27 April, 2024

Blog

බිත්තර නොබිද ඔම්ලට් කෑමේ උත්ප්‍රාසය

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය දා කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවැත්වූ උද්වේගකර දේශනය විසින් මතු කළ දෝංකාරය ප්‍රබල වුවත් ගැඹුර ලාංකික සමාජයේ දැවෙන ප්‍රශ්න වලට අවශ්‍ය තරමට ආමන්ත්‍රණය කිරීමක් නොවීය. ඔහු හඩ තලා ආමන්ත්‍රණය කළේ මෙතෙක් මහින්ද රාජපක්ෂ විසින් විවිධ උපක්‍රමයන්ගෙන් යුතුව ආමන්ත්‍රණය කළ සමාජ තීරුවටම යැයි කිව හැකිය. යම් හෝ වෙනසක් තිබුණා නම් එම වෙනස මගින් ජනාධිපතිවරයාගේ කපටි හා තියුණු ශූක්ෂමභාවය පෙන්නුම් කළේය.  ඒ කපටිකමත් ඒ ශූක්ෂමකමත් ඔහු යොදා ගත්තේ සිංහලබෞද්ධ සමාජයේ යුදකාමය ආරක්ෂා කර ගැනීමට මිස ඔවුන් විසින් සපථ කළ 2015 ජනවාරී 08 මහජන සම්මුතිය දිනවීමට නම් නොවේ.

මහින්ද රාජපක්ෂ පාලනය විසින් දියත් කළ යුද්ධය නිසා උතුරේත් දකුණේත් දෙමව්පියන් පසුවූයේ ඇඩූ කදුළෙනි. සමාජය තුළ ස්ථාපිත කර තිබුණේ යුදවාදී මානසිකත්වය ය. දෙමළ විමුක්ති කොටි සංවිධානය යකඩෙන් හා රුධිරයෙන් සමූල ඝාතනය කළ පසුව දෙමළ විමුක්ති අරගලය පවා සමූල ඝාතනය කරමින් තිබුණි. සිංහලබෞද්ධ සමාජය හා ඇලී ගැලී සිටි ඩග්ලස් දේවානන්ද හා වී. ආනන්ද සංගරී නියෝජනය කරන්නා වූ දෙමළ විමුක්ති අයිතීන් හෝ නොදෙන තරමට සිංහලබෞද්ධ දකුණ ශක්තිමත් වී තිබුණි. එහෙත් මුළුමහත් බටහිර ප්‍රජාව රැවටීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි විය. ඒ නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව හුදකලා විය. ඒ හුදකලාවීම රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයට ද හේතුවිය. ශ්‍රී ලංකා රාජ්‍යයේ කඩා වැටීමට ද හේතු විය.

2015 ජනාධිපතිවරණය වන විට ලංකා සමාජයේ කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තහනමකට ලක්වීම හමුවේ රට පවතින්නේ කෙසේද යන්නයි. ඒ අර්බූදයේ සමාජ තැති ගැන්ම ජනාධිපතිවරණ දේශපාලන භූමිය තුළ ද දක්නට ලැබුණි. ඒ නිසා අන්තර්ජාතික අභියෝගයට මුහුණදීමට ශක්තිමත් වන්නේ කවර අපේක්ෂකයා ද යන්න ද අතිශය වැදගත් විය. ඒ හමුවේ මහින්ද රාජපක්ෂට අලුත් උපාය උපක්‍රම නොවීය. ඒ සදහා වූ තෝරා ගැනීමක් තිබුනේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා නියෝජනය කළ මහජන බලවේගයට ය. ඒ තුළ මෛත්‍රීපාල සිරිසේනට ද නියෝජනය කරන්නට සිදුවූයේ රාජපක්ෂ චින්තනයට හා වැඩපිළිවෙලට ඔබ්බෙන් වූ විකල්පයකි. එනම් ජාත්‍යන්තරය හා හැප්පෙන්නට නොයන නමුත් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා සුහද විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂාවන ක්‍රමයකටය. ඒ තුළ මානව හිමිකම් පිළි ගනිමින් යුද්දයේ තුවාල සනීප කරවන සංහිදියා ප්‍රතිපත්තියකට මාරුවීමයි. එහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා රාජ්‍යයටත් සමාජයටත් බරපතල කැප කිරීමක් කරන්නටවීමයි.

රාජපක්ෂ ආණ්ඩුව විසින් ලාංකික සමාජය තල්ලු කර තිබූ ජාත්‍යන්තර පිළිකන්නෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩගෙන නැවත ගෞරවනීය ස්ථානයක තැබීමේ සංවාදජනක දේශපාලන ආස්ථානය තුළ අලුත් ආණ්ඩුවක් බලයට ආවේය. ඊට ලාංකික සමාජය තුළ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව තුළ ද පිළිගැනීමක් ලැබුනේ විදේශ ප්‍රතිපත්තියේ හා පශ්චාත් යුද කළමනාකරණ ප්‍රතිපත්තියේ අනන්‍යතාව තුළය. එය කෙටි ගමන් මගකින් පෙරළා රාජපක්ෂගේ විදේශ ප්‍රතිපත්තියට හා පශ්චාත් යුද කළමනාකරණය ක්‍රමය කරා යන කෙටි මගක් නොවීය. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සම්මේලනය අමතමින් ලාංකික සමාජයටත් අන්තර් ජාතික ප්‍රජාවටත් ලබාදෙන පණිවුඩය වන්නේ තමා කෙටි මගකින් පෙරලා ගමන් ගනිමින් සිටින්නේ රාජපක්ෂගේ ක්‍රමයම කරා බවය.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගැනීමෙන් පසුව අන්තර් ජාතික ප්‍රජාව සමග පරණ හිත හොද පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා සමත් වුන බව ඇත්තකි. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හා ඔහු ගනුදෙනු කළේ බඩේ බිජු තියාගෙන යැයි කිවහොත් එය නිවැරැදි ය. ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස මානව හිමිකම් කමිටුව හමුවේ දුන් පොරොන්දු ඉටු කිරීම කාලය කා දමමින් හොර ගල් ඇහිලීමකට සීමා කළේය. ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් පවතින ජනවරමේ ස්වභාවය හා නියෝජනය කරන ජනමතයේ ස්වභාවය අනුව යුද අපරාධකරුවන්ට අන්තර් ජාතික පරීක්ෂණයකින් දඩුවම් කිරීම දක්වා යෑමට නොහැකි බව කාහටත් තේරුම් ගත හැකිය. එහෙත් මානව හිමිකම් කමිටුව යෝජනා කරන එම ක්‍රමවේදය වෙනුවට ශක්තිමත් විකල්පයක් සකස් කර ගැනීමට ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ශූක්ෂම නොවීය.

අලුත් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ක්‍රියාමාර්ගයන් නොගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නොසතුට පළ කර තිබුණි. එසේම ඒ සම්බන්ධයෙන් කතා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඒවකට අධිකරණ ඇමතිවරයා විසින් මහත් පිළිකුල් සහගතව අශ්ලීල ලෙස ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණි. විෂය සම්බන්ධයෙන් කතා කරන ආණ්ඩුවේ ප්‍රබලයන් ගණනාවක්ම තම අදහස් පළ කළේ ලාංකික සමාජයේ ගැලරිය පිනවීමේ අදහසිනි. යුද්දයට  මුහුණ මුහුණ දුන් ත්‍රිව්ධ හමුදාවත් ත්‍රිවිධ හමුදා නායකයනුත් කිසිම අවස්ථාවක යුද අපරාධ දඩුවමකට යටත් නොකරන බව ඔවුහු පුන පුනා ප්‍රකාශ කළහ. එහෙත් රාජ්‍යයට අබ ඇටයක තරම් හෝ හානියක් නොවන්නට ආරක්ෂා කරන මේ දේශපාලන නායකයෝ තමන්ට ජනවරම දුන් සමාජ කොටස් ගැන හාංකාවිසියක  උනන්දුවක් නොදැක්වීය.

යුද්දයේ දී මුහුණට මුහුණ සටන් කර මිය යෑම එකකි. යුද්දය මුවාවෙන් සිවිල් ජනයා මරා දැමීම තවත් එකකි. යුද මානසිකත්වය තුළ දකුණේ සිවිල් ජනයා පවා අමු අමුවේ මරා දමා  තිබිය දී උතුරේ සිවිල් ජනයා ඝාතනය කිරිම ගැන එල්ල වූ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් වගවීමක් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට හෝ නොවීය. රාජ්‍ය පාලන ක්‍රමය අර්බූදයකට තල්ලු වෙනවාට කිසිම රාජ්‍ය පාලකයකු කැමැති නොවීම තේරුම් ගත හැකිය. එහෙත් වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීමත් සහනයක් ගෙන ඒමත් සදහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සංවේදී නොවුනේ රාජපක්ෂ චින්තනයෙන් ගැලවෙන්නට ඔවුන්ට ද නොහැකිවූ නිසා වෙන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සම්මේලනයේ දී ජනාධිපතිවරයා මුළුමනින්ම ආමන්ත්‍රණය කළේ යුදවාදී සිංහලබෞද්ධ සමාජ තීරුවට ය. කිසිම රණවිරුවකුට අන්තර්ජාතික දඩුවමකට ලක්වන්නට ඉඩ නොදෙන්නෙමියි සපථ කළේ එබැවිනි. මේ ආමන්ත්‍රණය මහින්ද රාජපක්ෂට වලංගු වුවද එය මෛත්‍රීපාල සිරිසේනට වලංගු නොවේ. ඒ ආමන්ත්‍රණයට ඇහුන්කන් දෙන්නටත් ඊට කීකරු වන්නටත් සමාජ තීරුවක් මහින්ද රාජපක්ෂට සිටී. එහෙත් එවැනි සමාජ තීරුවක් මෛත්‍රීපාල සිරිසේනට නොමැත. එනිසා ජනාධිපතිවරයා විසින් එවැනි සපථ කිරීමක් කරන සෑම මොහොතකම ඔහු වටා රැස්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථාවාදීහු පමණක් තෘප්තියට පත්වේ. මහින්ද රාජපක්ෂ වටා රැස්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඔලොක්කුවට සිනහ සේ. මෛත්‍රීපාල සිරිසේනට පසුගිය ජනාධිපතිවරණයේ දී චන්දය දුන් බහුතරය සාතිශය සංවේගයට හා කෝපයට පත්වේ.

මෙහිදී ජනාධිපතිවරයා නිරර්ථක උත්සාහයක යෙදෙන්නේ බිත්තර නොබිද ඔම්ලට් කෑමටය. ඔහු කල්පනා කරනවා ඇත්තේ එක්සත් ජාතීන් හා ලෝක ප්‍රජාව රවටමින් සිංහලබෞද්ධ අභිලාශයන් තෘප්ත කිරීමට ය. එහෙත් එය හාස්‍යජනක බව අවශ්‍යයෙන්ම කිව යුතුය.ජනාධිපතිවරයා සමගත් ආණ්ඩුව සමගත් මහජන සම්මුතියක් ඇති කරගෙන ඇත්තේ යුදවාදීහු නොවේ. ඒ මහජන සම්මුතියේ පදනම වන්නේ මේරටේ ශිෂ්ඨත්වය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ වටිනාකම් අගයන සමාජ තීරුවයි. රාජ්‍ය පාලනය කිරීමේ දී ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ආමන්ත්‍රණය කළ යුත්තේ එකී සමාජ තීරුවටයි. ඒ සමාජ තීරුව මත පදනම් වෙමින් සෙසු සමාජ කොටස් ඊට ආකර්ශනය කර ගැනීම ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් මුහුණ දෙන දේශපාලන අභියෝගයයි.

එහෙත් තමන් හා දේශපාලන සම්මුතියක් ඇති කර නොගත් සමාජ තීරුවකට සෑම විටම ආමන්ත්‍රණය කරමින් ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් අතුරක ගමන් කරවීම ඔහුගේ උපදේශකයන්ගේ නොහැකියාවයි. යුද අපරාධ සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ලවන චෝදනා ලාංකික සමාජයේ ප්‍රජතන්ත්‍රවාදී හර පද්ධතියට එල්ල කරන්නේ බලවත් අභියෝගයකි. එසේම ඒ නිසා සමාජයේ මානව වටිනාකම් වලට ද එකතු කරන්නේ දුගදකි. පශ්චාත් යුද කළමනාකරණ ව්‍යාපෘතිය තුළ අතිශය වැදගත් වන්නේ සමාජය තුළ සංහිදියාව ඇති කිරීමයි. සංහිදියාවට කළු පැල්ලම් එක් කරන්නේ නම් යුද අපරාධකරුවන්ට දඩුවම් කිරීම පවා සලකා බැලිය හැකි කරුණක් විය යුතුය. ඇත්තටම යුද්දය මගින් සමාජය තල්ලු කර ඇත්තේ බරපතල හා සංකීර්ණ ආගාධයකට ය. ඒ තුළ සාධාරණය ඉෂ්ඨ කරන්නට යන විට සමාජයක සිත් රිදවීම් හා බරපතල පශ්චත්තාපායන් ඇතිවිය හැකිය. එසේම එය රාජ්‍ය තන්ත්‍රය කඩා වැටීමකට ද හේතුවිය හැකිය.

අද වනවිට අපේ සමාජයට බරපතල ලෙස අවශ්‍යව ඇත්තේ සංහිදියාවයි. ඒ සදහා සිංහල මෙන්ම දෙමළ සමාජ තීරුන් දෙකටම බරපතල කැප කිරීම් කරන්නට සිදුවේ. කොටි සංවිධානයේ ක්‍රියාකාරම් නිසා සිංහල සමාජය පීඩාවට පත්ව ඇත. රාජ්‍යයේ ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාකාරීත්වය නිසා දෙමළ සමාජය පීඩාවට පත්ව ඇත. දෙපසකට වී මේ සමාජ තීරු දෙකම අද කරන්නේ පසු තැවීමයි. කළකිරීමකට පත්වීමයි. එහෙත් මේ සමාජ තීරූන් දෙකටම බරපතල කැපකිරීමක් කරන්නට හැකි නම් සමාජ තීරූන් දෙකටම බරපතල ලෙස ඉවසීම ප්‍රගුණ කළ හැකි නම් සංහිදියාව කරා යන ගමනේදී එය අතිශය වැදගත් ව්නවා නොඅනුමානය.

යුද අපරාධකරුවන්ට එරෙහි පරීක්ෂණයක් හා වරදකරුවන්ට දඩුවම් ලබාදීමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ශේප කරන්නේ නම් කළ යුත්තේ අපරාධකරුවන් සුරතල් කරමින් තව තවත් අපරාධ කිරීමට බලය දරන්නන් යොමු කිරීම නොවේ. සමාජ කොටස් දෙකේම ජයග්‍රහණයක් ( Win – Win situation) තුළින් යුද අපරාධකරුන්ට දඩුවම් දීම අතහැර දැමීමත් යුද්දය නිසා කඩා වැටීමකට ලක්වූ දෙමළ සමාජය මුළුමනින්ම නගා සිටුවීමට මහන්සි ගැනීමත් එකම ව්‍යාපෘතියක කොටස් විය යුතුය. එසේ නොමැතිව යුදකාමීන් සතුටට පත් කරමින් එකම රණවිරුවකුට හෝ දඩුවම් කරන්නට ඉඩ නොදෙමින් ගැලරිය පිනවන දේශන පැවැත්වීම සමාජය නැවතත් වටයකින් පතුලක් නොපෙනෙන අගාධයකට තල්ලු කිරීමක් හා සමාන වේ.

යුද අපරාධකරුවන්ට දඩුවම්දීම මෙන්ම යුද අපරාධකරුවන් දඩුවමින් ගලවා ගැනීමත් අද වනවිට පටු පාක්ෂික දේශපාලන න්‍යාය පත්‍රවල සටන් පාඨයන් ය. යුද අපරාධයන්ට නියෝග දුන්නේ ඉහළ යුද හමුදා නායකයන් ය. ඔවුන්ව රැක ගත්තේ දේශපාලන නායකයන් ය. එහෙත් නඩු හබ වැටී අභ්‍යන්තර පරීක්ෂණ වලින් වරදකරුවන් වී දඩුවම් විදින්නේ සුළු නිලධාරීන් ය. දඩුවම් කරනවා නම් දඩුවම් කළ යුත්තේ දේශපාලන නායකයන්ට හා යුද නායකයන්ට ය.

නමුත් කළ යුත්තේ කුමක්දැයි ජනාධිපතිවරයාට නිනව්වක් ඇති බවක් ඔහුගේ කියුම් කෙරුම් වලින් නම් කිව නොහැක. මේ මොහොතේ ඔහු කරන්නේ සිංහලබෞද්ධ යුදවාදී සමාජ තීරුවේ අයිතිය තමන් සතු කර ගැනීම සදහා වූ හිල් කූඩයෙන් වතුර ඇදීමේ නිශ්ඵල ව්‍යායාමයයි. ඔහු හිස බිම තබාගෙන කෑගැහැව්වත් එකී සමාජ තීරුව ජනාධිපතිවරයා වටා රොක් වන්නේ නැත. නමුත් සංවිධිත වැඩපිළිවෙලකින් සංහිදියාව සදහා වූ දේශපාලන ගමනක් ජනාධිපතිවරයා විසින් ආරම්භ කළා නම් ඔහුට ලැබෙන අගය කිරීම මහත් විශාල බව කිව හැකිය. එසේ වූවා නම් ජාත්‍යන්තර ප්‍රජාව සැකමුසු බැල්මෙන් ශ්‍රී ලංකාව දෙස බලන්නේ නැත. ජනාධිපතිවරයාට ජනවරම දුන් සමාජ තීරුව කළ කිරීමකට පත්වන්නේ ද නැත.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.