19 March, 2024

Blog

අපේ අනන්‍යතාවය අපි පටලවාගෙන ඇත

නවීන්ද්‍ර ද සොයිසා

ආචාර්ය නවීන්ද්‍ර ද සොයිසා

ජනවර්ගය, භාෂාව, ආගම සහ කුලය වැනි සාධක පදනම් කරගෙන ගොඩ නැගී ඇති සංස්කෘතීන් ආරක්ෂා කිරීමට මිනිසා වෙර දරන්නේ තමාට ආරක්‍ෂාවක් ඇති ලඟම සහ හුරු පුරුදු ස්ථානය මේ රාමුව තුල තිබෙන නිසාය. මෙවන් ආරක්‍ෂිත රාමුවක් තුල සිටින මිනිසා මෙම රාමුව තුලින් තමාට ලැබුන දේ මත පිහිටා අනන්‍යතාවයක් ගොඩ නගා ගනී. බොහෝ විට සමේ පැහැය, හිස කෙස් වල වර්ණය, ඇස් වල වර්ණය සහ භාෂාව යන උපතේදී උරුම වන ලක්‍ෂණයන්ට අමතරව ඇඳුම් පැළදුම්, කෑම බීම, කථා විලාශය සහ ගති පැවතුම් වැනි පසුව ලැබුන දේ හෝ ලබා ගත් දේ තුළින්ද මෙම අනන්‍යතාවය පෙන්නුම් කල හැක. මෙවන් අනන්‍යතාවයක් සහිත රාමුවක් තුල ආරක්‍ෂාව ලබන මිනිසා තමාගේ දේ උසස්, අනෙකුත් සියළුම සංස්කෘතීන් පහත්ය යන ස්ථාවරයේ එල්බ ගැනීමටද පෙළබෙති. තමා හා සමාන ලක්ෂණ ඇති අයගෙන් සමන්විත  කණ්ඩායමේ බලය අනෙකුත් බාහිර කණ්ඩායම් වලට වඩා නගා ඉහළින් තබා ගැනීමට වෙර දරයි. මානව ශිෂ්ඨාචාරය බිහි වූ මුල් වකවානුවේදී ආහාර සඳහා හෝ නවාතැන් සඳහා තම කණ්ඩායමේ බලය තීව්‍ර කර ගත් මිනිසා අද වන විට ආර්ථික සහ අනෙකුත් දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා තම ආරක්‍ෂිත රාමුවේ බලය තීව්‍ර කිරීමට වෙර දරති. මෙම කණ්ඩායම් හෝ සමාජ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට යාම ජාතිවාදය, ආගම්වාදය හෝ කුලවාදය ලෙස නිර්වචනය කිරීම කාටත් හඳුනා ගැනීමට පහසු වන ආකාරයේ අරුත් ගැන්වීමකි.

වර්ථමානයේ දියුණු යයි සම්මත රටවල් දෙස බැලීමේදී පෙනී යන්නේ මෙම අනන්‍යතාවය ලබා දෙන ආරක්‍ෂිත රාමුව ඉතාමත් පුළුල් වපසරියකට විහිදී තිබීමයි. නොදියුණු යයි සම්මත රටවල කෙමෙන් මෙම ආරක්‍ෂිත රාමුවේ වපසරිය සංකෝචනය වීමයි. එසේ නැතහොත් කුඩා කුඩා කණ්ඩායම් කිහිපයකට මෙම ආරක්‍ෂිත රාමුව බෙදා ගැනීමයි. රට යන භූගෝලීය දේශ සීමා සහිත සංකල්පයෙන් ඔබ්බට පවා යාම තුලින් යුරෝපා හවුල බිහි වීම සංවර්ධිත රටවල ආරක්‍ෂිත රාමුවේ වපසරිය පුළුල් කිරීමට උදාහරණයකි. අප්‍රිකානු හෝ ආසියානු රටවල සහයෝගිතා සංගම් වල දක්නට නොලැබෙන ලක්ෂණ යුරෝපා හවුලේ දක්නට ලැබෙන්නේ මේ නිසාය. 

ඉතා සීග්‍රයෙන් ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කරන ඉන්දියාව සහ චීනය සංසන්දනය කර බැලුවහොත් ඉන්දියාවට වඩා චීනයට සංවර්ධිත ඉලක්කයන් සපුරාලීම පහසුය. එයට හේතුව ඔවුන්ගේ ආර්ථික උපාය මාර්ග පමණක් නොව චීන ජාතික අනන්‍යතාවය ඉතාමත් පුළුල්ව තිබීමයි. එනම් චීන ජාතිකයින් අතර තවත් කුඩා කණ්ඩායම් තම තමන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරගැනීම සඳහා අනෙකුත් සියලුම දේ කැප නොකරන නිසාය. (ටිබෙටය පිලිබඳ සාධකය ව්‍යුක්ත කර කතා කරන්නේ ටිබෙටය වෙනම රටක් ලෙස ශතවර්ෂ ගණනාවක් පැවති නිසාත් චීනය බලෙන් ටිබෙටය අත්පත් කරගෙන තිබෙන නිසාත්ය). එහෙත් ඉන්දියාවේ තත්වය දෙස බලන විට පවතින්නේ සම්පුර්ණයෙන්ම වෙනස් වට පිටාවකි. ඉන්දියානු ජාතික අනන්‍යතාවය පරයා කුඩා කණ්ඩායම් බොහොමයක් තම අනන්‍යතාවයන් ඉස්මතු කරගැනීමට වෙර දැරීමකි. එසේ නොවුනහොත් එම කුඩා කණ්ඩායම් වල අරක්ෂාව පිළිබඳ බියක් ඔවුන් තුල පවතී. ප්‍රතිවිපාකය නම් සංවර්ධන ඉලක්කයන් කෙමෙන් ඉන්දියානුවන්ගෙන් දුරස් වීමයි.

ජපානය තුල ජපන් ජාතිකයෙකු ලෙස තිබෙන අනන්‍යතාවයට එපිටින් තවත් ආරක්ෂා කරගත යුතු අනන්‍යතාවයන් ඔවුනට නැත. ජපානය තුල සිටින්නේ එක ජනවර්ගයක් සහ තිබෙන්නේ එක භාෂාවක්ය යන තර්කය ප්‍රතිපක්ෂ ලෙස ගෙන ආවද 1860 මෙයිජි ප්‍රතිසංස්කරණ වලට පෙර ජපානය සමුරායි වරු යටතේ පාලනය වූ කුඩා රටවල් සමුහයක් ලෙස සැලකිය හැකිය. කුඩා කණ්ඩායම් තුල තිබෙන ආරක්‍ෂාවට වඩා දැඩි සහ ප්‍රබල ආරක්‍ෂාවක් ජපන් ජාතික අනන්‍යතාවය තුල ඔවුනට හිමි වනු ඇතැයි තහවුරු වීමත් සමග ජපානයේ දියුණුව ආරම්භ විය.

ශ්‍රී ලාංකික අනන්‍යතාවය 

ලංකාවේ තත්වය කුමක්ද? පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පරයා ඒ තුල ඇති කණ්ඩායම් වල අනන්‍යතාවයන් වෙනුවෙන් බහුතරයක් පෙනී සිටීමට වෙර දැරීමකි. ලංකාවේ දියුණුවට පවතින ප්‍රධානම බාධකයද මෙයයි. අප බහුතරය ඇළුම් කරන්නේද ශ්‍රී ලාංකික අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමට වඩා තම තමන් අයත් වන උප කුලකයන්ගේ අනන්‍යතාවය ලබා ගැනීමටය. මෙය අනන්‍යතාවය පටලවාගැනීමකි. විශේෂයෙන්ම වර්ථමානය සහ අනාගතය වෙනුවෙන් කල්පනා කිරීමට මැලි වීමකි. සිංහල බෞද්ධ බහුතරය පමණක් නොව අනෙකුත් සියළු ජනවර්ගයන් සහ ආගම් ද මේ නිසා සිදු කරන්නේ රට තුල තිබෙන තමාගේ කොටස ආරක්ෂා කර ගැනීමට යාමෙන් ලෝකය තුල මුළු රටටම තිබෙන තැන නැති කර ගැනීමකි.

බොහෝ අවස්ථාවන් වලදී සිංහල බෞද්ධ යයි සම්මත අනන්‍යතාවය නොහඳුනන පිටස්තරයින් සිංහල බෞද්ධයෙකු මුලින්ම හඳුනා ගනු ලබන්නේ ශ්‍රී ලාංකිකයකු ලෙසය. රට රටවල භූගෝලීය පිහිටීම, මානව වර්ගයා සහ සමාජය පිලිබඳ කිසිදු දැනීමක් නැත්තකු දකුණු ඉන්දියානුවෙකු හෝ බංග්ලාදේශ ජාතිකයකු ලෙස හඳුනා ගන්නා අවස්ථාද තිබේ. පිටස්තරයන් අපව හඳුනා ගැනීමේ ක්‍රමවේදයෙහි කිසිදු වැදගත් කමක් නැති විය හැක. එහෙත් සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමේ අපේක්‍ෂාවෙන් වෙනත් ජන වර්ගයක් හෝ ආගමක් පීඩාවට පත් කිරීමෙන්ද කිසිදු ප්‍රතිපලයක් නොමැති වන අතර ඒ තුලින් සිදු වන්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවය පිටස්තරයින්ගෙන් ආරක්ෂා කරගන්නවාට වඩා තම අසල්වැසියා හෝ ලඟින්ම සිටින හිත මිතුරාගේ අනන්‍යතාවයට හානි කිරීම පමණකි. 

ලංකාව තුල දෙමළඊළාම් දේශයක් ගොඩ නැගීමට සහයෝගය දෙන තමිල්නාඩුවේ දෙමළ ජනයා පෝක් සමුද්‍ර සන්දියේදී ටුනා මාළුන් සහ ඉස්සන් වෙනුවෙන් ලංකාවේ දෙමළ ධීවරයින්ට එරෙහි වන්නේ ඔවුන්ව ශ්‍රී ලාංකිකයින් යන රාමුවට ගොනු කිරීමෙනි. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාට ලංකාවේදී හැරෙන්නට අඩුම තරමේ පකිස්ථානයේදීවත් නිසි තැනක් හිමි වේ යයි විශ්වාස කල නොහැක. සෞදි අරාබියේදී මෙන්ම මැද පෙරදිග බොහෝ රටවල ඉස්ලාම් ආගම අදහන හාම්පුතුන්ගේ නිවෙස් වලදී අතවරයට, පීඩනයට සහ හිරිහැර වලට ලක්වන්නන් අතර ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවෝද අනන්තවත් සිටිති. එහෙත් එකම ආගම අදහන සහෝදරියක යයි සමතැන් දී සැලකූ අවස්ථාවන් එසේ සුලබ නැත. අප කැමති හෝ අකමැති වුවත් අපට රිසි තැන පමණක් නොව ආරක්‍ෂාවද ලැබෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුල පමණකි යන්න අප අවබෝධ කර ගත යුතුය.

වගකීම කාගේද?

ජාතික අනන්‍යතාවක් මේ වන තෙක් බිහි කිරීමට අසමත්වීම පමණක් නොව කලින් කලට මතුවන පටු දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා ජනවර්ගය ආගම හෝ වෙනත් මතයක් පදනම් කරගෙන ව්‍යාජ ලෙස ගැටුම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය වගකීම භාර ගත යුතුය. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට, තනතුරු බෙදා ගැනීමේ ගැටළු විසඳා ගැනීමට සහ ඊ ලඟට එන මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා සැලසුම් සකස් කිරීම හැරෙන්නට අපේ නායකත්වයට කෙදිනකවත් ජාතික සංවර්ධන උපාය මාර්ග කල්පනා කිරීමට වෙලාවක් තිබුනේ නැත. පසුගිය කාල සීමාවේදී සිදු වූ කලබලකාරී සිදු වීම් බෞද්ධ අන්තවාදී ප්‍රහාරයන් ලෙස සමහරුන් අරුත් ගැන්වීමට වෙර දැරුවද ඒවා හුදෙක් දේශපාලන උප්පරවැට්ටි මත අස්වාභාවිකව ජනනය කල සිදුවීම් යන්න ඉතාමත් පැහැදිලි දෙයකි. 

සුළු ජාතීන් තුළ ආරක්ෂාව පිලිබඳ අනිසි බියක් ඇති නොවන ආකාරයෙන් පවත්වාගන යාමට මහා ජාතියටද  වගකීමක් ඇත. මහජාතිය සමග සුහදව සිටීමට සුළු ජාතීන්ටද වගකීමක් ඇත. මේ සඳහා ආගමික නායකයින්ගේ සිට පාසල් ගුරුවරයා දක්වා සමාජයේ පිළිගැනීමක් තිබෙන තනතුරු දරන සෑම පුරවැසියෙකුටම පැවරී ඇති වගකීම අති මහත්ය. ජාතික කොඩිය, ජාතික ගීය, සම්ප්‍රදායික ඇඳුම්, සහ අනෙකුත් සමාජ චාරිත්‍ර බොහෝ දුරට පවත්වාගත යුත්තේ ජාතික අනන්‍යතාවය ඉස්මතු වන ආකාරයෙන් මිස උප කුලකයන්ගේ අනන්‍යතාවයන් පමණක් හුවා දක්වන ආකාරයෙන් නොවිය යුතුය. සිංහල බෞද්ධ බහුතරයේ සිට, කතෝලික, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියළු සුළුතර කණ්ඩායම් වලට ලාංකිකයින් වශයෙන් පොදුවේ අගය කල හැකි අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කල යුත්තේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට ආරක්ෂාව තිබෙන්නේ මෙම රාමුව තුල පමණක් නිසාවෙන්ය.  

කෙසේ වෙතත් මෙම පුළුල් රාමුවෙන් ඉවත්ව තම සීමාවන් සංකෝචනය කර ගැනීමට දරන උත්සාහයන්ද දියුණු යයි සම්මත සමාජයේද දැක ගත හැකිය. දේශපාලන හෝ ආර්ථික කරුණු පදනම් කරගෙන කැටලෝනියාව ස්පාඥයෙන් වෙන් වීමට සහ ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමට වෙර දරන්නේ මෙලෙස පුළුල් රාමුවෙන් සංකෝචනය වූ රාමුවකට මාරුවීමකට උදාහරණ සපයමිනි.  එහෙත් දකුණු කොරියාව සහ උතුරු කොරියාව නැවත එක රටක් බවට පත්වුවහොත් එය මෙම ශතවර්ෂයේ ඇති වූ උසස්ම ජාතික අනන්‍යතාවය පුළුල් කර ගැනීමක් ලෙස දැකිය හැකිය. 

අප භාවිතා කල යුතු වන්නේ අපට ගැලපෙනම සහ කාර්යක්‍ෂමව විසඳුම් ලැබෙන උපාය මාර්ගයන්ය. ඒ අනුව අපගේ අධ්‍යාපන, ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ ලක්ෂණ හඳුනගන එම ලක්ෂණ පුරවැසියන් අතර පෝෂණය වන ආකාරයටය. බහුතරයේ සහ සුළුතරයේ අනන්‍යතාවයන් හුදෙක් ආරක්ෂාව පතා නොව චිත්ත ප්‍රීතිය උදෙසා පවත්වාගන යාමට හැකිවන ආකාරයෙන් අපේ ජනතාව දැනුවත් කල යුතුය. අනාගතයේදී දියුණු ජාතියක් ලෙස සැලකුම් ලැබීමට නම් අද කල යුතුවන්නේ ශ්‍රී ලාංකිකයින් ලෙස සිතන්නට පුරුදු වීමයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    many points are acceptable but the writer”s personal ideas cannot be accepted. I agree to disagree. thanks

  • 0
    0

    වර්තමාන ලාංකීය සමාජය තුළ ඇති වී තිබෙන ඛේදනීය යථාර්ථය ‍ගෝලීය සමාජ සංස්කෘතික උදාහරණ සමඟ ගලපමින් ඉදිරිපත් කළ කාලීන මෙන්ම කාලෝචිත ලිපියකි. එකම ගැටලුවක් දෙස ‍කෝණ කීපයකින් විමසමින් කර ඇති විශ්ලේෂණය තුළ ගැඹුරු පණිවුඩයක් ලබා දෙයි. ලාංකීය සමාජ දේහය වෙලා ගත් ජාතිවාදී මතවාදයන්හි බොල් බව ප්‍රකට කරවන අතරම දියුණු ජාතියක් ලෙස ඉස්මතු වීමට ලාංකිකයාට නොහැකි වී ඇත්ත‍ේ කුමක් නිසාද යන්න පිළිබඳ නැවත සිතා බැලීමට මෙම ලිපිය මඟපාදා තිබේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.