් නොවේ. දකුණු ආසියාවේ පැවති ඇතැම් ස්ත්‍රී පීඩක ආගමික සිරිත විරිත් යටත් විජිතවාදීන් විසින් අධි-අවධාරණය කෙරිණි. සිය සැමියාගේ දර සෑයට පැන වැන්දඹු බිරිඳ දිවි නසා ගත යුතු යැයි කියන සති පූජාව ඉන්දියාවේ බහුලව පැවති සිරිතක් නොවේ. එහෙත් එය තැනින් තැන හෝ ඉඳහිට හෝ පැවතීම පව අපරාධයකි. යටත් විජිතවාදියා මේ දුර්ලභ සිරිත අධි-අවධාරණය කොට, ඉන්දීය ස්ත්‍රිය ඒ අමානුෂිකත්වයෙන් මුදවා ගැනීම යටත්විජිතවාදියාගේ ශිෂ්ටාචාරමය වගකීමක් සේ විස්තර කළේය. එනම් එය සුදු මිනිසා මත පැටවෙන වගකීමෙන් කොටසක් සේ විස්තර විය. ඒ වූකලි එකල පැවති දකුණු ආසියාව යථා පරිදි විස්තර කිරීමක් නොව යටත්විජිතවාදය සාධාරණීකරණය කිරීමේ කූට උපායකි. සති පූජාව සහ යටත්විජිතවාදය පිළිබඳ ඉන්දියානු පර්යේෂකයන් කළ නොයෙක් අධ්‍යයනවලින් මෙය පෙන්වා දී තිබේ.  

එපරිදිම මුස්ලිම් ස්ත්‍රිය පර්දාවෙන් වසා කොන් කිරීමද පොදු ඉස්ලාමීය සිරිතක් නොවේ. එසේම එය මුස්ලිම් ස්ත්‍රීන් විසින් ප්‍රශ්න නොනගා ඉවසූ සිරිතක්ද නොවේ. ස්ත්‍රිය එසේ ආවරණය කොට මුළු ගැන්වීම ඉතා මෑත කාලීන මුස්ලිම් අන්තවාද හා සම්බන්ධ ක්‍රියාවක් බවද පෙනේ. බෞද්ධ සහ හින්දු ඉන්දියාවේ ස්ත්‍රිය මහජන කතිකාවලට සහභාගි වූ අවස්ථා ගැන අපමණ නිදර්ශන තිබේ. එපමණක් නොව ඉන්දියාවෙහි ඉස්ලාම් ආගම පැතිරීමෙන් පසුද ස්ත්‍රිය සමාජයෙන් කොන් වී මුළු ගැන්වී නොගිය බවට සාක්ෂි තිබේ. නිදර්ශනයක් සේ සුෆි මුස්ලිම් කවීන් ගන්න. ඔවුහු ඉන්දියාවේ පැවති බොහෝ සමාජමය විභේදනවලට එරෙහිව ලියූහ. ඒ ඇතැම් කවීන් නිර්ධන පාන්තික පසුබිම්වලින් පහළ වූ අය විය. එපමණක් නොව, සුෆි ඉස්ලාම් සංස්කෘතික ව්‍යාපාරයේ මුල් පෙළ අය අතර ස්ත්‍රීහුද වූහ. මීරා බායි, අන්දාල්, දයා-බායි, සහාජෝ-බායි, ක්සේමා ඒ අතර ප්‍රකටය. මුස්ලිම් සුෆිවරුන්ගේ සංස්කෘතික ව්‍යාපාරය වූකලි දළ වශයෙන් 15 වන සිය වසේ පමණ සිට මතුව ආවකි. මහාචාර්ය අමර්තයා සෙන් Argumentative Indian වැනි කෘතිවල මේ කරුණු ගැන සිත්ගන්නා සේ ලියා ඇත.

 එනම් බටහිර නූතනත්වයට පෙර සිට මනුෂ්‍ය විමුක්තිය සහ නිදහස පිළිබඳ කතිකාව ආරම්භ වී තිබිණි. මනුෂ්‍ය විමුක්තිකාමී කතිකාව නූතනත්වයේ ඵලයක් පමණක් සේ ගැනීම නූතනත්වයද ආගමක් සේ ඇදහීමකි. 

මෙම කෙටි රචනයෙන් මා අවධානය යොමු කරන්නේ ස්ත්‍රී විමුක්ති කතිකාවට සහභාගි වූ මුස්ලිම් කිවිඳියන් කිහිප දෙනෙකු ගැන කරුණු කිහිපයක් කියන්නටය. මා මෙහිලා මූලික වශයෙන් භාවිත කරන්නේ පාකිස්ථානු කවියෙකු සහ ඉතිහාසඥයෙකු වන අහ්මඩ් සලීම්ගේ රචනයකි. ඔහු එය පළ කළේ Himal Southasian සඟරාවේ 26 වැනි වෙළුමේය. ඔහු දකින හැටියට සුෆි කවියන් යනු ඉන්දියානු අර්ධ-ද්වීපයේ සහ බටහිර ආසියාවේ මීට අවුරුදු දහසකට පමණ පෙර ආරම්භ වී 19 වැනි සිය වස පමණ දක්වා පැවති විමුක්ති ව්‍යාපාරයක කොටසකි. “ස්ත්‍රී අයිතිවාසිකම්” නමැති සංකල්පය නූතන ලෝකයේ පහළ වන්නට බොහෝ කලකට පෙර සුෆි මුස්ලිම්වරු ස්ත්‍රී නිදහස වෙනුවෙන් හඬ නැගූහ. ඒ නිසාම මුස්ලිම් ශාන්තුවරියෝ හෙවත් පූජනීය ස්ත්‍රීහු පහළ වූහ. ස්ත්‍රීන්ගේ ලිංගිකත්වය පාලනය කරන්නට තැත් දැරූ අනම්‍ය සම්ප්‍රදාය වෙතින් නිදහස් වීමට සුෆි ස්ත්‍රීහු අරගල කළහ. 

ගතානුගතික ගෘහ ජීවිතයෙන් ඔබ්බට

බොහෝ ආගමික රචනාවල පිරිමියාගේ ආධ්‍යාත්මික විමුක්තිය වළකා ඔහු මෙලොව වෙත බැඳ තබන කෙනෙක සේ ස්ත්‍රිය විස්තර වේ. මෙම සුෆි කිවිඳියන්ගේ නිර්මාණවල එහි අනික් පැත්තය. සැමියාගේ සුන්දරත්වය, ආකර්ෂණය, අණසක ආදිය සුෆි කිවිඳියට පෙනෙන්නේ ඇය මෙලොවට බැඳ තබන දේවල් ලෙසටය. ලල්ලා අරීෆා සහ මීරා බායි දෙදෙනාම විවාහ ජීවිතවලින් නිදහස්ව විමුක්තිය සොයා පිටව ගියහ. ලල්ලා ජීවත් වූයේ 14 වැනි සියවසේදීය. මීරා බායි උපන්නේ 15 වැනි සිය වසේ අගදීය. ඒ දෙදෙනාම විමුක්තිය සොයා විවාහ ජීවිත අත්හැර ගියේය යන්නෙන්, ඔවුන්ගේ ආගමික විශ්වාස ඒකපුද්ගල නිදහස වෙනුවෙන් දිරි දුන්නේය යන්න පෙනේ. 

මේ දෙදෙනාම ඉස්ලාම්, හින්දු, සහ බෞද්ධ යන සංස්කෘති තුනෙහිම සම්මිශ්‍රණයකට අයත් සැලකිය හැකිය. සුෆි මුස්ලිම්වරුන් ඇතැම් අය විසින් හැඳින්වෙන්නේ “මුස්ලිම් බෞද්ධයන් ලෙසිනි. ඒ සම්ප්‍රදාය දකුණු ආසියාවට මුල් ඇති සංස්කෘතික ව්‍යාපාරයකි. එහෙයින් මූලධර්මවාදී ඉස්ලාම් පූජකයන්ට අනුව සුෆිවරුන් යනු දූෂිත පිරිසක් වීම පුදුමයක් නොවේ.

ක්වාටලේන් තහිරා යනු 19 වැනි සියවසේ විසූ සුෆී කිවිඳියකි. ඇය ඉස්ලාමය ඇසුරින්ම පහළ වූ බහායි දහම අදහන්නියක වීම නිසා ඇගේ සැමියා ඇයට විරුද්ධ විය. ඒ නිසා සැමියාගේ පවුලේ අයගෙන්ද ඇයට හිංසා එල්ල විය. ඒ නිසාම ඇය විවාහ ජීවිතය අතහැර තම චින්තන නිදහස සොයා ගියාය. පසු කලෙක ඉරානයේ රජු ඝාතනය කිරීමට සැලසුම් කිරීමට සම්බන්ධ යැයි සලකා ඇය සිරගත කෙරිණි. ඇය සිර කරගෙන සිටි ඇමතිවරයාට ඇය මෙසේ කීවාය: “ඔබතුමාට පුළුවන් මාව මරල දාන්න නමුත් ඔබතුමා හැකියාවක් නෑ ගෑනුන්ගෙ විමුක්තිය නවත්තන්න.” මෙම ප්‍රකාශය සැලකෙන්නේ පිරිමින්ගේ ආගමික සහ දේශපාලන ආධිපත්‍යයට එරෙහිව ආසියානු ගැහැනියක කළ මුල් කාලීන ප්‍රකාශයක් ලෙසය.

තහිරාගේ නිර්භීතකමත්, රූමත්කමත් ඉරාන රජු නස්රුදින් ෂාගේ සිත්ගත්තේය. ඇය බහායිවාදය අත්හැර නැවතත් සැබෑ මුස්ලිම් බැතිමතියක වන්නේ නම් තමන් ඇය නිදහස් කර විවාහ කර ගන්නට කැමති ඇයි රජු ඇයට ලිව්වේය. ඊට පිළිතුරු දුන් තහිරා කීවේ මෙවැන්නකි: රජකම, රාජ ගෞරවය ආදිය ඔබට වටිනා දේවල් වුවද මට වටින්නේ තැනින් තැන යන සන්‍යාසි ජීවිතයකි. “මේ සුන්දර ස්ත්‍රිය නිදහස් කරන්න” යැයි රජු නියෝග කළද ඔහුගේ ඇමතිවරු ඇය රහස් තැනකට ගෙනගොස් ගෙල මිරිකා මරා දැමූහ. ඇය මරණ දණ්ඩනය ලබන්නට ගියේ මනාලියක සේ හැඳපැළඳ බව කියවේ. ආගමික අන්තවාදී පිරිමි ඉදිරියේ ඇය ජීවිතය පූජා කළේ එසේය.

17 වැනි සියවසේ මූගල් අධිරාජ්‍යයෙකු වූ ඔරන්ග්සෙබ්ගේ දියනියක වූ සෙබ්-උන්-නිසා කිවිඳියක, ශාස්ත්‍රධාරියනියක ලෙස අවිවාහක දිවියක් ගෙව්වාය. 1638 වර්ෂයේ උපන් ඇය රජුගේ වැඩිමහලු දියනිය වුවත් හුදෙකලා ශාස්ත්‍රධාරිනියකගේ ජීවිතය තෝරාගත්තාය. ඇගේ බාල සහෝදරයා ලෙස උපන් අක්බාර් කුමරු හදාවඩා ගැනීමේ කාර්ය ඇය වෙත බාරගත්තාය. ඉතා ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් රජ කෙනෙකු සේ පසු කලෙක ඉන්දියාව පාලනය කළ අක්බාර් රජු වෙත තීරණාත්මක බුද්ධිමය බලපෑමක් කරන්නට සෙබ්-උන්-නිසාට හැකි විය.    

ස්ත්‍රීත්වය පිළිබඳ ගතානුගතික අලංකාරිකවලින් ඔබ්බට

ඉහත සඳහන් කළ කිවිඳියෝ සහ ශාස්ත්‍රවන්තියෝ ස්ත්‍රියට ආවේණික යැයි සම්මත චර්යා ප්‍රතික්ශේප කළහ. රූමත්භාවය, ලජ්ජාශීලිත්වය, මුදුමොලොක්බව ආදිය ස්ත්‍රීන්ට ආවේණික සාධු ලක්ෂණ සේ පිළිගැනුණද ඉහත සඳහන් කළ නිදහස්කාමී සම්ප්‍රදායේ ස්ත්‍රීන් මේ කිසිවකට යටත් වූයේ නැත. ස්ත්‍රී ලිංගිකත්වය පාලනය කිරීම පිළිබඳ සමාජ සම්මත ප්‍රයත්න ඔවුන්ගේ සැලකිල්ලට ලක් වූයේ නැත. මා ඉහත සඳහන් කළ ලල්ලා සිය ඇඳුම් ගලවා දමා නිරුවතින් නැටුවේ යැයි කියවේ. ඇය නටමින් ගැයූ ගීයක කොටසක් මෙසේය.

“ලල්ලා,  නුඹ ඇතුළු ආත්මය හා සමග නොබැඳුණු

කිසියම් දෙයක් ගැන නොසිතනු

එවිට මිදෙනු ඇත නුඹ විචිකිච්ඡාව වෙතින්.

එහෙනම් ලල්ලා, නටනු මැන හුදෙක් ආකාශ වස්ත්‍රය

වායුමය වස්ත්‍රය පමණක් හැඳ පැළඳ

ඇත්ද ඇඳුමක් ඊට වැඩි නිදහස්?

ඇඳුම් අඳිනුයි අණ කරයි සිරිත සහ විරිත

එහෙත් එය සන්සිඳවයිද සිත?” 

ලල්ලා මෙසේ නිරුවතින් නටමින් යන්නේ මන්දැයි කෙනෙක් විසින් අසන ලදී. ඇගේ පිළිතුරු මෙසේ විය:

“මේ කාශ්මීරයේ පිරිමි නෑනෙ. ඒකයි.” 

මෙම කෙටි පිළිතුරු කිහිප ආකාරයකින් අර්ථකථනය කළ හැකිය. ස්ත්‍රී ශරීරය ඇඳුමින් වැසීම පිළිබඳ අවශ්‍යතාව පිරිමි අවශ්‍යතාවකි. එසේම ඇඳුම් අවශ්‍ය වන්නේ පිරිමින්ගෙන් ආරක්ෂා වන්නටය. ස්ත්‍රී ලිංගිකත්වය කෙසේ විය යුතුද යන බොහෝ නිර්ණායක පිරිමින්ගේ දෘෂ්ටිවාද අනුව සැකසුණු දේය.

ලල්ලාගේ මේ චර්යාව ගැන නූතන පාකිස්ථාන විද්වතෙකු වන අහ්මඩ් සලීම් ලියන්නේ වර්තමාන මුස්ලිම් ස්ත්‍රිය ලල්ලා සේ නිරුවතින් සිටිය යුතුයැයි කීමට නොවේ. බුර්කාව වැනි ස්ත්‍රිය සම්පූර්ණයෙන් ආවරණය කරන ඇඳුම් යනු මුස්ලිම් ලෝකය තුළ සදාකාලික පැවති දේ නොව බව පෙන්නා දීමටය. 

අප ඉහත සඳහන් කළ මීරා බායිද සම්පූර්ණයෙන් ආවරණය වූ ඇඳුමින් සැරසුණු කෙනෙක හෝ ස්ත්‍රියට අයිති යැයි සැලකුණු ආවරණය වූ නිවස්නයකට සීමා වූ කෙනෙක හෝ නොවේ. ඇයද නිදහස්කාමිත්වය දක්වන ඇඳුමින් සැරසී මහජන අවකාශයෙහි ගැවසුණාය. 

ස්ත්‍රිය සහ මහජන අවකාශය

මහජන අවකාශයෙහි ක්‍රියාකාරීවීමත් සුෆි ඉස්ලාම් සම්ප්‍රදායෙහි මුල සිටම එන්නකි. රබය්යා බස්රි මෙහිලා හොඳ නිර්ශනයක් වේ. ඇය අට වෙනි සිටි ඉතා ප්‍රකට සුෆි ශාස්ත්‍රවන්තියකි. ඇය වාසය කළේ වර්තමාන ඉරාකය පවතින ප්‍රදේශයේය. මහජන විවාද වෙත ස්ත්‍රීන්ගේ සහභාගිත්වය දිරි ගැන්වීම සම්බන්ධයෙන් ඉතා ගෞරවයෙන් ඇය සිහිපත් කෙරේ. ඇය එක් අතකින් ගිනි පන්දමක්ද අනික් අතින් වතුර බාල්දියක්ද ගෙන වීදිවල සැරිසරමින් මෙසේ කීවාය: “මට ඕනෙ දිවිය ලෝකෙට ගිනි තියලා අපායෙ ගින්දර නිවන්න.” එමගින් ඇය අදහස් කළේ දිවිය ලෝකයත් අපායත් දෙකම නැති වූ විට සැබෑ බැතිමතාට නියම දෙවියන් සොයාගත හැකිය යන්නය. මෙය ඉතා අර්ථවත් කියමනකි. ස්වර්ගයට යාම පිණිස බෝම්බ පුපුරුවා ගනිමින් මිය යන අය සිටින කාලයක රබය්යා බස්රිගේ ප්‍රකාශය බෙහෙවින් අර්ථවත්ය. ගතානුගතික ආගමික සංස්ථාව දිව්‍ය ලෝකය සහ අපාය යන දෙක භාවිත කොට සිය අනුගාමිකයන් සැබෑ ආචාරධාර්මිකත්වය වෙතින් ඉවතට මෙහෙය වන බවක් ඇයගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. ඇගේ ප්‍රකාශය අපගේ සිහියට නගන්නේ සොක්‍රටීස් කෙනෙකි. එවැන්නියකට අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ තිබුණු මුස්ලිම් ලෝකයක් පැවති බව අප අමතක නොකළ යුතුය. එය නැවත නැවතත් සිහිපත් කරන අය සිටිය යුත්තේ වර්තමාන මුස්ලිම් සමාජය තුළය. එහෙත් මෙවැනි ස්ත්‍රීන් පිළිබඳ සාමූහික මතකය වර්තමාන මුස්ලිම් ලෝකය වෙතින් කෙමෙන් ගිලිහෙමින් පවතින බව අහමඞ් සලීම් කියයි. මුස්ලිම් අන්තවාදීන් කරන්නේ ඒ මතකය අතුගා දැමීමය. සම්ප්‍රදායෙන් සහ ආගමික සංස්ථාවෙන් ඒකපුද්ගල මිනිසා ලබන නිදහස, නිදහස් තර්ක ශක්තිය බටහිර නූතනත්වය වෙතින් අගය කෙරෙන්නකි. බටහිර නූතනත්වය ඇති වන්නට බොහෝ පෙර ආසියානු සංස්කෘති තුළ ඒකපුද්ගල මනුෂ්‍ය නිදහස පිළිබඳ විවිධ කතිකා පැවතිණි. මුස්ලිම් සමාජවලද ඒ තත්ත්වය තිබිණි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.