19 April, 2024

Blog

ගෝඨාභය​ට බිය වන්නේ ඇයි?

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

2014 වර්ෂය අවසන් වෙමින් පවතින විට ලංකාවේ දේශපාලන තත්ත්වය උණුසුම් වෙමින් තිබුණේ පාලක රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට මහ ජනතාව තුළ වූ නොතිත් ආශාව නිසා ය. වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්නට සියළු සාධක පෙළගැසෙමින් තිබුණේ රෙජීමයේ දේශපාලන අර්බූදය ඊට සාපේක්ෂව ඔඩුදුවමින් තිබූ නිසා ය. ඒ අතර 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර තිබුණ නිසා මහින්ද රාජපක්ෂට තුන්වනවරටත් ජනාධිපතිවරණයට තරග කරන්නට හැකිදැයි කුකුසක් සමාජය තුළ නිර්මාණය වෙමින් තිබුණි. 

මේ කුකුස පාදක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ “මහින්දට තුන් වරක් බෑ” යැයි කියමින් දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් හා විරෝධයක් සංවිධානය කළේ ය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ලැජ්ජා භයක් නැතිව ඒ විරෝධය සදහා හිටපු අගවිනිසුරුවරයකු වූ කුප්‍රකට සරත් එන් සිල්වා ද සහභාගී කර ගත්තේ ය. ඔවුන්ගේ ඉලක්කය වූයේ ව්‍යවස්ථාවේ තාක්ෂණික ප්‍රශ්නයක් පෙන්වමින් මහින්ද රාජපක්ෂව තරගයෙන් ඉවත් කර තැබීමයි. 

මහින්ද රාජපක්ෂව දේශපාලනිකව පරාජය කළ යුතුව තිබූ මොහොතක නීතියේ තාක්ෂණික ප්‍රශ්නයක් පෙන්වා ඔහුව තරගයෙන් ඈත් කර තැබීමට උත්සාහ කිරීම දේශපාලන අඥාණකමකි. එවෙලේ කළ යුතුව තිබුණේ ව්‍යවස්ථාමය බාධාවන් නොසලකා මහින්ද රාජපක්ෂව තරගකරුවකු වන්නට ඉඩ දී ඔහුව දේශපාලනිකව පරාජය කිරීමයි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එල්ලෙන්නට ගියේ පිදුරු ගහක ය. නමුත් මහින්ද රාජපක්ෂට තෙවන වරටත් තරග කරන්නට හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග ජනතා විමුක්ති පෙරමුණේ අදේශපාලනික උත්සාහය පරාජය විය. එසේම මහින්ද රාජපක්ෂව දේශපාලනිකව පරාජය කරන්නට ද මේ රටේ ජනතාවට අනගි අවස්ථාවක් ලැබුණි. 

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂව තෝරා පත් කර ගන්නට යන බව පෙනෙන්නට තිබේ. මේ අවස්ථාවේ දී රාජපක්ෂ කදවුරට සිටින ආකර්ශනීයම අපේක්ෂකයා ඔහු බව නිසැකයෙන්ම කිව හැකිය. වෙන කිසිම රාජපක්ෂවාදී අපේක්ෂකයකුට වඩා රාජපක්ෂවාදයේ දේශපාලන නිමිත්ත වන සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය නියෝජනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එනිසා සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී සමාජ තීරුව වඩාත්ම තෘප්ත කළ හැක්කේ ද ඔහුට ය. කෙටියෙන් කිවහොත් සමස්ත රාජපක්ෂවාදී කදවුරම එක මිටට ගත හැක්කේ ඔහුට ය. 

මැතිවරණයක දී ප්‍රතිවාදියා ශක්තිමත්ව තරග කරනවා දකින්නට කිසිවෙක් කැමැති නැත. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් වන තරමට ඔහුගේ ප්‍රතිවාදියාට වාසිදායක වන්නේ ය. ඊට හේතුව ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් කරන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයවීමයි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ශක්තිමත් වන විට සිංහලබෞද්ධ නොවන ජන කොටස් කිසිවිටෙක ගෝටාභය රාජපක්ෂ වටා එකතු වන්නේ නැත. එය රාජපක්ෂවාදය ප්‍රතික්ශේප කරන්නන්ගේ ජයග්‍රහණයයි. 

නමුත් බොහෝ පිරිස් බලාපොරුත්තු වන්නේ තාක්ෂණික හේතූන් මත ගෝඨාභය රාජපක්ෂ තරගයෙන් ඉවත්වනවා දකින්නට ය. ඔහුගේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉස්මතු කර දක්වමින් ඔහු තරගයෙන් ඉවත් කර තබන්නට කටයුතු කිරීම දේශපාලන නොදැනුවත්කමකි. එසේම රාජපක්ෂ පවුලේ අසමගිය හා කල්ලිවාදීකම් හුවා දක්වමින් ගෝටාභය රාජපක්ෂට අපේක්ෂකත්වය අහිමිවීම අපේක්ෂා කිරීම ද දේශපාලන මුග්ධකමකි. එනිසා කළ යුත්තේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වීම දිරිගැන්වීමයි.

මේ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක රාජපක්ෂ පාර්ශ්වයේ පරාජය ඔප්පු කරන්නට ගණිතමය තර්කයක් ගෙන එමින් සිටී. ඔහුගේ තර්කයට අනුව වලංගු ඡන්ද ලක්ෂ 65 – 70 ත් අතර ප්‍රමාණයක් ජනාධිපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ඡන්ද ලක්ෂ 49කින් ජයග්‍රාහකයා තෝරා ගන්නට නොහැකි බවත් ඔහු පවසයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉංජිනේරු උපාධිධාරියෙකි. එනිසා ගණිතය පිළිබදව මනා හසල දැනුමක් ඔහුට තිබෙන බවට වාදයක් නොමැත. එහෙත් ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා ඡන්ද ලක්ෂ 65-70ක් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කරන්නේ එක්තරා උපකල්පනයක් මත ය. 

අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ උපකල්පනය වන්නේ ඉදිරි ජනාධිපතිවරණයක දී මෙතෙක් සිදුවූ පරිදිම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු පමණක් තරග කරනු ඇති බවයි. එවැනි වටපිටාවක දී පාවිච්චි කරන වලංගු ඡන්ද 135-140 අතර ප්‍රමාණයෙන් පැහැදිලි බහුතරය ලබන්නට ඡන්ද ලක්ෂ 65-70ක් අවශ්‍ය විය හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ 2015 මහා මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලන සැකසුම වෙනසකට ලක්ව තිබීමයි. 

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රධාන දේශපාලන ධාරා තුනක් තරග වැදුණි. ඒ නිසා කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරය වන පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් හෝ නොලැබුණි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 40.47%ක් ද එක්සත් ජාතික පක්ෂය 29.42%ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12.10%ක් ද ලබා ගත්හ. පෙනෙන්නට තිබෙන දේශපාලන චිත්‍රය අනුව ඉදිරි ජනාධිපතිවරණයක දී ද ප්‍රධාන දේශපාලන ධාර තුනකින් අපේක්ෂකයෝ තරග වදින්නට නියමිත ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එම දේශපාලන ධාරාවන් ය. එවිට කිසිම අපේක්ෂකයකුට ජයග්‍රහණය සදහා අවශ්‍ය පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් හා තවත් එක් ඡන්දයක් ලැබේ යැයි කිව නොහැක.

එවිට සිදුවන්නේ ජනාධිපතිවරණ සමස්ත ප්‍රතිඵලයේ පළමු හා දෙවැනි ස්ථාන දිනා ගත් අපේක්ෂකයන්ට ලැබෙන, සෙසු අපේක්ෂකයන්ගේ දෙවැනි මනාපය ගණන් කිරීමයි. මෙහිදී තුන්වන ස්ථානයට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා බවට තර්කයක් පැන නොනගී. තුන්වන ස්ථානය හිමිකර ගන්නා අපේක්ෂකයා ලබා ගන්නා ඡන්දවල දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂට ලබා නොදෙන්නට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර ගැටුමක් නොමැත. ඒ නිසා එවැනි දේශපාලන ධ්‍රැවීකරණයක දී ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබා ගන්නට වැඩි ඉඩකඩක් පවතී. එවිට අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ගණන් බැලීම් නිවැරැදි නොවන්නේ ය.

මේ තත්ත්වය වෙනස් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා විය හැකි ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ හැක්කේ ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ දී දෙවැනි මනාපය සලකා බලන්නට යොමු නොවන පරිදි පළමු මනාපයෙන්ම ජනාධිපතිවරයා තෝරා පත් කර ගත හැකි වන ලෙස ඡන්ද පාවිච්චි කර තිබුණහොත් පමණි. ඒ සදහා ප්‍රධාන පක්ෂ තුනටම ඡන්ද බෙදී යන පරිදි දේශපාලන අවකාශය ධ්‍රැවීකරණයවීම වැළැක්විය යුතු ය. ඡන්දදායකයාට නිශ්චිත අපේක්ෂකයකු තෝරා ගැනීමට හැකිවන පරිසරයක් නිර්මාණය කරන්නේ නම් එය පහසු ක්‍රියාවකි.  ඒ සදහා සමස්ත ඡන්දදායකයාට සැකයකින් තොරව නිශ්චිත එක් අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කිරීමට හැකි අවස්ථාවක් ලැබිය යුතු ය. 

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන මතවාදයේ නිමිත්ත වන සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට මුළුමනින්ම එරෙහි දේශපාලන වැඩපිළිවෙලක් ශක්තිමත්ව නිර්මාණය කර ගැනීම මේ සදහා පවතින උපක්‍රමික ප්‍රවේශයයි. ඒ අනුව එය අමුතු වැඩපිළිවෙලක් නොවන අතර 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වටා එකතු වූ බලවේගයන්ම වඩා ශක්තිමත් කිරීමක් වන්නේ ය. ඇත්තටම 2015 ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුව කළේ ඒ බලවේගයන් රැවටීමකි. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හා සංහිදියාව ඇති කිරීම සදහා ලබාදුන් පොරොන්දු ජයග්‍රහණයෙන් පසුව ආණ්ඩුව විසින් තුට්ටුවකට මායිම් නොකරන ලදි. ඒ වෙනුවට ආණ්ඩුව ගමන් ගත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී විසිල් බලාපොරුත්තුවෙන් වූ ගමනකි. 

පළමුව අවශ්‍ය කරන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් නොව දේශපාලන ප්‍රතිසංස්කරණයන් ය. රාජපක්ෂවාදයේ ප්‍රතිඵලය වූ හොරකම, මැරකම, වංචාව හා දූෂණයට එරෙහිව කිසිවක් නොකර ඒ සමගම ඔවුන් හා පෞද්ගලික සබදතා ගොඩනගා ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ විට සමාජය වෛර බැද ගත්තේ ය. එනිසා 2015 ජනාධිපතිවරණ මහජන අභිලාශයන් වටා එක් රොක් වූ සමාජ කොටස් බිදී විසිරී ගියහ. අලුත් ආකාරයකින් ජව සම්පන්නව ශක්තිමත් කර ගනිමින් ඒ මහජන අභිලාශයන් ක්‍රියාකාරී කර ගන්නට නම් කළ පව් සමාකර ගත යුතුව තිබේ. එහෙත් ඒ සදහා අලුත් මුහුණක් අත්‍යවශ්‍ය වේ. ඒ මුහුණ රාජපක්ෂවාදයට ව්‍යුහාත්මකව හා ආකෘතිමය ලෙස වෙනස් වූ නව නායකත්වයක් මිස රාජපක්ෂවාදී දේශපාලනයේ උප කුලකයන් නොවිය යුතු ය.

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය තුළ රාජපක්ෂවාදයට තරගයක් නොමැත. එනිසා තරගයට මෙන් පන්සල් පල්ලි ගානේ යමින් අවුරුදු චාරිත්‍ර කෙටි පණිවුඩ කර එවමින් තමන් ජාතිකවාදීන් යැයි හදුන්වා ගන්නට ආණ්ඩුවේ නායකයන් දරන තැත විහිළුවකි. පුරා වසරක් ආණ්ඩුවේ නායකයන් පන්සල් පල්ලි ගානෙ දණෙන් ගිය ද එක මොහොතකට රාජපක්ෂවරයකු පන්සලකට ගිය සැනෙන් ජාතිකවාදී ඡන්ද රාජපක්ෂ ගොඩට එකතු වන්නේ ය. කොච්චර තිත්ත වුවත් ඇත්ත එය ය. එනිසා කළ යුත්තේ ජාතිකවාදී සිංහලබෞද්ධ ඡන්ද ගොඩ දෙපළු කර ගැනීමට මහන්සිවීම නොවේ. කළ යුත්තේ හැකි තරම් වෙර යොදා සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයෙන් ඉවත්වීමයි.

එවිට ප්‍රජාතන්ත්‍රවාදය අගයන විවෘත චින්තනයක් හිමි බහුතර ජන කොටස සමග දේශපාලන සම්මුතියකට යා හැකිය.ඒ ජන තීරුව සමග විවෘතව අත්වැල් බැද ගැනීමකින් පමණක් ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා අවශ්‍ය ලක්ෂ 65-70 අතර ජනබලවේගය ගොඩ නගා රාජපක්ෂවාදය නැවතත් දේශපාලනිකව පරාජය කළ හැකි බව ඉදුරාම කිව හැකිය. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.