24 April, 2024

Blog

මූල්‍ය​ ලෝකයේ ආලෝකය: සල්ලි දාන්නෙ හිතල බලල ද?

නිෂාදි තෙන්නකෝන් –

නිෂාදි තෙන්නකෝන්

ජීවිත කාලයක් වෙහෙසී උපයාගන්නා මුදල් ඉතිරි කිරීමේ දී ඒ සඳහා තෝරා ගන්නා මූල්‍ය ආයතනයේ නීත්‍යනුකූලභාවය ගැන වඩාත් සැලකිලිමත් වීම අවශ්‍යයි. ශ්‍රී ලංකාව තුළ බැංකු ව්‍යාපාරයක් පවත්වා ගෙන යෑමටත් ලියාපදිංචි මූල්‍ය සමාගමක් එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් හඳුන්වන ෆිනෑන්ස් කම්පනි එකක් පවත්වා ගෙන යෑමටත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරන බලපත්‍රයක් තිබිය යුතුයි.

ඒ හැම ආයතනයක්ම තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයේ මහ බැංකුව විසින් නිකුත් කළ බලපත්‍රයේ පිටපතක් ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ නිසා සල්ලි තැන්පත් කරන්න ගියහම එහෙම නීත්‍යනුකූල බලපත්‍රයක් තියෙන ආයතනයක් ද කියල විමසා බැලීමෙන් තමන්ගෙ මුදල් වංචනිකයන් අතට පත්වීම වළක්වා ගන්න පුළුවන්.

දැනට මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගැනීමට ඒ විදිහෙ අවසර තියෙන ආයතනවල නම් ලැයිස්තුවක් මහ බැංකු වෙබ් අඩවියෙ (www.cbsl.gov.lk) භාෂා තුනෙන්ම පළ කරල තියෙනවා.

එහෙම නීතිමය අවසරයක් නැති තනි පුද්ගලයන්, ආයතන මහජනතාවගේ මුදල් වංචා කළ ආකාරය, සක්විති මුදල් වංචාව, දඬුවම් මුදලාලි, දැඩි දඬුවම් වගේ පුද්ගලයන්ට සම්බන්ධ පුවත්වලින් වාර්තා වුණා. තවත් ආයතන කිහිපයක් නීතිමය අවසර නොගෙන මහජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් කලින් කල වාර්තා වී තිබෙනවා. නීත්‍යනුකූල බැංකු හා මුදල් සමාගම් ලංකාවෙ සෑම ප්‍රධාන නගරයකම වගේ තියෙනවා. ඒත් එහෙම ආයතනයකට නොගිහින් වැඩි පොළියක් දෙන බවට කරන සුරංගනා පොරොන්දු වලට රැවටිලා වැඩි තණ්හාව පිටිපස්සෙ ගියොත් තමන්ගෙ මුදල්, කාලය වගේම හිත් පීඩා හේතුවෙන් ජීවිත නැතිවෙන අවස්ථා පවා තියෙනවා.

මහ බැංකුවෙ අවසර තියෙන බැංකුවක හෝ මුදල් සමාගමක බලපත්‍රයක් යම් හේතුවකින් අහෝසි වුණොත් තමන්ගෙ තැන්පතු මුදලින් රුපියල් 600,000 ක් දක්වා උපරිමයකට යටත්ව ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ දුවශීලතා ආධාරක යෝජනා ක්‍රමය හරහා ආපසු ගෙවීමට මහ බැංකුව කටයුතු කරනවා. ඒත් මේ හොර ආයතනවලින් එහෙම මුදල් ආපසු ලැබෙන බවට තහවුරුවක් නැහැ. ඒ වගේ අනවසර ආයතනවල කටයුතු කිසිම අධිකාරියක පරීක්ෂාවට ලක් වෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන හා අධීක්ෂණ ක්‍රියාවලියට යටත් වෙන මහජන තැන්පතු භාර ගැනීමට අවසර තියෙන ආයතන තමයි බලපත්‍රලාභි බැංකු, ලියාපදංචි මුදල් සමාගම් හා 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ බලපත්‍ර දී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන.

ඊට අමතරව සමූපකාර සංවර්ධන කොමසාරිස් යටතේ පාලනය වන සමූපකාර සමිති සහ සමෘද්ධි බැංකු වලට ද තමන්ගෙ සාමාජිකයන්ගෙන් පමණක් මුදල් තැන්පතු ලබා ගන්න පුළුවන්. නමුත් එකී ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවෙ නියාමන රාමුවට යටත් නැහැ.

තමන්ගෙ මුදල් නීති විරෝධී පුද්ගලයන්ගේ සහ ආයතනවල වංචාවලින් ආරක්ෂා කර ගැනීමට මේ කරුණු ගැන දැනුම්වත් වීම වැදගත්. මුදල් තැන්පතු ආයෝජනයට පෙර අදාළ ආයතනයේ නීත්‍යනුකූලභාවය අනිවාර්යයෙන්ම විමසා බලන්න.

වැඩි පොලී දෙනව නම් මගඩියක් විය හැකියි

ඉහතින් සඳහන් කෙරුණේ නීතිමය අවසරයක් නැතිව ජනතාවගෙන් මුදල් තැන්පතු එකතු කරන ආයතන හා පුද්ගලයන්ගෙන් ප්‍රවේසම් විය යුතු බවයි. ඒ ගැනම තව වැඩි විස්තරයක් තමයි අද කියන්නෙ.

ඇමරිකාවෙ වංචනික මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඉතාලි ජාතිකයෙකු වූ චාල්ස් පොන්සි එවැනි වංචනික පුද්ගලයෙක්. අවුරුද්දකට බැංකුවකින් ලැබෙන පොලී අනුපාතය 5% ක් වෙලා තියෙනකොට ඔහු පොරොන්දු වුණා 50%ක් ගෙවන්න. ඒ වැඩි පොලියට ආසා වෙලා චාල්ස් පොන්සිට සල්ලි දුන්න අයට ටික කාලයකට එහෙම පොලිය ලැබුණත් ව්‍යාපාරෙට අලුතෙන් සල්ලි දාන අය අඩුවෙනකොට ඒක කඩාගෙන වැටුණා. මේ වගේ වංචනික ව්‍යාපාරවලට ‘පොන්සි ව්‍යපාර’ කියල නම වැටුණෙ ඊට පස්සෙ. තවත් කෙනෙක් හිටිය ඇමරිකාවෙ මහා පරිමාණයෙන් මෙහෙම වංචාවක් කරල වසර 150කට සිර දඬුවමකට ලක්වුණු. එයාගෙ නම බර්නාඩ් එල්. මැඩෝෆ්.

ආර්. කේ. නාරායන් කියන ඉන්දීය ලේඛකයාගේ ‘The Financial Expert” කියන පොතෙත් මාර්ගයියා කියල පුද්ගලයෙක් පවත්වාගෙන ගිය පොන්සි ව්‍යපාරයක් ගැන කියවෙනවා. කැමති අයට හොයාගෙන කියවන්න අන්තර්ජාලයේ මේ තොරතුරු තියෙනවා.

ලංකාවෙත් කාලෙන් කාලෙට මේ වගේ වංචනික පුද්ගලයන් හා ව්‍යාපාර මතුවෙනවා. මෙවැනි වංචනික ව්‍යාපාර බිහිවෙන්නෙ ජනතාව එවැනි තැන්වලට යන නිසායි.

මෑතකදි පොල්ගහවෙල ප්‍රදේශයෙත් ඒ විදිහට පවත්වාගෙන ගිය මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ගැන වාර්තා වුණා. මේ ව්‍යාපාරවල මූලික ලක්ෂණය තමයි අලුතෙන් එන තැන්පතුවලින් පරණ අයට පොලිය ගෙවන එක. සාමාන්‍ය කතාබහේදි ‘රෝල ගෙනියනවා’ කියන්නෙ. අන්න ඒ වගේ ක්‍රමයක්. වැඩි පොලියක් ලැබෙනකම්ම මුලින් සල්ලි දාපු අය ඒ ප්‍රතිලාභ සතුටින් විඳිනවා.

සල්ලි දාන මිනිස්සු හිතන්නෙ නැහැ කොහොමද මේ වැඩි පොලියක් ගෙවන්නෙ කියලා.

නමුත් ටික කාලයක් ගතවෙනකොට අලුතෙන් සල්ලි දාන පිරිස අඩුවෙනවා. එතකොට පරණ තැන්පතුකරුවන්ට මුදල් හෝ පොලිය ආපසු ගෙවීම අසීරු වෙනවා. එයාල තැන්පතු ආපසු ඉල්ලගෙන ආවහම ඊළඟ සතියෙ අනිවාර්යයෙන්ම ගෙවනව වගේ පොරොන්දු දෙනවා. ඒත් ඒ පොරොන්දු ඉටුවෙන්නෙ නැහැ.

තැන්පතුකරුවන්ගෙන් එල්ලවෙන පීඩනය වැඩි වෙනකොට සල්ලි ගත්ත අය රහසේම අතුරුදහන් වෙන්නත් පුළුවන්. ඊට පස්සෙ තමයි ගොඩක් අයගෙ ඇස් ඇරෙන්නෙ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මේ විදියට නීතිවිරෝධීව ජනතාවගෙන් මුදල් තැන්පතු එකතු කිරීම තහනම් කරලයි තියෙන්නෙ. කොහොම වුණත් මේ වගේ වංචනික ව්‍යාපාරවල මුදල් තැන්පත් කළොත් යම් දවසක ඒ මුදල් අහිමි කරගෙන පසුතැවිලි වෙන්න සිදු වෙනවා. එනිසා එවැනි ව්‍යාපාරවලට හසු වීමෙන් වැලකී සිටීම වැදගත්.

මෙහිදී මතක තබා ගත යුතු කරුණ මෙයයි. නීත්‍යනුකූල බැංකු හෝ මුදල් සමාගම්වලින් ගෙවන සාමාන්‍ය පොලී මට්ටමට වඩා අධික පොලියක් හෝ ප්‍රතිලාභයක් ගෙවන බවට යමෙකු ප්‍රකාශ කරනවා නම් එතැන කුමක් හෝ වංචාවක් තියනවා කියන එක.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.