29 October, 2020

Blog

රාජපක්ෂගේ වෙස් මුහුණු නැටුම

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය ජනාධිපතිවරණයෙන් පැරදී මහා මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට මහජන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ බොහෝ විට දේශපාලනය කරන්නේ මාධ්‍ය මගිනි. පන්සල්, මළ ගෙවල්, කොටහළු ගෙවල් හොයාගෙන යන ඔහුට අනතුරු දිගු කෙරෙන කිසියම් විද්‍යයුත් මාධ්‍යයක මයික්‍රෆෝනයකට ඉල ඇදෙන විහිළුවක් කර යන්නට යයි. බොහෝ විට ඔහු කියන්නේ දෙපිට කැපෙන කතාවකි. නැත්නම් මැරී යළි ඉපදී කියන්නකි. ගල් පැලෙන බොරුවකි.

ජනාධිපතිවරයකු තනතුරේ සිටිය දී යළි ජනාධිපතිවරණයකට ඉල්ලා පැරදුනේ නම් ඒ මහින්ද රාජපක්ෂ ය. ජනාධිපතිවරයකු මහජනතාව විසින් ප්‍රතික්ශේප කළ පසුව මහ මැතිවරණයකට ඉදිරිපත් වී යළි මහජන මන්ත්‍රීවරයකු වූවා නම් ඒ මහින්ද රාජපක්ෂ ය. එනිසා ඔහු තම දේශපාලන කාන්සිය නිවා ගන්නේ පන්සල්, මළගෙවල් හා කොටහළු ගෙවල් වලට යමිනි. එහෙමත් නැත්නම් පුවත් පත් නිවේදන නිකුත් කරමිනි. එහෙත් ඔහු කට අරින වාරයක් පාසා දේශපාලන ප්‍රේක්ෂකයන්ට තල්ලු වෙන්නෙ සිනහ සාගරයකට ය. රස ආකරයකට ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ දී හම්බන්තොට ඉදිකළ වරාය වත්මන් ආණ්ඩුව විසින් චීන සමාගමකට බදුදීම සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ පුවත් පත් නිවේදනය ද දේශපාලන ප්‍රේක්ෂකයන් එවැනි අමන්දානන්දයකට පත් කරන්නකි. එම නිවේදනය තුළ ඔහු දකින පෙන්නුම් කරන මූලික වරද වන්නේ රජයේ වත්කම් විකිණීම වරදක් බව ය. එහෙත් රජයේ වත්කම් වත්මන් ආණ්ඩුව පමණක් නොව තමන්ගේ ආණ්ඩුව විසින් ද විකුණූ බව ඔහුට අමතක ය. කොළඹ ගාළු මුවදොරට ආසන්න යුධ හමුදා මූලස්ථානය තිබූ භූමිය ෂැන්ග්‍රිලා සමාගමට විකිණීම සම්බන්ධයෙන් ඔහු දරන ස්ථාවරය වන්නේ හම්බන්තොට වරාය භූමිය මෙන් එය උපාය මාර්ගික අතින් වැදගත් භූමියක් නොවන බවය.

පළමු ගැටළුව වන්නේ රජයේ වත්කම් විදේශ සමාගම් වලට අලෙවි නොකිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකග වන්නේ නම් උපාය මාර්ගික අතින් වැදගත් හා නොවැදගත් ලෙස ව්‍යාතිරේඛයන් තබා ගන්නේ කුමකට ද යන්නයි. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මකවීම ව්‍යාතිරේඛයකට යටත් වන්නේ නොකළම නොහැකි අති විශේෂ අවස්ථාවක ය. එහෙත් හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම සම්බන්ධයෙන් උපක්‍රමික කාරණා ගෙනහැරපාමින් විරුද්ධ වන මහින්ද රාජපක්ෂ එලෙස උපායමාර්ගිකව වැදගත් වූ බොහෝ ඉඩම් ඔහුගේ යුගයේ දී විදේශයන්ට විකිණීමයි. කොළඹ හදවත බදු ස්ථානයක් වන ගාළු මුවදොර ප්‍රදේශය උපාය මාර්ගික අතින් වැදගත් නොවේ නම් උපාය මාර්ගික වැදගත්කම නීර්ණය කරන මහින්ද රාජපක්ෂගේ නිර්ණායකයන් මොනවාදැයි ප්‍රශ්න කළ යුතුය. පැහැදිලිවම ඔහුගේ නිර්ණායකයන් හා රටේ පොදු පිළිගැනීමට ලක්වන නිර්ණායකයන් එකක් නොව දෙකකි. එසේ නොවේනම් ජනාධිපති කාර්යාලය, ජනාධිපති නිල නිවස, මහ බැංකුව හා කොළඹ ආර්ථික මධ්‍යස්ථානය උපාය මාර්ගිකව වැදගත් නොවීම බරපතල කාරණාවකි.

ගාළු මුවදොර වරාය නගරය ඉදි කිරීමේ දී හිලව්වක් ලෙස එසේ ගිඩකරන බිමෙන් කොටසක් මහජන චීනයට ලබාදීම ද මහින්ද රාජපක්ෂට බරපතල කරුණක් නොවන්නේ එම භූමිය දැනට නොපවතින පසුව මුහුද ගොඩකර ඉදිවන භූමි ප්‍රදේශයක් නිසා ය. එහෙත් ඔහුට නොතේරෙන්නේ දැනට පැවතුනත් නැතත් ශ්‍රී ලංකාව අයිති භූමිය එහි භෞමික සීමාවට අයත් බව ය. ඇත්ත වශයෙන්ම වරාය නගරයෙන් ඉඩම් ප්‍රදේශයක් මහජන චීනයට පවරාදීම ඔහු සුළුකොට තකන්නේ නොතේරුම්කමට නොවේ. එය පැහැදිලිවම ඔහුගේ දේශපාලන තක්කඩිකමයි.

හිටපු ජනාධිපතිවරයා මේ ආණ්ඩුවේ වත්කම් ප්‍රතිපත්තිය ගැන විවේචනය කරන්නේ තමන් ආණ්ඩුව කරද්දී ප්‍රමාණිකව කිසියම් ආකාරයක සමාන වූ ප්‍රතිපත්තියකට අනුව කටයුතු කර තිබිය දී ය. කොළඹ වරාය නගරය ඉදි කිරීමේ දී ඒ හිලව්වට ගොඩ කරන යම් කිසි ඉඩම් ප්‍රමාණයක් මෙන්ම ගාළුමුවදොර පැරණි යුද හමුදා භූමිය ද ඔහු අවශ්‍ය පරිදි විදේශික සමාගම් වලට විකුණුවේ ය. එහෙත් ඒ අතීතය ඔහුට මේ වනවිට අමතකව ඇති අතර ලැජ්ජාවෙන් ගැලවෙන්නට මෙන් එදා විකුණූ ඉඩම් වල ද අද බදු දෙන ඉඩම් වල ද සංඛ්‍යාත්මක වෙනස්කම් සිහිපත් කරයි. එසේම ඒ ඒ ඉඩම් වල උපායමාර්ගික වැදගත්කම සිහි කරයි. නමුත් රජයේ වත්කම් අන්සතු කිරීම යන විෂයේ දී වඩා වැදගත් වන්නේ ගුණාත්මකභාවය මිස ප්‍රමාණාත්මකභාවය නොවේ.

දේශපාලන ප්‍රේක්ෂකයන් සිනහ සාගරයකට ඇද දමමින් මහින්ද රාජපක්ෂ විසින් මේ ඉළ ඇදෙන විහිළු කරන්නේ ඔහුගේ පැවැති ආණ්ඩුවේ සමාජ විරෝධී කටයුතු වලට සුදු හුණු ගාන්නට ය. මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිඅයට ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂට එරෙහි විය නොහැක. එදා මෙන්ම අදත් ක්‍රියාත්මක වන්නේ නව ලිබරල් දේශපාලන ව්‍යාපෘතියයි. එනිසා ආර්ථික ක්‍රියාකාරීත්වයක ගුණාත්මකභාවය මිස ප්‍රමාණාත්මකභාවය සමාජයට වැදගත් නොවේ. එකම ආර්ථික දේශපාලන වැඩපිළිවෙලක ක්‍රියාත්මක වීමේ හැඩතල වෙනස්වීම දේශපාලන විකල්පයකට ශක්තිමත් පදනමක් නොවේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන ආණ්ඩු විවේචනයන් තුළ අලුත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ දේශපාලන විභවයක් නොමැත. ඔහු කරන්නේ අතීතය සිහි කරමින් හාස්‍ය උත්පාදනය කිරීම පමණි.

වත්මන් ආණ්ඩුව සකස් වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හා ඊට සහය දෙන කුඩා පක්ෂ වලින් සහ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලත්ව ය. එනිසා ප්‍රධාන පක්ෂ දෙකෙහිම ආර්ථික ප්‍රතිපත්තිය අනුව යමින් මේ සම්මුතික ආණ්ඩුව ද ආර්ථික ප්‍රතිසංස්කරණයන් ගණනාවක් කරලියට ගෙන ඇත. එම ප්‍රතිසංස්කරණයන් පදනම් වී ඇත්තේ නව ලිබරල්වාදී ව්‍යාපෘතිය මතය. එහෙත් සම්මුතික ආණ්ඩුවේ එම ප්‍රතිපත්තියේ අතුරු බිතුරු වලට ඇගිල්ල දිගු කරමින් තමන්ගේ ප්‍රතිපත්තිය වසා ගැනීමට මහින්ද රාජපක්ෂ උත්සාහ ගත්තත් එය මිථ්‍යාවකි. මොනරා නටන විට පස්ස නිරුවතින් බව අප සියල්ලන් දනිතත් මහින්ද රාජපක්ෂ එය නොදනී.

මහින්ද රාජපක්ෂ යුගය ද පදනම්ව තිබුනේ මුළුමනින්ම නව ලිබරල්වාදී ව්‍යාපෘතිය මතය. එහෙත් ඒ ප්‍රතිපත්තිය වසා ගැනීමට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පෙරට ගැනීමට ඔහු සමත් විය. රාජපක්ෂ රෙජීමයේ න්‍යායවාදීන් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ඉසමත්තට ගත්තේම එමගින් නව ලිබරල් ව්‍යාපෘතිය ආවරණය කර ගැනීමට ය. එහෙත් මහින්ද රාජපක්ෂ අවශ්‍ය පරිදි උපායමාර්ගයන් තුළ සිටිමින් බටහිරට අවශ්‍ය ආර්ථික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ය. එහෙව් මහින්ද රාජපක්ෂ සිහිනෙන් අවදි වූ අයකු මෙන් වත්මන් සම්මුතික ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකාරීත්වයට විරුද්ධවීම අර්ථහිරහිතය.

එමගින් ගම‍ය වන්නේ මහින්ද රාජපක්ෂට ආණ්ඩු වීරෝධී දේශපාලනයක නිරත වී අලුත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට නොහැකි බව නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක මහින්ද රාජපක්ෂට ඒ ඉඩකඩ පවතී. එහෙත් ඔහු මෙන්ම ඔහුට සහාය වන ඒකාබද්ධ විපක්ෂය ද ඒ අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා අලුතින් සිතිය යුතුය. අලුතින් හැරවුමක් ගත යුතුය. අලුත් දේශපාලන ගමනක් ඇරඹිය යුතුය.

පළමුව කළ යුත්තේ තමන් ආණ්ඩුව දැරූ වසර දහය තුළ සිදු කළ දැ ගැන දේශපාලනික ආවර්ජනයක් කිරීමයි. එමගින් තමන් විසින් කළේ කුමක් ද නොකළේ කුමක්දැයි තීරණය කළ යුතුය. යම් වරදක් සිදුව ඇත්නම් සමාජය ඉදිරියේ එය නොවලහා ප්‍රකාශ කර වරද පිළිගැනීම දේශපාලන ව්‍යාපාරයකට ලැජ්ජාවට හේතුවක් නොවේ. අලුත් දේශපාලන ගමනක ආරම්භය වන්නේ එයයි.

එසේම පැරණි ප්‍රතිපත්ති හා අලුත් ප්‍රතිපත්ති ගැන සිතමින් ද ආවර්ජනය කරමින් ද විවේචනය කරමින් ද තමන් විසින් මහජනයා ඉදිරියේ තබන උපාය මාර්ගයන් හා ක්‍රමෝපායන් පැහැදිලිව හදුනා ගත යුතුය. ඒ උපාය මාර්ගයන් හා ක්‍රමෝපායන් සම්මුතික ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට එකග නම් එය ද පැහැදිලිව කිව හැකි විය යුතුය. එකග නොවේ නම් එසේ වන තැන පෙන්වා දී අලුත් ප්‍රතිපත්තිය හදුන්වා දිය යුතුය. නමුත් මහින්ද රාජපක්ෂත් ඔහුගේ ගෝල නඩයත් කරන්නේ පරණ ප්‍රතිපත්ති දරමින්ම පරණ ක්‍රමෝපායන් දරමින්ම ආණ්ඩුවේ පර්තිපත්ති හා ක්‍රියාත්මකවීම විවේචනය කිරීමයි. එය තමන්ගේ මෙන්ම රටේ ද අභිවෘද්ධියට අබමල් රේණුවක දායකත්වයක් දරන්නේ නැත.

මේ කාර්ය කළ යුත්තේ මහින්ද රාජපක්ෂවත් ඒකාබද්ධ විපක්ෂයවත් පෞද්ගලිකව මැදිහත්ව නොවේ. තම දේශපාලන ව්‍යාපාරයේ බුද්ධිමය එකතුව ඒ සදහා යොදවා ගැනීමට ඔවුන් සමත් විය යුතුය. බුද්ධිමය පිරිස සකස් කරන අලුත් වැඩපිළිවෙල අහ්දුනා ගැනීමට මහින්ද රාජපක්ෂ හා සහ පිරිස සමත් විය යුතුය. එවැනි සංවිධිත වැඩපිළිවෙලකින් තොරව දේශපාලනයට ප්‍රවේශවීම මහින්ද රාජපක්ෂට තරම් නොවේ. එසේ කරන්නට කරන්නට ඔහු ඇද වැටෙන්නේ පතුලක් නොපෙනෙන අගාධයකට ය. එය මහින්ද රාජපක්ෂගේ දේශපාලන පස මිතුරන්ට සැහැල්ලුවට හේතුවක් විය හැකිය. එහෙත් ඔහු වටා සිටින ජන කොටසට එය අසාධාරණයක් බව තේරුම් නොගන්නට තරම් මහින්ද රාජපක්ෂ දේශපාලනිකව නොමේරූ පුද්ගලයකු නොවේ.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.