20 April, 2024

Blog

ලේ ලේ කොයිද ලේ! අපට දියව් හම්බ ලේ!!

නිලන්ත මානවසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු, දින, සති, මාස ගෙවමින් තිබේ. මෙය විවිධ ආකාරයෙන් භාවිතා කිරීමට උත්සහ කරන පිරිස් බොහෝ වෙති.  බොහෝමක් ජනමාධ්‍යය පවා ඉතාම වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරන ස්වභාවයක් දක්නට ලැබීම ඉතාම අවාසනාවන්තය. මොවුහු මේ ඇවිලෙන ගින්දරට පිදුරු දමා රටක් ගිනිගෙන, අනෙකා මියයන විට, හෙමින් නූලෙනේ ඇඟ බේරා ගැනීමට දඟලන පිරිසකි. තමන් විසින් සිදුකළ දෙයක වගකීම ගැනීම වෙනුවට, අනෙකාට චෝදනා කිරීමට මාන බලමින් සිටින කල්ලියකි.

සිංහල ජාතික කාන්තාවන් 4000ක් වඳ කොට ඇත, පුවතක් එසේ පළවන්නේය. මුස්ලිම් අන්තවාදයේ ඉදිරි ගමන වෙනුවෙන් ඒ උදාර සේවාව කළ දොස්තර මිනිසා, සිංහල දේශප්‍රේමීන් විසින් හඳුනාගෙන ඇත. එපමණක් නොව ඔහුගේ දේපල සහ දේශපාලන පසුබිම ගැනද සවිස්තරාත්මක තොරතුරු පලවෙමින් තිබේ. මෙම කාන්තාවන් හාරදහස සහ ඔවුන්ගේ ස්වාමීපුරුෂයන් හාරදහසක් දෙනා, සහරාන් බෝම්බ පුපුරුවා ලෝකයම භීතියට පත්කොට රටම වෙනස් සමාජ තත්වයකට තල්ලු කරන තෙක් තද-නින්දේ පසු වී ඇත.

මුළු ගණන අටදහසක් වන මොවුන්ගෙන් එක් අයෙකුටවත්, තමන්ගේ බිරිඳ හෝ තමන් වඳබවට ලක්කළ බවට චෝදනා කරමින්, පොලිසියේ පැමිණිල්ලක් කිරීමට තරම් මොළයක් තිබී නැත. එසේම අදාළ පුවත මාධ්‍යයට දුන්නේ යැයි කියන, දේශප්‍රේමී සිංහල දොස්තරද, මෙම ළඳුන් බලෙන් වඳබවට පත් කළ තමන් යටතේ සිටින දොස්තර ගැන, සහරාන් සහ ඔහුගේ කල්ලිය බෝම්බ පුපුරණ තෙක් පෙර-මුඛය මෙන්ම අදෝ-මුඛය වසාගෙන කටයුතු කොට ඇත. මෙම 4000ක් (සිංහල ළඳුන්ට පමණක් කළේ යැයි කියන) වන සැත්කම් වසරක් තුළ සිදු කෙළේනම්, එක් දිනකට සැත්කම් දහයක්වත් කළ යුතුය. එසේම, මෙවැනි සැත්කමක්, තනි වෛද්‍යවරයෙකුට කළ නොහැකිය. ඔහුගේ සහයට පිරිසක් අවශ්‍යය වේ. මෙම පුවත ලියනු ලැබූ ඒ දේශප්‍රේමී මාධ්‍යවේදියාට මෙම මූලික ඥාණය හෝ පහළ වී නැත. ඔහු ඊට දිනකට පසු සිදුකරන්නේ ඔහුට පුවත ලබාදුන් මූලාශ්‍රය  ගෙඩිය පිටින්ම අරගෙන දඬුකඳේ ගසා තම ඇඟ බේරා ගැනීමය. රටේ මාධ්‍යය හසුරුවන මාධ්‍යයවේදීන්ගේ ඇත්ත තත්වය මෙයයි.   

මීට මාස කිහිපයකට පෙර මෙම පුවත්පතම, අඟහරු ලොවේ ගඩොල් ඇති බව වාර්තා කළේය. ඉන්පසු, ඉතියෝපියානු යානයේ තිබු මෘදුකාංගයක කුරුල්ලෙකු ගැටීමෙන් එම යානය කඩා වැටුණු බව වාර්තා කළේය. එසේම අදාළ පුවත්පතේ සේවය කරන පුවත් කතෘවරයෙකු මීට වසර කිහිපයකට පෙර  කොටි සංවිධානය විසින් කොළඹ නගරයේදී එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරයක විස්තර දුරකතනයකින් ලබා ගනිමින් සිටි මාධ්‍යවේදියෙකු ගැන එක්තරා හමුවීමකදී මෙසේ කිව්වේය.

කීයක් මැරිලද? කතෘ විමසා ඇත. විස්සක් විතරලු සර්, හැබැයි තව 10කට බරපතලයිලු, මාධ්‍යවේදියා පිළිතුරු දී ඇත. එහෙනම් නිව්ස් එක ලියන්න. කතෘ ඔහුට නියෝග කළේය. ලියු පුවත දැක කතෘ මවිතයට පත්විය. පුවතට අනුව 30ක් මරණයට අත්වී ඇත. එය දුටු කතෘ එහෙනම් ඉස්සෙල්ලා කිව්වේ මැරුණේ 20යි කියලා, යැයි විමසීය. ඔව්.. ඔව්…20 තමයි දැනට, අනිත් දහය පත්තරේ ප්‍රින්ට් වෙලා එළියට යද්දී මැරිලා ඉඳියි එකයි මම එහෙම ලිව්වේ. මාධ්‍යවේදියා මහත් උජාරුවෙන් ප්‍රතිචාර දක්වා ඇත. අදාළ පුවත ලියු මාධ්‍යයවේදීයා තවමත් මාධ්‍යයකරණයේ නියැලෙන්නේය. ඔහු තවමත් තම අතේ රෝල් න්‍යාය මත සිටිමින් පුවත් ලියන්නේය. එම පුවත් ප්‍රසිද්ධ වන්නේය. ඔහු මාසය අවසානයේ වැටුපද ලබන්නේය.  මෙරට පුවත්පත් සහ මාධ්‍යය ආයතන මුහුණදී සිටින විපරීත ස්වභාවය මින් ඉතාම පැහැදිළි නොවන්නේද? මෙය මෙම පුවත්පතේ පමණක් ඇති ගැටලුවක් නොවේ. බොහෝ මාධ්‍යය ආයතන මුහුණ දී සිටින ගැටලුවකි. මේවායේ සිටින ඇතැම් මාධ්‍යයවේදීන් පුවත්පතේ කතෘවරුන්ට වඩා බලවත්ය. වඳකළ කතුන් 4000 ගැන ලියවෙන්නේ මෙම ක්‍රමවේදයට නතු වී ඇති මෙරට පුවත්පත් කලාව තුළය.  ඉතින් පුදුම විය යුතුද?

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු විශාල ප්‍රසිද්ධියක් ලැබුණු රිෂාඩ් බදුර්දීන් අද එනම් මැයි 25 වන දින පැය හයක පමණ කාලයක් ප්‍රශ්න කරනු ලැබීය. ඔහුට ලැබුණු ප්‍රසිද්ධියට ඔහු සිංහල මාධ්‍යය ආයතනවලට ස්තූති කළ යුත්තේය. එසේම හිස්බුල්ලා සහ අසාද් සාලිද එසේය. ඥානසාර හිමි නිදහස් කළයුතු යැයි හිස්බුල්ලා ප්‍රකාශ කොට දින කිහිපයක් ගත වීමෙන් පසු ජනාධිපති සිරිසේන උන්වහන්සේ නිදහස් කළේය. ප්‍රහාරයෙන් පසු මෙම දේශපාලඥයින් තිදෙනා මිළට ගැනීමට නොහැකි විශාල ප්‍රසිද්ධියක් නොමිලේම ලබා ගත්තෝය.   දේශපාලනඥයෙකුට, වැදගත් වන්නේ ප්‍රසිද්ධියය. එය හොඳද හෝ නරකද යන්න වැදගත් නැත.

රිෂාඩ්  පැය 6ක් තිස්සේ ප්‍රශ්න කිරීම වැදගත් පියවරකි. වරදක් කළ මිනිහෙකුට දඬුවම් දීම අධිකරණයට පැවරී ඇති කටයුත්තකි. එය, මාධ්‍ය ආයතන සහ ඒවායේ සේවය කරන අයවලුන්ට  කළ නොහැකිය.

ජේ.ආර් විසින් අධිකරණය තම සපත්තුවට යට කළේය. ප්‍රේමදාස දෙකොන පත්තු වී ඇති තුවක්කුවක් බඳු රටක පාලකයා වී ප්‍රධාන රාජ්‍යය ආයතන වල සිදුවිය යුතුව තිබු වෙනස්කම් කිරීම වෙනුවට තම චරිතය පුම්බා ගැනීමට උත්සහා කළේය. ඩී.බී. ජයතුංග අපේක්ෂා නොකළ දෙයක් ලැබීමෙන් මවිතයට පත්විය. චන්ද්‍රිකා, මාක් ප්‍රනාන්දු වෙනුවට ස්ත්‍රී ලෝලියෙකු  අගවිනිසුරු කොට අධිකරණය කෙළසනු ලැබීය, ඉන් පසු, රාජපක්ෂ විසින් කශේරුකාව ගළවා බෙල්ලෙන් එල්ලා දමනු ලැබූ අධිකරණ පද්ධතිය ගෙවුණු වසර කිහිපය තුළ ක්‍රමයෙන් වෙනස් වීමේ යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලැබීය.

නමුත් රාජපක්ෂ උත්සහ කරන්නේ ඔහු විසින් නඩත්තු කරනු ලැබූ එම කල්ලිවාදී දේශපාලනය යළිත් මෙරටට ගෙන ඒමටය. මීට දින කිහිපයකට පෙර ඉතාම පහත් ප්‍රසිද්ධියක් අපේක්‍ෂාවෙන් ඔහු පාසැල් වලට ගොස් සුපුරුදු අප්පච්චි රඟපෑමේ නිරත විය. ඔහු පිටුපසින්, අලුත්ගමගේ සිටියේය. ඔහුගේ පුත්‍රයා මීට මාස කිහිපයකට පෙර පොලිස් නිලධාරීයෙකු මරා දැමීය. ආණ්ඩුවේ ඉහළ ඇවරියේ ඇති කුලල් කා ගැනීමේ අනුහසින් ඔහුට ඇප ලැබුණි. මෙම කුළල් කා ගැනීම නොවන්නට ගෙවුණු වසර කිහිපය තුළ රට ඉතාම වැදගත් තැනක් බවට පත් කිරීමේ අවස්ථාව තිබුණි. නමුත් සිදුවූයේ වර්ගවාදීන්ගේ වර්ධනය පමණි.

මුස්ලිම් බෝම්බ කරුවන්ගේ ප්‍රහාරය සඳහා අනුබල දුන් පිරිස මෙන්ම, හොර ජාතික හැඳුනුම්පත් සහ ගුවන් බලපත්‍ර සකස් කොට රටේ නීතිය අල්ලේ නටවනු ලැබූ  සිංහල දේශප්‍රේමීන් සහ ඔවුහුගේ බිරින්දෑවරුන් එකම කාසියේ දෙපැත්ත මිස අනෙකාගෙන් මොවුහු වෙනස් වන්නේ සම්බවයෙන් පමණි. අපි මෙහිදී රට තුළ පෝෂණය වෙමින් ඇති වර්ගවාදය හඳුනාගත යුතුව ඇත. ඊට එරෙහිව සාමුහිකව කටයුතු කළ යුතුව ඇත.

වර්ගවාදීයා අමනය. දැක්ම කෙටිය. විනාශකාරීය. බියගුලුය. ගහ ගැනීමට නොහැකිනම් හූ කියමින් හෝ තම වීරත්වය පෙන්වීමට උත්සහ කරන පුද්ගලයෙකි. තනිව විසීමට වඩා කල්ලි ගැසීමට ප්‍රිය කරන්නෙකි.  බොහෝ රටක මහජාතිය මෙවැනි බියගුළු වර්ගවාදීන්ගෙන් බහුලය. ඕනෑම බහුජාතියක් දුර්වල වන්නේ මෙම වර්ගවාදීන්ගේ අමනකම් හේතුවෙනි. මොවුහුගේ අමනකම් වලට විශාල ප්‍රසිද්ධියක් ලැබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සිදු වූ විනාශයට ලැබුණු ප්‍රසිද්ධියට වඩා විශාල සහ උපායශීලි ප්‍රසිද්ධියක් සිංහල වර්ගවාදීන් මුස්ලිම් ජනතාවට කළ ප්‍රහාර වලට ලබා දීමට අල් ජසීරා ඇතුළු නාලිකාවන් කටයුතු කළ අතර ප්‍රහාරයේ ගොදුරු කතෝලික භක්තිකයන් වීම නිසාමදෝ බී.බී.සී. ඇතුළු මාධ්‍යය වලට යම්කිසි පිළිගත හැකි මට්ටමකට තල්ලුවීමට සිදුවිය. ප්‍රහාරය, බෞද්ධ පන්සල් සහ බෞද්ධ ජාතිකයින් ඉලක්ක කළේනම් එය වෙනස්විය හැකිව තිබුණු බව බොහෝ දෙනෙකු දරනන පොදු මතය වේ. වර්ගවාදීන්ට මෙම උපායන් නොවැටහේ.   

එසේම, වර්ගවදීන් එම තත්වයට පත් කොට විවිධාකාර වාසි ලබාගන්නා කණඩායම කෲර කෛරාටිකයින්ය. වර්ගවාදී විෂබීජ වලට පණදී ඉන් වාසී ලබා ගන්නාගේ රිහිරු බව සහ ව්‍යාජ ජාත්‍යාලය කෙතරම්ද යන්න මේ දිනවල විවිධ දේශපාලන පක්‍ෂවල සභිකයින් සිදුකරන ප්‍රකාශ වලින් සහ ජාතියට සිදුකරන අකටයුතුකම් වලින් පැහැදිළිය. මොවුහු සෑම අයෙකුටම අවශ්‍යය වන්නේ බලයය. 

එක් ජාත්‍යාලයෙන් පිරිණු  පිවිතුරු සාමාජිකයෙකු මේ වන විටත් පොලිසිය මගහරිමින් සිටින්නේය. ජනාධිපතිවීමට  සිහින දකින්නෙකු, මුස්ලිම් ජනතාවට පහරදීම බෝම්බ ප්‍රහාරයෙන් සිදු වූ විනාශය දැක කේන්තියට පත් වූ පිරිසක් කළ සංවේදී ජනක ප්‍රතික්‍රියාවක් ලෙස තම ප්‍රකට ට්විටර් ගිණුමේ සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ ඔහුගේ සහෝදරයාගේ ආණ්ඩුවට කැපවීමෙන් කටයුතු කිරීමේ සන්තෝෂම ලෙස ඩේලි නිව්ස් පුවත්පතේ කතෘධූරට පත් වූ රාජ්පාල් අබේනායක, “හයියක් ඇති පිරිමියෙක්නම් ඇත්ත ලියන්න, බොරු ලියන්නේ නැතුව”, යනුවෙන් ප්‍රතිචාර දක්වනු ලැබීය. දේශප්‍රේමයෙන් මත්වී සිටින තවත් අයෙකු වන වෛද්‍යය චන්න ජයසුමන දෙවැනි වන්නේ, ජිනීවා ගොස් දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට උඩ ගෙඩි දෙන එන්ජිඕ කල්ලි සහ දෙමළ ඩයස්පෝරාවට තමන්ගේ අඹුඩේ හයිය පෙන්නන, රියර් අද්මිරාල් වීරසේකරටය. මෙම කල්ලියේ බොහෝ දෙනෙකු තමන්ට ලැබෙන තාවකාලීක ප්‍රසිද්ධියෙන් මහත්සේ ප්‍රීතිවෙති. මොවුන්ගේ මේ හිස් හා-හෝවෙන් රටක් හෝ ජාතියක් දියුණු කළ නොහැකිය. සිංහල ජාතිය මුහුණ දී සිටින අවාසනාවන්ත තත්වය මින් මනාව පැහැදිළි වේ.

බ්‍රිතාන්‍යයින් සිංහලයින්ගේ ඇති අසමගිය, කම්මැලිකම, කුලවාදය, කල්ලිවාදය  ඉතාම හොඳින් හඳුනා ගත්තෝය. ඉන් පසු සිංහලයින් තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා සිංහලයින්ම භාවිතා කළෝය. සැබෑ සිංහලයින් මියැදුණු අතර දෙපත් නයින් කෙසේ හෝ තම දිවිය බේරා ගෙන බ්‍රිතාන්‍යයින්ගේ අවශ්‍යතා ඉටු කළෝය. මේ නිසා වෙනත් රටවල මෙන්, සිංහල ස්ත්‍රීන් විවහා කරගැනීට බ්‍රිතාන්‍යයන්ට අවශ්‍යය වූයේ නැත. ජාතියේ ගරාවැටීම කෙතරම්ද යත්, සිංහලයේ පාලනයට මලය රටෙන් රජවරුන් ගෙන්වීමට සිදුවිය. සියල්ල අවසානයේ 1948 බ්‍රිතාන්‍යයින් නික්ම ගියෝය. උග්‍ර වර්ගවාදයේ විෂබීජ ව්‍යාප්ත කොට තිබු අවධියක රටට නාමික වශයෙන් නිදහස ලැබුණි. ඉන්පසු නිවැරදිව සිංහල කතා කිරීමටවත් නොහැකි, බණඩාරනායක වැනි ආත්මාර්ථකාමීන් හමුවේ සිංහල ජාතියේ බුද්ධිමය දිරායෑම ආරම්භ විය. සිංහලත් නොදන්න, ඉංග්‍රීසිත් නොදන්න, දෙමළත් නොදන්න නමුත් කුණුහරප පමණක් දන්නා ප්‍රජාවක් බිහිවිය.  එහි ඇති දිග පළල සමාජ ජාල වලට පිවිසීමෙන් සහ මෙරට මාධ්‍යය වල ප්‍රසිද්ධ වනදෑ වලින් දැකගත හැකිය.

මේ වන විට අපි ජාතියක් ලෙස මුහුණ දී සිටින තත්වය කාලයක් තිස්සේ මෙරට සමාජය ගමන් ගත් තාලයේ තවත් එක් දිගුවක් පමණි. නාමිකව නිදහස ලැබුණු පසු සිංහල වර්ගවාදීන්, පළමුව අඩුකුලේ සිංහල බෞද්ධයාගේ ලේ සහ මාංශය ඉලක්ක කළෝය. දෙවනුව කතෝලිකයාගේ ලේ පසුපස ගියෝය. ඉන්පසු දෙමළාගේ ලේ ඉල්ලුහ. මේ වනවිට දෙමළා ඉතාම යහපත් ජනකොට්ඨාශයක් බවට පත් වී ඒ වෙනුව මුසල්මානුවා, වර්ගවාදීයාගේ පරම හතුරා වී තිබේ. මේ අඥාන වර්ගවදීන්ගේ හැසිරීමෙන් ඉතාම හොඳින් ප්‍රයෝජනය ගන්නේ සුළු ජන කොටස් වල ඉතාම සෙමින් නමුත් ශක්තිමත්ව වැඩෙන අන්තවාදීන්ය. සහරාන් සහ ඔහුගේ බෝම්බ කල්ලිය  නියෝජනය කළ පවුල් කිහිපය යනු එහි ඉතා කුඩා සංඥාවක් පමණි.

හම්බ ලේ සොයන වර්ගවාදීන් බැඳ තබා මෙම ජාතිය මුහුණදීමට යන ඛේදවාචකයෙන් ගොඩ ගැනීම සඳහා ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු මොහොත උදා වී තිබේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    බ්‍රිතාන්‍යයින් සිංහලයින්ගේ ඇති අසමගිය, කම්මැලිකම, කුලවාදය, කල්ලිවාදය ඉතාම හොඳින් හඳුනා ගත්තෝය. ඉන් පසු සිංහලයින් තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා සිංහලයින්ම භාවිතා කළෝය. සැබෑ සිංහලයින් මියැදුණු අතර දෙපත් නයින් කෙසේ හෝ තම දිවිය බේරා ගෙන බ්‍රිතාන්‍යයින්ගේ අවශ්‍යතා ඉටු කළෝය. මේ නිසා වෙනත් රටවල මෙන්, සිංහල ස්ත්‍රීන් විවාහ කරගැනීමට බ්‍රිතාන්‍යයන්ට අවශ්‍යය වූයේ නැත. ජාතියේ ගරාවැටීම කෙතරම්ද යත්, සිංහලයේ පාලනයට මලය රටෙන් රජවරුන් ගෙන්වීමට සිදුවිය. සියල්ල අවසානයේ 1948 බ්‍රිතාන්‍යයින් නික්ම ගියෝය. උග්‍ර වර්ගවාදයේ විෂබීජ ව්‍යාප්ත කොට තිබු අවධියක රටට නාමික වශයෙන් නිදහස ලැබුණි. ඉන්පසු නිවැරදිව සිංහල කතා කිරීමටවත් නොහැකි, බණඩාරනායක වැනි ආත්මාර්ථකාමීන් හමුවේ සිංහල ජාතියේ බුද්ධිමය දිරායෑම ආරම්භ විය. සිංහලත් නොදන්න, ඉංග්‍රීසිත් නොදන්න, දෙමළත් නොදන්න නමුත් කුණුහරුප පමණක් දන්නා ප්‍රජාවක් බිහිවිය. එහි ඇති දිග පළල සමාජ ජාල වලට පිවිසීමෙන් සහ මෙරට මාධ්‍යය වල ප්‍රසිද්ධ වන දෑ වලින් දැකගත හැකිය.

  • 0
    0

    මේ ලිපියේ සඳහන් “නිවැරදිව සිංහල කතා කිරීමටවත් නොහැකි, බණඩාරනායක වැනි ආත්මාර්ථකාමීන් හමුවේ සිංහල ජාතියේ බුද්ධිමය දිරායෑම ආරම්භ විය” යන වගන්තිය ගැන මඳක් පැහැදිලි කළ යුතුයි. මේ පවසන්නේ බණ්ඩාරනායක මහතා සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ඇති දැනුම ලබා ගැනීමට හැකියාවක් නැතිව ගිය බවත් ඒ නිසා ඔවුන් අල්පශ්‍රැතයන් වූ බවත් කියා සාධාරණව අනුමාන කළ හැකියි. මේ මතයේත් “බණ්ඩාරනායක මහතා සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා” මේ රටට සිදුවූ “අතිමහත් විපත” ගැන ලිපි ලියන වෙනත් තිහිප දෙනෙකුත් නිතර පවසන කරුණු අතරට අයත් නොවන කරුණු කිහිපයක් පහත දක්වමි.
    (1) මේ රටේ අධ්‍යාපන මාධ්‍යය සිංහල දරුවන්ගේ මවු බස (එනම් සිංහල හෝ දෙමළ) විය යුතුය කියා නියම තළේ බණ්ඩාරනායක මහතා නොව කන්නන්ගර මහතායි. ඒ 1945 වර්ෂයේ දීය. (History of Education in Ceylon, 1796-1965 – K H M Sumathipala පොත බලන්න).
    (2) සුද්දාගේ කාලයේ තිබුණායැයි කියන ඔය සුපිරි ඉංගීසි අධ්‍යාපන යුගයේ දී දුප්පත් පොහොසත් හෝ සමාජ පන්ති භේදයක් හෝ නැතිව සියලු දරුවන්ට ඉංගීසි අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් නොතිබූණි. නිශ්චිතවම ඒ කාලයේ සුපිරි ඉංගීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වුණේ ධනවත් හා ඉහළ සමාජ පන්තිවලට අයත් පවුල්වල දරුවන්ට පමණයි. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති යටතේ මධ්‍ය විද්‍යාල ආරම්භ කළේ ධනවත් හා ඉහළ සමාජ පන්තිවලට අයත් නොවන එහෙත් ඉගෙනීමේ දක්ෂතා ඇති දරුවන්ට ඉංගීසි අධ්‍යාපනය ලබා දීමටයි.
    (3) බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ මේ රටේ පාසල් වර්ග තුනක් තිබුණි. (i) ස්වභාෂා (vernacular) පාසල් – නොමිලේ සිංහලෙන් හෝ දෙමළෙන් හෝ ඉගැන්වූ මේවායේ ඉගෙන ගත් අයෙකුට උපරිම වශයෙන් සිංහල හෝ දෙමළ ගුරුවරයෙක්, නොතාරිස්වරයෙක් හෝ වෙද මහත්තයෙක් වීමට හැකි වුණි. (ii) ද්විභාෂා පාසල් – මේවායේ ඉගෙනගත් අයට යන්තමින් ඉංග්‍රීසි තොලගා ගැනීමට හැකි වූ අතර ඉංග්‍රිසි දැනීමක් අවශ්‍ය සුළු රැකියාවලට යාමට හැකියාව ලැබුණි. (iii) සුපිරි ඉංගීසි පාසල් – ධනවත් හා ඉහළ සමාජ පන්තිවලට සීමා විය. ඉහළ පාසල් ගාස්තුවක් අය කරන ලදී. රජයේ හා පුද්ගලික අංශයේ ඉහළ රැකියා මේවායේ සිසුන්ට සීමා විය. මෙම පාසල් බහුතරයක් ක්‍රිස්තියානි ආගමික සංස්ථා මගින් පාලනය විය. වෙනත් ආගමිකයන්ට හා රජයට අයත් සුපිරි ඉංගීසි පාසල් කිහිපයක් ද තිබුණි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය මෙම සුපිරි පාසල්වල ඉගෙන ගත් අයට පමණක් සීමා වී තිබුණි.
    (4) බණ්ඩාරනායක සිදු කළේ රජයේ කටයුතු සිංහලට හැරවීමයි. (බෞද්ධාගමික කල්ලිවල බලයට යට වී දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් නොකීරීමෙන් ඒ මහතා වරදක් සිදුකර ඇත). එහෙත් අඩු ගණනේ සිංහල කතා කරන 86%ක ජනතාවට හෝ තමන්ට තේරෙන භාෂාවකින් රජයේ කටයුතු කර ගැනීමට මේ නිසා හැකි විය. යටත් විජිත යුගයේ රජයේ කටයුතු සිදු වූයේ ඉංග්‍රීසි නොදත් 96%ක් වන සිංහල / දෙමළ මවු බස වූ ජනයාට නොවැටහෙන භාෂාවකිනි.
    (5) නිවැරදිව සිංහල කතා කිරීමටවත් නොහැකි මේ රටේ පාලක පන්තියට අයත් වූ එකම තැනැත්තා බණඩාරනායක මහතා නොවේ. ජේ. ආර්. ජයවර්ධන කතා කළේ ද විකට සිංහලයකි. මවු බස නොදන්නා ඉහළ සමාජ පන්තියක් පැවතීම යුරෝපීය යටත් විජිතවල පොදු ලක්ෂණයකි.
    (6) ඉංග්‍රීසි නොදන්නා අතිමහත් බහුතරයක් සිටින ජපන්, දකුණු කොරියා, චීන ආදී රටවල් මෑත දශක කිහිපයේ දී විශාල ආර්ථික, කාර්මික, සාමාජික දියුණුවක් ලබා ඇත. යුරෝපා ඇමරිකා රටවලට තම දක්ෂ සිසුන් යවා, ඔවුනට එම රටවල ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් ආදී භාෂාවලින් පවත්නා විද්‍යා තාක්ෂණ දැනීම ලබාගන්නට සලස්වා එම දැනීම තම රටේ මවු බසින් ඉගැන්වීමට සැලැස්වීම මෙම රටවල ප්‍රතිපත්තියයි. මේ නිසා එම රටවල දරුවන්ට භාෂා බාධකයකින් (language barrier) තොරව සෑම ක්ෂේත්‍රයකින්ම විශේෂඥයන් වීමට හැකියාව ලැබී ඇත. පරිගණක, ජංගම දුරකථන ආදී නවීන තාක්ෂණ උපකරණ සියල්ල මවු බසින් භාවිතා කිරීමට හැකිවීම මෙම රටවල විශේෂ ලක්ෂණයකි. මේ නිසා උගත් සුළුතරයකට පමණක් නොව ගොවි, කම්කරු, ධීවර, ලිපිකරු, රියැදුරු, ගුරු, සිසු ආදී සියල්ලන්ටම නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ භුක්ති විඳමට හැකිවී ඇත. එයද මෙම රටවල දියුණුවට හේතුවකි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.