20 February, 2020

Blog

 ජනාධිපතිවරණයේ දී මාක්ස්වාදීන්ගේ ඉලක්කය මොකක්ද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

රටට විකල්ප නායකයකු අවශ්‍යය යන්න කොළඹ කේන්ද්‍රීය සංවාද මණ්ඩපවල කතාවූයේ බොහෝ කලක පටන් ය. ඒ නිසා සම්ප්‍රදායික පක්ෂ දේශපාලනයට එරෙහිව මෙවර ජනාධිපතිවරණයේ දී විකල්ප දේශපාලන ව්‍යාපාරයක් බිහිවූ අතර ඊට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙ ඊට කැප කිරීමක් කළ අතර පක්ෂ නාමය, සලකුණ, රතුපාට පමණක් නොව පක්ෂ ප්‍රතිපත්ති පවා යම් තරමකට පැත්තකින් තැබුවේ ය. සමාජවාදී නොවන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රජාතන්ත්‍රවාදීන් හා යහ පාලනය අගය කරන්නන් සමග ඔවුහු එකතු වූහ.

ආරම්භයේ පටන්ම ප්‍රශ්නයක් වූයේ ජනාධිපතිවරණය වැනි මැතිවරණයක දී විකල්පයක් තරග කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය කුමක් ද යන්නයි. ඇත්තටම පවතින සංදර්භය තුළ අනුර කුමාර දිසානායකට ජයග්‍රහණය කළ නොහැකි බව පිළිගැනීම තිත්ත ඇත්තකි. එය දැන දැනම එම දේශපාලන බලවේගය ශක්තිමත් කිරීමේ අරමුණ  විසදා ගැනීමට නොහැකිවිය. ඒ නිසා තැබූ ෆේස්බුක් සටහනකට  දෙදෙනෙක් හෝ තිදෙනෙක්  හෝ පමණක් යම් තරමක පිළිතුරක් ලබා දී තිබුණි. බහුතරය ලබා දී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ ආධානග්‍රාහීව අදහන සාමාජිකයන්ගේ මතයයි. සාධාරණ පිළිතුරක් ලබා දී තිබූ අය ද මතු කළ දෘෂ්ටිමය ගැටළුව විසදා ගැනීමට සහාය නොවීය.

වෙනත් සංවාදයක දී ආචාර්ය නිර්මාල් දේවසිරි අපූරු අදහසක් පවසා තිබුණි. ඔහු පවසා තිබුණේ තමා අනුර කුමාරට සහාය දෙන්නේ ගෝටාභයගේ ජයග්‍රහණය බලාපොරුත්තුවෙන් බවත් හා සම්ප්‍රදායික ධාරාවේ දේශපාලනයට වඩා වෙනස් දේශපාලනයක් අනුර කුමාර නියෝජනය කරන නිසා බවත් ඔහුට තම ඡන්දය ප්‍රකාශ කරන බවත් ය. එසේම ගෝටාභය පරාජය කිරීමට නම් කළ යුත්තේ සජිත්ට මුළු වැර යොදා සහායදීම බව ද ඔහු විවෘතවම ප්‍රකාශ කර තිබුණි.

ආචාර්ය නිර්මාල්ගේ එම අදහස තුළ න්‍යායාත්මක වලංගුභාවයක් පවතී. ඔහු කියන්නේ ගෝටාභය පරාජය කිරීමට නම් සජිත්ට සහායදිය යුතු බව ය. අනුර කුමාරට සහාය දීමෙන් ගෝටා පරාජය කළ නොහැකි බව ය. ඔහු අනුර කුමාරට සහාය දෙන්නේ ගෝටාට ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලබාදීම සදහා බවත් එසේම ගෝටා වැනි ආඥාදායකයකු බලයට පත්වූ විට එම ක්‍රමය පරාජය කිරීමේ මහජන නැගී සිටීමක් නිර්මාණය වන බවත් ය. (අවධාරණය මගේ)

තවත් දේශපාලන ක්‍රියාකාරිකයකු වන   විදර්ශන කන්නන්ගර පවසන්නේ ආචාර්ය නිර්මාල් පවසන අන්දමේ සමාජ තත්ත්වයක් ලෝකයේ කොහේවත් නිර්මාණය නොවන බව ය. එනම් ආඥාදායකයකු බලයට පත්වූ පසුව එම ක්‍රමයට එරෙහි විකල්පයක් මහජනයා අතුරින් පැන නැග එම සමාජය රැක ගැනීමක් සිදු නොවන බව ය. එනිසා විදර්ශන පවසන්නේ ගෝටාගේ ආඥාදායකත්වයට මුහුණදීමට තමන් සූදානම් බවත් එසේ නොමැතිව ධනපති පන්තියේ කිසිම පාර්ශවයකට තමන් ගෝටාගෙන් ගැලවීම සදහා යැයි කියමින් සහාය නොදෙන බවත් ය. ඒ වෙනුවට තමන් කරන්නේ විකල්පය ශක්තිමත් කර සමාජවාදී අභිලාශයන් වර්ධනය කරන බවත් ය. (අවධාරණය මගේ)

ආචාර්ය නිර්මාල්ට පිළිතුරු දෙන්නට යන විදර්ශන පරස්පරයක් මතු කරන බව මගේ හැගීමයි. ගෝටා ආවොත් ආඥාදායකත්වයට එරෙහිව මහජන නැගීසිටීමක් ඇතිවන බවට වූ ආචාර්ය නිර්මාල්ගේ මතය කන්නන්ගර විසින් සහතික කරන බව  හැගෙන්නේ ” අපි ගෝටාට මුහුණදෙන්න සූදානම්” වන බවට ඔහු පළ කරන අදහසෙනි. “අපි සූදානම් වනවා” යනු මහජන නැගීසිටීමක ආරම්භයේ සලකුණකි. එහෙත් ඔහු “විකල්පය ශක්තිමත් කරනවා” යැයි කියමින් පෙරලා පෙනී සිටින්නේ නිර්මාල්ගේ අදහස වෙනුවෙන්ම ය. ඒ අනුව ආචාර්ය නිර්මාල් මෙන්ම විදර්ශන ද පෙනී ඉන්නේ විකල්පය ශක්තිමත් කිරීමට ය. නමුත් විදර්ශනගේ විකල්පය අනුර කුමාර ද දුමින්ද නාගමුව ද යන්න පැහැදිලි නැත.

ජයග්‍රහණය කළ නොහැකි ජනාධිපතිවරණයකට අනුර කුමාර තරග කළත් දුමින්ද නාගමුව තරග කළත් ප්‍රතිඵලය එක හා සමාන වේ. එක් ප්‍රතිලාභයක් වන්නේ පරාජය වී තමන් මෙපමණ ඡන්ද සංඛ්‍යාවක් ලැබුවා යැයි ස්වයං මෝහනයකට පත්වීමට හැකිවීම ය. දෙවැන්න පරාජය වුවද පළමු වටයෙන් තේරී පත්වීමට ප්‍රධාන අපේක්ෂකයන්ට අවස්ථාවක් නොදී දෙවන වටය ගණන් කිරීමට සලස්වා විකල්පයක හයිය රටට හා ප්‍රධාන ධාරාවේ පක්ෂ වලට පෙන්නීමට හැකිවීම ය. පළමු ප්‍රතිලාභය සමාජයට අල්ප වූ වාසියක් අත්කර නොදෙයි. එහෙත් දෙවැනි ප්‍රතිලාභයෙන් සමාජයට යම් වාසියක් අත්කර දෙයි. අවාසනාව වන්නේ පවතින වතාවරණය තුළ දෙවැනි වටය ගණන් කරන තැනකට ජනාධිපතිවරණය තල්ලු කිරීමට විකල්ප අපේක්ෂකයාට හයියක් නොවීමයි.

 විකල්පයේ කාර්යභාරය කුමක් ද?

ධනපති සමාජයක ජනාධිපතිවරණයක් යනු විකල්ප බලයක් පෙන්වීමට අවස්ථාවක් නොවන බවත් එහිදී කළ යුත්තේ උපරිම ප්‍රගතිශීලීත්වය තෝරා ගැනීම බවත් න්‍යායාත්මකව ප්‍රස්තූත ගත නොකළ ද 1994 දී පටන්ම ජනතා විමුක්ති පෙරමුණ ඊට අනුව කටයුතු කළේ ය. 1994 දී අපේක්ෂකයකු ඉදිරිපත් කළ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රගතිශීලී ගිවිසුම යටතේ තරගකරු තරගයෙන් ඉල්ලා අස්විය. 2005 දී තමන් නිවැරැදි යැයි සිතූ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ද 2010 දී සරත් ෆොන්සේකා වෙනුවෙන් ද 2015 දී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ද සම්පූර්ණ සහාය දී වැඩ කලේ ය. වෙනස් තත්ත්වයක් ඇතිවූයේ 1982 දී හා 1999 දී ය. පළමු අවස්ථාවේ දී න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ද දෙවැනි අවස්ථාවේ දී න්‍යායාත්මකව ද ජවිපෙ ප්‍රපාතයකට ඇද වැටුණි.

ඇත්තටම විකල්ප දේශපාලන බලවේගයක් මුළු වැර යොදා සටන් කළ යුත්තේ ජනාධිපතිවරණයක් නොවන වෙනත් ඕනෑම මැතිවරණයක දී පමණි. ජනාධිපතිවරණයකට සටන් කර ආශ්වාදයක්  ලබා ගත හැකි වුවද පරාජයකින් කෙලවර වන සටනකින් පසුව කේඩරයන් කළකිරීමට හා අතෘප්තියට පත්වීම වැළැක්විය නොහැකිය. එවැන්නක් විකල්ප දේශපාලන ව්‍යාපාරයකට අත්පත් කර දෙන්නේ බලවත් ව්‍යසනයකි.

එසේම ආචාර්ය නිර්මාල් අදහස් කරන පරිදි ධනපති ආඥාදායකයාට බලයට පත්වන්න ඉඩ දී සමාජයෙන් ඊට එරෙහිව මහජන නැගී සිටීමක් බලාපොරුත්තුවීම ද අගතිදායක ය. එසේම එවැනි උපක්‍රමයක් බලවත් ලෙස සමාජය අනතුරට හෙළා දේශපාලන ප්‍රශ්න වලට විසදුම් සෙවීමකි. ලෝක ඉතිහාසය පුරා ඇත්තේ එවැනි බලාපොරුත්තුවීම් විශාල විනාසයකින් කෙලවරවූ අත්දැකීම් ය. ඒ සම්බන්ධව කවුරුත් පිළිගන්නවා ඇත්තේ එවැනි විසදුමක් සුමට ලෙස නොව බලවත් හානියකින් පසුව සිදුවිය හැක්කක් ලෙසිනි.

මේ නිසා 1994 දී, 2005 දී 2010 දී මෙන්ම 2015 දී ද ජවිපෙ ප්‍රධාන විකල්පය ලෙස උපක්‍රමිකව අනුගමනය කළ දේශපාලන ක්‍රියාමාර්ගය ඇගයිය යුතු ය. විශේෂයෙන් 2015 දී ආඥාදායක ධනපති පිළට එරෙහිව ලිබරල් ධනපති පිළ ශක්තිමත් කිරීම නිසා සමාජය ලැබූ ප්‍රතිලාභයන් අතිමහත් ය. රාජපක්ෂ පිළේ අවස්ථාවාදීන් කුමක් ප්‍රකාශ කළ ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සදහා 2015 බලයට ආ දේශපාලන බලවේගය විසින් කරන ලද කාර්යභාරය අති මහත් ය. එවැනි දේශපාලන කාර්යභාරයක් විකල්පය වෙනම තරග කිරීමෙන් කළ නොහැක.

විකල්පය වෙනම තරග කර මුළු ශක්තිය යොදා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව වැඩි කර ගැනීම නම් අනිවාර්යෙන්ම කළ යුතුය. ඒ වැඩිකර ගැනීමේ වාසිය වඩාත්ම ප්‍රායෝගිකව ඔප්පු කරන්නේ ජවිපෙයි. සුනිල් හදුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති වශයෙන් ඉටු කරන කාර්යභාරය ප්‍රතිසංස්කරණවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක කිසිසේත් ප්‍රතික්ශේප කළ නොහැක.

ඒ අනුව ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එරෙහිව සටන් කරන විකල්ප දේශපාලනයකට වුවද ජනාධිපතිවරණයක දී අනුගමනය කිරීමට ඇත්තේ එකම එක විකල්පයකි. එනම් ධනපති පන්තියේ ආඥාදායකයාට එරෙහිව ලිබරල්වාදියා ශක්තිමත් කිරීම ය. දෙදෙනාගෙන් කවුරු බලයට පත්වුවත් ගෝලීය ධනේශ්වරය සක්‍රියව කටයුතු කරන බව ඇත්ත ය. එහෙත් ආඥාදායකයාට වඩා ලිබරල්වාදියා ප්‍රශස්ත ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදියාට පමණක් නොව සමාජවාදී විප්ලවවාදියාට ද තම අරගලය ශක්තිමත්ව කළ හැක්කේ යහපත් සමාජ දේශපාලන වටපිටාවක් ඇත්නම් පමණි. 2015 දී ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළේ එම උපාය උපක්‍රමයයි.

 කළ යුත්තේ කුමක් ද?

කුමන දේශපාලන සංදර්භයක් යටතේ වුවද  මාක්ස්වාදී දේශපාලනය කන්‍යා පටල ආරක්ෂා කර ගනිමින් කළ යුතුය යන්න ට්‍රොස්කිවාදී අදහසකි. ඒ අනුව  එවැනි දේශපාලනයක්  සමාජවාදී සමානතා පක්ෂය හතරවැනි ජාත්‍යන්තරය හා සම්බන්ධවෙමින් ප්‍රශස්ත ලෙස කරමින් සිටී. ඔවුන්ගේ අදහස ධනේශ්වරයට එරෙහිව මාක්ස්වාදය ට්‍රොස්කිවාදීව අනුගමනය කිරීමයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සමාජ ව්‍යාපාරයේ අති ගෞරවය පිරිනැමිය යුතුය. එහෙත්  න්‍යායිකව ඔවුන් හා අනන්‍යවිය නොහැක්කේ ට්‍රොස්කිවාදය යල්පීනූ එකක් ලෙස පිළිගන්නා නිසා ය. ට්‍රොස්කිවාදය පමණක් නොව ලෙනින්වාදය ද කල්පීනූ න්‍යායික අලෝකය සැපයූවක් ලෙස ඉතිහාස ගත වී අහවර ය.

මගේ අදහසේ හැටියට ධනපති විරෝධී සමාජ ව්‍යපාරයකට වර්තමානයේ ආලෝකය  සපයන්නේ අන්තෝනියෝ ග්‍රාමිස්චි වැන්නන්ගේ ඉගැන්වීම් තුළිනි. එතුළ ධනේශ්වර ක්‍රමයට එරෙහිව ඊට මුළුමනින්ම විකල්ප වූ සමාජ දේශපාලන ක්‍රමයක් සංස්කෘතිකව නිර්මාණය කර ගැනීම සදහා හෙජමොනික අර්ථයෙන් වූ දැනුම් පද්ධතියක් පවතී. එහෙත් සමහරු අර්ථ දක්වන වාමාංශික ජනතාවාදය ද ගෝලීය ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය තුළ අවලංගු වී ඇත. උදාහරණයකට ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරයේ අත්දැකීම් අගනේ ය. 2015 දී බලයට පත්වූ සිරිසා ව්‍යාපාරය පොඩි පට්ටම් කර දැමීමට ගෝලීය ප්‍රාග්ධන දේශපාලනය සමත් විය. එමගින් නිරූපනය වන්නේ විප්ලවවාදී දේශපාලන ව්‍යාපාර වලංගු නොවන බව නොවේ. විප්ලවවාදී දේශපාලනය අදටත් වලංගු ය. ඊට ගෝලීය ප්‍රාග්ධනය හා අරගල කිරීමේ ශක්තිය පවතී. නමුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුව ඇති දේශපාලන ව්‍යාපාරයකට එය කිසිසේත් කළ නොහැක. 

ඒ අර්ථයෙන් විප්ලවවාදී නොවන සංශෝධනවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුභසාධනවාදී දේශපාලන ව්‍යාපාර කළ යුත්තේ ජනාධිපතිවරණයක දී ධනපති ලිබරල් දේශපාලන ව්‍යාපාරයට සහයෝගය දීම ය. ධනපති ආඥාදායකයා බලයට පත්වනවාට වඩා ධනපති ලිබරල්වාදියා බලයට පත්වීම වඩා ප්‍රගතිශීලී ය. එවිට ඇතිවන සාපේක්ෂ යහපත් දේශපාලන වටපිටාව තුළ ධනේශ්වරයට එරෙහි මාක්ස්වාදී දේශපාලනය කරන්නන්ට මෙන්ම සංශෝධනවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුභසාධනවාදී දේශපාලන ව්‍යාපාරයන්ට    අරගලයක යෙදිය හැකිය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.