26 April, 2024

Blog

මුල්‍ය ලෝකයේ ආලෝකය – පාඩුවේ හැඩය හෙවත් පිරමීඩ ප්‍රෝඩාව

නිෂාදි තෙන්නකෝන් –

නිෂාදි තෙන්නකෝන්

ඇල්බේනියාව කියන්නෙ යුරෝපාකරයෙ තියෙන ලස්සන රටක්. පහළින් බැඳෙන සාමාජිකයන් ගණන වැඩි වෙනකොට මුලින් බැඳුන අයට ප්‍රතිලාභ වැඩි වෙන ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් 1996-1997 වකවානුවෙ මේ රටේ පැතිරුණා. එක් අවස්ථාවක ඇල්බේනියානුවන් මේ යෝජනා ක්‍රමයේ ආයෝජනය කර තිබූ මුදල එරට සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් භාගයකට සමාන වුණා යැයි සඳහන්. ඒත් මාස හතරක් වගේ කෙටි කාලයක් තුළ මේ පිරමීඩ යෝජනා ක්‍රමය කඩා වැටිල සිය දහස් ගණනකට තමන්ගෙ මුදල් අහිමි වුණා. වියරුවෙන් වීදි බැහැල කැරලි ගැසූ ජනතාව අන්තිමට නතර වුණේ ආණ්ඩුවත් බලයෙන් පහ කරලා. ඒ විතරක් නෙමෙයි ගැටුම් මැද දෙදහසක් පමණ මිනිසුන්ගේ ජීවිතත් අහිමි වුණා.

මේ පිරමීඩාකාර ව්‍යාපාර වංචාව අපේ රටටත් රිංගා තිබෙනවා. එක් කාලයකදි විදේශ සමාගමකට ක්‍රෙඩිට් (ණය) කාඩ්පතින් මුදල් ගෙවලා සමරු කාසි, ඔරලෝසු වගේ දේවල් මිලට අරගෙන යෝජනා ක්‍රමයකට බඳවාගෙන තිබුණා. එහෙම බැඳුණු අය තව දහ දෙනෙක්ව අලුතෙන් බඳවලා දුන්නාම ඒ මුලින් බැඳුණු අයට සමාගමෙන් කොමිස් මුදලක් ලැබෙන බව ප්‍රචාරය කෙරුණා. 1, 10, 100, 1000 ආකාරයට සාමාජිකයන් වැඩි වීමේ සටහන ඉක්මනින්ම පිරමීඩයක හැඩයට පහතට වර්ධනය වෙනවා. මේ බඳවාගැනීම් දිගටම කරන්න බැහැ. බැඳෙන්න අය නැති වූ ගමන් පිරමීඩය බිඳෙනවා. අවසාන අදියරවලදි මුදල් ගෙවා සම්බන්ධ වුණ අති විශාල පිරිසකට ඒ මුදල් අහිමි වෙනවා.

මේ වංචාවෙන් රටේ වටිනා විදේශ විනිමය පිටරටවලට ඇදී යනවා. මේ ගනුදෙනු විදේශ විනිමය පනත කඩකිරීමක් වෙන්නත් පුළුවන්. මොකද ඒ ගෙවීම් සාමාන්‍ය භාණ්ඩ මිලදී ගැනීම් නොවන නිසා. තමාට අමතරව අලුත් සාමාජිකයන් බඳව ගන්න බැරි වුණු අයට ලැබෙන්නේ ගෙවූ වටිනාකමට වඩා ඉතා අඩු අගයක් ඇති මොකක් හරි භාණ්ඩයක් විතරයි.

මේ පිරමිඩාකාර ව්‍යාපාර නීතියෙන් තහනම්. ශ්‍රී ලංකා මහ බැංකුව 2005 වසරෙදි මේ ආකාර පිරමීඩාකාර ගනුදෙනුවලට එරෙහිව නීතියක් විදිහට 1988 අංක 30 දරණ බැංකු පනතට සංශෝධනයක් ගෙනාවා. ඒ පනතේ 83(ඇ) වගන්තිය යටතේ දැක්වෙනවා මේ තහනම් යෝජනා ක්‍රම සහ ඒවාට අදාළ දඬුවම් ගැන.

ඔබට කිසියම් මුදලක් ගෙවා යම් යෝජනා ක්‍රමයකට බැඳීමට ඇරයුමක් ලැබෙනවා යැයි සිතමු. එයින් ඔබට ප්‍රතිලාභ ලැබීමට නම් තව සාමාජිකයන් යම් සංඛ්‍යාවක් ඔබ යටතේ බඳවාගත යුතු බවත් එහෙම බැඳුණු විට සහ ඒ අය තවත් අලුතෙන් පිරිසක් බඳවා ගත් විට ඔබටත් යෝජනා ක්‍රමයේ ඔබට ඉහළින් සිටින අයටත් ප්‍රතිලාභ ලැබෙන බවත් කියනවා නම් එය තහනම් යෝජනා ක්‍රමයක ලක්ෂණයක්.

ඒත් මෙහෙම දිගින් දිගටම පිරිස බඳවා ගැනීම ඉතා අසීරුයි. ඒ විදිහට අලුතෙන් බැඳෙන්න සාමාජිකයො නැති වුණාම පිරමීඩය කඩාගෙන වැටෙනවා. ඒක අනිවාර්යයි. යෝජනා ක්‍රමය ඇතුළෙ මුදල් මැවීමක් වෙන්නෙ නැහැනෙ. පසුව බැඳෙන විශාල පිරිසක් දාන සල්ලි අදාළ සමාගමයි ඉස්සෙල්ලා බැඳුණු සුළු පිරිසකුයි වංචාවෙන් අයිති කර ගැනීමකුයි සිදු වෙන්නෙ.

මුදලක් ගෙවා සාමාජිකත්වය ගැනීම වෙනුවට යම් භාණ්ඩයක් මිල දී ගැනීම මගින් යෝජනා ක්‍රමයට බඳවා ගන්නා අවස්ථාත් තිබෙනවා. බොහෝ වෙලාවට ගෙවන මිලට වඩා අඩු වටිනාමක් තියෙන හිස පීරන පනා, ඔරලෝසු, සූර්ය කෝෂ, ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග, වර්ණාලේපිත කාසි, සම්බාහන උපකරණ, හෝටල් නිවාඩු පැකේජ වගේ දේවල් මෙයට යොදා ගන්නවා. ඇත්තටම භාණ්ඩ විකිණීමේ උවමනාවට නෙමෙයි යෝජනා ක්‍රමයෙ සාමාජිකත්වය දීමට තමයි ජාලගත ආකාරයට භාණ්ඩ විකිණිමේ මුවාවෙන් මේ වැඩේ කරන්නෙ.

ඉක්මනින් ධනවත් වන්න, නිවසේ සිටම මුදල් උපයන්න වැනි ආකර්ෂණීය ප්‍රචාර, තරු පහේ හෝටල්වල වැඩ මුළු පැවැත්වීම, ගුවන් ටිකට් පත් පිරිනැමීම වගේ උපක්‍රමත් මෙවැනි යෝජනා ක්‍රමවලට බඳවාගැනීම සඳහා යොදා ගන්නවා.

රැවටෙන්න එපා. තමනුත් යම් යෝජනා ක්‍රමයක සාමාජිකයෙක් වෙලා තවත් අය බඳව ගත්තහම වැඩි ආදායමක් ලැබෙන බව කියනව නම් එතන රතු එළියක් තියෙනවා.

මේ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම අප රට තුළ ඇරඹීම, ප්‍රචාරණය, ප්‍රචාරණ වැඩසටහන්වලට සහභාගී වීම, මුදල් සැපයීම මෙන්ම කළමනාකරණයත් දඬුවම් ලැබිය හැකි වැරදි. මෑතකදි අනුරාධපුර අධිකරණයෙන් මේ ආකාරයේ තහනම් යෝජනා ක්‍රමයකට සම්බන්ධ පිරිසකට දඬුවම් නියම කර තිබුණා.

මිනිසුන් රවට්ටමින් කරන මේ වංචනික ව්‍යපාර නීත්‍යනුකූල බව පෙන්වන්න ඇතැම් විට සමාගමක් ලියාපදිංචි කරනකොට නිකුත් කරන සහතිකය ආදි බොරු සහතික පෙන්වන්න පුළුවන්. පීරමීඩ ක්‍රමවලට එහෙම බලපත්‍ර දෙන කිසිම ආයතනයක් නැහැ.

දියුණු තාක්ෂණයත් සමඟ කරලියට ආපු ඩිජිටල් මුදල්වල (bitcoins) ආයෝජනය කරන මුවාවෙනුත් මේ ව්‍යාපාර ක්‍රියාත්මක බව දැන් දැන් වාර්තා වෙනවා. අලුතෙන් තව අය මේ ඩිජිටල් මුදල් ගත්තහම අඩු මිලට මුලින් bitcoins ගත්ත අයගෙ කාසි වල වටිනාකම ඉහළ යන නිසා රැවටීම් කිරීමේ ඉඩ තිබෙන බවයි පැවසෙන්නෙ.

කුමන ආයෝජනයක වුවත් ස්වභාවයෙන්ම යම් අවදානමක් තියෙනවා. තමන්ගෙ මුදල් යෙදවීමට පෙර ඒ ආයෝජන ක්‍රමය ගැන උපරිමයෙන්ම දැනුම්වත් වීම වැදගත්. පිරමීඩ ජාවාරම්වලින් කරන්නේ රැවටීමක්, ඔබේ ජීවිතය අවදානමේ හෙලීමක්, අතේ තියන මුදල ගසා කෑමක්.! නොරැවටී පරෙස්සම් වෙමු.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.