20 June, 2026

Blog

සාමයද? බලයද? සටන් විරාමය පිටුපස ඇති සත්‍ය

මොහොමඩ් ෆාවාස් හසේන් –

මොහොමඩ් ෆවාස් හසන්

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව නිතී විරෝධී ලෙස ආරම්භ කළ යුද්ධයට 08/04/2026  දින සිට සති දෙකක සටන් විරාමයක් ඇති කර ගෙන ඇත යන්න මද්‍ය හරහා ප්‍රචාරය වූවත් එය සබෑ සටන් විරාමයක් ? යන්න ප්‍රශ්ණ සහගතය. එයට හේතුව ඉරානය ඉදිරිපත් කළ දසවැදෑරුම් කොන්දේසී හා ඇමෙරිකාවේ හැසිරීම සමපාත වෙනවාද යන සැකය නිසාය. වගේම මෙම සටන් විරාමය ආරම්භ වුවත් ඊශ්‍රායලය විසින් ලෙබනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තවත් සියගණක ගේ ජීවිත  අහිමි කර කලාපය තුළ නොසන්සුන් වාතාවරනයක් ඇති කර තිබීමයි. පාකිස්තානය මැදිහත්කරුවා ලෙස පෙනී සිට මෙම සටන් විරාමය ඇති කළත්, පාකිස්තානය මෙවැනි මැදිහත්කරුවකු වීමට සුදුසු පරිසරයක් තුල සිටින රටක් යන්න ප්‍රශ්ණාර්ථයකි. ඇමෙරිකාව සහ පාකිස්තාන හමුදාවේ ඇති ලෙන්ගතු බව ගැන සිත යොමු කිරීමේදී එය පුදුමයක් නොවේ. එම ලෙන්ගතුකම මුළු පාකිස්ථානයේම දේශපාලනය තීරණය වන්නක් බවට පත්වී ඇත. පාකිස්ථාන මැතිවරණ ජනතා පරමාදිපත්‍ය ඉටු නොවන මැතිවරණ බවට පත් වී ඇත.

පලස්තීන ප්‍රශ්ණයේදී කටාර් රාජ්‍යයේ මැදිහත් වීම දක්නට ලැබුණි. ඇමෙරිකාව ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට කටාර් රාජ්‍යයේ තිබෙන යුද කදවුරු යොදා ගැනීම නිසා ඉරානය විසින් කටාර් වල පිහිටි ඇමෙරිකානු කදවුරු වලට ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත් අතර එම ප්‍රහාර හමුවේ කටාර් පාලකයින්ට තම සිවිල් ජනතාවට සහ පොදු දේපළ වල ආරක්ෂාව පිළිබදව ප්‍රශ්ණ මතු විය. එහිදී ඇමෙරිකාව සිදු කළ කාර්‍යය නම් තම යුද උපකරණ ආරක්‍ෂිත ස්ථාන කරා විතැන් කිරීම හැර තම යුද මානසිකත්ය නිසා කටාර් රට අත්කර ගත් අවදානම සුළු වශයෙන් හෝ මායිම්  නොකළේය. මෙහි ප්‍රථිපලය කටාරය දැන් ඇමෙරිකාවේ මෙවැනි අවදානම් සහගත වැඩවලට තම දායකත්වය දීමට මැලිකමක් දැක්වීම සිතීය හැකි වුවත් අතීතයේ කටාරය විසින්ම ඇමෙරිකාව කැදවා ගත් ඉතිහාසයක් ඇත. ඇමෙරිකාවේ රුචිකත්වය මත ඇති කල මෙම සටන් විරාමය ඔවුන් ගේ යුද උපක්‍රමයක් යන්නත් ඔවුන්ගේ අතීත හැසිරීම් අනුව පැහැදිලි කරුණකි. මෙය ඉරානයද තේරුම් ගෙන සිටිනවාට සැකයක් නැත. සත්‍ය වශයෙන්ම ට්‍රරම් පාලනය යටතේ ඇමෙරිකව ආරම්භ කල ඉරානයට එරෙහි යුද්ධය ඔවුන්ට දරාගත නොහැක. එයට හේතු ගණනාවක් තිබුණත් ට්‍රරම් ගේ නූගත් සහ ප්‍රාථමික මනසකින් කල යුද මෙහෙයුම් සහ ඔහුගේ වාචාල කට කැපී පෙනෙන කරුණුය. මෙයට පෙර සිටී ඇමෙරිකානු ජනාධිපතිවරුන් මෙවැනි යුද අපරාධ කලේ ඉතා සූක්‍ෂම ලෙස සහ රාජ්‍යතාන්ත්‍රික ලෙසය. නමුත් ට්‍රරම් ඇමෙරිකාව පාලනය කරන්නට ගියේ සහ අනෙක් රටවල් දිහා බැලුවේ, අනෙකා තම සේවකයා හෝ වහල්ලු යන මානසිකත්වයෙන් කියන එක පෙනෙන්නට තිබෙන දෙයකි. ඉරානයේ ශිෂ්ඨාචාරය එක රැයකින් ඉවරකරනවා යයි කීම එය ඇමෙරිකානු සුදු අධිරාජ්‍යවාදයේ යටි සිතුවිල්ල වුණත් එය ට්‍රරම් ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් වීම ඇමෙරිකානු යටි අරමුණු වලට වැදුනු ඉතා තද බල පහරකි. ට්‍රරම්ට එහි බරපතලකම නොතේරුනත් ඔවුන් ගේ අපරාධ රාජ්‍ය තුල සලකන්නේ සෘණාත්මක ප්‍රකාශයක් ලෙසයි.

ට්‍රරම් ගේ ක්‍රියාවේ ධනාත්මක පැත්තක් ඇත. එය ඇමෙරිකානු මිලේච්ඡ ක්‍රියාව ලෝකයේ සාමාන්‍ය ජනතාවට පවා ප්‍රායෝගිකව දැක ගැනීමට හැකි වීමයි. මෙය ඇමෙරිකානු කූට අපරාධමය සැලසුම් වලට ලද එක්තරා අතුල් පහරක් යන්නත් සිතා ගත හැකිය. ට්‍රරම් බලයට පත් නොවුනා නම් අද ලෝකයේ බොහෝ සාමාන්‍ය වැසියන් සිතා සිටිනුයේ ඇමෙරිකාව යනු ලෝකයේ අහිංසාවාදී, අනෙක් රටවල් කෙරෙහි මානුෂීය පැත්තෙන් සිතන රටක් යන්නයි. ට්‍රරම් නිසා යුරෝපා බොහෝ රටවල් ඇමෙරිකාවේ වර්ථමාන පාලන තන්ත්‍රය ගෙන යන වැඩ පිලිවෙලට සහය නොදක්වන ස්ථානයක සිටීමද දැකිය හැක. මෙම යුරෝපා රටවල් අතීතයේ සෑම ක්‍රියාවලියකදීම ඇමෙරිකාව සමග එකට සිටී රටවල්ය. උදාහරණයකට ඉරාක ආක්‍රමණයේදී බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයා ජෝර්ජ් බුෂ් කනිෂ්ඨට කල ප්‍රකාශයක් චිල් කොට් වාර්ථාවේ සදහන් වී ඇත. එනම් මොනව උනත් මම ඔබ සමගයි. ( “I will be with you, whatever,”) යන්නය.

ඉරාක මෙහෙයුමේදී ජෝර්ජ් බුෂ් කනිෂ්ඨ තමන්ට ඉවත් කල යුතු සදාම් හුසෙයින්ට දඩුවම් කලේ ඉරාක භූමිය තුලයි. එය අදාල රටේම රජයක් ස්ථාපිත කර, එම භූමිය තුලම ස්ථාපිත කල නීතියක් මගිනි. එමෙන්ම සදාම් හුසෙයින්ට දඩුවම නියම කල විනිසුරු කුර්දි ජාතිකයකු වන රවුෆ් රාශිද් අබිදුල් රහ්මාන් වේ. ඔහු ගේ උපන් බිම සදාම් හුසෙයින් රසායනික අවිවලින් ඝාතනයන් සිදු කල හලාබ්ජා ප්‍රදේශය වීමත් විශේෂයි. එමෙන්ම වසර 8 ඉරාන/ඉරාක යුද්ධයේදී ඉරානයට එරෙහිව ඇමෙරිකාව යුදමය ආධාර සැපයුවේ ඉරාකයට වීමත් සදහන් කල යුතු කරුණකි. එදා පාලනය යටතේ ඇමෙරිකාව සදාම් හුසෙයින් ජනාධිපතිවරයා පැහැර ගෙන විත් ඇමෙරිකානු නීතිය අනුව දඩුවම් කලේ නැත. තවත් රටක වැරදිකරුවකු ඇමෙරිකානු නිතීය අනුව දඩුවම් කිරීමට නිතීමය ප්‍රතිපාදන තිබේද ? ඇමෙරිකානු භූමියට අදාල නිතීය ලෝකය ඕනෑම රටක පුද්ගලයකුට දඩුවම් කිරීමට තිබෙන නිතීමය ප්‍රතිපාදන කුමක්ද? පුද්ගලයකු එසේත් නැතිනම් රටක ප්‍රධාන පුරවැසියකු ඇමෙරිකාවට එසේ පැහැර ගෙන යා හැකිද? පැහැර ගැනීමට අදාල නිතීමය ප්‍රතිපාදන කුමක්ද? ට්‍රරම් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධූරෝ (Nicolás Maduro) පැහැර ගැනීමෙන්, තම රට තුල  සහ ලෝකයේ මෙම සියලුම නීතිමය ප්‍රතිපාදන අවුල් කර ඇත. මෙම සියලුම ප්‍රශ්න සදහා අනාගතයේ දී ට්‍රරම් ජීවතුන් අතර සිටියා නම් තම මුක්තිය අවසන් වු පසුව උත්තර බැදීමට සිදුවීමේ සම්භාවිතාවක් ඇත.

දැන් ට්‍රරම්ට විරුද්ධව ඇමෙරිකානු ව්‍යවස්ථාව අනුව 25වැනි සංශෝධනය ක්‍රියාත්මක කල යුතු බව සෙනට් මණ්ඩලය විශේෂයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ගෙන් යෝජනා ඉදිරිපත් වී ඇත. අදාල සංශෝධනය යනු ඇමෙරිකානු ජනාධිපතිවරයකු මිය ගිය විට හෝ බලයේ සිටීමට නුසුදුසු අවස්ථාවේ දී බලාත්මක කරන පනතකි. මෙහිදී ට්‍රරම් ගේ පක්‍ෂය වන රිපබ්ලිකන් සහ විරුද්ධ පක්‍ෂය වන ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකෙන්ම ට්‍රම්ප් ඉවත් කිරීමට සහය හිමිවීම විශේෂයි. ට්‍රරම් ඉවත් කල විට බලයට පත් වන්නේ උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස්ය (J D Vance). මෙහි දී වෑන්ස් තම අවස්ථාව එන තුරු බලාගෙන සිටිනවා යන්න බැහැර කල නොහැක. ඔහු අතීතයේ ට්‍රරම්ට එරෙහිව කල බෝහෝ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය තුල දකින්ට ලැබේ

මෙම ඇමෙරිකාවේ ව්‍යවස්ථාවමය කරුණ සැලකීමේදී අනෙක් රටවලට වැදගත් කරුණක් නොවෙයි. ඩිමොක්‍රටික් පක්ෂය අහිංසාවාදී පක්ෂයකුත් නොවෙයි. ඇමෙරිකාවේ මොන පක්ෂයක් බලයට පත් වුණත්, කුමන ජනාධිපතිවරයකු පත් වූවත් ඔවුන්ට ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු සුදු අධිරාජ්‍යවාදී සැලසුමක් ඇත. එය ඇමෙරිකාව පමණක් ලෝකයේ ඉහලින් බැබලිය යුතුයි යන මානසිකත්වයයි. ඔවුන්ට ඇතිවන සියලුම ප්‍රශ්න ඔවුන්ට පමණක් ආවේනික නොවුනු ලෝකයේම ප්‍රශ්න විය යුතුයි යන සිද්ධාන්තයයි. අනෙක් දරුවාට වඩා ඔවුන් ගේ දරුවන් ගේ වටිනාකම වැඩිය, අනෙක් ජාතිකයෙක් ගේ ජීවිතයට වඩා ඇමෙරිකානු ජාතිකයකු ගේ ජීවිතයේ වටිනාකම වැඩිය, ඔවුන් ගේ ශිෂ්ඨාචාරය රුධිරය මත නෙළාගත් ශිෂ්ඨාචාරයක් වූවත් එය ලෝකයේ වටිනාම ශිෂ්ඨාචාරය විය යුතුය, අනෙකා ගේ සංස්කෘතියට වඩා ඔවුන්ගේ සංස්කෘතියට වටිනාකමක් ඇත, අනෙක් රටවල ආර්ථිකයට වඩා ඇමෙරිකානු ආර්ථිකය රැක ගැනීමේ වටිනාකමක් ඇත. අනෙක් මුදල් ඒකකයට වඩා ඇමෙරිකානු ඩොලරයට වටිනාකමක් ලබා දී ඇත.

ට්‍රරම් ඉවත් කිරීමට වෙර දරන ඩිමොක්‍රටික් දේශපාලන පක්‍ෂයේ මිලේච්ඡත්වය අමතක කල යුතු නැත. වසර 2023 ඔක්තෝබර් 7 දින ආරම්භ වුණු පලස්තීන සමූල ඝාතනය තුල ඩිමොක්‍රටික් පක්‍ෂ ජනාධිපති ජෝ බයිඩන් ගේ ප්‍රකාශ සහ ක්‍රියා අමතක කල යුතු නැත. ඔහු ගේ මුසාවාද වුණේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ළදරුවන් පොරුනු තුල දමා පුච්චා ඇති බව සහ ළදරුවන් 40 ගේ ගෙල සිඳ මරා දමා ඇති බවයි. එමෙන්ම ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය නම් සියෝන්වාදියකු වීමට යුදේව්වකුම වීමට අවශ්‍ය නොවන බවයි. ඇමෙරිකානු පාලන තන්ත්‍රය තුල තවත් එක් අතීත සිද්ධියක් මතක් කිරීමේදී, ඩිමොක්‍රටික් පාක්ෂික බිල් ක්ලින්ටන් පාලන සමයේ හිටපු රාජ්‍ය ලේකම්වරිය වන මැඩිලින් ඇල්බ්‍රයිට් ගෙන් 1996 දී CBS  හී ප්‍රවීන මාධ්‍යවේදිනියක් වන ලෙස්ලි ස්ටාල් (Lesley Stahl) ඇසු ප්‍රශ්ණය සහ එයට ඕල්බ්රයිට් දුන් පිළිතුර ඇග කිළිපොලා යන සහ ඇමෙරිකානු පාලන තන්ත්‍රයන් හි මිලේච්ඡත්වය නිරූපණය වන්නකි.

ඉරාකය කුවේට් ආක්‍රමණය කිරීමෙන් පසු පනවන ලද දැඩි එක්සත් ජනපද සම්බාධක ඉරාක ජනගහනයට ඇති කළ විනාශකාරී බලපෑම පිළිබඳව එම මද්‍යවෙදිනිය ඇසු ප්‍රශ්ණයක් වන්නේ;

මාධ්‍යවේදිනිය – (ස්ටාල්): “ඉරාක දරුවන් මිලියන භාගයක් මිය ගොස් ඇති බව අපි අසා ඇත්තෙමු. මම අදහස් කළේ, එය හිරෝෂිමාවේ මියගිය සංඛ්‍යාවට වඩා වැඩි දරුවන්යැයි ස්ටාල් ඇසුවේය, “ඔබ දන්නවාද, එහි මිල වටිනවාද?”

මැඩිලින් ඇල්බ්‍රයිට් – “මම හිතන්නේ ඒක හරිම අමාරු තේරීමක්, “නමුත් මිල, අපි හිතන්නේ මිල වටිනවා.”

මේ වන විට සටන් විරාමය ප්‍රකාශ කර තිබිය දී ලෙබනනයේ ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ජීවිත 250කට වඩා සමූලඝාතනය කර ඇත. එයට ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ පිලිතුර මෙම සටන් විරාමයට ලෙබනනය ඇතුලත් නොවන බවයි. අවසන් වරට නැවත සදහන් කල යුත්තේ සටන් විරාමයක් ප්‍රකාශ කර ඇත්නම් මෙම සටන් විරාමය ඇමෙරිකානු යුධ උපක්‍රමයක් පමණි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.