20 April, 2024

Blog

හේ නමට මෛත්‍රී නම් වෙයි..!

මහින්ද රුබසිංහ

මහින්ද රුබසිංහ

තමන් පත්කළ නිලධාරීන් හේතුවෙන් අද වන්දි මුදලක් ගෙවීමට සිදුව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී. ඔහුට එසේ කීමට සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයකින් කටයුතු නොකිරීම හේතුවෙනි. නිලධාරීන් පත් කළ පමණින්ම ඔවුන්ගේ රාජකාරිය නිවැරදිව ඉටුවන්නේද නැද්ද යන්න ගැන තක්සේරුවක් නොලැබෙන අතර ඒ පිළිබඳ වගකිව යුත්තා තමන් බව ජනාධිපතිවරයාට අවබෝධයක් තිබිය යුතුය.

2019 වසරේ අප්‍රේල් මස සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස රුපියල් මිලියන 100 ක් ගෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කෙරුනේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හත් දෙනෙකුගේ ඒකමතික තීන්දුවකට අනුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) යටතේ ඔහු මුලික අයිතිවාසිකම් කඩකිරීමට වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. මෙහිදී සිදුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවරී තිබූ වගකීම් පැහැර හැරීමකි.

හිටපු ජනාධිපතිවරයා සිය වගකීම් පැහැර හැරි පළමු අවස්ථාව මෙය නොවෙයි. 2015 වසරේ ඔහු ජනපති වූ විගස මහා පරිමාණ වංචා හා දූෂණ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම් සභාවක් පත්කෙරින. 2005 වසරේ සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ වංචා දූෂණ සෙවීම අරමුණ විය. තමන් ජනපති වූ විගස රාජ්‍ය දේපළ සොරකම් කළ දේශපාලකයන්ට රටින් පැන යාමට නොහැකි සේ ගුවන් තොටුපළ වසා දමනවා යැයි ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ පාරම්බෑ සිරිසේන මහතා මල් වෙඩිල්ලක්, රතිඤ්ඤා කරලක් පත්තු කරන්නාක් මෙන් එකී කොමිසම පත් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මැති ඇමතිවරුන් ඇතුළු ඉහළ පෙළේ 30 දෙනෙකුගේ පමණ බරපතල වංචා පිළිබඳ එම කොමිෂන් සභා වාර්තාවෙන් හෙළිකර තිබේ.

එය නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරුණද ඊට අදාළ කිසිදු ඉදිරි නීති ක්‍රියාමාර්ගයක් ගැනීමට හිටපු ජනාධිපතිවරයා උනන්දු වූයේ නැත. සිරිසේන ජනාධිපතිවරයා එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකත්වය ඩැහැ ගැනීමේ අභිලාෂය ඇතිව කටයුතු කිරීම ඊට හේතු විය. එම වාර්තාවෙන් හෙළිදරව් වී සිටි මහින්දානන්ද අළුත්ගමගේ වැන්නන්ට අමාත්‍ය ධූර ලබා දී තම පැත්තට හරවා ගැනීමට ඔහු උත්සහ දැරීය. අදාළ චෝදනා ලැබුවන්ට එරෙහිව කටයුතු කිරීමට එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් වුවද ප්‍රමාණවත් සහයක් ලැබුණේ නැත.

මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 වසරේ ඔක්තෝම්බර් මස මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිසට එකල පැවති ආණ්ඩුව හයිජැක් කරදීමෙන්ද සිදු කළේ ජනතා වරම පාවාදීමකි. තම ආණ්ඩුව අභ්‍යන්තරයේ කවර ප්‍රශ්න තිබුණද රාජපක්ෂ රෙජීමයේ දශකයක පමණ කාලයක් තමන්ද පීඩාවට පත් වූ බව කියමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපලන පක්ෂවල සහයෙන් බලයට පත් වූ සිරිසේන මහතා සිදු කළේ සදාචාරමය වරදක් මෙන්ම ජනතාව තමන්ට දුන් බලය අයුතු ලෙස භාවිත කර වගකීම් පැහැර හැරීමකි. එමෙන්ම විධායකයේ නායකයා ලෙස සිය ආණ්ඩුව මෙහෙයවා ගැනීමට නොහැකි වීම ඔහුගේ දුර්වලතාවකි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එකී ආණ්ඩු කාලය දින 52 ක කාලය නිමාවට පත් වූයේද මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ලබාදුන් තීන්දුව අනුවය. ඔහුගේ ප්‍රධානත්වයෙන් 2015 බලයට පත් ආණ්ඩුව රටේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතා අපහසුවෙන් ක්‍රියාත්මක කළ ඇතැම් ප්‍රතිසංස්කරණ පවා එකී දින 52 ක කාලය තුළ සුනුවිසිණු කර දැමීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉඩ සලසා දුන්නේ ඉතා නිර්ලජ්ජී පුද්ගලයෙකු ලෙසය. එය ජනතාව ඔහුට ලබාදුන් වගකීම තදබල ලෙසම පැහැර හැරීමකි.

2019 වසරේ සිය ධූර කාලය නිමවීමට සතියක් තිබියදී ස්වීඩන් ජාතික තරුණියක ඝාතනය කිරීමට අදාළ රෝයල් පාර්ක් නඩුවේ වරදකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ප්‍රදානය කළේය. එය ජාත්‍යන්තර මානව හිමිකම් තලයේදි ශ්‍රී ලංකාව අපවාදයට ලක්වූ අවස්ථාවකි. මරණ දඬුවමට නියමව සිටින දහසක් පමණ අතුරින් ධනවත් පවුලක සාමාජිකයෙකු වෙනුවෙන් පමණක් ඔහු සිය බලය අවසන් නිමේෂයේ යෙදවීම සිය වගවීම පවා අමතක කිරීමකි.

මේ ආකරයටම අල්ලස් චෝදනාවකට වැරදිකරුවී වසර 18 ක සිර දඬුවම් නියම සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාටද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබා දුන්නේය. මෙහි චූදිත විසින් ගොනු කරනු ලැබ තිබූ අභියාචනාධිකරණයේ නඩුවද පරාජ වී තිබිණ. අල්ලසට දූෂණයට එරෙහිව පියවරගත යුතු ජනාධිපතිවරයාගේ එකී අධූරදර්ශී ක්‍රියාමාර්ගයද රට පිළිබඳ තිබිය යුතු වගකීම් පැහැර හැරීමකි.

රුපියල් කෝටි දෙකහමාරක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන්, හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දසනායක යන අයට ලබාදී තිබූ බරපතල වැඩ සහිත අවුරුදු 20 ක සහ අවුරුදු 12 ක සිර දඬුවම්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා අනුමත කෙරින. ඔවුන් දඬුවම් ලැබුවද මෙකී ගනුදෙනුවල අක්මුල් අපහැදිලි නිසාත් තමන් යටතේ සේවය කළ අය නිසාත් එකී වංචා දූෂණ සම්බන්ධයෙන් වුවද ජනාධිපතිවරයාටද වක්‍රාකාරයක බැඳීමක් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට යන මහත්වරුන් මැතිවරණ ප්‍රචාරක සමයේ සිල් රෙදි බෙදා දීම සම්බධ නඩුවේ වරදකරුවන් වූ අතර එකී රාජ්‍ය සම්පත් අවභාවිතය හුදෙක් ඔවුන්ගේ අවශ්‍යතාවක් මත සිදු නොවූවකි. එනයින් බොහෝ රාජ්‍ය නිලධාරීහු දේශපාලන අවශ්‍යතා මත විෂමාචාරවල නිරත වෙති.

2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූ දින සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසත් විවිධ අමාත්‍ය ධූර දරමින් එවක ආණ්ඩුවේ පෙරමුණේ සිටියෙකු ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු වංචාවක් දූෂණයක් ගැන කතා කළේ නැත. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදීන්ගේ සිට සිය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොමිස් මුදලට කොන්ත්‍රාත් කිරීම දක්වාත් සිදුවූ කිසිදු වංචාවක් දූෂණයක් පිළිබඳ විරෝධයක් පළ නොකරමින්ද මෛත්‍රිපාල සිරිසේන මහතා කළේ සිය දේශපාලන වගකීම පැහැර හැරීමකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගත්විට රාජ්‍යයේ නායකයා ලෙසත් තමන් යටතේ සිටින්නන් නිසි ලෙස මෙහෙයවා නොගැනීමෙනුත් මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇත්තේ වගකීම් පැහැර හැරීමක් බව අවිවාදිතය. එකල ආරක්ෂක මණ්ඩලයට අගමැතිවරයා මෙන්ම ඊට අදාළ වෙනත් මැති ඇමතිවරුන් සහ නිලධාරීන් අවස්ථානුකූලව හෝ කැඳවා නොගැනීමෙන්ද ඔහු කර තිබුණේ වගකීම් පැහැර හැරීමකි. මෙම නඩුවේදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩකළ බවට නම් කෙරුනු එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයගේ වගකීම් විරහිත රාජකාරියටද ජනාධිපතිවරයාගේ වගකීම් විරහිතභාවය ඉවහල් වන්නට ඇත.

තම චතුරිකා සිරිසේන දියණියගේ දියණිය කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන අතර ජනාධිපති සමයේ ඇයගේ ආරක්ෂාව පිළිබඳ පවා සිරිසේන මහතා සැලකිලිමත් වී තිබිණ. ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරිනියෝ ඇය පාසලට රැගෙන ඒමත් යළි රැගෙන යාමත් කළහ. තමාගේ නොවන දියණියට පවා සිරිසේන මහතා මහජන මුදල් අවභාවිත කරමින් සිටියේ වගකීම් විරහිතවය. සිය දියණිය චතුරිකා සිරිසේන “ජනාධිපති තාත්තා” මැයෙන් ලියු සිරිසේන මහතාගේ චරිතාප්‍රදානයේ සරල මිනිසෙක් සිටී. ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ලබා බඩු භාහිරාදිය ෂොපින් මල්ලක දමාගෙන පොළොන්නරුවට ගොස් ජීවත් වන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය. එහෙත් ධූරයෙන් නික්ම යන අවස්ථාවේ ඔහුගේ දැඩි උවමනාව වූයේ කොළඹ පැජට් පාරේ රජයේ නිල නිවසේ විශ්‍රාම සුව විඳීමයි. පවුලේ අයගේ ආරක්ෂාව හෝ සුඛ විහරණය ගැන සිතූ ඔහු රටේ මහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණේ නැත.

එකල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ලැප්ටොප් පරිගණකයක් ලබාදීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නතර කිරීමටද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හේතුවකි. එවක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පැත්තකට විසි කෙරුණේ ජනාධිපතිවරයා සහ ඔහුට ලැදි ඇමතිවරුන්ගේ මැදිහත් වීමෙනි. එමෙන්ම එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනය විරෝධාකල්පයක් ගොඩ නැගූ අතර එයද සිදුවූයේ කිසියම් මෙහෙයවීමකින් බව අනුමාන කළ හැකිය. එනයින් එදා ඔහු ජාතියේ අනාගතය වෙනුවෙන් වගකීම් පැහැර හැරියෙකි.

අවස්ථා කිහිපයකදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළද ජනාධිපති මුක්තිය සහ ලංකාවේ දේශපාලන භාවිතය අනුව මෛත්‍රීපාල සිරිසේන වැනි ඕනෑම අයෙකුට තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට ඉඩ ලැබී තිබේ. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයෝ සහ තනතුරෙන් ඉවත් වූ රාජ්‍ය නායකයෝද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටිති.

උදාහරණයකට, පේරු හිටපු ජනාධිපතිවරයෙකු වන Alberto Fujimori ට (1990-2000) 2009 වසරේදී වසර 25 ක සිරදඬුවමක් නියම වන්නේ මානව හිමිකම් කඩකිරීම්ද ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කර ගෙනයි. චෝදනා හමුවේ චිලී රාජ්‍යයට පලාගොස් සිටි ඔහු එරට විසින් පේරු රාජ්‍ය වෙත භාර දෙනු ලැබුවේ අදාළ නඩු විභාගයන්ට මුහුණදීම සඳහායි.

ප්‍රංශයේ හිටපු ජනාධිපති Nicolas Sarkozy ට වසර තුනක සිරදඬුවමක් නියම කෙරෙන්නේ අධිකරණ විනිසුරුවරයෙකුට අල්ලසක් දීමට තැත් කිරීම හේතුවෙනි. සර්කෝෂි මෙන්ම ඔහුගේ නීතිඥ Thierry Herzo සහ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ Gilbert Azibert යන දෙදෙනාටද එහිදී දඬුවම් කෙරින. අල්ලස් ලබාදීමෙන් අධිකරණ තොරතුරු ලබා ගැනීම වුව ‘දූෂණ අපරාධයක්” බව නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරිය ප්‍රකාශ කර තිබිණ.

බ්‍රසීලයේ ඉකුත්දා නැවත බලයට පත් Lula da Silva ද අධිකරණයෙන් වසර 12 යි මාස 11 ක සිර දඬුවමක් නියමව සිටියෙකි. ඔහු පාලන බලයේ සිටි 2003 – 2010 කාල පරිච්ඡේදය තුළ සිදුවූ මහා පරිමාණ දූෂණ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල වී තිබිණ. අභියාචනාධිකරණය එකී දඬුවම් නැවතා සලකා බැලීමේ පදනමක් මත ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව ලැබිණ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ආකාරයේ චෝදනා මත වැරදිකරුවෙකු නොවුවද ඔහු දැන් අධිකරණයකින් මානව හිමිකම් කඩ කළ බව තීරණය කෙරුනු වරදකරුවී සිටින හිටපු රාජ්‍ය නායකයෙකි. එමෙන්ම පක්ෂ නායකයෙක්ද වෙයි. මානව අයිතිවාසිකමක් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති පසුබිමක සාපරාධි අපරාධයක් සිදු කර ඇති බවටද නීති කටයුත්තක් සිදුවන්නේ නම් ඔහු එදා වගකීම් පැහැර හැරීමේ ආනිශංසය බරපතල එකක්ද විය හැකිය.

මේ අතර පාස්කු ප්‍රාහාරය සම්බන්ධයෙන් තමන් පටලවා නොගන්නා ලෙසත් එසේ කළහොත් එහි අගමුල හෙළි කරන බවටත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදී සඳහන් කළේය. ඉන් ඔහු ඇඟවූයේ ප්‍රහාරයේ සැඟවුන දෙයක් ඇති බවයි. එවැන්නක් ඇත්නම් හෙළිදරව් කිරීමට මෙය හොඳම වෙලාව බව ඔහු තේරුම් ගත යුතුය. එසේ නොවන්නේ නම් එයද වගකීම් විරහිත ව්‍යාජ ඉඟිකිරීමකි.

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාද නියෝජනය කරමින් “නිදහස් ජනතා සංධානය” නමින් නව දේශපාලන සංවිධානයක්ද ගොඩනැගී තිබේ. තම කණ්ඩායම අන්ත දූෂිත පිරිසකගෙන් ගැළවී ආ පිරිසක් බවද ඔවුහු කියමින් සිටිති. සිය වගකීම් පැහැර හැර ඇති බව නීතිය හමුවේද සනාථ වී ඇති හිටපු ජනාධිපතිවරයා වැන්නවුන් ගැන නව සංධානයේ ඩලස් අලහප්පෙරුම වැනි ව්‍යාජ සුචරිතවාදීන් මුණිවත රැකීමද ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනසක් කරා නොයන බවට තවත් කදිම උදාහරණයකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    මම හිතන්නේ කවුරුත් සොරිසේන, මහින්ද, බැසිල්, ගෝඨා ගැන අනුකම්පා නොකළ යුතුයි. අපේ රටේ ඇලබාමා සහ ටෙක්සානියානු නීති ක්‍රියාත්මක වූවා නම්, මේ මිනිසුන්ට දරුණු අපරාධ කළ අය සඳහා වන දණ්ඩ නීති සංග්‍රහයෙන් ගැලවීමට අවස්ථාවක් නැත.
    මේ සියලු දෙනාම අපේ රටේ අද වැටීමේ සැබෑ ගෘහ නිර්මාණ ශිල්පීන්ය. එක්කෝ ඔවුන් ඉපදෙන්නේ මෝඩයන් හෝ අවස්ථාවාදීන් ය. මහින්ද සේරම හොරා කෑවත් බැලිගෙ පුතාට හිතෙන්න තිබ්බෙ ඒක ඇති කියල. එයාගේ අවජාතක පුත්තු මාධ්‍ය සාකච්ඡා දානකොට මට අසාත්මිකතා ඇති වෙනවා. ඔවුන් තම සුඛෝපභෝගී ජීවන රටාව සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ නමුත් මේ රටේ දුප්පත් දුප්පත් ජනතාව අපායට යවති. මේ මිනිස්සු කොහොමද මිනිස්සු වෙන්නේ? ඔවුන්ට හදවත් නැද්ද? ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති නැරඹීමට සහ සමහර පවුල් කුසගින්නෙන් මිය යන ආකාරය නැරඹීමට මට බල කෙරෙන සෑම අවස්ථාවකම මගේ හදවත උණු වී යයි.. නමුත් මට කළ හැකි සීමාවන් තිබේ… මම කරමින් සිටිමි.
    .
    මිනිස්සු ඒ තරම් දුක් විඳිනවා. කෙසේ වෙතත්, ඔවුන් එසේ දුක් විඳිය යුතුද, මේ අසත්පුරුෂයන් මහජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටු කළා නම්.
    :
    2015 සිවිල් සහ දේශපාලන පක්‍ෂ විසින් සිරිසේන පත් කරනු ලැබුවේ බොහෝ බලාපොරොත්තු ඇතිවය. අපට බොහෝ බලාපොරොත්තු තිබුණි. අපේ ගුරු පියාණන් වූ අපවත් වී වදාළ සෝභිත හාමුදුරුවෝ සොරිසේන ඒ කොටස ඉටුකරයි කියලා හදවතින්ම හිතුවත් එතුමාගේ මෙගාලෝ උන්මත්තක පක්‍ෂ දේශපාලනය වීදුරු බැම්මක් කඩා වැටෙනවා වගේ සියල්ල විනාශ කළා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.