29 October, 2020

Blog

දේශීය සීනි  නිෂ්පාදනයේ තිත්ත ඇත්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

සෙවනගල හා පැල්වත්ත සීනි කම්හල් දෙක රජයට පවරා ගත්තේ 2011.11.11 වෙනි දින සම්මත කර ගත් පනතකට අනුව ය. සමහර පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා ගැනීම සදහා සකස් කළ එම පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිර්මාණයක් නොවූ අතර පී.බී. ජයසුන්දර භාණ්ඩාගාර ලේකම් ලෙස භාණ්ඩාගාරයේ නීති නිලධාරීන් ලවා සකස් කර ගත්තකි. එනිසාම එහි අඩුපාඩු රැසකි. වැරැදි ගොඩකි.

සෙවනගල පවරා ගත්තේ එහි අයිතිකරු දයා ගමගේ නිසා ය. පැලවත්ත පවරා ගත්තෙ එහි අයිතිකරු වූ හැරී ජයවර්ධන සමග එකල බැසිල් රාජපක්ෂ නොහොද නෝක්කඩුවෙන් සිටි නිසා ය. පසුව සමාගම් දෙක පාලනයට ලංකා සීනී සමාගම නම් රාජ්‍ය සමාගම ද ඇති කළේ ය.

රජයට පවරා ගත් පැලවත්ත හා සෙවනගල කම්හල් දෙක නඩත්තුවට 2012 වර්ෂයේ දී භාණ්ඩාගාරයෙන් විශාල මුදලක් ලබා දුනි. ඒ එම කම්හල් දෙකේම ද්‍රවශීලතාව අවම අගයක වූ නිසා ය. බැරකම් විශාල ප්‍රමාණයක් තිබූ අතර නිෂ්පාදනය කරන සීනී වල ආදායම අවම විය. උක් වලින් සීනි නිෂ්පාදනය කිරීමේ දී අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් වලින් විශාල ලාභයක් ලැබිය හැකි වුවද එවකට රාජපක්ෂ රජයේ අදූරදර්ශී මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය නිසා එය වැළකුණි. ආයුර්වේද සංස්ථාවට අවශ්‍ය එතනෝල් ප්‍රමාණය ලබාදුන්නේ ද දහසකුත් එකක් බාධා මධ්‍යයේ ය.

මේ මොන ප්‍රශ්නය තිබුණත් 2012 වර්ෂය අවසානයේ දී කම්හල් දෙකම ලාභ ලැබීය. ආණ්ඩුවේ මාධ්‍යය ඒ අගයන් උඩ දමමින් ප්‍රචාරය කලේ ය. එහෙත් ලාභ ගණනය කළේ අමුතු ක්‍රමයකට ය. සමස්ත ලැබීම් වලින් සමස්ත වියදම් අඩු කර ලාභය පෙන්වූවා මිස මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් අත්තිකාරම් මුදල අඩු නොකලේ ය. රාජපක්ෂ ආණ්ඩුව රජයේ ආයතනවල ලාභ පෙන්නුවේ එසේ ය. අද ද කරන්නේ එයම ය.

2011 පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා ගැනීමේ පනත යටතේ පැල්වත්ත සීනී සමාගම පවරා ගන්නා විට එය හිමිව තිබුණේ හැරී ජයවර්ධනට ය. ඒ වනවිට දක්ෂ නිලධාරීන් පිරිසක් යටතේ ඔහු එය මනා ලෙස කළමනාකරණය කරමින් තිබුණි. උක් වලින් සීනී නිපදවීමේ දී අතුරු නිෂ්පාදනයක් ලෙස නිපදවෙන එතනෝල් උපක්‍රමශීලීව අළෙවි කරමින් ඔහු ලාභය තහවුරු කරගෙන තිබුණි. ඒ අනුව කිසිම වියදමක් නොදරා එතනෝල් නිෂ්පාදනය වන අතරම ඒවාට ඉහළ මිලක් පවතින නිසා සමස්ත කම්පැණියේම ලාභය පවත්වාගෙන යෑමට ඔහුට හැකි විය.

පැලවත්ත කම්හලේ යන්ත්‍ර සූත්‍ර ඉතා පැරණිය. ඒ වනවිටත් ලෝකයේ එවැනි යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් නොතිබුණි. එනිසා අමතර කොටස් ද සොයා ගැනීමට නොහැකි විය. ඒ සියල්ල සපයා ගත්තේ කම්හලේ ඉංජිනේරුවන් විසින් එහිම ඒවා යාත්තු කර ගැනීමෙනි. එහි සේවකයන් ද ඒවාටම කැප වී සිටියේ රැකියාව ආරක්ෂා කරගත යුතු නිසා ය. මේ සියල්ල සීනි නිෂ්පාදනයට බාධාවක් වුවද එතනෝල් වෙළෙදාම කළමනාකරණය කරමින් හැරී ජයවර්ධන කර්මාන්තය කරගෙන ගියේ ය.

ඔහුට දේශපාලනික අවුලක් පැන නැග්ගේ මේ අතර ය. බැසිල් රාජපක්ෂ සමග තිබූ ව්‍යාපාරික ගනුදෙනුවක් හිත හොදින් විසදා ගැනීමට නොහැකි වූ නිසා දෙදෙනා අතර ආරාවුලක් ඇති විය. ප්‍රශ්නය සාමකාමීව විසදා ගැනීමට මහින්ද රාජපක්ෂට ද නොහැකි විය. අවසානයේ දී එතනෝල් නිෂ්පාදනය කරමින් ලාභ ලබමින් පැවැති සීනී කර්මාන්ත ශාලාව රජයට පවරා ගැනීමේ ලැයිස්තුවට ඇතුලත් විය.

සෙවනගල පැවැතියේ මීට වෙනස් තත්ත්වයකි. එහි අයිතිය පැවතියේ අමු යුඑන්පීකාරයකු වූ දයා ගමගේට ය. ඔහුට ගේමක් දීමට රාජපක්ෂ ආණ්ඩුවට අවශ්‍ය විය. 2002 දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සෙවනගල පුද්ගලීකරණය කරන විට දයා ගමගේ ඉදිරිපත් කළ ලංසුවේ මිල තුන්වැනි ස්ථානයේ තිබුණි. එහෙත් පළමු හා දෙවැනි ලංසු ප්‍රතික්ශේප කර තුන්වන ලංසුව වූ දයා ගමගේගේ ලංසුව පිළිගනිමින් ඔහුට සෙවනගල කම්හල විකිණීමට තාක්ෂණික කමිටුව ශූක්ෂම වී තිබුණි. අද ද ඒ දූෂණයන් ගැන සොයා බැලීමට රාජපක්ෂ ආණ්ඩුවට අවශ්‍ය නැත. නමුත් රාජපක්ෂගේ ඇම්බැට්ටයන් උඩ පනින්නේ දයා ගමගේ රනිල්ගෙන් කම්හල් නිකම් වගේ ගත්තා යැයි කීමට ය. දයා ගමගේ ඉතාම සොච්චම් මිලක් වූ රුපියල් මිලියන 600කට සෙවනගල මිල දී ගත් බව ඇත්තකි. එහි තිබූ යකඩ සුන්බුන් හා වෙනත් ද්‍රව්‍ය විකුණා වැය වූ මුදල දයා ගමගේ විසින් සොයා ගත් බව ද ඇත්තකි. එහෙත් ඒ අපරාධයන් සොයා නොබලා වරදකරුවන්ට දඩුවම් කිරීමට රාජපක්ෂලා උනන්දු නොවීම පුදුමයකි.

2011 දී රජයට පවරා ගන්නා විට රාජපක්ෂලා දස සිල් සමාදන්වී සිටියහ. එනිසා උක් වලින් සීනී නිපදවන විට අතුරු ඵලයක් ලෙස නිපදවන එතනෝල් තවදුරටත් නිෂ්පාදනය නොකරන බව මාධ්‍ය වලින් රටටම කීය. හැරී ජයවර්ධන දිගටම කළේ හොර අරක්කු පෙරීම මිස සීනි නිෂපාදනය කිරීම නොවන බව කටවාචාල කතා ද කීය. එහෙත් රජයට පවරා ගත් පසුව ද ඉබේ නිෂ්පාදනය වන එතනෝල් භාවිතයට ගත්තා මිස මොලෑෂස් ඉවතට දැම්මේ නැත. එහෙම කරලාත් කම්පණිය ලාභ ලැබීමට රාජපක්ෂලාට නොහැකි විය. නඩත්තු කළේ භාණ්ඩාගාරයෙන් මුදල් පොම්ප කරමිනි.

ඊට හේතුව ප්‍රාණසම ලෙස රැකියාව කළ කම්හල් දෙකෙහි ඉහළ හා පහළ නිලධාරීන් රැකියාවෙන් නෙරපීම නිසා ය. පැල්වත්ත කම්හලේ ඉංජිනේරු කටයුතු තමන්ගේ වැඩ මෙන් සලකා උනන්දුවෙන් කළ ප්‍රධාන ඉංජිනේරුවරයා ගෙදර යෑවීමට ඇමතිවරයා තදියම් වූයේ ඔහු ජවිපෙකාරයකු බව කියමිනි. එලෙසම දක්ෂ හා පැරණි සේවකයන් රැසක් ගෙදර යැව්වේ ය. අවසානයේ ඒවාට විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් හා භටයන් පත් කළ අතර ඔවුන් සීනි නිෂ්පාදනය ගැන මෙලෝ හසරක් නොදත් නිසා පාඩු පිට පාඩු සිදුවිය.

2011 පෞද්ගලික ව්‍යවසාය රජයට පවරා ගැනීමේ පනත අනුව පැල්වත්ත හා සෙවනගල රජයට පවරා ගැනීමෙන් පසුව සියළු සීනි කම්හල් හා එවැනි ව්‍යවසායන් එක වහලක් යටතට ගනිමින් ශ්‍රී ලංකාවට සීනී ආනයනය අවම කර දේශීයව සීනි නිෂ්පාදනය කළ යුතු බවට වූ අමුතු ප්‍රතිපත්තියක් යටතේ වෙනම අමාත්‍යංශයක් පිහිටුවා ඊට ඇමතිවරයකු ලෙස දෑත ශක්තිමත් කරන්නට ආ යූඑන්පීකාරයකුට එහි වගකීම පැවරුවේ ය ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඇමතිවරයාගේ උපදෙස් මත ඇමති මණ්ඩල සංදේශ 14ක් ඉදිරිපත් කළ ද සියල්ල ප්‍රතික්ශේප කරවන්න එවකට භාණ්ඩාගාර ලේකම් වූ පී. බී. ජයසුන්දර සමත් විය. ඉදිරිපත්වන හැම අමාත්‍ය මණ්ඩල සංදේශයක්ම නිරීක්ෂණ සදහා පීබී ජයසුන්දරට ඉදිරිපත් කරන අතර ඉන්පසු ඒවා යළි අමාත්‍ය මණ්ඩලයට එන්නේ අහබ්බෙනි. ඒ ආවත් වැඩේ නොකරන ලෙස නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණි.

ඒ අතර පීබී ජයසුන්දර එවකට ඇමතිවරයකු වූ ලක්ෂ්මන් යාපා සමග එකමුතු වී රතු සීනී සුදු කරන විදේශ ආයෝජනයක් හම්බන්තොට ඇති කරන්නට සැලසුම් සකස් කරමින් තිබුණි. එහි ප්‍රකාශිත අරමුණ වූයේ ආනයනික රතු සීනි සුදු කර පිටරට යැවීම එම ආයෝජනයේ අරමුණ බවය. එහෙත් එහි ඉතා කුඩා වගන්තියක වූයේ එලෙස නිෂ්පාදනය කරන සීනි දේශීය වෙළෙද පළට ද යොමු කළ හැකි බව ය. සියල්ල පුපුරා ගියේ එතැනිනි.

ඇත්තටම දේශීයව සීනි නිෂ්පාදනය කිරීම වියදම අධික කාර්යයකි. විදේශ වෙළෙද පළෙන් සීනි ආනයනය කරන්නේ නම් ඉතාම අඩුවට දේශීය වෙළෙද පළෙහි සීනී අළෙවි කළ හැකිය. එහෙත් දේශීයව නිෂ්පාදනය කරන සුළු සීනී ප්‍රමාණය ආරක්ෂා කිරීම සදහා ආනයනික සීනි වලට අධික බදු පනවා දේශීය වෙළෙද පළෙහි සීනි මිල සමාන කර ඇත. එසේ නොවුනා නම් දේශීය සීනී මිල මෙන් භාගයක මිලකට ආනයනික සීනි අළෙවි කළ හැකිව තිබුණි. පීබී ජයසුන්දර ඒ සත්‍යය දැනගෙන සිටින්නට ඇත. එනිසා විශාල ආයෝජනයක් සහිතව හම්බන්තොට ස්ථාපනය කරන රතු සීනි සුදු කරන කම්හලක සීනී අපනයනය කර විදේශ විනිමය ඉපයීමටත් එම සීනි දේශීය වෙළෙද පළට ද අළෙවි කර සීනි මිල වෙනුවෙන් පාරිභෝගිකයන් වැය කරන උපරිමය අවම කිරීමටත් පීබී ජයසුන්දරට අවශ්‍ය වන්නට ඇත.

උක් ගසෙන් සීනි නිපදවීම යල් පැන ගිය ක්‍රමයකි. ලෝකයේ සීනි නිෂ්පාදකයන් බහුතරය සීනි නිපදවන්නේ බීට් වලිනි. ඒ සදහා වූ තාක්ෂණය ද දියුණු ය. පරණ යන්ත්‍රෝපකරණ වලින් උක් වලින් සීනි නිපදවීම ප්‍රාථමික ය. එසේම හරියාකාර උක් අස්වැන්නක් නැති නිසා සෙවනගල හා පැල්වත්තේ සීනී නිපදවූයේ වසරේ මාස හයක පමණි. විශේෂඥයන් පවසන්නේ අරය කිලෝමීටර් පහක වෘත්තාකාර ප්‍රදේශයක් අවම ධාරිතාවෙන් යුතු උක් සීනී කම්හලකට අවශ්‍ය බව ය. එවිට කම්හලට අවශ්‍ය ධාරිතාවෙන් උක් සැපයිය හැකිය. එහෙත් එවැනි ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීම දුෂ්කර ය. වසර 2012 දී මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, අනුරාධපුරය, වව්නියාව, මන්නාරම, පුත්තලම හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වලින් එවැනි වපසරියක ඉඩම් හෙව්ව ද ඒවා සොයා ගැනීමට අපහසු විය.

එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය දඩබ්බරකමකි. අපරාධයකි. එය තේරුම් ගත් නිසා දෝ පීබී ජයසුන්දර ඒ අපරාධය වැළැක්වීමට එදා කට්‍රයුතු කලේ ය. එහෙත් රාජපක්ෂගේ බත් බැලයන් අද ද උඩ පනින්නේ දේශීය සීනී නිෂපාදනයක් ගැන නන්දොඩවමිනි.

සිරිලක දේ සිරිසැප දේ යන්න කල් ඉකුත් වූ සංකල්පයකි. ඊට හේතුව නව ලිබරල්වාදී ලෝකයක් තුළ කුඩා වෙළෙද පළකට සීමාවීම අගතිගාමී බැවිනි. 1815 දී ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත්වන විට ලාංකික සමාජය පාරිභෝගික භාණ්ඩ වලින් ස්වයං පෝෂිතව තිබුණි. එහෙත් වෙළෙද පළක් නොතිබුණි. එම නිසා ගුණාත්මකභාවය අවමවීම හා සීමාසහිතවීම ආවේනික ලක්ෂණයන් වූහ.

ලෝකය සමග ගනුදෙනු නොකර අප නිපදවන දේ පාරිභෝජනය කරමින් සිටිනවා නම් ඉතා ග්‍රාම්‍ය හා ප්‍රාථමික ජීවිතයක් ගත කරන්නට අප සූදානම් විය යුතු ය. එසේ නම් මෙරටේ නිපදවන මොන මොනවා හෝ අනුභව කර පයින් ගමන් කරමින් ඉතා දුක්ඛිත ජීවිතයකට සූදානම් විය යුතුය.

එසේ නැත්නම් නිෂ්පාදන වියදම වැඩි භාණ්ඩ ආනයනය කරමින් ඒ වෙනුවට අපනයන අභිමුඛ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් ඩොලර් ගෙන්වා ගැනීමට අප ද වෑයම් කළ යුතුය. ලෝකයම වෙළෙද පළකි. ඒ වෙළෙද පළට සැපයීම ද ඒ වෙළෙද පළෙන් ලබා ගැනීම ද කලාවකි. ඊට අප සූදානම් විය යුතුය.ධනේශ්වර වෙළෙද පළ අසාධාරණ වුවත් ඒ වෙළෙද පළෙන් කොන් වී සිටින්නට අපට නොහැකිය.

1978 ට පෙර වෙළෙද පළේ කළ දේ දැන් කළ නොහැකිය. එහෙත් ප්‍රාථමික මට්ටමෙන් යමක් නිපදවා ඒ නිපදවීමට ද මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවා “අප ලාභ ලැබුවා” යැයි සතුටුවිය හැක්කේ මෝඩ දේශපාලන කුහකයන්ට හා දුපත් මානසිකයන්ට පමණි. සීනීවල මෙරටේ නිෂ්පාදන වියදම අධික ය. බ්‍රසීලය වැනි රටවල අඩු වියදමකින් නිෂ්පාදනය කරන සීනි මෙරටට ආනයනය කර ඔයිට වඩා අඩුවට පාරිභෝගිකයන්ට අළෙවි කළ හැකිය. එසේත් දේශීයව නිපදවන්නට යෑම නිසා ඒවායේ ඉහළ මිල ආරක්ෂා කිරීමට ආනයනික සීනි වලට විශාල බද්දක් අය කෙරේ.

ඒ නිසා පාරිභෝගිකයන්ට තම මාසික බිලෙන් විශාල වැය බරක් දැරීමට සිදුවන්නේ සීනි වලට ගෙවන බදු මුදලටයි. ආර්ථික ජාතිකවාදීන් සියරට දේ සිරි සැප දේ කියමින් නිෂ්පාදන වියදම වැඩි සීනි නිදපදවමින් ගොන් ආතල් ගන්නා විට ඒ ආතල්වල පැවැත්ම සහතික කිරීමේ වන්දිය ගෙවන්නට වන්නේ පාරිභෝගිකයන්ටයි. ඒ අනුව මිල දී ගන්නා සෑම සීනි කිලෝග්‍රෑමයකට රුපියල් 50කට අධික බදු මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා පාරිභෝගිකයන්ට සිදුවේ.මෝඩ නායකයන් රටකට පත් කර ගන්නා විට ඊට වඩා යහපතක් සමාජයට සිදුවන්නේ ද නැත.

ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය නිෂ්පාදන වියදම ඉතා වැඩි ඒ නිසා එහි වන්දිය පාරිභෝගිකයනට ගෙවන්නට සිදුවන ක්‍රියාවක් බව කොතෙක් පැහැදිලි කළත් එය තේරුම් ගන්නට බොහෝ අයට නොහැකිවීම කනගාටුවට කරුණකි. තවදුරටත් දේශීයව සීනි නිෂ්පාදනය කළ යුතු යැයි මගේ විශ්ව විද්‍යාල සගයකු ද කීම මට මහත් ලැජ්ජාවකි. මගේ මිත්‍ර සංඛ තෙන්නකෝන්ගේ අදහසයි මේ.

” it is not just the high price if we produce locally. It is the foreign reserves we can retain. I heard this argument back when Kanthale and Hingrana were fully functional. A newspaper article explained it clearly, and it is still valid. I just read how Harry Jayawardena managed to run the Sevanagala profitably.”

මේ අදහස නිවැරැදි නොවේ. දේශීය වෙළෙද පළේ සීනී කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 100ක් පමණ වන විට ආනයනික සීනි කිලෝග්‍රෑමයක CFI මිල රුපියල් 50ක් ලෙස සැලකිය හැකිය. එවිට දේශීය සීනි කර්මාන්තය කඩා වැඩේ. එනිසා ආණ්ඩුව කරන්නේ ආනයනික සීනි වල විශාල බද්දක් පනවා දේශීය සීනි මිල ආරක්ෂා කිරීමයි. දේශීය සීනි නිෂ්පාදකයන් එතනෝල් නිෂ්පාදනය කරමින් පවා ලාභ පෙන්වන්නේ ආණ්ඩුව විසින් වෙළෙද පළ මිල පාලනය කරන නිසා ය. ඔවුන් ලබන ඒ ලාභය වෙනුවෙන් වන්දි ගෙවන්නේ දේශීය පාරිභෝගිකයන් ය. එවිට ඒ ලබන ලාභය සත්‍ය ලාභයක් ද? ඇත්තටම දේශීය සීනි නිෂ්පාදකයන් ලාභය යැයි පෙන්වන්නේ පාරිභෝගිකයන් විසින් ගෙවන වැඩිපුර මිල ය. ආනයනික සීනි වලට සාමන්‍ය ලෙස බදු පැනවීමක් කළා නම් දේශීය සීනි කර්මාන්තය මිහිපිට ඉතිරි නොවේ. මේ සත්‍ය භාණ්ඩාගාර ලේකම්ව සිටි පීබී ජයසුන්දර මනා ලෙස දැන සිටියේ ය.

රාජපක්ෂ වටා සිටින දූපත් මානසිකත්වයෙන් යුතු ව්‍යාජ ජාතිකවාදීන්ගේ මතය වන්නේ කොරෝණා වැනි ව්‍යසනයක දී ඊට මුහුණ දීමට සියල්ල දේශීයව නිෂ්පාදනය කිරීම යෝග්‍ය බව ය. ඔය කියන්නේ අන්තර් ජාතික වෙළෙදාම ගර්හිත වී ඇති නිසා පැන නගින තත්ත්වයන් තුළ ප්‍රශ්නකාරී නොවන ලෙස වෙළෙද පළ හැසිරීමට නම් දේශීයව සියළු දේ නිෂ්පාදනය කළ යුතු බව ය. එය අගති සහගත තර්කයක් වන්නේ දේශීයව මොනවා නිෂ්පාදනය කළත් ඛණිජ තෙල් නිෂ්පාදනය කරන්නට නොහැකි නිසා ය. සමස්ත ආර්ථිකයම රදා පවතින්නේ ඛණිජ තෙල් මත ය. එහෙත් ඛණිජ තෙල් ආනයනය කරන්නේ නම් අනෙක්වා දේශීය නිෂ්පාදනය කිරීමේ හදිසිය පැහැදිලි නැත.

ඔවැනි තර්කයක් මා මුල් වරට දුටුවේ ලංකාවේ විශිෂ්ඨ ධනපති දේශපාලකයකු වූ එසේම නව ලිබරල්වාදී වෙළෙද පළ මනාව තේරුම් ගෙන සිටි ලලිත් ඇතුලත්මුදලිගෙනි. වී ගොවිතැන අත්හල යුතු බවට විදේශ මූල්‍යායතන දිගින් දිගටම පවසද්දී ලලිත් ඇතුලත්මුදලී පැහැදිලිවම ප්‍රකාශ කළේ වී වගාව අප අත් නොහරින බවත් අන්තර් ජාතික වෙළෙදාමේ අර්බූදයක් ඇතිවූ විට අපේ ආහාර සුරක්ෂිතතාව තහවුරු වන්නේ එමගින් පමණක් බව ය. එය හරියටම හරි කතාවකි. ලාංකිකයන් ප්‍රධාන ආහාරය ලෙස භුක්ති විදින්නේ බත් ය. බත් ලබාදෙන වී ගොවිතැන අත්හල හොත් අන්තර් ජාතික අර්බූදයක දී බරපතල ප්‍රශ්නයකට මුහුණ පාන්නට සිදුවේ. ආහාර සුරක්ෂිතාව බිද වැටේ. අපට බඩ ගින්න්නේ ඉන්නට සිදුවේ. ඒ නිසා මුළු වැර යොදා වී වගාව ශක්තිමත් කළ යුතුය.

නමුත් සීනි යනු අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. මා මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ පවසන්නා සේම සීනි පාරිභෝජනය නිසා සෞඛ්‍යය ආරක්ෂාවට තදබල ගැටළු නිර්මාණය වී ඇත. එය ඇත්තකි. අන්තර්ජාතික දියවැඩියා සංගමයේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 11.6ක් දියවැඩියාවෙන් පීඩා විදී. එය රටේ සමස්ත ජන සංඛ්‍යාවෙන් 8.5%කි. සැම පුරවැසියන් දොලොස්දෙනෙකුටම එක් අයෙක් දියවැඩියාවෙන් පීඩා විදින රටක් දේශීයව සීනි නිෂ්පාදනය කරන්නට හැකියාවන් බැලීමත් ඒ නිෂ්පාදනයේ ලාභ පෙන්වමින් ගොන් ආතල් ගැනීමත් විහිළුවකි.

මෙවැනි වාතාවරණයක් තුළ ලෝකයේ පවතින ප්‍රවනතාව වන්නේ සීනි පාරිභෝජනය අත්හැරීමය. ඒ සමගම විවිධ දෑ සීනි වලට විකල්පයක් ලෙස භාවිතා කිරීම ය. ශ්‍රී ලංකාවේ සීනි වලට විකල්පයක් ලෙස භාවිතා කිරීමට හැකි ප්‍රාථමිල මට්ටමේ ද්‍රව්‍යයන් වන්නේ කිතුල් නිෂ්පාදනයන් ය. කිතුල් පැණි හා කිතුල් හකුරු නිෂ්පාදන වියදම ඉතාම කුඩා මට්ටමක පවතින සීනි වලට කදිම විකල්පයන් ය. ඒවා ද දියවැඩියාවට හේතුවන බව ඇත්ත වුවත් සීනි වලට විකල්පයක් ලෙස කිතුල් හකුරු හා පැණි භාවිතයට ගත හැකිය.

ස්ටේවියා නම් පැලෑටියෙන් නිෂ්පාදිත දෑ සීනි වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කිරීම අද ලෝකයේ ලොකු ප්‍රවනතාවකි. දකුණු ඇමරිකාව නිජබිම වූ ස්ටේවියා ශාඛය ලෝකය පුරා වගා කළ හැකිය. එලෙස වගා කරන ස්ටේවියා පැළෑටියෙන් සීනි වලට වික්ලපයක් නිෂ්පාදනය කර භාවිතයට ගැනීම ලෝකය පුරාම සිදුවේ. ආසියාවේ මහජන චීනය හා ඉන්දියාව වැනි රටවල ද ස්ටේවියා වගා කර ඒ ආශ්‍රයෙන් නිපදවන දෑ පාරිභෝජනයට ගනී.

ශ්‍රී ලංකාවේ ආර්ථික ජාතිකවාදීන්, සියල්ල දේශීයව නිෂ්පාදනය කිරීමේ බොළද සංකල්පය දෝතින් දරාගෙන සිටිය ද මෙවැනි අලුත් ප්‍රවනතා ගැන කිසිම උනන්දුව්ක දක්වන්නේ නැත. ඊට හේතුව ඔවුන් සතු අඩු දැනුම හා ඔවුන් සම්ප්‍රදායිකවාදීන්විම ද විය හැකිය. අලුත් අලුත් නිෂ්පාදන හා නිර්මාණයන් ගැන ඔවුන් දක්වන්නේ අඩු සැලකිල්ලකි. ඊට හේතුව ඔවුන් ලංකාවේ පාදඩ ව්‍යාපාරික ප්‍රජාවේ, වෛද්‍ය ගුණදාස අමරසේකරගේ වචනයෙන් කිවහොත් වසල වෙළෙද කුළයේ සුරතලුන්වීම ය. 1978 දී ආර්ථිකය ප්‍රතිසංස්කරණය වී වෙළෙද පළ පුළුල් විය. එහිදී එහි බලය අල්ලා ගත්තේ කෘෂි හෝ කාර්මික හෝ ධනපති පන්තිය නොවේ. ඒ අවකාශය පිරවූයේ සේවා ආර්ථිකයේ පාදඩ ධනය ඇති පන්තියයි. මේ ජාතිකවාදීන් ඒ පාදඩ ධනය ඇති පන්තියේ සුරතලුන් ය. එනිසා සීනි වලට නිර්මාණශීලී විකල්පයක් තනා ගැනීම වැනි කාරණා වලදීත් ඔවුන් ඉන්නේ වැඩවසම්වාදී අදහස් වල ය. ඒ පෙර කී වසල වෙළෙද කුලය තෘප්ත කිරීම ඔවුන්ගේ එකම ඉලක්කය වන බැවිනි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    Interesting article, rich with information. Sorry for being unable to comment in Sinhala.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.