18 September, 2018

Blog

රාජ්‍යයේ සුජාතභාවය ප්‍රශ්න කරන මාතර තරුණ ඝාතන

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ගිය බ්‍රහස්පතින්දා දකුණේ පාතාලයේ යැයි කියන්නා වූ තරුණයෝ පිරිසක් මාතර දී රන් භාණ්ඩ වෙළෙද සැලක් කොල්ල කෑමට උත්සාහ කළහ. එහිදී එක් තරුණ පොලිස් නිලධාරියකු මිය ගිය අතර ඊට පසුව දා සෙනසුරාදා කොල්ල කල්ලි නායකයා යැයි කියන්නෙකු මිය ගියේ ය. පොලිස් නිලධාරියා මිය ගියේ කොල්ල කල්ලියේ වෙඩි පහරකිනි. කොල්ල කල්ලි නායකයා මිය ගියේ පොලිස් වෙඩි පහරකිනි.

සැගවූ ආයුධ හෝ වෙනත් යමක් හෝ පෙන්වන්නට යන පාතාල සාමාජිකයන් පොලීසියට එල්ල කරන අත් බෝම්බ ප්‍රහාර හෝ වෙඩි ප්‍රහාර හෝ මර්දනයට පෙරලා පොලීසිය විසින් වෙඩි තැබීමේ ජවනිකා සම්ප්‍රදායික නාට්‍ය අත් පිටපත් වලින් සකසන්නකි. එක්කෝ මේරටේ ඉන්නා පාතාල සාමාජිකයන් සියල්ල යන්නට ඇත්තේ එකම පාසැලකට ය. ඉගෙන ගන්නට ඇත්තේ එකම ගුරුවරයෙකුගෙනි. ඒ තරමට ඔවුන්ගේ හැසිරීම සම්ප්‍රදායික ය. ඕලාරිකය. 

එසේම පොලීසිය ද එවැනි අවස්ථා වල හැසිරෙන්නේ එකම ආකාරයකට ය. පාතාල සාමාජිකයා ප්‍රහාර එල්ල කරනවාත් සමගම පොලීසිය ඔහුට මාරාන්තික තුවාල සිදුවී මිය යන්නටම වෙඩි තබයි. අවම වශයෙන් සැකකරුගේ පාදයකට, අතකට හෝ වෙනත් බරපතල නොවන ඉන්ද්‍රියකට එවැනි අවස්ථාවන්හි වෙඩි නොවදී.  පොලීසියේ ඒ වෙඩි වදින්නේම එක්කෝ හිසට ය. නැත්නම් උදරයට ය. එසේත් නැත්නම් මාරාන්තික තුවාල සිදුවන වෙනත් සංවේදී ඉන්ද්‍රියකට ය. 

පසුගිය සෙනසුරාදා උදෑසනම මාතර දී සිදුවූයේ ද මේ සම්ප්‍රදායික නාට්‍ය පිටපත රග දැක්වීම ය. කොල්ල කල්ලි නායකයා ඔහුගේ බෑගයක් පෙන්වන්නට ගොස් එහි තිබී එළියට ගත් අත් බෝම්බයක් ක්ෂණිකව පොලීසියට එල්ල කරන්නට යෑමේ දී පොලීසිය එල්ල කළ වෙඩි පහරින් සැකකරු මිය ගියේ ය.  

සැකකරුවන් ඝාතනය කර අපරාධ වලක්වන්නට උත්සාහ දරන මෙවැනි සිද්ධි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව ශ්‍රී ලංකාවටම නින්දාසහගත සිදුවීම් ය. මේ කරන්නට හදන්නේ අපරාධ වැළැක්වීමේ නෛතික ක්‍රියාමාර්ගයන්ගෙන් වැළැකී සැකකරුවන් මරා දමා අපරාධ වලක්වන්නට ය. එහෙත් එහිදී සිදුවන්නේ පාතාල සාමාජිකයන් විසින් සිදු කරන අපරාධ පොලීසිය මගින් කරන්නට ඉදිරිපත්වීම ය. නීත්‍යානුකූල නොවන රංචු ගැසීමක අපරාධමය ක්‍රියාවන් අනුගමනය කරන්නට නීත්‍යානුකූල රාජ්‍ය ආයතනයක් වන පොලීසියට නොහැක. 

එහෙත් අපරාධකරුවන් අල්ලා ඝාතනය කර දැමීම මගින් අපරාධ වැළැක්වීමට පොලීසිය දරන මහන්සියට ජන සමාජය තුළ ද වලංගුතාවක් තිබේ. සමාජයේ බොහෝ කොටස් මෙවැනි අවස්ථාවල පොලීසියේ එවැනි අපරාධමය ක්‍රියා අනුමත කරති. ඒ අනුමත කිරීම තුළ ගැබ් වන්නේ පොලීසිය 100%ක නිවැරැදි කරුණු ප්‍රකාශ කරන බව ය. නමුත් සාමාන්‍යයෙන් සමාජයේ සිදුවන අපරාධමය ක්‍රියාවල දී පොලීසිය ද එහි පාර්ශ්වකරුවෙකි. අපරාධයක පර්ශ්වකරුවකු අනෙකා ගැන පවසන කරුණු සැමවිටම සත්‍යය වන්නේ නැත.

කොටදෙණියාවේ සේයා සදෙව් දියණිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිද්ධිය හොදම නිදර්ශනයකි. එහිදී පොලීසිය විසින් සේයා දැරියගේ අපරාධකරු යැයි අවස්ථා දෙකක දී සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත්තේ ය. ඒ අවස්ථා දෙකේදීම පොලීසිය ප්‍රකාශ කළේ ඔවුන් සේයා දැරිය දූෂණය කර මරා දැමූ අපරාධකරුවන් බවම ය. නමුත් ඒ පොලීසියම පසුව වෙනත් සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කළේ ය. අපරාධ පරීක්ෂණයේ ලා වැරැදි විය හැකිය. එහෙත් ඒ වැරදි වලට සිවිල් මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ නොහැක. එනිසා පොලීසිය විසින් “මෙන්න අපරාධකරු” යැයි කියන විටම එය ගෙඩි පිටින් පිළිගන්නට සිවිල් සමාජය සැදී පැහැදී සිටී නම් එය මුග්ධ සිවිල් සමාජයකි.

යම්කිසි අපරාධයකට සැකකරුවකු අත් අඩංගුවට ගත්විට ඔහුට එරෙහිව ක්‍රියා කළ යුත්තේ නීතියේ සදහන් අන්දමට ය. එසේ නොවී පොලීසියට අවශ්‍ය පරිදි සැකකරුවන් මරා දැමීමට ඉඩ ලබාදේ නම් එය බරපතල අපරාධයකි. පවත්නා නීතියෙන් බාහිරව කටයුතු කරන්නට පොලීසියට හෝ වෙනයම් රාජ්‍ය ආයතනයකට හැකි නම් එමගින් කියවෙන්නේ නීතියේ ආධිපත්‍ය එම සමාජයේ නොපවතින බවයි.  නීතියේ ආධිපත්‍ය නොමැතිවීම රටක අරාජික ලක්ෂණයකි. පෙරේදා මාතර දී පාතාලයේ සැකකරුවකු මරා දැමීමට යොමුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය ලැජ්ජා විය යුත්තේ එබැවිනි. 

තමන්ගේ අත් අඩංගුවේ සිටින සැකකරුවකු තමන්ගේම වෙඩි පහරකට ලක්ව මිය යෑමක දී පොලීසියේ කරුණුම පිළි ගැනීමට අධිකරණය බැදී නැත. ඒ සම්බන්ධයෙන් පාරදෘෂ්‍යය හා මහජන ගෞරවයට හේතුවන පරීක්ෂණයකට යෑමට බලධාරීහු බැදී සිටිති. සැගවූ ආයුධ හෝ වෙනත් යමක් හෝ පෙන්වන්නට යෑමේ දී පොලීසියට පෙරලා අත් බෝම්බ හෝ වෙඩි  හෝ ප්‍රහාර එල්ල කරන්නට සැකකරුවන් පෙළඹුනේ රාජපක්ෂ යුගයේ දී ය. එකල දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ පාතාලයේ සැකකරුවන් තමන් විසින් සැග වූ ගිනි අවි හෝ වෙනත් යමක් හෝ පෙන්වන්නට ගොස් මිය ගියේ පොලිස් වෙඩි පහරට ගොදුරුවීමෙනි. නමුත් ඒ කිසිම විටෙක සැකකරු ජීවිතක්ෂයට පත් නොකර අඩපණ කර ගැනීමට තිබූ හැකියාව පිරීක්සාවට ලක් නොවීය. එසේම මාංචු ළා සිටිය දී පොලීසියට අත් බෝම්බ හෝ ගිනි අවි හෝ ප්‍රහාර එල්ල කරන්නට සැකකරුවකුට හැකියාවක් තිබේදැයි පිරික්සා කොට බැලූ බවක් දක්නට නොවීය. 

සැකකරුවන් පොලිස් වෙඩි පහරක දී මිය ගිය විට පොලීසිය පවසන කතාව අකුරක් නෑර පිළිගැනීම අපරාධ සහායක වරදකි. නීතියේ ආධිපත්‍ය පවතින බව තහවුරු වන්නේ එවැනි ක්‍රියාවන් වල දී පොලීසියේ මතය විචාරශීලීව පරීක්ෂණයට ලක් කරන්නේ නම් පමණි.  එසේ නොමැතිව පොලීසිය පවසන කතාව අකුරක් නෑර පිළිගැනීම මිනිස් අයිතිවාසිකම් නොතකා හැරීමකි.  එවැනි යුගයක් අවසන් කර අලුත් යැයි කියන යුගයක් 2015 දී ආරම්භ කළ ද එම යුගය තුළ දී පවා පෙර සිදුවූ අමානුෂික ක්‍රියා සිදුවීම බරපතල අවාසනාවකි. 

පොලීසියේ වෙඩි පහරකින් සැකකරුවකුගේ මරණයක් සිදුවූ විට ඊට අදාළ මරණ පරීක්ෂණය  මහාධිකරණයක් විසින් පවත්වන්නේ නම් නීතියේ ආධිපත්‍ය රැක ගැනීම පහසු වෙනවා නොඅනුමානය. ඊට හේතුව දීර්ඝ කාලීන අත්දැකීම් සහිත ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ  කරුණු දැක්වීම් සලකා බැලීමට නම් අත් දැකීම් සහිත ජේෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ මැදිහත්වීම අවශ්‍ය නිසා ය. අත්දැකීම් අඩු කණිෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත මහේස්ත්‍රාත් අධිකරණයක දී තම ඉලක්කයන් සපුරා ගන්නට සටකපට පොලිස් නිලධාරීන්ට පහසු ය.

අපරාධ මර්දනයේ ලා හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ කිරීමේ ලා පොලිස් සංස්කෘතිය බවට පත් කරගෙන ඇත්තේ අපරාධකරුවන් ඝාතනය කිරීමයි. මේ ප්‍රවනතාව කලක් බරපතල ලෙස  ක්‍රියාත්මක වෙමින් පැවතුණි. එහෙත් ඊට යම් විරාමයක් ලැබ නැවතත් එයම ක්‍රියාත්මක කරන්නට පොලීසිය සූදානම් වෙමින් පවතින බව සෙනසුරාදා මාතර දී වූ සිදුවීමෙන් පැහැදිලි වේ. මෙවැනි කරුණු සලකා බලා නීතියේ ආධිපත්‍ය යළි ස්ථාවර කර ගැනීමට මහජන වරම ලබා ගත් දේශපාලකයන් ද උනන්දු විය යුතුය. නමුත් සිවිල් ජන සමාජයට එරෙහිව එල්ල වන මෙවැනි මානව අයිතීන් අහිමි කිරීමක දී මහජන නියෝජිතයන් උනන්දු නොවීම කනගාටුවට කරුණකි.

මාතර දී අදාළ කොල්ලකෑම වැළැක්වීමට ගිය පොලිස් කණ්ඩායමේ තරුණ නිලධාරියකු පාතාල කණ්ඩායමේ වෙඩි පහරකින් මිය ගියේ ශෝචනීය ලෙස ය. ඊට පසුව පාතාල කල්ලි නායකයා යැයි කියන තරුණයකු ද පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත. මේ සියළු තරුණයන් මෙරටේ මානව සම්පතේ සාමාජිකයන් ය. ඔවුන් කිසිවකු අකාලයේ මිය යා යුතුවූවන් නොවේ.  නව යෞවනය හැරදා තරුණ වියට එළඹ ඔන්න මෙන්න කියා තිබිය දී මේ අන්දමින් ඔවුන් දෙදෙනාම ඝාතනයවීම සම්බන්ධයෙන් ලාංකික සමාජය ලැජ්ජා විය යුතුය. ඊට හේතුව අපරාධමය සිද්ධීන් ඇති නොවන සමාජ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට තවමත් නොහැකිවීම සම්බන්ධයෙනි.

එක් අතකින් ශ්‍රී ලංකා රාජ්‍යයේ සුජාතභාවය සම්බන්ධයෙන් බරපතල ජාත්‍යන්තර ගැටළු මතු වී ඇත. අනෙක් අතින් යුක්තිය පසිදලීම සම්බන්ධයෙන් විශ්වාසය අහිමිවීම නිසා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර විවේචන එල්ලව ඇත. ඒ තත්ත්වය තුළ පොලිස් අත් අඩංගුවට පත්වන පාතලයේ යැයි කියන්නා වූ අපරාධකරුවන් නීතියේ නිසි ක්‍රියාදාමයට බාහිරව අමු අමුවේ මරා දැමීම රාජ්‍යයේ සුජාතභාවයට තව තවත් වලංගු අභියෝග එල්ල කිරීමකි. එබැවින් නීතියේ ආධිපත්‍යයත් යුක්තිය පසිදලීමේ විනිවිදභාවයත් ශක්තිමත් කිරීමට මහජන නියෝජිතයන් මැදිහත්විය යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    දේශපාලකයා මරණයට පත් වුනු මිනීමරුවා ගැන අඬන එක යහපාලනය නෙමෙයි. පොලිස් නිලධාරියත් මරාගෙන ඉතුරු වෙච්ච පාතාල මිනීමරුවෝ දෙන්න අඟුණකොළපැලැස්ස luxury prison resort එකට එකපාරටම දැම්මේ කවුද කියලත් හොයල බලන්න වටිනවා. මිනීමරුවෝ මංකොල්ලකාරයො නවීන අවි අරගෙන එනකොට පොලිස් නිලධාරියා අතේ තියෙන්නේ යල් පැනගිය තුවක්කුවක්. පොලීසිය ඒවා එක්ක තමන්ගේ ජීවිතය නැති වෙන බව දැන දැනම මංකොල්ලකාරයො මර්දනය කරන්න ඉදිරිපත් වෙන එකත් අගය කරන්න ඕනේ.
    .
    අනිත් අතට සමාජය හුඟක් ව්පරීත වෙලා. හැම තැනම පාතාල මිනීමැරුම් විතරක් නෙමෙයි පියවරු තමන්ගේ දරුවොත් මුහුදට වීසි කරන රටක, අමු අමුවේ සතුන් මරල මරපු හැටි fb දාන රටක, තමන්ගේ පාසලේ එකට ඉන්න සහෝදර ශිෂ්‍යයෙක් ගහලම මරන්න තරම් දරුවොත් දරුණු වෙලා තියෙන රටක, අපේ මහා සංඝරත්නයත් ජන මනස සන්සුන් කරනව වෙනුවට හිට්ලර්ල යම රජ්ජුරුවෝ ඉල්ලන තැනට එන එක භයානක පෙර නිමිත්තක්.
    .
    මිනිස්සු පිස්සෝ වගේ හැසිරෙන, ජීවිතවල වටිනාකම බිංදුවට දාලා තියෙන මේ වගේ වෙලාවක, හරිනම් වෙන්න ඕනේ ගමින් ගමට නගරයෙන් නගරයට යමින් පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ වගේ නැත්නම් සෝම හාමුදුරුවෝ වගේ මිනිස්සුන්ගේ හිත වෙනතකට අරන් යන්න, බුදු බණ ගැන මෙනෙහි කරන්න, ධර්මය වෙත හිත ඇදිල යන්න උත්සහයක් ගන්න එක.
    ඒ වෙනුවට අපි හුඟක් ගරු කරන මහා සංඝ රත්නය තමන්ගේ අනාගත දේශපාලන ප්‍රතිරූපයට ලකුණු වට්ටන්න, ඉල්ලුමක් අරන් දෙන්න, මිනිස්සුන්ගේ හිත තවත් තද වෙන විදියට, දරුණු වෙන විදියට, තියෙන මෙත්තා කරුණා ගුණයත් නැති වෙන විදියට බුදුදහමට වෙනස් සම්පූරණයෙන්ම වෙනස් පණිවුඩයක් දෙන එක හොඳ ලකුණක් නෙමෙයි.

  • 0
    0

    තරඟෙට ඉන්නට පොතේ උඩින්
    නොදෙවෙනි වන්නට කියූ කලින්
    බුදු බණ දෙවනුව – මගෙ බණ පළමුව
    පිළිමත් සැලුනලු අමුතු බණින්
    .
    පන්දහසක් පවතින සසුනේ
    බිත්තිද දෙදරන ලකුණු පෙනේ
    ප්‍රඥා – සමාධි – ශීල ගුණේ
    පෑල දොරින් පැන දුවනු පෙනේ
    .
    සැම සතහට සෙත පෑ දහම උතුම්
    මෙත්තා කරුණා ගැයූ මුවින්
    යම රජු අංගුලි-මාල ආලවක
    ඉල්ලන තරමට නොමඟ ගිහින්
    .
    කැළඹුණු ජන මන වියරු ලෙසින්
    නිවනව වෙනුවට දහම් ගුණෙන්
    ගහපිය මරපිය – ඉවරම කරපිය
    බැරිනම් දීපිය – අතට අරුන්
    .
    අවිගත් අත් නැසුනෙත් අවියෙන්
    බුදු හිමි දෙසුවේ නිව්නු හඬින්
    ධර්මය වැරදුනු අපේ සඟුන්
    චණ්ඩාශෝකට පතයි නිවන්
    .
    මතු බුදු වන දෙවිඳුනි – මෙතේ නමින්
    හදවත පෑරෙයි ඇසෙන බණින්
    සසුනට වෙන වින බලා නෙතින්
    ගිහියෙකුවත් වී වඩිනු කලින්!

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.