14 May, 2025

Blog

විසදුම හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

රට මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය තුළ සම්පූර්ණ කර ගත යුතු කාරණා තුනක් පවතී. එකක් වන්නේ රටේ ජාතික ධනය කොල්ල කා ධනවත් සමාජ තීරුවක් නිර්මාණය කරන ව්‍යාපාරික-දේශපාලන මාෆියාකරණය වැළැක්වීමයි. දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතිය බිදමින් මිලිටරිකරණය වැළැක්වීමයි. තුන්වැන්න ජාතික ප්‍රශ්නයට විසදුමක් සදහා ප්‍රයත්න දැරීමයි. එහෙත් මේ කිසිවක් දේශපාලන අවකාශය තුළ සාකච්ඡා කරන බවක් පෙනෙන්නට නොමැත.

පොහොට්ටු පක්ෂයේ ඉලක්කය වන්නේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතිය සිද බිද දමමින් විරෝධයන් මර්දනය කරමින් මිලිටරිමය පාලනයක් ගෙන යෑමයි. ඒ සදහා පැරණි රාජපක්ෂ රෙජීමය අනුගමනය කළ ආර්ථික මොඩලයම ගෝටාභය ආණ්ඩුව ද අනුගමනය කරන බවක් දක්නට ලැබේ. ඒ අතර ජාතික ප්‍රශ්නය අමතක කරමින් මහ ජාතිකවාදී අදහස් වපුරමින් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී උද්දච්ඡ පාලනයක් දෙමළ මුස්ලිම් ජන කොටස් අතර පවත්වාගෙන යෑමට උත්සාහ ගනිමින් සිටී. 

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකම තම බලය ස්ථාපිත කර ගන්නට උත්සාහ දරමින් සිටින්නේ සිරිකොතෙහි මිස රටෙහි නොවීම මේ මැතිවරණයේ විශේෂ ලක්ෂණයකි. ඊට අමතරව ඉඩ ලැබෙන පරිදි ඔවුහු පවතින දේශපාලන යාන්ත්‍රණය එලෙසම රැක ගනිමින් ආණ්ඩු බලය ගෙන ඒ ඒ මර්මස්ථානයන්ට තමන්ගේ පුද්ගලයන් රිංගවා ගැනීමේ උත්සාහයකට තම දේශපාලනය ලඝු කරගෙන සිටී. ඒ ක්‍රියාකාරකම් දෙකම අදේශපාලනික ය. රටේ ප්‍රමුඛ ධනපති පක්ෂය වුවත් දෘෂ්ඨිවාදීව බිද වැටී ගිමන් හරින මේ මොහොතේ දී සිරිකොතේ බලය සදහා සටන් වැදීම හැර එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකටම ඉතුරු වී නොමැත.

ජාතික ජනබලවේගය ලෙස ජනතා විමුක්ති පෙරමුණ පුළුල් සංධානයක් නිර්මාණය කරගෙන ඇතත් ඔවුන් පවා ඉලක්ක කරගෙන සටන් කරන්නේ ක්‍රමය රැක ගනිමින් ක්‍රමය ජන අප්‍රසාදයට පත්වන ක්‍රියාමාර්ගයන් වළක්වා ගැනීමට ය. මේ දිනවල ජාතික ජන බලවේගයේ දේශපාලන ප්‍රචාරයන්ට සවන් දෙන විට අවබෝධ වෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන හා හෘදයාංගම ඉලක්කය ලෙස තෝරාගෙන ඇත්තේ  එම්සීසී ගිවිසුම අත්සන් කිරීම,  සමහර වන සංරක්ෂිත ආරක්ෂා කිරීමේ වගකීම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම, කොරෝනා වසංගතය නිසා පීඩා විදින විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම ආදී ක්‍රියාකාරකම් බවය. එම්සීසී ගිවිසුම අත්සන් නොකිරීම, සමහර වන සංරක්ෂිත ආරක්ෂා කර ගැනීම සදහා ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබීම හා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වහා මෙරටට ගෙන්වා ගැනීම ආකර්ශනීය පියවරයන් ය. මේ සියල්ල පවතින ක්‍රමය දුර්වර්ණ වන සිද්ධීන් යැයි ඔවුන් සිතන දේවල් වන අතර එනිසා ඒවා වළක්වා ගැනීම ඔවුන්ගේ දේශපාලනයේ පරම ඉලක්කය බවට පත්කරගෙන තිබේ.

මේ දේශපාලන සටන් පාඨ ද ඒ හා බැදුනු ඉලක්කයන් ද වාමවාදී ජන තීරුවට ආකර්ශනීය විය හැකි  වුවත් එමගින් කරන්නේ පවතින ක්‍රමය මුළු එකක් ලෙස ආරක්ෂා කර ගනිමින් සුදු පිරියම් කර ගැනීම පමණි. වංචා දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය අනුගමනය කරන ක්‍රමවේදය ද මේ හා සමග බැදුනු  උපක්‍රමයකි. ඔවුන් ඒවා නූලට තිතට ගණන් බලමින් ව්‍යාපාරික මාධ්‍ය හමුවේ රස කර කර ප්‍රකාශ කරන්නේ එවැනි දෑ වළක්වා ගත යුතු බව නොකියා කියමිනි.  එසේම ඒව වළක්වා ගතහොත් රට කිරියෙන් පැණියෙන් ඉතිරෙන බවට ඉගි කරමිනි. වංචා, දූෂණ හා අක්‍රමිකතා පවතින දේශපාලන ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණයන් ය. 

ඒවා සම්බන්ධයෙන් රෑ දවල් නැතිව විලාප දුන්න ද වැළැක්විය නොහැකිය. එසේම ඒවා වළක්වන්නට පොදු මහජනයාට ද අවශ්‍යතාවක් ඇති බවක් නොපෙනේ. එනිසා කළ යුත්තේ මේ වංචා, දූෂණ හා අක්‍රමිකතා නිසා ගොඩනැගෙන ව්‍යාපාරික හා දේශපාලනික මාෆියාව පෙන්වාදීමත්  එම නිසා ජන ජීවිතය විනාශ කරන්නට එම මාෆියාව දායක වන අන්දම පැහැදිලි කරදීමත් ය. එහෙත් එවැන්නකට ජාතික ජන බලවේගය උත්සාහ ගන්නා අන්දමක් පෙනෙන්නට නොමැත. 2018 පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන දේශපාලන සටන් පාඨය වූයේ වංචා, දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම වුවත් ජන සමාජය ඊට අනුමැතියක් නොදුන්නේ මහජන සම්පත් කොල්ලකෑම තමන්ගේ ජන ජිවීතය විනාශ කරන්නට තරම් බලපෑමක් කරන ක්‍රියාවක් බව ඔප්පු කරන්නට ඔවුන් සමත් නොවුන නිසා ය.

මේ අන්දමින් විග්‍රහ කර බලනවිට තේරුම් යන්නේ ජාතික ජන බලවේගය පවා උත්සාහ ගන්නේ පවතින ක්‍රමය සංශෝධනයකින් තවදුරටත් තල්ලු කරගෙන යෑමට මිස මුළු එකක් ලෙස හා ආකෘතිමය ලෙස ක්‍රමය වෙනස් කර ගැනීමට නොවේ. එවැනි ආකෘතිමය වෙනසක් කර ගැනීම තම ඉලක්කය නම් ඔවුන් කළ යුත්තේ තමන් හදුන්වාදෙන්නට යන අලුත් ආකෘතිය සමාජයට පැහැදිලි කිරීම ය. එහෙත් විවේචනය හැර තමන් එලෙස හදුන්වා දෙන්නට යන දේශපාලන ආකෘතියක් ගැන ඔවුන් කතා කරන්නේ නැත. සරළව කිවහොත් ග්‍රාමීය සංවර්ධනයේ  මෙහෙයුම් යාන්ත්‍රණය වන ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා එහි ක්‍රියාකාරීත්වය විසින් ව්‍යාපාරික හා දේශපාලන මාෆියාවක් නිර්මාණය කරන බව ඔවුන්ගේ විග්‍රහයන් තුළ අඩංගු වන්නේ නැත. එසේම එම මාෆියාව විසින් කළු ආර්ථිකයක් ද නීති විරෝධීව රැස් කර ගත් ධනය ඇති සමාජ තීරුවක් ද නිර්මාණය කරන බව ඔවුන් පැහැදිලි කරන්නට නොයෑම ප්‍රශ්නයකි. එසේම ඒ මාෆියාව නිසා අලුත් වටකින් ජන සමාජය තුළ ඇති නැති පරතරය ප්‍රවර්ධනය වන බව ද සමාජයේ බහුතරය ආර්ථික විනාශයකට ඇද දමන බව ද ඔවුන් පැහැදිලි කරන බවක් දකින්නට නොමැත.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාපිතව ඇති ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතිය බිද දමමින් ගෝටාභය රාජපක්ෂ විසින් මිලිටරිමය පාලන ආකෘතියක් අත්හදා බලමින් සිටීම ද ජාතික ජනතා බලවේගයේ අභියෝගයට ලක්ව නොමැත. ඒ සදහා මතු පිටින් විරුද්ධ වෙනවා විය හැකි ය. එහෙත් ජන සමාජයට කා වැද්දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතිය විනාශ කරමින් තිබීම හා ඒ හිස් තැනට මිලිටරිමය යාන්ත්‍රණයක් රිංගවීම එලෙස අඩු ලංසුවකින් කතා කළ නොහැක්කකි. ඊට හේතුව සංස්කෘතික පරිහානියකින් සිදුවන විනාශය අති මහත් වන බැවිනි.

ලාංකික ජන ජීවිතයේ මාලිමාව වූ ජාතික ප්‍රශ්නය මේ වන විට සියළු දේශපාලන ව්‍යාපාරයන් විසින් අමතක කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ප්‍රභාකරන් ඝාතනය කර දමා දෙමළ විමුක්ති කොටි සංවිධානය විනාශ කර දැමූ පසුව දෙමළ ජනයාගේ ජීවත්වීමේ අයිතියට එල්ල වූ තර්ජන අවසන් බව සියල්ල කල්පනා කරන බවක් පෙනේ. එහෙත් අදටත් ශ්‍රී ලාංකික ජන ජීවිතයේ මාලිමාව වන්නේ ජාතික ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයට කල් පවත්නා විසදුමකින් තොරව ජන ජීවිතයට ස්ථිර සාර පැවැත්මක් නොමැත.  එහෙත් ජාතික ජන බලවේගය කල්පනා කරන්නේ මේ ප්‍රශ්නය අමතක කළ හැක්කක් ලෙස ය. ඔවුන් ජාතික ප්‍රශ්නය විසදා ගැනීමට තවමත් සුපුරුදු ලෙස සමාජවාදය උදාවෙනකම් බලා සිටිනවා විය යුතු ය.

අද රටට විකල්ප දේශපාලනයක් අවශ්‍යව ඇත්තේ පවතින ක්‍රමය මුළු එකක් ලෙස වෙනස් කර ආකෘතිමය වශයෙන් අලුත් දේශපාලනයක් හදුන්වා දෙන්නට ය. එමගින් විසදා ගත යුතු කේන්ද්‍රයේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් පවතී. ව්‍යාපාරික-දේශපාලන මාෆියාව අවසන් කිරීම, මිලිටරිමය පාලනය පරදවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම හා  ජාතික ප්‍රශ්නය විසදා ගැනීම මූලික කාරණා වේ. එහෙත් ඊට අමතරව ජන ජීවිතය එදිනෙදා මුහුණ දෙන බරපතල ප්‍රශ්න වන විධිමත් ප්‍රවාහන ක්‍රමයක් නොවීම, ඉඩම් භාවිතය පිළිබද නව ආකල්පයකින් කටයුතු නොකිරීම, කෘෂිකර්මාන්තය ව්‍යාපාරික අර්ථයකින් පුළුල් නොකිරීම, තිරසාර අරමුණකින් පරිසර පද්ධතීන් භාවිතා නොකිරීම ආදී දහසකුත් එකක් කරුණු කාරණා පවතී. මේ සියල්ලට විසදුම් සෙවිය හැක්කේ විකල්ප දේශපාලන ඉලක්කයකින් කටයුතු කිරීමෙනි.

දෘෂ්ඨිය විද්‍යාත්මකව විග්‍රහ කර නොගත් කිසිම දේශපාලන ව්‍යාපාරයකින් සමාජයට යහපතක් වන්නේ නැත. එක් අතකින් සහමුලින්ම සමාජවාදය ඉලක්ක කර ගත් ව්‍යාපාරයකට කළ හැක්කේ දෘෂ්ඨිමය පෝෂණීය දායකත්වයක් පමණි. දිගු කාලීනව එවැනි අරමුණකින් යුක්ත වුවත් කෙටි කාලීනව අරමුණු කරගත් ඉලක්කයකින් යහපත් සමාජයක් ගොඩනගා ගැනීම සදහා වාම ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයකට කළ හැක්කක් නොමැත. වාම ජනප්‍රියවාදය ලත් තැනම ලොප් කර දැමීමට නව ලිබරල්වාදය පසු බට නොවන බව ග්‍රීසිය ඇතුළු බොහෝ රටවලින් සාක්ෂි ලබා දේ. ඒ නිසා ප්‍රතිසංස්කරණවාදය අරමුණු කර ගත් වාම ජනප්‍රියවාදය මේ මොහොතේ දී අමුම අමු ව්‍යාජයකි. 

එක් අතකින් ධනේශ්වර ක්‍රමය ආකෘතිමය ලෙස වෙනස් කර අලුත් දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින  ව්‍යාපාරයකට දීර්ඝ කාලීනව මාක්ස්වාදය මත පදනම් වෙමින් අරගල කිරීමට හා අලුත් සමාජයක් ගොඩනැංවීමට තවමත් වලංගු සාධක පවතී. එසේම එම ව්‍යාපාරයට ධනේශ්වර සමාජ වෙනසක් සදහා දායකවීමට ඉතිරිව ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පමණි. නව ලිබරල්වාදය දැඩි ලෙස අර්බූදයකට යොමු වී ඇති වටපිටාවක පැවැත්ම සදහා එය ද වෙනස්වෙමින් පවතින අතර ඒ සදහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නිවැරැදි තෝරා ගැනීමකි. එනිසා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයකට පහර දෙන්නට තරම් නව ලිබරල්වාදය ඉක්මන් නොවේ. මාක්ස්වාදය මත පදනම් වෙමින් අලුත් සමාජයක් හා අලුත් දේශපාලන යාන්ත්‍රණයක් වෙනුවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරයකට  කෙටි කාලීන අරමුණු සාධනයේ ලා එවැනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයකට සහායවීම ලැජ්ජාවට කාරණාවක් නොවන්නේ එය වලංගු දේශපාලනමය උපක්‍රමයක් බැවිනි.

කොළඹ කේන්ද්‍රීය අතර මැදි පන්තියේ දේශපාලන අවශ්‍යතාවන් අනුව නිර්මාණය වූ ජාතික ජනබලවේගය වාමාංශික හැඩරුවක් ඇති ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරයකි.  එය පදනම් වී ඇත්තේ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුබසාධනවාදය දෘෂ්ඨිය කර ගත් මතවාදයකිනි. හරියටම කිවහොත් ඔවුන් ඉලක්ක කරගෙන ඇත්තේ 1970-77 සමගි පෙරමුණු ආණ්ඩු ආකෘතියයි.  එහෙත් එවැන්නකින් පවතින දේශපාලන අර්බූදයට විසදුම් සෙවිය නොහැක්කේ සුබ සාධනවාදී ජාතික රාජ්‍ය ආකෘතිය කල් ඉකුත්වී ඇති බැවිනි. අන්තර්ජාතික දේශපාලන අවකාශයේ හැඩතල අනුවත් ජාතික ජන බලවේගයේ සංයුතිය අනුවත් වාම ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට සාර්ථකව කටයුතු කරන්නට ඔවුන්ට නොහැක. ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පමණි. එහෙත් ඒ සදහා ජාතික ජන බලවේගයට පවතින ගැටළුව වන්නේ දැනුම පිළිබද කාරණාවකි. 

Latest comment

  • 0
    0

    අපේ රට ජාතික විධායක සභාවකින් පාලනය වන්නේ නම්, සියල්ලන්ටම එක හා සමානව කටයුතු කළ හැකිය. වඩා හොඳ පද්ධති ස්ථාපිත කිරීමට අපේක්ෂා කිරීමට පෙර නීතිය හා සාමය පද්ධති හොඳින් ක්‍රියාත්මක කළ යුතුය. පොලිසිය සහ නීතිය හා සාමය යන ආයතන එකට වැඩ කළ යුතුය. කිසිවෙකුට විශේෂ බලතල නොතිබිය යුතුය, ඔවුන් බහුතරයට හෝ සුළුතරයට හෝ ඕනෑම ආකාරයක ආගමික බලවේගයන්ට අයත් විය යුතුය. එවකට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව යටතේ සිටි අයගෙන් අපි ඉගෙන ගෙන දැන් ලිබරල් දේවල් දකිමු. ප්‍රජාතන්ත්‍රවාදී පාලක මණ්ඩල යටතේ ජීවත්ව සිටියදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට ගරු කළ හැකි වන පරිදි ඔවුන් නිසි ක්‍රමවේදයන් මගින් පාලනය කළ යුතුව තිබුණි. එය ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පක්ෂ දේශපාලනයට සමානය. ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ මතය බෙදා ගත හැකි පක්ෂ ද ස්විට්සර්ලන්තයේ සහ ප්‍රංශයේ ඇත. පවත්නා ක්‍රමයට නව ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සඳහා සම්මුතියක් ගොඩනැගීම සඳහා, දිවයිනේ සෑම තරාතිරමකම ජනතාවගේ සිතිවිලි හා මනස නියෝජනය කරන ජාතික මට්ටමේ ආයතනයක් තිබිය යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.